නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

08 September 2011

මම- ඔයා- මගේ ජීවිතේ

මං බොළඳයිලු. ජීවිතේ ගැන හිතන්නෙම අසුභවාදීවලු. මං ගැන හිතන්නෙ හරිම අඩුවෙන්ලු. ටිකක් මෝඩයිලු. කලබල වෙනවා වැඩියිලු.ආදරෙන් අන්ධයිලු.දුකම ළං කරගන්නලු හදන්නෙ. ඒත් මගේ හිත හොදයිලු. හිනාව ලස්සනයිලු.සංතෝසෙන් ඉන්නවා වගේලු පේන්නෙ හැම වෙලේම.අවංකයිලු.
මම නම් දන්නෙ නෑ...හිතන්නෙත් නෑ.. මෙහෙම කියන්නෙ අනිත් අය. එයාලට පේන හැටි. ඒත් මං මං ගැන දන්නෙ, මං බලාපොරොත්තු ,හීන හමුවේ අසරණ වුනු ,කාටවත් හිතා මතා වැරදිනම් නොකරන, හිතුවක්කරකමට ජීවිතේ පසු බහින්න හදන මෝඩ කෙල්ලෙක් විදියට.මං දන්නෙ එච්චරයි.

ජීවිතේ කියන්නෙ අපි පතන දේ නෙවෙයිලූ... අපිට ලැබෙන දේලු... ජීවිතේ ලැබෙන්නෙ දුකද සතුටද ආදරෙන් වැළදගන්න සිද්ධවෙනවලු.. අනේ මංදා.. මට තේරෙන්නෙ නෑ... අනිත් අයට් බණ කිව්වට.. මට මේවා හිතා ගන්නවත් බෑ... ජීවිතේ හැමදාම දුක සතුට එකම් විදියට තියෙන්නෙ නෑලුනෙ. ඒත් මගේ ජීවිතේ සතුට කියන දෙයට හුගක් දුරයි....ලැබීම් එකක් දෙකක් අතරේ.. නොලැබීම් ම විතරක් උරුම වුන මගේ ජීවිතේ, අදත් හෙටත් කවදත් හොයන්නෙ මහා ලොකූ සැනසීමක් සංතෝසයක් නෙවෙයි.. පුංචි සැනසීමක සෙවනැල්ලක් වත්...... සතුට බිංදුවක්වත්....නෑ පේන මානෙකවත් නෑ..... 

ලෝකෙට පේන්න හිනා වෙලා, සතුට දෝරෙ ගලන මගේ හිනාවෙන් අනුන්ගෙ ඇස් මුලා කරලා  මං වින්දෙ නෑ විඳෙව්වෙ මේ ජීවිතේ.හැමදාම පුංචියට හිට්යානම් හොදයි කියලා අම්මා එක්ක නිතරම කියනවා මං.ඒ වෙලාවට අම්ම කියන්නෙ කිසිම දෙයක බරක්පතලක් නොදැන, මහා නිදහසකින්, සැහැල්ලුවකින් , දුකක් විඳින්නෙ නැතුව, හැමදාකම සතුට විතරක් විදගෙන මුළු ජීවිතේම ගෙවන්න අපිට බෑ කියලා.
ඇත්ත. අම්මා කියන්නෙත් ඇත්ත. මෙච්චර දේවල් ගැන කියවන මම දන්නෙත් ඒ ඇත්ත.දෙයියනේ ඒත් මේ මගේ හිත,හිතුවක්කාරිගෙ හිත  ඒ ඇත්ත පිළිගන්නෙ නෑනෙ.

අම්මාගෙයි තත්තාගෙයි ආදරේ මාව අද වෙනකම් ජීවත් කලා. සදහටම ජීවත් කරන්නෙත් ඒ ආදරේමයි..මේ ලෝකෙ මාව කවුරු තේරුම් නොගත්තත්, මගේ අම්මායි තාත්තායි ඉන්නවනෙ. ඒ ආදරේ අපරිමිතයි.චණ්ඩියා වුනත් හුරතලේට ලගින් ඉඳන් ආදරේ කරන්න ,රණ්ඩු වෙන්න, මං පොඩි කාලෙදි අම්මා ගෙනත් දුන්නු මගේ මල්ලියා මගේ පණ වගේනෙ.

ඔව් මං තනි වෙලානම් නෑ.එදා ඉදන් දුක සැප බෙදාගත්ත මගේ ළගින්ම උන්නු යාළුවො ටික, උන් ටික එක්ක බැඳුණු මගේ සහෝදර කැක්කුම, එදා වගේම අදත් එහෙමයි...ඉස්කෝලෙ කාලෙන් පස්සෙ අදටත්, එදා ඉදන්ම තිබ්බ ඒ බැඳිම චුට්ටක්වත් අඩුවෙලා නෑ.

ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මට හම්බුනු මගේ ජීවිතේ ඊළග කොටස්කාරයෝ ටික. මගේ සහෝදර පවුලේ අලුත්ම හදවත් ටික.ඕන ප්‍රශ්නෙකදි සහෝදර කමට ළගින්ම ඉන්න සුදු අයියා ගැන මං දවසක් කිව්වා.

දන්න නොදන්න දේවල් අතරේ හැම වෙලේම උදව්වට ඉන්න, දුක සැප බෙදාගන්න ආදරේ ගැන කතා කරන්න, කවි ලියන්න , බ්ලොග් ලියන්න, සිංදු ලියන්න, විහිළු කරන්න, මාව තරහ ගස්සවන්න , මගෙන් බැනුම් අහන්න හැමදේටම හිතට ළගින් ඉන්න මගේ අනිත් අයියා ක්‍රිකට් පිස්සා.මාව තේරුම් ගත්ත අනිත් සහෝදර චරිතෙ.

ඊළගට මගේ ආදරණිය පිස්සියෝ දෙන්නා, රණ්ඩු වෙන්න, හිනා වෙන්න, බැන ගන්න, සෙල්ලම් කරන්න, අඩන්න හැම දේටම කොහොමහරි ළගින් ඉන්නවා. ඒ බැඳිමට ගරු කරන්නෙ මං හදවතින්ම.එකට බද්ධ වෙලා තියන මේ  හිත්, හැමදාමත් දුකේදි සතුටෙදි මෙච්ච්ර කාලෙකට හිටියා.මොන දේ වුනත්, අන්තිමට අපි එක  තැනක.ඒකයි හිතට හයිය.

මම දුකින් ඉද්දි මාව හිනස්සවන්න, මොහොතකට මට සතුටක් දෙන්න, විහිළුවක් කරලා හරි මගේ හිත සනසන්න,මගේ හිනාව දකින්න ආස කරන මගේ ලගින්ම ඉන්න මගේ මල්ලිලා ටික.තේරුම් ගන්න බැරි චරිත අතරේ මාව සැබෑවටම අදුනගත්ත ආදරණිය ඒ බැදීම් මට ආශිර්වාදයක්.මල්ලිලා කිව්වට උන් ටික මගේ අයියලා වගේ.නොදන්න දේවල් කියලා දෙන්න,උදව් කරන්න, කුප්පි දාල උගන්නන්න, දුක සතුට බෙදා ගන්න, පොඩි පොඩි වලි දාගන්න, කුචි කවාගන්න,මට කියලා කවි ලියාගන්න, ඇත්තටම මේ පාළු හිතට ඒ හිත් වාසනාවක් ගෙනාව.
ඒ මගේ ජීවිතේ කොටස් ටිකක්..ගහට පොත්ත වගේ මගේ ජීවිතේ එක්ක ඇලිලා, ගැලිලා තියන හදවත් ටිකක්....

ඔව් ඒ මගේ දුකේදි සතුටෙදි මට මුලින්ම මතක් වෙන ආදරණියම හිත් ටික.ඒත්,  ඔයා.............
ඔයා නම් කිසිමදෙයක් දන්නෙ නෑ.. දැනගත්තත් ඔයාට වැඩක් නෑ...ඔයා ඉන්නෙ ඔයාගෙම ලෝකෙක. ඔයා යන්නෙ වෙනම පාරක. මං යන්නෙ වෙනම පාරක. මට ඔයාගෙ අතින් ඇදන් ,මගේ පාරෙ බලෙන් ගෙනියන්න බෑ... ඔයා මගේ අතින් අල්ලගෙන ,ජීවිතකාලෙම මාත් එක්ක ,අපි දෙන්නාම එකම පාරක යන්න එනවනම්...... ඒක හීනයක්.....ඔව්.. හැබෑ නොවෙන හීනයක්.

ආදරේ කියන්නෙ මොකක්ද කියලා විග්‍රහ කරන්න මං දන්න වචන මදි. ඒත් ආදරේ කියන්නෙ හිතක ලස්සනට පිරිසිදුව ඇති වෙන්න ඕනෙ, හැගීමක්. අවංක පිවිතුරු නිර්මල බැඳීමක්. ඔයා දන්නවා ඇති. නොදන්නවත් ඇති. හිතක් අතෑරුනාම දැනෙන දුක. මට ලියන්න කියන්න තේරෙන්නෙ නෑ... මීට වඩා ඒ ගැන.. ඔයා දවසක තේරුම් ගනීවී....ආදරේ කරන්න ලේසියි... ඒත් ලබන්න..... අමාරුයි....මට කියන්න පුළුවන් ලස්සනම විදිය මෙච්චරයි...... මේ  ඔයා වෙනුවෙන් මගේ ආදරේ.... අකුරක් අකුරක් ගානෙ මේ තියෙන්නෙ මගේ ආදරේ.....

මග දිගටම මම හොය හොය
ඇවිදින්නෙ,
ඔයාගෙ අතින් අතෑරුනු
මගේ පුංචි අහිංසක හිත.......
මහා මේරු පර්වතයක්
තරම් මගේ ආදරේ
ඇල්පෙනෙති තුඩක් තරම් හීනියට
ඔයාට දැනුනට,
තරහා නෑ කිසිම දවසක.....
ආදරේ මනින්න,
කියන්න, ලියන්න
මට තේරෙන්නෙ නෑ
දැනෙනවා.. හැගෙනවා විතරයි......
කවදාහරිම දවසක
මේ ආදරේ ඔයාට තේරුණු දවසක
මේ ආදරේ අවංකයි කියලා
දැනුනු දවසක
මාව හොයාගෙන එන්න......
හැබැයි,හිතුවක්කාරකමට
ඔය හිතට ආදරේ කරපු පළියට
වෛර කරන්න නම් එපා මට
කිසිම දවසක...........



Post Comment

31 comments:

  1. නගෝ ජිවිතේ තියෙන්නේ විදවන්න නෙවෙයි විදින්න. මට ඕක තේරුම් ගන්න ගොඩාක් කාලයක් ගත උනා. දුක, සතුට කියන දෙක කියන්නෙත් අපේ ජීවිතේට හැමදාමත් යන එන අපේ යාළුවො දෙන්නෙක් කියලා හිතාගන්න. එතකොට හැමදෙයක්ම හොදින් සිද්ද වෙයි. එයාට ඔයා ඇත්තටම ආදරෙයි නම් කවමදාක හරි එයා ඔයාගේ ආදරය තේරුම් ගනීවි. එතකන් ජිවිතයට ඉඩ දෙන්න.

    ReplyDelete
  2. ජිවිතේ තියෙන්නේ විදවන්නේ නෙවෙයි උනාට
    වෙන සමහර දේවල් වලින් විදවනවලු..
    හැබැයි එහෙම උනා කියලා පසුබහින්නේ නැතිව
    ඉන්න එකලු හපන්කම. .
    ආදරේ අවංක නම් ඒ ආදරේ ඔයා හොයාගෙන කවදාහරි එනවමලු :D


    හිතු මේ ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් ටික පහුගිය දවස්වල අතුරුදහන් වෙලා තිබ්බ(ලු) නේද ? දැන් එක හරි(ලු) (නේ) ද ? ;)

    ReplyDelete
  3. hmmm.. meka kiyawanakota oya man gena liyalada kiyala hithuna.. e tharamata samanakam tiyenawa.. adare awaka nam hoyagena enawa kiyala kiyanawa.. eth kawada eida danne ne.. kohoma unath.. oya thaniwela ne.. oya wage thawa goda denek ennawa.. api kawada hari e adare apiwa hoyagena ena kan balagena emu..

    ReplyDelete
  4. හ්ම්ම්... මොන දේ වුනත් අපි ගාව ඉන්න අය වෙනුවෙන් අපි සතුටින් ඉන්න ඕනේ නංගෝ,.. ආදරේ කියන්නේ හැමදාමත් වේදනාවක්. මම ඊයෙත් ඔයාට කිව්වා වගේ,. ආදරේදී දුක සැප දෙක බොහොම ඉක්මනට වෙනස් වෙනවා,. එයා ඔයාට ආදරේ නම් කවදාම හරි දවසක එයා ඔයාගෙම වේවී.. ඔයාගේ අක්කා ඔයාට හදවතින්ම සුභ පතනවා. කලබල වෙන්න එපා.. කාලය සමහර ප්‍රශ්න විසඳනවා,..

    ReplyDelete
  5. සමහර වෙලාවට අපි හිතන්නෙවත් නැති මොහොතක හිතන්නෙවත් නැති විදියට අපේ ජීවිත වලට ඇතුල් වෙන සමහර දේවල් සමහර පුද්ගලයින් අපේ ජීවිත වලට ලොකූ බලපෑමක් කරනවා. ඒ බලපෑම සමහර වෙලාවට අපේ ජීවිත කනපිට පෙරලන්න උනත් සමත්. ඒ දෙවල් වලින් හිත රිද්දගෙන හිත දුර්වල කරගෙන බෑනෙ.සතුටෙදි වගේම දුකෙදිත් හිත ශක්තිමත් කරගෙන උපේක්ශවෙන් ඒ දිහා බලන්න ඔයාට පුලුවන් වෙන්න ඔනේ නංගියා. අහිමි උන දෙයක් පිටිපස්සේ ඕනෙවට වඩා දුවන්න හදන්න එපා.... අන්තිමෙදි හති වැටෙන එක හැර ලැබෙන දෙයක් නෑ..ඔයා තවම ගොඩාක් පොඩි නංගියා ඒ නිසා දැන්මම තියාම ඇත්තට මූණ දෙන්න පුරුදුවෙන්න ඔයාට යම් දෙයක් උරුම නම් ඒ දේ ඔයාට ලැබෙනවාමයි යම් දෙයක් අහිමි උණා නම් ඒ අහිමි උන දේ ගැන හිත හිත දුක් වෙන්න එපා. අහිමි උන දේවල් වලට වඩා ඔයාට ඉස්සරහට ලැබෙන්න ,ලබාගන්න තියන දේවල ගොඩාක් වැඩියි. අන්න ඒ දේවල් ගැන අවදානය යොමුකරලා අනාගතය ලස්සනට ගොඩනගා ගන්න.අන්නෙ ඒ දවසට ඔයාට අහිමි උන දේවල් වලට වඩා ගොඩාක් වඩියෙන් ඔයාට හිමි ආදරේ ඔයාව හොයගෙනම ඔයගෙ ලගටම ඒවි
    සතුටින් ඉන්න නංගියා............

    ReplyDelete
  6. මෙහෙම කතාවක් තිනවනේ....

    ලෝකයට ඔබ එක් අයෙක් විය හැකියි
    කෙනෙකුට ඔබ ලොකයක් විය හැකියි

    ReplyDelete
  7. හිතූ නගෝ දැන් බලන්න ඔයාගේ දෙමව්පියෝ,මලයා,සුදු අයියා,ඔයාගේ යාලුවෝ ඔයාට කොච්චර ආදරේද??ඒ අයගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ..එයත් ඔයාට ඇත්තටම ආදරේනම් කවදාවත් වෙනස් වෙන්න විදිහක් නෑනේ..තව ඔයා මේ සමාජෙට පය තිබ්බ විතරයි..තව ඉස්සරහට ඔයාට තේරේයි..නදීශාන් කිව්ව කතාවයි අනිත් ඔක්කොම කියපු කතායි ඒ ඔක්කොම ඇත්ත..ජීවිතේ දිහා උපේක්ෂා සහගතව බලන්න..අතීතයේ ඇලිලා ඉන්නේ නැතුව ඔයාගේ,ඔයාගේ දෙමව්පියන්ගේ අනාගතේ ගැන හිතන්න..

    ReplyDelete
  8. ජීවිතේ කියන්නෙ අපි පතන දේ නෙවෙයිලූ... අපිට ලැබෙන දේලු... ජීවිතේ ලැබෙන්නෙ දුකද සතුටද ආදරෙන් වැළදගන්න සිද්ධවෙනවලු.

    ඒක ඇත්ත හිතු....
    මේ ජිවිතේ අපි හිතන පකන දේ ඒ වෙලාවෙම ඉටු වෙනවනම් මේ ජිවිතේට බලාපොරොත්තු කියලා දෙයක් ඕන නෑ...
    මේ ජිවිතේ භාර දෙන සියල්ල සතුටින් භාර ගන්න...
    කවදාවත් දුකක් ලැබෙන්නෑ...
    ඔයාගේ ඔය අවංක ආදරය ඔයාටම ලැබෙයි.....

    ReplyDelete
  9. ඇත්ත නංගෝ කාලය ගොඩක් දේවල් විසදනවා. විදව විදව ඉන්නෙ නැතුව ජීවිතේ ඉස්සරහට යන්න.ඔයාගෙ ආදරේ ඇත්ත නම් එයා කවදහරි ඔයා ගාවට එයි.

    අමතක කරන්න කියලා කියන්න බෑ මට ඔයාට.වැදි බණ කියන්න බෑ නෙ.

    ReplyDelete
  10. මම හැමදාම කියනවා වගේ අපිට ලැබෙන දේ ලැබෙනවාමයි....මට නැති උන දේ ගැන තැවුනා නම්...දිල් අද මෙතැන නෑ...මට නැති උන දෙයට වඩා ලැබුන දේ පුදුමාකරයි...කාලෙට ඉඩ දීපන් නංගො...කාලය හුඟාක් දේ විසඳනවා

    ReplyDelete
  11. @අම්බලම-ම්ම්ම්ම්ම්.... ඔව් අයියා.. දුක සතුට හැමදාම එක විදියට තියෙන්නෙ නෑනෙ...ස්තූතියි අයියා....!!!

    @ChammA- හ්ම්ම්ම්ම්... එහෙම නම් කියනවා තමයි අයියා..:) එහෙම හිතලා හිත හදාගන්න බලනවා..

    හික්ස්ස්ස්..... හෆ්ෆෝයි...!!! මේක මාරයිනෙ..;) හමෝටම ආරන්චි වෙලා වගෙ. ඔව් ඔව්.. අතුරුදහන් වුනු ඒවා හම්බුනා..;)

    @Red Riding Hood- ම්ම්ම්ම්ම්ම්ම් ඔව් මේක මට විතරක් අයිති දෙයක් නෙවෙයි ව්එන්නැත්.. හුගාක් අයට පොදු දෙයක්. ම්ම්ම්ම් ඔව් ඒක තමයි.. අපි බලන් ඉමු...:)
    ස්තූතියි ඔයාට.

    @ප්‍රාර්ථනා අක්කා- ඔව් අක්කියෝ. මං දන්නවා. ඔයලා ඉන්නවනෙ මට.:) මෙච්චර කාලයක් කාලයට හැමදේම භාරදීලා තමා මම හිටියෙ.. ඉස්සරහටත් එහෙම ඉන්නවා...:)

    @Nadeeshan Wijerathne- ඔව්. ඔයා කියලා තියන හැමදේම හුගාක් ඇත්ත අයියා. මට තේරෙනවා..ඇත්ත.. නොලැබෙන ,අහිමි වුනු දේවල් ගැන දුක් වෙලා තේරුමක් නෑ කියන එක ඇත්ත..:( මාත් හිමින් සැරේ මේ දේවල් ගැන හිතද්දි එහෙම නොහිතුනා නෙවෙයි...
    කොහොම වුනත් මෙහෙම වචන ගැටගහලා මං වෙනුවෙන් කතා කළාට ගොඩාක් ස්තූතියි... ඔය වචන හුගාක් ලොකු හයියක්..!!!
    හුගාක් ස්තූතියි...

    @විසිතුරු- හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    @රහස් පරීක්ෂකයා- හ්ම්ම්ම්ම්ම්ම්ම්... එහෙම කෙනෙක් ඉඳීවිනෙ කොහේ හරි...:)

    @විශ්ව අයියා- ඔව්. එයාල හින්දා තමා මොහොතකට දුක අමතක කරලා සතුටින් ඉන්න හදන්නෙ..:) ඉස්සරහටත් එයාලා මාත් එක්කමනෙ ඉන්නෙ. ඒක මට හයියක්.
    ඒ වගේම ඔයාලා. මේ හැම වචනයකටම ගොඩාක් පිං.:) හුගාක් ස්තූතියි අයියා.

    ReplyDelete
  12. ආදරේ කරන්න ලේසියි... ඒත් ලබන්න..... අමාරුයි....

    මං දන්නෙත් ඔච්චරමයි නංගි...

    ReplyDelete
  13. @හංසි- ඔයාගෙ ප්‍රර්ථනාවට හුගාක් ස්තූතියි යාලු. කොහොමත් වැඩිය බලාපොරොත්තු හොද නෑ... (බලාපොරොත්තු= අනාගත දුක ) කියලා මං හිතන්නෙ. ස්තූතියි ඔයාට...

    @නිසූපා අක්කා- කාලයට හැමදේම භාර දීලා බලාගෙන ඉඳීම හැර වෙන විසඳුමක් නෑ තමා අක්කා. බලාගෙන ඉන්නවා..හ්ම්ම්ම්ම්... සමහර මතකයන් ජීවිතේ හුගාක් තැන් වලදි ඉස්ස්මතු වෙලා හිත රිද්දනවා..

    @දිල් අක්කා- ඔව් අක්කි. මං ඔයාගෙ ජීවිත කතාව කියෙව්වා. ඒවා හිරිගඩු පිපෙන තරම්, ඇස් වලට කඳුළු උනන තරම් සංවේදි සිදුවීම්.. ඔයා ඒවා දරාගත්ත හැටි දැකලා මං පුදුම වුනා. එහෙම දේවල් ඉස්සරහත් නොසැලී ජීවිතේට මූණ දුන්නු ඔයා ගැන මට අඅඩම්බරයි.. ඒත් එහෙම යකඩ හිතක් හයිය හිතක් මට නෑනෙ..:(
    ම්ම්ම්ම් ඔව් කාලය හැම දේම විසදයි..:)

    ReplyDelete
  14. @Prasanna- ම්ම්ම්ම්ම්ම්.... හැමෝටම හැමදෙයක්ම හරියටම තේරෙන්නෙ නෑ අයියා. මටත් එහෙමයි.... :(

    ReplyDelete
  15. මටත් ඔයාට වැඩි දෙයක් කියන්න බෑ,ඒ මමත් අද ඉන්නෙ ඔයාටත් අන්ත තැනක.ඒත් අපි එපා උන අය ගැන ඇයි අපි හිත හිත දුක් වෙන්නෙ.එපා නිසානෙ ගියෙ.මම නම් හිතන්නෙ ආයෙ ඒ අය ලන්කරන් ආයෙ පරන තැනටම වැටෙනවට වඩා නැතුවම ඉන්න එක හොදයි කියල.

    ReplyDelete
  16. ම්ම්ම්ම්ම්ම්ම්... ඔව් සහෝ.... ඒකත් ඇත්ත. දවල් වැටුණු වලේම රෑ වැටෙන්නනම් ඕනෙ නෑ වගේ... ඒත් අනේ මංදා... ස්තූතියි :)

    ReplyDelete
  17. ඔයා කිව්වා වගේ මටත් මගේ දුකට සැපට එකට ඉන්නේ මගේ මලයා විතරයි. මොකෝ නංගි මෙහෙම හිතන්න හිතුවේ.

    යන්න කලින් මේ දේත් කියන්නම්. මම නම් ආසයි ජීවිතේ සතුට තියෙනවා වගේම දුකත් චුට්ටක් හරි තියෙනවා නම්. මොකද එතකොට තමයි සතුටක තියෙන රසය ලස්සන වගේ දේවල් උනත් අපේ හිත් වලට හොදටම දැනෙන්නේ. මම් මේ කියපු දේ ගැන නංගි හිතන්නේ මොකද්ද ? මම් වැරදිද ?

    ජීවිතයේ දුක සතුට දෙකම සමබරව තියෙනවනම් ඒක හොදයි කියලත් වෙලාවකට හිතෙනවා.

    ප.ලි. - පරක්කු වෙලා ආපු නිස දඩුවමක් හැටියට මට රිප්ලයි නොදා ඉදිද මන්දා. අම්මෝ අර ඩිස් කුශ් කමෙන්ට් අයින් කරපු එකනම් හොදා. ආයේ ඒවගේ ගැජට් දාගන්නවා එහෙම නෙමේ :)

    ReplyDelete
  18. මම නම් ඉතින් කොල්ලගේ පැත්තේ මොකෝ කට්ටියම කෙල්ලට සප් එක දුන්නට කොල්ල ගැන වචනයක් වත් නෑ නේ,අනික සමහර කොල්ලෝ ඉන්නවා ආදරේ කියන ඒක එක සීමාවක තියාගෙන හුඟක් දුරට යන්න බලන,මොකද ඒ කොල්ලෝ කැමති නැහැ තමන් නිසා පස්සේ කාලෙක හරි තමන්ගේ කෙල්ලට දුකක් දෙන්න,,එකම වෙනස තියෙන්නේ ඒ කොල්ලෝ තමන්ගේ ආදරේ හංගගෙන හුඟක් වෙලාවට හොඳ යාලුවෙක් වෙලා පුළුවන් තරම් දුර එකට ගිහින් කෙල්ලට තමන්ට වැඩ හොඳ කොල්ලෙක් සෙට් වෙනවා කියල තේරෙනකොට හෙමින් දුක දරාගෙන ඒ කෙල්ලට වත් තේරෙන්නේ නැති විදියට පැත්තකට වෙන එක තමා..කොහොම උනත් හුඟක් කොල්ලෝ එහෙම නැති නිසා ඔයාගේ තත්වේ ගැන මුකුත් කියන්න බැහැ.හැබය් ඉතින් සෙට් කරගන්නවා නම් අන්න කොල්ලෝ...(පස්සේ දාල ගියත් උන් හැම උදව්වක්ම වගේ කරනවනේ)...ඔය වගේ කෙල්ලොත් බොහොම ටිකක් ඉන්නවා හොඳේ........
    හැබය් මම නම් කැමති ඔය හොරෙන් කරන ආදරේට ඒක කියන්න බැරි තරම් ලස්සනය්,ඒක නිසා මුළු ජීවිතේම වෙනස් වෙනවා.....

    ReplyDelete
  19. @මධුරංග අයියා- ඔව් අයියාගෙ මලය ගැන අයියා පෝස්ට් වල ගොඩක් ලියලා තිබුනු නිසා මතකයි.:)ලියන්න හිතුව එකක් නෙවෙයි. ඒත් හදිස්සියෙම ලිය වුනා.

    ඔව් අයියා එක්ක එකගයි මම. ඒ කතාව ඇත්ත තමයි. අමාරුවෙන්, කට්ට කාලා ලබා ගන්න දෙයක තමයි අගය වැඩ්.වැඩියෙන් දැනෙන්නෙ. සතුටත් ඒ වගේ නේ??? ඒථ් දුක නිතරම වැඩිපුර දැනෙනවට කැමති නෑ.. සමබරව ලැබෙනවනම් කැමතියි තමා අයියා.:)

    හික්ස්ස්ස්... එහෙම රිප්ලය්ස් දාන්නෙ නැතිව ඉන්නෙ නෑ. කොහොම කළත්. මේ බ්ලොග් එක පටන් ගද්දිම අයියා දීපු තල්ලුව තමා මෙච්ච්ර දුරක් එන්න උදව් වුනේ... මට මුල මතකයි හරිද???:p හිකිස්ස්... ඔව් ඔව්.. ඒ ගැජට් නම් දාන්නෙ නෑ ;)

    ReplyDelete
  20. @Tharinduhw122-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... කොල්ලො කෙල්ලො හැමෝම එක එක විදියෙ අය ඉන්නවනෙ. ඔයා කියලා තියන විදියෙ කොල්ලෙක්නම් හොද වෙන්න පුළුවන්.. කෙල්ලගෙ හොදට එහෙම කෙල්ලගෙන් ඈත් වෙනවා කියන එක. ඒත් කෙනෙක්ට බලාපොරොත්තු දීලා, හිතේ ඇති කරලා, එහෙම ඈත් වෙන එකනම් හොද නෑ.. එහෙම කරලා හිතින් ආදරේ කර කර හිටියට අනිත් කෙනා විදින දුක නැති වෙන්නෙ නෑනෙ..
    අනේ මංදා.. ඒ ගැන මට තේරෙන්නෙ නෑ..කොල්ලො කොහොමත් වැඩිය ආදරේ පෙන්නන්නෙ නෑ කියන්වනෙ..:/

    හොරෙන් ආදරේ කරන එකත් ජොලි තමා. කාටවත් කරදරයක් නෑ.. හිතින් ආදරේ කර කර ඉන්න පුළුවන්..:)

    ReplyDelete
  21. හිතට ගොඩාක් ලංවෙච්ච ඔයාට ගොඩක් ආදරේ කරන කොච්චර අය හිටියත් ඔයා ආදරේ කරන, ඔයාට ගොඩක් වටින ඔයා බලාපොරොත්තු වෙන ඒ කෙනා නැතුව ඔය හිතට මහා දුකක් පාළුවක් දැනුනත් ඔයා වෙනුවෙන් ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් කරන්න ගොඩාක් දෙවල් තියනවා..ඔයාගේ ජීවිතේ තව මහා ලොකු කාලයක් වෙිල නෑ.ආව වගේ තව සෑහෙන දුරක් යන්න තියනව...මම කියන්නෑ ඔයා ඔය ආදරේ අමතක කරන්න හිනා වෙලා ඉන්න සතුටින් ඉන්න කියලා.ඒක ඔයා තේරැම් ගන්න..ඔයා කවුද..මොනවද ඔයාට කරන්න තියෙන්නෙ..ඔයාගෙ අම්ම තාත්තා..ඔයාගෙ සුදු අයියා..ඔයාගෙ ක්‍රිකට් පිස්සා..අනිත් පිස්සියො දෙන්න..අයියල වගේ ඉන්න මල්ලිල ටික..මේ අය වෙනුවෙන්..ඔයා වෙනුවෙන්...තව ටිකක් හිතන්න..ඔයාම තේරුම් ගන්න තව ටිකක්..ඔනිම දේකට වෙනද වගේම ලගින් ඉන්නම්.....

    ReplyDelete
  22. මහා මෙරක් ලෙස ඔබගැන සිතුවෙමි..
    වැලි කැටයක් ලෙස ඔබ මා ..ගැන සිතුවේ..

    ReplyDelete
  23. ගොඩක් දුක් විදින්න කියලා කියන්නේ නෑ මං. එහෙම ජිවත් වෙන්න අමාරුයි. :)

    ReplyDelete
  24. @~~තරූගේ ලෝකය~~; -ම්ම්ම්ම්ම්ම්ම්.....ඔව් කොච්ච්ර අය ළග උන්නත් හිතට ඒ දුක තියනවා... ඔව්.. ළග ඉන්න අය වෙනුවෙන් කරන්න තියන යුතුකම් මම කරනවා..:)
    හුගාක් ස්තූතියි අයියා... හැමදාම ළගින් ඉන්නවට...:)

    @Gimhani- ම්ම්ම්ම්ම්ම්ම්ම් :( :( දුකයි.....

    @මධුරංග අයියා- ඔව් අමාරුයි.. හුගාක්.:)

    ReplyDelete
  25. අන්තිම පේලි ටික නම් පුදුම ලස්සනක් තියෙන්නේ නංගියෝ.....ඔව් ..මේ සේරම ඇත්ත..අපිටත් වැඩිය අපිට ආදරේ කරන අපේ ලගින්ම ඉන්න අය කොච්චර හිටියත් අපි ආදරේ කරන කෙනා ලග නැත්තම් මුළු ජීවිතේම හිස් වගේ...දුක් වෙන්නෙපා නංගියෝ...ඔච්චර හොද අයියල මල්ලිලා,යාලුවෝ ලැබුන ඒක ගැන සතුටු වෙන්න..:)

    (පොස්ට් ඒක දාපු ගමන්ම දැක්කත් කමෙන්ට් කරන්න වෙලාවක් තිබුනේ නෑ..හරියට කියෙව්වෙත් දැන්.)

    ReplyDelete
  26. ම්ම්ම්ම්ම් ස්තූතියි අයියා..:)
    ඔව්.. ලගින් ඉන්න අය ගැන හිතල සතුටු වීම හැර වෙන කරන්න දෙයක් නෑ තමා. හැම දෙයක්ම කාලයට භාරදීලා බලාගෙන ඉන්නවා.. අපිටත් දවසක හඳ පායයිනෙ?? නේද??

    ම්ම්ම්ම්ම්... කොහොම හරි අයියා කියෙව්වනෙ.. ඉතින් ඒ ඇති:)

    ReplyDelete
  27. අනිවාර්යෙන්ම ඔයාගේ ලෝකෙට හඳ පායයි ලගදීම දවසක..:)
    ආදරේ ඇත්ත නම් ඒක එහෙමම වෙයි..ඒත් ඔය ඉල්ලන කෙනාම ලැබෙයිද කියල නම් මම දන්නේ නෑ.ඒත් නංගියෝ ඔයාගේ ලෝකේ එලිය කරන්න කෙනෙක් ලගදීම ඒවි....ඒක තමයි මම අත්දැකීමෙන් දන්න ඇත්ත..

    ReplyDelete
  28. ම්ම්ම්ම්ම්ම්ම්.... බොහොම ස්තූතියි.. අයියා....
    එහෙම වුනොතින්.... බලමුකො අපි.. අයියගෙ ප්‍රාර්ථනාවට ස්තූතියි...:)

    ReplyDelete
  29. බලන්න දෙයක් නෑ...එහෙම වෙනවා....ඔන්න බලන්නකො..:))))

    ReplyDelete
  30. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :)

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....