නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

18 September 2011

--මූණු පොතේ අමුතු අමුතු--

ඔන්න අද මම ලියන්න හිතුවෙ හුගාක් දෙනෙක්ට( හුගාක් කිව්වට මේ ටික දෙනෙක්ට)  ප්‍රශ්නාර්ථයක්  වෙලා ඉන්න  මම (හිතුවක්කාරි) ගැන එහෙම නෙවෙයි.මූණූ පොතේ හිතුවක්කාර කෙල්ල විදියට කටයුතු කරන් යද්ද්දි, මට මූණ දෙන්න වුනු පොඩි පොඩි සිද්ධි කීපයක් ගැන.



පළවෙනියටම මම කියන්නම්කෝ මෙහෙම නමකින් ෆේක් ප්‍රොෆයිලයක් හදාගෙන ,මූණූ පොතට එන්න හිතුව හැටි ගැන.නැත්තම් ඒකත් ප්‍රෙහේළිකාවක්නෙ.ඔන්න ඉතින් මම දෙවෙනි වතාවටත් A/L එහෙම කරලා ගෙදරම රැදෙන දවස් වල ( ඒ කිව්වෙ මීට අවුරුද්දකට විතර කලින්..) කම්මැළිකමට ඉද්දි, මගේ යාලුවෙක්ම මෙහෙම වෙන නමකින් ප්‍රොෆයිල් එකක් හදාගෙන මට මැසේජ් එකක් එවලා තිබ්බා. ඊටපස්සෙ ඉතින් මටත් හිතුනා මගේ හිතේ තියන දේවල්, අදහස් කෙලින්ම ලියන්න , එහෙම එකක් හදාගත්තනම් හරි කියලා.ඔන්න ඊටපස්සෙ කල්පනා කරලා කරලා නමක් දාගෙන එකක් හදාගත්තා.මම කැමතිම නිළිය කාජල් නිසාත්, කාජල්ගෙ තිබ්බ දගකාර, හිතුවක්කර පෙනුම නිසාත් මම ප්‍රිෆයිල් පින්තූරෙට දැම්මෙම කාජල්ගෙ පින්තූරයි.කාලයක් යනකම් ඉතින් කට්ටිය එහෙම වැඩිය ඇඩ් වුනේ නෑ.. (මෙහෙම නමකින් ඉද්දි ඉතින් කවුද කැමති ඇඩ් කරගන්න) ඔහොම ඉතින් කාලයක්ම හිටියා. එක එක සිංදු කෑලි දදා.ඊටපස්සෙ කාලයක් යද්දි මෙන්න මමත් ටිකින් ටික ෆේක් ලෝකෙට එකතු වුනා.

ඔය වෙන අය ෆොටෝ වලට එහෙම ලස්සන කතා ලියලා, වෙන අයව ටැග් කරලා තියනවා දැක්කා.(මුලදි මාව නම් ටැග් කලේ නෑ ඔන්න). ඒත් මමත් ඒවට මට හිතෙන දේවල් අකුරු කළා.ඒවට සෑහෙන්න ලයික් එහෙම වැටෙන්න ගත්තා.(සෑහෙන්න කිව්වෙ මේ 5ක් 6ක් වගේ :p). ඊටත් පස්සෙ ටිකෙන් ටික රික්වෙස්ට් එහෙමත් එන්න ගත්තා.ටික ටික අදුරගන්න  අය වැඩි වුනා.ඒත් චැට් කරන්නනම් පෙළඹුනේ කලාතුරකින්.නිතරම කවි, කතා එහෙම ලියන අය එක්ක හැරුනාම, චැට් කලේම නැති තරම්.(දැන් නම් බ්ලොග් ලියන අය එක්ක එහෙම චැටක් දානවා.).අනිත් අය එක්කත් චැට් කරනවා. ඒත් හුගාක්ම හිතවත් අය එක්ක.

ඔහොම කාලයක් යද්දි මම ලස්සන ලස්සන පින්තූර වලට නිසැදෙස් වගේ ඒවා ලියලා , ටිකක් හිතවත් අයව ටැග් කලා.ඒවාට ඉතින් හොද ප්‍රතිචාරත් හම්බුනා. ආදරේ ගැනම ,(වැඩිපුරම දුක ගැන) ලියන නිසාද මන්දා, හුගක් දෙනෙක් කැමති වුනා.ඒවා දැකලා හොදයි කිව්වා. දවසින් දවස ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වැඩි වුනා.මමත් mutual friends ලා වැඩියෙන් ඉන්න අයව ඇඩ් කරගත්තා.ඔහොම ඔහොම හිතුවක්කාරි ජනප්‍රිය වුනා(ලූ).ඊටත් පස්සෙ තමා බ්ලොග් එකක් කරන්න අදහසක් ආවෙ.බ්ලොග්කරණයට මගේ ආගමනය ගැන දැන්ම නොලියා ඉන්නම්. ඒ ගැන දවසක ලියන්නම්.

ඉතින් හිතුවක්කාරි වටේ හුගාක් යාළුවො එකතු වුනා.ඉස්සර ඉදන්ම හුගාක් හිතවත් වුනු කීපදෙනෙක්ම හිටියා.හිරු එළිය ලියන දග අයියා, මානස විලේ හංසයා,සිහින සිතුවම්, විකසිත පියුම්,වගේ හිතවත් පිරිසක් නිර්මාණය වුනා හිතූගෙ වටේ.හිතුවක්කාර කෙල්ලට කට්ටිය ආදරේට හිතූ කියන්නත් ගත්තා. (අන්තිමට"හිතූ " නම රෙජිස්ටර් වුනාලු).දැන් හිතුවක්කාරිගෙ යාලූවො 700කටත් වඩා ඉන්නවා.හැබැයි මෙච්ච්ර කාලයකට හිතූට බරපතල ප්‍රශ්න ඇති වෙලානම් නෑ..එහෙම නොවෙන්න හිතුවක්කාරි වැඩ කරගෙන ආවා.පුංචි පුංචි රසවත්, කුතුහලය දනවන සිද්ධි නම් වුනා.

මුලින්ම මට මූණ දෙන්න සිද්ධ වුනු ප්‍රශ්නෙ තමා, චැට් කරන්න එන ඕනම කෙනෙක් මුලින්ම අහන්නෙ" ඇයි ඔයා හිතුවක්කාර ?" කියන එක. නැත්තම් "ඇයි ඔච්ච්ර හිතුවක්කාර?" කියන එක.ඇත්තටම මට දැන් ඒ ප්‍රශ්න තිත්ත වෙලා. අහලම අප්පිරිය වෙලා.මොකද ඒවට මටවත් දෙන්න උත්තරයක් නෑනෙ..ඊළගට තමා ලොකුම අවුල."ඔයා ඇත්තටම කෙල්ලෙක්ද?" මේ ප්‍රශ්නෙත් හුගාක් දෙනෙක් මගෙන් අහනවා.එතකොටනම් තරහත් යනවා.ඒත් එහෙම ප්‍රශ්නයක් අහන එකත් සාධාරනයිනෙ.මොකද එහෙම ගැහණු නම් වලින් ඉන්න පිරිමි චරිත ඕන තරම් අද මේ මූණූ පොතෙ ඉන්නවනෙ. ඉතින්, මම ගෑනූ ළමෙයෙක් තමයි කියලා කරුණු කියනවා.ඒත් සමහරු පිළිගන්නෙ නැති වුනාම මටනම් ඌරු ජුවල්. රිමූව් කරලා දානවා.අනිත් දේ තමයි "ඔයාගෙ ඇත්ත නම මොකක්ද?", "ඉන්නෙ කොහෙද?" ,"මොනාද කරන්නෙ?" ඕවා ඉතින් සුපුරුදු ප්‍රශ්න ටිකක්නෙ. ඒ ටිකත් නිතරම අහනවා.

කොහොමහරි මම දිගටම මාව ටැග් කරන ඒවාට, වෙන අය ලියන ඒවාට කමෙන්ට් දදා හිටියා. දැනට වඩා ඉස්සර හුගාක් ලිව්වා.ඔහොම ඉන්න අතරෙදි, මම නොහිතපුම විදියට එක අක්කා කෙනෙක් ( එයා නම් ඔර්ගිනල් ප්‍රොෆයිල් එහෙකින් කවි ලියන කෙනෙක්), මගෙන් තවත් ෆේක් කෙනෙක් ගැන (පිරිමි චරිතයක් ගැන)ඇහුවා.අපි එයාට ***** කියමු.නිතරම ඇහුවා, දිගින් දිගටම.මම ඇයි ***** ටැග් කරන ඒවාට එහෙම ලියන්නෙ, ***** ව මං දන්නවද, ඔය වගේ එකේක ප්‍රශ්න ඇහුවා.ඒත් ඇත්තටම මම ***** ව ඇත්තට දැනන් හිටියෙවත් නෑ. අනිත් අය ලියන දේවල් වලට ලියනවා වගේම, ආදරේ ගැන අකුරු කලා විතරයි.ඒත් මේ අක්කා මගෙන් ඇහුවා මම ***** ට ආදරේ කරනවද කියලා.මාව දෙලෝ රත් වුනා. මට හිතා ගන්න බැරි වුනා. මේ අක්කා මගෙන් දිගින් දිගටම අහන්න ගත්තා. මට ***** ව ඕනෙද? එහෙම දෙයක් හිතේ තියනවද? එහෙමනම් ඇත්තම කියන්න.වගේ දේවල්. ඇත්තටම මට ඒ කිසිම දෙයක් තේරුනේ නෑ. මම කිව්වා එයාට මට තේරෙන්නෙ නෑ. මගේ එහෙම කිසි දෙයක් නෑ.. මම නිකන් ලියන්නෙ, මාව ටැග් කලාම, නැත්තම් ලස්සන කවියක් දැක්කහම, කියලා.

ඊටපස්සෙ ඒ අක්කා මගෙන් ඒ ගැන ඇහුවෙ නෑ. ඒත් මට ***** ගෙන් ඈත් වෙන්න කිව්වා.එයාට කවි ලියන්න එපා කිව්වා.මම කිව්වා ඉතින් මෙහෙම දේවල් මගේ හිතේ නෑ.. මං වරදක් කලානම් සමාවෙන්න , ඒත් මට තේරෙන්නෙ නෑ වෙලා තියන දේ,මම ආයෙත් ලියන්නෙ නෑ කියලා.ඊටපස්සෙයි මම දැක්කෙ, ***** මට inbox එකට මැසේජ් එකක් එවලා.ඒකෙ තිබ්බෙ මෙහෙම දෙයක්.මේ තියෙන්නෙ එයා එවපු මැසේජ් එකමයි.(මේකෙ තිබ්බ නම වෙනුවට මම ---- ටිකක් දැම්මා.)

"ජිවිතය...

----- කියන්නෙ ලොකු අවදානමක ඉන්න කෙනෙක්...ඒ ජිවිතේ හරි අහිංසකයි..මං ඒ අහිංසකීව සනීප වෙන්න හැමදාමත් බෝධි පුජා තියනවා.. ----- කියන්නේ මගෙ ජිවිතේ...සමාවෙන්න මට මහ හුගක් මෙහම කියනවට..මං ලියන කවි වලට ඔයා කවි ලියුවම එයා දුක් විදිනවා හුගක්.ඔයා මගේ කවි ලගින් ආයේ කවි ලියන්න එපා ..ඒ අහිංසකිගේ ජිවිතය බේරන්න හදන මං ,ඔය හිත රිද්දුවනම් සමා වෙන්න..මට පව් ඇති මෙහෙම කියුවට..මං කාගේවත් හිත රිද්දන කෙනෙක් නෙමේ..ඒත් ආයේ මගෙ wall එකේ කවි ලියන්න එපා."


මට ඒක දැක්කම මගේ ප්‍රොෆයිල් එක එපා වුනා.මං ගැනම මට හුගාක් දුක හිතුනා.***** මේ මැසේජ් එක මට එවලා , මාව බ්ලොක් කරලා තිබ්බා. ඇත්තටම මට දුක හිතුනා. මං අදටත් දන්නෙ නෑ.. මේ කතාවෙ තේරුම හරියටම. මම ඇහුවත් මට ඒ ගැන කිව්වෙ නෑ.ඒත් මට හුගාක් ලොකු ප්‍රශ්නයක් වුනා මේ සිද්ධිය. ඒත් මං මූණු පොත අතෑරියෙ නෑ...දිගටම හිටියා. පස්සෙ මේ ළගකදි මම දැක්කා අර,***** ගෙ ප්‍රොෆයිල් එක තියනවා. එයා ,මම වෙන අයව ටැග් කරපු, මං ලියපු කවි වලට ලයික් දාලත් තිබ්බා.

ඒත් ඒ සිද්ධිය මහ අමුතු දෙයක් වුනා මට. හිතපුවත් නැති දෙයක් නේ සිද්ධ වුනෙ .ආයෙත් දවසක ඒ කෙනා මාත් එක්ක කතා කලොත් මං එයාගෙන් ඒ දේ සහසුද්දෙන්ම දැනගන්නවා.(එයා කිව්වොත් තමයි). මොකද මගෙන් සිද්ධ වුනු වරද ඒ තරම් බරපතළයි කියලා මට දැනුනා.

ඒ වගේම කියන්නම ඕනෙ අද වෙද්දි මට මූණූ පොතේ හුගාක් හොද යාළුවො මුන ගැහිලා තියනවා. ඒ වගේම මේ බ්ලොග් ලියන අයත් ඒ අතරේ ඉන්නවා. හොද නරක කියන එක කොහොමත් හැමදෙයකම තියන නිසා,මේකත් එහෙම සිදුවීමක් කියලා හිතනවා.

මේ වගේ තවත් අමුතු සිදුවීම් වුනා. ඒ ගැනත් පසුවට ලියන්නම්...

ප.ලි- මෙහෙම ලිපියක් දැම්මෙ ,කිසිම කෙනෙක්ට අපහාසයක්වත්, නින්දාවක්වත් කරන අදහසකින් නම් නෙවෙයි.ඒවගේම කිසිම කෙනෙක්ව බයිට් කරන්නවත්, නෝන්ඩි කරන්නවත් හිතාගෙන නොවන බව කරුණාවෙන් සලකන්න.
                                   

Post Comment

20 comments:

  1. එයා කවි ලියන්න ඇත්තේ.. අර අක්කිට... ඔයා එවට පිළිතුරු කවි ලියනවා දැක්කහම එයාට(එ අක්කට) දුක හිතෙන්න ඇති.. සමහරක් වේලාවට ඒ අක්කිට කවි ලියාගන්න බැරි විම ගැන..පිළිතුරු කවි ලියනකොට අපි ඒ දේ තෙරුම් අරගෙන ඒ ආසන්නයෙන්ම පද වැලක් ගොතනවා.. ඒ දේවල් ඉතින් හරහට හිටින්න පුළුවන් නේ.. ඔයා අක්කිට ඒ ගැන තෙරුම් කරලා දුන්න නම් හරි යයි.. :O

    ReplyDelete
  2. හප්පොච්චියේ නංගාටත් වෙන වැඩ...ඔයා වැරැද්දක් කරලා නැහැ නේ..
    ඒක නිසා එච්චර හිතට ගන්න එපා ඔය දේවල්..

    ඒක නෙවයි අර බුකියේදී පෙන්නපු මගේ නිවුන් සහෝදරයෝ දෙන්නව තාම විශ්වාස නැද්ද :D

    ReplyDelete
  3. නංඟා ඔයා එයාලගේ පොස්ට් වලට ප්‍රතිචාර දක්වන්න එපා.. ඔයාට මැසේජ් කල අයගේ හිතේ ඇති ඔයාගේ හිතේ නොව් හැගිමක් එක නිසා එයාලම බලාගනියි.. සමහාර අවස්ථාවලදි ඇය ඔහුගේ ආදර කොණයට අසුවිමට නොහැකි වන්න පුළුවන..ඒහේතුවේන් ..
    දුකක් ගණන් එපා ..
    නොදැනුවත් කමින් උනානම් සිද්ධියක් සමාවගත්තානේ එ‘ඇති
    වැඩය ගණන් ගන්න ඔනේ නැහැ...
    (ඔහු/ඇය සමග කතා නොකරඉන්න....)

    ReplyDelete
  4. තමන්ගේ නමින් ලියන්නේ නැතුව වෙනත් නමකින් ඉන්නකොට හිතට එන ඕනම පිස්සු අදහසක් ඔහේ ගලාගෙන යන විදිහට ලියන්න නිදහස තියෙනවා.
    ඒ නිසා කරන්න තියෙන්නේ තමන්ගේ ඇත්ත තොරතුරු හෙලි නොවෙන්න ලියන එක තමා. ඔන්න අපට නම් ලස්සන පෝස්ට් එකක් කියවන්න තියෙනවා නම් එහෙමත් නැත්නම් කෙනෙකුගේ දුකකදි සැනසෙන්න පොඩි හරි දෙයක් කියන්න තියෙනවා නම් ගෑනුද පිරිමිද කියලා බලන්නේ නෑ.

    ඔන්න ඔහේ කියලා දානවා. මම් දන්න විදිහට බ්ලොග් අවකාශේ නම් ඔහොම අවුල් නෑ. (තියෙනවා මම දන්නෙ නැද්ද මන්දා )

    ReplyDelete
  5. මලකෙලියයි... මදැ...
    කවුද කියලා හොයාගන්න.

    ReplyDelete
  6. අපොයි කෙල්ලේ ඔයාටත් වෙන වැඩ..

    ReplyDelete
  7. @චතුමිතු- ම්ම්ම්ම්ම්... ඔව් ඒකතමා. මටත් හිතුනා මෙහෙම ලියන්නෙ ඒ අක්කට වෙන්නැති කියලා. ඒත් ඒ අක්කා මට කිව්වෙ එයා මල්ලි කෙනෙක් කියලා එයාගෙ. ඒකයි මං එහෙම කල්පනා කලේ. මම ආයෙත් ඒ ගැන පැහැදිලි කලේ නෑ.. මුලින් කිව්වානෙ. ඊටප්ස්සෙ එයාව බ්ලොක් කලාට පස්සෙ ප්‍රශ්නයක් වුනේ නෑ..

    @ChammA අයියා- ම්ම්ම්ම්ම්ම්ම්.. මුලින් අප්සට්. දැන් නම් හරි..
    ග්‍ර්ර්ර්ර්ර්... අනේ යන්න.. ඔයාගෙ නිවුන් සෙල්ලමත් ළග්දිම මම හොයාගන්නම්කෝ...:p

    @˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙- ඔව් අයියා.. දැන් නම් මම සෑහෙන්න පරිස්සම්... එයාලා එක්ක නෑ..වැරදි වැටහීම් ඇති ව්එනවනෙ...

    @මධුරංග අයියා- හ්ම්ම් ඔව් අයියා. ඒක ඇත්ත. ඒත් කවි කතා වලට පිළිතුරු කවි කතා ලියන්න ගියාම, මූණු පොතේ ටිකක් අවුල් වගේ ඇති. අනේ මංදා. මේ සිද්ධිය විතරයි මෙහෙම වුනේ.. වෙන අයගෙන් ඒ තරම් දෙයක් නෑ..ඒත් මේ හා සමාන දෙයක්ද මන්දා වෙන්න ගියා.ඒ ගැන පස්සෙ ලියන්නම්කෝ..:)

    @රහස් පරික්ෂකයා- හික්ස්ස්ස්ස්.. ඔව් අනේ... මට තමා වෙන්නෙ.:) හොයලා වැඩක් නෑ...

    @Gimhani- ම්ම්ම්ම්... ඒකනෙ අනේ... බලන්නකෝ...:(

    ReplyDelete
  8. හෆොයි... හිතුවක්කාරියට වෙන වැඩ... මම හිතන්නෙත් චතූ මිතූ කියපු දේම තමයි. පොඩි ඉරිසියාවක් වෙන්න ඇති. ඔයා ඒ ගැටලුව දුර දිග යන්න නොදී වළක්වා ගත්ත එක හොඳයි...

    ReplyDelete
  9. ආදරේ ආත්මාර්ථකාමී. ආයෙත් ඒකේ දෙකක් නෑ. අහල නැද්ද, ආදරේ කරන්නේ බදා ගන්න මිසක් බෙදා ගන්න නෙමෙයිලු. වෙන ගැණු ළමයෙක් දිහා එහෙම ඇහැක් ඇරල බැලුවොත් මං තෝව මරණවා(ලු. ) බැලූ බැල්මට නපුරු වගේ පෙනුනට මේවා මේ ආදරේ දොරේගලන හිත් අතර කියා ගන්න දගකාර වචන. ඉතිං කොහොමින් කොහොම හරි මේ අක්ක මල්ලි කිව්වට වෙන මොකද්දෝ සම්බන්ධ කමක් තියෙන්න ඇති කව්ද දන්නේ අවාසනාවට ඇත්ත කතාවක් ද කියලා. මං නම් හිතන්නේ එච්චර හිතන්න තරම් දෙයක් ‍ඒකේ නෑ. නමුත් අපි ලියන කියන ඒවගෙන් කාගේ හරි හිතක් පොඩ්ඩක් හරි රිදෙනව නම් අපිට හැකි උපරිමයෙන් ඒවගෙන් වලකින එක නම් මම හිතන්නේ හොදයි කියලා. ඒක මගේ අදහස.

    දැන් ඉතිං හිතුගේ පැත්තටත් මොකක් හරි කියන්න ඕනේ නැත්නම් ඉදල හමාරයි. (අන්තිමට"හිතූ " නම රෙජිස්ටර් වුනාලු) :P :P :P ඔයා නිදහසේ කොමන්ට් කරන කෙනෙක් නිසා එතන ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ අක්කා එහෙම අහද්දි. නම් ඔයාට ‍එයාගෙන් කෙලින්ම අහන්න තිබුණ. මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ අක්කට ප්‍රශ්නයක් නම් මට කියන්න කියලා. ඕව ඉතිං කතා කරල විසදගන්න පුළුවන් ප්‍රශ්නනේ. නේද :))))))))))) පොස්ට් එක කියවද්දී හුස්ම ගත්තද කියලවත් මතක නෑ. මං හිතන්නේ නැද්ද කොහෙද. පොස්ට් එක ලස්සනයි හිතුවක්කාර කම්ම පිරිලා. :)

    ReplyDelete
  10. මාර තොප්පියක්නේ...

    ReplyDelete
  11. අනෙ අම්මේ මෙහෙම දෙයක් නම් මට සිද්ද නොවේවා....

    ReplyDelete
  12. මේ ඇත්තටම ඔයා හිතුවක්කාරද... ?? ඇත්ත නම මොක්කද... ?? ඔයා ඇත්තටම කෙල්ලෙක්ද.. :D :D

    ReplyDelete
  13. ඇත්තටම මේ ෆේක් ලෝකය හරිම ආතල්... හිතට එන ඕනිම දෙයක් බය නැතුව අත දිගෑරල ලියන්න පුලුවන්... ඔරිජිනල් ප්‍රොෆයිල් වලින් ඉන්න කොට අපි එක්තරා සීමාවකට කොටුවෙලා ඉන්නෙ... අදහස් ප්‍රකාශ කරන්න තියන ඉඩකඩ බොහොම අඩුයි...එක වෙලාවකට හිතෙනව ඔරිජිනල් ප්‍රොෆයිල් වලින් ඉන්න අය තමා ෆේක් වැඩ කරන්නෙ කීල.... අපිටත් හොඳ හොඳ වැඩ ාවලා තියනව මේ ෆේක් ප්‍රොෆයිල් එක්ක ඉන්න කොට... හික්ස්..

    -සිංහ ලේ සිරිනාග-

    ReplyDelete
  14. @විසිතුරු | visituru - ම්ම්ම්ම්ම්ම්.මනේ මංදා, එයාලා දෙන්නම කිව්ව කතා වෙනස්. හිතා ගන්න බෑ. ඔව් දැන් ඒක ඉවරයිනෙ..ලොකු දෙයක්..

    @සිහිනයක මියැදුණ සිතක්- හ්ම්ම්ම්...ඇත්ත. ආදරේදි එහෙම ව්නවා. එයාල නොකිව්වට සමහර විට එහෙම දෙයක් තියෙන්න ඇති.. අනේ මංදා. ආදරේ කොහොමත් ආත්මාටථකාමී නෙ.. තම්න් ආදරේ කරන කෙනාට වචනෙකින්වත්, අකුරකින්වත් තවත් කෙනෙක් ලං වෙද්දි දරාගනන් අමාරුයිනෙ. ඒකෙනම් වැර්ද්දක් නෑ..

    හික්ස්ස්ස්... ස්තූතියි ස්තූතියි..!!!

    @මන්තරකාරි - ඔව් හෆ්ෆා.. මාරම තොප්පියක්...:)))

    @ලොකු ඡෝන්- හ්ම්ම්ම්... ගෑණු ළම්යින්ට තමා ප්‍රශ්න වැඩි...;)

    @පොඩි මෑන්- හික්ස්ස්ස්ස්ස්.... කියන්නෙ නෑ මං..:/ :p

    @කම්මැලියා- ඔව් ඒ කතවටනම් මම එකගයි...:) නිදහසේ ලියන්න පුළුවන්...ජොලි.. සුන්දර සිදුවීම් තියන්වා..

    ReplyDelete
  15. මගෙත් එක්ක චැට් කරා නම් මම අහනවා හිතුවක් කාරි කැරකිලා යන්න ප්‍රශ්න ටිකක්

    ReplyDelete
  16. සදරු සමග එකම කියමි

    ප.ලි : එෆ් බි යාලුවෝ 3000ක් පැනලා උන්නත් මම චැට් කරන්නේ නම් අඩුවෙන්

    ප.ප.ලි : මොනවා උනත් අර අයත් එක්ක කථා නොකරන එක හොදයි කියලා හිතෙනවා මටත්

    ReplyDelete
  17. අනේ අනේ ඔයාටත් වෙන වැඩ. අහක යන ලෙඩ... හි හී....... :D :D

    ඒ වගේම කියන්න ඕනේ, ඔය වගේ ප්‍රශ්න නම් මගෙනුත් අහනවා අප්පා.
    "ඔයා ඇත්තට ම දඟයි ද? කොච්චර විතර දඟ ද? දවසකට කොච්චර දඟ කරනව ද? ඇයි ඔච්චරම දඟ? මාත් එන්නද දඟ කරන්න?" මේවට උත්තර දීල ම මටත් ඇති වෙලා තියෙන්නේ......... :)))))))

    'මම දඟ මල්ල'

    ReplyDelete
  18. @සඳරු අයියා- හික් හික්.... මොනාද හෆ්ෆා අහන්නෙ??? හිතුවක්කාරිත් දෙනවා උත්තර සඳරු අයියා කැරකිලා යන්න..;)

    @දේවා ගේ අඩවිය-හා හා.. ඔයත් එහෙමද?? ම්ම්ම්ම්ම්ම්.... මමත් ඉතින් වැඩියම චැට් කරන්නෙ නෑ..;)
    ඔව් මම දැන් ඒ අයත් එක්ක වැඩිය කතාවක් නෑ..:)

    @මහී- හික්ස්ස්ස්.. අහක යන ලෙඩ නේන්නම්....::D
    ඔව් ඔව්.. මෙහෙම නම් වලින් ඉන්නකොට ඔහොම ප්‍රශ්නම තමා අහන්නෙ...:(

    ReplyDelete
  19. සමහර වෙලාවට අපි අතින් නොහිත හරි සිද්ද වෙන මේ වගේ දේවලින් හිතට දුකක් කලකිරීමක් දැනුනත් නංගියෝ අපි මේ දේවල් හිතල කරපු දේවල් නෙවෙයිනෙ.සමහරවිට ගොඩක් දුක හිතෙන කතාවක් ඒ දෙන්න අතරෙ ඇති..ඒක නෙවෙයි ඔයාට වෙච්ච අනිත් ටිකත් කියන්නකො ඉක්මනට..

    ReplyDelete
  20. ඔව් ඒකනම් ඇත්ත අයියා... කළකිරීම, දුක හැමතැනම.මම දන්නෙත් නෑනෙ එයාල අත්‍රෙ මොකද වුනේ කියලා.
    හ්ම්ම්ම්ම්.. තව ඉස්සරහට ලියන්නම්කෝ...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....