නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 December 2011

අලුත් අවුරුද්දක්.... අලුත් ජීවිතයක්......


2011 අවුරුද්ද ගෙවෙන්න,2012 අවුරුද්ද උදා වෙන්න හරියටම තියෙන්නෙ තවත් එක දවසක් විතරයි.හෙටින් මේ 2011 අවුරුද්ද ඉවර වෙලා,අනිද්දාට කැලන්ඩරේ අලුත් වෙලා,අලුත් මාසයක් අලුත් කොළයක් පෙරළෙනවා.අපේ ජීවිතත් ඒ වගේම අලුත් වෙනවනම්?? කොච්ච්ර හොඳයිද නේද??ඇත්තටම අපි අලුත් අවුරුද්දක් ලබද්දි ,අපේ ජීවිතත් අලුත් කරගන්නවනම් ,එහෙම අලුත් කරගන්න,වෙනස් කරගන්න පුළුවන්නම් ඒක හුඟාක් වටීවි අනාගතේට.

හිතූත් නිකන් පණ්ඩිතකමට කියෙව්වාට මොකද ,හිතූටත් මේ පට්න්ගන්න අවුරුද්දෙ ඉදන්වත් වෙනස් වෙන්න, අලුත් වෙන්න, හොද විදියකට ජීවිතේ හදාගන්න මාරම උවමනාවක් තියෙනවා.2009 ඉඳන් 2011 වෙනකම් ම මම එක තැන කැරකි කැරකි උන්නා කියලයි හිතුනෙ.2009,2010 කියන්නෙ මගේ ජීවිතේ කිසිම දෙයක් මම බලාපොරොත්තු වුනු විදියට නොවුනු,හුඟාක් දේවල් ඈත් කරපු,අහිමි කරපු, පරාද වීම් විතරක්ම උරුම වුනූ අවුරුදු කීපයක්.ජීවිතෙ එක අඩියක් හරි ඉස්සරහට තිබ්බානම් ඒ 2011 අවුරුද්දෙදි යි.ඒ නිසා මට 2011 අවුරුද්ද,මේ ගෙවිලා ඉවර වෙන්න යන අවුරුද්ද දිහා හැරිලා බැලුවාම සතුටුයි.ජීවිතේ කවදාවත්ම කරන්න බැරිවෙයි කියලා හිතපු සමහර දේවල් වෙනුවෙන් ,අඩුම තරමෙ මම උත්සාහ කලා.ඒ ගැන මට සතුටුයි.2012 අවුරුද්දෙ මම මීට වඩා ඉස්සරහට යන්න උත්සාහ කරනවා. හැම කෙනෙක්ටම එහෙම උත්සාහයක්වත් ගන්න පුළුවන් නම් මේ 2012 අවුරුද්දෙ??උත්සාහ කරලා බලන්න.අනිවාර්‍යෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබේවී.ඒ නැතත් මම උත්සාහ කලානෙ කියලා සතුටු වෙන්න පුළුවන් වෙයි.

ඒ වගේම ජීවිතේ දිනන්න නම් ඉලක්කයක් තියෙන්න ඕනෙ.ඒ වෙනුවෙන් කැපවෙන්න අධිෂ්ඨානයක්,නොසැලෙන ආත්ම විශ්වාසයක්,උනන්දුවක් තියෙන්නෙ ඕනෙ.මට අතීතයේ වැරදුණු තැන් මතක් කලොත්, ඒවාට හේතු හෙව්වොත්,ඇත්තටම මට වරදින්න හේතු වුනේ ඔන්න ඔය කරුණු ටික මට නොතිබීමයි.කාලෙන් කාලෙට අරමුණූ වෙනස් වෙනවනම්, ඉලක්ක වෙනස් වෙනවනම්, ස්ථිර අධිෂ්ඨානයක් නැත්තම්, දිනුම් කණුව ළඟට යන්න අමාරුයි.ඇත්ත.අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.ඒත් වෙනස් වෙන්න අමාරුයි.ඇත්ත තේරුණත්,ඒ වෙනුවෙන් හිත හදාගෙන කැපවෙන්න ලොකු හයියක් ඕනෙ.ඒ හයිය තියෙන කෙනා දිනුම් කණුව ළඟට යනවා හුඟාක් ඉක්මණට.අලුත් අවුරුද්දෙ,මේ ලබන අවුරුද්දෙදි,2012දි වත් ජීවිතේ දිනාගන්න අරමුණක් තිබුණෙ නැත්තම් අරමුණක් හදාගන්න, අරමුණක් තිබිලත් උත්සාහ කලේ නැත්තම් උත්සාහ කරලා බලන්න අපිට පුළුවන් නම්??

ජිවිතේ ඉස්සරහට යන්න කට්ට කන්න වෙනවා,ඒක සාමාන්‍යයි.කිසිම දෙයක් ලේසියෙන් ලඟා කරගන්න අමාරුයිලුනෙ.ඒක තිත්ත ඇත්තක්.හැබැයි හැමදාකම මිනිස්සුන්ට අමාරු කාල එන්නෙ නෑ.කන්දක් නැග්ගොත් පල්ලමකුත් තියෙනවලු.ඒ වගේම හැම කෙනෙක්ටම දවසක හොඳ කාලයකුත් එනවා.හිත හදාගන්න, හිත හයිය කරගන්න කතාන්දර ගොඩයි.ඒත් කියනවා වගේ කැපවෙන්න ලේසි නෑ..හැබැයි කැපවීමෙන් ජිවිතේ දිනන්න උත්සාහ කලොත් වරදින එකක් නෑ. මට  ඒ තරමට අත්දැකීම් නැතත්, ජීවිතේ බිංදුවටත් පහළින් හිටපු අය, අද වෙද්දි ජීවිතේ දිනන මඟ හුඟාක් දුර ධෛර්‍යන් ඇවිත් තියෙනවා. එහෙම අය මට හමුවෙලා තියෙනවා. ඇත්තටම  ඒ අය ජීවිතේට හයියක්.ලොකු ධෛර්‍යක්.එහෙම අය දිහා බලලවත් අපිට ජීවිතේ අලුතෙන් පටන්ගන්න, වෙනස් කරගන්න, අලුතෙන් හිතන්න පුළුවන්කමක් තියෙනවනම්?? කොච්ච්ර හොඳ වෙයිද නේද??

ඉතින් මේ අලුතෙන්ම උදාවෙන අවුරුද්දෙදි, පරණ තරහා මරහා, කෝන්තර, අමනාපකම්,හිත් නොහොඳකම් අමතක කරලා, කොයි කවුරුත් එක්කත් සාමයෙන් සමගියෙන් ඉන්න බලනවනම් හොදයි.පුළුවන්තරම් අනිත් අයගෙ ඇද කුද හොයන්න යන්නෙ නැතිව, අනුනට ඊර්ෂ්‍යා නොකර, තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ව බිමට දාන්න උත්සාහ නොකර, වැටුණු කෙනෙක්ට නැගිටින්න අත දීලා මනුස්ස කමේ නාමයෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන් ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න, වරදින්නෙ නෑ කවදාවත්.වපුරන තරමට අස්වැන්න ලැබෙනවා වගේ, තම්න් හොඳ වෙන තරමට , අනුන්ගෙනුත් තමන්ට හොඳම වෙයි.

ගෙවුනු අතීතය දිහා හැරිලා බලන්න. ඒත් පසුතැවෙන්න එපා.වෙච්ච දේවල් වුනා තමා. මොනා කරන්නද?ආයෙත් එහෙම වැරදි නොවෙන්න අනාගතේ වැඩකටයුතු කරන්න හිතට ගන්න.(හිතුවක්කාරිත් අනන්ත මෝඩ වැඩ කලා. ඒත් දුක් වෙලා වැඩක් නෑ..හිතුවක්කාරකම්, මුරණ්ඩුකම් කලානම් විදවපන්..:D  )අතීතය එකම පසුතැවිල්ලක් විතරක්නම්, අනාගතේ වාසනාවන්ත කරගන්න මහන්සිවෙන්න. මැරුණු අතීතයකට පණ දෙන්න දඟලන්න එපා.  අත්දැකීමෙන් කියන්නෙ, පලක් වෙන්නෙ නෑ..

හිතූ හුඟාක් පණ්ඩිත කතා කියෙව්වා. සමහර විට ඔයාලට වැඩක් නැතිවෙයි.සමහර විට වැඩක් තියේවි. මම කිව්වෙ මට හිතුණු දේ.. මම දන්න දේ.. මට දැනුනු දේ..හරි කියලා හිතනවනම් හිතලා බලන්න.තීරණේ ඔයාලාගෙ අතේ....

ඔන්න මේ ලබන අලුත් අවුරුද්ද හැම කෙනෙක්ටම සාමය සතුට සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
කරන කියන සියළුම කටයුතු සාර්ථක වේවා!!! සියළු බාධක, ලෙඩ දුක් මඟ හැර වාසනාවන්ත අනාගතයකට හැමෝටම හිතූගෙන් සුභාසිරි!!! ජය වේවා!!!!



ප.ලි- අහ්හ් එක ගලෙන් කුරුල්ලො දෙන්නයිලු..:D හික් හික් හික්..

හෙට මගේ පිස්සියෝ දෙන්නාගෙන් එක පිස්සියෙක්ගෙ උපන්දිනේ. ඒ තමයි මගේ "ඩයිනෝ" නංගිගෙ හැපී බර්ත් ඩේ එක. :D
ඉතින් ඩයිනෝ නංගියටත් මේ ලබන උපන් දිනය වාසනාවන්ත උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙලා අනාගතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා හිතූ අක්කි විෂ් කරනවා ඔන්න....

හැපී බර්ත් ඩේ ටූ යූ ඩයිනෝ නංගා!!!!!! <3



Post Comment

15 comments:

  1. කාලයත් එක්කම එක තැන පල් වෙන ජීවිතත් අළුත් වෙනවා නම්.... ඒත් එහෙම වෙන්නේ නෑ. අපි අපේ ජීවිතය අළුත් කර ගන්න ඕනා. අළුත් සිතුවිලි වලින් හිත පුරවගෙන අළුත් බලාපොරොත්තුත් එක්ක අළුත් වසර පටන් ගම්මු.

    නංගිට සුබ නව වසරක් වේවා !!!!


    ඈ අර ඩයිනෝ නංගි කියලා කිව්වේ එයා ඩයිනෝසර් බබෙක් ද ? කව්cඋරු උනත් කමක් නෑ එයාට සුබ උපන්දිනයක් වේවා !!!

    මම අද එක වෙලා

    ReplyDelete
  2. මේ ලබන අවුරුද්දෙදි ඔයාගෙ ජීවිතේ තියන බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න ලැබෙන නිරෝගීව සතුටින් හිනාවෙලා හැමදාම ඉන්න ලැබෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
    වෙනද වගේම හිනාවෙලා සතුටින් ඉන්න..!!!!
    හිකිස්....හැපි බී ඩේ...ඩයිනෝ....

    ReplyDelete
  3. මටත් ජිවිතේ නැති වුනු දේවල් ගොඩයි.. එත් ඔයා කියනවා වගේ අපි හැමදේම අතීතයට එකතු කරන්න ඕනා. එක කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා හිතු.. එත අපි ඒ දේ කරන්නම ඕනා..
    නැත්තම් අපි එකතැනම ඉදි,,..

    නව වසරේ හැමදෙයක්ම අලුතින් පටන් ගන්න වාසනාව ධෛර්ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  4. ලබන අවුරුද්දත් ඉතින් අපිට නොදැනීම ගත වෙලා යාවි මේ ගත වෙන හැම අවුරුද්දකම අපි මොනවා හරි වැදගත් එක දෙයක් හරි අපේ ජීවිතේට එකතු කරගන්නවා .. ඒක ඇවිල්ලා අපි නිරායාසයෙන්ම කරන දෙයක්

    අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙනඩ කියලා පතනවා

    ReplyDelete
  5. මම තුන්වෙනි පාරට එ්ලෙවල් කරන්න ගිය හෝල් එකේ බිත්තියක ලියල අලෝල තිබ්බ...

    "ජීවිතය ඔ්නෑම තැනක සිට නවත සකස් කරගත හැක....."

    මටත් එකපාරටම ක්ලික් උනේ නෑ. දැන්නං ටිකක් හිතෙනව එ්ක අැත්ත කියල.

    ඉතිං අක්කො, ඔයාටත් යහපත් පතුමි සියල්ල ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් පතනවා :)

    ReplyDelete
  6. පරණ අකමැති මතකයන් සියල්ල අමතක කරලා හොඳ දේවල් විතරක් ළඟ තියාගෙන අලුත් අවුරුද්ද සන්තෝසෙන් ගතකරන්න ලැබේව..

    ReplyDelete
  7. හැම ප්‍රශ්නයක්ම කාලය විසඳනවා...ඕනෑම දුකක් වේදනාවක් කාලය අරන් යනව හෙමින් හෙමින් උනත්....... හෙට ලබන අලුත් අවුරුද්ද ඔයාගෙ ජීවිතයට උදාවෙන සාර්ථකම වාසනාවන්තම අවුරුද්ද කියල හිතන්න...එසේම වේවා..!! අපි යමක් ස්ථිරවම හිතනවා නම් ඒක ඉටුවෙනවා....හැම දෙවියෙක්ම ඉන්නෙ අපේ හිත් ඇතුලෙ...ඩයිනෝ බබා ටත් වාසනාවන්ත අවුරුද්දක්...!!

    ReplyDelete
  8. අපිට වැරදුනා කියලා දැන ගන්න එකම ලොකු දෙයක් නේ නංගි ..
    ඉතින් ඒ වැරදුන තැන් හදාගෙන 2012 සතුටින් ගත කරන්න ඔයාට පුලුවන් වෙන්න කියලා පතනවා :))

    ReplyDelete
  9. ප්‍රශ්ණ කාටත් එනවා.. ඒ එක්කම ඒවට විසදුමුත් එනවා.. වෙනසකට තියෙන්නේ ඒ විසදුම් අපිට එක පාරම පේන්නේ නැති එක.. කොහොම උනත් මේ උදාවෙන නව වසර හිතු නංගිගේ ප්‍රාර්ථනා ඔක්කොම ඉටු වෙන වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  10. හිතුවක්කාර සහෝදරීට සුබ නව වසරක් වේවා !!

    අතීතය ගැන නොතැවෙන්න, අනාගතය ගැන බිය නොවන්න, වර්තමානයේ ජීවත්වන්න!!

    ReplyDelete
  11. ඔව් යාළු.ඔයා කිව්වෙනම් ඇත්තම ඇත්ත.
    "ගෙවුනු අතීතය දිහා හැරිලා බලන්න. ඒත් පසුතැවෙන්න එපා.වෙච්ච දේවල් වුනා තමා. මොනා කරන්නද?ආයෙත් එහෙම වැරදි නොවෙන්න අනාගතේ වැඩකටයුතු කරන්න හිතට ගන්න."

    යාළු.ඔයා ඊට පස්සෙ කිව්ව දේටත් මම එකඟ වෙනව.
    "අතීතය එකම පසුතැවිල්ලක් විතරක්නම්, අනාගතේ වාසනාවන්ත කරගන්න මහන්සිවෙන්න. මැරුණු අතීතයකට පණ දෙන්න දඟලන්න එපා."

    මැරුණු ඒ අතීතය ආයෙ ආයෙත් මතක් කරන්න කරන්න අපිව තවත් පස්සට යනඑක විතරයි වෙන්නෙ.අපේ ජීවිතය අඳුරු වෙනව ඇරෙන්න ඒ දුක හිතෙන අතීතයට අපේ ජීවිතයට ආලෝකයක් වෙන්න බැහැ කවමදාක්වත්.

    ******* උදාවෙන මේ අලුත් 2012 අවුරුද්ද ඔයාට සුභම සුභ ඔයාගේ හිතේ ඉලක්ක හැම එකක්ම ඉටුකරගන්න පුලුවන් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මේ සිහින මතකයන් ප්‍රාර්ථනා කරනවා!!!!!!! *******

    ReplyDelete
  12. Wish You A Very Happy New Year filled with lots of love and joy akki <3

    ReplyDelete
  13. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete
  14. අඩේ මම සුබ පැතුවේ නැද්ද...මතකයි..අමතකයි වගේ...හරි හරි කොහොම වෙතත් සුබම සුබ නව වසරක් වේවා..පැතුම් සියල්ල ඉටුවේවා..ම්..ජනවාරි 7 එනවද..ගාලු යමු

    ReplyDelete
  15. ඔයාටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයත් එක හිතින්ම් ප්‍රාර්ථනා කරනවා...!!ඔයාගෙ නංගටත් සුභම සුභ නව වසරක් හා සුභම සුභ උපන්දිනයකට මගෙ හද පිරි සුභපැතුම්..!!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....