නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

12 July 2011

සත්ත්ව කරුණාවයි... මනුස්සකමයි...

මට මෙහෙම ලිපියක් ලියන්න ඕනෙ කියලා අද හිතුනෙ ෆේස් බුක් එකේ යාළුවෙක් එක්ක චැට් එකක් දැම්මට පස්සෙයි... කාලෙකට පස්සෙ මගෙ හොද,පරණ යාළුවෙක්ව(පිරිමි යාළුවෙක්)  චැට් එකට සෙට් උනා.හුග කාලෙකින් නිසා විස්තර කතා කරද්දි,ආගිය තොරතුරු,ඕප දූප එහෙමත් කතා කළා..ඒ අතරෙ ළගදි උන සිද්ධියක් ගැන මට නිකමට කිව්වා(කම්මැළිකමට වගේ).මටත්  ඒක වටින අදහසක් හින්දා හිතුනා  ලියන්න හොදයි කියලා....

        ළගදි දවසක් මගෙ යාළුවයි,එයාගෙ තවත් යාළුවෙකුයි නුවර ගිහින්. එයාලගෙ ගමේ.මේ දෙන්නා දවසක් ගමනක් යද්දි පාරෙ(ගුරු පාරක),එයාලගෙ ඉස්සරහටම පුංචි ලේනෙක් වැටිලා  බිමට.කිව්ව විදියටනම් ලේනා වැටිලා තියෙන්නෙ පාරෙ ලයිට් වයර් එහෙකින්.මගේ යාළුවා ටිකක් සංවේදී චරිතයක්.විශේශයෙන් සත්තුන්ට පුදුම ආදරෙයි.ඉතින් මේ ලේන් පැටියා වැටුන ගමන් මගේ යාළුවා ඌව අතට අරගෙන. ඒත් ඒ ලේන් පැටියට පණ නෑ වගේලූ. ගොඩාක් අමාරු පාටයිලු. ඉතින් දැන් මගෙ යාළුවට පුදුම හිතට අමාරුයි.. කොහොමහරි ලේනාව ගොඩගන්නයි බලලා තියෙන්නෙ. ඒ හරිය ටිකක් දුශ්කරයිලු. ළගක වතුරත් නෑලු. කොහොමහරි ගිහින් ලේනාවත් අරන්,වතුරත් හොයාගෙන ඌට පොවලා. ඒත් ඌව බේර ගන්න බැරි වෙලා. ඌ අමාරුවෙන් අමාරුවෙන් දගලලා මැරිලා. ඒක හරිම සංවේදි...මටත් කිව්වහම දුක හිතුනා...එයාටනම් ඒකට ගොඩාක් දුකයි...එයා සත්තුන්ට ගොඩාක් ආදරේ හින්දා..ඒක තවමත් මතක් වෙද්දිත් දුකයිලු.

       ඉතින්අන්තිමට මම කිව්වා මොනා කරන්නද,සත්තුන්ට උනත් මිනිසුන්ට උනත් කවදාහරි ඔය දේ වෙනවනෙ කියලා..ඊට පස්සෙ යාළුවා මට කියනවා එයාට ඔය සිද්ධියෙන් පස්සෙ මෙහෙම අදහසක් ආවලු..
          
"කොහේ හරි පාරක සතෙක් වැටිලා පන අදිනව දැක්කොත් පාරේ යන මිනිස්සුන් දාහකගෙන් එක්නෙක් හරි නැවතිලා ඌට වතුර ටිකක් දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ අපේ සමාජයේ තාම සත්ත්ව කරුණාව ඉතුරුවෙලා තියන නිසයි. නමුත් අපි අසරණ වෙලා පාරක වැටිලා පන ඇද ඇද හිටියොත් වතුර ටිකක් දෙන්න තියා... හැරිල බලන්න වත් කවුරුවත් ඉදිරිපත් වෙයිද ... ?"

මටත් ඔය අදහස  කිව්වහම  තමයි හිතුනෙ මේකනම් ලියන්න ඕනෙ කියලා.මටත් නිකමට හිතුනා මේ කතාවෙත් ඇත්තක් තියනවා කියලා.මොකද අද සමාජෙ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක,කරදරයක් උනත් මනුස්සයෙක් තව කෙනෙක් ළගට ළං වෙන්න බයයි...ඒ දිහා බලන්නෙත් සැකෙන්..මොකද එහෙම කරදර වලට මුවා වෙලා මිනිසුන්ව රවට්ටලා සිද්ධ වෙච්ච අපරාධ ගැන ඕන තරම් අහන්න ලැබිලා තියනවනෙ අපේ රටේ...
   මගේ යාළුවටත් එහෙම අදහසක් හිතෙන්න තව හේතුවක් තියනවලු...එයාලගෙ ගමේ අයියා කෙනෙක් දවසක් පාරේ වැටිලා ඉදලා..සිහියක් නැති පාටයිලු.ඒත් කවුරුවත්ම ඒ අයියා ළගට ළං වුනේ නෑලු එයා බීලා වැටිලා කියලා...අනිත් කෙනෙකුට ළං වෙන්න දුන්නෙත් නෑලු...ඒත් ඇත්තටම ඒ මනුස්සයා වැටිලා ඉදලා තියෙන්නෙ මීමැස්මොරේ හැදිලාලු. ඉතින් ඒ සිද්ධියත් මතක් උනාම හිතුනාලු එහෙම අදහසක්.....

    අද කාලෙ කෙනෙක්ගෙ කරදරේකදි පිහිට වෙන්න බය නැතිව ඉදිරිපත් වෙන අය හරිම අඩුයිනෙ...ගොඩාක් දුර්ලභයි එහෙම අය...මුලින්ම ගොඩාක් අය හිතන්නෙ තමන් මෙහෙම උදව් කරන්න ගිහින් තමන්ට කරදරයක් වෙයිද කියලයි.. එහෙම නොහිතා සැණින් උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ බොහොම අතළොස්සයි...
                           
                             "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
                            දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත"       කියලා සිංදුවකුත් ලියවිලා තියෙන්නෙ අපේ සමාජෙ ඔය දෙයාකාරයේම අය ජීවත් වෙන නිසානෙ...එහෙම දෙවිවරු වගේ මිනිස්සු මේ මනුස්ස ලෝකෙට                
වාසනාවක් කියලා මාත් හිතනවා....

Post Comment

7 comments:

  1. ඇත්ත අක්කා.අපේ සමාජෙ අනතුරක් වෙලා කවුරුහරි වැටිලා හිටියොත් එයාව අරන් යන්නවත් ඉදිරිපත් වෙන්නැහැ.අපෝ පොලිසි ගානෙ යන්න වේවි කියලා,අක්ක ඔය කියලා තියෙනවා වගේම වැඩක් අපිටත් වුණා.මායි මගෙ යාලුවො තුන් දෙනෙකුයි ක්ලාස් ඇරිලා එද්දි,එක්කෙනෙක් පිරිමි ලමයෙක්,අනිත් දෙන්නා ගෑණු ලමයි,අපි හිනා වෙවී පාරෙ එද්දි ටිකක් වයස වගේ අන්කල් කෙනෙක් බයිසිකලෙත් එක්කම බිම වැටිලා ඉන්නවා නැගිටගන්න බැරුව.අපි හිනා වුණා බීලා වැටිලද කොහෙද කියලා.ඒත් අපි හතර දෙනා කතා වෙලා ගිහින් එයාව නැගිට්‍ටුවා.එයා බීපු කෙනෙක් නෙමෙ.කකුල පැටලිලා වැටිලා.එයා ගොඩාක් පින් දුන්නා අපි හතර දෙනාට.කවුරුවත් එයාට උදව්වට ආවෙ නැත්තත් එයාගෙ පුතාගෙ වයසෙ විතර ඉන්න අපි ඇවිත් උදව් කලා කියලා

    ReplyDelete
  2. ම්ම්ම්ම්
    මේ කතාව කියවද්දි මටත් දෙයක් කියන්න හිතුන.
    අපේ ගෙදර පූසො 4ක් 5ක්ම ඉන්නවා..මොකද මම පූසන්ට ගොඩක් ආදරෙයි..ඔය පූසන්ට කොච්චර වෙලාවට කෑම දුන්නත් මුන්ගේ හිතේම තියෙන්නෙ කොහේ හරි ගහක ඉන්න අහිංසක කුරැල්ලෙක් හරි මොකෙක් හරි සතෙක් අල්ල ගන්නමයි...මම අනන්තවත් පූසො අල්ලගෙන එන කුරුල්ලො ලේන්නු බේරල උන්ට බෙහෙත් කරල යවල තියනවා.ඒ වෙලාවට පූසො මගෙ දිහා කන්න වගේ බලා හටියට අර අහිංසක සත්තුන්ගෙ පන බේරල මටත් ඉදල හිටල හරි පිනක් කර ගන්න චාන්ස් එකක් අරං දුන්නට මම පූසටත් පිං දෙනවා..
    ඔයාලට කියන්න (සමහරවිට මේක ඇහුවම ඔයාලට හිනාත් යයි.)මම පූස අල්ලගෙන එන මීයන්වත් බේරල යවනවා.මීය අපිට අපිට කොච්චර කරදර කලත් ඒත් ජීවිතයක්නෙ.මම හිතන්නෙ පූසා මහන්සිවෙලා පැය ගනන් චාටර් වෙලා අල්ල ගත්තු ගොදුර නැති කිරීමේ පාප කර්මෙට වඩා තව සතෙක්ගෙ ජීවිතේ බේරපු පණ්‍යකර්මය මට ලැබේවි කියලා.
    ස්තූතියි හිතූ(ඔයාගෙ ලස්සන හදවතට)

    ReplyDelete
  3. සත්ව කරුණාව විතරක් නෙමේ මනුස්සයන් තමන්ගේ වර්ගයා කෙරෙහිත් තියෙන කරුණාව නැති වෙලා තියෙන්නේ. කෙනෙක් මැරෙන්න පණ අඳිනකොටවත් වතුර ටිකක් දෙන්න මිනිස්සු බයයි. අන්තිමේ තමන්ගේ කරපිටට මොකක් හරි කරදරයක් කඩා පාත්වෙයි කියලා.

    පව් අහිංසක සතා. මොකෙක් උනත් ජීවිතයක් නේ.


    ප.ලි. - ෆේස්බුක් එකේ ඉන්නවනම් අපී බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෲප් එකට එන්න.ගෲප් එකේ ඉන්න දන්න කාටහරි කියලා ඇඩ් කරගන්න. එහෙමත් නැත්නම් මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවන්න. මම ගෲප් එකට ඇඩ් කරන්නම්. කැමතිනම් විතරක් රික්වෙස්ට් එකක් එවන්න.

    ReplyDelete
  4. @කඩේ හාමි-ඔව් නංගි හරිම උතුම් දෙයක් කරලා තියෙන්නෙ ඔයාලා..ගොඩාක් ලොකු පිනක්... ඔහොම ඉදිරිපත් වෙන අය හරිම අඩුයිනෙ.. ඔයාලගෙ උදව්ව ලොකු පිනක්....ස්තූතියි නංගි ඔයාගෙ අත්දැකීම් බෙදාගත්තට... :)

    @තරූගේ ලෝකය-ඔයාගෙ හිතත් හරිම සංවේදී....සත්තුන්ට එයා වගේ ආදරේ අය ඉන්නවා...ඒක වටිනවා..මිනිසුන්ටත් ඒ වගෙම උදව් කරන්න පුළුවන් නම් වටිනවා...සතෙක්ගෙ උනත් ජීවිතයක්නෙ...ඔයා බේරගත්තෙ. ඒක ලොකු පිනක්. ඔයාටත් ස්තූතියි..!!!!

    @ මධුරංග අයියා-හ්ම්ම්ම්ම්.... ඔව් පවු ඒ ලේනා..දුකයි..!!!
    මිනිස්සු මුලින්ම තමන්ට කරදරයක් වෙයිද කියලනෙ හිතන්නෙ. තමන්ට කරදරයක් වෙයි කියලා බයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ....
    මම ඒකට එන්නම් අයියා..ස්තූතියි මට කියලා දෙනවට..:)

    ReplyDelete
  5. රික්වෙස්ට් කරලා මට මැසේජ් එකක් තියෙන්න. එතකොට නේ දැනගන්න පුලුවන් වෙන්නේ. :)

    ReplyDelete
  6. කාලෙකින් හිතුවක්කාරි බලන්න ආවෙ... හරිම සංවේදීයි

    "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත"

    සහතික ඇත්ත!.. අපිත් එහෙම වෙන්න ට්‍රයි කරමු. නේද?

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්ම්....කාලෙකින් හරි මේ පැත්තට ආවට ස්තූතියි...
    ඔව්වපිටත් එහෙම වෙන්න පුළුවන් නම් වටිනවා

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....