නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 October 2014

෴පෙම්වතිය මැරිලා෴





පාට මල් වල සිනිඳු පෙතිමත
ප්‍රේම  කවි ලිව්ව පෙම්වතිය මැරිලා...
සෙනෙහෙ පැතුමන් සිත් දරාගෙන 
ආදර ගී ගැයුව පෙම්වතිය මැරිලා....
නුඹ නමින් පමණක් ඉපැදී මියෙන්නට
පාරමි පිරූ පෙම්වතිය මැරිලා.....
නුඹේම කුලගෙයි පතිනි වන්නට
මල් හීන දුටු  පෙම්වතිය මැරිලා....

සාගරේ තරම් ආදරේ 
රහසේ සඟවගෙන,පෙම්වතිය මැරිලා....
ලොවක් සනසන නුඹේ දෑසින්
වහන්කරන් හිත,පෙම්වතිය මැරිලා.....
නුඹේ පෙම් හිත අහිමි බව දැන 
දරනු බැරි දුකින්, පෙම්වතිය මැරිලා..
නුඹට ඇය හිමි ලොවට 
සුබාසිරි පතාගෙන,පෙම්වතිය මැරිලා........


Post Comment

24 May 2014

-ඉරිසියාකාරී මං -

"මොකද නිම්මි උදේම මූණ ඇඹුල් කරගෙන?"
කවදත් කලට වෙලාවට වැඩ කරන පුරුද්දක් ඇති මම, සුපුරුදු පරිදි කාර්‍යාලෙට ගොඩ වදින මොහෙතෙම , මගේ ලබැඳී හිතවතිය නිම්මිව නෙත ගැටුණි. ඇය කවදත් සිනා මුසු මුහුණින් කෙළිලොල් කමින් කාලය ගෙවන තරුණියක් නිසාම, ඇගේ දුක්බර, අසහනකාරී මුහුණට හේතුව කුමක්දැයි මට වටහාගන්නට හැකියාවක් තිබිණි.
අත් බෑගය පසෙකින් තබා අසල තිබුණු පුටුව ළංකරගෙන ඇය අසළින් ඈදීගත් මම ,ඇගේ චෝදනාත්මක කතාන්දරය අසන්නට සැරසුනෙමි.

"හරි දැන් කියන්නකො බලන්න හිමත් මොකද කලේ කියලා.."
"ඔයා කොහොමද දන්නෙ මේක හිමත් ගැන ප්‍රශ්නයක් කියලා..."
ඇගේ පුංචි ඇස් පුදුමයෙන් විසල් වී තිබිණ.ඒ දෑස් තුළ විශ්මයත්, බියත්, ශෝකයත් සියල්ලම එකට කැටිවී තිබෙනු පෙනින.
"මට මූණ  බලලා සාස්තර කියන්න පුළුවන් නෙහ්, උඹේ මූණෙන් පේන දේ මම කිව්වෙ.."
"උඹට විහිළු ජානු..."
මගේ නම ජනනි වුවද, බොහොමයක් අය මෙන් ඇයද මා ඇමතුවේ ජානු නමිනි. එසේ මා අමතන බොහෝ දෙනෙක්ම මගේ හදවතට බොහෝ සමීප අය විය.
"හරි හරි නිම්මි.. ඉතිං මම නිකන් කිව්වෙ. උඹ කවදත් හිනා වෙලා, උඩ පැනලා සංතෝසෙන් ඉන්න කෙල්ලෙක්නෙ..,ලෝක විනාසෙ  වුනත්, හිමත් ලඟ ඉන්නවානම් මළත් කමක් නෑ කියලානෙ උඹ කියන්නෙ. උඹ මූඩ් ගහනවනම් ඒ හිමත් ගැන හිතලා  විතරමයි.."

"හ්ම්ම්ම්ම්ම්ම්ම්.."
"ඉතිං... මොකක්ද නිම් අවුල? කියන්න බැරි දෙයක්ද?"
"එහෙම නෑ ජානු, උඹට කියන්න බැරි අවුල් කවද්ද මට තිබුණේ..මේක මම හිතන විදියෙ ප්‍රශ්නයක්.."
"කියන්නකො බලන්න.., මට උඹට උදව්වක් කරන්න බැරිවුනත් අහගෙන හරි ඉන්නම්.."
"මම දන්නෙ නෑ... මට හිමත් ගැන ඉරිසියයි.."
"හහ්හඃඃඃඃඃහාහ්හ්හ්හ්හා...."මගේ සිනහව නවතාගන්නට අපහසු විය. ඇය කියූ ස්වරයට මට මගේ සිනහව පාලනය කරගන්නට කෙසේවත් නොහැකි විය.ඇගේ ළදරු ස්වරය මා සිනහ ගැන්විය.
"Seriously?? Seriously?? ජානු... උඹ මට හිනා වෙනවා.. මම කියන්න පටන්ගත්තා විතරයි... "
"අනේ ...අනේ  නිම්මි නෑ.. බබෙක් වගේ ඔහොම කිව්වාම කාටද හිනා යන්නෙ නැත්තෙ?"
"හරි දැන් ඔයත් කියන්නෙ මම පොඩි ලමයෙක් වගේ complain කරනවා කියලානේ?"
"හයියෝ නෑ නිම්., ඉතිං බලන්න, ඔයා ඔයා ආදරේ කරන කොල්ලට  ඉරිසියයිලු.. පණට පණ දීගෙන, දිවට දිව ගාගෙන., නැහීගෙන ලව් කරන කොල්ලා  එක්ක ඉරිසියා වෙන්න උඹට තියන හේතු කියන්න බලන්න..."
'ම්ම්ම්.."
ඇය දීර්ඝ සුසුමක් හෙළීය. මලක් මෙන් පිපී සැලෙන ඇගේ මුහුණ කණස්සළු ස්වභාවයක් ගෙන තිබිණ.
"කොටින්ම හිමත් වෙන කෙල්ලොත් එක්ක කත බහ කරන එකත් මට හිතට වදයක් වෙලා.එහෙම දකින්න මම ආස නෑ..."
"ම්ම්ම්.... "
"මට තේරෙන්නෙ නෑ.. මට එයාව සැකයි නෙවෙයි. ඒකට කියන්නෙ සැකේද ඉරිසියාවද මොකක්ද කියලා මම දන්නෙ නෑ.. ඒත් මට එයාගෙ එක මොහොතක්වත් තව කාටවත් බෙදලා දෙන්න ඕනෙ නෑ.. specially කෙල්ලොන්ට.."
ඇයට කුමක් කියන්නද, කෙලෙස ඇගේ සිත සනසවන්නද මටද නොතේරිණ.  මොහොතකට මා ද ඇගේ ගැහැණු සිත, සිතින් සාධරණීය කළෙමි.ස්වභාදහම ගැහැණුන් මවා ඇත්තේ පිරිමියාට වඩා ඉරිසියාව යම් මාත්‍රාවකින් වැඩි කොටය. ආදරය වැනි අපරිමිත සාධකයක් තුළ එය මදක් ප්‍රබල ලෙස දැනෙන දෙයක් බව මා පමණක් නොව, සමස්ත ලෝක වාසී සියළු ගැහැණුන් එයට සාක්ෂි දරන පරම සත්‍යකි.

ගැහැණු සිත් වල මවා වැඩ හිඳුවා හිදින ,පරමාදර්ශී , රෝමාන්තික පුරුෂයන් හැරුණු කොට, මෙලොව සියළු පුරුෂයන්ට ආදරය ජීවිතයෙන් කොටසක් පමණි.
එහෙත් පිරිමියාට වඩා ගැහැණිය ආදරයට ලෝබය.කෑදරය.මුළු ලෝකයටම ඇය සිය කරුණාව මුදා හරින්නට, සෙනෙහස  බෙදා දෙන්නට, ජීවිතය බෙදා ගන්නට පරාර්ථකාමී වුවද, ඇය ආදරය ලබන්නට ආත්මාර්ථකාමී ය.ඒ පිරිමින්ට මෙන් ආදරය ඔවුන්ගේ ජීවිතයේ එක කොටසක් පමණක් නොවෙන නිසාය. ගැහැණුන්ට  ආදරය ඔවුන්ගේ ජිවිතයමය.මගේ ගැහැණු සිතද එය හොඳින්ම හැඳිනීය.

"එයා එයාගෙ ඔෆිස් එකෙ ගෑණු ළමයි එක්ක වුනත් ඕනෑවට වඩා ලං වෙනවට මම ආස නෑ.. යාළුවො තමයි.. ඒත් මමත් ඉස්සර එයාගෙ යාළුවෙක්. ඊටපස්සෙයි අපිත් ආදරේ කලේ..."

ඇය තව තවත් චෝදනා කරන්නට විය. ඇගේ සිත ඔහු කෙරේ තිබෙන ආදරය තරමටම, ඉරිසියාවෙන්ද පිරී තිබිණ.
"ඔයා හිමත් එක්ක රණ්ඩු කරන්න එපා.. ඔයා එයාට ආදරෙන් පැහැදිළි කරන්න, ඔයාට ඉරිසියා හිතෙන දේවල් කරන්න එපා කියන්න.."
"මම කිව්වා ජානූ. මම එයාට කිව්වා...ඒත් එයා කියන්නෙ මම සැක කරනවා කියලා. එයාගෙ යාළුවොලු ඒ.."
"හ්ම්ම්..."
"මම දන්නවා. හිමත් මාව දාල යන්නෙ නෑ.. එයා මට හුඟාක් ආදරෙයි.. අපි දැන් අවුරුදු ගානක් තිස්සෙ අවබෝධෙන් ඉන්නෙ. ඒත් මට එයාගෙ එක හිනාවක්වත් තව කෙල්ලෙක්ට  බෙදලා දෙන්න හිතෙන්නෙ නෑනෙ..මට ලෝබයි.."
"පාලනය කරගන්න නිම්මි.. අපිට පිරිමියෙක්ව එහෙම බැඳලා තියාගන්න බැහැ. එතකොට පිරිමින්ට එපා වෙනවා.. නිදහස නැති කලා කියලා හිතනවා..."
"මම එහෙම කරන්නෙ නෑනෙ.. මම එයාට නීතී දාලා නෑ..දාන්නෙත් නෑ.. ඒත් මම ඉල්ලන්නෙ එයාගෙ සම්පූර්ණ attention එක විතරයි...That's all I want."
I know.. I know...ඒත් ඒකට රණ්ඩු කරලා පලක් වෙන්නෙ නෑ.. ඒකෙන් වෙන්නෙ එයාට උඹ ගැන තියෙන ආදරේ අඩුවෙන එක..."
"ඔව් මෙහෙම ගියොත් අපි වෙන්වෙයි..."
"පිස්සි මේ අහපන්..,හරකෙක් වුනත් බඳින්න ඕනෙ ළණුව ටිකක් දිගට තියලා.., බෙල්ල ලඟින්ම තද කරලා බැන්දාම ඌ බලන්නෙ කඩාගෙන යන්න...ඌටත් නිදහසේ තණකොළ ටිකක්වත් කන්න පුළුවන් වෙන්න ,සීමාවක් අතුළත ,ඕනෙ බඳින්න.එකොට ඌ උගෙ සීමාවෙ ඉදගෙන තණකොළ  කකා ඉන්නවා.. කඩාගෙන යන්න හදන්නෙ නෑ..."
හිමත් හරකෙක් කියලා කියනවා නෙවෙයි මම" නිම්මි මගේ කකුලට පහරක් ගැසීය.හීන් හිනාවක් ඇඳුනු ඇගේ මුහුණ දෙස බලා හුන් මට මද සහනයක් දැනිණ.
"එයාටත් පොඩ්ඩක් නිදහසේ ඉන්න දීපන්.. .."
මම ඇයට කිව හැකි සරලම ආකරයෙන් පැහැදිලි කරදුනෙමි. එහෙත් කියනවාමෙන් එය පහසු නොමැති බව මා ද දනිමි. නමුත් අවස්ථානුකූලව ඇගේ සිත තවත් කුලප්පු කරනවාට වඩා , නිවීම  නුවණක්කාරයැයි හැඟින.
"මම දන්නෙ නෑ ජානු..මට ඕනෙ එයා මගෙම විතරක් වෙන්න, මුළු ලෝකෙටම නරක් වුනත් කමක් නෑ මට හොඳ නම්.., මම ආසයි එයා මං ගැන ඉරිසියා වෙනවානම්... එතකොට මට දැනෙනවා එයා මට ආදරෙයි කියලා..ඒක relationship එහෙක තියෙන්න ඕනෙ දෙයක් ජානු.. උඹට එහෙම හිතෙන්නෙ නැද්ද?"
ඇය පවසන්නෙ සියයට සියයක්ම සත්‍යය. මොහොතකට මා ඇය වුනිනම් කුමක් කරාවිදැයි සිතන්නට වුණෙමි. සැබැවින්ම එය  වේදනාවකි. හද පෙළන ,දවන, පුපුරු ගසන කැක්කුමකි. ආදරය නාමයෙන් එය බොහෝ වේදනාකාරී හැඟීමකි.

මා පෙම්කරන ඔහු, මා නොසළකා වෙන ගැහැණුන් හා සුරතල් වෙනු දැකීම කිනම් ගින්නක්ද.., ආදරය උතුරන  හදවතකට එදෙස  උපේක්ෂාවෙන් බැලීමට නොතේරේ.. 

"ප්‍රේමතෝ ජායතී සෝකෝ
ප්‍රේමතෝ ජායතී භයං
ප්‍රේමතෝ විප්පමුත්තස්ස
නත්ථීසෝකෝ  කුතො භයං..." 
ධම්ම පදයේද එසේ ලියැවී ඇත්තේ ඒ නිසාමය. ප්‍රේමය නිසා ශෝකයද භයද උපදී.. අහිමි වීමේ භය, තවෙකෙකුට අයිතී වේ දැයි සැකය, අහිමි වීමේ වේදනාව..,ලබා ගැනීමේ තෘෂ්ණාව, බෙදා ගැනීමට නොහැකියාවේ ඊර්ෂ්‍යාව.., මේ සියල්ලම ප්‍රේමයේ අතුරු ඵලයන්ය..

"ඒක නෙවෙයි අන්න පොර එනවා.." ඇය ක්ෂණිකව මගේ අත කෙනිත්තීය..
"ක්..කාවු..ද?"
"උඹේ crush එක."
"පිස්සුද?"
කාර්‍යාලයේ මගේ ප්‍රියතම පුද්ගලයා ක්ෂණිකව මතු වන්නට විය. ඔහු සැමටම "Good Morning " කියා සිනහවකින් සංග්‍රහ කර, අවසානයේ මදෙස බැලීය.ඇස් ගනණාවක් පසු කර අවසානයට මගේ දෑස් හසු කරගත් ඔහු කෙරෙහි මට තෘෂ්ණාවක් ඇති විය.
"ඇයි එයාට ඉස්සෙල්ලම මගේ දිහා බලන්න බැරි වුනේ?" මා සිතින් ඔහුට දොස් පැවසීය.නිම්මි ගේ වර්තමාන තත්වය, ඇගේ සිතැඟි දැන් මට අවබෝධවන්නට, දැනෙන්නට විය. ඔහු මගේ පෙම්වතා නොවුනත් , මට මෙලෙස සියුම් ඊෂ්‍යාවක් උපදිනවානම්.., ඇගේ පෙම්වතා වෙනුවෙන් ඇය කෙතරම් කණසල්ලු වෙනවා ඇත්දැයි මට වැටහින.

ඔහු ඊලඟට ක්ෂණිකව රාධිකා සමඟ ආගිය තොරතුරු දොඩන්නට විය.යාඑගේ කිසිදූ ආරාධනාවකින් තොරව ඔහු ඇය හා කතාවට වැටිණ.අනෙක් සියල්ලෝමද ඔහුගේ වසඟයට ගෙන ඔහු සියළු කතාන්දර කියවාගෙන යන්නට විය.මගේ සිත නොසන්සුන් විය.

"ශ්‍යාමා.., Where's that project files??Can you please bring them to my cabin?"
"Okay Mr.Thenuwara"
ඉන්පසු ඔහු මා විසින්  සාදා නිම කරන ලද වයාපෘති ලිපි ගොනු කිහිපයක් ගැන ශ්‍යාමාගෙන් විමසුවේය. 
මගේ හිත දැවෙන්නට විය. මා ප්‍රියතම ඔහුගේ ඇසුර, මට අයිති වචනයකින් හෝ මඟ හැරෙනවාට මගේ හිතද අකමැතිය.

"දැන් ශ්‍යාමද ප්‍රොජෙක්ට් ප්‍රොපොසල්ස් හදන්නෙ මමද?" මට කියැවිනි.
"අන්න දැක්කාද, ජානු..උඹට ඉරිසියා හිතුනා නේද? එයාට ඕක ශ්‍යාමගෙන් අහන්නෙ නැතුව උඹෙන් අහන්න තිබුණෙ නැද්ද? ඒකතමයි ජානු මම කියන්නෙ.. ගෑණූ අපේ හිත් පුංචි දේවලටත් ලෝබයි... බලපන්.., මම විතරක් නෙවෙයි දැන් උඹත් ඉරිසියාකාරියක්..."


ඇයට පමණක්ම හිමි
ඇගේ පමනක්ම වුනු
ඇය පෙම් බඳින ඇයට පෙම් බඳින
ඔහු ගැන සුසුම් ලන ඇය,
ප්‍රේමවන්තියක්  නෙවෙයිලු දැන්,
ඉරිසියාකාරියක්ලු......

කාටවත් අයිතියක් නැති

කාගෙවත් අයිතියක් නැති
මගේ කියලා හිතන් උන්නු..,
"නුඹ" ගැන......,
ආදර කවි ලියන මම ත්,
හිතුවක්කාරි නෙවෙයි දැන්
ඉරිසියාකාරී ලු..............


                                       ෴නිමි෴


Post Comment

01 May 2014

~දෙහදක හමුවීම~

♫♪සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
...♫♪


සවිත්මා ගේ ප්‍රියතම ගීතය ශාලාව පුරා රැව්දෙන්නට විය.ඇගේ හදවතේ මෙන්න මෙතනයැයි කිව නොහැකි කොහේදෝ ගැඹුරු තැනක සිට සියුම් වේදනාවක් පැතිරී යනවා මෙන් ඇයට දැනෙන්නට විය. එදා පටන්ම හදවත සනසවන ඇගේ ප්‍රියතම ගායකයාගේ ඈ වඩාත්ම ප්‍රිය කරන ගීතය, ඔහු ගයමින් සිටින්නට විය. 
ඇගේ දෑස් ඉදිරියේම සුපුරුදු සංයමයෙන් ඔහු රසික හදවත් නැළවීය.ඒ වන විටත් ඒ අපූරූ අද්වීතීය ගායකයාගේ ස්වරයෙන් ඇගේ හිත මත් වී අවසන්ය.මුරණ්ඩු හිත අතීතය සොයා ඉගිල්ලෙන්න දරන වෑයම ඇය මහත් ආයාසයෙන් වළකන්නට උත්සාහ දැරුවද ඒ වෑයමද පුස්සක් විය. 
"මගේ හිත කවද්ද මට ඕනෑ දෙයක් කළේ?" අවසානයේ ඇය ඇගේ හිතුවක්කාර හිතට පැරදුණි. 
හරියටම මීට අවුරුදු 2කට පෙරත්, ප්‍රියතම ගායකයාගෙ ගීත ප්‍රසංගයක් නැරඹීමට මේ ශාලාවටම ඇය ආදරේ කළ "ඔහුත්" සමඟ ආ හැටි ඇයට සිහි විය.දෙදෙනා එක්ව ගෙවූ අතීත මතකයන් ඇගේ මනසේ මැවෙන්නට විය.ඇගේ නිබන්ධන පිටු අතර ඔහු හොරෙන්ම කවි ලියා තබපු යුගයක් තිබිණි.ඇගේ ප්‍රියතම ගායකයාගෙ ගීත ඔහු මුමුණපු යුගයක් තිබිණ.මෙලෙසින් ඇගේ පළමු පෙම්වතා ඇගේ සිත අතීත සාගරයෙහි තව තවත් ගිල්වන්නටම විය. 
තදින් ප්‍රේමයේ  වෙලී හිඳ වෙන්වූ අයෙකුට පොදු ධර්මතාවයක් නම්, විරහ  ගීතයක්.., හදවතට දැනෙන ගීතයක් රසවිඳින විට සියළු අතීත සිහිවටන මතකයට නැඟීමය.සවිත්මාටත් එය එලෙසම වන්නට විය.
ප්‍රේමය මෙසේ විටෙක මතක් කර කර විඳින්නට හැකි රසවිතකි, එහෙව් ප්‍රේමයම විටෙක මතකයට නැගෙන වාරයක් පාසා වේදනා දෙන මනෝමය තුවාලයකි.සමහරවිට කිසිදා සුවපත් නොවෙන,සිහින් සුළං රැල්ලකටද පුපුරුගහන කරුමක්කාර තුවාලයකි.

ගීතයේ මියුරු පද ස්වර සංකල්පනා අතර ඇය අතීතයේ සැරිසැරීය.ගීතයේ දුක්බර ස්වරය ඇගේ නිදන්ගත වියෝදුක අවදි කරවීය.
♫♪ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය...♫♪


දෛවය සිතූ පරිදි ඔවුන් එක් කලේ නැත.ප්‍රේමයේ මිහිරි දුක දෛවයේ උරුමයෙන් ඇයට හිමිවිය.දෛවයට දොස් පවරා වැඩක් නැත. යමක් උරුමනම් ලබා දීමත්, උරුම නොමැතිනම් අහිමි කරවීමත් පමණක් දන්නා දෛවයද අසරණය.ප්‍රේමය දැන් ඇගේ ජීවිතෙන් බොහෝ ඈත්ව ගොස් හමාරය.ඇය, පිළිස්සෙන බව දැන දැනද, ප්‍රේමයේ පහන් සිළුවට ලොබ බඳින පළගැටියෙක් පමණි.
"නියමයි සර්... නියමයි... Superb!!! මගේ ආසම සිංදුවක්.. You are the best sir!! You are the best!!"
ඇගේ සිතුවිලි  දැහැන බිඳ වැටින. ප්‍රියතම ගීතය නිම වෙත්ම, මුළු ශාලාව පුරාම රැව් දුන්නේ එකම හඬකි.  අත්පොළොසන් දීමට පවා අමතක වූ ප්‍රේක්ෂක ජනයාගෙ ඇස් ඇය දෙසට එල්ලවී තිබෙන්නාක් මෙන් පෙනින. දිගු නින්දකින් අවදිවූවාක් මෙන් තෘෂ්ණිම්භූතව සිටි ඇයට තවත් තත්පර කීපයකින් පසුව පෙනුනේ, ඇයට යාබද අසුනේ හිඳගෙන හුන් තරුණයෙක් සිය අසුනෙන් නැගිට මෙසේ කෑගසන ලද බවය. 
ඔහුගේ උද්යෝගමත් කෑගැසීමෙන් අනතුරුව ශාලාව  පුරා අත්පොළොසන් වරුසාවක් නොනවත්වාම ඇසෙන්නට විය.එහෙත් ඇයට නම් අත්පොළොසන් දීමට පවා අමතක විය. 

"පිස්සු කොල්ලෙක්!! ඔක්කොම මිනිස්සු බලාගෙන. මාත් වාඩි වුනේ මාර තැන.."
සවිත්මා ඇයටම දොස් පවරාගන්නට වූයේ, ඇයට යාබද අසුනේ වූ තරුණයාගේ උද්දාමය හේතුවෙන් ඇයටද ලැජ්ජා වන්නට සිදුවූවා යැයි සිතාය.කිසිවෙකුත් ඇය හා ප්‍රසංගය නැරඹීමට නොපැමිණි හේතුවෙන් ඇය පැමිණියේ තනිවමය.තමා කෙලෙස පැමිණ ඔහු ළඟින් අසුන් ගත්තාද, ඔහු කෙළෙස පැමිණ තමා ළඟින් අසුන් ගත්තාද කිසිවක් ඇයට මතක තිබුණෙ නැත. කෙසේ හෝ ඔවුන් දෙදනා එක ළඟ  අසුන් වල හිඳගෙන තිබිණ.
ඔහූ මහා වීරකමක් කළ අයෙකු මෙන්, දිළිසෙන තෙත් ඇස් කරකවමින්, ආඩම්බර සිනහවකින් මුව සරසාගෙන ඇය දෙසට බැල්මක් හෙලීය. සවිත්මාට  සිනහ නොවී සිටීමට බැරිවිය. කවදත්  සුන්දර ඇගේ සිනහ පොදක් ඔහුට තෑගි කළ ඇය නැවතත් වේදිකාව දෙසට දෑස් යොමු කළාය.

♪♫හිත පුරා මල් පිපුන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්.....♪♫

තවත් ගීයක මියුරු හඬ රැව්දෙන්නට විය.. ඇගේ දෑස් කොනකට ඔහුගේ බැල්මක් හසුවිණි. ඒ සමඟම කුමක්දෝ සිතුවිල්ලක් ඇයට ඔහු දෙස බලන්නට බල කරවීය.
ඇගේත් ඔහුගේත් දෑස් තත්පර කීපයකට දොඩමළු විය. කුමක් හෝ නොපෙනෙනා බලවේගයක් ඔවුන්ගේ හදවත් එකිනෙකට බන්ධනය කරන්නට ඇත. තත්පර  කටුවේ තවත් මන්දගාමී වටයකට පසුව, ඔහු හඬ අවදි කරන්නට විය.

"හායි.., මම සදීප්.." ඔහුගේ නිර්ව්‍යාජ සිනහව ඇගේ සිත නොසන්සුන් කරත්ම, ඒ ගැඹුරු හඬ ඇගේ නිදන්ගත ගැහැණු සිත අවදි කරවීය.බාගෙට වැවුණු රැවුලත්, සිහින් තියුණු දෑසුත්, සිනහවෙන විට වළ ගැසෙන කම්මුලුත්  ඔහුගේ කඩවසම් බව වැඩි කරමින් පෙන්වීය.
"මම සවිත්මා.." ඇය නොසැලී එහෙත් සැලෙන  හඬ අවදි කළාය.
"මම පිස්සෙක් වගේ කෑගැහුවානෙ.. " ඔහු ළදරු සිනහවකින් මුව සරසාගෙන බොහෝ කලක් සිට හඳුනන්නෙකු මෙන් දොඩවන්නට විය.
ඇගේ සිත තවත් සැළින.
"කාලාන්තරයක් තිස්සෙ දන්නවා වගේ කතා කරන්නේ.." ඇය තනිවම කියවීය.
"ඇයි  ඔයා තනියම ආවෙ කියල මම අහන්නෙ නෑ..මිනිස්සුන්ට තනිකම ජීවිතේට ඕනේ. අනික මේ වගේ ෂෝ  එකක් බලන්න තනියම එනවා  කියන්නෙ හිතට සනීපයි.." ඔහු සියල්ල අනුමාන කර, ඔහුම ප්‍රශ්න අසමින් ඔහුම උත්තර දෙමින් කතා කළේය.
"හ්ම්ම්.. කවුද කිව්වෙ මම තනිවම ආව කියල?" 
"හඃඃහාහා...." උත්තරයක් වෙනුවට ඔහුගෙන් ඇයට ලොකු හිනාවක් ලැබිණ.
"ඔයාගෙ ඇස් තනිකමෙන් ගිලිලා.... " ඔහු ඇගේ ඇස් වල කිමිදෙමින් ඔහේ දොඩන්නට විය...
ඇගේ ඇස් විශ්මයෙන් විසල් විය. කොහේදෝ සිට පැමිණි මේ ඉළංදාරියා ඇගේ හිත නොසන්සුන් කරන්නට විය.කලකට පෙර ප්‍රේමය පමණක්ම සංසරණය වූ ඇගේ රුධිර නාළිකා  , නැවත ප්‍රාණවත් වූවාක් මෙන් ඇයට දැනෙන්නට විය. 
"මම විහිළු කළේ.. සීරියස් ගන්නෙපා එච්චර.. මම පිස්සෙක්.. ඔයාට තේරෙනවානෙ.."
"අපෝ ඔව්.." ඇයට එවරනම් සිනහ නොවී සිටින්නට බැරි විය. මේ අපූරු තරුණයාම ඔහුට පිස්සෙකු යැයි කියාගන්නා හැටි ඇයට සිනහ නැංවිය.
"ඇත්තටම මම මාර ආසයි මේ සිංදු වලට, මම හුඟාක් සතුටින්.. මගෙ ආසම ගායකයෙක්... ආසම සිංදු ටිකක් අද කියන්නෙත්."
"මගෙත් ආසම ගායකයා.. ඒකනෙ තනියම හරි ආවෙ"
"හහහ්හාහ්හා.. තනිකම තරම් ජීවිතේ විඳීන්න තවත් අවස්ථාවක් නැති තරම්..හා නැද්ද මං කියන්නෙ? " ඔහුගේම ප්‍රශ්න. ඔහුගේම උත්තර.. ඇය තව තවත් නොසන්සුන් වන්නට විය.

 "මිනිහෙක් තමන්ගෙ ජීවිතෙ ගැන  හිතන්න පටන් ගන්නෙ තමන් තනි වුනා කියල දැනුනාම.. එතකන් මිනිස්සු කරන්නෙ හැම මොහොතකම තමන්ගෙ ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත උඩ අත අරින එක.."
"හ්ම්..." 
"මම හිටපු ගමන් ට්‍රැක් පනිනව... පිස්සු කියෝනවා.. සීරියස් වෙනවා..ආයෙත් පිස්සු කියෝනවා.... ගනන් ගන්නෙපා.ඒ මගෙ හැටි " ඔහු නොනවත්වා කියෙව්වේය... එහෙත් ඒවා අසන්නට ඇයටද ප්‍රියජනක විය.. ඇගේ ප්‍රියතම ගීත පසුබිමෙහි, මේ ආගන්තුකයාගෙ සැනසිලි වදන් ඇයව කුමක්දෝ නාඳුනන හැඟීමකින් පෙළුවාය.

♪♫♪කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...♪♫


පසුබිමෙහි ගැයෙන විරහ ගීතය ඔහුගේ සිත් ගෙන තිබිණ. ඔහු දෙඇස් සිහින් කරගෙන, දැහැනකට සම වැදුනාක් මෙන් වේදිකාව දෙසම බලාගෙන සිටියේය. ඇගේ ඇස් ඔහු දෙසටම ආකර්ෂණය වූයේ නොපෙනෙන බලවේගයක් විසින් ඇති කල ඔවුන්ගේ හදවත් බන්ධනයේ අතුරු ඵලයක් ලෙස මෙන්ය.
"දන්නවද, මම කාලයක් මේ සිංදුව මගෙ ජීවන ගීතෙ කරගෙන හිටියෙ. " ඔහුගේ මුහුණ වඩාත් හැඟුම්බර විය. පෙරටත් වඩා තියුණු ඇස් වලින් ඔහෙ, ඇය දෙසම බලාගෙන කියවන් යන්නට විය. 

" අපි හරි මෝඩයි වෙලාවකට.., අපි ජීවිතේ බලපොරොත්තු උඩ බලාපොරොත්තු ගොඩ ගහනවා... එකකට එකක් බද්ධ වෙච්ච බලාපොරොත්තු..අන්තිමට මුළු ජීවිතේම ගොඩ නැගෙන්නෙ එක බලාපොරොත්තුවක් මත්තෙ .." ඔහු බොහෝ බැරෑරුම් ලෙස ජිවිතය කියවන්නට විය. ඇගේ සිත, ඔහුගේ ජීවිත දැක්මෙන් උමතු විය..

"එක බලාපොරොත්තුවක් බිඳුනාම අනිත් ඔක්කොම බිඳෙනවා...එතකොට අපිට දුක වැඩි.." ඇගේ සිත අත්දැකීමෙන් දැනුන දුක්බර මතක අවදි කළාය.
" හැබැයි සමහර  කාල තියෙනවා ජීවිතෙ.., අපි ආපස්සට හැරිලා බැලුවහම අපිට හිතාගන්නවත් බෑ අපි එහෙම ජීවත් වුනාද කියලා"
"ඔයා  පිස්සෙක් වගේ පෙනුණාට පිස්සුම නෑනෙ.. ජීවිතේ ගැන හෙන සීරියස්.."
"නැතුව.... අපිට අපේ ජිවිත ගැන සීරියස් වෙන්න ඕනෙ වෙන්න ඕනෙ වෙලාවට සීරියස් වෙන්න බැරි නම් වැඩක් තියෙනවාද?"

ඇය කවදත් "සීරියස්" චරිත වලට ප්‍රිය කළාය. බොහෝ කෙළිලොල් ව දිවි ගෙවෙන මිනිසුන් හදවතින් අතිශය ගැඹුරු බව  ඇය  අත්දැකීමෙන් දැන උන්නත්, මේ ආගන්තුක තරුණයා පැය කීපයක් ඇතුළත ඇගේ සිතෙහි ලැඟුම් ගන්නට හැකි වේයැයි සිතුවේ නැත. ආගන්තුක පිරිමි හිතකට මෙලෙස පහසුවෙන් ළං වීම ගැන  සවිත්මාගෙ සිත ට බියක් දැනිණ. එහෙත් ඔහු බොහෝ අවංක, නිහතමානී, අව්‍යාජ තරුණයෙක් බව ගත වූ පැය කීපයෙන් ඇයට අවබෝධ වන්නට විය. ඒ නිසා ඇගේ සිතට සතුටක් දැනිණ. 
කපටි මිනිසුන්, හොඳ මිනිසුන් වෙන් කර හඳුනා ගැනීමට තරම් පැසුණ, මුහුකුරා ගිය දැනුමක් ඇයට නොතිබුණද, කුමක් හෝ වාසනාවකට ඇය ඔහු හා නොබියව දොඩමළුවන්නට ගත් තීරණය වාසනාවක්ම විය.

ප්‍රසංගය අවසානයේ, ඔවුන්ගේ ප්‍රියතම ගායකයා සමඟද වදන් කීපයක් හුවමාරු කරගැනීමෙන් පසු දෙදෙනා එකට ශාලාවෙන් පිටවිය.

"ඔයා කොහෙටද යන්නෙ සවිත්මා?"
"මම රුක්මල්ගම.."
"අහ්හ් ළඟනෙ. මම නම් කැළණියෙ..."
"ම්ම්..."ඔහුගෙන් වෙන්ව යාමට සිත පැකිළෙන්නක් මෙන් සවිත්මාට දැනෙන්නට විය. ගත වූ සුළු කාලයට ඇය ඔහුගේ කතා බස් වලට  ආකර්ෂණය වී හමාරය. 
සදීප් ටද එසේ නොදැනුනා නම් පුදුමයකි. ඔහුට ද ඇගේ  සුන්දර මුහුණ, සුරතල් කතා බහ, තැන්පත් ගමන් විලාශය.., තව තවත් දකින්නට විඳින්නට ආශවක් ඇති විය. වදන් පිට නොවූවද ඔවුන්ගේ සිත් දොඩමළු වී හමාරය. එය ප්‍රේමයද, ආකර්ෂණයද, ආශාවද.., කුමන කැටගරියකට අයත් ද නොදන්නා හැඟීමකි. කුමක් ලෙස හැඳින්වීද.., එය  අතිශය පිවිතුරු අවංක බැදීමක ඇරඹුමක්ය.

"අපි මොනා හරි බීලා යමුද?" අවසානයේ සම්ප්‍රදායානුකූලව පුරුෂ පාර්ශවය පළමු පියවර තැබීය.. ඇගේ ගැහැණු සිත බලාපොරොත්තුවෙන් දැවෙමින් හුන් ඇරයුම ලැබිණ. දෙවරක් නොසිතාම ඔහු හා දොඩමළුවන්නට එකඟ වුනු ඇය හා ඔවුන් දෙදෙනා අවන්හලකට පියවර තැබීය.
අහඹු හමුවීමක් ලෙස එදින ආරම්භ වු  ඔවුන්ගේ කතාන්දරය, ප්‍රේම වෘත්තාන්තයක් ලෙසින් ටික කාලයකට පසුව තවත් රසවත් විය. දුරකථන අංක  හුවමාරු වීමත්, මූණු පොතෙන් තවත් ළං වීමත්., ඉන් පසුව ඔවුන්ට ඔවුන්  නැතිව බැරි  තරමට  ඒ හදවත් ප්‍රේමයෙන් බැදී තිබිණ.
අහම්බෙන් ජීවිත වලට පැමිණෙන සමහරක් මිනිසුන්, ඒ ජීවිත විනාශ කර පලා යති.ඒ දෛවයේ හැටිය. දෛවය එකවරම මල් වස්සන්නේ නැත. 
අනෝරා වැසි.., චණ්ඩ මාරුත., අකුණු සැර , ගංවතුර වැනි බොහෝ විපත් අවසානයේ සිහින් ආශිර්වාද මල් වැස්සක් වස්සන අවස්ථා අනන්තවත් ඇත.  දෛවයද එසේමය.ජීවිතයද එසේමය. එකවරම මල් සියයක් පිපෙනවාට වඩා නියඟයක්.., කුණාටුවක්.., මහා වරුසාවකට පසුව එකම එක මලක් පිපෙනවා දැකීම සතුට වැඩිය.
සවිත්මාගේත්, සදීප්ගේත් ජිවිතද එසේමය. ප්‍රේමයෙන් පැරදී.., දුක් විඳ., හෙම්බත් වී සිටි ඔවුන්ට ., අවසානයේ මල් වැසි වැස්සීය.



ප්‍රේමය ඒ තරම් අපූරුය..ප්‍රේමයට තැනක් ,වෙලාවක් ,නියමයක් නැත. ඔවුන්ගේ අහඹු හමුවීම දෛවයේ කොහේ ලියවී තිබෙන්නට ඇත. වාසනාවන්ත ලෙස ඇය ඔහුවත්, ඔහු ඇයවත් සංසාරයේ කොහේ හෝ සිට පතාගෙන එන්නට ඇත. ප්‍රේමයේ දුක් ගැහැට විඳ, ආතුරව, තනිව හිඳ..,එහෙත් අහඹු ලෙස මුණ ගැසී අවසානයේ කෙසේ හෝ ප්‍රේමය දිනන්නට ඔවුන් සැබැවින්ම වාසනාවන්තයෝය.
                                 
                                                       නිමි.
                    ***************************
පසු වදන: ප්‍රේමයට බොහෝ අර්ථකථනයන් තිබිය හැක. එහෙත් ප්‍රේමයන්ම් ප්‍රේමයමය. කෙසේ හටගත්තාද, කෙලෙස අවසන් වෙනවාද පලක් නැත. පිච්ච්චෙන්නට උවමනානම් ගින්නට පැනිය යුතුමය.. 

"In life, love is never planned. It does not happen for a reason. But when love is real, it becomes your plan for life and your reason for living.Some times when you least expect it...., Love Happens

ප.ලි: මාස 11කින් විතර 2014 අවුරුද්දට ම ලියන පළවෙනිම ලිපිය. සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකේ මකුළුවො ටික එළවලා දාලා පොඩ්ඩක් එළි පෙහෙළි කරන්න හිතුවා. නැවත ආගමනය බලාපොරොත්තු වුන තරම් සාර්ථක නැහැ.  මාස ගානකට පස්සෙ ලියන ලියමනක් හින්දා අඩුපාඩු වලට කමා කරත්වා....බාගෙට ලියලා  ඩ්‍රාෆ්ට් එකෙ තියෙන ලිපි ටිකත් ඉදලා හිටලා හෝ ආයෙත් පළ  කරන්න හිතාගෙන ඉන්නෙ. :) එහෙනම් ජය වේවා!!

ප.ප.ලි: මේක සත්‍ය සිදුවීමක්.මේක මට කියපු රමිත ට හුඟාක්ම ස්තූතියි.ආයෙත් කතාවක් ලියන්න දීපු අදහස  හුඟාක් වටිනවා.100%ක්ම සාධාරණයක් ඉෂ්ඨ කරනන් බැරි වුනත්, මම හිතනවා මම තරමක් දුරට හෝ සාර්ථකයි කියලා. :)

Post Comment

09 June 2013

අවුරුදු දෙකකුත් වුනා!!!!!!



අවුරුදු දෙකකුත් වුනා.. කට්ටිය බලනවා ඇති දැන් මොකටද කියලා.. :D මොහොකටවත් නෙවෙයි, මේ බ්ලොග් කෙරුවාවට තමයි ඉතින්.

මීට අවුරුදු දෙකකට කලින්.., සම්පූර්ණයෙන්ම තැළිලා පොඩි වෙලා, තුවාල වෙච්චි හිතක් පෙරදැරි කරගෙන "කතා කරන කඳුළු" නමින් පටන් ගත්තු මේ බ්ලොග් එක, අද වෙද්දි හිතුවක්කාරිගේ හිත විදියට නොහිතපු දුරක් ඇවිල්ලා. ඒ ගැන මහා සතුටක්වත්,ආඩම්බරයක්වත්, දුකක්වත් නැති මේ වෙලාවෙ මට දැනෙන්නෙ අහිංසක ආත්ම තෘප්තියක් විතරයි.


අවුරුද්දක් ලබනකොටනම් පෝස්ට් 100ක් පළ කරගන්න පුළුවන් වුනත්, අවුරුදු දෙකක් ලබද්දි මට 200ක් ලියන්න බැරි වුණා.ඒත් හිමින් හිමින්,පරිස්සමට යන ගමනක සතුට, මට කලබලේට දුවලා නැති කරගන්න වුවමනා නැති නිසාම,මේ ලිවීමේ වේගය ගැන මම සතුටෙන්.

වැඩි දුර පල් හෑලි අනවශ්‍යයි..

ඇයි මම බ්ලොග් එකක් පටන් ගත්තේ?

එහාට මෙහාට වැනි වැනි මූණු පොතේ කඳුළු කතාන්දර ගොත ගොත උන්නු මට, "බ්ලොග්" කියන සංකල්පය ඇතුළෙ සැරිසරන්න හිතුනා. කාලය ගතවෙද්දි හිතේ තියෙන දේවල් ලියලා දාලා අමුතු සතුටක් ලැබුවා, කෙනෙක් දෙන්නෙක් හරි ඒවා කියෙව්වාම ඊටවඩා අමුතු හැඟීමක් දැනුණා. ඒ නිසා.., දිගටම. මොන මොනා හරි කුරුටු ගෑවා.

මම කවිකාරියක්වත්, ලේඛිකාවක්වත්..,සිංහල භාෂා විශාරදයෙකුවත් නෙවෙයි. ඒ වගේම,මම බ්ලොග් ලියන්නෙ සාහිත්‍ය ගැන උගන්වන්නවත්, ඉතිහාසය ගැන කියන්නවත්,භාෂා භාවිතය, ව්‍යාකරණ ගැන පැහැදිලි කරන්නවත්  නෙවෙයි.

මම බ්ලොග් ලියන්නෙ, මගේ සතුටට.

මට පුළුවන් විදියට, මට තේරෙන විදියට, අනිත් අයට තේරේවි කියලා හිතෙන විදියට.., මම ලිව්වා. ලියනවා.. ලියාවි.. ඒ අතරෙදි අඩු පාඩුවක්, වරදක් පෙන්වලා දුන්නොත්.., බොහොම නිහතමානිව ඒවා සළකා බැලුවා වගේම ඉදිරියටත් එහෙම කරාවි. ඉස්සරහට පුලුවන් විදියකට, ඉඩ ලැබෙන හැටියකට ලියන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ මට හිතෙන දේ. මට පුළුවන් විදියට.මගේ සතුට වෙනුවෙන්..

මොනාද මට බ්ලොග් ලිවිල්ලෙන් ලැබුනේ??

වැදගත්ම දේ ඒක තමයි. මේ බ්ලොග් එක කියන්නෙ මගෙ නම් ජිවිතේම නෙවෙයි. බ්ලොග් වලින් එහාට ගිය ලෝකයක් මට තියෙනවා.බැඳීම් තියෙනවා.නමුත් මේ බ්ලොග් එකෙන් මම සතුට වගේම..,

හරිම වටින මනුස්සකම් හුඟාක් හම්බකලා.

මේ බ්ලොග් එක හරහා හුඟාක් වටින සහෝදර බැඳීම් ඇති වුනා. එදා බ්ලොග් අවකාශෙට ආපු දා ඉඳන් මේ වෙන තුරුම, කිසිම වෙනසක් නැතිව, එකම විදියට මාත් එක්ක බැදුනු සහෝදර බැම්මක් මට තියෙනවා. අන්න ඒ දේ ගැන විතරක්, මම වුවමනාවටත් වඩා සතුටුයි. :Dඕනෙම කෙනෙක්ගෙ, ඕනෙම දේක, හොඳ ටික විතරක් අරන් නරක ටික බැහැර කරන්න පුරුදු වෙමින් උන්නු නිසා,බ්ලොග් අවකාශයටත් මම ඒ දේ ආදේශ කළා.

අවසාන වශයෙන්.., නම් ගම් විදියට මතක් කරන්න, ස්තූති කරන්න මහ හුඟාක් අය හිටියත්., කෙනෙක්ව හරි මඟ හැරුණොත් කියන බයට., නම් ගම් වලින් ස්තූති නොකරන්න තීරණය කළා.නම් ගම් වලින් මතක් කරන්න ගියොත්., කොච්චරක් නම් ඉන්නවාද?? :D

අවුරුදු දෙකක් තිස්සෙ මම ලියන විකාර හෝ අකුරු පේළි කියෙව්ව ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ වගේම ගල් මුල් එවපු, යෝජනා චෝදනා කරපු හැමෝටමත් ස්තූතියි.:D


අවසාන අවසාන අවසානම වශයෙන්..,
"හිතූ" කියලා කෙනෙක්ව උපද්දවලා රැක බලාගෙන.., අවුරුදු දෙකක් වෙනකම් පෝෂණය කළාට වගේම, ආදරේ කළාට .., දුකේදි සැපේදී ලඟින් උන්නාට,

හැම කෙනෙක්ටම ස්තූතියි!!!

Post Comment

30 May 2013

-ප්‍රේමණිය හොලිවුඩ්පුරය-

කාලෙකින් මට හිතුනා, මම ආසම කරන , මගේ  ලිස්ට් එකෙ උඩින්ම තියෙන ඉංග්‍රීසි චිත්‍රපටි කීපයක් ගැන සඳහනක් කරන්න ඕනෙ කියලා. මීට පෙර ~සිත් ගත් බොලිවුඩ්පුරය~ නමින්, මම ආස කරපු හින්දි චිත්‍රපටි ගැන ලිව්ව ,හින්දාම හොලිවුඩ්පුරයෙ මගෙ හිත නැවතුනු තැන් කීපයක් ගැනත් සඳහනක් තියන්න හිතුනා.

ඒත් පොඩි කාලෙ ඉදන් හින්දි බලන්න පිස්සුව තිබුනට, හින්දි චිත්‍රපටි බැලුවට, ඉංග්‍රීසි චිත්‍රපටි නම් එහෙම බැලුවෙ නෑ.ඉංග්‍රීසි චිත්‍රපටි වලත් මගේ වැඩිපුර කැමැත්ත නම් "ප්‍රේම කතාන්දර" තමයි.ඊළඟට කාටූන් චිත්‍රපටි.ඒත් ක්‍රියාදාම චිත්‍රපටි වගේම හොල්මන් චිත්‍රපටි වලට නම් කැමැත්තක් නැති තරම්. අද ලියන්නෙ, මම ආසම ආසම ආසම රොමෑන්ටික් චිත්‍රපටි 10 ක් ගැනයි.

1) A Walk To Remember(2002)-"අපේ ආදරේ හුළඟ වගේ..අපිට දකින්න බෑ..ඒත් හැම මොහොතකම අපිට ඒක දැනෙනවා.."
ඇත්තටම ඇස් වලට කඳුළු ගෙනාපු චිත්‍රපටියක්. Nicholas Sparks කියන සුප්‍රසිද්ධ ලේඛකයාගෙ/තිරපිටපත් රචකයාගෙ නවකතාවක් අනුව තනපු චිත්‍රපටයක් තමා මේක.Nicholas Sparks ගෙ නවකතා අනුව හැදුනු හැම චිත්‍රපටයක්ම වගේ මගේ ලිස්ට් එකෙ තියෙනවා. ඒ ප්‍රේම කතාන්දර වලට මම නම් පුදුම ආසයි. ( ඔය ප්‍රේම කතා නොදිරවන කස්ටිය නම් ඉතිං බනියි :p )
දඩබ්බර, හිතුවක්කාර, ඉස්කෝලෙටත් කරදරකාරයෙක් වුනු පිරිමි ළමයෙක්ට ලැබුණු එක්තරා දඬුවමක් නිසා, ඒ ඉස්කෝලෙම මුළුගැන්වුනු, අනිත් අයගෙ විහිළුවට ලක් වුනු, ටිකක් අමුතු පහේ ගෑනු ලමයෙක් එක්ක එකට වැඩ කරන්න, කතා බහ කරන්න සිද්ධ වෙනවා... අන්තිමට නොහිතපු විදියට ඒ දෙන්න ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත්.. හරිම සංවේදී අවසානයක් සටහන් කරන චිත්‍රපටියක් මේක. :( ආයෙ ආයෙ  බලන්න හිතෙන තරමට, මට නම් මේ චිත්‍රපටිය බොහොම හිතට දැනුණා.
“Without suffering, there'd be no compassion.” 
― Nicholas SparksA Walk to Remember


2)The Notebook(2004) - "මට ඔයාව ඕනෙ. ඔයාවම. ඔයයි..,මමයි..,හැමදවසකම...."


Nicholas Sparks ගෙ තවත් ලස්සනම කතාවක්. චිත්‍රපටියෙ අවසාන ය මට තවමත් මැවිලා පේනවා. ආදරේ තරමටම, හිතට  දැනෙන සංවේදිකම උපරිමයටම තියෙන තවත් චිත්‍රපටියක්.
බොහෝ කාලයකට පෙර, කානිවල් එකකදි මුණගැහෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් ආදරෙන් බැඳෙනවා. ඒත් හැම ආදර කථාවකටම වගේ මේ කතාවටත් බාධකයක් එනවා. ඒ තමයි, පංති බේදය.ඒ නිසා ගෑණු ළමයාගෙ  ගෙදරින් අකමැති වෙනවා. ඒ හින්දාම ඇස් වලට කඳුළු  නංවෙන  විදියට එයාලාට වෙන් වෙන්න වෙනවා..

මේ කතාව ලියැවිලා තියෙන්නෙ පොතක., මේ පොත මහළු නිවාසෙක ඉන්න මහළු මනුස්සයෙක්, හැමදේම අමතක,ඒ කියන්නෙ මතකය අමතක වුනු මහළු ගැහැණු කෙනෙක්ට , කතාවක් කියන විදියට කියවනවා.
එහෙම තමා  චිත්‍රපටිය පටන් ගන්නෙ. .., අවසාන හරියෙදි මෙ සිද්ධි එකිනෙකට සම්බන්ධ වෙනවා. සැබෑ  ආදරේ කවදා හෝ ජය ගන්නවා කියලා විහිළුවට වගේ කිව්වාත්, මේ කතාවෙ අන්තිමට බලන අයගෙ හිත් හිරිවට්ටලා ,ඔවුන් දෙදෙනා එකටම අවසන් හුස්ම හෙලනවා..මටනම් උපරිමේටම දැනුන  චිත්‍රපටියක්!!
“Every great love starts with a great story...” 
― Nicholas SparksThe Notebook


3)Message in a bottle(1999)-"අතීතය වෙනුවෙන් ජීවත් වෙනවාද? අනාගතේ වෙනුවෙන් ජීවත් වෙනවාද? "


රොමෑන්ටික් ෆිල්ම් වලට කැමති කෙනෙක් නම්., බලන්න ඕනෙ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටියක්. සුපුරුදු ප්‍රේමණිය ලේඛකයා Nicholas Sparks ගෙ රචනාවෙන් නිර්මාණය වුනු මෙ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ, පුවත්පතක සේවය කරන , විවාහයෙන් වෙන්වී ඉන්න කාන්තාවක් වටායි. ඇය මුහුදු වෙරළේ ඇවිදින්න ගොස් සිටින අවස්ථාවක , ප්‍රේමණිය ලිපියක් දමා තිබුණු බෝතලයක් හමුවෙනවා. එම ලිපිය කියවා., ඇය තවත් එවැනි පණිවිඩ ගැන සොයා බලනවා. ඇයට තවත් එවැනි දෑ ගැන ආරංචි ලැබෙනවා.
ඉන්පස්සෙ ඇය එම ලිපි හරහා ලියන පුද්ගලයාව හොයාගෙන යනවා.ඔහු බිරිඳ මියැදුණු තනි පුද්ගලයෙක්. ඒ වගේම අතීතය ත් වර්තමානයත් අතර මහා අරගලයක් කරමින් ජීවත් වෙන.., ජීවිතේ සතුට හොයන පුද්ගලයෙක්.. අවසානය නරක නැහැ.
ලස්සන කතාවක්, බලන්න ආස හිතෙන චිත්‍රපටියක්...
“If you like her, if she makes you happy, and if you feel like you know her---then don't let her go.” 
― Nicholas SparksMessage in a Bottle


4)Dear John(2010)- "ආදරේ කියන්නෙ., අපි ආදරේ කරන කෙනා සතුටින් සිටිනවා දැකීම ද???"

ආදරේ මහ පුදුම දෙයක්., හැම ආදර කතාවක්ම කොතන හරි තැනකින් සමාන වෙන්න වගේම, වෙනස් වෙන්නත් පුළුවන්.Nicholas Sparks ආදරේ ගැන තවත් පැතිකඩක් ඔස්සේ ලියපු කතාවක්. 
ඔවුන් වෙරළ තීරයකදි මුණ ගැසෙනවා. සුපුරුදු විදියට හමුවීම ආදරයක් බවට පත් වෙනවා..ඔහු ජෝන්.නිවාඩුවට ගමට ආපු හමුදා සෙබළෙක්. ඇය සිසුවියක්. මෙ අතරතුරම ජෝන්,ඔහුගෙ පෙම්වතියගේ මිතුරන් සමඟ ගැටුම් ඇති කරගන්නවා. අවසානෙ කෙසේ හෝ ජෝන් නැවත යුධපිටියට යෑමට වෙන්වෙනවා. ඒත් ලිපි මඟින් දෙන්නාගෙ ආදරේ ගලාගෙන යනවා.හදිසියෙම ලැබෙන ලිපියක, ඇය වෙනත් කෙනෙක් හා විවාහ ගිවිසගත් බව පවසනවා.ඔහු ඇගේ ලිපි පුච්චනවා.ඔහුගෙ හිත බිදෙනවා.

හදිස්සියෙම ජෝන් යුද්ධෙන් තුවාල ලබනවා. කාලය ගත වෙලා යද්දි, එක් අවස්ථාවක ඔහුට පියාගෙ වියෝවටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විදියට ගලාගෙන යන කතාවෙ සංවේදි අවස්ථා ගොඩයි. ටිකක් ඉක්මණින් සිදුවීම් මාරු වන ස්වරූපයක් තිබුණත්.., ලස්සන චිත්‍රපටියක්..ලං වෙලා ඉන්නවට වඩා,, ඈත් වුනාම ආදරේ වැඩියෙන් දැනෙනවාදෝ කියලා ආයෙත් පාරක් හිතන්න පුළුවන් චිත්‍රපටියක්.

“Passion and satisfaction go hand in hand, and without them, any happiness is only temporary, because there’s nothing to make it last.” 
― Nicholas SparksDear John


5)The Lucky One(2012)-"හැමකෙනෙකුටම ඉරණමක් තියෙනවා..,මගේ ඉරණම ඔයා.."


ඊලඟට මම ආසම චිත්‍රපටියක් මේක. ඒකට හේතුව කතාව වගේම, මේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා ,Zac Efron නිසායි. :D හුරුබුහුටි නළු පොඩ්ඩා ;)

මේ කතාවත් යුද්ධෙ එක්ක පොඩි සම්බන්ධයක් තියෙන එකක්. යුද්ධෙදි මරණයට පත් නොවී බේරෙන සොල්දාදුවෙක්, ඔහුව මරණයෙන් ගලවගත්තු පින්තූරයෙ පෙනී උන්නු ගෑණූ ලමයාව සොයාගෙන යනවා.විවාහයෙන් වෙන්වුන දරුවෙකුත් සිටින කෙනෙක් තමයි ඇය. බල්ලන් ඇති දැඩි කරන, රැකබලාගන්න ස්ථානයක් පවත්වගෙන යන ඇගේ ස්ථානය සොයාගෙන ඔහු යනවා. එතැන නැවතිලා ඔහු වැඩ කරන අතරතුර, .... ඉතින් සුපුරුදු විදියට දෙන්නා ආදරේ කරන්න පටන්ගන්නවා. වැරදි වැටහීමකින් ඔවුන් වෙන් වෙන්න ගියත්, අවසානයේදි සුභවාදී විදියට කතාව නිම වෙනවා. 

ලස්සන, ප්‍රේමණිය චිත්‍රපටියක්. Nicholas Sparks ගෙ කතා වල, හැම මුණගැහීමක්ම, හැම අවසානයක්ම එකම නොවුනත්.., ප්‍රේමණිය ගතියනම් එකවිදියටම අඩුවක් නෑ.. 

“It was easy to idealize someone you barely knew.” 
― Nicholas SparksThe Lucky One


6)The Last Song(2010)-"මිනිස්සු අතින් වැරදි වෙනවා.... අපි ආදරේ කරන අය අතින් වුනත්......"


මේ චිත්‍රපටිය නම් Nicholas Sparks ගෙ නවකතාවට අසාධාරණයක් කලා කියලා සමහරු කියනවා. හැම කතාවකම ආදරේ වැඩිපුර ඉස්මතු කරලා තිබුනත්, මෙ චිත්‍රපටිය ඇතුලෙ ආදරේ එක්කම, පවුල හා බැඳුනු කතාන්දරයකුත් දිවෙනවා. ගිම්හාන නිවාඩුව ගත කරන්න පියා ලඟට යන ඔහුගෙ දුව "රොනී" ටත්, පුතාටත්.., මුහුණ දෙන්න වෙන අත්දැකීම් වටා තමා කතාව ගෙතෙන්නෙ.
පියා සමඟ අමනාපව , පියාව නොරිස්සන දුව "රොනී" පියාගෙ අක්මැත්තට මිස, කැමැත්තට වැඩ නොකරන තත්වයට පත් වෙනවා. 

ඔහු දක්ෂ පියානෝ ශිල්පියෙක් මෙන්ම, පුහුණු කරන්නෙක් වුනත්, රොනී පියා එක්ක තිබෙන තරහා නිසාවෙන්, පියානෝ වාදනයෙන් ඈත් වෙනවා. මේ අතරේ ඇය , තරුණයෙක් සමඟ ප්‍රේමයෙන් වෙලෙනවා. මෙ අතර එම ප්‍රදේශයේ පල්ලියක් ගිනිගැනීමෙ සිද්ධියකට රොනීගෙ පියාව , වැසියන් වරදකරු ලෙස හඳුන්වනවා.., මෙ විදියට ගලාගෙන යන කතාවෙ හදිස්සියෙම රොනීගෙ පෙම්වතා හා ඇයත් වෙන් වෙනවා., අවසානෙදි රොනීගෙ පියා රෝගී වෙනවා, ඇය ඔහුව රැකබලාගන්නවා වගේම නැවත වාදනය කරන්නත් පටන්ගන්නවා.

කොහොම වුනත්, අතිශය ප්‍රේමණිය ශෘංගාරාත්මක සිද්ධි සමුදායක එකතුවක් නොවුනත්.., බලන්න පුළුවන් ලස්සන, සංවේදි කතාවක් තමා මෙ චිත්‍රපටයෙත් තියෙන්නෙ.

“Sometimes you have to be apart from people you love, but that doesn't make you love them any less. Sometimes you love them more.” 
― Nicholas SparksThe Last Song



7)Letters to Juliet- "සමාවෙන්න.., මම දැනන් උන්නෙ නෑ ,ආදරේට කල් ඉකුත් වන දිනයක් ඇති වග.."


මේ කතාවත් අමුතුම ලස්සන කතාවක්, ලෝකප්‍රකට පෙම් යුවළක් වන රෝමියෝ ජුලියට් ජීවත් වුනා කියලා සැළකෙන ඉතාලියෙ එක්තරා නගරයක ස්ථානයක් හරහා තමයි කතාව ඇරඹෙන්නෙ. බටහිර අයගෙ පුරුද්දක් විදියට..,ආදරේ පිළිබඳව කුමක් හෝ ගැටළුවක් ඇති වුනාම, ඔවුන් ජුලියට් ට ඒ ගැන කියලා ලිපි ලියලා තියෙනවා.ඔවුන් එයට ඇගේ සහයිකාවන්ගෙන් හෝ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මේ අයට පිළිතුරු යවන්න වෙනම කණ්ඩායමකුත් සිටිනවා. ඉතින් මෙ කතාවෙ ප්‍රධාන චරිතය වෙන  Sophie ට , ඉතාලියෙ මෙම ස්ථානයට ගිය ව්ලාවක, හුඟාක් පරණ ලිපියක් හම්බෙනවා. ඇය ඒ ලිපිය කියවලා එයට පිළිතුරු ලියනවා. අවසානෙදි ඇය එම ලිපිය ලියපු තැනැත්තියට(හුඟාක් පරණ ලිපියක් නිසා, Sophie පිළිතුරු ලියා යවනවිට ඒ කාන්තාව දැන් වයස්ගතයි.) උදව් කරනවා. ඒ ඇගේ එකල පෙම්වතාව මුනගස්වන්න :D

 අමුතුයි නෙ?? ආදරේට කොහෙද වයසක්??


කොහොමහරි මේ විදියට ඔහුව හොයන් යන අතරේ, Sophie ගෙ ජීවිතෙත් වෙනස් වෙනවා. ඇයට අර වයස්ගත කාන්තාවගෙ මුණුබුරා  ප්‍රේම කරන්න පටන්ගන්නවා. එක චිත්‍රපටියක් ඇතුළේ ආදර කථා ගොඩක්. :D හරිම ලස්සනයි මේ චිත්‍රපටියත්. එපා නොවී එකදිගට බලපු, ලස්සනම ලස්සන කතාවක්.

ආදරේ කරපු.., වෙන් වෙලා ගියපු අය.., මැරෙන්න කලින් එකපාරක් හරි ආයෙත් මුණගැහුනාම?????

"Because the truth is, Sophie, I am madly, deeply, truly, passionately in love with you."
   -Charlie, Letters to Juliet

8)The Vow -"ජීවිතේදී, ආදරේ වෙනුවෙන් දෙවෙනි අවස්ථාවක් හොයාගන්න පුළුවන්ද..?"

මේ චිත්‍රපටියත් බොහොම සංවේදී චිත්‍රපටියක්. ආදරෙන් ජීවත් වෙන දෙන්නෙක්.., නොසිතූ විදියට රිය අන්තුරකට මූණ දෙනවා. මේ අනතුරෙන් තරුණිය Pagie ට දරුණු කම්පනය නිසා, මතකය නැති වෙනවා. කෝමා තත්වයට පත් වෙනවා.ඇයට ඇය ආදරේ කරපු,  එකට ජීවත් වුනු ඇගේ සැමියා Leo ව පවා අමතක වෙනවා. 

Pagie ගෙ දෙමව්පියො ඇවිත් ඇයව Leo ගෙන් වෙන් කරන් ඔවුන් ලඟට ගෙනයනවා. ඇයට මතක තිබෙන්නෙ පැරණි දේවල් පමනයි. ඉතින් Leo ට සිද්ධ වෙනවා ඇයගේ හිත දිනාගන්න, මතකය ලබාගන්න සටන් කරන්න. හරිම දුක හිතෙන අවස්ථාත් එක්ක අපූරුවට ගලාගෙන යන කතාවක්. 

ඇගේ මතකය අමතක විම එක්ක ඇගේ පැරණි පෙම්වතා ත් කරළියට එනවා :D ඉතින් Leo ට ප්‍රශ්න ගොඩයි. ඒත් අවසානෙදි Leo දිනනවා. ටිකක් පොදු තේමාවක් වුනත්., ලස්සනයි! 

"Life's all about moments of impact, and how they change our lives forever. But what if one day you could no longer remember any of them?"
-Leo, The Vow


9)Safe Heaven(2013)-"මම විශ්වාස කරනවා., ආදරේට තුවාල ඇති කරන්න වගේම, සුවපත් කරන්නත් හැකි බව..."


Nicholas Sparks ගෙ තවත් ලස්සනම ලස්සන ආදරණීය කතාවක් ඇසුරෙන් ගොඩනගපු චිත්‍රපටියක් තමයි මේ.ළඟදී නිකුත් වුන, අවසාන වතාවට මම බලපු ලස්සනම චිත්‍රපටියත් මේක තමයි.A Walk To Remember, The Notebook කියන චිත්‍රපටි දෙකෙන් පස්සෙ මම වැඩිපුරම ආස කරන කතාවක් තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ සමහර දර්ශන The Notebook චිත්‍රපටිය මතක් කරනවා.
කතාව මෙහෙමයි.., තරුණියක් ඉන්නවා, ඇය විවාහ වෙලා ඉන්නෙ පොලිස් නිළධාරියෙක් එක්ක, ඇය බලාපොරොත්තු වෙන්නෙ, බොහොම සුන්දර, අහිංසක, සතුටු ආදරයක් වුනත්., ඇයට සිද්ධ වෙන්නෙ ඇගේ ස්වාමිපුරුෂයාගෙන් හේතුවක් නැතිව පීඩා විඳින්න, ගුටි කන්න. ඔහු එක්තරා විදියක මානසික රෝගියෙක්. මෙ පීඩා ඉවසගන්න බැරිව ඇය ගෙදරින් පැන යනවා. පිටිසර සුන්දර ගම්මානෙකට ගිහින් සැඟවෙනවා.
එහෙදි ඇයට , බිරිඳ මියගිය, දරුවන් දෙදෙනෙක් සමඟ තනිවුන කඩවසම්, තරුණ පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහු ඇයට උදව් කරනවා, ඇය ගැන හොයා බලනවා. ඔහුගෙ දරුවනුත් ඇය සමඟ මිතුරු වෙනවා. අවසානෙ මෙ දෙන්නා ආදරේ කරනවා එකිනෙකාට.
ඒත් අර පොලිස් ස්වාමිපුරුෂයාගෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ. ඔහු ඇයව සොයනවා නගර ගම් පීර පීර. අවසානෙදි ඔහු ඇයව සොයාගෙන එනවා. නමුත් අවසානෙදි .., සුභවාදී විදියට සැබෑ ආදරවන්තයෝ දෙන්නා එකතුවෙනවා. හරිම ලස්සන, සංවේදී කතාවක්.
ආ.. මේ චිත්‍රපටියෙ රඟපාන ප්‍රධාන නළුවා Josh Duhamel ත් මම ප්‍රිය කරන නළුවෙක්. නිළියත් ලස්සනයි. බලන්න ආස හිතෙන චිත්‍රපටියක්., බලලා නැත්තම් මම කියනවාට බලන්නකෝ ;) :p

“Everyone has a past, but that's just it--it's in the past. You can learn from it, but you can't change it.” 
― Nicholas SparksSafe Haven



10)TITANIC(1997)-"මගේ හැම හීනයකම.. මම නුඹව දකිමි...."



මේ ගැන නම් කිසිම විස්තරයක් අනවශ්‍ය බව දන්නවා. මෙ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැතුව ඇති. ලෝකය පුරාම මරණීය වේදනාවක් එක් කලපු සිදුවීමක් හා බැඳුනු මෙ චිත්‍රපටිය සංවේදි හිත් කම්පා කරපු චිත්‍රපටියක් බව නිසැකයි. මට තාමත් මතකයි, TITANIC චිත්‍රපටිය පළවෙනි වතාවට බලපු දවසෙ වගේම, බලපු කීපවතාවෙදිම, ජැක් මිය යන දර්ශනයෙදි කඳුළු වළක්වගන්න බැරි වුනා. :( 

සම්මාන බොහෝ ගනනට පාත්‍ර වුන, මේ චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වුනු ගීතය පවා අදටත් ජනප්‍රියයි. ඒ වගේම එහි රඟපාන ප්‍රධාන චරිත වන , Leonardo DiCaprioKate Winslet පවා අතිමහත් ජනාදරයට පාත්‍ර වුනා මේ චිත්‍රපටිය හරහා. ඒ කාලෙ මගේ ප්‍රියතම නළුවෙක් වුනා, ලියනාඩෝ :D <3 අදටත් ආයෙම වතාවක් වුනත් බලන්න කම්මැලි නැති චිත්‍රපටියක් තමයි මේ.

බලමු මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් ඉන්න පුළුවන්ද කියලා බ්ලොග් අවකාශෙ ;) :D

"you're the most amazing, astounding, wonderful girl, woman that I've ever known..."
-Jack, TITANIC


_________________________________________________________
ඔන්න ඕවා තමා ඉතින් මගේ ලිස්ට් එකෙ තියෙන , මම ආසම ප්‍රේමණියම චිත්‍රපටි ටික ගැන විස්තර . හැමෝම කැමති වෙන්නෙ 
නැතිවෙන්න පුළුවන්. ඒත් මම නම් කවදත් ආස කරන ලස්සනම චිත්‍රපටි පෙළක් තමයි ඒ. 
මේ චිත්‍රපටි ටිකට අමතර තව ආදර කතා බොහෝ ඒවා තියෙනවා. ඒත් "රොමෑන්ටික්" කැටගරියෙ උඩින්ම තියෙන්නෙ මේ 10 තමයි.රොමෑන්ටික් ම නොවෙන චිත්‍රපටි නම් බොහෝයි.

Sweet November, Nights in  rodanthe,The time traveler's wife, A Cinderella story ,Keith ,Twilight  වගේ චිත්‍රපටිත් මම ආස කරන හුඟාක් ලස්සන ප්‍රේමණීය චිත්‍රපටි. 
රොමෑන්ටික් ෆිල්ම් වලට ආස අය, බලලා නැත්තම් ඔන්න බලන්න. ආස නැති අය ඉතින්... "ඈපෝ... රොමෑන්ටික්.." කියන්න :p :p 

එහෙනම් ජය වේවා!!!!


Post Comment

11 May 2013

- නමක් නැති කතාවක් -

"යමු අරෙහට..."වෙරළ අද්දර ගල් බැම්ම මත හිඳගෙන උන් හිමාෂී , ධනුකගේ උරහිසේ හිස හොවාගෙනම පැවසුවාය.

"කොහාටද??" ඔහු නොරිස්සුම්සහගත ලෙස පැවසීය.එහෙත් ඇය පරාජිත පෙම්වතියක් වන්නට මදක්වත් සූදානම් වූයේ නැත. ඒ නිසාම තව තවත් තදින් ඔහුගේ බාහුවේ වෙලෙමින් හුරතල් වන්නටත් කෝළ වන්නටත් විය.
"අරෙහෙට අනෙ... අර රැල්ල පාගන්න." 
"පිස්සු හැදිලාද? රැල්ල පෑගුවා වගේ නෙවෙයි, වැලි නාගෙන, ඇඳුම් තෙමාගෙන ගෙදර යන්නෙ කොහොමද?" ඔහු සෙමෙන් ඇගේ බාහුව ලිහිල් කරමින්, ඇගෙන් ඈත්වෙන්නට තතනමින්  පැවසීය.

"ඉතින් තෙමුනාට මොකද, හුළඟට වේලෙනවානෙ ළමයෝ.."

ඇය ලාමක ලයාන්විත ගැහැණු ස්වරයෙන් පවසමින් , ඇගේ සියුමැලි රෝස පැහැ ඇඟිලි වලින් ඔහුගේ කොපුලේ රේඛා අඳී.හීන් සීරුවට ඔහුගේ කම්මුලක් මත හාද්දක් තබන්නට ඇයට නොසිතුණා නොවෙයි. එහෙත්, ඇගේ සාමප්‍රදායික ගැහැණු හිත ඇයට ඉස්සර වන්නට ඉඩ නොදෙන්නට විය.

ධනුකගේත්  හිමාෂිගේත් ප්‍රේමයට අවුරුද්දකුත් පිරීගෙන පැමිණියද.., ධනුක යනු බෝසත් පෙම්වතෙකු මිස, කාමාතුර  සල්ලාල පෙම්වතෙකු නොවන බව සිතමින් , නානාවිධ තර්ක ගෙන හැර පාමින් ධනුකව සාධාරණීකරනය කරමින් කල්ගෙවන්නට හිමාෂී පුරුදු වී සිටියාය.


"ඇයි ඔයාට නොතේරෙන්නෙ? වැලි නාගෙන බස් වල යන්න බෑනෙ. මිනිස්සු දැක්කාම මොනා නොහිතයිද?"


"ඉදා.. ඒක හරි වැඩක්නෙ..,අපි ඉස්කෝලෙ යන පොඩි උන් ද? නැහැනෙ. මොකද වෙන්නෙ? කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි මූදු වෙරළෙ රැල්ල පාගන්න යන්නවත් බැරිද?" ඇය නෝක්කාඩු ස්වරයෙන්, මදක් උස් වූ කටහඬින්, අඩි හප්පා පැවසීය.


එවර නම් කෝපය නිසා ඔහුගේ ඇස් විශාල වී නළල රැළි වී දෙබැම උස් වී ගියේය.

"මේ හිමාෂී.., තමුසෙට එකසැරයක් මම කිව්වා. ලැජ්ජ නැද්ද මෙහෙම හයියෙන් කෑ ගහන්න. මිනිස්සු බලන් ඉන්නවා." ඔහු සැරෙන් එහෙත්, සෙමෙන් පවසන්නට විය.

දහසකුත් ප්‍රේමණිය සිතුවිලි වලින් සිත පුරවාගෙන,හිරිමල් වියේ දඟකාරකම්, කෝළකම් මෙන්ම නොහිම් සිහින සිත් දල්වාගෙන පැමිණි හිමාශිගෙ දෙනෙත් බොඳ වන්නට විය. පණ මෙන් ආදරය කරන තම පෙම්වතාගෙ ලඟින් හිඳින්නට,ප්‍රේමයෙන් වෙලෙන්නට, බොළඳ බස් දොඩන්නට, හාදුවක් ලබන්නට , නිදහසක් නැති ජීවිතයකින් කුමක් කරන්නද?ඇය ඇගෙන්ම ප්‍රශ්න කරමින් සිටින අතරම ඇගේ සිත කුමක්දෝ මූසල කළකිරීමකින් වෙලී යන බවක් ඇයට දැනෙන්නට විය.


"ඔයාට ඕනෙ කසාද බැඳපු ගෑණු මිනිස්සුන්ගෙ ජීවිතේ මේ අපි දෙන්නා ගෙවන්නද?" දිනක් ධනුක සමඟ හුරතල් වන්නට ගොසින් ඔහු පැවසූ වදනින් හිමාෂී හැකිලී ගියාය.

" පිස්සුද ධනුක? අත් දෙක අල්ලගෙන ඇවිදින්න යන්න, පොඩ්ඩක් හුරතල් වෙන්න, ඔයාගෙ ළඟින් ඉන්න , ඔයා ලඟ දැවටෙන්න තියෙන මගේ ආසාව ගැන ඔහොම පහත් විදියට හිතන්න එපා.."

"මගේ සීමාවක් තියෙනවා මාෂී.. ඒ සීමාවල් පුරුදු වෙන්න ඔයත්.. ජීවිතේ කියන්නෙ අයාලේ දුවන්න දෙන්න පුළුවන් දෙයක්ද? ඉඳුරන් පිනවන්නත් සීමාවක් තියෙන්න ඕනෙ.. හැමදේටම කාලයක් එනවා.ඉවසන්න."
ඇය කවදත් ඉවසීය. ඒ කාලය කවදා හෝ ඒවියි සිතාගෙන ඇය මඟ බලන් සිටියාය. දින සති ගෙවී ගියත්., ඔහුගේ සීමාවන් බිඳක්වත් නොසෙල්විනි.

හදවතේ හැම ශිරාවකින්ම, ධමනියකින් ම ආදරේ අධික පීඩනයකින් පොම්ප කරන මොහොතක හෘද වස්තුව නතරවූවාක් සේ ඇයට දැණින.සියලු හැඟීම් දැනීම් වලින් නිදහස්ව..,ප්‍රාණය නිරුද්ද සිරුරක මෙන් ඇගේ වත සීතලව ඇත.ආදරේ අංශුමාත්‍රයක් හෝ ලැබේවි යැයි සිතාගෙන ,ඒ ඇබින්දක් ආදරේ වෙනුවෙන් මහමෙරක් බලාපොරොත්තු දල්වාගෙන , මහා පෙරේතකමකින්  පැමිණෙන ඇයට හැමදාමත් සිදුවූයේ, මීට පෙර හැමදාකම මෙන්ම, සිත් තැවුලෙන් වෙන්ව යන්නටය.
                          *******************

"හිමාෂී....එන්නකෝ ධනුක එක්ක ෆොටෝ එකක් ගන්න." මේධී හිමාෂිටත් ධනුකටත් ඡායාරූපයක් ගන්නට කතා කළාය.

පේරාදෙණිය මල් වත්ත පුරාවට තිබෙන සුන්දර ගස් වැල් මල් ලඟ මේධීත් ඇගේ පෙම්වතා වූ සංඛත් ඦායාරූප බොහෝ ප්‍රමාණයක් ගත්හ.අනෙක් පෙම්වතුන් සියල්ලෝම එසේ පින්තූර  ගත්හ. නමුත් සමූහ ඡායාරූප හැරුණුකොට හිමාෂීත් සමඟ තනිව ඡායාරූපයක් ගැනීමට ධනුක මදක්වත් උත්සුක වූයෙ නැත.

මුළු විනෝදගමන පුරාවටම අතිශය නිහඬ පිළිවෙතක් මෙන්ම , අසීමිත සංවරකමක්, තැන්පත් බවක් ආරූඬ කරගෙන හුන් ධනුක ගැන සියල්ලෝම පුදුමයට පත්ව සිටියහ.ඊට වඩාත්ම හේතු වූයේ හිමාෂී බොහෝ විනෝදකාමී මෙන්ම කෙළිලොල් යුවතියක් නිසාත්,ඈ තුළ වූ අතිශය මිත්‍රශීලි බවත්ය.හිමාෂී ළඟදී ධනුකගේ මේ අසාමාන්‍ය තැන්පත්කම වඩාත් කැපී පෙනින.විනෝද චාරිකාව පුරාවටම අනෙක් සියල්ලෝම ගීත ගයමින්, අත්පුඩි තළමින් කෙළිකවටකම් කරමින් ඉතා සතුටින් බස් රථය තුළ පැමිණියද, ධනුක බොහෝ සන්සුන්ව, තැන්පත්ව වැඩි කතාබහකින් තොරව අවට සිරි නරඹමින්, කල්පනා කරමින්, විටෙක නින්දත් නොනින්දත් අතර සැරිසරමින් ගමන් කළේය.


මෙලෙස චාරිකාව පුරාම ඔවුන් දෙදෙනාගෙ දුරස් බව ගැන ඇතිවූ කුතුහලය නිසාමදෝ ,ඡායාරූපයක් ගැනීමට මේධී විසින්ම ඔවුන්ට ආරාධනා කළාය.


"කෝ එන්න එන්න ..ඉක්මනට ඉතින්.." ධනුකගේ පසුගාමීබව හමුවේ අසරණව හුන් හිමාෂිට , නැවත වරක් මේධී අඬගහන්නට වීය.

"මුං දෙන්නා නිකන් මෙ ඇඹරෙන්න අද ඊයෙ ලව් කරන්න පටන්ගත්තු දෙන්නෙක් වගේනෙ.." චතුර, අසේල මෙන්ම තිවංකා ත් හිනැහෙන්නට විය.

ඕනෑම ගැහැණියක් තුළ ආදරයක් හමුවේ ගොඩනැගෙන හීන සමුදායක් ඇත.ආදරයක් හිතට ඇතුලු වුනු පසු ඒ හා ගොඩනැගෙන ලෝකයක් ඇත. ඇය තමාට රිසිසේ එම ලෝකය ගොඩනගනවා සේම එහි සැරිසරා අපමණ ප්‍රීතියක් විඳිනු ඇත.තනිව ගෙවන හැම තත්පරයක්ම ඇයට ඒ ලෝකය ගොඩනගන්න උදව් වනවා ඇත.


එමෙන්ම හිමාෂී ධනුක හා ආදරෙන් වෙලෙන්නට හේතුව ඇයවත් පැහැදිලි කිරීමට නොදන්නීය. සමහරවිට ඇගේ කාල්පනික පෙම්වතාගේ හා ධනුකගෙ කුමක් හෝ සමානකමක් නිසාවෙන්, ඇය ඔහු හා පෙමින් බැඳෙන්නට ඇත. එහෙත් නවකතා පොත් වල, චිත්‍රපට වල, ටෙලිනාට්‍ය වල ඇති ප්‍රේම ජවනිකා මෙන්, ඔවුන්ගෙ  ප්‍රේමය ශෘංගාරාත්මක වූයේ නැත. ආදරේ ගැන මහප්‍රාණ අකුරු පබඳින සෑම රචකයෙක්ම ආදරේ නාමයෙන් හෝඩියේ මුලකුරු කියැවූ අය බව ඇය දැන සිටියාය.සෑම මනුස්ස පරාණයක්ම ආදරේ ඉදිරියේ බොළඳ වන බව අසා තිබුණාය. එහෙත් හිමාෂිට එවන් බොළඳ බවක් විඳින්නට හෝ ඉඩක් නොලැබී ගොස් තිබිණ.කුමක්දෝ අඳුරු පටලයක් ධනුකගේ ප්‍රේමණීය හැඟීම් වසාගෙන ඇතිදෝ ඇයට සැකයක් පහළ වී තිබිණි.


"මොකක්ද ධනුක..,  ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ? මෙහෙම බුම්මගෙන ඉන්නද අපි ට්‍රිප් ආවෙ?" චාරිකාව අතරතුර ධනුකගේ නිහඬ මුළුගැන්වුනු ස්වභාවය හමුවේ හිමාෂී කිපී ගියාය.
"මගේ කැමැත්තට ආවා නෙවෙයිනෙ. ඔයාගෙ යාලුවො එක්ක, ඔයාගෙ බල කිරිමට මම  ආවෙ." ධනුක සෙමෙන් එහෙත් සෘජුව පිළිතුරු දුනි.

" අපි දෙන්නා එකට ෆොටෝ එකක් ගත්තා කියලා හෙණ ගහනවාද? ඔයාට ඇයි මං ළඟ ඉද්දි සතුටෙන් ඉන්න බැරි දෙයියනේ..." ඇයට හැඬුම් ආ නිසාවෙන් ඉකිගැසිණ. වෑයමින් ඉකිය වළකාගත් ඇය දෙස ,දවා අළුවෙන තරම්  බැල්මක් හෙලූ ධනුක නිහඬවම සිටියේය.හිමාෂී ඔහු ඉදිරියේ බොළඳවනවාට, හඬනවාට, හුරතල් වෙනවාට ඔහු අකමැති විය.අපමණ  සතුටෙන් විනෝද චාරිකාවක් පැමිණියද හිමාෂි සුපුරුදු  නැවත පැමිණියේ බිදුනු සිතිනි.

කවදාත් ධනුක ගේ හැසිරීම එසේයය. වැඩි කුළුපගකම්, ඇගෑලුම්කම්, හුරතල් කිරීම්, කෙළිලොල් ගති නැත. අතිශය තැන්පත් ධාර්මික දිවිපෙවතක් තිබුණු ඔහු, හිමාෂී රැගෙන ප්‍රථමයෙන්ම ගියේ කැළණි පන්සලටය. හිමාෂි එවකටනම් ඒ පිළිබඳව බොහෝ සෙයින් පැහැදිනි. පෙම්වතෙකු ලෙස පළමුවෙන්ම සිය පෙම්වතිය රැගෙන පන්සලකට යෑමට තරම් නිවුණු සිතුවිලි ඇති ඔහු වෙනුවෙන් ඇය ප්‍රේමයෙන් පේවී සිටියාය. නමුත් කාලය ඇයව විඩාවට පත් කළාය.
                           **********************
"ආ...."
"මොකද?"
"බොන්න...."
"පිස්සුද මාෂී? මෙතන කෝලම් කරන්න එපා. ඔයා  බීපු බීම එක මට පොවන්න දඟලන්නෙ මෙ සෙනඟ මැද්දෙ?" ධනුක හිමාෂී ගේ බීම බෝතලය මාරු කරගෙන ඉන් බිඳක් බීම ප්‍රතික්ෂේප කරන්නට විය.
" මේ රටේ මිනිස්සු ගෑණියි මිනිහයි පාරෙ ගියත් බලනවා, තාත්තායි දුවයි ගියත් බලනවා, අක්කායි මල්ලියි ගියත් කතාවක් හදනවා.. රටේ ලෝකෙ මිනිස්සු ඔක්කොම එක්ක යන්න ගියොත් අපිට අපේ ගමන යන්න වෙන්නෙ නෑ ධනුක.." හිතට දැනුන වේදනාව සඟවාගෙන හිමාෂී ඔහේ දොඩන්නට විය.
"මම ආස නෑ ලෝකෙ හිනස්සන්න."
"එහෙනම් ඇයි ඔයා මගෙත් එක්ක එෆෙයාර් එක්ක පටන්ගත්තෙ? මට ආදරේ කරේ?"
"ඔයාගේ බීම උගුරක් නොබිව්වා කියලා මම ආදරේ නෑ කියන්නෙ කොහොමද මාෂී?ඔයා මෙච්චර මෝඩද?" 

"මහා හුඟාක් ආදරෙයි කියලා, ආදරේ ගැන අහස උසට බලාපොරොත්තු දුන්නු කෙනෙක්ට,දැන් ආදරේ එක ඇබින්දක් දෙන්න බැරි හැටි" හිමාෂී ඇගේ සිතින් ධනුක ව තේරුම්ගැනීමේ මහා සටනක නිරතවී සිටියාය.

ධනුක ඇය ගැන සොයා නොබලන පෙම්වතෙක් නොවීය."ඔයා කෑවාද, බිවාද? ලෙඩක් දුකක්ද?" ලෙස ඔහු ඇය ගැන , ඇගේ සැප දුක ගැන සෑමවිටම සොයා  බැලීය.

"පෝයටවත් සුදු ඇඳුමක් පිළිවලට ඇඳලා පන්සලට ගිහින් එන්න යන්න මාෂී.." ඔහු ඇයට ධාර්මික වන්නට, සිල්වත් වන්නට, තැන්පත් වන්නට ඉගැන්වීය. ධනුක හැම පෝයකටම නැතත්, වෙසක්, පොසොන් වැනි ප්‍රධාන පෝය දිනයක්න්ට සිල් සමාදන් විය. දැහැමි ජීවිතයක් ගත කලේය.

හිමාෂීට  යායුතු ගමන් මඟ ගැන අවවාද, ගුරුහරුකම් කියා දීම ද ධනුක නොපිරිහෙලා ඉටු කරන්නට විය.ඇගේ සිතට දුකක් දෙන්නට ඔහු සිතුවේ නැත. නමුත් ඇයව සතුටු කරන්නට කියා විශෙෂ යමක් කලේද නැත. එහෙත් හැකි සෑම අවස්ථාවකම වාගේ ධනුක හිමාෂිගෙන් ඈත්ව හිඳිමට නම් වග බලාගත්තේය. එය ඔහු හිතාමතා කරනවාද, නැතිනම් ඒ ඔහුගේ සාමාන්‍ය ස්වරූපයද යන්න හරිහැටි අවබෝධ කරගන්නට හිමාෂී අපමණ වෙහෙස විය. නමුත් ඇය ඉන් බොහෝ සෙයින් විඩාවට පත්විය. දුකට පත් විය.අවසාන ඇගේ නිගමන වලට අනුව නම්, ඔහුගේ පිළිවෙල කිසිසේත්ම  සාමාන්‍ය විය නොහැකි බව සනාථ කරගත්තීය. 
                             ************************

"අපි ඩාන්ස්  කරමුකෝ..."
"මාෂි මම සාමාන්‍යෙන් ඩාන්ස් කරන කෙනෙක් නෙවෙයි. ඔයා යන්න , සයුනි ලා එක්ක ඩාන්ස් කරන්න."
ධනුකගේ මිතුරෙකුගෙ විවාහ ගිවිසගැනීමේ සාදයකදී හිමාෂි සමඟ නැටීමෙ අවස්ථාවද ඔහු මඟ හැරියේය.සුපුරුදු ලෙස ඔහු ඇයව ප්‍රතික්ෂේප කලේය.
"හැමෝම කපල්ස් ඩාන්ස් කරනවා ධනුක. ප්ලීස්.., මං වෙනුවෙන්..."
"මාෂී ප්ලීස්.., මට කරදර කරන්න එපා. මම ආස නැහැනෙ.තේරුම්ගන්න"
ඇය හැමදාකම මෙන්, සිය සදාදරණීය ප්‍රේමවන්තයාගෙන් ප්‍රතික්ෂේප විය.
"එහෙනම් මම නදුන් එක්ක ඩාන්ස් කරන්නද ගිහින්?? එයා ඩාන්ස්  කරන්න කෙනෙක් නැහැ කියලා  චුරු චුරු ගගා උන්නෙ." ඇය අවසාන තුරුම්පුවත් දමා ගැසීය.

 සිය පෙම්වතාගෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප වන පෙම්වතියකගේ අවසාන තුරුම්පුව ,ඔහුගේ පිරිමි සිතෙහි නිදන්ගත ඊර්ෂ්‍යාව අවදි කිරීම විය හැකි බව ඇය අනුමාන කළාය. එම නිසාවෙන් ඇගේ පාසැල් මිතුරෙකු වූ  නදුන්ව ඇය ඒ වෙනුවෙන් තෝරාගන්නට විය.ඔහු තනිකඩයකු විය. ධනුකට වඩා ජවසම්පන්න මෙන්ම, කඩවසම්  පෙනුමක් නදුන් වෙතින් දිස් විය. එහෙත් දෑ අවුරුද්දක ප්‍රේමයකින් බැට කා සිටි නදුන් ආතුර වූ සිතක් දරාගෙන හුන්නේය.නමුත් කෙළිලොල් හා මිත්‍රශීලි  බවින් සපිරි ඔහුගේ ඇසුර  හිමාෂිගේ සිත් ගත්තාය.ඇය ඔහු හා එක්ව නර්තනයේ යෙදෙන කල, හොරැහින් ධනුකගේ ඉරියව් පිරික්සන්නට විය.


"මොනාද හොරෙන් බලන්නේ? ධනුකයාට මළ පැනලාද කියලාද?" නදුන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ තිගැස්සුනු හිමාෂිට වචන අමතක විය.

"අහ්...න්..නෑ.. මෙ.. එයාට එහෙම වෙනවානම් බැරියෑ...." ඇයට නොකිව යුත්තක් කියැවිණි. ගෙයි ගිනි ලෝකය පුරා ඇවිළෙනු දකින්නට ධනුක කවදත් අකමැතිය. ඔහුට කවදත් ලෝකයා මහමෙරකි. සිය පෙම්වතියගේ අපරිමාණ ප්‍රේමයට වඩා ඔහුට ලෝකයාගෙ ගෞරවය අතිශය ඉහළය.

"මිනිහා වෙනස්..." හිමාෂිට පමනක් නොව ඔහුගේ වෙනස  ලෝකයාටම නොරහසක් බව ඇයට වැටහින.

"ම්ම්..." ඇය නොදෙඩීය.නදුන් ද ඉන් එහාට ධනුක ගැන කිසිවක් හිමාෂි හා  නොපැවසීය. ඒ වෙනුවට දහසකුත් දේ ගැන ඔවුන් කතා කළහ. ඔහුගේ දඟකාරකම්, විහිළු තහළු මැද ඇගේ නර්තනය බොහෝ විනෝදජනක විය. ඇයට එක මොහොතකට  ඇයව ප්‍රතික්ෂේප කරන,සාම්ප්‍රදායික රාමුවටත් වඩා වෙනස්  රාමුවක සිරවී උන්, ධනුක නම් වූ.., ඇගේ පෙම්වතාව  අමතක විය. ඒ වෙනුවට ඇය නැවතත් පාසැල් පෙම්වතියක් මෙන් කෙළිදොලෙන්, පාසැල් මිතුරා සමඟ ප්‍රිය සල්ලාපයේ යෙදෙමින් රඟන්නට විය. 

සාදය අවසන් වෙනතුරුම ප්‍රීතිමත් නර්තනයක වින්දනය ලැබූ හිමාෂිත් නදුන් ත් ඔවුන්ගේ දුරකථන අංක හුවමාරු කරගත්තේ පැරණි මිත්‍රකම් නැවත අලුත් කරගත යුතුයි යන අදහසිනි.ධනුකගේත් විරුද්ධත්වයක් නොවුන බැවින්, ඔවුන් දෙදෙනාගෙ මිත්‍රකමේ නව අංකුරයක් එදා දින සාදයේදී හට ගතින.අවසානයේ ඇය නදුන්ගෙන් වෙනව ගියේ නැවත හමුවීමක බලාපොරොත්තුවක් සිතෙහි රඳවාගෙනය.එය ඇගේ සිතට කෙසේ ඇතුළු වූවාද යන්න ඇයටත් රහසක්ම විය.

                                *****************
කාලය ගත වී ගියේ ඉතාමත් වේගයෙනි. නමුත් සියල්ල එසේමය. වෙනසක් වූවානම් ඒ, නදුන්ගේත් හිමාෂිගේත් මිත්‍රත්වය මිස, ධනුකගේත් හිමාෂිගේත් ප්‍රේමය නොව. ඔවුන්ගේ දුරස්බව, ආගන්තුක බව එසේමය. ධනුක සෑමවිටකම හිමාෂිගෙන් ඈත්ව , එහෙත් ඇයට ප්‍රේම කරන බව පැවසීය. හිමාෂී ඇගේ සිහින මාලිගා බිඳි යාමේ දුක හා කාලය ගත කළාය. 

සිත දුකින් පෙළෙන මොහොතක.., එක උණුසුම් සැනසුම් ස්පර්ෂයක්, ආරක්ෂිත බව හැඟෙන වැළඳගැනීමක්, එකම එක ප්‍රේමණීය හාදුවක්., හිත ඉපිලෙන සියුමැලි බොළඳ වදනක්.., අඩුමතරමේ ඇගේ අහිංසක ආසවක් වෙනුවෙන් පුංචි ඉඩක්වත් ඇයට නොලැබිණ. ඒ සියල්ල අනන්තය තරම් දුර බවක් ඇගේ සිත වෙළාගෙන තිබිණ. ඇයට තිබුණේ කාමපිපාසාවකින් පෙලෙන සංකර සිතක් නොව, අතිශය අහිංසක, බොළඳ මෙන්ම ප්‍රේමයේ ශෘංගාරාත්මක ඉසව්වක සේයාවක් වෙනුවෙන් සුසුම්ලන සිතකි.

 "ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…" කියා නන්දා මාලිනියන් ගැයුවාට , ප්‍රේමය නම් දිගින් දිගටම තම පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වීම බව කොහේවත් සදහනක් ඇති බවට හිමාෂිට මතකයට නොනැගින.පෙම්වතියක් තම පෙම්වතාගෙ ආදර‍ය , රැකවරණය, සියුම් ප්‍රේමණීය ස්පර්ෂයක් බලාපොරොත්තු වීම මොනතරම් සාධාරණද නැද්ද යන්න හිමාෂී තනිවම දිගින් දිගටම තර්ක කළාය. ඇයට ඇයව සාධාරනීකරණය කිරීමට සාක්ෂී අවශ්‍යවන්නට ඇත.

ඇය ඔහුගෙන් භෞතික වස්තු ලාබ, සැප සම්පත් නොපැතීය. ඇයට අවැසි වූයේ ,ප්‍රේමයේ නිරාමිස මානසික සතුටය. ජීවිතය හා බැඳුනූ අපරිමිත ප්‍රේමයක් තිබියදී ඇයට දැනෙන තනිකම, සාංකාවට ඇය වෛර කළාය. එසේ හිඩැසක් ඇගේ ජීවිතයට කෙසේ පැමිණියාද කියා ඇය සිතින් වැලපෙන්නට විය. ප්‍රේමය අත පොවන මානයේ තිබියදීත්, එය ඇයට සදාකාලයටම හිමිව තිබියදීත් ,ඇගේ සිත වෙළාගත් අසම්පූර්ණ බවට ඇය ශාප කළාය.

විටෙක ඇය ධනුකට ගැළපෙන ලෙස, ඔහුව ඉවසා දරාගන්නට අපමණ උත්සාහ ගත්තාය.ඔහුව ඇයට දැනෙන යුගයක් ළඟදීම පැමිණේවි යැයි විශ්වාස කළාය.අවසානයේ  ඔහුව දරාගන්න.., දරාගන්න දැනෙන දුරස්බව ට, තනිකම ට ,ඇය හුරුවෙමින් සිටියදී, ඇය ජීවිතය ආදරය වෙනුවෙන් ඉවසන්න තීරණය කොට සිටියදී., නදුන්  සිය ආත්මයෙන් නිදහස්ව මෙන් ඇගේ ජීවිතයට එබෙමින් සිටින්නට විය. ඇය නැවතත් අන්ත දෙකක සිරවුණු සිතින් යුතුව, ප්‍රේමයේ පීඩනයට හසු වූ අසරණ ප්‍රාණියෙක් බවට පත්විය.

නදුන්ගේ හිත නිවී සැනසෙන කතාබහ ට ඇය නතු විය. මුළු ලෝකයා ඉදිරියේ ,ඇය සිය එකම විශේෂිත පුද්ගලයා බව සලකා හැසිරෙන ඔහු කෙරෙහි  කාන්දමකට ඇදෙන්නාක් මෙන් ඇගේ සිත ඇදෙමින් පැවතිණි.එහෙත් සිය ප්‍රථම ප්‍රේමය අමතක කර දමන්නට, ධනුක වෙතින් පලා එන්නට, ඇගේ හෘද සාක්ෂිය ඇයට බාධා කරන්නට විය. හෘද සාක්ෂිය පරදවා, ඇගේ යටි සිතටම කිඳා බැස තිබූ නදුන් වෙනුවෙන් හටගත් හැඟීම ඇයව ඔහු වෙතට ගෙන යන්නට පෙළඹ වීය. ප්‍රේමය ඇස් බැන්දුමක් බව ඇය ඉන්පසු ඇදහීය.

"මට ඕනෙ සම්පූර්ණ කෙනෙක් නෙවෙයි නදුන්.., සම්පූර්ණ ආදරයක්....මම වටින කෙනෙක් කියලා මට දැනෙන ආදරයක්....මගේ ජීවිතේ පිරිලා කියලා දැනෙන ආදරයක්."

"ම්ම්ම්ම්... ඔයාව මට වටිනවා... අහම්බෙන් හරි ලැබුණු ඔයාව මට වටිනවා...හුඟා........ක්"

නදුන් ඇගේ නළලත මත ප්‍රේමයේ සුන්දරම හාදුව අතිශය පරිස්සමට තැබීය. ඇගේ දෙනෙත් කඳුළු පටලයකින් වැසි තිබිණ.


දෛවය,  ඇගේ ජිවිත කතා පොතේ ලියූ නීරස ප්‍රථම ප්‍රේම පරිච්ඡේදය එසේ පටන්ගෙන, සිත් වේදනාවක් පමණක් ඉතිරිකොට අවසාන කරවීය. පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වීමේ පරිච්ඡේදය අවසාන කොට, නැවත ලියන්නට නියම කෙරුණු ප්‍රේමයේ සුන්දරම පරිච්ඡේදය..., මෙසේ අලුතෙන් ඇරඹීය.

"මට දැන් දැනෙනවා.., මං වෙනුවෙන් කෙනෙක්ගෙ පපුවක හුස්ම වැටෙනවා කියලා.."

ඇය නඳුන්ගේ පපුවට හිස තබාගෙන දෑස්  වසාගත්තාය.






                                                             ෴නිමි෴


ප.ලි- පහුගිය කාලෙ තිබුණු විභාග හින්දා ලියන්නවත් කියවන්නවත් වෙලාවක් වුනේ නැහැ. සෑහෙන කාලෙකින් අද තමා බ්ලොග් එකට දෙයක් ලිව්වෙ. 

ලියන්න දෙයක් ගැන අදහසක් නැතුව ඉන්නකොට, මෙහෙම කතාවක් ලියපන් කියලා අදහස දුන්නු පූසා අයියාට ස්තූතියි!!!!!

Post Comment