නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

05 November 2011

-- තමන් හිසට තම අතමය සෙවණැල්ල --



මේ ලොකේට අපි මුලින්ම ඉපදෙනකොටම අරගෙන එන්නෙ තනිකම විතරයි.ඒ එන්නෙත් තනිකම තුරුළු කරගෙන අඬාගෙනමයි."අපි කවදාවත්ම අඬලා නෑ.අඬන්නෙත් නෑ... ජීවිතේට අඬලත් නෑ" කියල මහ ලොකු පම්පෝරි ගහන කොයි කවුරුත් මේ ලෝකෙ ඇස් අරිද්දි ඉස්ඉස්සෙල්ලාම කලේ අඬපු එක. හැබැයි දැන් ඒ අයට මේ ඇඬිල්ල අමතක වෙලා තියෙන්නෙ, මං හිතන විදියටනම් ඇත්තටම  ඒ අයගෙ වාසනාවට. ඒත්, එහෙමයි කියල ඒ අය අනිත් අයගෙ අවාසනාවන්තකමට ගරහනවනම්, හිනාවෙනවනම්, අපහාස කරනවනම්, ඒක ඒ අයගෙ පෞරුෂත්වයවත්, ලොකු කමවත්, ශක්තිමත්කමවත්, මහ ලොකු පිරිමි කමවත්, ගැහැණුකමවත් නෙවෙයි. මං හිතන විදියට ඒක අමනුස්ස කම නැත්තම් දුෂ්ඨ කම.මේ සමාජෙ එහෙම මිනිස්සු කියලා කියාගන්න අය ඕනෙ තරම් ඉන්නවා.මේ මගේ ජීවිතෙත් එහෙම අය ඕනෙ තරම් හම්බෙලා තියනවා.තමන්ගෙ මනස ශක්තිමත් තරමට, හිත හයිය තරමට ,අනිත් අයගෙ දුර්වලකම දිහා හීනමානෙන් ඉදිමිලා ,පාච්චලේට බලන අයත් ඕනෙ තරම් මේ සමාජේ ඉන්නවා.


හිතන්න නිකමට, උදාහරණයක් විදියට, තුවාලයක් වෙලා ලේ ගල ගල වේදනාවෙන් ඉන්න මනුස්සයෙක්ට,ඉස්සෙල්ලම තුවාලෙට බේත් දාන්න හරි, ඒ මනුස්සයගෙ වේදනාව අඩුකරන්න හරි උපක්‍රමයක් යොදන්නෙ නැතිව,"තුවාල වුනේ ඇයි? තුවාල වෙන්න හේතුව මොකක්ද?  ඇයි තුවාල කරගත්තෙ ? ඕක මහලොකු තුවාලයක් නෙවෙයි.ඕවත් තුවාලද?" කියලා තුවාලකාරයට දොස් කියන්න, ප්‍රශ්න අහන්න, කියවන්න ගත්තහම කොහොම වෙයිද??


අපේ රටේ, සමාජේ බහුතරයක් මිනිස්සු ප්‍රශ්න විසඳන විදිය ඒක තමා.ඒක කාගෙවත් වැරැද්දක් නෙවෙයි. ඒක මේ සමාජෙ පුරුදුවෙලා තියන විදිය.ක්‍රමය.


ජීවිතේ කියන්නෙ හුගාක් හැල හැප්පීම් මැද , දුක් ගැහැට මැද ගෙවන්න තියන එක්තරා විදියක කට්ටක්.මේ කට්ට කාගෙන, ඉස්සරහට යන්න සැලෙන්නෙ නැති හිතක්, වැටෙන්නෙ නැති මනසක් තියෙනවනම්, ඇත්තටම හරිම ලේසියි.ලෝකෙම එක පැත්තකට වෙලා තමන් තනියම වුනත්, ධෛර්‍ය සම්පන්න විදියට නැගී හිටින්න පුළුවන් තරමේ ශක්තිමත් හිත් තියන අය මේ ලෝකෙ ඉන්නවා.ඒ අය ඇත්තටම වාසනාවන්තයෝ.


දැකලා තියනව නේද මහ ලොකූ විශාල යෝධ ගස්? කොයිතරම් මහා කුණාටුවක් ආවත්, සුළි සුළගක් ආවත් මුලින් ඉදිරිලා වැටෙන්නෙ නැති ගස්? ඒකට හේතුව ශක්තිමත් කඳක්, ඔක්කොමටම වඩා හොඳ මුදුන් මුලක්, මූල පද්ධතියක් එක්ක ගහ වැඩිලා තියන නිසායි.කොයිතරම් මහා වැස්සක්, සුළගක් ආවත් එහෙම ගස් ඉදිරිලා වැටෙන්නෙ නෑ.අත්තක් දෙකක් කඩාගෙන වැටුනත්, ගහ මුලින් ඉදිරිලා වැටෙන්නෙ නෑ. අත්තක් දෙකක් කඩන් වැටුනත් ගහට ඒක ගාණක් නෑ.   


ඒ වගේම දැකලා තියනවා නේද ඒ තරම් ශක්තිමත් නැති,පුංචි සුළගකට ත් අතු කඩාගෙන වැටෙන,කොළ හැලිලා යන,සුළි සුළගක් ආවොත් ගහ මුලින්ම ඉදිරිලා වැටෙන ගස්?ඇයි එහෙම?? එකම පරිසරයේ විදි දෙකක ගස් කොළන් තියෙන්නෙ? ඒක ස්වභාදහමෙ හැටි. ස්වභාදහම විසින් ගස් කොළන් මවලා තියෙන්නෙ එහෙමයි. ඒක වෙනස් කරන්න බෑ අපිට.


ඒ වගේමයි නේද මේ සමාජයත්?මිනිස්සු මවලා තියෙන්නෙ එක එක විදියට. සමහරුන්ට ශක්තිමත් මනසක් එක්ක සැලෙන්නෙ නැති, වැටෙන්නෙ නැති, පුංචි දේටත් රිදෙන්නෙ නැති ,හිතක් ලැබිලා තියෙන්නෙත්, තවත් සමහරුන්ට පුංචි දේටත් රිදෙන, සැලෙන හිතක් එක්ක, කඩාගෙන වැටෙන මනසක් ලැබිලා තියෙන්නෙත් එහෙමයි. ඒක දෛවය සළකපු හැටි සහ මේ ස්වභාවධර්මය මවපු විදියෙ හැටි.


ඒත් ඔය බව තේරුම් අරන් ඉන්නෙ මේ සමාජෙ බොහොම ටික දෙනයි.හැමකෙනාටම එකම මානසික මට්ටමක්, එකම ධෛර්‍යයක්, එකම දරාගැනීමෙ ශක්තියක් නෑ කියන එක දන්නෙ හුගාක් සීමිත පිරිසක්.හැම කෙනාවම තමන්ගෙ මට්ටමින් බලන එක, තමන් හරි කියන මතයේම ඉඳගෙන බලන එක හරිම ආත්මාර්ථකාමී කමක්.මේ ලෝකෙ හැමකෙනෙක්ම ආත්මාර්ථකාමී තමයි. නමුත් අවස්ථානූකූලව මිනිස්සුන්ගෙ සිතුම පැතුම් අනිත අයගෙ හිත් නොරිදෙන්න, අනිත් අයට දුකක් නොවෙන්න වෙනස් වෙන්න ඕනෙ.ඒත් ඇත්තටම එහෙම වෙනවද?? 


මම ඒකයි මේකේ මාතෘකාවටම දැම්මෙ තමන් හිසට තම අතමය සෙවණැල්ල කියල. ඇත්තටම අන්තිමට අන්තිමට හිතලා කෙළවරටම ගියාම තමයි දැනෙන්නෙ, "අනේ...අපිට ඉන්නෙ අපි විතරයි" කියලා.ඒක තේරුම්ගන්න ඇත්තටම මොනා හරි ප්‍රශ්නයක්, දෙයක් වෙන්න ඕනෙ.මොනා හරි ප්‍රශ්නෙකදි මිනිස්සු ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව ඒ ඒ අයව මැනගන්න පුළුවන්.


හුගාක් වෙලාවලදි අපි පාවිච්චි කරන වචන නිසා හුගාක් දේවල් දුරදිග යනවා.විශ්ෂයෙන් මේ වචන කියන දේ හරිම ප්‍රබල දෙයක්.මනුස්සයෙක්ව බිංදුවටම වට්ටන්න, විශ්වාසය පළුදු වෙන්න,සම්බන්ධකම් කැඩිලා යන්න, බැදීම් ,යාළුකම්, බිදිලා යන්න මේ වචන හේතුවක් වෙනවා.ඕනෙම සම්බන්ධයක ශක්තිමත් බවේ පදනම විශ්වාසය නිසා, විශ්වාසය පදනම් කරගෙන කියන වචන වලට ලොකු වටිනාකමක් තියනවා.එහෙම විශ්වාසයෙන් කියන වචනයක් දෙකක් වැරදුනොත්?එහෙම නැත්තම් එහෙම වචනයක් නිසා වැරදි අවබෝධයක් ඇති වුනොත්? ආයෙත් කවදාවත් ඒ වරද නිවැරදි කරගන්න බෑ.මොකද කිව්ව දෙයක්, වචනයක් ආපහු ගන්න බෑ.විශ්වාසයක් නැති වුනාට පස්සෙ,ආයෙත් ඒක හදන්න බෑ.


කෙනෙක් දෙයක් කරද්දි, කියද්දි ඒ කෙනාට මොහොතකට හිතන්න පුළුවන් නම්, "මම මේ කරන්න යන දෙයින්, කියන්න යන දෙයින් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙයිද? නැත්තම් කාගෙ හරි හිත රිදෙයිද? කවුරුහරි තරහ වෙයිද?කාගෙ හරි නමට,සම්බන්ධෙක ට කැළලක් ඇතිවෙයිද? " කියලා.ඇත්තටම එහෙම හිතන්න පුළුවන් නම් හුගාක් ප්‍රශ්න වෙන්නෙ නෑ.හිත් රිදීම් වෙන්නෙ නෑ.හැබැයි එහෙම කරන්න අමාරුයි.වෙන්නෙත් නෑ.


අපි හැමෝම මිනිස්සු තමා. හැමෝම සම්පූර්ණ පරිපූර්ණ නෑ තමා. එක එක්කෙනාගෙ එක එක අඩු පාඩු තියනවා තමා.වැරදීම්, අතපසු වීම්,නොඉවසිලිවන්තකම නිසා හුගාක් දේවල් දුර දිග යනවා තමා.ඒ වගේම දෙයක් සිද්ධ වුනාට පස්සෙ ඒක හදන්න, වළක්වන්නත් බෑ.කිරි කළයකට වුනත් ගොම බිංදුවක් වැටුණත් ඇති,කිරි කළෙන්ම වැඩක් නෑ.මිනිස්සු ඉස්සෙල්ලාම හිතන්නෙ තමන්ට වුනු දේ, තමන්ගෙ හිත රිදීම, තමන්ගෙ දුක, තමන්ගෙ තරහව ගැනයි.එහෙම තමන් ගැන හිතලා තමයි ඉස්සෙල්ලාම වැඩ කරන්නෙ.හැබැයි එහෙම කරලා ඒකෙන් තවත් හිත් කීයක් රිදෙනවද?තවත් අතුරු ප්‍රශ්න කීයක් ඇති වෙනවද කියලා හිතන්නෙ නෑ.


ඒ වගේම කෙනෙක්ට කරදරයක්, දුකක් වුනාම ඒ කෙනාගෙ පිහිටට ළගින් ඉන්නෙ, කිට්ටුම සම්බන්ධකම් තියන අය. ආදරේ කරන අය.කෙනෙක්ගෙන් වරදක් වුනත්, නැතත්, ආදරේ කරන අය, හිතවත් අය, ළගින් ඉන්න අය, කවදත් ගන්න උත්සාහ කරන්නෙ, තමන්ගෙ කියලා පපුවෙ තියන් ඉන්න අයගෙ පැත්තයි.තමන්ගෙ පුතා හොරෙක් වුනත්, හොරාගෙ අම්මාට තමන්ගෙ පුතා වීරයෙක්.ඒ වගේ සමහර බැදීම් ,හරි වැරැද්ද ළගදි ,සාධාරණෙ, අසාධාරණෙ ළගදි අන්ධ වෙනවා.ඒකෙ වැරැද්දක් කියන්නත් බෑ.පෘථජන මිනිස්සුන්ගෙ ස්වභාවය ඒක. 


හැබැයි එතනදි අසරණකමක් දැනෙන්නෙ තනි වුන කෙනෙක්ට.ඒ වගේමයි, කිසි කෙනෙක්ගෙ හයියක්, ශක්තියක් නැති වුනාම ,මනසින්, හිතින් දුර්වල බව දැනුනාම, සාධාරණෙ, අසාධාරණෙ මොකක් වුනත්, පහර දෙන්නෙ, රිද්දන්නෙ දුර්වල තැනටයි.හැමෝම ඇගිල්ල දික් කරන්නෙ දුර්වලයටයි. එතකොට කවුරුත් තමන්ගෙ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ ඒ කෙනාව බේරගන්න එයා නිවැරදි වුනත්. එහෙම වෙන්නෙ අර මම කලින් කිව්වා වගේ ප්‍රබල බැඳිමක් තිබුණොතින් විතරයි.ඒකෙත් වැරැද්දක් නෑ.ඒකයි මෙතනටත් අර මාතෘකාවෙ තියරිය ගැළපෙන්නෙ.තමන් හිසට තම අතමය සෙවණැල්ල.


අද වෙද්දි මම මේ ජීවිතේන් ඉගනගත්ත හුගාක් පාඩම් තියනවා.අත්දැකීම් එක්ක තමා මිනිස්සු සම්පූර්ණත්වයට ළං වෙන්නෙ.මට දැනුනු තේරුණූ විදියටනම්, මගේ අවසාන නිගමනය මේකයි.අපි කොයිතරම් කිව්වත්, "මට මෙයා ඉන්නවා, අරය ඉන්නවා, මෙයානම් මට එහෙම දෙයක් කරන එකක් නෑ. එයා මගේ හොදම යාළුවා. එයා මට මගේ මල්ලි වගේ නෙ,මගේ අයියා වගේනෙ, මගේ නංගි වගේනෙ.ඕනම ප්‍රශ්නෙකදි කරදරේකදි දුකකදි මට පිහිට වෙන්න මෙයා ඉන්නවා,අරය ඉන්නවා" කියලා, ඇත්තටම අවසානෙදි අපිට ඉන්නෙ අපි විතරයි. 


මේක ලියද්දි මට මතක් වුනා  ඒ ලෙවෙල් කාලෙ පංති යද්දි, මම අදහපු,ගරුකරපු  සර් කෙනෙක් කියපු කතාවකුත්,"යකුනේ... අන්තිමට තමන්ට ඉන්නෙ තමන් විතරයි.අම්මා තාත්තවත් නෑ..මොකෙක්වත් නෑ.. අම්මා තාත්තා වුනත් හැමදාම ඉන්නෙ නෑ.අම්මා තාත්තට වුනත් කරන්න පුළුවන් සීමාවක් තියනවා.දවසක තනිවෙන්න වෙනවා.අසරණ වෙන්න වෙනවා.ඉගනගන්න ටික විතරයි ඉතිරි වෙන්නෙ.ඒ නිසා ඉගනගනිල්ලා..තමන්ට තමන් විතරයි" ඒ ටික හරියටම හරි.එදා නොතේරුණාට දැන් දැන් තේරීගෙන යනවා කියලා දැනෙනවා ඒ ඇත්ත.


තමන්ට තමන්වත් විශ්වාස කරන්න බැරි මේ සමාජෙ , වෙන කාවවත්ම විශ්වාස කරන්න බෑ.ඒක තමයි අවසානෙදිම තේරුම් ගන්න තියෙන්නෙ.මොකද මිනිස්සු අතින් වුනත් වැරදි වෙනවා.අතපසුවීම් වෙනවා. ඒ නිසා කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් විශ්වාසය රැකීම කියන දේ බලාපොරොත්තු වෙන්න හොද නෑ.අවසානෙදි දුක තමන්ටමයි. මොකද කොහොමටත් බලාපොරොත්තු කියන ඒවා, ජිවිතේට ගේන්නෙ දුක නිසා.ඒ වගේම හුගාක් දෙනෙක් තවත් කෙනෙක්ට උදව් කරන්න පෙලඹෙන්නෙ පෙරලා උදව් බලාපොරොත්තුවෙන්. අවසානෙදි හැම දේකටම ඉත්තා ලෙස සළකන්නෙ "කරපු උදව්".තමන් අතින් හිත රිදවීමක් වුනත්, වැරැද්දක් වුනත්, අතපසුවීමක් වුනත්, මොන දෙයක් වුනත් එහෙම අය හිතන්නෙ, " මං මොකටද එයාට සෙකන්ඩ් වෙන්නෙ, එයාට මම ඕනෙ තරම් උදව් කරලා තියනවනෙ" කියලයි. 


හැම කෙනාම උත්සාහ කරන්නෙ තමන්ව සාධාරණිකරනය කරගන්න මිසක්, නිහතමානි කමින් තවත් කෙනෙක්ට කතා කරන්න නෙවෙයි.මානයෙන් ඉදිමිච්ච මිනිස්සු ඉන්න මේ ලෝකෙ මේවා හරි සුලභ අත්දැකීම්. 


අවසාන වශයෙන් , කොහොම කළත් ජීවිතේ දුක කියන දේට ඈතින් ඉන්න නම්, ටිකක් කපටි වෙලා, ආත්මාර්ථකාමී වෙලා, අවස්ථාවාදී වෙලා, උද්ධඦ්ඡ කමින් ,අනිත් අයට හෙණ ගැහුවත් මොකද මම කෙලින් ඉදලා කියලා හිතාගෙන , වැඩිය දුර දිග නොසිතා, කල්පනා නොකර ,ඕනෙ කෙනෙක් ඕන දෙයක් කියයි,අනිත අයට මොනා වුනාම මට මොකද කියලා හිතාගෙන ජීවත් වුනානම් හොදයි කියල මට හිතෙනවා.මොකද එහෙම මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා දැන් දැන් හිතෙන නිසා.අනික මටත් හිතුනා ගග ගලන පැත්තටම පීනන එක ලේසියි නේද කියලා උඩු ගං බලා පීනනවට වඩා.


ජීවිතේට වෙනසක් ඕනෙ.වෙනස් වෙන්න සාධකයක් ඕනෙ.දුක දරාගෙන ඇත්තට මූණ දෙන්න හයිය ඕනෙ.තමන්ට ඉන්නෙ තමන් විතරයි කියලා හිතාගෙන ජීවිතේට මූණ දෙන එක තරම් වෙනත් විකල්පයක් අද ඉතිරි වෙලා නෑ.අවසානෙදි හිතුවක්කාරිට ඕනෙ වුනේ කියන්න,තමන් හිසට තම අතමය සෙවණැල්ල. කියලායි. කවදාවත් ජීවිතේදි කිසිම කෙන්ක්ගෙන් තමන් වෙනුවෙන් පිළිසරණක්, හයියක් බලාපොරොත්තු වෙන්න එපා.


තනිවයි උපන්නෙ..... තනිවයි මැරෙන්නෙ.......




ප.ලි - හිත රිදීම් හුගාක් මැද, කළකිරීම් ගොන්නක් මැද හිතේ දුක යන්න අකුරු කරපු මේ ලිපිය නිසා, කාගෙ හෝ හිත රිදුනානම් සමාවෙන්න ඕනෙ.කිසිවකු අරමුණු කරගෙන හෝ කිසිම කෙනෙකුට රිදවීමටව්ත්, අපහාස කිරීමවත් අරමූණ කරගෙන ලියූවක් නොවේ.. 


පෝස්ට් එක දිග වැඩි වුනා. සමාවෙන්න ඒකට.හිතේ තියන බාගයයි මේ ලිව්වෙ..

Post Comment

21 comments:

  1. හරියට හරි! තමං ඉගෙනගන්න එක තමා තමන්ට ඉතුරු වෙන්නෙ! :(

    ReplyDelete
  2. හම්මේ...පෝස්ට් එකේ දිග. මොනවා වුනත් සහතික ඇත්ත කතාව නගේ.හුගක් හිත රිද්දගෙන වගේ... :((

    ReplyDelete
  3. ඇත්ත නංගෝ,. ඔය කවුරු පණ දෙනවා කිව්වත් අන්තිමට තමන්ට තමන් විතරයි,. තමන්ට වැරදුන දාට, තමන්ට දුකක් දැනුන දාට ඔය කියන අයියලා, අක්කලා නංගිලා මල්ලිලා, යාළුවො කවුරුත්ම නෑ,. සමහර වෙලාවට අම්මා තාත්තවත් නැති වෙයි,.. ඒක තමයි ඇත්ත,. ඒත් ජීවිතේ ජයගන්න මේ හැමදේම පන්නරයක් කරගන්න නංගෝ,. ඒ වගේ දේවල් නිසා වැටෙන්න එපා. කාට කවුරු නැති වුනත් තමන්ට තමන් හරි ඉන්නවා,. ඒක තමයි වැදගත්ම දේ,.

    ReplyDelete
  4. අසරණකමක් දැනෙන්නෙ තනි වුන කෙනෙක්ට.ඒ වගේමයි, කිසි කෙනෙක්ගෙ හයියක්, ශක්තියක් නැති වුනාම ,මනසින්, හිතින් දුර්වල බව දැනුනාම, සාධාරණෙ, අසාධාරණෙ මොකක් වුනත්, පහර දෙන්නෙ, රිද්දන්නෙ දුර්වල තැනටයි.හැමෝම ඇගිල්ල දික් කරන්නෙ දුර්වලයටයි. එතකොට කවුරුත් තමන්ගෙ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ ඒ කෙනාව බේරගන්න එයා නිවැරදි වුනත්.

    ඇත්ත හිතුසහතික ඇත්ත කතාවක් .....
    දුක හිතුනත් හිත රිදුනත් ඇත්ත කවදාවත් වෙනස් වෙන්නෑ...

    තමන් හිසට තම අතමය සෙවණැල්ල.....

    ගොඩක් හොදයි හිතුනිර්මාණය....
    ජිවිතේ වැදගත් කියමනක් .....ජිවිතේ ජිවත් කරයි...

    ReplyDelete
  5. ඔවු සහතික ඇත්ත.
    ප්‍රසන්න බද්දෙවිතානගෙ ක්ලාස් ගියාද? ඒ සර් තමා ඔය කථාව ඔහොම්ම කියන්නෙ...

    ReplyDelete
  6. @තනි අලියා -ම්ම්ම්ම්ම්ම්.... ඒක තමයි... :)


    @නිසූපා අක්කි- ඔව් අක්කි. ටිකක් දිග වැඩි වුනා. ඒත් ලියන්න හිතුනු ඒවායින් භාගයයි ලිව්වෙ.ඔව් ඒ තරමටම හිත රිදිලා, කලකිරිලා ඉන්නෙ

    ReplyDelete
  7. @ප්‍රාර්ථනා අක්කි- ම්ම්.. ඔව් අක්කි. අන්තිමට කවුරුත් නෑ...:( වැටි වැටි නැගිටගෙන හරි මේ ජීවිතේ ගෙවන්න වෙනවනෙ අක්කි.. දැන් මෙහෙම පාඩම් ඉගනගෙන ඉස්සරහට යන්න ඕනෙ.. ස්තූතියි අක්කි..::)


    @හංසී -ස්තූතියි යාලු.:) ම්ම්ම්... තිත්ත වුනත් ඇත්ත ඒක තමා..:)


    @මගේ සිතුවිල්ල - වාසනවන්ත 100 වෙනි follower (හිතට හයිය දෙන අය) ඔයාද කොහෙද.. :)
    බද්දෙවිතාන සර් ගෙ ක්ලාස් ගියේ නම් නෑ... මේ physics සර් කෙනෙක්ගෙ කතාවක්...:)

    ReplyDelete
  8. අතීතය ගැන තැවෙමින් හෝ අනාගතය ගැන සිහින මවමින් නොව වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න.

    ReplyDelete
  9. ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඇත්ත විසිතුරු. ඒත් එහෙම ඉන්න අය සමාජෙ හරිම අඩුයි නේද?? හිත හදාගෙන ජීවිතේ ගෙවන්න වර්තමනෙ ජීවත් වෙන්නත් අමාරුයි....

    ReplyDelete
  10. ලියලා තියෙන්නෙ ඇත්තටම හිතට ගත යුතු වටිනා දේවල්...ලියමන හදවතින්ම අහය කරනවා නගේ....අපේ ජීවිතයට සාධාරණයක් කල හැක්කෙ අපිට විතරමයි..මොකද කවුරු කොහොම කිව්වත් අපේ ජීවිතය වටින්නෙ අපිට විතරයි....

    ReplyDelete
  11. නංගි හරි නංගි !!!
    කොච්චරවත් අනුන්ට කැඹුරුවාට වැඩක් නෑ. ඒවා ඔක්කොම ගඟට කපපු ඉනි වගේ. තමන්ට දෙයක් කරගන්න එක විතරයි තමන්ට ඉතුරු වෙන්නේ.

    තමන්ගේ අය ඇරුනම අනිත් උන්ට සලකනවට වඩා ඒ කාලේ තමන් වෙනුවෙන් දෙයක් කරගන්න උත්සහ කරන්න.

    ඒ උනාට අනිත් අයගේ සතුටකදි නැතත් කරදර දුක් වගේ ඒවා වලට එහෙම උදව්වට යන්න ඕනා.

    ReplyDelete
  12. මොකක් හරි තදින්ම හිත රිදෙන දෙයක් වෙලා වගේ නගාට. කියල තියන ගොඩක් දේවල් ඇත්ත තමයි. හැබැයි අර ටිකක් අවස්තාවාදී, ආත්මාර්ථකාමී වුනොත් සතුටින් ඉන්න පුළුවන් කියල සිතුවිල්ලේ ඉන්න එපා නංගියෝ. ඒ සතුට තාවකාලිකයි. කවදාහරි දවසක තමන් ගැනම ලැජ්ජ වෙන්න, දුක් වෙන්න වෙයි. ඒ නිසා පුළුවන් තරම් අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න. හැබැයි ඒ අයගෙන් ඕනවට වඩා දේවල් බලාපොරොත්තු නොවී ඉන්න.

    ReplyDelete
  13. @දිල් අක්කා- ම්ම්ම්ම්... අක්කගෙ ජීවිතෙන්ම ගන්න හුගාක් ආදර්ශ තියනවා ඇත්තටම.. මම ගෞරව කරන අක්ක කෙන්ක් විදියට, අක්කගෙ කමෙන්ට් එක හරිම වටිනවා..:)ඇත්ත අක්කි.. තමන්ව වටින්නෙ තමන්ට විතරයි..:)


    @මධුරංග අයියා- ම්ම්ම්.. ඔව් අයියා, ආයෙත් අහලා, ගගකට ඉණි කැපුවා වගේ තමා..:(තේරුම් අරන් ඉන්නෙ මම. තම්න්ට තමන් ව්ඉතරයි...

    ReplyDelete
  14. @Kasun අයියා- ම්ම්ම්... ඔව් අයියා හිත රිදිලා රිදිලා දැන් නම් කළකිරිලා..:( ඒක ඇත්ත අයියා. කිසිකෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න හොද නෑ කිසිම දෙයක්...:(

    ReplyDelete
  15. නංගිගේ කතාව හරි නංගී.. අපි කොච්චර අනුන්ට උදව් කලත් ආයෙම ඔවුන්ගෙන් යමක් ලැබෙයි කියලා හිතන්න බෑ... සමහරි ඒ තරමටම ආත්මාර්ථකාමියි...

    ReplyDelete
  16. @Dinesh අයියා- ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව් ඇත්ත අයියා, ඒත් මේ ඇත්ත කියන්න ගිහිනුත් වෙන්නෙ තව තව මටම රිද්දගන්න එකයි..

    ReplyDelete
  17. ඔව් අක්කී,
    අපි කොයි තරම් මිනිස්සුන්ට උදව් කරත්,
    කොයිතරම් මිනිස්සු අපිට උදව් කරත් එක දවසක් ඒවි අම්මා විතරක් අපි ගාව ඉතිරි වෙන,
    තවත් දවසක් ඒවි අපිට අපි විතරක් ඉතිරි වෙන.....
    එදාට තමා හිසට තම අතමය සෙවනැල්ල...
    ඒත්
    තවත් දවසක් ඒවි අපේ අත් පණ නැති වෙන එදාට අපිට අපිවත් නෑ...
    ...........................................

    ReplyDelete
  18. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...:( ඇත්ත මල්ලී.. ඒක හරි.. අවසානෙදි අපිව අපිටත් නෑ තමා..:(

    ReplyDelete
  19. හද පාරනා රුදු වේදනාවන්...
    කුරිරු වූ ලෝකෙන්..
    නැගෙනා පැයේ නොසැලී හිදින්නම්...
    මා සිනා දෑසින්..

    තනිව නැගෙද්දී.පෙරට ඇදෙද්දී..
    මාවත අවුරන ලොවක මෙසේ...
    තනිවූ දෙපයින් ජීවිතයේ..
    බාදක දිනන්නෙමී...


    පහර වදිද්දී සැවොම රිදුම් දී..
    ඒ සිත හඩවන ලොවක මෙසේ...
    තනිවූ දෑසින් යායුතූ...
    මාවත දකින්නෙමී...

    ReplyDelete
  20. තමන්ට තමන් විතරයි.. මමත් ඒ දේ ගොඩාක් අත්විදලා තියෙනවා.

    ReplyDelete
  21. ජාති ජාති... ලොවෙත් නැ....
    # සහතික ඇත්ත....

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....