නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

31 August 2011

හිමි වුනත් නැතත් මං ආදරෙයි.......



මට කියන්න පුළුවන්
මං ඔයාට ආදරෙයි කියලා විතරයි....
ඒ ආදරේ කොච්චරක්ද මනින්න මට බෑ....
අද හෙට අනිද්දා නෙවෙයි කල්පයක් ගියත්
ඒ ආදරේ වැඩි වෙනවා විතරයි....
අඩුවෙන්නෙ නෑ කවදාවත්ම....
ඔයාව මට හිමි වුනත් නැතත්
මට කමක් නෑ.....
හිමී වීම කියන්නෙ ආදරේ නෙවෙයි කියලා
මං දන්නවා.....
ඒත් දෛවය මට එක අවස්ථාවක් දුන්නොත්
මං සදහටම ඔයාගෙ වෙනවා...
මේ හිතින් ඔය ආදරේ වෙන් කරන්න,
කාටවත්ම බැරි වෙන්නම.......
අනේ එහෙම දවසක් එනකම්
මම........
බලාගෙන ඉන්නවා....
ඔව්.. මං බලාගෙන ඉන්නවා...

Post Comment

29 August 2011

නුඹටත් කෙනෙක් හිදීවී......

ඉස්සර ඉඳන්ම හුගාක් ආස කරපු සිංදුවක් මම මේ අද ,හුග කාලෙකට පස්සෙ ඇහුවා. ඇත්තටම් ඒ පද වැලට, සංගීතයට වගේම ගායනා කරන ගායකයටත් මං හුගාක් කැමතියි. ඉතින් හිතුනා මට පෝස්ට් එකක් දාන්න ඒ සිංදුව ගැන ලියන්න. ඒ සිංදුව හා සමීප සිදුවීම් කීපයකුත් පහු ගිය දවස් ටිකේ සිද්ධ වුනු නිසා ලියන්න හිතුනා..ඒ සිංදුව තමයි සුනිල් එදිරිසිංහ මහත්මයගෙ "හිඳීවී කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින්" සිංදුව. මේ සිංදුව අහපු නැති කෙනෙක් නැතු ඇති. ඒ වගේම මේ සිංදුවට් ආදරේ අය හුගාක් ඇති.සරළ පද වැලක් තියන ලස්සනම ලස්සන සිංදුවක්.






හිඳීවී කොතැනක හෝ හිමිකාරයා   උපන් නුඹේ නමින්          
වඩීවී කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිඳින්


ගගකට සයුරක් මුණගැසේවී
සයුරට වෙරළක් මග හිඳීවී
නියගට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳී වී දවසක සොයාන ඒවී


අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටක ලගා වී විඳි අඳුර නිවාවී






ජීවිතේ කියන්නෙ අපි පතන දේම ලැබෙන එක නෙවෙයි කියන එක අපි හැමෝම දන්නවනෙ. ඒක අපි කොයිතරම් අකමැති වුනත් හැමෝටම තේරෙන ඇත්තක්.ආදරේ වුනත් එහෙමයි. අපි ආදරේ කළාට කෙනෙක්ට අපිට ඒ කෙනා ආදරේ නැති වෙන්න පුළුවන්. අපිට කෙනෙක් ආදරේ කළාට අපි ඒ කෙනාට ආදරේ නැති වෙන්න පුළූවන්. අපි පතන අපි හොයන අපි ආදරේ කරන දේවල්ම අපිට ලැබෙනවනම් මේ ලෝකේ "දුක " කියලා දෙයක් නැති වෙන්න තිබ්බා.


මම විශ්වාස කරන දෙයක් තමයි අපි කොයිතරම් හීන මැවුවත්, මොන තරම් බලාපොරොත්තු තියාගත්තත් හැම දෙයක්ම  සිද්ධ වෙන්න කෙනෙක්ගෙ දෛවය කියන එකත් ඒකට බලපානවා කියන එක.අපි කොච්ච්ර කී දෙනෙක්ට ආදරේ කළත් අපිට අවසානෙ ලැබෙන්නෙ, අන්තිමට සිද්ධ වෙන්නෙ අපි නොහිතන දෙයක් වෙන්න පුළුවන්.හුගාක් දෙනෙක් ආදරෙන් පැරදිලා දුක් විදිනවා. තම්න් ආදරේ කරපු කෙනා දාල ගිහින්, නැත්තම් ආදරේ කරන කෙනා තමන්ට ආදරේ නෑ...වගේ දේවල් නිසා අනාගතේ ගැන, ආදරේ ගැන කළකිරිලා ඉන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ආදරේ ගැන, තමන්ගෙ ආදරේ හිමි කාරයා ගැන ලස්සනට කියලා දෙන සිංදුවක් විදියට මේක දැනෙනවා.


"මේ ලෝකෙ කොහේ හරි ඔයාට අයිති, ඔයාගෙ හිමි කාරයා ඉන්නවා. එයා මේ අහස යට කොහේහරි හුස්ම ගන්නවා.දවසක වෙලාව ආවහම ඔයාව හොයාගෙන එයි. එදාට ඔයාටත් හිතෙයි මේ ලෝකෙ කොහෙහරි මං වෙනුවෙන් හුස්ම ගන්න , හුස්ම වැටෙන පපුවක් තිබුණා කියලා. වැඩිකාලයක් නෑ... එයා එයි ... ජීවිතේ හොඳම හොඳ අය එන්න ටිකක් පරක්කු වෙනවලු. ඒ එනකම් හිත හදාගෙන ඉන්න.මෙච්ච්ර කල් ඉවසුවා වගේ මේ ටිකත් ඉවසන්න. හිත හ්දාගෙන බලාගෙන ඉන්න"


"මේ ගලන හැම ගගක්ම කව්දාහරි කොතනින් හරි මුහුදට වැටෙනවා. ඒක ස්ථීරයි. හැම ගගක්ම තනියම ගලලා මුහුදට වැටෙනවමයි. එතකන් ගල් බොරළු, කදු පල්ලම් උඩින් තනිවම ගලන්න වෙනවා. නවතින්නෙ නෑ... ගග ගලනවා. මුහුද හම්බෙනකම් ම... රළ කොයිතරම් චණ්ඩ වුනත්, මොන තරම් වේගෙන් ආවත් වෙරළක් මග බලාගෙන ඉන්නවා රළ එනකම්...වෙරළට බෑ රළ මගහරින්න... දන්නවද??? පායන කාලෙට පායනවා. වැහි වළාකුලක් වත් පේන්න නැති වෙයි. ගිණී කාෂ්ඨක පොළොව ඉරි තැළෙයි..ගස් වැල් මැළවෙයි.. ඉවසන්න බැරි තරම් කට්ට අව්වට මල් පරවෙලා යයි. ඒත් හැමදාම නියගෙ තියෙන්නෙ නෑ..දවසක් එනවා මුළු අහසම කළු වළකුළු වලින් පිරිලා, කාෂ්ඨක පොළොව සීතල වෙන්න වැහි පොද වැටෙන, දව්සක් එනවා.වේලිලා ගිය ගස් වැල් වල මල් පිපෙන ලස්සන කාලයක් එනවා.ඒ වගේ තමයි ඔයාගෙ ජීවිතේත්. ජීවිතේ හැමදාම නරක කාලෙ නෑ.. දවසක් එනවා ඔයාගෙ හිත සතුටෙන් ඉතිරෙන. ඔයා වෙනුවෙන් කෙනෙක් ඉඳීවී. එයා හොයාගෙන ඒවී.."


"කටු අකුල් වලත් ඉඳලා ඉඳලා අලුත් ලස්සනම ලස්සන මල් පිපෙනවා.පළාතක්ම එළිය කරන්න පුළුවන් එහෙම  කලාතුරකින් පිපෙන මලකට. ගලාගෙන යන නදියක වුනත් පුංචි පුංචි  ජල තරංග තියෙන්න පුළුවන් වගේ, ඈතින් හමාගෙන එන සීතල හුලං පොදක් ඔයාගෙ නළල සිපගෙන ගියා වගේ, නොසිතුව මොහොතක ඔයාගෙ ආදරේ ඔයාව හොයාගෙන ඒවී..ඔයා හිතන්නෙවත් නැති වෙලාවක ඔයාව හොයාගෙන ඇවිත් ඔයාගෙ ලෝකෙ අඳුරූ පාළුව මකාවී... ඔව් ඔයාගේ මුළු ලෝකෙම එළිය කරාවී... ඒ එනකම් හිත හදාගෙන බලාගෙන ඉන්න..."


කෙනෙක්ගෙ දැවිලා ගියපු හදවතකට , අහිංසක පුංචි බලාපොරොත්තුවක් ලස්සනට ඇති කරවන විදිය ඇත්තටම ඒ සිංදුවෙ කැටිවෙලා තියනවා කියල මට හිතුනා. බලාපොරොත්තු රහිත ජීවිතේකට ධනාත්මක සිතුවිල්ලක් ඇති කලා වගේ හරිම ලස්සන උපමා එක්ක ලස්සනටම ලිය වුනු සිංදුවක්..






ප.ලි-මට ඒ සිංදුව ගැන දැනුනු දේ මම ලිව්වෙ. වැරදි තියන්වනම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා. ඔයාලට හිතෙන දේ ගැනත් අදහසක් දාල යන්න..

Post Comment

27 August 2011

තටු සිඳුනු සමනළි - 3 වන කොටස

 හුග දවසක ඉදන් හැමෝම මගෙන් කාතාවෙ ඉතුරු ටික දන්නෙ කවද්ද කවද්ද කියලා අහ අහ හිටියෙ. පහු ගිය දවස් ටිකෙ මගේ කොම්පියුටරේ පිස්සු නටපු නිසාත්, විභාග කීපයක් නිසාත් ටිකක් හිර වෙලා හිටියෙ. ඔන්න අද 3 වෙනි කොටස දැම්මා. කියවලා බලලා හොඳ නරක කියන්නකෝ...

1 වන කොටස බලපු නැති අයට මෙන්න- තටු සිඳුනු සමනළී 1
2 වන කොටස බලපු නැති අයට මෙන්න- තටු සිඳුනු සමනළී 2


අද 3 වන කොටස......


-----------------------------------------------------------------------------
"ඔබ නැතිව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හිමි හිමිහිට..."

අම්මාගෙ පුංචි රේඩියෝවෙ යන වික්ටර් රත්නායකයන්ගෙ සිංදුව  මට යන්තමට වගේ කාමරේට ඇහුනේ physics යාන්ත්‍ර විද්‍යාව ගාණක් හද හද ඉද්දියි.

හිත නොදැනුවත්වම ගියේ අහිංසකයා ළගටයි.දෙන එය මොනා කරන්වා ඇත්ද, එයා එදා ගියේ කාගෙ පංති ද, ඇයි මගේ හිත එයා ගැන වද වෙන්නෙ. ඔය වගේ දාහක් ප්‍රශ්න එක්ක මගේ හිත පැටළුනා.

"දෙයියනේ...මොනාද මං මේ හිත හිත ඉන්නෙ.අවුරුදු ගාණක් යස අගේට ඉඳලා එකසැරේම කොහෙන්ද පාත් වුනු කොල්ලෙක් නිසා මගේ හිත මෙහෙම පිස්සු වැටුණේ ඇයි?"
මං මගේ හිතින්ම අහගත්තා.

හිත එක අරමුණක තියාගන්න බැරි ගතියක් දැනෙන්න පටන් අරන්."මේ සිංදු ගැනයි, අහිංසකයා ගැනයි වැඩක් නෑ... විභාගේ පාස් වෙන්න පාඩම් කරන්න වෙනවා."

මං මගේ හිතටම තරවටු කරගෙන ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා විතරයි.. මගේ මොබයිල් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

" ඒ ගමන කවුද මන්දා... චික්... මේ ගණන් ටිකනම් හදන්න වෙන්නෙ නෑ."

" හෙලෝ මධූ...මොකෝ කරන්නෙ??"
හසී බෙරිහන් දුන්නෙ ෆෝන් එකෙන්.

" හෙලෝ හසී... මොකෝ මේ කෑගහන්නෙ. මං මේ physics ගණන් වගයක් හද හද හිටියේ??"

" කෑ ගැහුවේ නෑ බං. මොන ගණන් ද??? පංතියේ ඒවාද??"

"ඔව් ඔව්. හසී.. අනිද්දා පංතිනෙ"

" අහ්.. උඹ අනිද්දා physics පංතියේ ගණන් හදන්නෙ. හෙට පංතියේ ගණන් ටික හැදුවද??"

" මල කෙළියයි...!! මට දැන් නෙ මතක් වුනේ..combined ගණන් ටික."

"ඔව් ඉතින්. උඹට ඒ පංතියේ සර් උගන්නන ඒවා මතක නෑනෙ. වෙන මගුල් නෙ මතක."

" අනේ නිකා ඉන්න හසී.. මට ඒක අමතක වුනා. මං දැන් කරන්නම්.."

" හරි හරි. මං මේ කතා කලේ හෙට බස් හෝල්ට් එකට එන වෙලාව අහගන්නත් එක්ක.කීයටද එන්නෙ??12.45 ට??"

" හරි අපි ඒ වෙලාවට එමු. එහෙනම් මම හෝල්ට් එකට එන්නම් 12.45 වෙද්දි. හරී??"

" හරි මධූ. එහෙනම් හෙට හම්බෙමු. මං තියන්නම්. බුදු සරණයි!!!"

"බුදු සරණයි හසී"


හසී කතා කලේ හොද වෙලාවට. නැත්තම් මට ඇත්තටම ඒ ගණන් ටික හදන්න අමතක වෙනවා.ඔක්මණට ගණන් ටික හදලා දන්න ඕනෙ. හදාලා දාලම නිදා ගන්නවා.
-------------------------------------------------------------------------------
 පහුවදා උදේ පන්දරම මම අහැරුනේ පුදුම සතුටකින්. අලුත් බලාපොරොත්තුවක් හිතේ තියගෙන වගේ.. හිත පුරාම පැතුරුණු මටත් නොදැනුණු, මොකක්දෝ මන්දා අමුතුම හැගීමකින් හිත පිරිලා.

මම උදේ පාන්දරම කාමරේ ජනේලෙත්  ඇරගෙන එළිය බලන් හිටියා. උදේම එළියෙන් එන සීතල හුළගට මම හුගාක් ආස කලා.හිතටත් අමුතුම සැහැල්ලුවක් ඒ හුළගෙන් දැනෙනවා.මිදුලේ සේපාලිකා ගහේ මල් බිම පුරාම වැටිලා. සුදු පාටින් හිම වගේ.ඒ මල් සුවද තවමත් හීනියට දැනෙනවා.

" උදේ පාන්දරම ජනේලෙකුත් ඇරගෙන මොකද ළමයෝ මේ කරන්නෙ??"

" නෑ අම්මා මං මේ හුළං ටිකක් වදින්නයි ඇරියේ"

" උදේ පාන්දර ඔය සීතල හුලං හොද නෑ... හච්චින් යවන්නකෝ සීතලේ ජනෙල් ඇරන් දගලලා."

" අයියෝ නෑ අම්මා.. එහෙම වෙන්නෙ නෑ.."

" හරි හරි.. අන්න තේ හදලා කුස්සියේ.. ගිහින් මූණ කට හෝදගෙන තේ බොන්න. තේක සීතල වෙයි."
අම්මා මට තේ බොන්න කියලා කුස්සියට යන්න ගියා. මමත් ඒ පස්සෙන්ම කුස්සියට ගියේ තේ බීලා උදේ පාන්දරින්ම නා ගන්න හිතා ගෙන.උදේම නෑවාම දවසම සැහැල්ලුයි..

මම උදේම නාලා, ඉතුරු ගණන් ටිකත් හදලා,පොත් ටික ලෑස්ති කලා. කෑම කාලා,හිමින් සැරේ පංති යන්න ලෑස්ති වුනා.12.45 වෙද්දි බස් හෝල්ට් එකට යන්න ඕනෙනෙ.මම ආසම මට තියන ලස්සනම රෝස පාට ටී ෂර්ට් එකයි, ලා නිල් පාට ඩෙනිම් කලිසමයි ඇදගත්තා.ඒකටම ගැළපෙන්න රෝස පාට කරාබු දෙකක් දාගත්තා.සුපුරුදු පෝනි ටේල් එක දාලා කොණ්ඩෙ පීරලා කණ්ණාඩියෙන් හැඩ බැලුවා වටයක් කැරකිලා.

" නරක ම නෑ කෙල්ලෙ. ඔය ඉන්නෙ කැත නැතිව. ඔය මැදැයි." මං මටම කියාගෙන ඕඩිකොලොන්ග් බෝතලෙන් චුට්ටක් අරගෙන ගාගත්තේ  ඕඩිකොලොන්ග් වල එන ඒ සෞම්‍ය සුවදට මම හුගාක් ආස කල නිසායි.

 වෙලාව 12.30යි.. දැන් ගියාම 12.45 වෙද්දි හංදියේ බස් හෝල්ට් එක ළගට යන්න පුලුවන්.මම් අවසාන වතාවටටහ් කණ්නාඩියට විරිත්තලා.. එළියට ආවෙ යන්න ලෑස්ති වෙලා.

" අම්මා... මං යන්න හදන්නෙ."

"සල්ලි ගත්තද බස් එකට යන්න.ඔය මේසෙ උඩින් තිබ්බා."

"ඔව් අම්මා ගත්තා. මං ගිහින් එන්නම් අම්මා."
අම්මට දණ ගහලා වැදලා මං පාරට ආවෙ හංදියට යන්න බස් එකක් අල්ලගන්නයි. අපේ පාරෙ ඉතින් කොච්ච්ර බස් තිබ්බත් අපිට ඕනෙ වෙලාවට ගමනක් යන්න ගියාම බස් එකක් නෑනෙ.

වෙලාවට CTB එකක් ආවා. සීසන් එක තියන නිසා සංතෝසේ බෑ.. ඒකට නැගගෙන මම හංදියේ බස් හෝල්ට් එක ළගට එද්දිත් හසී ඇවිත්.

" ආව් අප්පා. කෙල්ලගෙ හැඩ. මූනත් නිකන් පෙම් පාටක් ගහලා.මෙච්චර වෙලා මේකප් දැම්ම නේද?? පරක්කු වුනේ??"

 " ඔන්න ඔන්න ඉතින් පටන්ගත්තා ආවා විතරයි.නෑ කෙල්ලෙ. මේ බස් නෑනෙ.ඒකයි.කෝ නිශා?"

" නිශා එයි. දැන් මගලු.අද කෞෂිත් එනවා කිව්වා. අපේ පංතියට අලුතින්."

" කවුද?? මේ අපේ O/L ගණන් පංති ආව කෞෂි??"

" ඔව් ඔව්. එයා තමයි.. අහ් අර කියන කොටම එන්නෙ. දෙන්නම."

" හානේ මධූ.. කොහොමද?? මමත් අද ඉඳන් එනවා මේ පංතියට."

" ෂා... නියමයිනෙ කෞෂි.. කොච්ච්ර හොදයිද..නේද නිශා??"

" ඔව් ඒකතමයි. හොදයි. "

" අන්න අර බස් එකේ යන්ද අපි?? නැත්තම් අදත් පරක්කු වෙයි"

හසී කිව්වෙ ඈතින් එන බස් එකක් පෙන්නලා. අපි හතර දෙනාම ඉක්මණට ගිහින් බස් එක නැවැත්තුව ගමන් නැගගත්තා.අපි කොහුවලින් බැහැලා ටික දුරක් යද්දිම වගේ කවුද පිරිමි ළමයෙක් "කෞෂී.. කෞෂී" කියලා කතා කරනවා ඇහුනා.

කෞෂීත් එක්කම අපිත්  හැරිලා බැලුවා.

" ඈ... මේ අර අහිංසකයගේ යාළුවා නේද?? "

නිශා ගත් කටටම බෙරිහන් දුන්නා. මටත් ඇති වුනු එකම කුතුහලය කෞෂි කොහොමද මෙයාව දන්නෙ කියලා. ඒ කියන්නෙ කෞෂි අහිංසකයවත් දන්නවද දන්නෙ නෑ...

" අහ් මේ ඉන්නෙ තාරුක. මගේ යාළුවෙක්ගෙ හොදම යලුවෙක්. "

කෞෂි අපිට අහිංසකයගෙ යාළුවාව අදුන්වලා දුන්නා.අපිත් හෙන තැන්පත්, අහිංසක , හැදිච්ච ගෑණු ළම්යි විදියට හිනා වුනා.

" මේ ඉන්නෙ මගේ යාළුවෝ ටික. මේ මධූ. මේ හසී.. මේ නිශා.."

" අහ් මේ ගොල්ලොන්ව මම දැකලා තියනවා පංතියේදි. අපි ඉතින් ගෑණු ළමයින්ට කොළ ගුලි එහෙම ගහලා ටිකක් දැකලම අදුරනවා කට්ටියව"

කෞෂි එක එක එක්කෙනා ගානේ අපිව තාරුකට අදුන්වලා දුන්නා. තාරුකත් බොහොම ගෞරවයෙන් අපිට හිනා වෙලා කතා කලා.

"තාරුක තනියමද පංති එන්නෙ??? කෝ යාළුවෝ??"      

කෞෂි ඇහුවෙ මගේ හිතේ නලිය නලිය තිබුනු ප්‍රශ්නෙමයි..

" නෑ.. නෑ. දසුන් ඉන්නවා වෙන්දට. හැමදාම අපි දෙන්න නෙ පංති එන්නෙ. ඒත් අද ඌ නෑ.. මං තනියම."

මගේ හිත මොහොතකට නතර වුනා වගේ. "දසුන්" මම හිතින් කියවගත්තා ඒ නම. ඒ කියන්නෙ අහිංසකයගෙ නම දසුන්...

" අන්න උඹෙ ප්‍රිය දසුන අද නෑලූ..."

 කතාව තේරුනු හසී මගේ කනට කරල කෙඳිරුවා.

" ඒකතමයි. ඇයි දන්නෙ නෑ අද එයා නැත්තෙ."

" අහ් ඕන්නම් අහල බලමු. තාරුකගෙන්"

" පිස්සුද බං??? මොලේ අමාරුවද??"

"උඹට බැරි නම් මං අහන්නම්කෝ..ඉන්නවකෝ"
මේ වෙද්දි තාරුකත් කෞෂිත් බර කතාවක. අපි තුන්දෙනා ඉස්සරහින් ගියේ.. තාරුකයි කෞෂියි පිටිපස්සෙන් ආවෙ.

" මේ තාරුක.. ඇයි අද ඔයාගෙ යාළුවා නැත්තෙ?? මේ අපේ මධූගෙ අහසට කළු වළාකුළු ඇවිත් අඳුරු වෙලා. වහින්න වගේ.."
මම වහාම හසීව කෙනිත්තුවා.    
"ඌයියීය්යා........."

" අහ් ඌට සනීප නෑ... උණ හැදිලා"

තාරුක කිව්වෙ හිනා වෙවී මගේ දිහා බලාගෙන. මට හසී එක්ක පුදුම තරහක් ආවෙ. ඒත් අනේ අහිංසකයා.... පවු.. එයාට උණ හැදිලා.. මගේ හිත මහා දුකකින් ඇවිළුනා.

" මොන කරන්නද?? ලබ්න සතියෙ එන්නෙ නැතෑ... අපි පංතියට යන්. උඹ නිකන් මූන කළු කරගත්තෙ හරියට මිනිහා ලෙඩ වුනු ගෑණි  වගේනෙ.යන් යන් පංතියට"

මම හසී එක්කම පංතියට ගියා. ඒත් මගේ හිත මහා දුකකින් පිරුනා..."ඒත් කමක් නෑ.. එයා ගැන විස්තරයක් දැනගන්නවත් පුළුවන් නෙ දැන්..." එහෙම හිතාගෙන මන් හිත හදාගත්තා.

එයිනෙ ලබන සතියෙ.. බලමුකෝ.. අනේ.. එයාට ඉක්මණට හොද වෙන්න ඕනෙ....



4 වෙනි කොටසට...

Post Comment

21 August 2011

ආයෙමත් පැරදුනා මං ........

මේක හීනයක්ද?? නෑ නෑ.. මේ ඇත්ත..
මොනාද මට මේ ඇහෙන්නෙ???
තිත්ත වුනත් ඇත්ත මේකයි....
මට ඇහුන ඇත්ත මේකයි .....
ඔයාගෙම හොදටයි කියන්නෙ මං
තවත් හිතන්නෙපා එයා ගැන...
ඕනෙ නෑ රිද්දන්න ඔයාට මට
හිතන්නෙපා තවත් එයා ගැන....
මං දන්නවා ඔය හිතේ එයාට තියන ආදරේ
වැඩක් වෙන්නෙ නෑ ඔයාට එයාගෙන්.....
ඔයාට ඕනෙ ඔයාට ආදරේ කෙනෙක්
අමතක කරන්න ඔයා එයාව.....
පිච්චෙන්නෙපා ඔහොම හිතින් හිත හිත
කියන්නම් මං කවුරුත් නොකියපු ඇත්තක්...
එයාට ආදරේ කරන එයත් ආදරේ කරන
වෙන කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතේ.....
දෙයියනේ.........මේකයි ඇත්ත එහෙනම්...
මං ආයෙත් පැරදුනා....
අහිමි ආදරේකින්..... ආයෙමත් මං පිච්චුනා....

Post Comment

19 August 2011

ජීවිතයත් මරණයත් අතර.......

මම අද ලියන්න හිතුවේ මීට අවුරුදු ගානකට කලින් මට මූණ දෙන්න වුනු අත් දැකීමක් ගැන. ඇත්තටම ඒ සිදුවීම මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම් අතරින් එකක්. මේක සිද්ධ වුනේ මම ඉස්කෝලෙ 7 පංතියෙදි විතර.ඒ කියන්නෙ 2002 අවුරුද්දේ.(ඔන්න දැන් හිතුවක්කාරිගේ වයස පිළිබඳව ප්‍රශ්න තිබ්බ අයට ගණන් හදලා බලන්න පුළුවන්).

 ඔය කාලේ අර රනිල් මහත්තයගේ සාම ගිවිසුම නිසා අපේ මිනිස්සුන්ට ත්‍උතුර පැත්තෙ එහෙම යන්න අවස්ථාවක් හම්බුනානෙ.ඔන්න අපේ ගෙදර කට්ටියත් එතකොට ත්‍රීකුණාමලේ යන්න දවස් 3 ක ට්‍රිප් එකක් ලෑස්ති කලා.අපේ තාත්තගේ පැත්තෙ නෑදෑයො ටික දෙනෙකුයි, අපේ ගෙදරින්  අම්මායි, තාත්තායි, මායි , මල්ලියි, ආච්චි අම්මායි තමා මේ ට්‍රිප් එක යන්න ලෑස්ති වුනේ.කට්ටියම ඉතින් මැයි මාසෙ අග වගේ දවසක වෑන් එහෙක ට්‍රිප් එක යන්න පිටත් වුනා.අපේ නඩේ  ඔක්කොමලා 12 දෙනෙක් හිටියා.අපේ තාත්තගේ පැත්තෙ පවුලේ ළමයින්ගෙන් බාලම වුනේ අපේ මල්ලි, ඊටපස්සෙ මං.අනිත් අය ඔක්කොම අක්කලා,අයියලා.

ඔන්න අපි ඉතින් කෙළින්ම මුලින්ම ගියේ ත්‍රීකුණාමලේටයි. හුගාක් තැන් බලන්න අපි ගියා.උණු වතුර ළිං, කෝණේශ්වරම් කෝවිල,Lovers Leap , සෝමාවතිය, මුතූර්, ඔය හැම තැනම වගේ. මම ආසම ලස්සනම තැනක් තමයි නිලාවැලි මූදූ වෙරළ.එහෙන් මෙහෙන් අහලා තිබුනා නිසා ඇත්තට ගිහින් බලාගන්න පුදුම ආසවකින් හිටියෙ.ඔන්න අපිත් ගියා නිලාවැලි. කවුරුත් දන්න දෙයක් තමයි නිලාවැලි ඉඳන් පරවි දූපතට බෝට්ටුවෙන් යන ගමන.ඔන්න අපේ කට්ටියත් පරවි දූපතට යන්න තමයි ඊළගට ලෑස්ති වුනේ.

මම කවදත් ගගේ මූදේ බෝට්ටු වලින් යන ගමන් වලට පුදුම බයයි. මීට කලින් මඩොල් දූවෙ ගිහිල්ලත් මං බෝට්ටුවෙ යන ගමනට බයේ, ගියේ නෑ.හික්කඩුවෙ කොරල් පර බලන්න ගිහිනුත් අඬ අඬ පණ බයේ ගැහි ගැහි ගියේ. ඉතින් අපේ නඩේ අක්කලා අයියලා ගෙ ආසවම තිබ්බෙ ඔය බෝට්ටු සවාරියට. එයාලනම් පුදුම උනන්දුවෙන් හිටියෙ. මම ඉතින් පොඩ්ඩක් බය වෙලා හිටිය නිසා ආසාවක් තිබ්බෙ නෑ .

ඔන්න අපි ඒ බෝට්ටු වලින් පරවි දූපතට මිනිස්සු ගෙනියන තැනට ගියා.ඒත් අපේ අවාසනාව කියන්නෙ පුදුම සෙනගක් හිටියේ. වාහනයක් නවත්තන්න කිසිම ඉඩක් නෑ.ගොඩාක් වෙලා බල බල ඔහොම ඉදලා ආපහු යන්නයි හැදුවෙ. එතකොටම එතනට ආව එක මනුස්සයෙක් කිව්වා, ඕන්නම් වෙන තැනකින් යන්නත් පුළුවන් එතනත් දූපතට බෝට්ටු වලින් සෙනග ගෙනියනවා. ලොකු ගානක් ගන්නෙත් නෑ . යන්න පුළුවන්නම් යන්න කියලා.ඉතින් අපේ නඩේ අක්කලා අයියලටත් ඕනෙ වුනේ යන්න නිසා, කට්ටිය කෑගැහුවා යන් කියලා. ඔන්න අර මනුස්සය පෙන්නුව දිහා අපි ගියා.ඇත්තටම මටනම් එතන කොහෙත්ම ඇල්ලුවෙ නෑ දැක්ක ගමන්. ඒවා මාළු අල්ලන්න යන බෝට්ටු වගේ. අපේ අම්මායි , නැන්දා යිත් වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ.අක්කලා අයියලාගෙත් මූණු එච්චරටම හොඳ නැති බවක් තමා පෙනුනේ.

ඒත් අන්තිමට කොහොමහරි කට්ටියගෙ තිබ්බ කළබලේට පරවි දූපතට ඒ බෝට්ටුවකින් යන්න තීරණය කලා. එතන හිටිය එක මනුස්සයෙක්ට දෙන්නෙක්ට හැර අනිත් අයට සිංහල බෑ. දෙමළෙන් තමා ඒ අය , ඒ අය කතා කරගත්තෙ. සිංහල කතා කරපු අයටත් හරියටම සිංහල  බෑ.  "කොටිද දන්නෙත් නෑ මුං" කියලා අපේ ලොකු අම්මා අපේ අම්මගේ කනට කරලා කියනවා මට ඇහුනා.ඉඳගන්න සීට් තිබ්බෙ නෑ ඒ බෝට්ටුවෙ. මාළු අල්ලන්න යන එකක් කියලා හිතුනෙත් ඒකමයි.ලී පෙට්ටි දෙකක් තියලා ඕකෙ තමා කීපදෙනෙක් වාඩි වුනේ. අනිත් අය හිටගෙන. මායි මල්ලියිත් අම්මා එක්ක ඉඳගෙන උන්නෙ. අපේ චණ්ඩි අක්කලා අයියාලා හිටගෙන.තාත්තය්, මහප්පායි ත් හිටගෙන.

ඔන්න බෝට්ටුවෙ ඔක්කොම අපි දොළහයි , අර බෝට්ටුව අරන් යන මනුස්සයයිත් එක්ක 13 දෙනෙක්. ඇත්තටම ඒක අවදානම් ගමනක් කියලා හැමෝටම දැනුනා වුනාට කවුරුත් කතා කලේ නෑ.. බෝට්ටුවෙ නැගලා ටික දුරයි යන්න හම්බුනේ. මාළු දැළක එන්ජිම පැටළුනා. ඔන්න කට්ටියම හොදටම බය වුනා. ඒත් එක්කම බෝට්ටුව නැවතුනා. රැල්ල ගහනවා පුදුම සැරයි. බෝට්ටුව පැද්දෙනවා. අර බෝට්ටුව ගෙනියන මනුස්සයාට සිංහල මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.. ඒ මනුස්සයා බෝට්ටුව ස්ටාර්ට් කරගන්න දගලනවා. කොහොමහරි ඔන්න මාළු දැළෙ පැටළුම ලෙහා ගෙන ටිකක් දුර ගියා. දැන් හැමෝම හොදටම බය වෙලා. ආයෙමත් බෝට්ටුව නැවතුනා.එන්ජිම නතර වෙනවා සැරෙන් සැරේ.මේකනම් හොදටම අවදානම් කියලා කට්ටියටම තේරුනා.ආච්චි අම්ම ඉතිපිසෝ ගාථාව මතුරනවා ඇහුණා. මං අම්මට තුරුල් වෙලා බයේ ගැහී ගැහී හිටියා.අපි පරවි දූපතට යන අතරතුර හතර පස් සැරයක්ම මේ විදියට වුනා. අපේ ගමනේ කිසිම සතුටක් තිබුනෙ නෑ..

කොහොමහරි දූපතට ගියා. එදානම් මහ පුදුම දවසක්. හතරවටේම කළු කරගෙන මහා වැස්සක් එන්න හැදුවෙ. අපිට වැඩිවෙලාවක් දූපතේ ඉන්න ලැබුනේ නෑ.. ආපහු අනිත් පැත්තට බෝට්ටුවට නැගලා එන්න පිටත් වුනා.වැඩි දුරක් එන්න වුනේ නෑ. බෝට්ටුව නැවතුනා. ලොකූ.. රැල්ලක් ඇවිත් බෝට්ටුව උඩ ගිය පාරට මහප්පා ව විසික් වුනා බෝට්ටුවෙ අනිත් කොනටම.කට්ටියම කෑ ගැහුවා. දෙයියනේ මල්ලි අඩන්න ගත්තා. එතකොට එයාට අවුරුදු හයයි.මල්ලි අඩන්න ගත්තහම මාත් අඩන්න පටන්ගත්ත නෙවෙයි මට ඇඩුනා බයටම. අම්මා අපිව බදාගෙනම හිටියා. හැමෝම බය නොවී බුදු ගුණ සිහි කරගන්න කියලා ආච්චි අම්මා කිව්වා.එවෙලේ ඇත්තටම මට හිතුනා බෝට්ටුව පෙරළෙයි කියලා. අපි මැරෙයි කියලා හිතුවෙ. විනාඩි 5ක් විතර බෝට්ටුව එන්ජිම නැවතිලා තිබුනා.

ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න කිවාලු. මෙන්න වහින්න පටන් ගත්තා. මහ හයියෙන් අකුණු ගහනවා. අපේ ඔළුව උඩින් අකූණු ගහනවා වගේ. වහලයක් නැති නිසා හොදටම තෙමෙනවා. ඒ අතරේ ජීවිතාරක්ෂක ඇදුම් ඇදගෙන වහල තියන, සීට් තියන බෝට්ටු වල මිනිස්සු විනෝදෙන් යනවා පේනවා.
බෝට්ටුව මග දිගට නැවති නැවතිමයි ගියේ.. එන්ජිම නවතින වාරයක් ගානෙ මට හිතුනෙම මේක පෙරලිලා අපි මැරෙයි කියලා.ගොඩබිම පෙනෙද්දි තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ...අන්තිමට ගොඩට ආවමයි කට්ටියටම හුස්ම වැටුනේ..

අන්තිමට හැමෝම පසු තැවුනා අපේ නොසැළකිලිමත් කම ගැන. මෝඩ කම ගැන.නොදන්න පලාතකට ඇවිත් මෙහෙම හොයන්නෙ බලන්නෙ නැතිව එක සැරේටම මෙහෙම ගමන් යනවට හොඳ පාඩමක් කියලා තාත්තා කිව්වා.
ඇත්තටම කාටත් ඒක හොඳ පාඩමක්. මීට අවුරුදු ගානකට කලින් වුනු සිද්ධියක් වුනත් අදටත් අපි කට්ටිය එකතු වුනාම මේ සිද්ධිය මතක්  කරනවා..මටත් ඒක කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.. මොකද ඇත්තටම මරණ බය ඇති වුනු දවසක්.

ප.ලි-පෝස්ට් එක දිග වැඩි වීම ගැන කණගටුව...!!!! 

Post Comment

16 August 2011

දිනේ.... දිනේ... සුදු අයියාගේ උපන් දිනේ.......!!!!

ළගකදි  විභාගෙකුත් තියනවා. මේ හදිස්සියෙන්ම ඇවිත් පෝස්ට් එකක් දාන්න හිතුවෙ විශේෂ හේතුවක් නිසා.මේක ලියන්න ඕනෙ හෙට.ඒත් හෙට මට ලියන්න වෙන්නෙ නැති නිසා අදම ලියන්න හිතුවා.



   හෙට මගේ සුදු අයියගෙ උපන් දිනේ.22 වෙනි උපන් දිනේ.දැන් බලනව ඇතිනෙ කවුද මේ සුදු අයියා කියලා.සුදු අයියා කිව්වට මොකද මෙයාට. සුදු නම් නෑ මෙයා. හැබැයි කියන්නෙ එයා සුදුයි කියලා.මගේම අයියා තරම් හුගාක් ළගයි මට.ඒකනෙ මෙහෙම පෝස්ට් එකක් දන්න හිතුවෙත්.

ඉතින් මේ සුදුයි කියන අයියාව මං දන්නෙ ඉස්කෝලෙ යන කාලේ ඉඳන්මයි. ඉස්කෝලෙ 8 පන්තියෙ ඉඳන් දන්නවා. දන්නවා කිව්වට නමින් විතරයි. මගේ හොඳම යාළුවාගෙ වෑන් එකෙ තමයි ඒ කාලෙ සුදු අයියාත් ගියේ.අපේ ගෙවල් පැත්තට කිට්ටුව තමයි මෙයත් හිටියෙ.ඒ දවස් වල මෙයා මහ ආඩම්බරයි. ටිකක් ඔළුවෙන් තමයි හිටියේ. මෙයා ගියේ කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට. ඒ  වගේම මොළකාරයෙක්.ඉන්නෙ නිකන් 10ටවත් ගනින්න බෑ වගේ. පෙනුමත් හරිම අහිංසකයි.ඒ කාලෙ ගෑණූ ළමයින්ගෙන් එහෙමත් ඉල්ලුමක් තිබ්බා මෙයාට.(මම නම් වැඩිය ගනන් ගත්තෙ නෑ එදා ඉඳන්ම).ඉතින් මගේ යාළුවගෙ වෑන් එකේ ගිය හින්දා මම සුදු අයියාව දන්නෙ.ඒ හැරුනාම මම වෙනම මෙයාව දැනගෙන හිටියෙ නෑ..

සුදු අයියාගෙ ඒ කාලෙ ඉඳන් තිබ්බ අඩම්බරකම නිසා මටත් මෙයාව වැඩිය අල්ලන්නෙ නෑ.ආඩම්බරකම කියන්නෙ ඉතින් අයියගෙ වැඩි කතා නෑ.හිනා නෑ.ටිකක් අමුතුයි කියලයි හිතුනෙ.ඒ නිසා බැන බැන   හිටියේ මාර ගනන් කියලා.ඔන්න ඊටපස්සෙ සෑහෙන කාලෙකට පස්සෙ.ඉස්කෝලේ කාලෙන් පස්සෙ. ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ වගේ මට සුදු අයියාව හම්බුනා ෆේස්බුක් එකෙන්.මෙයා ඉතින් සෑහෙන්න වෙනස් වෙලා. මහත් වෙලා,ලස්සන වෙලා, තවත් සුදු වෙලා. ඔන්න ඉතින් ඉස්සර ආඩ්ම්බරකම එහෙම්ම තියෙනවා.. කතා කළත් වැඩිය නෑ. ටිකයි. අවශ්‍යම දේ විතරයි.හැබැයි අවංකවම කියන්න ඕනෙ සුදු අයියගෙ බොරු සෝභන නෑ..ඒක හරියටම දැනගත්තෙ ළගින්ම ආශ්‍රය කරද්දියි.

ඔහොම කාලයක් යද්දි සුදු අයියා පුදුම ෆිට් වුනා. දැන් නම් මම කලින් කිව්ව වගේ මගේම  අයියා වගේම තමා.එදා මෙදා තුර මට හුගාක් උදව් කලා.දුකේදිත් සැපේදිත් මගෙම අයියා වගේ එක විදියටම ළගින්ම හිටියා.ඉගනීම සම්බන්ධ ප්‍රශ්න වලදි, වගේම ජීවිතේ මට මූණ දෙන්න සිද්ධ වුනු සමහර ප්‍රශ්න වලදි මට ලොකු ශක්තියක් වුනා.අදටත් එයාගෙම නංගියෙකුට වගේ මට හුගාක් උදව් කරනවා.කොච්චර දුකින් ඉන්න වෙලාවක වුනත් මං,  අයියා මොකාක් හරි පිස්සුවක් කියවලා හිනා ගස්සනවා.පුළුවන් ගොඩාක් වෙලාවට කෝල් එකක් දීලා හරි මං හොදින් ඉන්නවද, වැඩ කරනවද,ඉගනගන්න වැඩ කොහොමද එහෙම හොයලා බලනවා.

හැබැයි හොදම වැඩේ කියන්නෙ , මගේ අයියා කොච්චර හොදද කියන්නෙ,  මෙයාට මගේ උපන් දිනේ අමතක වුනා.හැබැයි ඒකට සෑහෙන්න බැනුම් අහගත්තා. මට තරහත් ගියා.දුකත් හිතුනා.ඊටප්ස්සෙ ඉතින් මොනා කරන්නද, අයියට සමාව දෙන්න නංගි කෙනෙකුට බැරි කමක් නෑනෙ. මාත් ඉතිං ඒකට සමාව දුන්නා. හැබැයි ඔන්න සුදු අයියාගෙ නංගිට නම් එයාගෙ උපන් දිනේ අමතක වුනේ නෑ....හැමෝටම කලින් අයියට විෂ් කරන්න ඉන්නෙ මං.

ඔන්න ඉතින් සුදු අයියේ.... ඔයාට මේ ලබන උපන් දිනේ සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා ඔයාගෙ නංගියා මුළු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා... ඉදිරියට තියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙලා, විභාග ඔක්කොම පාස් වෙලා,හැම බාධකයක්ම  බිඳගෙන ඉස්සරහට යන්න ශක්තිය ලැබිලා,ඔයාගෙ අනාගතේ සතුටින් ඉතිරෙන්න කියලා සුභ පතනවා....

සුදු අයියට සුභම සුභම සුභ උපන් දිනයක් වේවා.........!!!!!!!

Post Comment

14 August 2011

තටු සිඳුනු සමනළී.... 2 වෙනි කොටස

පලවෙනි කොටස කියෙව්වෙ නැත්තම් මෙන්න කියවන්න..

 එතැන් සිට.....




“කොහොම හරි එක පාරින්ම විභාගෙ පාස් වෙයන් මගෙ දුවේ.. ඔය විඳින දුක එක සැරයයිනෙ එතකොට..”


“ඔව් අම්මා. කොහොමහරි එක සැරෙන්ම ගොඩ යන්නයි මාත් බලන්නෙ. අමාරුයි තමා. ඒත් උත්සාහ කරනවා පුළුවන් තරමක්.බැරි ව්එන එකක් නෑ..”


“බුදු සරණයි මගෙ දුවට!!!!”

උදේ පාන්දර ඉස්කෝලෙ යන්න කලින් බුදු පහන පත්තු කරලා අම්මට වඳින්න යද්දි අම්මා කියපුවා මට හදිස්සියෙම මේ වෙලාවෙ මතක් වුනා.අපේ පංති භාර මිස් තමා භෞතික විද්යාව උගන්වන්නෙ.මිස් දෙමවුපියොන්ගෙ දුක් මහන්සිය ගැන මතක් කරලා , විභාගෙ පාස් වෙන එක කොයිතරම් වැදගත්ද කියල මතක් කරලා දේශනයක් දෙද්දි මට ඉබේටම වගේ මතක් වුනේ අම්මාවයි.සමහර වෙලාවට මිස් කියන කතා වලින් පුදුම හයියක් එනවා හිතට ඉගනගන්න.

“ඒයි මධූ …… උඹ දවල් හීන බලනවද???”

ශමල්කාගෙ කෑගැහිල්ල නිසා මම ගෙදරින් මිදිලා ආයෙමත් ඉස්කෝලෙට ආවා.

“නෑ ශමල්කා. මං මේ කල්පනා කලේ අපි මේ A/L විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ නේ??සෑහෙන්න මහන්සි වෙන්න වෙයි”

“අහ් ඒකට මේ මිස් බණ කියන වෙලේ දවල් හීන බලලා හරියනව්ද බං?? අපි හොඳට වැඩ කරමු.”

ශමල්කා එහෙම කිව්වෙ ඇත්තටම හිතට හයියක් අරන්.මටත් ඒ වචන ටික හයියක් වුනා.මම දිග හුස්මක් අරන් පොත් ටික අස් කරලා බෑග් එකට දාගත්තෙ ඉස්කෝලෙ ඇරෙන්න බෙල් එක වදින මොහොතෙමයි.මුළු පංතියම එකම කළබලයක්.ගෙදර දුවනවට වඩා ටියුෂන් පංතියට දුවන්නයි හැමෝගෙම කළබලේ තිබ්බෙ.

“මධූ… දුවන්න ලෑස්තිවෙලා ඉන්න.බස් එකට නැගලා සීට් එකක් අල්ලගන්න ඕනෙ.”

හසී අපේ පංතිය දොරකඩට ඇවිත් කෑගැහුවා.

පොඩි කාලෙ ඉඳන් එකටම හිටපු,දුක සැප බෙදගත්ත දන්න කියන ළගින්ම හිටපු හොඳම යාළුවො ටික ඔක්කොම එහා පංතියෙ තමයි ඉගනගත්තෙ.ඔක්කොමලා සංයුක්ත ගණිතය කළත් අපිට පංති දෙකක ඉගනගන්න වුනේ මගේ අවාසනාවකට කියලයි අදටත් මං විශ්වස කරන්නෙ.පොඩි කාල් ඉඳන්ම එකට උන්නු දන්න කියන යළුවො ටික ළගින් නැති අඩුව ඒ තරමට මට දැනුනු අවස්ථා තිබුන නිසා.ගාථා ගායනා කරලා,ඉස්කෝලෙ අරෙන බෙල් එක වැදුනා විතරයි කඩි ගුලක් ඇවිස්සුන වගේ පොදි කන ළමයි අතරේ මාත් හනි හනිකට පංතියෙන් පැනගත්තෙ බස් එකට දුවන්න.ඒ වෙනකොටත් මගේ අතිජාත යාළුවො සෙට් එකම මටත් කළින් පංති වලින් පැනගෙන ඉවරයි. හංසි,හසී,නිශා,දිලූ, තමාෂි තරගෙට වගේ දිව්වා.

ඒත් අපි බස් එකට යන මොහොත වෙද්දිත් ඔක්කොම සීට් පිරිල ඉවරයි. අපිට වඩා ඉක්මණට ආපු ළමයි ඒවගෙ වාඩි වෙලා.සුපුරුදු පරිදි එදත් අපි හිටගෙන.


“ ඉඳගෙන යනවා වගේද මෙහෙම හිටගෙන පැද්දි පැද්දි ,හුළං වැදි වැදි යද්දි. කොච්ච්ර ජොලිද…”    

හංසි කවදත් වගේ සුපුරුදු කටකාරකම ඉස්සරහ දැම්මා.දිලූ සහ තමාෂි නුගේගොඩ පංති තිබෙන දිනවලට අපේ බස් එකේ යන්න එන එක කොහොමත් විනෝදෙන් යන අපිට තවත් විනෝදජනක වුනා.

“ ඒක නෙවෙයි හසී…කොහොමද combined maths class එක??”

“හම්මා…… කියලා වැඩක් නෑ… නියමායි..”

“ෂුවර් එකට මේකි පැනගෙන යන්නෙ කවුරුහරි ඇති බලන්න.” තමාෂි පටන්ගත්තෙ හොඳකට නෙවෙයි කියල මට හිතුනා.


“අනේ… අපිටනම් කවුරුත් නෑ බලන්න.. ඔය සමහරුන්ටනම් ඉතින් ගිය දවසෙම පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදිලාලු”

නිශා ඇස් කරකව කරකව කිව්ව විදියට හැමෝගෙම කුතුහලය ඇවිස්සුනා කියලා මූණු බැලුවහම පෙනුනා.නිශා මේ වටින් ගොඩින් කියන්න එන්නෙ එදා මං කොළ ගුලි ගහපු අහිංසකයා ගැන උනන්දු වුන එක ගැනවත්ද.. එහෙම වුනොත්නම් ඉඳලා හමාරයි. මුංගෙ කටවල් ගැන නොදන්නවයැ මම.

“කාටද බං ඒ?? පංතිය දාල යන්න බැරි තරම් හිතට වැදුනෙ?? මේ අපේ… ම…ධූ… ටවත් ද??”
හරි..හිතුවා වගේම හරි.. දන් ඉතින් ඉඳලා ඉවරයි.

“ මොනා…. මට?? මටනම් එහෙම විශේෂයක් නෑ… පංතිය හොඳයි.. නියම සර්.. හොදට උගන්වනවා”
වෙලාවෙ හැටියට මාත් කටට ආව එකක් කියගත්තා. ඒත් හසීගෙන් බේරුමක් වුනේ නෑ.අන්තිමට මට එදා සිද්ධ වුනු සිද්ධිය කියන්නම වුනා.

“එහෙනම් ඒකත් ජස සිරි මංගලම් කිව්වාලු”

“ ඔන්න ඔන්න ඕකනෙ බැරි මොකක්හරි කියන්න.ඕගොල්ලො හිතන්නෙම අනිත් පැත්ත. මං කිව්වෙ ඒ පිරිමි ළමයා හරිම අහිංසක පාටයි කියලනෙ.”

“හා හා අපි බලමුකෝ… ඉස්සරහට.. අපිත් ඉන්නවනෙ නංගී…දවසක පෙන්නන්නකෝ අපිටත් ඔය අහිංසක කොලු පැටියාව”

තමාෂි මගේ කනෙන් අදින ගමන් කිව්වා.

“ඒයි තමාෂි බහින්නෙ නැද්ද ??? නුගේගොඩත් පහුවෙනවා මුන්ගෙ කතා අහන්න ගිහින්…”

දිලූයි තමාෂියි අපෙන් සමු අරන් බහින්න සූදානම් වුනේ නුගේගොඩින්. බස් එක නුගේගොඩින් පහුවෙනවාත් එක්කම ,දෙයියනේ …අහිංසකයා…. මේ එයා නේද??? ඔව් එයාමයි…මේ එයාමයි…..ඒ කියන්නෙ එයාට අද පංතියක්.. රොටරිය පැත්තටනෙ යන්නෙ.

“හසී… බලන්න.. අර අර.. අර බෝයි… “

“මොකාද බං කෝ??? කෝ??”

“අර කොළ ගුලි ගහපු අහිංසක බෝයි අනේ…”

“ඈ…ඔව් නේන්නම්… ඒකා නේන්නම්….හම්මා…. කෙල්ලගෙ ලක් එක බලාපල්ලකෝ…දැන් ඉස්කෝලෙත් දැනගත්ත නේ… නියමයි. අපි බලමුකෝ මේ සෙනසුරාදට..”මගේ ඉහේ මලක් පිපුනා වගේ..හිත පුරාම අමුතු සතුටක්… කියගන්න තේරෙන්නෙ නෑ….බලමුකෝ..මේ සෙනසුරාදට එයිනෙ… සෙනසුරාදට තව දවස් දෙකයිනෙ………








3 වෙනි කොටසට

Post Comment

11 August 2011

දුම් වැටියයි....... ඔහුයි.......


එයාට තිබ්බෙ හිත හිරි වැටෙන
හිනාවක්....
නෑ ඒක ඉනාවක්.....
කවදාවත් පිළිවලකට නොපීරපු කොණ්ඩෙ
මූණට ගෙනත් තිබ්බෙ
අමුතුම එළියක්...
නෑ ඒක මායාවක්......
තරු කැට වගේ ඇස් දෙක
දැක්කහම පේනවා අවංකකම
තියන උජාරුවක්...
නෑ ඒක ආභරණයක්.....
වැඩි කතාවක් බහක් නෑ
ලොකුකම් සෝභන නෑ
ටිකක් එක විදියක්....
නෑ ඒක ආඩම්බරයක්.....
ඔක්කොම හොදයි එක දෙයක් නරකටලු
එල්ලගෙනලු අතේ බැඳගෙනලු හිතින්
අතාරින්න බැරි යාළුවෙක්....
නෑ ඒක දුම් වැටියක්.......

Post Comment

07 August 2011

අලුත් ජීවිතයක් ගැන හීනයක්.........

ජීවිතේ සිද්ධ වෙන සමහර දේවල් නිසා මිනිස්සුන්ට ජීවිත එපා වෙන අවස්ථා තියනවා.සමහර වෙලාවට හිතෙනවා ඇයි මෙහෙම දේවල් අපිටම වෙන්නෙ කියලා.මේ දුක් ඔක්කොම අපිටම විතරද කියලා හිතෙනවා.මටත් එහෙම හිතුනු හිතෙන වෙලාවල් හුගාක් තියනවා.ඕන දුකක් ඉවසන්න පුළුවන් තමන්ට තමන් ගැන දැනෙන දුක තරම් ඉවසගන්න අමාරු දුකක් තවත් නෑ කියලයි මං හිතන්නෙ.

පුංචි කාලෙ ඉඳන් මාව දන්න අඳුරන ගොඩාක් අය කියන දෙයක් තමයි මං ඕනාවට වඩා හිතනවා වැඩියි කියන එක.මටත් ඒක අද වෙද්දි නෙවෙයි,හුගාක් ඉස්සර ඉඳන් දැනුනු දෙයක්.ඒ වගේම තමා පුංචි කාල ඉඳන්ම මම පොඩි දේටත් අඬන නිසා හුගාක් තැන් වලදි,හුගාක් අයට මාව ඇඬීම නිසා මතක හිටපු චරිතයක් උනා.ඉස්කෝලෙදි,නෑදෑයො අතරදි,යාළුවො අතරදි මගේ ඇඬිල්ල නිසා අමතක නොවන අවස්ථා ඇති කළා.අදටත් මගේ ජීවිතේ ලොකුම දුර්වල කමක් විදියට,හදාගන්න බැරි දුර්වල කමක් විදියට මම දකින ලොකුම දේ තමා මේ පොඩි දේටත් ඇඬෙන එක.මම හුගාක් උත්සාහ කලා,උත්සාහ කරනවා හිත හයිය කරගන්න.ජීවිතේ හම්බෙන පුංචි පුංචි බාධක ළගදිත් නොදරුවෙක් වගේ අඬන්නෙ නැතිව ඒවට මූණ දෙන්න හිත හයිය කරගන්න මම කැමතියි.ඒත් දෙයියනේ මං කොච්චර උත්සාහ කලත්,කොයිතරම් එහෙම ඉන්න හැදුවත් මට ඒක අද වෙනකම් කරන්න බැරි වුනා.ඒ නිසාම මම ජීවිතේ හුගාක් තැන් වලදි පැරදුනා කියලා මට හිතෙනවා.පොඩි දේටත් හිත රිද්දගන්න එක,පුංචිම දේකටත් කලබල වෙලා දුක් වෙන එක,දුක කියන එක බලෙන්ම ජීවිතේට එල්ල ගන්න එක මටම මහ පුදුම වදයක් වෙලා දැන්.නමුත් මම නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්. එහෙම හිනා වෙලා ඉන්න ආස කෙනෙක් . ඒත් සමහර සමහර පුංචි දේවල් වලදි හුගාක් දුක් වෙනවා. ඕනාවටත් වඩා.

      සමහර මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ,එදිනෙදා ජීවත් වෙන්න ආශ්‍රය කරන්න ගියාම මේක තදින්ම දැනෙනවා.හුගාක් මිනිස්සුන්ගෙ හැසිරීම් නිසා හිත රිදෙනවා වැඩියි.මිනිස්සු කියන්නෙ හුගාක් වෙලාවට ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී ජාතියක්.ඉතින් සමාජෙ ජීවත් වෙද්දි මිනිස්සු එක්ක වැඩ කරද්දි ,ඒ දේවල්වලට මූණ දෙන්න හිත හයිය වෙන්න ඕනෙ.හිතෙ එකක් තියාගෙන මූණට වෙනෙකක් කතා කරන,වචන වලින් මිනිස්සු මරන්න හදන,පට්ට පල් බොරු ගොතල කියන,ළගම ඉන්න ,එකට බත් එක බෙදාගෙන කන තමන්ගෙ යාලුවා පාගගෙන උඩට එන්න දගලන ,අවස්ථාවාදී කපටි මිනිස්සු ඉන්න මෙහෙම ලෝකෙක, මේ තරම් බොළඳ වෙලා බෑ කියලා මට හිතිලා තියෙන්නෙ.

ජීවිතේ සමහර තැන් වලදි මං බොළද උනා වැඩියි කියලා අද වෙද්දි මට හිතෙනවා.ඒ නිසා මට අහිමි වුනු දේවල් තිබ්බා.මීට වඩා දරාගෙන හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න තිබුනනම් කියලා හිතෙනවා.දුක බදාගෙන දුක මත්තෙම හැපී හැපී මගේ ජීවිතේ එක තැන පල් වුනා වැඩියි කියලා හිතෙනවා.කුණු තියන තැන් වලට එකතු වෙන්නෙ කුණු වගේ.දුක තියෙන්න තියෙන්න එකතු වෙන්නෙම දුක්.ඒත් මං දැන් පරක්කු වැඩියි.අතීතය වෙනස් කරන්න අමාරුයි.ඒත් අනාගතේ වෙනස් කරගන්න ආසයි.ඒත් කොච්චර වෙනස් වෙන්න උත්සාහ කළත් ඒක මේ කියන තරම් ලේසි නෑ.මම හුගාක් මහන්සි උනා.ඒත් තවමත් බැරි උනා.

පුංචි ප්‍රශ්නෙකදි,කරදරයකදි,දුකකදි බිමටම ඇදගෙන වැටෙන්නෙ නැතිව උපේක්ෂාවෙන් දරාගන්න මටත් තිබ්බනම්...පුංචිම දේකටත් මගේ ඇස් වලට කඳුළු නො එනවනම්....මගේ හිත නොරිදෙනවනම්.සාමන්‍ය විදියට ඒ දේවල් දරාගෙන ජීවිතේට මූණ දෙන්න තිබ්බනම්.....ඉස්සරහටවත් මට එහෙම ඉන්න තියෙනවනම්... මට වෙනස් වෙන්න තිබ්බානම්. එදිනෙදා වෙන දේවල් එක්ක මට දැන් එහෙම හිතෙනවා. අනේ ..... මට වෙනස් වෙන්න තිබ්බානම්...

Post Comment

02 August 2011

ආදරේ....අහස තරම්....



මම ඔයාට මහ ගොඩාරියක් ආදරෙයි කියලා
මුළු ලෝකෙටම පේන්න
ලස්සනට ලියන්න
හීනයක් තිබුනා මට.......
අච්චරක්ද මෙච්චරක්ද කොච්චරක්ද
කියලා මනින්න බැරි අහස පුරාම
ඔයාට මගේ හිතේ තියන ආදරේ
අකුරු කරන්න
මග බලන් හිටියා මං.....
වළාකුළු එක්ක යාළු වෙලා
සුළගට කවි කියලා
ඉරටයි හඳටයි අරාධනා කරලා
මගේ ආදරේ නිල් අහස පුරාම ලියන්න
මං පෙරනිමිති බැලුවා.....
අනේ.........
මගේ හීන බොද වුනා....
බලාපොරොත්තු සුන් වුනා...
මගේ ආදරේ අහස පුරා අකුරු කරන්න උන්නු මට
ඔයාගෙ ආදරේ හිමි නොවන දුක
ලියන්න වුනා.........
මම මේ ඇස් වල කඳුළු හංගගෙන
මගේ (අ)හිමි ආදරේ කවි කලා....
ඉන්න තැනකින් අහස බලන්න
රත්තරං.....
මේ ආදරේ ඔයාට......

Post Comment