නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 July 2011

තටු සිඳුනු සමනළී.....1 වෙනි කොටස

ඉර පායලා ගිනි ගහන අව්වෙ වාහන තදබදේ නම් අඩුවක් නෑ.කොහොමටත් කලබල කාරී,ජනගහණය අධික නගරයක් විදියට නුගේගොඩ නගරය සලකන නිසා,නුගේගොඩට යන එන අයට මේක අමුත්තක් නෑ.සෙනසුරාදා දවසක් නිසා දේදුනු පාටින් ඇඳුම් ඇදගත්තු කොල්ලො කෙල්ලොන්ගෙන් පාර පිරිලා.තැන තැන කිචි බිචි ගගා මුකුළු කරන ජෝඩු එහෙමත් ඔය අතරෙ හිටියා.

මමයි,නිශායි,හසීයි මේ අරුමෝසම් ලෝකෙට අලුතෙන් ගොඩ බැස්සා වගේ,හිමින් හිමින් පාර දිගේ ඇවිදන් ගියා.එදා තමයි අපේ සංයුක්ත ගණිතයට පංතියකට යන පළවෙනි දවස.තුන් දෙනාම ඉතින් පළවෙනියටම  උසස් පෙළට අද තමයි පංති යන්න පටන් ගත්තෙ.හසී මගේ හොදම යාලුවෙක්.මම පුංචිම කාලෙ ඉදන් දන්නවා.ඒත් ඉස්කෝලෙ හතේ පංතියෙ ඉදන් තමයි හසී මගේ ළගම ළග යාළුවෙක් උනේ.සහෝදරියක් තරම් ළං උනේ.නිසා නම් අඳුරගත්තෙ හසී හින්දා.නිශා හසීගෙ හොදම යාලුවෙක්.තුන් දෙනාම ගියේ එකම ඉස්කෝලෙට.තුන් දෙනාම සාමාන්‍ය පෙළ විභාගෙ ඉහලින්ම සමත්. පොඩි කාලෙ ඉදන් ගණන් හදන්න තිබ්බ ආසාව හින්දයි,සාමාන්‍ය පෙළ විභාගෙ ඉහළින්ම සමත් හින්දායි,උසස් පෙළට සංයුක්ත ගණිතය කරන්න තෝරගත්තෙ.


“අපි හොදටම පරක්කුයි හසී..බලන්නකෝ වෙලාව.දෙකට පංතිය පටන්ගන්නෙ.”
නිශා කෑ ගහන්න ගත්තා. 


“දෙයියනේ…….!!ඔව්මයි..කොහෙද මේ බස් එක ආව නෙවෙයි බඩ ගෑවානෙ.”


 හසී එහෙම කිව්වෙ තරහින් වගේ.අපි ආව බස් එක ඇත්තටම ආවෙ හුගාක් හිමින් නිසයි.


“ඉක්මණට යමු.තවත් පරක්කු වෙන්නෙ නැතිව..”මමත් එහෙම කියාගෙනම ඉක්මණ් ගමනින් යන්න පටන් ගත්තා.
අපි යනද්දිත් පන්තිය පිරෙන්න ළමයි ඇවිත්. ඉඳගන්න ඉඩක්වත් නෑ. සර් අපිට ඉසරහම තැනක් පෙන්නලා ඉඳගන්න කිව්වා.අපිත් ඉතින් පණ බයේ ගැඩි ගැහි වාඩි වුනා.


“අම්මෝ…බයේ බෑ..අනිත් දවසෙනම් කළින් ඇවිත් පිටිපස්සෙන් වාඩිවෙමු”


 හසී ඇස් දෙකත් ලොකු කරන් කිව්ව විදියට ඇත්තටම මට හිනා ගියා.


“ඔව් ඔව් මේකිට ඉස්සරහා හිටියාම කොල්ලො බලන්න බෑනෙ.ඒකයි ඔය” 
නිශා කෑ ගැහුවා.
 “අනේ මේ…මට ඕනෙ කොල්ලෙක් නෑ…කොල්ලො බලන්නද පංති ආවෙ..මම ආවෙ ඉගනගන්න.”


හසී ත් අතෑරියෙ නෑ..නිශාට ගෝරනාඩු කලා.


“ කෝ අනේ මේ සර්??”
සර් එළියට ගිහින්.ළමයි කෑ ගහනවා..දගලනවා..ඔය අතරෙ පංතිය පුරාම කොළ ගුලි උඩින් යනවා.ඩෙස් උඩ බංකු උඩ වැටෙනවා.පිරිමි ළමයි ගෑණු ළමයින්ට කොළ ගුලි වලින් ගහනවා.ඔය අතරේ මගේ ඔළුවටත් කොළ ගුලියක් වැදුනා. ඒත් එක්කම මට ඒ කොළ ගුලිය ආව දිහා බැලුනා..


දෙයියනේ….!!! ඒ මූණ අහිංසක ඇස්, මගේ හිත මොහොතකට නැවතුනා වගේ මට දැනුනෙ. අවුල් වුන කොණ්ඩෙ.ඒ මූණට ගෙනත් තිබ්බෙ අමුතුම ලස්සනක්.මගෙ දිහා බලලා හුරතලේට වගේ හිනා වුනා.. මාව අතරමං වුනා..
 “අහිංසක මූණක් නම් තියනවා.ඒත් දගයෙක් වගේ..කොළ ගුලි ගහලා,තව හිනා වෙන්නත් එනවා.පිස්සු කොල්ලෙක්” මගේ හිත මටම කියාගත්තා. ඒත් එක්කම සර් ඇවිත්.


“කොහෙද බං ඔය බෙල්ල කඩාගෙන බලන්නෙ.මෙහෙ සර් ඇවිත්” හසීගෙ කෑගැහිල්ලෙන් මාව ගැස්සුනා. 


“හා හා…මෙයා මේ බෙල්ල කරකව කරකව කොල්ලො බලනවා.” නිශා ත් මට විහිළු කළා.
 “අනේ යන්න නිසා යන්න.මම මේ කොළ ගුලියක් ගැහුව හින්දයි බැලුවෙ.” මම නිදහසට කරුණු කිව්වා.


ඊටපස්සෙ පංතියෙ වැඩ පටන් අරගෙන කරගෙන ගියා..නිසාත් මාත් හසීත් උනන්දුවෙන් ඉගනගන්න මහන්සි වුනා.ඒත් මගේ හිතට මොකක්දෝ මංදා අමුත්තක් දැනුනා..ඒක පංතියෙ පළවෙනි දවස හින්දානම් නෙවෙයි කියලා මට හිතුනෙ.

පංති ඉවර වෙලා යන්න එළියට එනකොට මට මහා ලෝබ කමක් ඇති වුනා.ඒ වෙන මොකටවත් නෙවෙයි.ඒ සුදු මූණ ආයෙමත් එක සැරයක් බලාගන්න. එහෙම හිතාගෙන මම ඇස් දෙක කැරකෙව්වා පංතිය වටේම. ලේසි නෑ..ළමයි හාර පන්සීයක් අස්සෙ මගේ හිත නැවතුනු ඒ ඇස් හොයන්න..මම තවත් විපරම් කළා..එකසැරේම ඒ ඇස් ළග මගේ ඇස් නැවතුනා..ඔව්.. ආයෙමත් ඒ හුරතල් හිනාවත් එක්ක මගේ දිහාම බලාගෙන එයා පංතියෙ දොර ළග.මම බිම බලාගෙන හිමින් සැරේ එතනින් එළියට ආවා..හසී යි නිශා යි මටත් ඉස්සෙල්ලා එළියට ගිහින්.

“හරි නරකයි..දෙන්නත් එක්ක මාව දාල ගියා නේ??”මම නෝක්කාඩු කිව්වා. 



“අපි දාලා ගියේ නෑ..ඔයා තමා වටපිට බල බල පරක්කු වුනේ..” හසී කිව්වා.


මගේ වරද හින්දා මාත් කරබාගත්තා..අපි තුන් දෙනා එහෙම්ම රොටරියෙන් එළියට ආවෙ..අපේ පළවෙනි උසස් පෙළ පංතිය සතුටු දායක මට්ටමක තිබුනු නිසා.ඒ සතුටට අමතරව තවත් අමුතු අහිංසක සතුටක් මගේ හිතේ කොනක හැංගිලා තිබ්බා..

එදා හවස මම ගෙදර ඇවිත් මගේ දින පොතේ කුරුටු ගෑවා.ඒ කුරුටු ගාපු කවිය අද වෙද්දි මගේ ජිවිතේ හුගාක් වෙනස් කරයි කියලා හිතුවේ නෑ එදා මම.



ඔය මූණ දැක්කහම..
මගේ හිත මේ තරම් තිගැස්සෙන්නෙ ඇයිද මන්දා....
ඔයාගෙ අහිංසකම හිනාවට
මගේ හිතේ හැම දුකක්ම අමතක වෙනවා....
සත්තයි......

මට මොහොතකට හුස්ම ගන්නත් අමතක උනා....
මම හිතුවා මගේ හුස්ම නවතිවී කියලා.......
ඔව්…ඔයා කොහෙන්දෝ ඉඳන් ඇවිත්
මට මාවත් අමතක කළා……


එදා ඉදන් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වෙන්න ගත්තෙ..හරිම ඉක්මනට…… 





<<< ප.ලි:-මේ මම ලියපු පළවෙනිම කතාව...මේක ලිව්වෙ කම්මැලිකම්ට.. සහ ආසාවට.. අඩුපාඩුනම් හුගාක් ඇති...ඔයාල කියවලා බලලා...වැරදි අඩුපාඩු තියෙනවනම් කියන්න...ඉතුරු ටික ලියන්න  ඒ අදහස් වටීවි මට ගොඩාක්..>>>>




2 වෙනි කොටසට...

Post Comment

27 July 2011

අපි නැතිව අපි............


අපි අපිට අයිති නැතුව ඇති
නෑ...මට ඔයාව ලබාගන්න
පිං මදි ඇති....
ඒත් එක දෙයක් මං දන්නවා...
මේ ලෝකෙ වෙන කවුරුත්ම
මම ආදරේ කළ තරම්
ඔයාට ආදරේ වෙන්නෙ නෑ...
මලක් වගේ ඔය හිත ළග පිපිලා ඉන්න
මට වාසනාවක් නැතිව ඇති...
ඒත් එක දෙයක් කියන්නම් ජීවිතේටම..
මේ තරම් ආදරයක් ඔය හිත ළග
අතරමං වෙලා ඉදිද්දි....
ඔය හිත කොහොමද වෙනතක බැඳෙන්නෙ...
ජීවිතේ කවදා හරි දවසක
ඔයාට තේරෙයි රත්තරං
මං තරම් ඔය හිත ගැන දන්න,
ඔය හිතට ආදරේ කරන,
හිතක් මේ ලෝකෙ නෑ කියලා.....


Post Comment

12 July 2011

සත්ත්ව කරුණාවයි... මනුස්සකමයි...

මට මෙහෙම ලිපියක් ලියන්න ඕනෙ කියලා අද හිතුනෙ ෆේස් බුක් එකේ යාළුවෙක් එක්ක චැට් එකක් දැම්මට පස්සෙයි... කාලෙකට පස්සෙ මගෙ හොද,පරණ යාළුවෙක්ව(පිරිමි යාළුවෙක්)  චැට් එකට සෙට් උනා.හුග කාලෙකින් නිසා විස්තර කතා කරද්දි,ආගිය තොරතුරු,ඕප දූප එහෙමත් කතා කළා..ඒ අතරෙ ළගදි උන සිද්ධියක් ගැන මට නිකමට කිව්වා(කම්මැළිකමට වගේ).මටත්  ඒක වටින අදහසක් හින්දා හිතුනා  ලියන්න හොදයි කියලා....

        ළගදි දවසක් මගෙ යාළුවයි,එයාගෙ තවත් යාළුවෙකුයි නුවර ගිහින්. එයාලගෙ ගමේ.මේ දෙන්නා දවසක් ගමනක් යද්දි පාරෙ(ගුරු පාරක),එයාලගෙ ඉස්සරහටම පුංචි ලේනෙක් වැටිලා  බිමට.කිව්ව විදියටනම් ලේනා වැටිලා තියෙන්නෙ පාරෙ ලයිට් වයර් එහෙකින්.මගේ යාළුවා ටිකක් සංවේදී චරිතයක්.විශේශයෙන් සත්තුන්ට පුදුම ආදරෙයි.ඉතින් මේ ලේන් පැටියා වැටුන ගමන් මගේ යාළුවා ඌව අතට අරගෙන. ඒත් ඒ ලේන් පැටියට පණ නෑ වගේලූ. ගොඩාක් අමාරු පාටයිලු. ඉතින් දැන් මගෙ යාළුවට පුදුම හිතට අමාරුයි.. කොහොමහරි ලේනාව ගොඩගන්නයි බලලා තියෙන්නෙ. ඒ හරිය ටිකක් දුශ්කරයිලු. ළගක වතුරත් නෑලු. කොහොමහරි ගිහින් ලේනාවත් අරන්,වතුරත් හොයාගෙන ඌට පොවලා. ඒත් ඌව බේර ගන්න බැරි වෙලා. ඌ අමාරුවෙන් අමාරුවෙන් දගලලා මැරිලා. ඒක හරිම සංවේදි...මටත් කිව්වහම දුක හිතුනා...එයාටනම් ඒකට ගොඩාක් දුකයි...එයා සත්තුන්ට ගොඩාක් ආදරේ හින්දා..ඒක තවමත් මතක් වෙද්දිත් දුකයිලු.

       ඉතින්අන්තිමට මම කිව්වා මොනා කරන්නද,සත්තුන්ට උනත් මිනිසුන්ට උනත් කවදාහරි ඔය දේ වෙනවනෙ කියලා..ඊට පස්සෙ යාළුවා මට කියනවා එයාට ඔය සිද්ධියෙන් පස්සෙ මෙහෙම අදහසක් ආවලු..
          
"කොහේ හරි පාරක සතෙක් වැටිලා පන අදිනව දැක්කොත් පාරේ යන මිනිස්සුන් දාහකගෙන් එක්නෙක් හරි නැවතිලා ඌට වතුර ටිකක් දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ අපේ සමාජයේ තාම සත්ත්ව කරුණාව ඉතුරුවෙලා තියන නිසයි. නමුත් අපි අසරණ වෙලා පාරක වැටිලා පන ඇද ඇද හිටියොත් වතුර ටිකක් දෙන්න තියා... හැරිල බලන්න වත් කවුරුවත් ඉදිරිපත් වෙයිද ... ?"

මටත් ඔය අදහස  කිව්වහම  තමයි හිතුනෙ මේකනම් ලියන්න ඕනෙ කියලා.මටත් නිකමට හිතුනා මේ කතාවෙත් ඇත්තක් තියනවා කියලා.මොකද අද සමාජෙ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක,කරදරයක් උනත් මනුස්සයෙක් තව කෙනෙක් ළගට ළං වෙන්න බයයි...ඒ දිහා බලන්නෙත් සැකෙන්..මොකද එහෙම කරදර වලට මුවා වෙලා මිනිසුන්ව රවට්ටලා සිද්ධ වෙච්ච අපරාධ ගැන ඕන තරම් අහන්න ලැබිලා තියනවනෙ අපේ රටේ...
   මගේ යාළුවටත් එහෙම අදහසක් හිතෙන්න තව හේතුවක් තියනවලු...එයාලගෙ ගමේ අයියා කෙනෙක් දවසක් පාරේ වැටිලා ඉදලා..සිහියක් නැති පාටයිලු.ඒත් කවුරුවත්ම ඒ අයියා ළගට ළං වුනේ නෑලු එයා බීලා වැටිලා කියලා...අනිත් කෙනෙකුට ළං වෙන්න දුන්නෙත් නෑලු...ඒත් ඇත්තටම ඒ මනුස්සයා වැටිලා ඉදලා තියෙන්නෙ මීමැස්මොරේ හැදිලාලු. ඉතින් ඒ සිද්ධියත් මතක් උනාම හිතුනාලු එහෙම අදහසක්.....

    අද කාලෙ කෙනෙක්ගෙ කරදරේකදි පිහිට වෙන්න බය නැතිව ඉදිරිපත් වෙන අය හරිම අඩුයිනෙ...ගොඩාක් දුර්ලභයි එහෙම අය...මුලින්ම ගොඩාක් අය හිතන්නෙ තමන් මෙහෙම උදව් කරන්න ගිහින් තමන්ට කරදරයක් වෙයිද කියලයි.. එහෙම නොහිතා සැණින් උදව් කරන්න ඉදිරිපත් වෙන්නෙ බොහොම අතළොස්සයි...
                           
                             "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
                            දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත"       කියලා සිංදුවකුත් ලියවිලා තියෙන්නෙ අපේ සමාජෙ ඔය දෙයාකාරයේම අය ජීවත් වෙන නිසානෙ...එහෙම දෙවිවරු වගේ මිනිස්සු මේ මනුස්ස ලෝකෙට                
වාසනාවක් කියලා මාත් හිතනවා....

Post Comment

10 July 2011

ඉස්සර දවස්.....

අද නිවාඩු දවසෙ මම නිකමට කම්මැළි කමේ ඉන්නකොට මතක් උනා අපේ ඉස්සර කාලේ.ඉස්සර කාලේ කිව්වෙ මේ O/L විභාගෙ කරන කාලේ..ඉස්කෝලෙ  11 පන්තියෙ කාලේ..මගේ ජීවිතේ මම ආසම,සුන්දරම කාලේ තමා ඒ....පුදුම සැහැල්ලුවකින්,සතුටකින් හිටිය කාලයක්.
මට හිටියා හොදම හොදම යාළුවො 5 දෙනෙක්.මාත් එක්ක අපි ඔක්කොම 6 යි. හොදම යාළුවො කිව්වෙ අපි 6 දෙනාම 7 වසරේ ඉදන් එකම පන්තියෙ    ඉගනගත්තෙ...එතනිනුත් මගේ ළගින්ම මගේ සහෝදරියො වගේ හිටපු යාළුවො දෙන්නෙක් හිටියා...එක්කෙනෙක් අපේ ගෙවල් ළග....අනිත් කෙනා දුර ...ඒත් අපි පුදුම ළගයි හිත් වලින්..අපේ අදහස් වලින්. ඉතින් ඕන ප්‍රශ්නෙකදි,දුකකදි,සතුටකදි,බාල්දියකදි,කොක්කකදි,සපත්තුවකදි, ළගින්ම ඉන්නෙ මේ යාළුවො ටික තමා.

 හැබැයි අපි අනිත් අයට වඩා ටිකක් වෙනස්.... අපිට අසාධාරණේ පේන්න බෑ.....බොරු සෝබන,ලොකුකම් දාන,පණ්ඩිතකම් පෙන්නන අයව අපිට වැඩිය අල්ලන්නෙ නෑ....ඒ වගේම කේළම් කියන, ඊර්ශ්‍යා කරන අයව පේන්නත් බෑ....ඕන වෙලාවක හිනා වෙලා, සන්තෝසෙන්, ජොලියෙ ඉන්න, කාටවත්ම කරදරයක් නැතිව ඉන්න තමයි අපි කැමති.....එහෙමයි කියලා ඒ කාලෙ අපි ඉගනගන්න වැඩ අතපසු කලේ නම් නෑ.....අපි 6 දෙනාම වගේ පන්තියෙ හොදට වැඩ කලා.... සමහර අවස්ථා වල  අපි වැඩිම ළකුණු ගත්තා...මුල්ම 10 දෙනා අතර හිටියා ,හුගාක් අවස්ථා වලදි...ඔය අතරේ අපේ යාළුවො දෙන්නෙක්ට විතර ප්‍රේම පළහිලව් එහෙමත් තිබ්බා... (දෙයියනේ කියලා මටනම් ඒ කාලේ එහෙම උවමනාවක්වත්,පළහිලව්වක්වත් තිබුනේ නෑ....).

ඔය ඔක්කොම කරන අතරේ,ඉස්කෝලේ අවුරුදු උත්සවද,ස0ගීත වැඩසටහන් ද,කලා උළෙලවල් ද, අන0 මන0 ඔක්කොම භාහිර වැඩ වලටත් අපි උපරිම සහයෝගය දුන්නා...හවස ඉස්කෝලෙම තිබ්බ පන්ති වලටත් හිටියා....ටිකක් විසේ තිබ්බට අපිට කවදාවත් ලොකුම ලොකු බරපතළ චෝදනා නම් ආවෙ නෑ කිසිම කෙනෙක්ගෙන්.  ( ඔය මිස් කෙනෙක් නැති වෙලාවට සින්දුවක් දෙකක් කියලා දණ ගහලා බැනුම් අහලා තියන්වා හැරෙන්න).

වෙරළු ගෙඩියක් හම්බුනත් 6 දෙනාම බෙදාගෙන කාලා තමා පුරුද්ද තිබ්බෙ, අපේ හිත් කොච්චර අහි0සකද කියලා හිතෙනවා අද සමහර මිනිස්සුන්ගෙ හැසිරීම් දැක්කහම....අපි හැමදාම බැලුවෙ අපිත් එක්ක වටේ පිටේ ඉන්න අනිත් හැමෝටම උදව් කරගෙන , එයාලවත් අරගෙන  අපේ අරමුණු වලට යන්නයි... අදටත් ඒක එහෙම්මයි....මට මතකයි ඉස්සර අපිට උගන්වපු මිස් කෙනෙක් හැම වෙලේම කිව්වා "වැටුණු කෙනෙක්ව නැගිට්ටවනවා තරම් පුණ්‍යකර්මයක් තවත් නෑ  " කියලා. ඇත්තටම් අපි අපිට පුළුවන් හැම මොහොතකම එහෙම කලා.... මම හිතන්නෙ ඒ දේවල් වලට අපිට ආපහු ලැබුනා...මිනිස්සු හොද දේවල් කලොත් ඒවා ආපිට ලැබෙනවලුනෙ....නරක කලොත් ඒකත් එහෙම්මලු.

ඒ කාලෙ  පුදුම සුන්දරයි.... ලොකු ලොකු හීන මාළිගා තිබ්බෙ නෑ....අහස අල්ලන්න හිතුවෙ නෑ......ඒ නිසාමද කොහෙද අපි සන්තෝසෙන් හිටියෙ ඉස්සර..අදට වඩා...අදටත් අපි ඔක්කොම එකතු උනාම කතා කරනවා ඒ ලස්සන කාලෙ ගැන. මිනිස්සු කවදත් කැමති තම්න් සතුටින් හිටපු අවස්ථා වලටනේ.... මාත් එහෙමයි මම හිතන්නෙ...අපි හොදට O/L විභාගෙත් කලා..... ඉහලින්ම පාස් උනා.... යාළු කම නැති උනේ නෑ... අදටත් ඒ යාළුකම් එහෙම්මයි... මම ගොඩාක් සතුටු වෙන්නෙ මට ඒ තරම් හොද යාළුවො ටිකක ඉන්න එක ගැනයි....මගේ ජීවිතේ හුගාක් අමාරු,විදගන්න දුශ්කරයි කියලා මම හිතපු තැන් වලදි මාත් එක්ක ඒ යාළුවො හිටියා. 
අදටත් මම හුගාක් ආදරේ ගරු කරන්නේ ඒකයි ඒ යාළුවන්ට.....

අපේ යාලූ කම ජීවිත කාලෙ පුරාවටම තියේවි.... කොයිතරම් අලුත් අය ජීවිතේට ආවත්.... මට ඒ පරණ බැඳිම් ගොඩාක් වටිනවා.....මම ඒ යාළු කමට මගේ සහෝදර බැදීමට මැරෙනකම් ම ආදරෙ‍යී......

         ඇහැළ මල පිපුණු ඒ සොදුරු සිත් ගිමන් හල
          බාලිකාවන්ගේ කිචි බිචිය
          මුළු සිත් සතන් පුරවාවී........
         අපි නැතත් හෙටත්
          තවත් කවුරුන් හෝ හිදීවී............

Post Comment

ඉර හඳ තරු මදි මට...........

මේ ලෝකේ...ඉර හඳ තරු.....
මේ මොනා තිබ්බත්.....
මට එළියක් නෑ ඔයා නැතිව.....
ඔයාගෙ හිනාව , දිළිසෙන තරු ඇස් තමයි
මගේ ලෝකෙ එළිය කරන්නෙ....
ඔයා නැති මගේ මුළු ලෝකෙම
අඳුරුයි රත්තරං.....
හඳ නැති අමාවක අහසක් වගේ........
මගේ මුළු ලෝකෙම පාළුයි.........
ඉතින් මේ අහිංසක හිතුවක්කාරිගෙ
පුංචි ලෝකෙ
අදුරු කරන්නෙපා.....
හැමදාම මගේ ළගින් ඉන්න.....
මගේ පුංචි ලෝකෙ එළිය කරන්න......
මහ ගොඩාරියක් මට ආදරේ දෙන්න.....
සත්තයි මට මුළු ජීවිතේටම ඒ ඇති..........

Post Comment

09 July 2011

ආදරේ............



ආදරේ තරම් මිනිස්සු අසරණ කරන තවත් දෙයක් මේ ලෝකෙ තියනවද මන්දා.....මේ ඇස් වලට නොපෙනුනත්..


ආදරේ තරම් මිනිස්සුන්ට ,මේ ජීවිත වලට දැනෙන වෙන කිසිම දෙයක් නැතිව ඇති.........


මේ පු0චි ජීවිත කාලෙ පුරාවටම අපි විඳින විඳවන ගොඩාක් දේවල් අස්සේ..


මේ ආදරේ හැ0ගිලා තියෙනවා....


ඒත් සමහර වෙලාවකට හැම දෙයක්ම සුන්දරව ගලාගෙන යද්දි...ආදරේ කියන්නෙත් හරිම සාමාන්‍ය දෙයක් විදියට දැනෙන වෙලාවලුත් තියෙනවා....


ආදරේ කොයි තරම් වටිනවද කියල දැනෙන්නෙ ඒක අපේ ජීවිත වලින් ගොඩාක් ඈතට ගියාට පස්සෙ.......


ඒත් අපෙන් ඈත් වෙලා යන සමහර දේවල් කවදාවත් ආයෙ ඒ විදියටම අපිට ළ0 වෙන්නෙ නෑ.....


ආදරෙත් එහෙමයි........

Post Comment

08 July 2011

සත්තයි....ගරු කරමි......

එකම ගැහැනු හිතක් පතාගෙන...
එකම ගැහැණියක් මත්තේම
මියැදෙන්නට තරම් සෙනෙහස ආදරේ පාන පිරිමින්ට
මම කවදත් ගරු කරමි.......
එවැනි පිරිමියෙකු මෝඩයෙක් ලෙස
කිසිවකු දකිනවාට අකමැත්තෙමි.....
මන්ද,
එකම ගැහැනු හිතක්  පතා සිටිය හැක්කේත්
එකම ගැහැණියකට පණ මෙන් ආදරය කළ හැක්කේත්
ශ්‍රේශ්ඨ පිරිමියෙකුට පමණක්ම නිසාවෙන්........

Post Comment

07 July 2011

හිතා ගන්න බෑ.....ජීවිතේ ගැන.....

ජීවිතේ කියන්නෙ හරිම පුදුමයක්.......
මිනිස්සු ජීවිත වලට හරිම ඉක්මනට එකතු වෙනවා.....ඒ වගේම හරිම ඉක්මනට ඈත් වෙනවා....
බැදීම් ඇති කරගන්න ලේසියි.....ඒත් ඒවා පවත්වගෙන යන්නයි අමාරු......
කෙනෙක්ව තේරුම් ගන්න...සිතුවිලි අදුරගන්න...සිතුවිලි ගළපගන්න....ලේසියෙන් බෑ.....ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනෙ....කාලයක් ඉවසන්න ඕනෙ.....උත්සාහ කරන්න ඕනෙ.... එහෙම නැතිව බැදීම් පවත්වගන්න අමාරුයි.....අයිති කරගන්න බැරි හීන වෙනුවෙන්....බලාපොරොත්තු ගොඩ ගැහුවට වැඩක් නෑ........ජීවිතේ කියන්නෙ...හීනම නෙවෙයි,බලාපොරොත්තුම නෙවෙයි කියනෙකයි මගේ අදහස....ඒත් ජීවත් වෙන්න හීන ඕනෙ...බලාපොරොත්තු ඕනෙ....ඒවා අපේ ජීවිත වල ඉලක්ක වලට යන්න හොද උත්ප්‍රේරක......
ප්‍රශ්න හමුවෙදි පලා යන කාඩ්බෝඩ් වීරයෝවගේ මිනිස්සු වැඩක් නෑ.....ප්‍රශ්න එද්දි ජීවිතේ තව තවත් හයියෙන් වැළදගන්න මිනිස්සු තමයි සැබෑ වීරයෝ .එහෙම අයව තමයි අදහන්න ඕනෙ......
ජීවිතේ ගැන ලියන්න..කතා කරන්න... හුගාක් ලේසියි....ඒත් ජීවිතේට මූණ දෙන්න තමයි අමාරු.....
ඉස්සරහටත් බලමු.....හිතූවක්කාරිට ජීවිතේ ගැන හිතෙන හැටි අකුරු කරන්නම්...........

         

Post Comment

මම හිතුවක්කාරී.................

ගෑණු ළමයෙක් වෙලා මම,කොයිතරම් නිදහසේ ඉන්න ඕනෙ කියලා කිවුවත්.....
නිදහස වෙනුවෙන් කථා කළත්.....
මගේ ගෑණුකමට නීති රීති වැටෙනවට

හිත යටින් මම ආස කළා.....
හුගාක් හවස් වෙලා ගෙදර ආවොත් මට බනිනවට.....
වෙන කොල්ලෙක් මගේ දිහා බැලුවොත්
ඒකාට රවලා බලනවට...
යන්න හදද්දි පරිස්සමට ගිහින් එන්න කියනවට.....
මගේ හිත යටින් තියන අහි0සක ගැහැණුකම
ආසයි......ආදරෙයි...
එහෙම කරන්නෙ තරහකට නෙවෙයි......
ඇත්තටම ගොඩාක් ආදරේට.....
මම දන්නවා.......
ඔව් මහ ගොඩාක් ආදරේට ........

Post Comment

ඔය දෑතින් අල්ලා.........

ඔය අත් දෙකෙන් අල්ලගත්තෙ
සුලැගිලි පටලවගෙන
පොඩි දුරක් ගිහින්.....
ආපහු හැරිලා එන්න නෙවෙයි රත්තරං......
ඔයත් එක්කම 

මේ මග තව ගොඩාක් දුර යන්නයි...... කටු අකුල්,ගල් බොරළු ඇනිලා
මගේ පුංචි කකුල් රිදුනට කමක් නෑ.......
ඔයා ඉන්නෙ මාත් එක්කනම්... 
මට ඒක දුකක් නෙවෙයි,සතුටක්....
සත්තයි......

ඔය අතින් අල්ලගෙන.... 
මේ මුලු සංසාරේ පුරාම
මම ඔයා එක්ක එන්නම්.......
ආදරේ මහ ගොඩාක් අරගෙන....

Post Comment

හීන.......

මල් හීන දකින්න එපා කියලා
මට ඉගැන්නුවෙ ඔයා.....
ඒ මල් හීන ඉක්මණටම පර වෙනවා කිව්වෙත්

ඔයාමයි...
එහෙම කිව්ව ඔයාම අද,

මොකක්ද මංදා  අදුරු හීනෙක 
අතරමං වෙලා.....
ඔව් රත්තරං......

මාව තනි කරලා...ඔයා.....ඈතකට ගිහින්...........
ඔයා ඈතකට ගිහින්........

               

Post Comment

මට මැරෙන්නට හිතේ.........

මේ ආදරේ තරම්....
ඔබ දන්නේ නෑ වගේ...
මගේ කල්පනා ලොවෙන්..
ඇයි පිට වෙලා ගියේ......


හිත උමතු වන තරම්...
පෙම් කරන තරම්.....
ඔය කදුළ හැර තියා...
නෑ මා වෙනතකට ගියේ.......


මේ වගේ දුර ගිහින්....
නුඹ බලන විට මෙසේ...
ඔය පපුවෙ හිස තියන්....
මට මැරෙන්නට හිතේ......

Post Comment