නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

19 August 2011

ජීවිතයත් මරණයත් අතර.......

මම අද ලියන්න හිතුවේ මීට අවුරුදු ගානකට කලින් මට මූණ දෙන්න වුනු අත් දැකීමක් ගැන. ඇත්තටම ඒ සිදුවීම මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම් අතරින් එකක්. මේක සිද්ධ වුනේ මම ඉස්කෝලෙ 7 පංතියෙදි විතර.ඒ කියන්නෙ 2002 අවුරුද්දේ.(ඔන්න දැන් හිතුවක්කාරිගේ වයස පිළිබඳව ප්‍රශ්න තිබ්බ අයට ගණන් හදලා බලන්න පුළුවන්).

 ඔය කාලේ අර රනිල් මහත්තයගේ සාම ගිවිසුම නිසා අපේ මිනිස්සුන්ට ත්‍උතුර පැත්තෙ එහෙම යන්න අවස්ථාවක් හම්බුනානෙ.ඔන්න අපේ ගෙදර කට්ටියත් එතකොට ත්‍රීකුණාමලේ යන්න දවස් 3 ක ට්‍රිප් එකක් ලෑස්ති කලා.අපේ තාත්තගේ පැත්තෙ නෑදෑයො ටික දෙනෙකුයි, අපේ ගෙදරින්  අම්මායි, තාත්තායි, මායි , මල්ලියි, ආච්චි අම්මායි තමා මේ ට්‍රිප් එක යන්න ලෑස්ති වුනේ.කට්ටියම ඉතින් මැයි මාසෙ අග වගේ දවසක වෑන් එහෙක ට්‍රිප් එක යන්න පිටත් වුනා.අපේ නඩේ  ඔක්කොමලා 12 දෙනෙක් හිටියා.අපේ තාත්තගේ පැත්තෙ පවුලේ ළමයින්ගෙන් බාලම වුනේ අපේ මල්ලි, ඊටපස්සෙ මං.අනිත් අය ඔක්කොම අක්කලා,අයියලා.

ඔන්න අපි ඉතින් කෙළින්ම මුලින්ම ගියේ ත්‍රීකුණාමලේටයි. හුගාක් තැන් බලන්න අපි ගියා.උණු වතුර ළිං, කෝණේශ්වරම් කෝවිල,Lovers Leap , සෝමාවතිය, මුතූර්, ඔය හැම තැනම වගේ. මම ආසම ලස්සනම තැනක් තමයි නිලාවැලි මූදූ වෙරළ.එහෙන් මෙහෙන් අහලා තිබුනා නිසා ඇත්තට ගිහින් බලාගන්න පුදුම ආසවකින් හිටියෙ.ඔන්න අපිත් ගියා නිලාවැලි. කවුරුත් දන්න දෙයක් තමයි නිලාවැලි ඉඳන් පරවි දූපතට බෝට්ටුවෙන් යන ගමන.ඔන්න අපේ කට්ටියත් පරවි දූපතට යන්න තමයි ඊළගට ලෑස්ති වුනේ.

මම කවදත් ගගේ මූදේ බෝට්ටු වලින් යන ගමන් වලට පුදුම බයයි. මීට කලින් මඩොල් දූවෙ ගිහිල්ලත් මං බෝට්ටුවෙ යන ගමනට බයේ, ගියේ නෑ.හික්කඩුවෙ කොරල් පර බලන්න ගිහිනුත් අඬ අඬ පණ බයේ ගැහි ගැහි ගියේ. ඉතින් අපේ නඩේ අක්කලා අයියලා ගෙ ආසවම තිබ්බෙ ඔය බෝට්ටු සවාරියට. එයාලනම් පුදුම උනන්දුවෙන් හිටියෙ. මම ඉතින් පොඩ්ඩක් බය වෙලා හිටිය නිසා ආසාවක් තිබ්බෙ නෑ .

ඔන්න අපි ඒ බෝට්ටු වලින් පරවි දූපතට මිනිස්සු ගෙනියන තැනට ගියා.ඒත් අපේ අවාසනාව කියන්නෙ පුදුම සෙනගක් හිටියේ. වාහනයක් නවත්තන්න කිසිම ඉඩක් නෑ.ගොඩාක් වෙලා බල බල ඔහොම ඉදලා ආපහු යන්නයි හැදුවෙ. එතකොටම එතනට ආව එක මනුස්සයෙක් කිව්වා, ඕන්නම් වෙන තැනකින් යන්නත් පුළුවන් එතනත් දූපතට බෝට්ටු වලින් සෙනග ගෙනියනවා. ලොකු ගානක් ගන්නෙත් නෑ . යන්න පුළුවන්නම් යන්න කියලා.ඉතින් අපේ නඩේ අක්කලා අයියලටත් ඕනෙ වුනේ යන්න නිසා, කට්ටිය කෑගැහුවා යන් කියලා. ඔන්න අර මනුස්සය පෙන්නුව දිහා අපි ගියා.ඇත්තටම මටනම් එතන කොහෙත්ම ඇල්ලුවෙ නෑ දැක්ක ගමන්. ඒවා මාළු අල්ලන්න යන බෝට්ටු වගේ. අපේ අම්මායි , නැන්දා යිත් වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.අක්කලා අයියලාගෙත් මූණු එච්චරටම හොඳ නැති බවක් තමා පෙනුනේ.

ඒත් අන්තිමට කොහොමහරි කට්ටියගෙ තිබ්බ කළබලේට පරවි දූපතට ඒ බෝට්ටුවකින් යන්න තීරණය කලා. එතන හිටිය එක මනුස්සයෙක්ට දෙන්නෙක්ට හැර අනිත් අයට සිංහල බෑ. දෙමළෙන් තමා ඒ අය , ඒ අය කතා කරගත්තෙ. සිංහල කතා කරපු අයටත් හරියටම සිංහල  බෑ.  "කොටිද දන්නෙත් නෑ මුං" කියලා අපේ ලොකු අම්මා අපේ අම්මගේ කනට කරලා කියනවා මට ඇහුනා.ඉඳගන්න සීට් තිබ්බෙ නෑ ඒ බෝට්ටුවෙ. මාළු අල්ලන්න යන එකක් කියලා හිතුනෙත් ඒකමයි.ලී පෙට්ටි දෙකක් තියලා ඕකෙ තමා කීපදෙනෙක් වාඩි වුනේ. අනිත් අය හිටගෙන. මායි මල්ලියිත් අම්මා එක්ක ඉඳගෙන උන්නෙ. අපේ චණ්ඩි අක්කලා අයියාලා හිටගෙන.තාත්තය්, මහප්පායි ත් හිටගෙන.

ඔන්න බෝට්ටුවෙ ඔක්කොම අපි දොළහයි , අර බෝට්ටුව අරන් යන මනුස්සයයිත් එක්ක 13 දෙනෙක්. ඇත්තටම ඒක අවදානම් ගමනක් කියලා හැමෝටම දැනුනා වුනාට කවුරුත් කතා කලේ නෑ.. බෝට්ටුවෙ නැගලා ටික දුරයි යන්න හම්බුනේ. මාළු දැළක එන්ජිම පැටළුනා. ඔන්න කට්ටියම හොදටම බය වුනා. ඒත් එක්කම බෝට්ටුව නැවතුනා. රැල්ල ගහනවා පුදුම සැරයි. බෝට්ටුව පැද්දෙනවා. අර බෝට්ටුව ගෙනියන මනුස්සයාට සිංහල මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. ඒ මනුස්සයා බෝට්ටුව ස්ටාර්ට් කරගන්න දගලනවා. කොහොමහරි ඔන්න මාළු දැළෙ පැටළුම ලෙහා ගෙන ටිකක් දුර ගියා. දැන් හැමෝම හොදටම බය වෙලා. ආයෙමත් බෝට්ටුව නැවතුනා.එන්ජිම නතර වෙනවා සැරෙන් සැරේ.මේකනම් හොදටම අවදානම් කියලා කට්ටියටම තේරුනා.ආච්චි අම්ම ඉතිපිසෝ ගාථාව මතුරනවා ඇහුණා. මං අම්මට තුරුල් වෙලා බයේ ගැහී ගැහී හිටියා.අපි පරවි දූපතට යන අතරතුර හතර පස් සැරයක්ම මේ විදියට වුනා. අපේ ගමනේ කිසිම සතුටක් තිබුනෙ නෑ..

කොහොමහරි දූපතට ගියා. එදානම් මහ පුදුම දවසක්. හතරවටේම කළු කරගෙන මහා වැස්සක් එන්න හැදුවෙ. අපිට වැඩිවෙලාවක් දූපතේ ඉන්න ලැබුනේ නෑ.. ආපහු අනිත් පැත්තට බෝට්ටුවට නැගලා එන්න පිටත් වුනා.වැඩි දුරක් එන්න වුනේ නෑ. බෝට්ටුව නැවතුනා. ලොකූ.. රැල්ලක් ඇවිත් බෝට්ටුව උඩ ගිය පාරට මහප්පා ව විසික් වුනා බෝට්ටුවෙ අනිත් කොනටම.කට්ටියම කෑ ගැහුවා. දෙයියනේ මල්ලි අඩන්න ගත්තා. එතකොට එයාට අවුරුදු හයයි.මල්ලි අඩන්න ගත්තහම මාත් අඩන්න පටන්ගත්ත නෙවෙයි මට ඇඩුනා බයටම. අම්මා අපිව බදාගෙනම හිටියා. හැමෝම බය නොවී බුදු ගුණ සිහි කරගන්න කියලා ආච්චි අම්මා කිව්වා.එවෙලේ ඇත්තටම මට හිතුනා බෝට්ටුව පෙරළෙයි කියලා. අපි මැරෙයි කියලා හිතුවෙ. විනාඩි 5ක් විතර බෝට්ටුව එන්ජිම නැවතිලා තිබුනා.

ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න කිවාලු. මෙන්න වහින්න පටන් ගත්තා. මහ හයියෙන් අකුණු ගහනවා. අපේ ඔළුව උඩින් අකූණු ගහනවා වගේ. වහලයක් නැති නිසා හොදටම තෙමෙනවා. ඒ අතරේ ජීවිතාරක්ෂක ඇදුම් ඇදගෙන වහල තියන, සීට් තියන බෝට්ටු වල මිනිස්සු විනෝදෙන් යනවා පේනවා.
බෝට්ටුව මග දිගට නැවති නැවතිමයි ගියේ.. එන්ජිම නවතින වාරයක් ගානෙ මට හිතුනෙම මේක පෙරලිලා අපි මැරෙයි කියලා.ගොඩබිම පෙනෙද්දි තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ...අන්තිමට ගොඩට ආවමයි කට්ටියටම හුස්ම වැටුනේ..

අන්තිමට හැමෝම පසු තැවුනා අපේ නොසැළකිලිමත් කම ගැන. මෝඩ කම ගැන.නොදන්න පලාතකට ඇවිත් මෙහෙම හොයන්නෙ බලන්නෙ නැතිව එක සැරේටම මෙහෙම ගමන් යනවට හොඳ පාඩමක් කියලා තාත්තා කිව්වා.
ඇත්තටම කාටත් ඒක හොඳ පාඩමක්. මීට අවුරුදු ගානකට කලින් වුනු සිද්ධියක් වුනත් අදටත් අපි කට්ටිය එකතු වුනාම මේ සිද්ධිය මතක්  කරනවා..මටත් ඒක කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.. මොකද ඇත්තටම මරණ බය ඇති වුනු දවසක්.

ප.ලි-පෝස්ට් එක දිග වැඩි වීම ගැන කණගටුව...!!!! 

Post Comment

23 comments:

  1. හෆෝයි හිතූ මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ....
    හැබැයි ජීවිතේට මාර අත්දැකීමක්.......

    ReplyDelete
  2. ඔව් අම්මෝ.... පුදුම බේරිල්ලක් තමා...:) ඒකනේ.. ඒක කවදාවත් අමතක නොවන අත්දැකීමක්...

    ReplyDelete
  3. පුද්ගලයෙක්ව සමාජීය වශයෙන් නිර්වචනය වෙන්නෙ ලබාපු අත්දැකීම් අනුවනේ....ඉතින් හිතූට ගොඩක් හොඳ අත්දැකීමක් ලැබිලා තියනවා...ජීවිතයත් මරණයත් අතර වුණත් ඒකෙන් ජීවිතයට ගන්න යමක් තියෙන්න ඇතිනේ.....ඒවා ඉදිරියේදි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාට.......

    ReplyDelete
  4. හිතුවක්කාරී විශ්වාස කරයිද දන්නේ නෑ...දේව්දාස් නුත් ඔය කාලෙම යාපනේ ගියා... ඒකට ගියෙත් දේව් ගේ පව්ලේ අයයි, නෑදෑයෝ වෙන පවුලක අයයි... හැබැයි අපි නිලාවැලි නම් ගියේ නෑ... පාලම් පාරුවකින් කොහේදෝ දූපතකට නම් ගියා මතකයි... ඒ කාලේ දේව්දාස් ගොඩක් පොඩියි...

    හිතුවක්කාරී ගේ පරම්පරාවම හිතුවක්කාරයි වගෙයි... ඔය වගේ අවදානම් වැඩක් කරන්න...

    දේව්දාස්...

    ReplyDelete
  5. සිස් මාර සීන් එකනෙ.... පට්ට ඇඩ්වෙන්චර් ටුවරිසම් එක ඈ...

    ReplyDelete
  6. හැක් හැක්....යකෝ ඔහොමත් බය වෙනවද..නිර්භයව හිටු..
    වයස ඉතින් මම දන්නවනේ බන්..හික් හික්...නාකි කෝලම්,,,මෙතන තරුනයි කියලා පෙන්නන්න එනවා..අර ඉශානියාගේ වයසේ කියන්නේ ඉතින් හොද ආච්චි අම්ම කෙනෙක් ගේ වයස

    ReplyDelete
  7. නංගිලා මාරම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ. එහෙම උනත් මම් හරිම ආසයි ඇඩ්වෙන්චර් ටුවරිසම් ගමන් වලට. ඔය වගේ ඇඟේ හීගඩු පිපෙන ට්‍රිප් වලට මාරම ආසයි. :)

    මම නම් කලින්ම දන්නවා නංගිගේ වයස අවුරුදු 21යි කියලා. දන්නවා උනාට හොරා වගේ හිටියා කිව්වේ නෑ. :)
    ඔන්න නංගිම කියලනේ.

    @සීතලයා :
    මෙදා පාරත් මාව ඩෙවල් දානූ !!!! :)

    ReplyDelete
  8. @වවුලා- ඔව් ඒක මාර අත්දැකීමක්.. හොඳ පාඩමක් ඉගනගත්තෙ..ආයෙත් එහෙම අවදානම් වැඩ නොකර ඉන්න..

    @දේව්දාස්- අහ්... ඇත්තද දේව්දාස් ගොඩාක් පොඩියි කිව්වෙ?? ඉස්කෝලෙ 6 පංතියෙදි විතරනෙ. හ්ම්ම්ම්ම්.. හික් හික්.. පරම්පරාවම හිතුවක්කාරයි වගේ තමා. :)

    @කම්මැළියා- පට්ටයි තමා. තව ඩිංගෙන්... ඉවරයි.. එහෙනම් අද හිතුවක්කාරියෙක් නෑ ඔයාලට...:)

    @රත්ගමයා- අනේ බොල. හලිම එඩිතර එකා නෙ මට කියන්නෙ. ඔයා ඉතින් කුප්පයානෙ..:/ ආච්චි අම්මා කවුද ?? අපි අඅච්චි අම්මලානම් ඔයට කියනන් එකක් නැති වෙනවා... :/

    @මධුරංග අයියා-හම්මෝ.... ඒ වගේ ට්‍රිප් වලටනම් මං පොඩ්ඩක්වත් ආස නෑ...:(
    කලින් දැනගෙන හිටිය හින්දද මගේ වයස 20යි කිවෙ??? ;)හික්ස්ස්ස්.... :)

    ReplyDelete
  9. ෂා.... මරු ට්‍රිප් එක නෙව... ඔය ගමන සැප බෝට්ටුවක කේක් ගෙඩිය වගේ ගියා නම් කිසිම ෆන් එකක් නෑ.... මෙහෙම නෙව ආතල්... හික්.. හික්..

    ReplyDelete
  10. අනේ නියම ගමනක් නෙ නංගා ගිහින් තියෙන්නෙ. මධුරංග මල්ලි වගේ මාත් ආසයි ඔය වගේ ගමන් වලට.ඒත් පොඩ්ඩක් හරි එහා මෙහා වුනානම් ඉවරම තමයි නේද????

    ReplyDelete
  11. 99.9කින්ද කොහෙද බේරිලා තියෙන්නේ. හි හී......

    "නොදන්න පලාතකට ඇවිත් මෙහෙම හොයන්නෙ බලන්නෙ නැතිව එක සැරේටම මෙහෙම ගමන් යනවට හොඳ පාඩමක්." නියම වචන ටික.....

    ReplyDelete
  12. නෑ නෑ. මට සකයක් තිබ්බේ 20 ද 21 ද කියලා. ඉතින් මම් 20කියලා කිවුවා 21 නම් වෙන්නම බෑ කියලා කිවුවා. ඔයා ඊට පස්සේ ඇහුවා ඇයි 21 වෙන්නම බෑ කියලා කිව්වේ කියලා. හික්ස් :)
    එතකොට..........

    ReplyDelete
  13. @ප්‍රසංග- ඔව් ඔව්.. එහෙම වුනානම් ඉතින් මට මෙහෙම අද්දැකීමක් ලැබ්බෙ නෑ තමා. ඒත් හම්මෝ... ඒ ගමන මතක් වෙද්දි තවමත් හිරිගඩු පිපෙනවා...:(

    @Nisupa අක්කා- ඔව් අක්කේ... තව ඩිංගෙන් ඉවරයි.. :( සමහර ඇඩ්වෙන්චර් ට්‍රිප්ස් හොඳයි. ඒත් මේකනම් හම්මෝ.... :(

    @මහී- ඔව් ... 99.9 න් නේන්නම්.. තව දශමෙන් ඔක්කොම ඉවරයි...!!!

    @මධුරංග අයියා-හික් හික්.. ඔව් නේ... හ්ම්ම්ම්ම්ම්ම්ම් අයියාත් කපටි නෑ :p

    ReplyDelete
  14. හික්කඩුවෙ බෝට්ටුවෙන් යන්න බයවෙන්නෙ මොකටද අප්පා... බෝට්ටුව පෙරලුනත් ගිලෙන්නේ නෑනෙ...

    ReplyDelete
  15. මම කොහොමත් බෝට්ටු සවාරි වලට බයයි...:( ඒකයි අවුල.. :(

    ReplyDelete
  16. ෆට්ට එක්ස්පීරියන්ස් එකක් නේ ළමයෝ? අයෙ කතා 2ක් නෑ... ජීවිතේට අමතක වෙන්නෙ නෑ!

    ReplyDelete
  17. ෆට්ටයි.. ෆට්ටයි...!!! හික්ස්ස්... අමතක වෙන්නෙ නෑ නේන්නම්... මරණ බය දැනුනා නේ...

    ReplyDelete
  18. හෆ්ෆේ....කතාව කියන්න බේරුන එක ගැන සතු‍ටු වෙන්න..ඒ අස්සෙ යන්තම් කට්ටියම වයසත් හදාගන්න ඇතිනේ (ඔන්න මම එහෙමනම් හැදුවේ නෑ හික්ස් :D )

    ReplyDelete
  19. හික්ස්ස්ස්ස්ස්... ඔව් ඒක තමයි කතාව කියන්න බේරුනා.. ඇති යන්තම්...
    වයස හදාගන්න දෙයකුත් නෑ.. මං කලින් පෝස්ට් එකෙ කිව්වා...:)
    ම්කෙන් තවත් පැහැදිලි වෙඑන්නයි දැම්මෙ..;)

    ReplyDelete
  20. Thanks God....!!!බේරුණානේ.....

    ReplyDelete
  21. හි හි ඔව් ඔව්.. බේරුණා...:D

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....