නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 December 2011

අලුත් අවුරුද්දක්.... අලුත් ජීවිතයක්......


2011 අවුරුද්ද ගෙවෙන්න,2012 අවුරුද්ද උදා වෙන්න හරියටම තියෙන්නෙ තවත් එක දවසක් විතරයි.හෙටින් මේ 2011 අවුරුද්ද ඉවර වෙලා,අනිද්දාට කැලන්ඩරේ අලුත් වෙලා,අලුත් මාසයක් අලුත් කොළයක් පෙරළෙනවා.අපේ ජීවිතත් ඒ වගේම අලුත් වෙනවනම්?? කොච්ච්ර හොඳයිද නේද??ඇත්තටම අපි අලුත් අවුරුද්දක් ලබද්දි ,අපේ ජීවිතත් අලුත් කරගන්නවනම් ,එහෙම අලුත් කරගන්න,වෙනස් කරගන්න පුළුවන්නම් ඒක හුඟාක් වටීවි අනාගතේට.

හිතූත් නිකන් පණ්ඩිතකමට කියෙව්වාට මොකද ,හිතූටත් මේ පට්න්ගන්න අවුරුද්දෙ ඉදන්වත් වෙනස් වෙන්න, අලුත් වෙන්න, හොද විදියකට ජීවිතේ හදාගන්න මාරම උවමනාවක් තියෙනවා.2009 ඉඳන් 2011 වෙනකම් ම මම එක තැන කැරකි කැරකි උන්නා කියලයි හිතුනෙ.2009,2010 කියන්නෙ මගේ ජීවිතේ කිසිම දෙයක් මම බලාපොරොත්තු වුනු විදියට නොවුනු,හුඟාක් දේවල් ඈත් කරපු,අහිමි කරපු, පරාද වීම් විතරක්ම උරුම වුනූ අවුරුදු කීපයක්.ජීවිතෙ එක අඩියක් හරි ඉස්සරහට තිබ්බානම් ඒ 2011 අවුරුද්දෙදි යි.ඒ නිසා මට 2011 අවුරුද්ද,මේ ගෙවිලා ඉවර වෙන්න යන අවුරුද්ද දිහා හැරිලා බැලුවාම සතුටුයි.ජීවිතේ කවදාවත්ම කරන්න බැරිවෙයි කියලා හිතපු සමහර දේවල් වෙනුවෙන් ,අඩුම තරමෙ මම උත්සාහ කලා.ඒ ගැන මට සතුටුයි.2012 අවුරුද්දෙ මම මීට වඩා ඉස්සරහට යන්න උත්සාහ කරනවා. හැම කෙනෙක්ටම එහෙම උත්සාහයක්වත් ගන්න පුළුවන් නම් මේ 2012 අවුරුද්දෙ??උත්සාහ කරලා බලන්න.අනිවාර්‍යෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබේවී.ඒ නැතත් මම උත්සාහ කලානෙ කියලා සතුටු වෙන්න පුළුවන් වෙයි.

ඒ වගේම ජීවිතේ දිනන්න නම් ඉලක්කයක් තියෙන්න ඕනෙ.ඒ වෙනුවෙන් කැපවෙන්න අධිෂ්ඨානයක්,නොසැලෙන ආත්ම විශ්වාසයක්,උනන්දුවක් තියෙන්නෙ ඕනෙ.මට අතීතයේ වැරදුණු තැන් මතක් කලොත්, ඒවාට හේතු හෙව්වොත්,ඇත්තටම මට වරදින්න හේතු වුනේ ඔන්න ඔය කරුණු ටික මට නොතිබීමයි.කාලෙන් කාලෙට අරමුණූ වෙනස් වෙනවනම්, ඉලක්ක වෙනස් වෙනවනම්, ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම්, දිනුම් කණුව ළඟට යන්න අමාරුයි.ඇත්ත.අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.ඒත් වෙනස් වෙන්න අමාරුයි.ඇත්ත තේරුණත්,ඒ වෙනුවෙන් හිත හදාගෙන කැපවෙන්න ලොකු හයියක් ඕනෙ.ඒ හයිය තියෙන කෙනා දිනුම් කණුව ළඟට යනවා හුඟාක් ඉක්මණට.අලුත් අවුරුද්දෙ,මේ ලබන අවුරුද්දෙදි,2012දි වත් ජීවිතේ දිනාගන්න අරමුණක් තිබුණෙ නැත්තම් අරමුණක් හදාගන්න, අරමුණක් තිබිලත් උත්සාහ කලේ නැත්තම් උත්සාහ කරලා බලන්න අපිට පුළුවන් නම්??

ජිවිතේ ඉස්සරහට යන්න කට්ට කන්න වෙනවා,ඒක සාමාන්‍යයි.කිසිම දෙයක් ලේසියෙන් ලඟා කරගන්න අමාරුයිලුනෙ.ඒක තිත්ත ඇත්තක්.හැබැයි හැමදාකම මිනිස්සුන්ට අමාරු කාල එන්නෙ නෑ.කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවලු.ඒ වගේම හැම කෙනෙක්ටම දවසක හොඳ කාලයකුත් එනවා.හිත හදාගන්න, හිත හයිය කරගන්න කතාන්දර ගොඩයි.ඒත් කියනවා වගේ කැපවෙන්න ලේසි නෑ..හැබැයි කැපවීමෙන් ජිවිතේ දිනන්න උත්සාහ කලොත් වරදින එකක් නෑ. මට  ඒ තරමට අත්දැකීම් නැතත්, ජීවිතේ බිංදුවටත් පහළින් හිටපු අය, අද වෙද්දි ජීවිතේ දිනන මඟ හුඟාක් දුර ධෛර්‍යන් ඇවිත් තියෙනවා. එහෙම අය මට හමුවෙලා තියෙනවා. ඇත්තටම  ඒ අය ජීවිතේට හයියක්.ලොකු ධෛර්‍යක්.එහෙම අය දිහා බලලවත් අපිට ජීවිතේ අලුතෙන් පටන්ගන්න, වෙනස් කරගන්න, අලුතෙන් හිතන්න පුළුවන්කමක් තියෙනවනම්?? කොච්ච්ර හොඳ වෙයිද නේද??

ඉතින් මේ අලුතෙන්ම උදාවෙන අවුරුද්දෙදි, පරණ තරහා මරහා, කෝන්තර, අමනාපකම්,හිත් නොහොඳකම් අමතක කරලා, කොයි කවුරුත් එක්කත් සාමයෙන් සමගියෙන් ඉන්න බලනවනම් හොදයි.පුළුවන්තරම් අනිත් අයගෙ ඇද කුද හොයන්න යන්නෙ නැතිව, අනුනට ඊර්ෂ්‍යා නොකර, තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ව බිමට දාන්න උත්සාහ නොකර, වැටුණු කෙනෙක්ට නැගිටින්න අත දීලා මනුස්ස කමේ නාමයෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන් ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න, වරදින්නෙ නෑ කවදාවත්.වපුරන තරමට අස්වැන්න ලැබෙනවා වගේ, තම්න් හොඳ වෙන තරමට , අනුන්ගෙනුත් තමන්ට හොඳම වෙයි.

ගෙවුනු අතීතය දිහා හැරිලා බලන්න. ඒත් පසුතැවෙන්න එපා.වෙච්ච දේවල් වුනා තමා. මොනා කරන්නද?ආයෙත් එහෙම වැරදි නොවෙන්න අනාගතේ වැඩකටයුතු කරන්න හිතට ගන්න.(හිතුවක්කාරිත් අනන්ත මෝඩ වැඩ කලා. ඒත් දුක් වෙලා වැඩක් නෑ..හිතුවක්කාරකම්, මුරණ්ඩුකම් කලානම් විදවපන්..:D  )අතීතය එකම පසුතැවිල්ලක් විතරක්නම්, අනාගතේ වාසනාවන්ත කරගන්න මහන්සිවෙන්න. මැරුණු අතීතයකට පණ දෙන්න දඟලන්න එපා.  අත්දැකීමෙන් කියන්නෙ, පලක් වෙන්නෙ නෑ..

හිතූ හුඟාක් පණ්ඩිත කතා කියෙව්වා. සමහර විට ඔයාලට වැඩක් නැතිවෙයි.සමහර විට වැඩක් තියේවි. මම කිව්වෙ මට හිතුණු දේ.. මම දන්න දේ.. මට දැනුනු දේ..හරි කියලා හිතනවනම් හිතලා බලන්න.තීරණේ ඔයාලාගෙ අතේ....

ඔන්න මේ ලබන අලුත් අවුරුද්ද හැම කෙනෙක්ටම සාමය සතුට සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
කරන කියන සියළුම කටයුතු සාර්ථක වේවා!!! සියළු බාධක, ලෙඩ දුක් මඟ හැර වාසනාවන්ත අනාගතයකට හැමෝටම හිතූගෙන් සුභාසිරි!!! ජය වේවා!!!!



ප.ලි- අහ්හ් එක ගලෙන් කුරුල්ලො දෙන්නයිලු..:D හික් හික් හික්..

හෙට මගේ පිස්සියෝ දෙන්නාගෙන් එක පිස්සියෙක්ගෙ උපන්දිනේ. ඒ තමයි මගේ "ඩයිනෝ" නංගිගෙ හැපී බර්ත් ඩේ එක. :D
ඉතින් ඩයිනෝ නංගියටත් මේ ලබන උපන් දිනය වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙලා අනාගතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හිතූ අක්කි විෂ් කරනවා ඔන්න....

හැපී බර්ත් ඩේ ටූ යූ ඩයිනෝ නංගා!!!!!! <3



Post Comment

28 December 2011

දෙවර්ෂ පූර්ණ සිහි කිරීමයි!!!!!!!



මීට වසර දෙකකට පෙර,
මගේ හිතෙන් නොව මගෙන්,
සදහටම සමුගත් "කුළුඳුල් ප්‍රේමය" නොහොත් "ප්‍රථම ප්‍රේමය"
සිහිකර කුමක් කරන්නද මම...??? 
කළ හැකි එකම එක දෙයකි.
එනම්,
මින් මතු කවරදාකවත්,
මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා යි
ප්‍රාර්ථනා කරන්නම් මුළු හදවතින්ම......!!!!

                                       
                                                   මීට,
                                             හිතුවක්කාරී

Post Comment

24 December 2011

නැති දා අගේ ඇති ලංගම !!!!!


හම්මෝ!!!! අද හොඳ දවසක්නෙ. නිවාඩු දවසක් හින්දා ආසාවට ටිකක් වැඩිපුර නිදාගෙන නැගිට්ටා. වැඩ කටයුතු කීපයක් නිසා එළියට යන්න අදහසකුත් තිබුණා.ඒත් උදෙන්ම අහන්න ලැබුනෙ අප්සට් ආරංචියක්නෙ.ඒ තමා අද බස්නාහිර පළාතෙ ප්‍රයිවට් බස් වර්ජනයක් කියන ආරංචිය. නිකමටත් බස් නැති අපේ පාරෙ නම් ඔහොම වෙලාවකදි කොහොමත් බස් නැති වෙන්න ඕනෙ.මොනා කරන්නද, නොගිහිනුත් බෑ...ඕනෙ එකක් වෙච්චාවෙ කියලා හිතාගෙන ලෑස්ති වුනා. බස් නැති වුනොත් නොගිහින් හැරිල එනවා කියලා හිතාගෙන මාත් ලෑස්ති වුණා. 

ගෙදර ඉඳගෙන ටවුන් එකට, එක බස් එකකින් ගිහින්, එතනින් නුගේගොඩට යන්න බස් එකක් අල්ලගන්න ඕනෙ.අම්මෝ...ඔක්කොමත් හරි. ටවුන් එකට යාගන්න බස් එකක් අල්ලගන්න එකනෙ තියන අමාරුව.ලංගම බස් එකක් දෙකක් උදේ ඉඳන් පාරෙ යනවා දැක්කා.ඒත් මම හෝල්ට් එකට ගිහින් පැය කාලක් විතර ගියා, බස් එකක් ආවෙ නෑ..අම්මා කියලා තියෙන්නෙ ෆුට් බෝඩ් නම් යන්න එපා කියලයි.ඒත් මම කොහොමටත් උදේට ගේ ලඟ ඉදන් ටවුන් එකට යන බස් එකේ යන්නෙ ෆුට් බෝඩ් වගේ තමා ;) (නිකන් ද මගේ නම හිතුවක්කාරී කියන්නෙ)

ඔන්න පැය කාලකුත් ඊට විනාඩි දෙක තුනකිනුත් විතර පස්සෙ ලංගම බස් එකක් බොහොම අමාරුවෙන් එනවා පෙනුණා අද්ද අද්ද, බොහොම අමාරුවෙන්.බස් එක පැත්තකට ඇලවෙලා, ෆුට් බෝඩ් එක පිරිලා ඉතිරිලා ගිහින් තිබුණා. සෙනඟ වැඩිකමට බස් එක නවත්වන්නෙ නැතිව යයි කියලා බය හිතිලා,මම විගහට පාරට පැනලා අත දැම්මා.මගේ වෙලාව හොදයි. බස් එක නැවැත්තුවා.:D හැබැයි සෙනඟ ගොඩක් මම නැගපු හෝල්ට් එකෙන් බැස්සා. ඒත් නගින්නත් ඒ හා සමානම සෙනඟ ගොඩාක් උන්නු නිසා, මම කලබලේට ,ඉක්මණින්ම නැගගන්න ට්‍රයි එකක් දුන්නා.මොකද ඉතිං  අද කාලෙ ෆුට් බෝඩ් යන්නෙ බහුතරයක් ගෑණු උදවියනෙ.;) පිරිමි උදවියනෙ, ගෑණූ උදවියත් පෙරළගෙන බස් එකට නගින්නෙ.ඒ නිසා මමත් බස් එක අද්දාවී කියන බයට නගින්න හදිස්සි වුණා.ලැජ්ජාවේ, සංතෝසේ බෑ,  ෆුට් බෝඩ්  එකේ හිටිය අයියා කෙනෙක් "නංගි කලබල වෙන්නෙපා, මම බැහැලා හරි ඔයාව නග්ගලා යවනවා.හිමින් නගින්න.." කියලා හරි අපූරු කතාවක් කිව්වා.නෝන්ඩිද මංදා.^_^ ඒත් මොනා කරන්නද? බස් එක දාලා ගියාම මම එපැයි කට්ට කන්න තව පැයක් විතර. ඒකනෙ විගහට නැග්ගෙ.එයාට නම් මොකෝ.එලිළිලා යන්න පුළුවන් නෙ.

අමාරුවෙන් හිර වෙවී, තෙරපි තෙරපි යන ගමන්ම ,යන්තම් ගමන් වියදමට තියන සීයෙ කොළ දෙක තුන දාපු පර්ස් එකයි,මගේ අසරණ දුප්පත් ෆෝන් රාජයයි පරිස්සම් කරගන්න එපැයි.එහාට තල්ලු වෙනවා, මෙහාට තල්ලු වෙනවා, අද වගේ දවසක එහෙම ඔරවලා බලන්නත් බෑනෙ මිනිස්සුන්ට(පිරිමි අයට) . උවමනාවෙන් ඇඟට එනවා නොවෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. (වෙනදට නම් යන්තම් ඇඟේ ගෑවී නොගෑවී ගියත් යන්තමට ඔරවලා බලන එකනෙ.) අද බස් නැති නිසා කොයි කවුරුත් අපහසුතාවට ලක් වෙලයි හිටියෙ.

කොහොමෙන් කොහොමෙන් හරි දෙයියනේ කියලා ටවුන් එකට ආවා. දැන් ඊලඟ අමාරු වැඩේ එතනින් නුගේගොඩට යාගන්න බස් එකක් අල්ලගන්න එක.ඩිපෝවෙන් ලංගම බස් ගොඩක් පාරට දාලා තිබුණා.මේ උත්සව කාලෙ , පාරෙ නිතරම සෙනඟ ගැවසෙන කාලෙ ,මිනිස්සු අපහසුතාවයට ලක්වීම වලක්වන්න ලංගම බස් යොදවලා තිබුණා.ඒ නිසාම මටත් ටවුන් එකෙන් නුගේගොඩට යන්න බස් එකකට නැගගන්න ඒ තරම් අමාරු වුනේ නෑ..

බස් එකට නැග්ග වෙලාවෙ ඉඳලා කොන්දොස්තර අයියා කෑගහන්නෙ "මාරු සල්ලි දෙන්න !! මාරු සල්ලි දෙන්න !!" කියලා. මාරු සල්ලි නොදී කතන්දර අහගන්න ඕනෙ නෑනෙ කියලා හිතල මාත් මාරු සල්ලි වලින්ම සල්ලි දීලා ටිකට් එක ගත්තා.ඔය අතරේ ,උජාරුවට ඇඳ පැළඳගෙන ,බොහොම සැපපහසුවට වාඩි වෙලා යන අංකල් කෙනෙක් ටිකට් ගත්තා. කොන්දොස්තර එයාට ඉතුරු රුපියලක් නොදී ටිකට් එක දුන්නා කියලා ,මේ මනුස්සයා  රුපියල ඉල්ලලාම නහින්න යනවා.:/ කෑගහනවා.මටනම් තරහත් ආවා.අද වගේ දවසක , මේ බස් නැති වෙලා තියන වෙලේ රුපියලකට නහින්න යන හැටි.අන්තිමේදී කොන්දා අයියා අතේ සල්ලි ටික පෙන්නලා "පොඩ්ඩක් ඉන්න මහත්තයෝ දෙන්නම් දෙන්නම්, රුපියලට දෙකක් දෙන්නම්, මාරු තිබ්බෙ නෑ.අද වගේ දවසකත් ඔයාලා රණ්ඩුවට එනවනෙ " කිව්වා.

තව ටික දුරක් යද්දි ඇන්ටි කෙනෙක් බෙරිහන් දෙන්න පටන් ගත්තා "බහිනවා බහිනවා" කියලා. හැබැයි හෝල්ට් එක පහු වුනාට පස්සෙයි කෑගහන්න ගත්තෙ.අන්තිමට ඒකටත් ඇන්ටි බැනලා ගියේ ඩ්‍රයිවර් ටයි, කොන්දොස්තරටයි. :D 
අවසානෙදි කොහොම හරි මට, මගේ වැඩකටයුතු ටික කරගන්න නුගේගොඩට එන්න අවස්ථාව හම්බුනා ලංගමට පින් සිද්ධ වෙන්න.

කොහොම වුනත් මටනම් ලංගම බස් , අද දවසෙ , ඒ වෙලාවෙ හැටියට හරිම වටිනවා කියල දැනුනා. ඒවත් නොතිබ්බනම් කාගෙ කාගෙත් කිසිම වැඩක් කරගන්න එළියට බැහැලා යන්න වෙන්නෙ නෑනෙ.කොහොමටත් දුප්පතාගෙ, පෝසතාගෙ , පංති බේදයකින් තොරව කොයි කාගෙත් පොදු වාහනය බස් එකනෙ.මේ වගේ කාලෙකදි,විශේෂයෙන්ම උත්සව කාලෙදි බස් වර්ජනයක් වුනාම හුඟාක් අපහසුවට පත් වෙන්න සිද්ධ වෙනවා.එහෙම අවස්ථාවකදි ගැටළු ඇති නොවෙන විදියට හැසිරෙන්න, වැඩ කරන්න මිනිස්සුත් ටිකක් කල්පනාකාරී වෙන්න ඕනෙ කියලයි මට හිතුණේ. 

මොනා වුනත් තියන දා අගේ නැති, නැතිදා අගේ ඇති ලංගම ට ජය වේවා!!!!! :D :D

Post Comment

20 December 2011

- අදින් පසු මියේවී අපේ ඒ කතා -


ඔය ඇස් දිහා බලාගෙන මම කොහොම වෙන්වෙලා යන්නද?හිත හිරිවැටිලා, හුස්ම හිරවෙලා, මට මාවත් නැති වේවී.ඔය හිතත් එක්ක බැඳුනු මගේ මොළකැටි හිතට මේ සමුගැන්ම දරාගන්න බෑ .හමුවුනොත් දවසක වෙන් වෙන්න වන බව ඇත්ත.

අනේ.. ඒත් කොහොම හිත හදාගන්නද මං? නොහිතනා මොහොතක, ඔය ඇස් එක්ක මගේ මේ ගණුදෙනුව සදහටම ඉවරයක් කරන්න, හයියක් නෑ මේ හිතට. ඒත්, අදින් පස්සෙ අපේ ඒ හැම කතාවක්ම වැළලිලා යාවී.මහ පොලෝව යට මිහිදන් වෙන මළ කඳක් වගේ,අපේ ආදරේ මළගමත් සැඟවිලා යාවි.

මේ ආදර මළගම රැකගන්න, හඬන්න නම් එපා.ඔය ඇස් වල කඳුළු දකින්න මට නම් බෑ..ඔව් සත්තයි. මට බෑ ඔය කඳුළු දැක දැක සමුගන්න.හඬන්න අවැසි නෑ අපිට.. හඬන්න ඕනෙ නෑ..මේ අවසානයක් නෙවෙයි. තවත් එක් ආරම්භයක් විතරයි.ජීවිතේ තව හුඟාක් දිගයි.දන්නවද ඔයා? හැම පැරදිච්ච මිනිහෙක්ටම දිනන්න අවස්ථාවක් මැවෙනවාලු.විශ්වාස කරන්න රත්තරං. මේ අවසානයක් නෙවෙයි....

අපේ ඈත් බව මොනතරම් කටුකද? දුකද?දරාගන්න බැරි හැඟීම් පොකුරක අවසානය දුකම විතරයි නේද?මේ තරම් දුරක් ආවෙ නවතින්න බව දන්නවනම්, ඔය හිතට මේ තරම් ගින්නක් දෙන්න හිතන්නෙ නෑ මම.අතීතය මතක් වෙද්දි ඇස් වලට උනන කඳුළු මටම අවනත නෑ.අපි ආ ගිය තැන්, ආදරෙන් බැඳුණු තැන් පාළු වෙලා යාවී.මහා සාගරයක් තරම් අනන්ත, අප්‍රමාණ, ගැඹුරු ආදරයක් හිතේ තිබුණත්, අපි අසරණයි අද.කාලය අපිට හරස් වෙලා.අනේ.. මොකට හිමි වුනාද මට මේ අහිමි ආදරේ? අපිට අපි අහිමි වෙන්න මොකට මට ඔයාව හිමි වුනාද දෙයියනේ...

හෙටින් පස්සෙ, මට ඔය හිත ගැන හිතන්නවත් අයිතියක් නැතිවේවී.. ඔව්..., මගේ හීන ලෝකෙදිවත් ඔයා ගැන හිතන්න, ඔයාට ආදරේ කරන්න, ඔයාව මතක් කරන්න තියන අයිතිය, මට අහිමි වෙනවා.හිතේ ගුලි වෙච්ච පුංචිම පැතුමකටවත් හෙටින් පස්සෙ ඉඩක් නෑ...ඒ හෙට දවස ගැන,හෙට දවසට අයිති ඒ හැඟීම ගැන මතක් වෙද්දිත් බයයි. මහ ගොඩාක් දුකයි.හෙට උරුම වෙන ඒ දුකට , මගේ හිත පාවඩ එලලා හමාරයි.ජීවිතේ පාළු මූසල සොහොන් බිමක් වෙන ඒ හෙට දවසට මම ලෑස්තියි.

මේ ලෝකෙ මම දිනාගත්ත වටිනාම වස්තුවක් ඔයා. ඒත් හෙට.... මගේ වටිනාම වස්තුව ගැන මට හිතන්න තියන අයිතියත් නැති වෙනවා. ජිවිතේ දුකක්.. ඔව්. මහා දුකක්. මම විඳවන්නම්. මම දරාගන්නම්.. මම ඉවසන්නම්..ඔයා ඈත් වෙලා ගියාට පස්සෙ,තවත් දිනන්න නම් කිසි දෙයක් මට ඉතිරි වෙලා නෑ මේ ලෝකේ..ඔව්. මම පැරදිලා ඉවරයි..ඔයා අහිමි වුනු මේ ලෝකෙ , මට දිනාගන්න තවත් දෙයක් නෑ....



නෙතින් නෙත බලාලා.. සිතේ දුක නිවා..
අදින් පසු මියේවී.. අපේ ඒ කතා..
රකින්නට සෙනේහේ ..හඬන්නට එපා..
නිමාවක් නොවේ මේ.. ඇරඹුමක් නිසා..


ඈත් බව දැනීලා ..ඔබේ හා මගේ..
දුරක් ආ නිසා ..දැන් දුකක් ඒ වගේ..
මහා සාගරේ සේ ..තිබුනත් සිතේ..
කුමට හිමි වුනාදෝ..අහිමි ආදරේ..


පතන්නට පවා මා ..වරම් අහිමි වූ..
හැඟීමත් රිදුම් දේ.. හෙටට උරැම වූ..
දිනන්නට කිසිත් නෑ.. ලොවේ මින් මතූ..
මගෙන් ඔබ ඈත් වී ගියයින් පසූ....






ගායනය - රෝහණ බෝගොඩ

Post Comment

18 December 2011

තටු සිඳුනු සමනළී -14 වන කොටස

කතාවෙ ඊළඟ කොටස දානකම් බලන් ඉන්න පිරිසක් ඉන්න එක ගැන සතුටක් නැතුවම නෙවෙයි.. වෙලා ඇති හැටියට ලියලා පළ කරන නිසා, ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනෙ.

ඔන්න එහෙනම් කතාව මතක නැති අයයි,මුල කොටස් කියවපු නැති අයයි, මෙතනින් කියවලා එන්නකො.

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13

අද 14 වන කොටස මෙතැන් සිට......

--------------------------------------------------------------------------------------------------------



පුංචි පුංචි හිත් රිදවීම් මැද,රණ්ඩු, අද දබර මැද, අමාරුවෙන් අපේ ආදරේ ඔහේ ගලාගෙන ගියා. හුස්ම ගන්න අමාරුවෙන් , පණ අදින ලෙඩෙක් වගේ මියැදෙන්න ඔන්න මෙන්න තියන අපේ ආදරේ, කොහොමහරි ජීවත් කරවන්න, ආයෙත් ඉස්සර වගේම ශක්තිමත් කරන්න මම නොගත් උත්සාහයක් නෑ..

ජීවිතේ ලේසියෙන් ලැබෙන දේවල් වල වටිනාකම අඩුයි වගේම, දසුන්ටත් මගේ ආදරේ වටිනාකම අඩුවෙලාදෝ කියන සැකෙන්, බයෙන් මම තැතිගැන්විලා උන්නා.මොන දේ වුනත් දැන් ජීවිතේට මූණ දෙන්න හයියක් ඕනෙ නේද කියලා හිතාගෙන මම හිත තද කරගෙන හැම දේකටම මූණ දෙන්න හිත හදාගත්තා.

දසුන්ගෙ අනාගතේ සතුට තියෙන්නෙ මේ පුංචි ලංකාවෙ, මගේ ඇස් මානයේ නෙවෙයි නම්, මම දසුන් වෙනුවෙන් , දසුන්ගෙ සතුට වෙනුවෙන් හැම දෙයක්ම ඉවසන්න හිත හදාගත්තා.ඔය අතරේ මට ෆෝන් එකක් නැති එක අපි අතරේ ප්‍රශ්න ඇති වෙන්න තවත් ලොකුම ලොකු සාධකයක් වුනා.මම යන එන තැන්, කරන කියන දේවල් ගැන ඒ මොහොතෙම විස්තරයක් දැනගන්න දසුන්ට පුළුවම්කමක් නැති වීම නිසා,දසුන්ගෙ හිතේ ලොකු පීඩනයක් තිබුණා.ඒ පීඩනය නිසාම දසුන්, ඒ තරම් අවංකව ආදරේ කරපු මාව සැක කරන්න පටන්ගත්තා.ඒ සැක කිරීමනම් මගේ හිත හුඟාක්ම රිදවපු කාරණාවක් වුණා.

ජීවිතේ අපි මහා හුඟාක් ආදරේ කරන කෙනෙක්, අපිව කිසිම හේතුවක් නැති , අරමුනක් නැති, සාධාරණ සාක්ෂියක් නැති කාරණා වලට වැරදිකාරයෙක් කළහම , දැනෙන දුක වැඩියි.වරදක් කළානම්, හේතුවක් තියෙනවනම්, ඒ හේතුව සාධාරනනම් එහෙම ලොකු දුකක් දැනෙන්නෙ නැතිවේවි. නමුත් මට දසුන්ගෙ මේ හැසිරීම මහා වදයක් වුනා.

දවසක් දා ඉස්කෝලෙදි , Chemistry මිස් පංතියට ආපු නැති වෙලාවකදි, මම ඩෙස් එක උඩ ඔළුව තියාගෙන ඔහේ කල්පනා කර කර උන්නා.වෙනදාටනම් එහෙම නිදහස් වෙලාවක, කතාකරන්න, කියන්න හුඟාක් දේවල් තිබුණු මට,එදා නම් ඕනෙ වුනේ තනි වෙලා, කල්පනා කරන්න.

"මොකෝ මධූ..මූඩ් ගහලා ඉන්නෙ??"

මම යන්තමට හිනාවක් දෙතොල් අතර රදවගන්න උත්සාහ කරනගමන්ඔළුව උස්සලා බැලුවා.විභාෂිණි මගේ දිහා හිනා වෙවී බලාගෙන හිටියා.ලඟම තිබ්බ පුටුවක් ඇදලා අරගෙන මගේ ළඟටම කරලා වාඩිවුනේ ලොකු කතාවක් කියන්න හිතාගෙන වගෙයි.

"මූඩ් ගහලා නෙවෙයි විභා, කම්මැළියි. ඔළුව රිදෙනවා වගේත්. ඒකයි."

"හා හා, කම්මැළි මොකද? උඹේ කුමාරයාව මතක් වෙලාද?එහෙනම් ඔළුව නෙවෙයිනෙ රිදෙන්න ඕනෙ."

'අහ් අනේ මේ විභෝ...මම කියන්නෙ නෑ කොහෙද රිදෙන්නෙ කියලා උඹට.."

"ඒකනෙවෙයි මධූවෝ.. මම මේ ඇත්තටම කියන්න හිටියෙ, මම දැකලා තියෙනවා උඹයි, උඹේ කුමාරයයි ක්ලාස් යනවා ,රොටරියෙදිත් නිතරම දකිනවා.නියමෙට ගැළපෙනවා උඹලා දෙන්නා, කොල්ලා හැන්ඩියා නේ??"

"අහ්හ්හ්... ගැළපෙනවා? ශුවර්ද උඹට?වෙන්න බෑ..ඔව් විභා, අපි දෙන්නා ඉතින් ක්ලාස් යන්නෙ, ඉන්නෙ එකටනෙ.ඕක දැන් නොදැක්ක කෙනෙක් නැති තරම්. උඹ Bio කරත් රොටරි එනවනම්  අපි දෙන්නාව දැකලා තියෙන්න ඕනෙ."

"අහ්හ් හා..කොහෙද ඉතින් කෙල්ලට අපිව පේන්නෙ නෑනෙ , පාරෙ යද්දි."

'අනේ නෑ විභා, එහෙම නෑ..ඉතින් විභාට නැද්ද කුමාරයෙක්??"

"අපෝ... ඉන්නවා ඉන්නවා..එයා අපිට වඩා වැඩිමල් .අනික...."

"අනික කිව්වෙ?"

"එයා මුස්ලිම්..."

"මුස්ලිම්...???? ඔහ්හ්හ්හ්... ආදරේට ඕවා ප්‍රශ්න නෙවෙයි තමා. ඒත් ගෙදරින් කැමතිවෙයිද?"

"දන්නෙ නෑ මධූ.. එන දේකට මූණ දෙනවා..එයා මට ආදරෙයි. මාත් එයාට ආදරෙයි.එයාට ජිවිතේ ගැන අවබෝධයක් තියෙනවා මට වඩා. ඒ ඇති."

මට විභාෂිණී ගෙ හිත ගැන පුදුම හිතුණා.ආදරේ වෙනුවෙන් කෙල්ලො මොනතරම් අවදානමක් කරට ගන්නවද? මටයි දසුන්ටයි ඒ තරමට ලොකු අවදානමක් නැතත්, අද අපිට වෙලා තියෙන දේ ගැන මම දිගින් දිගටම කල්පනා කලා.

"මොනාද මධූ කල්පනා කරන්නෙ? මොකුත් ප්‍රශ්නයක්ද?"

"ම්ම්.. එහෙම දෙයක් නෑ...නිකන්, ඔයාගෙ හිත හයියයි විභා. ඒක හොදයි.ඔය දෙන්න හම්බෙනවද ඉතින් නිතර?"

"එහෙම නෑ මධූ..හම්බෙන්න වෙන්නෙ නම් නෑ නිතර, ඒත් අපි හැමදාම කතා කරනව ෆෝන් එකෙන්."

"හ්ම්ම්... අපිට නෑනෙ එහෙම වාසනාවක්.. අපේ ගෙදරට එෆයාර් එක අහුවෙලා, මගේ ෆෝන් එක ගත්තානෙ. ෆෝන් එකක් නැති නිසා හරිම ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙන්නෙ."

"අනේ... ඒකනම් එහෙම වෙනවා මධූ...ඔයාට ඕන්නම් මම ෆෝන් එකක් දෙන්නම් . "

"මොකාක්?? අනේ විභා.... ඔය ඇත්තමද? අනේ ඒකනම් ලොකු උදව්වක් කෙල්ලෙ. මම ෆෝන් එකක් ගත්ත ගමන් ආයෙත් දෙන්නම්."

"අහ්හ් ඕක මොකක්ද මධූ.. මගේ පරණ ෆෝන් එක ඒක. හැබැයි ටිකක් ලොකුයි..ලස්සන නම් නෑ..."

" අනේ ලස්සන වැඩක් නෑ කෙල්ලෙ. මට ඕනෙ කතාකරන්න, මැසේජ් යවන්න පුළුවන් ෆෝන් එකක්."

"හරි මධූ..ඔයා අවුලෙන් ඉන්න එපා, ප්‍රශ්න ඇති කරගන්නත් එපා. හොදින් වැඩ ටික කරගෙන ඉන්න. මම ෆෝන් එක ඉරිදාට ක්ලාස් එද්දි ගෙනත් දෙන්නම්."

"තෑන්ක්ස් විභා, ඔයා මට මේ කරන්නෙ ලොකූ උදව්වක්."

"ඕක මොකක්ද කෙල්ලෙ."

මගේ වාසනාවට විභාෂීණී පිහිටට ආවෙ කියලා මම හුඟාක් සතුටු වුණා.ෆෝන් එකක් ටික කාලයකට හරි මට ලැබෙන එක ගැන හුගාක් සතුටිනුයි මම හිටියෙ.එදා හවස ඉක්මණටම ඉස්කෝලෙ ඇරෙනකම් ඉවසිල්ලක් නැතිව උන්නෙ , දසුන්ට කෝල් කරලා ෆෝන් එකක් ලැබෙන එක ගැන කියන්නයි.
---------------------------------------------------------------------------------------------------------

කාලය හරිම ඉක්මණට ගෙවිලා ගියා. විභාෂිණී ගෙ ෆෝන් එක නිසා ආයෙමත් මටයි දසුන්ටයි ළං වෙන්න වාසනාව උදා වුනා. නිතරම දසුන් ගැන හොයලා බලන්න,කතා කරන්න ෆෝන් එක නිසා පුළුවන් වුනත්, ගෙදරට හොරෙන්, අම්මාගෙනුයි තාත්තාගෙනුයි පරිස්සම් වෙලා මේ හැමදෙයක්ම කරන එක ගොඩාක් අමාරු දෙයක් වුණා.විභාෂීණීගේ ෆෝන් එක නිසා අපි මාස කීපයක්ම පුංචි පුංච් රණ්ඩු වෙවී, යාළු වෙවී ගත කළා.

හැබැයි කොයිතරම් හොඳින් සතුටින් ඉන්න උත්සාහ කලත්, දසුන්ට නිතරම මගේ වැරද්දක් පෙනුණා.ඉස්සර මේ ලෝකෙම හිටපු හොඳම කෙල්ල වුනු මාව , කාලය ගත වෙද්දිම දසුන්ට නරක් වෙන්න පටන් ගත්තා.හිත රිදෙන දුක හිතෙන හැම කතාවක්ම අවසානයේ වැරදිකාරී වුනේ මම.ඒත් දසුන්ට තිබුණු ආදරේ නිසාම මම හැම දුකක්ම, හැම වැරද්දක්ම මගේ පිට පටවගෙන,දසුන් කියන දේම පිළිගෙන නිහඬවම උන්නා.කොයිතරම් මට බැන්නත්, දොස් කිව්වත් දසුන් මට මහ ගොඩාක් ආදරේ කළා කියලයි මම හැමදාකම හිතුවෙ.

ඔය අතරේ මගේ 18 වෙනි උපන් දිනේ යෙදුනෙත් ඒ කාලෙදිමයි.මගෙයි දසුන්ගෙයි ආදර කථාවෙ ගතවෙන පළවෙනිම අවුරුද්දෙ ,මගේ පළවෙනිම උපන්දිනේ. දසුන් එදා මාව පුදුම කලේ මට ෆෝන් එකක් තෑගි කරලායි.මුදලින් හුඟාක් වටින එකක් නොවුනත්, දසුන් දුන්නු නිසා මට ඒ ෆෝන් එක හුඟාක් වටින එකක් වුනා.අපේ හමුවීමෙ යෙදුනු මගේ පලවෙනිම උපන්දිනේ දාත්, මගේ නළල ආදරෙන් ඉඹලා,දසුන් දුන්නු පොරොන්දුව වුනේ "මම ඔයාව දාලා කවදාවතම යන්නෙ නෑ මධූ" කියන පොරොන්දුවයි.

මම මගේ උපන්දිනේ දවසේ, අම්මාත් එක්ක ගෙවල් ළඟ පන්සලට ගිහින් බුදුන් වැඳලා ප්‍රර්ථනා කලේ, හැම උපන්දිනයකම මට සුභ පතන්න දසුන්ට මාත් එක්කම ඉන්න ලැබෙන්න කියලයි.ඒත් අම්මාවයි  තාත්තාවයි රවට්ටන, හිතුවක්කාර, මුරණ්ඩු කෙල්ලෙක් දිහා දෙවියෝ, බුදුන් බලයිද කියලා නොහිතුණා නෙවෙයි.

ජීවිතේ කියන්නෙ හරිම දුෂ්කර ගමනක්, කටු පඳුරු, ගල් බොරළු , බාධා මැද, ධෛර්‍යෙන් යන්න ඕනෙ, නොසැලෙන ආත්ම විශ්වාසයෙන් ඉදිරියටම යන්න ඕනෙ ගමනක්.ආදරෙත් එහෙමයි.දසුනුත් මමත් ආදරේ කියන මේ නිර්වචනය කළ නොහැකි , විස්තර කල නොහැකි හැඟීමත් එක්ක , ජීවිත ගමනෙ පුංචි දුරක් ආවා.ජීවිත කාලෙත් එක්ක සසදා බලද්දි ඒක හරිම පුංචි කාලයක්. මම මොහොතකට කල්පනා කලා, මේ ආපු ගමන දිහා, තරාදියකට දාලා කිරලා බැලුවොත් දෙයියනේ..... මේ පුංචි කාලෙදි වැඩියෙන්ම ලැබුවෙ, දුකද, නැත්තම් සතුටද කියලා??? නෑ මනින්න ඕනෙ නෑ.. යථාර්තයට මූණ දෙන්න, ඇත්ත දරාගන්න මගේ හිත මැළි වුනා.

දසුන් අකමැති නිසා ,මට යාළුවොත් එක්ක සමරන්න තිබුණූ හුඟාක් විනෝදජනක අවස්ථා මඟ හැරුණා.යාළුවොන්ගෙ උපන්දින සාද, විනෝද චාරිකා,සාප්පු සවාරි තව හුඟාක් දේවල්.නමුත් කිසිම දවසක මම ඒ ගැන අනවශ්‍ය  විදියට තැවුනේ නෑ..දසුන් අකමැති දේවල් මට හිතා මතා කරන්න ඕනෙ වුනේ නෑ...නමුත් පුංචි දුකක් නොතිබුණාම නෙවෙයි.හුඟාක් දේවල් වලට දසුන්ගෙන් මට තහංචි පැනවුනා.ගමන බිමන්, විනෝද චාරිකා, ඇඳුම් පැළඳුම් වගේ නොයෙකුත් දේවල් වලට දසුන් වාරණ පනවලා තිබුණා. සමහර දේවල් වලට සාධාරන හේතු තිබුණා, නමුත් සමහර දේවල් වලටනම් කිසිම සාධාරන හේතුවක් තිබුණෙ නෑ.. නමුත් මම ආදරේ නාමයෙන් ඉවසුවා.

 දසුන් නැතුව ජීවත් වෙන්න මම හීනෙන්වත් හිතුවෙ නෑ..දසුන් නැති ලෝකයක් මට තිබුණෙ නෑ..මේ හැම දෙයක්ම දසුන් කරන්නෙ කියන්නෙ මට තියන ආදරේට කියලයි මම හැම වෙලේම හිතුවෙ.සමහර වෙලාවට හුඟාක් දුර දිග ගිය ප්‍රශ්න ඇති වුණා.ඒත්, ඒ හැම වෙලාවකම මම දසුන්ට තියන ආදරේ නිසාම , වැරැද්දක් තිබුනත්, නැතත් වැරැද්ද භාරගෙන නිශ්ශබ්ද්ද වුනා.
-------------------------------------------------------------------------------------------------------------

"දසුන්.. විභාගෙ ළගයිනෙ. හසීලා ඔක්කොම ටියුට් ක්ලාස් එහෙකට යන්න හදන්නෙ ,chemistry වලට අපිත් යමු."

"කොහෙද ඒ??"

"රොටරියෙමයි..හොද සර් කෙනෙක්ලු කරන්නෙ. හැබැයි ඉස්කෝලෙ ඇරිලා තමා යන්න වෙන්නෙ. 2.30 ඉඳන් 6.30 වෙනකම් තියෙන්නෙ."

"අම්මෝ... නෑ නෑ ඕනෙ නෑ.. මට බෑ මහන්සියිනෙ අප්පා.. එපා වෙන්නෙ නැද්ද?"

"අනේ... ඉතින් තව අවුරුද්දයිනෙ... මේ කාලෙ මහන්සි වෙන්නෙ නැතුව බෑනෙ..අනේ අපි යමු.."

"පිස්සු කියවන්නෙපා මධූ.. මොලේ අමාරුවද?? මට බෑ... "

"ඔයාට බැරිනම් මම යන්නද??මට chemistry Organic එහෙම අමාරුයි.."

"Organic අමාරුනම් ගෙදරට වෙලා පාඩම් කරන්න. ටියුට් ක්ලාස් ම යන්න ඕනෙ නෑනෙ.අනික මම නැතිව??මහ රෑ ගෙදර යන්නද තමුසෙට ඕනෙ?යුනිෆෝර්ම් පිටින් පාරෙ රස්තියාදු වෙන්න??6.30 ට ඇරිලා ගෙදර යද්දි කීය වෙයිද?"

"එච්ච්ර රෑ වෙන්නෙ නෑනෙ දසුන්.. අනික මම පරිස්සමින් එන්නම්. හසීලා ඉන්නවනෙ.."

"ඔයා ඇයි මම එපා කියන ඒවාම කරන්න යන්නෙ?? මම ආස නෑ.. හසීලා හිටියට මම නෑනෙ.. ඔච්චරටම යන්න දඟලන්නෙ ඔය පංතියට, මොකක්හරි හොරයක් ඇති."

මගේ පපුව පිච්චිලා ගියා.දෙයියනේ ඉගනගන්න පංතියකට යන්න අහලා මේ තරම් , හිත රිදෙන කතා අහගන්න වෙයි කියලා දැනගෙන උන්නානම් , කවදාවත් අහන්නෙ නෑ..දසුන් කොහොමද මෙහෙම හිතන්නෙ.මට එක මොහොතකට මුළු අතීතයම එකම රූපරාමුවක මැවිලා ගියා."මොන දේ වුනත් මම වෙනස් වෙන්නෙ නෑ.. ඔයාගෙ හැම දේකදිම ඔයා ලඟින්ම ඉන්නවා මධූ" කියපු දසුන්ම මට මෙහෙම චෝදනා කරන්නෙ ඇයි කියලා හිතුනා.

"මට ඔහොම කතා කරන්නෙපා දසුන්. හරි මම ගෙදර ඉඳන් පාඩම් කරන්නම්. ඔයා ඔයතරම් නපුරු වෙයි කියලා කවදාවත්ම හිතුවෙ නෑ..ඔයාට මම මොන දෙයක් කළත් වැරදියි. දෙයිය්නේ දසුන් මාත් මනුස්සයෙක්. මටත් පුංචි හරි ආත්මගරුත්වයක් තියෙනවා.ඔයා මට හැම වෙලේම ඔහොම කතා කරන්නෙපා."

"මට කොහොමද එහෙනම් කතා කරන්න කියන්නෙ?? හා?? මට පේනවා දැන් ඔයාට ළඟකදි ඉඳන් මගෙන් ගැලවෙන්න ඕනෙ වෙලා තියෙන්නෙ නේද?"

"මොනාද දසුන් මේ අහන්නෙ?මටද ඔයාටද එහෙම වෙලා තියෙන්නෙ? ඔයායි හැම දේටම මාව වැරදිකාරි කරලා ,දාහක් නීති මට දාලා, මාව කොටුකරලා තියෙන්නෙ.මම ඔයාට කිසිම වරදක් නොකරයි ඔයා මට චෝදනා කරන්නෙ.පුංචි දේටත් මාව දාලා යන්න හදන්නෙ ඔයයි දසුන්... ඔයායි...ඔයයි මාව දාලා ලංකාවෙනුත් යන්න හදන්නෙ.. මම නෙවෙයි.."

හිතේ ආවේගෙට, කේන්තියට, දුකට, කළකිරීමට මේ හැමදේටම මම කටට ආපු වචන එහෙම්ම පිට කළා.

"අහ්හ්. ඔව් ඔව්. මම තමා. මම තමයි වැරදි...තමුසෙට ඕනෙ දෙයක් ඕනෙ විදියට කරගන්නවා...මම යනවා යන්න."

නුගේගොඩ නගරයට ඉර බැහැගෙන යන ,අදූර වැටීගෙන  ගොම්මන් හැන්දෑවෙ , දසුන් මගේ හිත කෑලි කෑලි වලට පොඩි පට්ටම් වෙලා යන වචන ගොන්නක් කියලා, මහ පාර මැද දාලා ඈතට ඈතට ඇවිදගෙන යනකම් මම බලාගෙන උන්නා.මහා ලොකු බිඩිම් මැද, පාට පාට නානාප්‍රකාර වාහන අතරේ, හිස් ලූ ලූ අත කඩිසර ගමනින්, විව්ධ අරමුණු වෙනුවෙන් එහෙ මෙහෙ ඇවිදින සෙනඟ ගොන්න මැද, මම අසරණ වෙලා නේද කියලා දැනුනා.ආදරේ කියන්නෙ මට මේ දැනෙන ආත්මානුකම්පාවටද???මේ අසරණ කමටද?මේ හිස් බවටද?

ඇස් අගින් කඳූළු කැට එකින් එක වේගෙන් ගලාගෙන ගියා.මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහලා අඬන්න ඕනෙ වුනත්, මගේ ආත්ම ගරුත්වය මාව වැළැක්වුවා.දසුන් මාව දාලා ගෙදර යන්නෙ නැති බව දැනගෙන උන්නා. බස් හෝල්ට් එකට වෙලා මම එනකම් බලාගෙන ඇති කියලා හිතාගෙන, මම හිමින් හිමින් ඇවිදගෙන ගියා.

"අද මම තීරණයක් ගන්න ඕනෙ. මේ ආදරේ මෙහෙම ලාභ කරන්න බෑ..දවසින් දවස වටිනාකමින් අඩුවෙන මගේ ආදරේ වෙනුවෙන් මම තීර්ණයක් ගන්න ඕනෙ...."

මම මගේ හිතින් හිතාගෙන කදුළු කැට හිරකරගෙන ,හැඟීමක්, අරමුණක් නැති එකම ආත්මානුකම්පාවක් වෙලා ගත්ත හිතින් එහෙම හිතුවා..

"ඔව් මම තීරණයක් ගන්නවා...."

----------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු පුංචි කෙල්ල මධූ,දසුන්ට පෙර මේ ආදර කථාවට නැවතීමේ තිතක් තබන්න යනවාවත්ද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............




15 වන කොටසට.....

Post Comment

16 December 2011

෴ අවාසනාව ෴



හිත රිදෙන, දුක හිතෙන
කතා හැම තැනම....
අනේ මම කොහොම මූණ දෙන්නද 
මේ ලෝකෙට.......

ආදරේ කළේ,ආදරේ කරන්නෙ
මම විතරක්ද මන්දා...
මේ හැමෝම බලන්නෙ මගේ දිහාම
පැරදුනේ මං විතරක් නිසාද.....

ඇරඹුමක් නැති, නැවතුමක් නැති
මගේ ආදර කතාවට...
කඳුළු විතරක් උරුම,දුක විතරක්ම හිමි
සත්තයි මගෙ අවාසනාවට...


Post Comment

15 December 2011

- බලු මෙහෙයුම -



ඔන්න අද හිතූ කියන්න යන්නෙ බල්ලෙක් නිසා වුනු ඇබැද්දියක් ගැනයි..:D


මේ සිද්ධිය වුනේ පෙරේදා. සුපුරුදු විදියට මම වෙනදා වගේම හවස ගෙදර එද්දි, ගේට්ටුවෙන් එනකොටම කවදාවත් නැතුව අපේ තාත්තා "ගේට්ටුව වහන්න එපා. ඔහොම ඇරලා තියන්න "කියලා කෑගහන්න ගත්තා.වෙනදාට අම්මා ගේට්ටුව වහන්නෙ නෑ කියලා කෑ ගහනවා. එදා තාත්තා වහන්න එපා කියලා කෑ ගහනවා.පුදුම වැඩක්නෙ මේක කියලා මාත් ඇහුවා මොකක්ද හේතුව කියලා.එතකොට තමා තාත්තායි අම්මායි සිද්ධිය කිව්වෙ.හිතූටනම් ඒක හරිම විනෝදජනක වුණා.:D


එදා උදේ අපේ මහප්පා, අපේ ගෙදරට බලු පැටියෙක් අරන් ඇවිල්ලා.බලු පැටියෙක් කිව්වෙ ,මේ වල් බලු කුක්කෙක් ;) :D.වල් බලු පැටියෙක් වුනත්, බෝල ගෙඩියක් වගේ මහත, දුඹුරු පාට, හොම්බ කළුම කළු පාට, ආදරේ හිතෙන හුරතල් පාට බලු පැටියෙක්ලු. මහප්පලා ගෙ ගෙදර ටික කාලයක් උන්නු මේ බලු කුක්කාව ,අපේ ගෙදරට අරන් ඇවිල්ලා තිබුණේ , අපේ තාත්තාට බලු පැටියෙක් ඕනෙ කියලා කලින් කරලා තිබුණු ඉල්ලීමක් මතයි.එයා අපේ ගෙදරට එද්දිම නමක් දාගෙනයි ඇවිත් තිබුණෙ.මගේ නෑදෑ වෙන සහෝදරී එයාට දාල තිබුණූ  ඒ නම තමා "බෙන්සන්" :D 


කොහොමෙන් හරි උදේ ගෙනාව මේ බලු පැටියා එදා දවල්ම අපේ ගෙදරින් පැනලා ගිහිල්ලා :D පුදුම වැඩේ කියන්නෙ, මූ පැනලා ගිහින් තියෙන්නෙ තාප්පෙන්.මාස 9ක් 10ක් වුනත් , පොඩිකමටද වැඩ බලන්නකෝ..:/ දවල්ට බඩ පැලෙන්න කන්නත් දීලා, උදේ ආව ගමන් හොඳ කිරි එහෙකුත් බොන්න දීලා, අපේ අම්මා වැඩි හොඳට පොඩ්ඩක් වත්ත වටේ රවුමක් දාන්න කියලා නිදහස දෙන්න හිතාගෙන දම්වැල ලෙහලා.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මේ කපටි බෙන්සන්, අපේ අම්මාගෙ ඇස් වලට හොරා තාප්පෙන්ම මාරු වෙලා.ජංජාලයයි!!!! පැනලා ගියපු බෙන්සන් ආයෙමත් හොයාගෙන ආවොත් කියලා තමා ගේට්ටුව ඇරලා තියලා තියෙන්නෙ.
(ඒකෙත් හැටි, තාප්පෙන් පැනලා ගියපු එකාට ,ආයෙත් එන්න ගේට්ටු ඇරලා බලන් ඉන්නවා..:D)


කොහොමහරි අල්ලපු ගෙදර අංකලුයි ඇන්ටියිත් අපේ බෙන්සන් නැති වුනු එක ගැන ඇහැ ගහගෙනයි උන්නෙ.මොකද බෙන්සන්,අල්ලපු ගෙදරට තාප්පෙන් පැනලා එතනින් පාර දිගේ තමයි පැනලා දුවලා තිබුණේ.ඉතිං අපේ අම්මා අහළ පහල ඔක්කොම අයව දැනුවත් කරලා තිබුණා බෙන්සන්ගෙ හැඩ රුව සහිත දීර්ඝ විස්තරයක් එක්ක.කොහෙදිහරි බෙන්සන් දැක්කොත් වහාම අපේ ගෙදරට දන්වන්න කියලා දැනුම් දීමකුත් කරලයි තිබුණේ.


කාලයක් තිස්සෙම බලු පැටියෙක් ගේන්න ඕනෙ කියන අදහස අපේ තාත්තාගෙ හිතේ තදින්ම තිබුණා.මොකද, අපේ ගෙදර අවුරුදු 10ක් තිස්සෙ හුරතලේට උන්නු බල්ලා ,අපේ ආදරණිය රැන්ඩියා, අපේ තාත්තාගෙ සුදු මහත්තයා මීට මාස ගාණකට කලින් මැරුණා.අසනීප වෙලා, බේත් කරලා කරලා ඒත් ගොඩ ගන්න බැරි වුනා.:( අන්තිමේදි අපිව දාලා යන්නම ගියා. German Shepard වර්ගයේ බල්ලෙක් වුනු රැන්ඩියා ගෙදරට හරිම ලැදි, හුරතල්, සතෙක් වුනා. තාත්තා කොහොමත් සත්තුන්ට ආදරෙයි. විශේෂයෙන්ම බල්ලන්ට.ඉතිං මේ බෙන්සන් ගෙනාව ඩිංගටත් තාත්තා ඌට හුඟාක් ආදරෙන් සැලකුවා.අම්මාත් එහෙමයි. ඉතින් මේ බලු පැටියා නැති වුනු එක ගැන අම්මායි තාත්තායි ටිකක් දුකින් හිටියෙ.මටනම් ඉතිං ටිකක් තරහත් ගියා.අපේ අම්මාගෙ කරුණාවන්තකමින් අයුතු ප්‍රයෝජන ගත්ත හොර ගෙඩියෙක් නිසා.;)


කොහොමෙන් කොහොමහරි බෙන්සන් හොයාගන්න අම්මායි තාත්තයි මගේ මලයණ්ඩියයි අප්‍රමාණ වෙහෙසක් ගත්තා.ගෙවල් පැත්තෙ පාරවල් දිගේ ,හංදි ගානෙ අම්මායි, තාත්තයි, මල්ලියයි බෙන්සන්ව හෙව්වා.ඒත් පෙරේදා රෑ වෙනතුරුත් බෙන්සන්ව හම්බුනේ නෑ..මහප්පටත් දැන් හුගාක් දුකයි.වෙන බල්ලො හපා කාලා බෙන්සන් ට තුවාල වෙයිද, කන්න නැතුව හාමතේ ඉන්නවා ඇතිද,හප්පොච්චියේ..... ප්‍රශ්න ගොඩායි.ළමයෙක් ගැන වද වෙනවා වගේ අපේ ගෙදර කට්ටිය බෙන්සන් නිසා වද වුනේ.


ඔන්න ඊට පහුවදා උදේම ,ඒ කියන්නෙ ඊයේ උදේ, අල්ලපු ගෙදර අංකල්ගෙන් බෙන්සන් ගැන හෝඩුවාවක් ලැබුණා.ඒ තමයි අංකල් උදේ පාන් ගේන්න කඩේට යනකොට බෙන්සන් හංදියෙ බේකරිය ළඟ හිටියා කියන හෝඩුවාව.වහාම ක්‍රියාත්මක වුනු අපේ තාත්තා ,බෙන්සන් අල්ලගන්න දම්වැලත් අරගෙන ගියා.සංතෝසේ බෑලු, බෙන්සන් ඉන්නවාලු.අවාසනාවක මහත කියන්නෙ තාත්තා බෙන්සන්ව අල්ලගන්න හදනකොටම, මේ නොසණ්ඩාලයා ආයෙමත් පැනලා දුවලා.තාත්තා  බෙන්සන්ව අල්ලගන්න කොයි තරම් උත්සාහ කළත් අල්ලගන්න බැරි වෙලා.අන්තිමේදි ඒ උත්සාහයත් අසාර්ථක වුනා.:(




ගිය එකා ගියාවෙ කියලා හිතහදාගෙන ඉන්න කියලා බැරිම තැන හිතූ අම්මාටයි තාත්තටයි කිව්වලු.;) ඔන්න ඔහොම ඉද්දි, ආයෙමත් ඊයෙ හවස බෙන්සන් අපේ ගෙවල් ළගටම ඇවිත් කියලා ආරංචියක් ලැබුණා.ඔන්න ඉතිං ආයෙමත් ගිහිල්ලා බලනකොට ඒ බෙන්සන්ම තමයිලු.ඔන්න ඊටපස්සෙ රටේ තියන ඔක්කොම උප්පරවැට්ටි දාලා බෙන්සන්ව අල්ලගෙන අරන් ආවා.ඊටපස්සෙ තමා අපේ අම්මාට හිතට සැනසීමක් ලැබිලා තියෙන්නෙ.:D 


ගෙදර ආපු බෙන්සන්ට කන්න, බොන්න දීලා සත්කාර කරලා තියාගන්න හැදුවත්, අපේ අම්මාගෙ කැමැත්ත වුනේ බෙන්සන් හිටපු දිහාටම ආයෙමත් යවන්නයි.ඒකට හේතුව වුනේ, බෙන්සන් අපිට තවමත් හීලෑ නැති නිසා ,ආයෙමත් පැනලා ගියොත් අපිට පවු සිද්ධ වෙයි කියලා හිතන නිසයි.අනේ මංදා :)


සාර්ථක මෙහෙයුමක අවසානෙදි ගෙදර හැමෝම තීර්ණය කරලා, මහප්පාටත් දන්වලා ,බෙන්සන්ව ආයෙමත් එයා හිටපු, එයා කැමති එයාගෙ ගෙදරටම යැව්වා.:D බෙන්සනුත් සතුටින් විසිර ගියාලු.


අකමැත්තෙන්, බලෙන්, අමාරුවෙන් රඳවගන්න දේවල් වලින් සතුටක් නෑනෙ.එහෙම රඳවගෙන වැඩකුත් නෑ.. අපිට අයිති නැති දෙයක්නම්, කොහොමත් අපි ලඟ රැදෙන්නෙ නෑ මං හිතන්නෙ.ඒ තියරිය මෙතන්ටත් වලංගුයිද මංදා ;)


ඉතින් බෙන්සන් උඹට ජය!!!!!! :D :D

Post Comment

10 December 2011

තටු සිඳුනු සමනළී -13 වන කොටස

කතාව ඩිංග ඩිංග අවසානයට ලං වෙලා කියලා කට්ටිය දැන් බලන් ඉන්නවා ඇති.. තව තියනවා.. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.. ඔන්න කොටස් පල කරන්න ප්‍රමාදයි කියලා නම් හිතූට බනින්න එහෙම එපා..:(

මුල කොටස් අමතක අය, කියවපු නැති අය කියවලාම එන්නකෝ..

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12

අද 13 වන කොටස මෙතැන් සිට...

----------------------------------------------------------------------------------------------------------

දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ, හදවත් ගැහෙන්න අමුතුම රිද්මයකටලු.පුංචි දේටත් හිත ගැස්සෙනවා වැඩියිලු.අනේ මංදා ඔය අනං මනං කතා අහලා තිබ්බට මොකද ,මට ඔය ඔක්කොම ඇත්ත නේද කියලා තේරුණේ, දසුන් එක්ක කතා කරද්දි මගේ හිත ගැස්සිලා යන අවස්ථා වලදියි.

ඩග් ඩග් ගාලා පපුව ගැහෙද්දි, මම දසුන්ට පෙරැත්ත කර කර ඇහුවෙ මොකක්ද වුන ප්‍රශ්නෙ කියලායි.ඒත් මම කලබල වෙලා උන්නු නිසාදෝ දසුන් උන්නෙත් බයෙන්.

"අනේ දසුන් කියන්නකෝ..මොකක්ද වුනේ?"

"අනේ මධූ ඒක මේ චූටි ප්‍රශ්නයක් කෙල්ලෙ. ඔහොම බය වෙන්න එපා."

"හරි ඉතින්. කියන්නකෝ.. මොකක්ද වුනේ?"

"මේකයි මධූ..අපේ අම්මලාටත් කොහෙන් හරි ආරංචියක් ගිහින් මම කවුරුහරි ගෑණු ළමයෙක් එක්ක යාළුයි කියලා."

"මොනවා? දෙයියනේ!!! දසුන් ඇයි අපිටම මෙහෙම වෙන්නෙ....අනේ...."

මට දසුන් එහෙම කිව්වහම ඇති වුනේ අපරිමිත බයක්.පුංචි දේටත් මහ හුගාක් කලබල වෙන මම, ඒ මොහොතේ පරතෙරටම හිතලා හුගාක් බය වුනා.ඇඬෙන්න ඔන්න මෙන්න වගේ මගේ කටහඬ වෙනස් වෙද්දි, දසුන් ආයෙත් මාව සනසවන්න කතා කළා.

"ඔහොම බය වෙන්න එපා මධූ.. තාම මුකුත් වුනේ නෑ.. අපේ අම්මාලාට කවුරුහරි මාව මෙහෙම පාරෙ යද්දි දැකලා කියලා මං හිතන්නෙ."

"බය නොවී කොහොමද??ඔයාට තේරෙන්නෙ නෑ මට තියන බය. අම්මලා මොකද කිව්වෙ ඉතින්?"

"හ්ම්... බය වෙන්න එපා.අපි එන දේකට මූණ දෙමු මධූ...අම්මා උදේ කිව්වෙ මග දිගට එනකොට අඳුරන ගෑණූ ළමයි එක්ක කථා කරනවා නේද, ඒකටනම් කමක් නෑ.ඒත් සම්බන්ධකම් එහෙම නම් පටන්ගන්න ලෑස්ති වෙන්න එපා කියලා"

"ඒ කියන්නෙ අම්මලාට ආරංචි වෙන්න ඇති මොනා හරි."

"මේකයි මධූ... අපේ අම්මාලා කියන්නෙ මට ඒ ලෙවල් කරලා ඉවර වෙලා..රට යන්න කියලා.ඒ නිසා මට එකසැරේම විභාගෙ පාස් වෙන්නලූ.පිස්සු නටන්න හදන්න එපාලු.පටළැවිලි හදාගෙන පස්සෙ චුරු චුරු ගාන්න එපාලු"

"මොකා....ක්??"

"මොනාද දසුන් මේ කියන්නෙ?? ඒ කියන්නෙ ඔයා...ඔ....ඔයා.. මාව දාලා යනවා.."

පෙරුම් පුරාගෙන ,සංසාරෙ පුරාවටම පතාගෙනම ඇවිත්, යශෝදරා දේවියටයි, සිදුහත් කුමාරයටයිත්, ආත්මෙකදි වෙන්වෙන්න වුනා නම්, මම කවුද? මොහොතකට මට දැනුනේ විශාල ආත්මානුකම්පාවක්. මේ තරම් ආදරේ කරලා අවසානෙදි වෙන්වෙන්න වුනෝතින් හිත හදාගන්නෙ කොහොමද?මහා ගොඩක් හීන බලලා, බලාපොරොත්තු එකතු කරලා අවසානෙදි ඉතිරි වෙන්නෙ කඳුළු විතරක්නම්?? මේ ආදරේ මිරිඟුවක්  නම්, මේ මිරිඟුව පස්සෙ දුවලා හති වැටිලා අතරමං වෙන්න වුනොතින්??

හිත ඇතුළෙන් ප්‍රශ්න ගොඩකට මම උත්තර හෙව්වා.ඒත් එකම ප්‍රශ්නයකටවත් උත්තර හිතාගන්නවත් මට බැරි වුනා.ආදරේ කියන්නෙ මේ තරම් අමාරු ප්‍රශ්න පත්තරයක්ද කියලා හිතුනා.හිත පුරාම මහා ගින්නක් ඇවිලිලා ගියා වගේ දැනුනා.අකුණු සිය දහස් ගණනක් එකවරම පුපුරා ගියා වගේ හිත ඇතුළේ දෝංකාර දුන්නෙ එකම ගිගිරුමක්.

"මධූ........."

දසුන් අසරණ ,අනුකම්පා සහගත ස්වරයකින් මට කතා කළා.

"ම්ම්ම්ම්ම්ම්....."
මම  ඇස් අගට උනපු කදූළු කැටයක් වැටෙන්න නොදී පරිස්සමට කතා කළා.

"මේ බලන්න මධූ....කෝ...ඔය..අනේ බලන්න ඔයාගෙ ඇස් වල කඳූළු... ඇයි මධූ??"

"ඇයි අහන්නෙ දසුන්? ඔයා කියන්නෙ මට හිනා වෙන්න කියලද?මහ පුදුම කතාවක්නෙ..ඔයා මාව දාලා යද්දි ඔයා කියනෙ මට හිනා වෙන්න කියලද?"

මම ඉන්නෙ කොහෙද, මොනාද කියන්නෙ, මොකක්ද වෙන්නෙ, කිසිම දෙයක් අමතක වුනු විදියට, මහා හයියෙන් කියාගෙන කියාගෙන ගියේ හිතේ ඇති වුනු වේදනාවට.හංගගෙන උන්නු කඳූළු කැට පෝළීමක් මටත් නොදැනිම කම්මුල් දිගේ ගලාගෙන ගියේ අනවසරයෙන්මයි.

"මේ අහන්න මධූ .. මම තාම ගියේ නෑ.. මම කිව්වෙ අම්මාලා කියන දේ විතරයි. මගේ තීරණේ මොකක්ද කියලා ඔයා දන්නවද? නෑනෙ.. ඇයි ඔහොම කලබල වෙන්නෙ?දෙයියනේ.... අපරාදේ මම ඔයාට මේවා කියන්න ගියේ.."

"මම දන්නෙ නෑ දසුන්. ඒත් මම නිසා ඔයාට අම්මලාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ නොකර ඉන්න බෑනෙ. එහෙම කළොත් මට පවු පිරෙයි. ඔයා යන්න.කමක් නෑ.."

"දෙයියනේ මධූ... මේ අහනවා. දැන් ඇති හොඳටම. මම යන්නෙ නෑ.. අනික ඕක අද හෙට වෙන්නෙ නෑ.. ඒ ලෙවල් වලට තව අවුරුද්දකට වඩා තියෙනවනෙ."

"ඔයා කොහේ ගියත්, ඔයාගෙ ආදරේ මගේ ලඟ තියෙනවනෙ දසුන්..මේ හිතේ ඔයා පුරවපු ඉඩ පුරවන්න ආයෙත් වෙන කාටවත්ම බෑ...ඒ ඉඩ හැමදාමත් ඔයාට විතරයි අයිති. ඔයා දවසක මට අයිති නැති වුනත්, ඒ ඉඩ එහෙමම තියේවි.මම දන්නෙ එච්චරයි."

"මම දන්නවා මධූ. මාත් එහෙමයි.  මම ඔයාව දාලා යන්නෙ නෑ..යන දිහාක යන්නෙ ඔයාවත් අරගෙන."

"පොරොන්දු දෙන්න ලේසියි දසුන්. හැබැයි හදවතේ තියාගෙන ඉන්න කෙනෙක්ට දුන්නු පොරොන්දුවක් හදවතින්ම රකින එක හරි අමාරු වැඩක්."

"ඒක හරි චූටි.. හැබැයි මේක පොරොන්දුවක් නෙවෙයි, මේක අරමුණක්. ඔයාව දිනාගන්න එක, ලබාගන්න එක, අපි අපේ වෙන එක මට අරමූණක්.මම ඒ අරමුණට කොහොමහරි ළං වෙනවා.ඒක ස්ථීරයි.හොඳ ළමයා වගේ ඔයා පිස්සු විකාර හිතන්නෙ නැතිව හිනා වෙලා සතුටින් ඉන්න ඕනෙ.හරිද?"

"ම්ම්..... අනේ මංදා දසුන්.. මට මහා බයක් දැනෙනවා."

"බය වෙන්න එපා. මම කිව්වනෙ.මම ඉන්නවා ඔයා එක්ක."

"පරක්කු වෙලා නේද අපි යන් ඉක්මණට. මටනම් කීයට ගියත් කමක් නෑ. ඒත් රෑ වෙන්න කලින් ඔයා ගෙදර යන්න ඕනෙ. අන්න බස් එකක් එනවා..යන්.."

වෙනදා බස් එකට නැගලා තොර තෝන්චියක් නැතිව කියවන, සතුටින් ඉපිලිලා, හිනා වෙවී හුරතලේට ඉන්න මට , එදා හිනාවෙන්න අමතක වෙලා තිබුණා.දසුනුත්, මගේ වෙනස හමුවෙ අසරණ වෙලා කියලා මට හිතුණේ ඒ මූණේ තිබුණු බැරෑරුම් කම දැකලයි.

---------------------------------------------------------------------------------------------------------
හිටිහැටියෙම ලස්සනට තිබුණු ජීවිතේට මොනා වෙන්න යනවද කියලා නොතේරුණූ අත දරුවෙක් වගේ , මම අසරණ වුනා.ජීවිතේ මැදින් හමාගෙන යන මේ සුළි කුණාටුව ට බයේ මුළුගැන්විලා බෑ කියලත් නොහිතුනා නෙවෙයි. ඒත් හදවත සතු සියළු වත්කම් රැකගෙන මේ ආපදාවට මූණ දෙන්න තරම් හයියක් මට තියෙනවද කියලා මම හදවතින් සැරෙන් සැරේට අහලා බැලුවා.විශ්වාසය, ආදරය, පරාර්ථකාමීත්වය වගේ මේ ජීවිතය සතු අමිල වත්කම් ටික රැකගන්න අපොහොසත් වුනොත් , ජීවිතේ පාළු මූසල බංකොලොත් ජීවිතයක් නේද කියලා මට මොහොතකට හිතුණා.

මොන දෙයක් සිඳ්ධ වුනත් හොඳට ඉගනීම් වැඩ ටික කරගත්තොත් අම්මාගෙයි තාත්තගෙයි බලාපොරොත්තුවත් ඉෂ්ඨ කරලා හදවතට සැනසීමක් ළං කරගන්න පූළූවන් කියලා මම හිත ධෛර්‍යමත් කරගත්තා.

ඔය අතරේ මට මතක් වුනා, මීට ගොඩාක් කලින්, දවසක දිලූ කියපු කතාව. "ආදරේ කරපන් හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා."  


ඇත්තටම දිලූ එදා කිව්වෙ ඇත්තම ඇත්තක්. ඒත් ආදරේ ජීවිතේම කරගන්නෙ නැතිව ආදරේ කරන අය ඉන්නවද? එහෙම කරන්නෙ කොහොමද කියලා එදා දිලූගෙන් අහගන්න බැරි වුනු එක ගැන මම පුදුම වුනා.


එදා මම ගෙදර ඇවිල්ලත් කල්පනා කලේ දසුන් කියපු දේ ගැනයි.මට මොහොතකටවත් ඒ කාරණවෙන් තොර සිතුවිල්ලකට හිත ගෙනියන්න අමාරු වුනා.මොහොතින් මොහොත, සැරෙන් සැරේ හිතට වද දුන්නා.තාත්තගෙ ෆෝන් එකට ම්හ රෑ නැගිටලා මගේ සිම් එක දාගෙන මම දසුන්ට SMS  යැව්වා.දසුනුත් සැරෙන් සැරේ මගේ හිත හදන්න SMS එව්වා.ඒත් පහුවදා වෙනකම් ඉවසන්න බැරිම තැන මම දිලූට කෝල් එකක් ගන්න හිතුවා.කාටහරි මේක කියලා හිත නිදහස් කරගන්න ඕනෙ වුනා.


"හෙලෝ දිලූ.. ඔයා වැඩක්ද?"


"මොකද මධූ මේ?? කෙල්ලට අපිව මතක් වෙලා මේ මහ රෑ?"


"අනේ නෑ දිලූ මට පොඩ්ඩක් කතා කරනන් ඕනෙ. උඹ වැඩක්ද කියපන් කෙල්ලෙ.මම එහෙමනම් පස්සෙ ගන්නම්."


"අනේ නෑ.. මම ගණන් වගයක් තිබිලා හැදුවා. හෙට උඹ එන්නෙ නැද්ද ? මොකක්හරි ප්‍රශ්නයක්ද?"


"හෙට එනවා මම. ඒත් හෙට වෙනකම් ඉවසන්න බැරි තරම් ප්‍රශ්නයක් කෙල්ලෙ.මගෙ හිතට හරි වදයක්.ඒකයි කතා කලේ."


"හරි හරි. කියන්න . මොකක්ද වුනේ? දසුන් එක්කවත් වලියක් දාගත්තද?"


"හ්ම්ම්ම්ම්......"

"මොකක්ද මධූ..හති අරින්නෙ. හ්ම්ම්ම් හ්ම්ම්.. නොගා කියන්නකෝ..මොකෝ වුනේ?"


"අනේ මංදා දිලූ....දසුන් ඒ ලෙවල් ඉවර වෙලා රට යනවලු."


"මොකක්?? ඉතින්??"


"ඉතින්.... අනේ මංදා.. එයාට ගෙදරින් කියන්නෙ එහෙමලු. එයානම් කැමති නෑ එච්චර. එයා කියන්නෙ යන්නෙ නෑ කියලා. ඒත්... මට බයයි දිලූ.."


"හ්ම්... එයාව උඹට විශ්වාසයි නේද? එයා උඹව දාල යාන් එකක් නෑ.. ගියත් ඉතින් එහෙම උඹව අමතක කරන එකක් නෑනෙ...බය වෙන්න එපා.කලබල වෙලානෙ උඹ."


"කලබල නොවී කොහොමද දිලූ.. මට හරිම බයයි.. මට දරාගන්න බැරි වේවි ...මම මොකද කරන්නෙ? තව දුර ගිහින් මට එයාව නැති වෙන එක මහ දුකක්නෙ.."


"ඉතින් දැන් උඹ මක් කරන්නද? දැන් පුළුවන්ද දසුන්ව අමතක කරන්න?බෑනෙ. නිකන් මුහුද හත් ගව්වක් තියෙහ්ද්දි අමුඩ ගහන්න හදන්න එපා කෙල්ලෙ. ඉවසපන්.හිත හයිය කරගනින්.හැම දෙයක්ම වෙන්නෙ අපේ හොඳට කියලා හිතන්න.ජීවිතේ අපිට දෙයක් අයිතිනම්, අපිට ලැබිය යුත්තක්නම් අනිවාර්යෙන්ම ඒ දේ අපිට ලැබෙනවා මධූ..සමහර දේවල් ලැබෙන්නෙ හුගාක් අගය වැඩි කරලා.දෛවය වුනත් අපිට අවස්ථාවක් දීලා බලනවා, අපිට අයිති දේවල් රැකගන්න, ලබාගන්න අපී සුදුසුද කියලා. දසුන් ව ලබාගන්න, එයාට ආදරේ කරන්න උඹ සුදුසුයි. ඒකෙ කතා දෙකක් නෑ..හැබැයි උඹට ආදරේ කරන්න , උඹව ලබාගන්න දසුන් සුදුසුද කියලා බලලා දෛවය උඹලාව එකතු කරයි.මම හිතනවා උබ තරම් ම දසුනුත් වාසනාවන්ත වෙයි කියලා.කලබල නොවී, ටිකක් සුභවාදීව හිතන්න මධූ.."


"හ්ම්ම්.. උඹ කියන්නෙ ඇත්ත තමා දිලූ.. ඒත් මගේ හිතට දැනෙන ගින්දර උඹට කියන්න ඔනෙ නෑ නේද??"


"ඔව් මධූ මට තේරෙනවා...ඒත් අපි බලමු.. කාලය කරන වෙනස්කම් වලට මූණ දෙන්න උඹ හිත හයිය කරගන්න. ඒකට හොඳම ආයුධය තමයි, ඒ ලෙවල්. උඹට තේරෙනවනෙ මධූ..පිස්සු නටන එක නවත්වලා අපි ජීවිතේ ඇත්තට මූණ දෙන්න හොඳ පාරක් කපමු.මම උඹට මුලක් පෙන්නුවා, පටන්ගනින් එතනින්."


"හ්ම්... ඇත්ත දිලූ..මටත් ඕනෙ ජීවිතේ කඩාගෙන බිදගෙන බ්‍රේක් නැතිව යන්න නෙවෙයි, ඒ වගේම රිවස් කරගන්න බැරිව ලත වෙවී නැවතිලා ඉන්නත් නෙවෙයි.මට ඕනෙ ලස්සනට හිමීට පරිස්සමට,මේ ගමන ඉස්සරහට යන්නයි.උඹ වගේ යාළුවෙක් මට ඉන්න එක ගැන මට මාරම සතුටුයි දිලූ.."


"අන්න හරි... "ආදරේට බ්‍රේක් නෑ...ජීවිතේට රිවස් නෑ''කියලා කට කහනවටද බං කියන්නෙ? ජීවිතේ රිවස් කරන්න බෑ.. ඒ නිසා යන ගමන හරියට හිමීට නිවිසැනසිල්ලේ පාඩුවෙ යන්.. අපි ඉන්නවනෙ උදව්වට.තල්ලු කරන් හරි අරන් යන්නම් දිනුම් කණුව ළගටම."


"හ්ම්ම්.... තෑන්ක්ස් දිලූ...උඹ ගිය ආත්මෙකදි මගේ සහෝදරියක් වෙන්න ඇති. මේ වෙලාවෙ මට බනින්නෙ නැතිව, මගේ හිත හැදුවට උඹට පිං."


"ම්ම්.. පිං ඕනෙ නෑ...උඹ හොදින් ඉන්නවනම් අපිත් සතුටුයි. දැන් විකාර හිතන්නෙ නැතිව , නිදාගන්න, හෙට උදේට අලුත් ලස්සන,බලාපොරොත්තුවක් එක්ක නැගිටින්න එන දේකට මූණ දෙමු. හැමදාම අපි උඹත් එක්ක."


"හරි දිලූ. එහෙනම් හෙට හම්බෙමුකෝ...ගුඩ් නයිට්!! බුදුසරණයි!!"


"ගුඩ් නයිට්!! බුදුසරණයි  මධූ.."


දිලූට කතා කරලා ෆෝන් එක තිබ්බට පස්සෙ මගේ හිතට දැනුනේ හරිම සැහැල්ලුවක්.ජීවිතේට තමන්ගෙම කියල ලේ බැදීම් වගේම, මෙහෙම බැඳීමුත් පිහිටක් වෙනවා නේද කියලා හිතුනා.හුගාක් දුරට හිතලා හිත කලබල කරගන්නෙ නැතිව එන දේකට එන විදියකට මූණ දෙන්න හිතුවා.එහෙම හිතාගෙන මම නින්දට ගියේ එට දවස ගැන අලුත් බලාපොරොත්තුවක් හිතේ අන්තිම පතුලෙ කොනකින් තියාගෙනයි.


--------------------------------------------------------------------------------
පහුවදා ඉස්කෝලෙට ගිහින් සුපුරුදු විදියට වැඩ කටයුතු කරගෙන ගියා. ඔය අතරේ ඊයෙ දවසෙ වුනු සිද්ධිය ගැන කට්ටියටම කියලා, තවත් උපදෙස් අනුශාසනා ගොන්නක්ම අරගෙන හොදටම හිත හයිය කරගත්තා.හසී, නිශා, දිලූ,තමාෂී,හංසී ඔක්කොමලා එකතුවෙලා මගේ හිත ධෛර්‍යමත් කළා.හැමකෙනාම කිව්වෙ දසුන් එහෙම වෙනස් වෙන එකක් නෑ කියලයි.


ජීවිතේ පුංචිම පුංචි දේවල් වලටත් මහ ගොඩාක් හිත රිද්දගන්න අයට ජීවිතේ දිනාගන්න කරන සටන මෙහෙයවන්න හරි අමාරුයි කියලා මම අහලා තිබුණා. මමත් මේ ජීවිතේ දිනාගන්න කරන සටනේ, ලොකු දුරක් යන්න , මගේ වටේ ඉන්න මේ සේනාව එක්ක,මේ හයිය එක්ක, මේ ආදරේ එක්ක පුළුවන් නේද කියලා හිතුනා.ඒ නිසා මේ ජීවිතේ මම දිනලා මිසක් නවතින්නෙ නෑ කියලා හිතාගෙන දිගටම වැඩකටයුතු කළා.


කාලය ගත වුනේ හරිම වේගෙන්.සුපුරුදු ජීවන රටාව එහෙම්ම තිබුණා.ගෙවල් වලින්, එහෙන් මෙහෙන් පුංචි පුංචි බාධා ආවත් අපි අපේ ආදරේ සැළෙන්න නොදී දිගටම පවත්වගත්තා.දවසින් දවස, මොහොතින් මොහොත, තව තවත්, මහ ගොඩාක් මම දසුන්ට ලං වුනා.


දසුන්ගෙ ගෙදර අයත් අපේ සම්බන්ධේ දැනගත්තා. හැම අම්මෙක් තාත්තෙක්ම වගේ, දසුන්ගෙ අම්මායි තාත්තයිත්, ඉස්කෝලෙ යන, ඒ ලෙවල් කරන්න ඉන්න අපි දෙන්නාගෙ සම්බන්ධේ නවත්වන්න කියලා දසුන්ට බලපෑම් කලා.පුංචි දේටත් සැක කරන්න, ප්‍රශ්න කරන්න පටන්ගත්තා. දසුන් පවුලේ බාල දරුවා නිසාත්, අම්මාගෙයි තාත්තගෙයි එකම පුතා වීම නිසාත්, මහා ගොඩාක් ආදරේ  මැද හුරතලේට, දගකාරකමට හැදුනු දසුන්ට මේ පීඩනය ඉවසගන්න අමාරු වුනා.


දසුන්ගෙ තාත්තා පුංචිම කාලෙ ඉඳන් දසුන්ට ඉල්ලන්නත් කළින් හැමදෙයක්ම කිසිම අඩුවක් නැතිව සම්පූර්ණ කරලා තිබුණා.ඉතින්, දසුන් බලාපොරොත්තු වෙන්නත් කළින් එයාට ඕනෙ හැම දේම ලැබිලා තිබුණා. මට සාපේක්ෂව දසුන් ට හුගාක් දේවල් හරිම ලේසියෙන් ලැබිලා තිබුණා.සාමන්‍යෙන් ලේසියෙන් ලබාගන්න දේවල් වල අගයක් නෑ.නමුත් අමාරුවෙන්, දුක් මහන්සියෙන් ලබාගන්න දේවල් වල තමයි අගය වැඩි.වටිනාකමක් තියෙන්නෙ.


දසුන්ගෙ ජීවිතේත් සමහර සමහර පුංචි අවස්ථා වලින්, මම දැකපු දෙයක් තමයි, දසුන්ට සමහර වෙලාවට සමහර දේවල් ගැන කිසිම බරපතල කමක්, අගයක්, තේරුමක් නෑ කියන එක.දසුන් හුගාක් වෙලාවට බරපතල කරුණු ගැන වුනත්, සැහැල්ලුවෙන් බැලුවා. ඒක ඇත්තටම හොදයි, නමුත් ජිවිතේ සැහැල්ලුවට නොගත යුතු සහ ගත යුතු අවස්ථා දෙවර්ගයක් තියෙන බව මතක තියාගන්න ඕනෙ.දසුන්ට එහෙම වුණේ නෑ..


කිසිම කෙනෙක් අංග සම්පූර්න, සර්ව සම්පූර්ණ නෑ.දසුන් වුනත් එහෙමයි. ඒත් දසුන්ගෙ මේ ක්‍රියාපිළිවල නිසා අපි අතරේ විටින් විට ප්‍රශ්න ඇති වුනා.මේ කාලෙට අනුව අපි කළ යුතුම වුන එකම වැදගත් වැඩේ වුනු ,ඒ ලෙවල් ගැන දසුන්ට හැගීමක් තිබුණේ නෑ..පාඩම් කරන්න ඕනෙ, මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ කියලා කොයිතරම් කිව්වත් දසුන්ට ඒ ගැන ලොකු තැකීමත් තිබුණේ නෑ..


දවසක් දා නුගේගොඩ ඩෙවෝන් එකේදී දසුනුත් මමත් මේ ගැන කතා කළා.  


"ඔයා විභාගෙ හොඳට කරගත්තෙ නැත්තම් ඔයාට මාව දාල ලංකාවෙනුත් යන්න වෙයි දසුන්.. ඇයි තේරුම්ගන්නෙ නැත්තෙ?"


"එහෙම වෙන්නෙ නෑ.. මම කරගන්නම්. තව කල් තියනවනෙ.ඔයා පාඩම් කරන්න.ඔයාට කොහොමත් ලොකු මට වඩා වෙන දේවල්නෙ,ඔයාට මාව වටින්නෙ නෑ"


පිහියකින් අනින්න වගේ කියාගෙන ගියපු වචන ටිකට මාව අන්ද මන්ද වුනා.


"ඔහොම කතාකරන්න එපා දසුන්.වටින්නෙ නැති නිසාද මම මෙහෙම කියන්නෙ??මට ඔයාව නැතිකරගන්න බෑ..ඒකයි මෙහෙම කියන්නෙ."


"මට ඇති වෙලා මේ විභාග කෙරිල්ලත්. අම්මලා හැම වෙලේම බනිනවා. ගෙදර එක මොහොතක් නිවිසැනසිල්ලෙ ඉන්න නෑ.. මම කෑවත් වැරදියි බිව්වත් වැරදියි, නිදාගත්තත් වැරදියි,ටී වී එක බැලුවත් එහෙමයි, අඩුගාණේ පාඩම් කරන්න ගත්තත් කියන්නෙ බොරු කරනවලු, රවට්ටන්න එපාලු.මට ඇති වෙලා මධූ..ඔයා එක්ක කතා කළත්, ඔයා කියවන්නෙත් මේ කෙහෙල්මල් විභාගයක් ගැනමයි."


"මම ඔයාට බැන්නෙ නෑනෙ දසුන්. මම කියන්නෙ අපි අම්මලාගෙන් බැනුම් අහන්නෙ නැතිව, අපේ සම්බන්ධෙත් දිගටම තියාගෙන , හොඳින් ඉන්නනම් ඉස්සෙල්ල පොඩ්ඩක් දුක් විඳින්න වෙනවා. ඒකට අපි පොඩ්ඩක් මහන්සි වෙලා වැඩ කරමු.  එතකොට අම්මටයි තාත්තටයි වුනත් මුකුත් කියන්න බෑනෙ."


"මං දන්නෙ නෑ.. මට එපා වෙලා මේ ඔක්කොම."



"මේ මාවත්?? මම මොන වරදක් කළාටද දෙයියෙනේ?"


"ඔයා ඕනෙ දෙයක් හිතාගන්න මධූ...මම මොකක් කළත්, කිව්වත් දැන් හැම කෙනාටම වැරදියිනෙ.මෙහෙම පුළුවන්ද ජීවත් වෙන්න?"


දසුන් පුටුවෙන් නැගිට්ටෙ තරහින් වගේම කළකිරීමෙන්. මේ තරම් තරහා ගන්න, මාවත් නොසළකා යන්න තරම් වරදක් මගෙන් වුනාද??මම විස්තර කරගත නොහැකි හැගීමක් එක්ක හිතින් හුගාක් අසරණ වුනා.මහා ආත්මානුකම්පාවක් හිතට දැනුණා.


---------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??ආදරේ සුන්දරම පරිච්ඡේදයට අවසාන තිතක් තියන්න දසුන් සූදානම් වෙනවා වත්ද?ආදරේ දිනාගන්න කරන සටනෙදි දසුන්ට හරි පාරක් පෙන්වන්න උත්සාහ කරපු මධූ වැරදිකාරියක්ද?



ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............

Post Comment

04 December 2011

කේන්දරේ ග්‍රහයෝ ටික ආදරේට හරස් වුනොත්????


ආදරේ කියන්නෙ හරි අමුතුම හැඟීමකට.කිසිම කෙනෙක්ට හරියටම නිර්වචනයක් දිය නොහැකි තරමට සංකීර්ණ,වෙනස්ම හැගීමක් තමයි මේ ආදරේ කියන්නෙ.ලෝකේ බොහෝ ප්‍රේමවන්තයින් ආදරේ වෙනුවෙන් දිවි පරදුවට තබලා සටන් කරලා තියනවා.තවත් පිරිසක් දිවිනසාගෙන තියනවා.තවත් ප්‍රේමවන්තයෝ තම්න්ගෙ ආදරේ, ආදරේ කරපු පෙම්වතිය/පෙම්වතා අහිමි වීමේ වේදනාවට සදාකාලිකවම තනිවම දිවි ගෙවන්න තෝරගන්නවා. එහෙම කරපු පිරිසක් අතීතයේ සිටම පැවතිලා තියනවා.ආදරේ කරද්දි බාධා එමටයිනෙ.ගෙවල්වලින්, ඉස්කෝල වලින්,සමාජෙන්, හැමතැනින්ම එල්ලවෙන්නෙ බාධාමයිනෙ.බොහෝ පෙම්වතුන් මේ බාධා මැඩගෙන ඉදිරියට යන්න උත්සාහ කරනවා.ආදරේ ශක්තිමත්නම්, අවංකනම් එහෙම බාධා මැඩගෙන ඉදිරියටම යන්න අමාරු නෑ කියලයි මම විශ්වාස කරන්නෙ.


දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්තහම මුළු ලෝකෙම දිනාගන්න තරම් හිතට හයියක් එනවනෙ..මන්දා, මට එහෙම හිතෙනවා.හිතිලා තියනවා.හුගාක් දෙනෙක් අවංක ආදරයක් හමුවුනාම වෙනස් වෙන්නෙ, හොඳ වෙන්නෙ, පිළිවලකට ජීවත් වෙන්න හිතන්නෙත් ඒ නිසා කියලයි මම හිතන්නෙ.


සැබෑ ආදරේට වයස, ජාති ,ආගම් ,කුල මල, මේ කිසිම දෙයක් බලපාන්නෙ නෑ කියලයි කතාවට කියන්නෙ.කතාවටම නොවුනත් සැබෑවටමත් ,බොහෝදුරට එහෙම වෙනවා.ආදරේ කොයි මොහොතෙ කොහොම කොයිවිදියට ඇති වෙයිද කියලා කියන්න බැරි නිසා,ආදරේට ඒ දේවල් බලපාන්නෙ නැති වෙන්න ඕනෙ.


හැම ආදරයක්ම විවාහයකින්ම කෙළවර වෙන්නෙ නෑනෙ. එහෙම වෙනවනම් ගොඩක් හොදයි.හුගාක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ..අතර මග දාලායන, නැවතෙන ආදර කතා එමටයි.ඉතින් මෙහෙම ආදරයක් අතරමග නවතින්න,  කාලයක් තිස්සෙ පවත්වගෙන ආපු ආදර සම්බන්ධයක් එකසැරේම බිඳිලා යන්න නොයෙක් හේතු තියෙන්න පුළුවන්.සමහර සම්බන්ධතා විවාහය ආසන්නයටම ඇවිත් නැතිවෙලා යනවා.ඒක හරිම ඛේදනීය තත්වයක්.බොහෝ විට මෙන්න මෙහෙම අවස්ථා සඳහා කෙළින්ම බලපාන කාරණාවක් තමයි මේ "කේන්දර බැලීම".


ඉස්සර ඉඳන්ම පැවතගෙන එන්නක් තම්යි මේ විවාහයක් කරන්න කලින්, මනමාලිගෙ සහ මනමාලයාගෙ හඳහන් ගැලපෙනවාද නැද්ද කියලා බලන එක.බොහෝවිට මෙහෙම හදහන් ගලපා කරන්නෙ යෝජිත විවාහයන් වලදි තමයි.එහෙම විවාහ කෙරෙද්දි, මුලින්ම දෙන්නාගෙ හඳහන් ගැලපෙනවද බලලා, ඉන් පසුව තමයි මංගල්ලෙ කෙරෙනවද නැද්ද කියලා තීරණයකට එළඹෙන්නෙ දෙපාර්ශවයෙම කැමැත්ත මත.යෝජිත විවාහයන් නිසා එතන්දී ආදර සම්බන්ධයක තරම් බරපතල කමත් දැනෙන්නෙ නෑ.. හඳහන් ගැළපෙන්නෙ නැත්තම් බොහෝ විට විවාහය සිද්ධ වෙන්නෙ නෑ.


නමුත් හඳහන් ගැළපීම පිළිබඳව එතරම් තැකීමකට ලක් නොකරන පිරිසකුත් ඉන්නවනෙ.එහෙම අය හඳහන් විශ්වාස කරන්නෙ නෑ.. තමන්ගෙ කැමැත්තට විවාහය සිද්ධ කරනවා.එතනදිත් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ. හඳහන් ගලපන්නෙත් නෑ.. බලන්නෙත් නෑ.තමන්ට තමන්ගෙ ආදරේ විශ්වාස නම් ඒ විශ්වාසය මත ජීවිතේ ගෙනියනවා.මම හිතන්නෙ එහෙම හිතන්න පුළුවන් නම්, ඔළුව නිදහස් කියලයි. මොකද හඳහන් ගළපන්න ගිහින්, එතනදි මොකක්හරි අසුබ දෙයක් කිව්වොත්, ඒ කාරණාව හිත ඇතුළෙ නිතරම පැසව පැසව තියෙද්දි, මහා මානසික වදයක් වෙනවා.


විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධයක් මගින් විවාහ වෙන්න ඉන්න අය හඳහන් ගැලපෙනවද කියලා බලන්න යන එක හරිම අවදානම් තත්වයක් විදියටයි මම දකින්නෙ.මොකද බැරිවෙලාවත්, ගැලපෙන්නෙ නැත්තම්, විවාහය කෙරෙන්න හොඳ නෑ කියලා කිව්වොත්, මොකද වෙන්නෙ?දෙන්නාම හදහන් විශ්වාස කරන, ගැළපෙන්නෙ නැත්තම් විවාහය කෙරෙන්නෙ නෑ කියලා ප්‍රේමය පැත්තකින් තියලා හඳහනට මූලිකත්වය දෙන විදියේ දෙන්නෙක්නම් ගැටළුවක් වෙන්නෙ නෑ.නමුත් එක්කෙන්ක් හරි එහෙම හඳහන් විශ්වාස කරන්නෙ නැත්තම්, ලොකු ගැටළුවක් ඇති වෙනවා.මොකද එතකොට හඳහනක් නිසා දෙදෙනාම ලොකු අපහසුතාවයකට පත්වෙනවා වගේම අසරණ වෙනවා.කාලයක් තිස්සෙ දාහක් හීන හිතේ පොදි බැඳගෙන පතාගෙන ආපු ආදරේ එක්ක ජිවිත කාලෙම ගෙවන්න හිතාගෙන උන්නත්, ඒ ආදරේට හඳහන් හරස් වුනාම ජීවිතේ ලොකුම ලොකු කඩා වැටීමක් විදියට දකින්න පුළුවන්.


සමහර විට දෙන්නාට දෙන්නා ආදරේ නිසාම හඳහන් නොගැලපුනත් විවාහය කෙරෙනවා, සම්බන්ධෙ දිගටම පවත්වනවා කියලා හිත හදාගත්තත්, දෙමව්පියන්ගෙ ඒ හා එකඟ නොවුනොත් තවත් ලොකු ප්‍රශ්නෙකට මැදි වෙනවා.දෙමව්පියන්ගෙ බලවත් අකමැත්ත, විරුද්ධත්වය මැද , හඳහන් නොගැළපෙද්දිත් විවාහ වෙන්න සමහර විට කෙනෙක් බය වෙන්න පුළුවන්. එතනදි බොහෝ ප්‍රේමවන්තයෝ හුගාක් අසරණ වෙනවා කියලා මම කිව්වෙ ඒකයි.


මම දන්න එක්තරා පුද්ගලයෙක් හිටියා. ඔහු හඳහන් නොගැලපීම නිසා අවුරුදු ගානක් (අවු.6ක් 7ක්)  ආදරේ කරපු ගෑණු ළමයා එක්ක විවාහ වෙන්න තැති ගැනීමකින් හිටියෙ.තීරණයක් ගත නොහැකිව වැනී වනී ඉන්න තත්වයකට පත් වෙලයි උන්නෙ.දෙමව්පිය අකමැත්තක් නොතිබුනත් ඒ සම්බන්ධව ඔහුට ඒ ගැන තිබුනේ දෙගිඩියාවක්. අවසානයේදි ඒ සම්බන්ධයත් නැවතුනා.ඔහු කිව්වෙ නම් ඒක සිද්ධ වුනේ හඳහන පදනම් වුනු හේතුවක් නිසා නෙවෙයි කියලයි.නමුත් ඔහු තදින්ම හඳහන විශ්වාස කළා.


තව මගේ යාළුවෙක් හිටියා.ගෑණු ළමයෙක්. එයාගෙ හඳහනේ හත්වෙනි කොටුවෙ තියන මොකක්ද ග්‍රහයෙක් නිසා, එයාට විවාහයක් කෙරෙද්දි අනිවාර්‍යෙන්ම හදහන ගැළපෙන්න ඕනෙ කියලා හඳහන බලපු කෙනෙක් කියලා තිබුනා.මේ නිසා මීට අවු 2කට විතර කලින් ඇතිකරගත්ත ප්‍රේම සම්බන්ධයක්දි,හඳහන් ගැලපෙනවද කියලා දෙමව්පියන්ගෙ මැදිහත් වීමෙන්ම බැලුවා. ඒ වෙලාවෙදි වාසනාවට දෙන්නාගෙ හඳහන් ගැලපුනා.නමුත් ඊට අවුරුද්දකට විතර පස්සෙ, මේ දෙන්නාගෙ සම්බන්ධෙ නැවතුනා. කිසිම සැළකිය යුතු හේතුවක් නැතිවම.පස්සෙ කාලෙකදි මම ඇගෙන ඇහුවාම ඇය කිව්වෙ ," එයයි මායි ගැළපෙන්නෙ නෑ.. නිතරම ප්‍රශ්න ඇති වුනා. ඉතින් එහෙම දුරදිග ගිහින් අන්තිමට අපි වෙන් වුනා" කියලයි. හඳහන් ගැලපුනත් දෙන්නාට දෙන්නා ගැන අවබෝධයක්, විශ්වාසයක්, සහයෝගයක්, ගෞරව කිරීමක්, අවංක භාවයක් නැත්තම් සම්බන්ධයක් පවතින්නෙ නෑ කියලයි මම නම් තරයේම විශ්වාස කරන්නෙ.


ඒ වගේම තවත් මගේ හොඳම යාළුවො දෙන්නෙක්ට මේ දවස් වල බරපතල ප්‍රශ්නයක් උත්ගත වෙලා තියෙනවා මේ හඳහන් ගැලපීම සම්බන්ධව. ඒකට හේතුව තමා ගෑණූ ළමයගේ අම්මා තදින්ම හඳහන් ගැලපීම විශ්වාස කරන නිසා,එයාගෙ හදහනට ගැලපෙන හඳහනක් නැතිව විවාහයක් කෙරෙන්නෙ නෑ කියන මතයේ සිටීම.මේ නිසා දෙන්නාගෙ සම්බන්ධෙට අම්මාගෙ විරුද්ධත්වය එල්ල වෙලා තියෙන්නෙ. ළගකදි හඳහන් බලපු අවස්ථාවෙ, දෙන්නාගෙ හඳහන් ගැළපෙන්නෙ නෑ කියලා , දැනගැනීමත් එක්ක මේ ගැටළුවට මූණදෙන්න සිද්ධ වුනා.ගෑණූ ළමයනම් කියන්නෙ දැන් කරන්න දෙයක් නෑ.ගැලපුනේ නැතත් සම්බන්ධෙ දිගටම කරගෙන යනවා. අම්මාව පස්සෙ කොහොම හරි කැමති කරගන්නවා කියලයි.පිරිමි ළමයට නම් මෙලෝ ගාණක් නෑ..එයා හඳහන් විශ්වාස කරන්නෙ නෑ..ඉතින් ප්‍රශ්නයක් නෑ..:D


අර මම කලින් කිව්ව අපේ ටැටූ නම් හඳහන් බැලුවෙ නෑ. දෙන්නාට දෙන්නා විශ්වාසයි. ඒ දෙන්නාට ඒ දෙන්නාගෙ ආදරේ තිබ්බාම ඇති කියලා කසාද බඳින්න වුනත් හඳහන් ගැලපෙනවද කියලා බැලුවෙ නෑ..ඒකත් ඇත්තටම හොඳයි නේද කියලා මට පස්සෙ හිතුනා.


ඇත්තටම කාලයක් තිස්සෙ ආදරේ කරලා,ආදරෙන් බැඳිලා ඉඳලා , කේන්දරේ ග්‍රහයෝ ටිකක් නිසා මෙහෙම ප්‍රශ්න ඇති වුනොත්, මොකද කරන්නෙ? ග්‍රහයොන්ට බය වෙලා ආදරේ අමතක කරනවද?? නැත්තම් ආදරේ වෙනුවෙන් ග්‍රහයෝ අමතක කරනවද??


ප්‍රශ්නාර්ථයක්???






ප.ලි - හිතූගෙ හඳහනෙත් ඔන්න මොකක්දෝ මන්දා, ශනි මංගල යෝගයද මොකක්ද කියලා යෝගයක් තියන නිසා හදහන් ගළපලා විවාහයක් කරන්න කියලා හිතූගෙ අම්මාට, උපදෙස් ලැබිලාලු. අනේ මංදා, හිතූ ත් ඩිංගක් හදහන් විශ්වාස කරනවා. හැබැයි ඔන්න මගේ ප්‍රමාදර්ශී, උත්තරීතර, අවංක ආදරේ හම්බවුනු දවසටනම් හිතූ ඔය ග්‍රහයෝ අල්ලලා දානවා හෆ්ෆා.. ග්‍රහයෝ වගේද ආදරේ...;) :D :p හික් හික් හික්!!!!!

Post Comment

30 November 2011

උදාවූ වසන්තය සදා කල් රැඳේවා!!!!!!!!!!

හිතූට තියන බරපතලම චෝදනාවක් තමා, දුකම හිතෙන ඒවා විතරයි නිතරම ලියන්නෙ කියන එක.ඉතිං ඔන්න අද ලියන්නෙ නම් සුභදායී විදියට අවසාන වුන කතාවක් ගැනයි.හුගාක් දෙනෙක් කැමතියිනෙ මේ "හැපී එන්ඩින්ස් " වලට.හැමෝම කැමති ඕනෙම කතාවක් හරිම සතුටු දායක විදියට ඉවර වෙනවා දකින්නයි.නවකතාවක වුනත්, චිත්‍රපටියක වුනත්,කොටින්ම කිව්වොත් අපේ සැබෑ ජීවිතේ සිද්ධ වෙන කතන්දර වලදි වුනත් , අපි කැමති සුභ අන්තයක් දකින්නයි.


මේ කතාව ඇත්තටම මගේ  හොඳ යාළුවෙක් ගැනයි.මීට මාස ගානකට කලින් මට මුණ ගැහුනත්, හම්බුන හොඳ යාළුවො අතරේ ඉන්න හොඳ යාළුවෙක්.කතාවට කලින් මම යාළුවා ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ.


පුද්ගලයා පිරිමි ළමයෙක්.මෙයාට අපේ කට්ටිය කියන්නෙ ආදරේට Family Guy කියලායි.තව සමහරු Tattoo කියලාත් කියනවා.:D එහෙම කියන්නෙනම් කොටාගෙන ඉන්න Tattoo හින්දායි.පොල් ගහක් විතර උස,ජිම් (පංති) ගිහින් කාය වර්ධන ව්‍යායාම එහෙම කරලා බොඩිගාර්ඩ් වගේ ඉන්නෙ.(බොඩි ගාර්ඩ් ෆිල්ම් එක එහෙම බැලුව අය දන්නවා ඇතිනෙ බොඩිගාර්ඩ් ඇවිදින විදිය ;)අන්න  එහෙම තමා මෙයා ඇවිදින්නෙත්.:p ) ඒවගේම හැබැයි ඉතින් කියන්න ඕනෙ,මෙයා හරිම හොඳ යාළුවෙක්.ටිකක් විතර ගණන්කාරයෙක් වුනාට හිත හොඳ,අවංක, ගුණ යහපත් ළමයෙක්. ඔන්න ඔහොම තමා ටැටූ ගෙ විස්තර.


ඔන්න ඉතින් ටැටූ අපිත් එක්ක එයාගේ ආදර කතාව දිග ඇරියා.පැනඩෝල් පෙත්තකින් පටන්ගත්ත ඒ සුන්දර කතාවට මේ වෙද්දි අවුරුදු 5ක් වෙනවා.අපේ ටැටූ ගෙ හිත දිනාගත්ත මේ පුංචි කෙල්ල තමා Pinky


දහම් පාසලෙන් හම්බවුනු මේ දෙන්නගෙ කතාව මෙච්ච්ර කාලයක් ගලාගෙන ගියේ එහෙම සුන්දර ,වටපිටාවක් මැදනම් නෙවෙයි.අතිශය බාධා,කරදර මැදයි.ඒකට හේතුව තමා මේ දෙන්නාගෙ සම්බන්ධෙට පින්කි ගෙ ගෙදරින් එල්ලවුනු බලවත් විරෝධතාව.(හැබැයි ඉතින් ආදරේ වුනත් චුට්ටක් බාධා ඇති වුනාම අමුතු ගතියක් තියන්වලු නේ? ) විරුද්ධ වෙන්න තරමට ප්‍රබල සාධකයක්, හේතුවක් නොතිබුනත්,පින්කි ගෙ ගෙදරින් මේ සම්බන්ධෙට එක හෙළාම විරුද්ධ වුනා.කොහොමත්  ගෑණූ ළමයෙක්ගෙ ගෙදරට එහෙම පලහිලව්වක් අහුවුනාම ඉතින් කෝටියක් ප්‍රශ්න නෙ.හේතු අනවශ්‍යයි.නිදහසට කරුණු අනවශ්‍යයි. නිවාස අඩස්සියෙ තමා.(අත්දැකීමෙන් එහෙම නෙවෙයි ඔන්න කිව්වෙ ;) ). 


හැබැයි ඉතින් ඔය තත්වය හැම තැනකමත් නෑ..ටැටූ ගෙ ගෙදරිනුත් මුලින්ම බර බරේ දැම්මට, පසු කාලීනව සම්බන්ධෙට අනුමැතිය ලැබුනා.ළමයින්ගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනෙනෙ කියලා හිතපු,ටැටූ ගෙ අම්මාගෙ ආශිර්වාදය එයාට ලැබුනා.ඒ වගේ ගෙදර හැමෝගෙම ආශිර්වාදය සහයෝගය ලැබුනා.අවසානෙදි පින්කි ටත් හුගාක් ආදරේ වුනා වගේම එයාලගෙම දරුවෙක්ට වගේ, ඒ හා සමානවම සැළකුවා. නමුත් පින්කි ගෙ ගෙදරින් නම් එහෙම අනුමැතියක් ලැබීම , කවදාහරි අවසර ලැබීමත් හීනයක්ම වගේ වුනා.කිසිම බුරුලක් පින්කි ට නම් ලැබුනේ නෑ..කිසිම නිදහසක් දුන්නෙත් නෑ..


ඔහොම ඔහොම කාලෙ ගත වෙලා යද්දි, ටැටූ ත් ඉතින් බොහොම දුක් කම්කටොළු මැද , සියල්ල දරාගෙන, සියළු කටු කාගෙන, බොක්කෙන්ම පින්කි ට ලව් කලා. පින්කි ත් එහෙමයි.ෆෝන් එකක් නැතිව,නිතර දකින්න හම්බෙන්න බැරිව වුනත්, මේ ආදර කතාව දිගින් දිගටම ගලාගෙන ගියා.(හොරාට හොරාට ඉතින් දෙන්න හම්බෙන්න ඇති. තිරයේ පිටුපස කතා වැඩිපුරම හිතූ දන්නෙ නෑ..)මෙව්වා ලියලා ගුටි කන්න වෙයිද මංදා... :D


ටැටූ ගෙ අම්මා කියන විදියටනම් ටැටූගෙයි, පින්කිගෙයි සම්බන්ධෙ නිසා පින්කි ට ගෙදරින් ඇති වුනු ප්‍රශ්න එක්ක,මේ සම්බන්ධෙ නවතින්නෙ නැතිව මේ තරම් කාලයක්,( අවු.5ක් තරම් ලොකු කාලයක්) පවත්වගෙන ආපු එකත් හරිම පුදුමයිලු.ඒ ටිකම ඇති, පින්කි කියන්නෙ ස්ථිර අදහසක්, එක අරමූණක්, අවංක හිතක් තියන හොඳ ගෑණු ළමයෙක් කියලා ඔප්පු වෙන්න.


ඔන්න ඉතින් ටැටූ යි, පින්කි යි කාලයක් තිස්සෙම මවපු හීනයක්නෙ, එයලා දෙන්නාට සදහටම එයාලගෙ වෙන්න ලැබෙන්න කියන එක.ඉතින් මේ හීනෙ ඒ විදියටම හැබෑ වුනා.:D ටැටූ ට පින්කිව අයිති වෙලා ඉවරයි තමා. හැබැයි ඒකට නීතියෙන් ලැබෙන්න ඕනෙ අවසරයත් ඔන්න ළගදි ලැබුනා.ඒ කිව්වෙ ටැටූ ට පින්කිව නීතියෙනුත් අයිති වුනා.


ටැටූ ගෙ දෙමව්පියන්ගෙ අශිර්වාදය මැද, නීතියෙනුත් පින්කිව තමන්ගෙම කරගත්තෙ, අනාගතේදි මොනාහරි දෙයක් නිසා, පින්කිව ඈත් කරගනීවි කියලා බයටයි.නමුත් තවමත්, පින්කි එයාගෙ දෙමව්පියන් ලග පුරුදු විදියට ජීවිතේ ගෙවනවා.ටැටූත් සුපුරුදු විදියට එයාගෙ කටයුතු කරගෙන යනවා.ටැටූ කියන්නෙ කවදා හරි තමන් හොඳ ස්ථාවරයකට ඇවිත්, පින්කිව එයාගෙ ළගටම ගන්න පුළුවන් වෙනකම් පින්කි ත්, ටැටූත් මේ ඉන්න විදියටම ඉන්නවා කියලයි.


කොහොම වුනත්,පුංචි හේතුවකටත්,තමන් ආදරේ කරන ගෑණු ළමයාව අතෑරලා දාන පිරිමි ළමයිත්, පොඩි ප්‍රශ්නෙකටත් තමන් ආදරේ කරපු පිරිමි ළමයව අතෑරලා දාන ගෑණූ ළමයිත් ඉන්න කාලෙක,පිනකි යි ටැටූ යි සැබෑ ආදරේ වෙනුවෙන් හොඳ සංකේත දෙකක් කියන්න පුළුවන්.


අවසානෙදි ආදරේ වෙනුවෙන් සටන් කරලා දිනාගත්ත ඒ අයිතියත්, පින්කිගෙ ලස්සන හිතත්, ඒ ආදරෙත් එක්කම, තියන බාධක ඔක්කොම නැති වෙලා, ලබන අනාගතේ හුගාක් සුන්දර, වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අපේ "සෙට් එක" ( මම බ්ලොග් එකේ ලියලා නැති මේ සෙට් එක) වාසනාවන්ත අනාගතේකට ටැටූ ටත්, පින්කිටත් සුභ ප්‍රර්ථනා කරනවා..!!!!




එක්වුනු අතැඟිලි සැමදා රැඳේවා
සිත පිරි සොම්නස සදාකල් තිබේවා
ආදරේ නාමයෙන් දිවිමගම දිනේවා
මලනුවනි නුඹේ ලොව ඇය සමඟ දිලේවා


ජීවිතේ හරිමඟම සැමදා පෙනේවා
ආදරේ නොනිමි සුව දිවිතුරා රැදේවා
පැතු පැතුම් දුටූ හීන එලෙසෙම ඉටු වේවා
උදාවූ වසන්තය සදා කල් රැඳේවා  ෴.
                 
ප.ලි- වාසනාවන්ත, සුන්දර, ආදරණිය අනාගතේකට පිනකිටත්, ටැටූටත් සුභ පැතුම් පතන්නෙ- ඩයිනෝ,කුක්කා, බස්සී,මැක්සී, ඒප්‍රන් සමග හිතූ :D


ප.ප.ලි- හිතූ හැරුණූකොට ඉහත සදහන් නම් ගම් පිළිබඳව පසු දිනෙක විස්තර සහිතව ලිපියකින් හමුවෙමු!!! ;)

Post Comment

28 November 2011

~ පැණි රස ආදරේ තිත්ත වෙන හැටි ~

මේ ලෝකෙ මට
ලස්සනම ඔයාව.....
ඔයා නැතිව මොහොතක්වත්
ඉන්න බෑ මට....
මහා ගොඩාරියක් 
ආදරෙයි මං......
කොච්ච්රද කියලා කියන්න
බැරි තරමටම.....
ඔය ඇස් වල කඳුළක් දකින්න 
ඕනෙ නෑ මට......
මම දකින්න ආසම
ඔය හිනාව විතරමයි........

දන්නවාද?? එයා එහෙම කිව්වෙ ඉස්සර ලු......

තමුසේ මහ වදයක්                             
නවත්තගන්නවා ඔය කරච්චලේ....
හැටි විතරක් බුම්මගෙන,
දෙන්න හිතෙන්නෙ හොම්බටම දෙකක්....
මට නම් තමුසෙව පේන්න බෑ...
අඬනවා..අඬනවා..
ඇති වෙනකම් අඬනවා
අඬලම මැරිලා යනවා.....
මොන මගුලකට 
මා එක්ක ඉන්නවද මංදා.....
මට තමුසෙව එපා.........

ඉස්සර අරම කියපු එයාම
දැන් කියන්නෙ මෙහෙමලූ............

Post Comment