නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 September 2011

තටු සිඳුනු සමනළී - 8 වන කොටස

මෙදා සැරේ නම් ඔන්න ඩිංගක් විතර මම ප්‍රමාදයි... සමාවෙන්න ඕනෙ ඒකට. හිතූ මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ . ඔන්න ඉතින් අද කතාවෙ 8 වෙනි කොටස දැම්මා. කියවලා හොඳ, නරක, අඩුපාඩු කියන්න. ගල් මුල්, මල් ඕන එකක් භාරගන්නවා. ;) ඉතිරිය ලියන්න ඒ අදහස් ශක්තියක් වෙයි.. කියවන්න කම්මැළියි වගේනම් ඒත් කියන්න.....

මුල කොටස් කියවපු නැති අයටයි, කතාවෙ මුල අමතක වුනු අයටයි, මෙන්න මුල් කොටස් ටික........

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7

අද එතැන් සිට.............
------------------------------------------------------------------------------------------------------------

ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නෙ හරිම පුදුම විදියට. හිතන්නෙවත් නැති මොහොතක, එක තත්පරයකින්, එක ඇසි පිය හෙලන ක්ෂණිකයෙන් ජීවිතේ සමහර දේවල් වෙනස් වෙනවා.සිතුවිලි වෙනස් වෙනවා.සමහර වෙලාවලදි අපි හිතන දේ නෙවෙයි කරන්නෙ. අද වුනෙත් එහෙමයි. මට දසුන් ළගඳි කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වුනා.එයා ළගඳි මම කලබල වුනු තරමට , මම දුවගෙන ආවෙ හිතන්නෙවත් නැතිවයි. කාලය සමහර දේවල් වෙනස් කරන්නෙ මහා පුදුමාකාර විදියටයි.

"ෂිහ්....!!!! මගේ ගොන් කම. දසුන්ගෙන් තවමත් රිප්ලයි එකක් නෑ හසී....අනේ එයා තරහ වෙලා ඇති."

මට ඇඬුනා ද, ඇඬෙන්න ගියාද, මම දන්නෙ නෑ. ඒත් මට එහෙම කියවුනේ හිතේ පතුලෙන්ම ආපු ගින්දරත් එක්ක, ඉවසගෙන ඉන්න බැරිම තැනයි.

"අනේ මෝඩි..!! දැන් අඬන්නෙ නැතිව හිටපිය. හැමදේම වෙන්නෙ හොඳටයි කෙල්ලෙ.උඹ එහෙම ආව එක හොදයි කියලත් මට දැන් හිතෙනවා. ටිකක් ගණන් උස්සන එක හොදයිනෙ."

"අනේ හසී.. ඒත් එයා යාළුවොන්ගෙන් හොදටම බයිට් වෙලා නම් එහෙම? "

"හ්ම්ම්ම්..... එහෙමනම් වෙන්න බැරිකමක් නෑ  බං. දන්නෙ නැද්ද කොල්ලොන්ගෙ හැටි.උන්ට ඔහොම දෙයක් වුනාම ඉතින් , ඕක ඇති කොල්ලෙක්ව නැති  වෙන්නම බයිට් කරන්න."

"හයියෝ.. හසී.. දැන් මොකද කරන්නෙ?"

කම්මුල් රතු වෙලා, ඇස් වලට කඳුළු උනද්දි, මම වෙවුලන කටහඬින් හසීගෙන් ඇහුවෙ දසුන්ගෙන් පිළිතුරක් තවමත් නැති තැනයි.

"කරන්න දෙයක් නෑ... අපි එහෙම වුනොත් හවසට දසුන් එක්ක කතා කරමුකෝ. දැන් කලබල නොවී ඉන්නකෝ හොද කෙල්ල වගේ."

ඔය අතරේදි මම බලාපොරොත්තුවෙන් උන්නු SMS එක ආවා.

"It's Ok madhu...... mama tharaha naa.eth aayeth maawa dakkahama duwanna epaa.dan clz eke wada karanna.dnt wry. ok"

දසුන් එවලා තිබූනේ එච්චරයි.මට සතුට දරාගන්න බැරිවුනා.

" පවු ඒ අසරණයා. මෙච්චරට අහිංසක හිතක් නෙ මම මග දාලා දුවගෙන ආවෙ.ආයෙත්නම් එහෙම කරන්නෙ නෑ මං"
මගේ හිත ඇතුලෙන් මම පසු තැවුනා.

"දෙයියනේ.... දසුන්... එයා තරහා නෑලූ..දසුන් තරහා නෑලු හසී..එයා තරහ නෑලූ.."

මම හිතේ තිබ්බ සංතෝසෙ වචන වලට පෙරළුවෙ පුදුම සද්දෙකින්... ඒ හඬ ආවෙ හදවතින්මයි..

"හා හා කෑ ගහන්නෙපා.සර් ට ඇහුනොත් අපිව එළියටම දායි.දැන් හරි නෙ..දැන්වත් වැඩක් කරන්න මධූ..."

"ඔව්. දසුනුත් එවල තිබ්බා, දැන් වැඩ කරන්න, එයා තරහා නෑ.. ඒත් එයාව දැක්කහම දුවන්න එපා කියලා."

"හ්ම්ම්ම් ... එහෙමද?? මේකිට ඉතින් අපි කිව්වට වැඩක් නෑනෙ නිශා... දසුන් කිව්වාහම තමා අහන්නෙ."

"හයියෝ... නෑ නෑ.. හසී... ඔන්න ඉතින්...."

"හරි හරි.. දැන් ගණන් හදමු.. පස්සෙ කතා කරමු ඕවා ගැන."

හසී මායි නිශායි සියලු අතුරු කතා අමතක කරලා වැඩේට බැස්සා. පංතියට ආපු කාරණේ කරගන්න ඕන නිසා. වැඩ ටික උනන්දුවෙන් කරන්න උත්සාහ කළා. මොන දෙයක් සිද්ධ වුනත් ඉගෙනීම කියන දේ අතපසු කරගන්න හොද නෑ කියන එක පුංචි කාලෙ ඉදන් දැනන් උන්නු දෙයක් නිසාත්, අමාරුවෙන් හරි හිත හදාගෙන "ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ  තකා " කියලා දිගටම හොදින් වැඩ කරගෙන පංතියෙ දවස ගෙව්වා.
------------------------------------------------------------------------------------------------------------

කාලය ඉක්මණටම ගත වෙලා,හවස පංතිය ඉවර වුනා.,මමයි හසීයි නිශායි, කෞශියි හිමින් හිමින් පංතියෙන් එළියට ආවා. දසුන් නම් පේන්න හිටියෙ නෑ.. මම ඒ දිළිසෙන ඇස් හෙව්වත් මට මුණගැහුනේ නෑ..හිත චුට්ටක් විතර චංචල වුනා.දසුන් ආයෙමත් මගේ ඉසරහට නෑවිත් ඉදීවිද මංදා.අද වුනු දේ නිසා එයා එහෙම දෙයක් කළත් සාධාරණයි.එහෙම වුනොත් මම එයා එක්ක කතා කරනවා, නැත්තම් කෝල් එකක් දීලා හරි අද වුනු දේ ගැන හොදටම පැහැදිලි කරනවා. එයා තේරුම් ගනීවි.ඒත් දසුන් එළියට යනව මම දැක්කෙ නැත්තෙ ඇයි...

"කොහෙ ගියාද මෙයා මගේ ඇස් වලින් හැංගිලා?"

මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ ඒක.

"මොනාද බං උඹ මේ ඉස්සි ඉස්සි බලන්නෙ?"

"වෙන මොනාද හසී.. මෙයා ඉතින් මේ හොයන්නෙ ප්‍රිය දසුන වෙන්න ඇති"

සද්දයක් නැතිව අහිංසකී වගේ හිටියට මොකද කෞශිත් මෙහෙම වෙලාවටමයි හොද හොද කතා කියන්නෙ.

"ඔව් ඔව් ඔව්. මෙයා මෙහෙම ඉස්සි ඉස්සි දසුන්ව හොයනවා එයාගෙ අර මැටි යාළුවො ටික දක්කොත් නම්.... ශුවර් එකටම උන් කියනවා මෙහෙම......"

"කොහොමද?කියපන් බලන්න"

කට ඇද කරලා මමත් නිශා ගෙන් එහෙම ඇහුවෙ , එවේලේ හිතේ තිබ්බ හිතුවක්කර කමට වගේ.

"අහ් උන් කියයි..... වංගු වංගු ගලන කොටයි ගගක් ලස්සන.... ඉස්සි ඉස්සි බලන කොටයි මධූ ලස්සන...... කියලා"

නිශාගෙ කතාවට හසී, කෞශී මහ හයියෙන් හිනා වුනා.ඒ කතවටනම් මටත් හිනා නොවී ඉන්න බැරි වුනා.

"අනේ නිශා උඹටනම් ඔව්වා කොහෙන් කටට එනවද මන්දා....මම කවදත් ලස්සනයි හරිද කෙල්ලෙ..??"

"හරි හරි.. අපි නෑ කිව්වෙ නෑනෙ..."

අපි හිමින් හිමින් රොටරියෙ ගේට්ටුව ළගට්ත් ඇවිත්....දසුන් නම් පේන්නවත් නෑ... මගේ හිත දුකින් පිරිලා ගියා.වෙනදට නම් අපේ පිටිපස්සෙන් යාළුවො කට්ටියත් එක්ක නුගේගොඩ හන්දියට යනකම් එනව.ඊටපස්සෙ  තාරුකයි දසුනුයි කොහුවලට යනකම් ම අපේ පිටිපස්සෙන්ම එනවා. ඒත් අද...... අද පේන්නවත් නෑ එයා. අද වුනු දේ නිසා ලැජ්ජාවට යන්න ඇති එයා.කමක් නෑ.. ගෙදර ගිහින් කථා කරලම බලනවා.
                                                                                                           

" ඒයි මධූ.. අන්න දසුන්....."

අපි රොටරියෙ ඉදන් ඇවිත්, සමුද්‍ර දේවි එක ළගින් හැරෙද්දිම නිශා බෙරිහන් දුන්නා.

මගේ ඉහේ මලක් පිපුනා.හිත පුරාම ඉතිරිලා ගියේ කියන්න බැරිතරම් සතුටක්.

"අහ් තාරුකයි, දසුනුයි විතරයි ඉන්නෙ.අනිත් එවුන් නෑ... ලොකු දෙයක්..."

කෞශි කිව්වෙ දසුන් එක්ක තාරුකත් ඈතින් හිටගෙන ඉන්න හැටි දැකලයි.

"ඕං මම දැන්මම කිව්වා දසුන් ළගට ඇවිත් කතා කලොත් එහෙම කතා කරපන් හරිද?බහු බූතයෙක් දැක්කා වගේ දුවන්නෙ නැතිව.අන්තිමට අඬන්න ගත්තහම අපිටනෙ නළවන්න වෙන්නෙ"

හසී මගේ කනට ළං කරලා කිව්වෙ සැරෙන් වගේ වුනත් විහිළුවටයි.

අපි ටිකින් ටික දසුනුයි තාරුකයි ඉන්න හරියට ළං වෙද්දිම, දසුන් හරිම අහිංසක විදියට මගේ දිහා බලලා යන්තමට හිනා වුනා.ඒත් ඒ හිනාවෙ, "මෙයා මාත් එක්ක හිනා වෙයිද දන්නෙ නෑ " වගේ කතාවක් ලියවිලා තිබුණා කියලයි මට හිතුනේ. මමත් දසුන් එක්ක හිනා වුනේ අවංකව, හදවතින්මයි.

"මොකෝ මේ අද කට්ටිය හිමින් හිමින් ගාටන්නෙ?"

තාරුක අපි ළගට එද්දිම කෞශිගෙන් ඇහුවෙ අපි දිහාවටත් හිනා බැල්මක් දාල.

"අපි කවදත් හිමින් තමා ආවෙ.ඔයාල මෙතනට ඉක්මණට ඇවිත් බලන් හිටියෙ කවුරු එනකම්ද?"

"අහ්.. අපි මේ මෙතන හිටගෙන හිටියා නිකමට වගේ..පොඩි පරීක්ෂණයක් කරල බලන්න."

" ඒ මොකක්ද අනේ ඒ?"

කෞෂී, හසී, නිශා, තාරුක හිනා වෙවී කියවනවා.මමයි දසුනුයි කතාවක් නැතිව හිමින් හිමින් අනිත් අයත් එක්ක ඇවිදගෙන ගියා.ඒත් ඒ මොහොතට කටින් කතා නොකරපු හුගාක් දේවල් අපි, ඇස් වලින් කතා කලා.

"මේ අපේ දසුන් ව දැක්කහම මිනිස්සු බය වෙලා දුවනවද බලන්නයි අපි හිටගෙන බලන් හිටියෙ මෙතන"

තාරුක නොකියා කිව්වෙ මම අද දවල් දසුන්ව දැකලා දිව්ව එකට කියලා මට හොදටම තේරුණා.ඒ කතාවට හැමෝම මගේ දිහා බලලා හිනා වුනා. මම හසීට රැව්වෙ,"මුන් ටිකටත් මාවම නෙ බයිට් කරන්න ඕනෙ." කියන්න වගේ.                                                          

ටිකින් ටික ඇවිදගෙන යද්දි, තරුකත්, හසීත්, නිශාත්, කෞශිත් මාවයි දසුන්වයි තනි කරලා ඉස්සර වුනා.අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත දසුන් හිමින් මට ළං වුනා.ටිකක් ඈතින් වගේ ඇවිදන් ආපු දසුන් මගේ ළගින්ම ඇවිදගෙන ආවා.දසුන් මොනවත් කියන්න කට අරින්න කළින්ම මම ඉස්සර වුනේ, මගේ වරද නිසායි.

     
"මට සමාවෙන්න දසුන්.මම හිතා මතා ම ඔයාව දාල කතා නොකර දිව්වා නෙවෙයි."

"හරි මධූ... ඒකට කමක් නෑ....අපේ උන්ගෙ කටවල් දන්නෙ නැද්ද?"

"එයාල ඔයාව බයිට් කළාද? අනේ මං හින්දා ඔයා නිකන් කතා අහගත්තා නේද?"

" මම නම් කමක් නෑ මධූ.. ඔයා එතන හිටියානම් ඔයාටත් එක එක ඒවා කියාවි.මටනම් ගාණක් නෑ.. පුරුදුයිනෙ.කොල්ලො එහෙමයි ඒත් ඔයාට ඒවා දරාගන්න බෑනෙ. ඉතින් ගිය එක හොදයි"

" දෙයියනේ....මං නිසා ඔයා ........... අනේ ඔයා පවු....."

මම අමාරුවෙන් කෙළ ටිකක් ගිලගෙන වචන ගලපගත්තෙ පුදුම කලබලෙන්..

" නෑ... මධූ... එහෙම ගාණක් නෑ... උන් ටික මගේ ෆිට් එක. බයිට් කරද්දි ඉතින් එහෙම තමා. ගාණක් නෑ...මට චුට්ටක් නෝන්ඩි වුනාට කමක් නෑ... ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක්.."

"ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක්" මම හිතින් ඒ වචන ටික ආයෙමත් කියෙව්වා.මේ කියවෙන්නෙ ආදරේ මුල් අකුරු නෙවෙයිද?? හැම දෙයක්ම වෙන්නෙ හොදට කියලා කියන්නෙත් ඇත්තක් තමයි.අද සිද්ධ වුනු දේ නිසා, දසුන් මට තවත් ළං වුනා. මට ඒ හිත තවත් ළගින්ම දැනුණා.

"මොනාද කල්පනා කරන්නෙ?"

"මුකුත් නෑ.. දසුන්.. කෝ අද අනිත් යාළුවො ටික ඉතින්??"

"එයාලා 138 බස් ගන්න අනිත් පැත්තෙන් ගියා . අද අපිට එකම බස් එකේ යන්න පුළුවන් නේද"

"හ්ම්ම්ම්..... ඔව්.. ඔයා මගින් බහිනවනේ?"

"ඔව්.. ඕන්නම් මම එන්නම් ඔයාව ගෙදරටම දාන්න"

"අම්මෝ... ඔයාට පිස්සුද දසුන්?? මට ගෙදරට යන්න පුළුවන්.."

"හා හා.. කෙල්ල බය වුනා නේද මං එයි කියලා? මම නිකන් ළමයෝ කිව්වෙ"

අපි දෙන්නාම හිනා වුනේ එකටමයි. අපේ හිනා සද්දෙට ඉස්සරහින් ගියපු කෞෂි, හසී, නිශා, තාරුක හැමෝම හැරිලා බැලුවා.

"අහ්.. මේ එන්නෙ ජෝඩුව, හිනා වෙවී කිරියි පැණියි වගේ.."

තාරුක කිව්වෙ හැමෝම හිනස්සවමිනුයි..අපි හුගාක් දේවල් කතා කර කර නුගේගොඩ ඉදන් කොහුවලට එනකම් ම ඇවිදගෙන ආවා. මම අනිත් විෂයන් වලට යන පංති ගැන, ඉස්කෝලෙ වැඩ ගැන  කතා කර කර අපි ආව නිසා දන්නෙම නැතිව වෙලාවත් ගිනින්.හන්දියටත් ඇවිත්. එතනින් එකම බස් එහෙකට නැගගත්ත අපිට යන්න වුනේ හිටගෙනයි.නැග ගත්තෙ CTB එහෙකට නිසා ටිකට් ගන්න වුනේ නෑ අපිට. සීසන් එකේ පිහිටෙන් අපි සංතෝසෙන් ගියා.තාරුකයි, දසුනුයි විතරක් එයාලට ටිකට් ගත්තා.බස් එක ඇතුලෙදිත් ඔහේ කියව කියව ගිය අපිට දසුන් බහිද්දි අපේ කතාව නවත්තන්න වුනා. තාරුක දසුන් ට කලින්ම බැස්සා.දසුන් බහින්න ළං වෙද්දි මට මොකක්දෝ මන්දා අමුතු දුකක්, පාළුවක් හිතට දැනුණා.

"අනේ මට ඔයාව දාල යන්න බෑ " කියන්න වගේ බැල්මක් ඒ ඇස් වලත් තිබුණා.ඒත් කියාගන්න බැරි දාහක් දේවල් හිතේ හිරකරගෙන වගේ දිග හුස්මක් අරන් දසුන් කතා කළා.

"මං එහෙනම් ඉසරහින් බහිනවා මධූ... ඔයා පරිස්සමට යාළුවො ටිකත් එක්ක ගෙදර යන්න. ගිහින් මට SMS එකක් එවන්න පුළූවන් නම්."

"හ්ම්ම්ම්.. ඔයත් පරිස්සමින් යන්න දසුන්.බුදුසරණයි..."

මටත්, හසීලටත්, යන්නම් කිව්ව දසුන් බස් එකෙන් බැහැගත්තා. ඒත් ඒ හිත නම් තිබුණෙ මං ළග.ඇස් වලින් කියපු ඒ කතාවෙ තිබුණෙ හරිම සොඳුරු දුකක්.......මගේ හිත පුරාම හීන් සැරේ අඳිලා ගියේ ඒ දුකේම කොටසක්.....

------------------------------------------------------------------------------------------------------------
මගේ හිත හිමිහිට හොරෙන් පිරිමැද
නුඹ සිත්තම් කරපු මේ සිත්තම
දේදුනු පාට තවරා මා හැඩ කළ
දකින්න ආසයි සැමදාමත් ඇස් අද්දර........

හිත පුරා පිරුණු මේ අරුමැති සෙනෙහස
සගවා ගනු කෙලෙසකද ලොවෙන්  මම
නුඹටත් හොරා මා ගෙත්තම් කළ කවිය
කියවා බලන්නට ආසයි නුඹගෙ ළග.......


කාලය ගෙවුනේ හරිම ඉක්මණට. මම දසුන්ට ත්, දසුන් මටත්, ළං වුනේ හරි පුදුම විදියට. ගෙදර දුවන් ආව ගමන් දින පොත අරන් කුරුටු ගාපු අකුරු ටික දිනේ දාලා ලියලා තිබ්බෙ හිතේ තිබුණු සංතෝසෙටත් එක්කමයි.අද දවස පුරාම සිද්ධ වුනු සිදුවිම් එකින් එක, චිත්‍රයක් වගේ හිතේ මවාගෙන, දිනපොතත් දිග හැරගෙන මම කල්පනා කළා.

මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ එතකොටමයි......ගෙදර ආපු ගමන් කරන්න තිබුණෙ දිනපොත කුරුටු ගාන එක නෙවෙයි කියලා මට මතක් වුනේ ඒවෙලාවෙයි.

"හයියෝ............!!!!!! !!!!!!!!"

------------------------------------------------------------------------------------------------------------
ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............



9 වෙනි කොටසට....

Post Comment

26 September 2011

-මගේ රත්තරං අම්මා-






"දොයි දොයි දොයි.... දොයිය බබා...."

හැම අම්මා කෙනෙක්ම තමන්ගෙ දරුවව නළවන්න ගයන නැළවිලි ගීයක්ම වගේ, මගේ අම්මත් මං පුංචි කාලෙ මාව මෙහෙම ගී කියලා නැළෙව්වලු.කුළුඳුලේම අම්මාට උපන්න අම්මගේ එකම දෝණියැන්දා මං වෙච්චි කොට, පණටත් වඩා ආදරෙයි මට.

හැම අම්මා කෙනෙක්ම තම්න්ගෙ කුසට දරු පැටියෙක්, ආව දා ඉඳන් ඒ පැටියට ලෝකෙ පෙන්නන්න පුළුවන් හොදම විදිය ගැන හීන බලනව .ඒ දරුපැටියා මේ ලෝකෙ එළිය දකිනකම් ඉවසිල්ලක් නැතිව අම්ම කෙනෙක් බලන් ඉන්නෙ , කප්පරක් ආදරේ දෝරෙ ගලන්න දෙන්න වෙලාවක් එනකම්.ඇගේ දුවන ලේ ටික කිරි වෙන්නෙ ඒ ආදරේ බලයෙන්.අම්ම කෙනෙක්ගෙ ආදරේ තරම් උතුම් ආදරයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ.කුසේ දාරගෙන දුක් විඳගෙන මේ ලෝකෙට ඒ දරු පැටියව බිහි කරපු මොහෙතේ ඉඳන් අම්මා කෙනෙක්ට , වෙන ලෝකයක් නෑ ඒ දරුවා හැර.මගේ අම්මාටටහ් එහෙම්මයි.

පුංචිම කාලෙ මං දණ ගාද්දි, බඩ ගාද්දි, අම්මා මගෙ පස්සෙන්ම ඉදන් මාව ඇහැක් වගේ පරිස්සම් කලේ හීරීමක්වත් වෙන්න නොදී.හැම අම්ම කෙනෙක්ම වගේ මගේ අම්මා මට මේ ලෝකෙ තියන හොදම දේ දෙන්න තමා උත්සාහ කළේ.පුංචි කාලෙ ඇවිදිද්දි, මං වැටේවි කියලා බයට ,අම්මා මාව වඩාගෙනම ඉඳලා. මට හුගාක් කාලයක් යනකම් හරියට ඇවිදින්න බැරි වෙද්දි, ආච්චි අම්මාලා, නෑදෑයො බනිද්දි තමයි අම්මා මාව බිමින් තියලා ඇවිද්දවන්න අරන් තියෙන්නෙ.

අත් රැළි වැටෙනකම් දවස පුරාම මාව වඩාගෙන ,කුරුළු පැටව්, සමනළයෝ පස්සෙන් දුව දුව මගේ බංඩිය පුරවන්න අම්මා නොකරපු දෙයක් නෑ..හරියට නාගන්න, වෙලාවට කන්න, ටිකක් සැපට නිදාගන්න මං පුංචි කාලෙ අම්මට බැරි වුනා.අම්මාගෙ ආදරේ හැටි, ඒක තමයි කැපවීම. කිසිම දවසක මගේ අම්මා විතරක් නෙවෙයි,කිසිම අම්ම කෙනෙක් දරුවො වෙනුවෙන් කැපවුනාට දෙස් තියන්නෙ, පසු තැවෙන්නෙ, දුක් වෙන්නෙ නෑ.ඒකයි අම්මා  කෙනෙක්ගෙ ආදරේ උතුම් වෙන්නෙ.මේ ලෝකෙ අම්මා කියන නමට, ඒ වචනයට දෙන්න හරිම  අර්ථ කථනයක් නැතිවැති.....


දුඹුරු පාට  හීනි පුංචි ඇස්, රත්තරං පාට මූණ, කළුම කළු බොකුටු ඝනකම කොණ්ඩෙ නිසා එදා ඉඳන්ම මගේ අම්මාට තිබුනෙ හරි අමුතු ලස්සනක්.හැබැයි ඉතින් අම්මගේ දෝණි වෙච්චි මටනම් ඒ කොණ්ඩෙ හැර අනිත් එක ලක්ෂණයක්වත් උරුම වුනේ නෑලු.( දුක තමා :( ) . චූටී කාලෙ ඉදන් අම්මා එක්ක පාරෙ යද්දි ,ගමන් යද්දි "දුව නම් ඔයා වගේ නෑ... තාත්තා වගේ නේද??" කියලා හම්බෙන හම්බෙන අය කියද්දි, මම රවලා වගේ බලන්නෙ ,"ඇයි මං කැතද?"  අහන්න වගේ."තාත්තා වගේ වුනාම මොකද, අම්මා වගේම වෙන්න ඕනෙද?" නොරිස්සුමට එහෙම හිතුවට මොකද, මගේ පුංචි හිතේ එදා ඉඳන් තිබුනා, "අනේ මමත් අම්මා වගේම වුනානම්" කියලා.

කාලයත් එක්ක අපේ පුංචි ලෝකෙට මල්ලියා ආව දා ඉඳන් අම්මගෙ වැඩිපුර අවධානෙ තිබුණෙ මල්ලිට.මං පුංචි කාලෙ වගේම මල්ලියා ගැනත් අම්මා බැලුවෙ එකම විදියට.මල්ලියා ආව කියලා අම්මගෙ ආදරේ වෙනස් වුනේ නෑ.ඒක දැනෙන්නෙ , තේරෙන්නෙ හරියටම අදයි.ඒත් මං චූට් දවස් වල, අවුරුදු 6ක් 7ක් කාලෙදි හිතුවෙ අම්මා මට වඩා දැන් මල්ලිට ආදරෙයි කියලා.මට තවමත් මතකයි මං එක දව්සක් පාට කූරකින් ගෙදර කාමරේ බිත්තියෙ පොල් ගෙඩි අකුරින් ලිව්වා," අම්මා දැන් මට ආදරේ නෑ" කියලා.හුගාක් පස්සෙ කාලෙකදි මතකයි මට අම්මා කිව්වා. "එදා ඒක දැක්කම නම් මගේ පපුව පිච්චුනා" කියලා.

එදා පුංචි කමට, නොතේරුම් කමට එහෙම කිව්වට මොකද, ආයෙත් කිසිම දවසක එහෙම කියන්න බෑ මට,කියන්නෙත් නෑ... මගේ අම්මා තරම් මට ආදරේ කරන වෙන කිසිම කෙනෙක් නෑ මේ ලෝකෙ.(තාත්තාත් ඒ තරම් ම ආදරෙයි තමා.). ජීවිතේ සිද්ධ වුනු හුගාක් දුක් කරදර ළගඳි මට තිබුණු එකම හයිය මගේ අම්මා.මටයි මල්ලිටයි ලෙඩක් හැදුණත්, අම්මා එක මොහොතක් නිදාගෙන්නෙ නෑ සැනසීමෙන්.හිතේ බයට. අපි ගෙදරට එන්න මොහොතක් පරක්කු වුනත් අම්මා ඉන්නෙ බයෙන්. කොයි තරම් උස් මහත් වුනත්, වයසින්   මුහුකුරා ගියත් අම්මාලාට අපි පොඩි ළමයි. ඒ ආදරේ නිසාමයි.

මගේ ජීවිතේ කඩා වැටුණු , අන්තෙටම පසු බැහැපු , මැරෙන්න දුක් විඳපු හුගාක් අවස්ථා වලදි, මගේ රත්තරං අම්මා ඇස් වල කඳුළු හංගගෙන මට ධෛර්ය දුන්නා. ශක්තිය දුන්නා. මගේ කඳුළු ළගදි ඒ හිත සිය දහස් ගණනක් කෑලි කෑලි වලට බිදීලා යන්න ඇති. ඒත් මගේ සුදු අම්මා , හිනා වෙලා මට ජීවිතේ පෙන්නුවා.පොඩිපට්ටම් වෙන්න ගියපු ජීවිතේ ලස්සන කරන්න, ආදරෙන් පුරවන්න මට උදව් කලා.සත්තයි මම ජාති ජාතිත් ණය ගැතියි මගේ රත්තරං අම්මේ.......මගේ අම්මට දීර්ගායුෂ වේවා...!!!!!


මගේ සිනා ළගත්, මගේ කඳුළු ළගත්
හැමදාකම එකම ලෙසට
ආදරේ මහා ගොන්නක් තුරුළු කරගෙන
සෙනෙහසේ කඳුළු වලින් 
ඇස් තෙත් කරගෙන
ජීවන ගමන් මග යන්නට
තව තවත් දිරි දෙන ශක්තිය දෙන
මගේ ම ආදර සුදු අම්මා නුඹ..........
හිමි වීම් අහිමි වීම් වෙන්වීම්
සෑම දේ අතරෙම
නොවෙනස්ව  එක ලෙසම 
නුඹ දුන්නු සෙනේ කඳට
සදා ණය ගැතියි මා නුඹට......
මතු මතුත් උපදින හැම භවයකම
නුඹ මගේම අම්මා වෙන්නට 
මා නුඹේම දෝණී වන්නට
පාරමී පුරමි මම සසර පුරාවටම..........


ප.ලි - හුගාක් දව්ස ඉඳන් අම්ම ගැන ලියන්න හිතන් උන්නත් ලියාගන්න බැරි වුනා.ඒත් අදනම් ලියන්නම හිතුවා. මොකද ,අද මට අම්මා ළග නැති පාළුව ගොඩාක් දැනෙන නිසාම.පුංචි පුංචි පරීක්ෂණ කීපයකට අම්මා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා. :( :( හිතුවක්කාරිට හුගාක් පාළුයි..

Post Comment

22 September 2011

මේ ඉර හඳ යට.......








මේ ඉර හඳ යට හමුවුනු කොයි කවුරුත් දවසක වෙන් වෙනවා.වෙන් වීමක් ගැන හිතන්නවත් බැරි වුනත්, දවසක වෙන් වෙන්න සිද්ධ වෙනවා.ඒ වගේම තමා, හමු වුනු අය වෙන්වෙනවා. වෙන්වුනු අය හමුවෙනවා.මේ ඉර හඳ යට හමුවීම් වෙන්වීම් හැම මොහොතකම, ගත වෙන හැම තත්පරයකම සිද්ධවෙනවා.සමහරු ජීවිතේ ඇහි පිය හෙලන මොහොතකින් හමුවෙලා වෙන්වෙනවා.සමහරු ටික කාලයක් හිත ළග ඉදලා,කාලය ගෙවෙද්දි  කාලයත් එක්කම වෙන්වෙනවා.තවත් සමහරු ජීවිතේම වගේ වෙලා, මහා ගොඩාක් ආදරේ කරලා,තනියට ළගින් ඉදලා, හිතේ අන්තිම පතුළෙම පැලපදියම් වෙලා, අවසානයේ මහා දුක් ගින්දරක් ජීවිතේට එකතු කරලා, වෙන්වෙලා යනවා.ඒ වගේම සමහර අය අපේ ජීවිත වලට ඇවිත් වෙන්වෙලා ගියත්, ඒ මතකය ඉතිරි කරලා යනවා.සමහර විට ජීවිතේ කිසිම දවසකදි ඒ මතකය අමතක කරන්න බැරි තරමටම අපි ඒ අයට ළං වෙලා ඉඳලා.


එදා ඉඳන් මගේ ජීවිතේට හමුවුනු  හුගාක් අය මේ වෙද්දි හුගාක් ඈත් වෙලා ගිහින්. හරියට ඔයා වගේම.  එදා ආදරෙන් කතා කරපු අය, සෙනෙහස පාපු අය, අද ළග පාතකවත් නෑ...ලෝකෙ වෙනස් වෙනවා. කාලය ගතවෙනවා. අපිටත් නොදැනිම අපි අපෙන් ම ඈත් වෙලා.


ඔයා මගේ ජීවිතේට ආවෙ අහම්බෙන් වගේ. ඒත් ඒ සුන්දර අහඹුවට මම ආදරෙයි .මහා ගොඩක් ආදරෙයි.ජීවිතේ නොපතපු , නොහිතපු මොහොතක මගේ හිතට ළං වුනු ඔයා, මගේ හිත පුරාම දේදුනු පාට ආදරේ තැවරුවා.මාව වෙනස්ම කෙනෙක්  කරන්න ඔය හිතට පුළුවන් වුනා...සත්තයි මට ආඩම්බරයි අද මං ගැන.මම ලෝභ වුනේ ඔයාට නෙවෙයි.ඔය ආදරේට, ඔයාගෙ ලස්සනම ලස්සන,මිනිස් සුවඳ අඳුරන ,ලෙංගතුකම පිරුණු හිතට.ඒත්....හැමදේම වෙනස් වෙන මේ ලෝකෙ , වෙනස් නොවී තියේවි කියලා හිතන් උන්නු ඔයාගෙ ආදරේ ත් අද මා ළග නෑ...


කාලය ගත වෙලා.ඔරලෝසුවෙ  තත්පර කටු, මිනිත්තු කටු කැරකෙන්නෙ විදුලි වේගෙන්ද මංදා.දින සති මාස අවුරුදු ගෙවිලා යන ඉක්මණ.අද ඔයා කොහෙද?මම ඉන්නෙ කොහෙද? අපි දෙතැනකට වෙලා.අපි අපිට අහිමි වුනු දා ඉඳන් කාලය කොයිතරම් ගෙවිලාද?, මම දන්නෙ නෑ හරියටම...ඒත් ඔයා මේ අහස යට කොහේ හරි සතුටින් ඇති.ජීවිතේ විදවන්නෙ නැතිව සතුටින් විඳිනවා  ඇති.සත්තයි ම්ට් විශ්වාසයි,ඔය හිතට වරදින්නෙ නෑ.ඒත් අද නම් ,අපි අපිව වත් නාඳුනන ප්‍රේමවන්තයෝ වෙලා. ඔයායි, මමයි ,මේ ජීවිත ගමන ගෙවන්න සටන් කරන,තවත් එක නාඳුනන ප්‍රේමවන්තයෙක්,ප්‍රේමවන්තියක් වෙලා අවසානයි.


ඉස්සර අපි ඇවිදගෙන ගිය ඒ පාරවල්,මග දිගට තිබුණු ගහ කොළ, අද ඒ හැමදෙයක්ම ටිකින් ටික වෙනස් වෙලා..එදා අපි ඇවිදගෙන යන මග දිගට හමුවුනු අය අද එතන නෑ..ජීවිතේ එහෙමයි.කාලය එක්ක අද මහ වෙනසක් වෙලා.ඒත්...මගේ කඳුළු ළග තෙත් වුනු ඔය ඇස් මට තවමත් මතකයි. මගේ හිනා ළග දොඩමළු වුනු ඔය හිතේ සුවඳත් මට තවම  මතකයි.ඒ හැමදෙයක්ම අද , මතකයන් විතරක්ම වෙලා.හැම දෙයක්ම අතීතෙටම පවරලා අවසානයි.


අපි දැන අඳුන ගත් දා ඉඳන්, ටිකින් ටික දවසින් දවස, වැඩි වුන අපේ ආදරේ , මට  හැමදාමත් ආශිර්වාදයක් වුනා.  ඔයාගෙ දයාව කරුණාව පිරිච්ච හිත ළග මම තැන්පත් වුනා, අහිංසක වුනා.ලෝකෙටම සුවඳ විහිදගෙන ජීවත් වෙන්න,ලස්සනට හිතන්න, විඳින්න මට පුරුදු කලේ ඔයා.ලස්සන ඇඳුමක් තෝරන්න, කියවන්න හොඳ පොතක් තෝරගන්න,ලස්සන සිංදුවක් රසවිඳින්න මට ඉගැන්නුවෙත් ඔයා.ජීවිතේ සුන්දර හුගාක් දේවල් ළග නැවතිල්ලෙ, නිස්කලංකේ රසවිදින්න මම ඉගනගත්තෙ ඔයා දිහා බලලා.


ඒත් හැමදෙයක්ම මට උරුම කරපු ඔයාව මට අහිමි වෙලා. ඇස් රතු වෙලා, කම්මුල් කඳුළු වලින්ම  පෙගිලා ගිහින් ඒ අතීතෙ අමතක වෙනකම් මම ඇඬුවා.රෑ දවල් වෙලාවක් නැතිව මම පපුව රිදෙනකම් ඇඬුවා.ඒ තරම් ආදරයක් මට අහිමි කළාට , එදා මම දෛවයට ශාප කළා.ඒත්, එදා ඉදන් බැඳුණු සෙනෙහස නිසාම,ඒ අපරිමිත ආදරේ නිසාම, අදටත් මට ඔයා වෙනුවෙන් , අපි වෙනුවෙන් ,අපේ ආදරේ වෙනුවෙන්ම හෙළන්න කඳුළක් ඉතිරි වෙලා................




මේ ඉර හඳ යට හමු වී ආදරයෙන්
කතා කරපු අර සෙනෙහෙ වඩපු අය
ළඟ පාතකවත් නෑ......

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුණනා පෙම්වතුන් වෙලා........

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා......

ගායනය- විශාරද එඩ්වඩ් ජයකොඩි



ප.ලි- මම හුගාක්ම ආස කරන සිංදුවක්. හරිම හැගීම්බරයි..හිතට දැනෙන සිංදුවක්...නිකන්ම හිතුනු අදහස් ටිකක් ලිව්වා.....

Post Comment

20 September 2011

තටු සිඳුනු සමනළී - 7 වන කොටස

"ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක්........"
            --තටු සිඳුනු සමනළී--


බුකියේ හිතුවක්කාර කෙල්ල, බ්ලොග් අවකාශයේ ආදරණීය හිතුවක්කාරී....අකුරු අමුණන පුංචිම පුංචි නවකතාව......
____________________________________________________________
ඔන්න අද  කතාවෙ ඊ ළග කොටස දැම්මා...කියවලා හොද නරක කියන්න.....:) 


මුල කොටස් කියවපු නැති අය, කතාවෙ මුල කොටස් අමතක අය කියවලම එන්නකෝ...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6

අද එතැන් සිට...............

------------------------------------------------------------------------------------------------------------

කෙනෙක් තව කෙනෙක්ට හදවතින්ම ආදරේ කරද්දි, ඒ ආදරේ කරන කෙනාගෙ මූණ නොදැක , ඒ කටහඬ අහන්නෙ නැතිව කොහොම ඉන්නවද මංදා.ආදරේ කියන්නෙ ගින්නක්. වැඩිපුරම වෙන්නෙ පිච්චෙන්න.මමත් මේ පිච්චෙන්නෙ අපූරුවට.මගේ හිත මාත් එක්කම දිගින් දිගටම දොඩමළු වෙන්න පටන් ගත්තා.

ඊයේ හවස්වරුවෙ අහිංසකයට කතා කරලා, මගේ හිත තිබ්බෙ පුදුම සතුටක ගිලිලා.වෙනදට අම්මා දහ සැරයක් විතර කතා කරලා ඇහැරවන මට, අද උදේම ඇහැරුනා.ඒත් මේසෙ උඩ පේන්න තියන ඔරලෝසුවෙ වෙලාව උදේ පහයි විස්සයි."මෙච්ච්ර උදෙන් මොකට ඇහැරුනාද මන්දා" මම හිතින් මටම දොස් පවරගත්තා.

ඉස්කෝලෙ යන්න තිබ්බ දවසක් නම් කීයට නැගිට්ටත් ආයෙමත් හොදට පෙරවගෙන නිදාගන්න තිබ්බා.ඒත් අද නම් නින්ද අහලකටවත් එන්නෙ නෑ.ඇඳේ දෙතුන් සැරයක්ම එහාට මෙහාට පෙරලූනු මම ,නිදාගන්න ලොකු උත්සහයක් ගත්තා.නෑ....... නින්ද නම් මා ළගට ආවෙ නෑ..නිවාඩු දවසෙ උදේ පාන්දරම  පාඩම් කරන්නත් හිත දුන්නෙත් නෑ."දවල්ට පංති යන වෙලාව වෙනකන් මෙහෙම තමයි දැන් ඉන්න වෙන්නෙ" මම මටම කියාගත්තා.

ආදරේ කියන්නෙත් මහා පුදුමාකාර හැගීමක්.කෙනෙක් ගැන හිත උනන්දු වෙද්දි, ඒ කෙනාව නොදැක ඉන්න බැරි වෙනවා.හිත හැම මොහොතකම ඉගිල්ලෙන්නෙ එයා ළගට,හීනයක් දැක්කත් පේන්නෙ ඒ මූණ.මොනම සිතිවිල්ලක් වුනත් අන්තිමට නතර වෙන්නෙ ඒ හිත ළගින්.මේ ඇත්තටම මට දැනෙන්නෙ එයා ගැන ආදරයක් ද?? නානාප්‍රකාර සිතුවිලි වල එල්ලි එල්ලි මගේ හිත සෑහෙන දුරක ගියා. ඒ අතරෙදි වෙලව ගත වෙලා තිබුනා පැය භාගයක්ම. ඉර පායලා. එළිය වැටීගෙන එද්දි ඇදෙන් නැගිටපු මම,චුට්ටක් එහාට මෙහාට කැරකිලා නිකමට වගේ ෆෝන් එක අරගෙන බැලුවා.

"දෙයියනේ....!!!!!!"

මට කියවුනා.

පානදර සීතලටත් වඩා මගේ ඇගම සීතල වුනා,හිත පැත්තක්ම හිරිවැටිලා ගියා වගේ දැනුනේ...
"දසුන් ගෙන් SMS එකක්.." ක්ෂණිකව හිත පුරාම පැතිරිලා ගියපු සතුට මුසු වුනු කුතුහලය , මගේ දවස ප්‍රබෝධමත් කලා.


"The sun had rised  from the east 

birds r singing happily 

butterflies are around the flowers.
It is time to wake up & give a big yawning 

say good morning to YOU.. !!! "

ලස්සනම ලස්සන good morning message එකක් තමයි එවලා තිබුණෙ.

"එහෙනම් එයාටත් මේ උදේ පාන්දරම මාව මතක් වුනා." මගේ හිතේ තිබ්බ සංතෝසෙ කොයිතරම්ද කියලා මටවත් හිතාගන්න බැරි වුනා.මා ළග තිබුනු ලස්සනම ලස්සන good morning message එක ඒ මොහොතෙම දසුන්ට යවපු මම, අම්මා හොයාගෙන කුස්සියට ගියේ සින්දු කෑල්ලකුත් කියාගෙන, නට නටයි.

"good morning අම්මා...!!!"

මම දුවගෙන ගිහින් කුස්සියෙ තේ හද හද උන්නු අම්මාව බදාගත්තා.

" මේ මොකද මේ අද ගෑණු ළමයා කවදාවත් නැතිව පුදුම සංතෝසෙකින්??"

මගේ වෙනස් තේරිලාද මංදා අම්මා ඇහුවෙත් පුදුමෙන් වගේම හිනා වෙවී.

"අයියෝ.. මුකුත් නෑ අම්මා...මම උදෙන් නැගිටලා හිනා වුනත් අම්මාට පේන්නෙ වැරදියටයි.. හරිම නරකයි අම්මා.."

මමත් තොඳොල් වුනේ අම්මාගෙ ආදරේට තියන පෙරේතකමටමයි.

"හරි හරි මැණික . මං ඉතින් වැරද්දක් කිව්වෙ නෑනෙ.අමුතු සතුටකින් මොකද කියලනෙ ඇහුවෙ.හරි හරි. දැන් මේ මූණ කට හෝදගෙන තේ ටික බොන්න."

අම්මා කිව්වෙ හුගාක් ආදරෙන්.

-----------------------------------------------------------------------------------------------------------
උදේ පාන්දර ඉදන්ම තිබුණු නොසන්සුන් කම දසුන් ගේ SMS එකත් එක්ක තව වැඩි වුනා කියලයි මටනම් දැනුනෙ.ආයෙමත් රිප්ලයි එකක් ආවෙ නැතත්, මං බලාගෙන උන්නෙ කොයි මොහොතෙ හරි දසුන්ගෙන් පණිවිඩයක් එනතුරුයි.පංති යන්න වෙලාව කිට්ටු වෙද්දිම, මගේ හිත ගැහෙන වේගෙ දෙගුණ වෙනවා වගේ දැනුණෙ.

අද වෙනදට වඩා කලින් එමුයි කියලා කලින් දවසෙ කතා කරගත්ත නිසා, මම පංති යන්න පොත් ටික බෑග් එකට දාගෙන  ලෑස්ති කළා.මගේ ෆෝන් එක රින්ග් වුනෙත් එතකොටමයි."දසුන්ද දන්නෙ නෑ..." මම තිගැස්මකින් ෆෝන් එක බැලුවෙ, බලාපොරොත්තු වුනා වගේ දසුන්ගෙන් පණිවිඩයක්වත්ද කියල හිතමිනුයි.

"හෙලෝ මධූ..."

" අහ් හසී... මේ ඔයානෙ..මං මේ ලෑස්ති වෙනවා.."

" ඇයි කවුරු කියලද හිතුවෙ??"

" නෑ නෑ.. කවුරුත් කියලා නෙවෙයි..ඉතින් ඇයි කියන්නකෝ.."

"මුකුත් නෑ.. මං මේ උඹ එනවද කියලා බලන්න නිකමට කතා කළේ..සරසවියට යන්නත් තියනවා. ඉක්මණට එන්න හොදේ.. මං තව ටිකකින් එන්නයි හදන්නෙ."

" හරි කෙල්ලෙ. මං මේ ලෑස්ති වෙන ගමන්. ඉක්මණටම එන්නම්.කියන්න දේවලුත් තියනවා."

" හා හා.. ඒකත් ජය සිරි මංගලම්ද?? හරි හරි එන්නකෝ.. මං තිබ්බා එහෙනම්..බුදුසරණයි "

" හරි හරි. බුදුසරණයි."

කඩිමුඩියේම ලෑස්තිවෙන්න පටන්ගත්ත මම , ඊයෙ රෑම මැදලා තිබ්බ සුදු පාට මල් වැටිච්ච , කළු පාට කොට සායත්, සුදු පාට ඊටම ගැලපෙන බ්ලවුස් එකත් ඇඳගත්තා. වැඩිවෙලාවක් අරගෙන කණ්ණාඩියෙන් හතර පස් සැරයක්ම බලලා, අන්තිම වතාවටත් වටයක් කැරකිලා, අම්මා හොයාගෙන දිව්වෙ අම්මගෙන් ලස්සනයිද අහන්නයි.

"අම්මේ.... මං යන්න හදන්නෙ.. ලස්සනයිද මං??"

" අහ්... ලස්සනයි ලස්සනයි...මොකද මේ ළගකදි ඉඳන් කණ්ණාඩිය ළගම කැරකෙන්නෙ හොර කෙල්ල??"

" ලස්සන බලන්නනෙ අම්මා.. වෙන මොකටද? මං යන්නම් අම්මා... මට පරක්කුයි.."

අම්මාගෙන් සමුගෙන අඩියට දෙකට පාරට ආවෙ, හංදියට යන බස් එකක් අල්ලගන්නයි.
----------------------------------------------------------------------------------------------------------
අමාරුවෙන් එල්ලිලා. තෙරපිලා පොඩිවෙලා හිරවෙලා නැගගෙන ආපු බස් එකෙන් බැහැලා මම හංදියට එද්දි, හසී ඇවිත් හිටියා.                                    

"මොකෝ බං මේ දාඩිය පෙරාගෙන??"

"අයියෝ හසී මේ අපේ පාරෙ බස් වල යන්න බෑනෙ..සෙනග හොදටම. කොණ්ඩෙත් අවුල් වුනා"

" හා හා. කොණ්ඩෙ පීරගමු. ඒ නැතත් අවුලක් නෑ බං. ඔය ඉන්නෙ අපූරුවට. අහිංසකයා බලන්නෙ නැතිවෙන්නෙ නෑ.."

"අහ් හසී , කියන්න බැරි වුනානෙ, විස්තරේ... එදා මං කතා කරානෙ එයාට"

" ඔව් නෙ.ඉතින් ඉතින්.... කියපන් කෙල්ලෙ. මොකද වුනේ??"

අනිත් අය එනකම් මම හසීට, සිකුරාද දසුන්ට කතා කරපු වෙලාවෙ ඉදන් අද උදේ දසුන් එවපු morning message එක වෙනකම් සියළුම විස්තරය අකුරක් නෑර කිව්වා.

මගේ විස්තරේ අහපු හසීගෙ අවසාන නිගමනය වුනෙත්, දසුන් මං ගැන උනන්දුයි, එයා මට ආදරේ ඇති කියන එකයි.ඔක්කොමලා ආවට පසෙ අපි පුරුදු විදියටම නුගේගොඩට ගියා. ඒත් පංතියට යන්න කලින් හසීට සරසවියට යන්න ඕනෙ නිසා, අපි සරසවිය පැත්තට ගියා.

"මොකටද බං මේ හදිස්සියෙ සරසවියට රිංගන්නෙ??"

නිශා ඇහුවෙ හසීගෙන්.

" මට physics වලට අර මිස් ගන්න කිව්ව  යාන්ත්‍ර විද්‍යාව පොත ගන්න ඕනෙ. ඒක මං ළග නෑනෙ.ගණන් ටිකක් තියනවනෙ හදන්නත්"

"අපරාදෙ හසී.. මට කිව්වනම් මම ගෙනත් දෙනවා මගේ පොත.මම හදලා ඉවරයි ඒක."

"නෑ කමක් නෑ මධූ. මං කොහොමත් ඒක ගන්න ඕනෙ."

අපි බෑග් කවුන්ටර් එකෙන් බෑග් තියලා සරසවියට ඇතුළු වුනේ, පොත් බලන්නයි. හැමෝම දුවගෙන ගියේ නවකතා පොත් තියන පැත්තට.හසී විතරක් physics පොත් හොය හොය ඇවිද්දා. ඒ අතරේ අනිත් දෙන්නාගෙන් මොහොතකට මිදුණු මම ,වෙනම පොත් රාක්කයක් දිගට ඔහේ ඇවිදගෙන ගියා.අලුත් පොත් සුවඳයි.ඒ සුවදට මම ඉස්සර ඉදන්ම ආස කලා.පොත් රාක්ක දිගටම එක  එක අලුත් පොත් වලින් පිරිලා.ඒත් හිත තිබ්බෙනම් රොටරියෙ.දසුන් ඇවිත් ඇතිද? එයා කතා කළොත් මම අද මොනාද කියන්නෙ? ප්‍රශ්න ගොන්නක් හිතේ තෙරපුනා.

එක සැරේටම පිරිමි ළමයි කීපදෙනෙක් හිනා වෙවී අපි ඉන්න පැත්තට ආවා.

"ආ.. දසුන් අන්න උඹේ සමනළී ඉන්නවා..."

මට උන් හිටි තැන් අමතක වුනා. මේ මොකක්ද දෙයියනේ වෙන්න යන්නෙ?දසුන් තව යාළුවො කට්ටියක් එක්ක සරසවිය ඇතුලෙ.

දසුන්ගෙ යාළුවො මගේ දිහා බලාගෙන දසුන්ට විහිළු කලා. මට දැනුනේ පුදුම අපහසු තාවයක්. එතනින් පැනලා දුවගන්න තිබ්බනම්.....දසුන් ලැජ්ජවෙන් හිනා වෙවී බලන් හිටියෙ මගේ දිහාමයි.ඒ ඇස් මග හරින්න හිතුනෙ නෑ මට.

"හා හා කොල්ලා... ජය මංගලම් ආ....."

තවත් එතන උන්නු මිටි කොල්ලෙක් දසුන්ගෙ පිටට ගහලා මගේ පැත්තට තල්ලු කළා.

"මධූ ඔයා මෙතන???"

දෙයියනේ දසුන් මගේ ඉස්සරහා හිනා වෙවී ඉන්නවා.මම ගොළු වුනා. වචන කටින් එළියට ආවෙ නෑ. කියාගන්න ඕනෙ වුනත්, මට කතා කෙරුනෙ නෑ..මොහොතකට හදවත නැවතුනා වගේ දැනුණා. හුස්ම ගන්නත් අමතක වුනා.

හිතා ගන්න බැරිවුනු තැන මම, ආපස්සට හැරිලා දුවගෙන ගියා හසීලා ලගට.හසී ඒ වෙද්දි පොත අරගෙනයි හිටියෙ.

"ඇයි බං මේ බය වෙලා??"

නිශා ඇහුවා.

"නැ.. නෑ.. මෙ මේ... දසුන් බං..."

"ඉතිං?? ඇයි මේ උඹ හොල්මනක් දැකලා වගේ බය වෙලා?"

"නෑ නෑ.. එයාගෙ යාළුවො අනේ... කෑ ගහන්න ගත්තා. මට මුකුත් කියන්න හිතාගන්න බැරිවුනා. මං දුවන් ආව."

"අනේ මෝඩි...ඒ කොල්ලා පවු නෙ බං. දැන් උඹ හින්දා යාළුවන්ගෙන් බයිට් වෙයි හොදට."

"ඉතිං මං මොනද කරන්නෙ හසී? මං බය වුනානෙ."

"උඹට යන්නම් කියලා හරි එන්න තිබ්බනෙ. පවු බං ඒ කොල්ලා."

"දැන් කරන්න දෙයක් නෑ හසී.. මටත් දුකයි..අනේ අපි යන්."

මගේ මූණ පුරාම ලේ නහර උණු වුනා.හීන් ඉකියක් එක්කම කඳුළු කැට දෙකක් ඇස් වලට ආවෙ නොදැනුවත්වමයි.හිත පිච්චුනා මහ ගොඩාක්. හසී යි නිශා යි මොන මොනවාදෝ කියෝනවා. මට කිසිම දෙයක් ඇහුනේ නෑ.. හිත යටින් මහ ගොඩාක් වැළපුනා. මං හිතුවෙ මට මේ මහ පාර මැද ඇඬෙයි කියලා. මම හිත තද කරගෙන උන්නෙ හුගාක් අමාරුවෙන්.


"අනේ මට සමාවෙන්න රත්තරං"  SMS එකක් යවන්නත් හිතුනා මට. ඒත් එයා මොනා හිතයිද? දැන් මාත් එක්ක තරහින්ද දන්නෙ නෑ....පංතිය ඇතුළට ගියාට, මම උන්නෙ අහිංසකයා පංතියට ඇවිත් , ඒ මූණ දකිනකම් ඉවසිල්ලක් නැතිවයි.

"මී හරක් වැඩ කරලා දැන් ඉතින් උඹ මෙතන මැරෙන්න ගියාට කරන්න දෙයක් නෑ...කොල්ලා ආවාම හවසට බලමු..හිනා වෙලා පොඩ්ඩක් ශේප් කරගමු."

හසී හිව්වෙ මගේ හිත කියවලා වගේ.

මම කලබල වෙලා උන්නු හැටියෙන් හසීත් නිශා ත් මගේ හිත තේරුම් ගත්තා.පංතියෙ දොර ගාවින් මතු වුනේ තාරුකගෙ මූණ. ඊටපස්සෙ දසුන්ගෙ ඉස්කෝලෙ යාලුවො ටික. ඒත් කෝ දසුන්? මගේ ඇස් හැමතැනම දිව්වා. ඒත් ඒ රූපෙ මගේ ඇස් වලට අසු වුනේ නෑ...

"කොල්ලා අප්සට් එකට ආයෙත් ගෙදර ගියාවත්ද?"

නිශා මගේ හිතේ ගින්දර තවත් ඇවිලෙව්වා.

"අනේ... නෑ.. එයා ඒවී...එන්න ඕනෙ එයා... කොහොමද එයා නෑවිත් ඉන්නෙ."

මට ඇඬෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඒ අහිංසක මූණ පංතියෙ දොරෙන් මතු වුනා.ඒ ඇස් එකසැරේටම බැලුවෙ මගේ දිහා.වෙනදා තිබ්බ ඒ එළිය අද ඒ ඇස් වල තිබුණෙ නෑ.. මොකක්දෝ මහා දුකක් පෙනුණා. මගේ මුළු හිතම ඇවිලුනා.

"මම අද හවසට එයා එක්ක කතා කරනවා." මම මටම කියාගත්තා.

"හසී.. මම දසුන්ට SMS එකක් යවන්නද sorry කියලා?"

මම අවසානයේ ඉන්නම බැරි තැන හසීගෙන් ඇහුවා.

"හ්ම්ම්ම්ම්ම්... ඒකත් කමක් නෑ... යවන්න එහෙනම්.. අඩු ගානෙ  එතකොටවත් එයා අප්සට් නැතිව ඉදීවිනෙ."

හසී කිව්ව සැනෙකින් මම ෆෝන් එක අරගෙන ,"I'm very Sorry  DHASUN" කියලා ටයිප් කරලා SMS එකක් යැව්වා..

දැන් හිතට නිදහස් ටිකක් විතර. ඒත් එයා රිප්ලයි එකක් එවනකම් මගේ හිත පසු තැවෙන එක නැවතුනේ නෑ...

"අනේ දසුන්... ඔයා මට සමාව දෙනවා නේද??"

--------------------------------------------------------------------------------------------------------



Post Comment

18 September 2011

--මූණු පොතේ අමුතු අමුතු--

ඔන්න අද මම ලියන්න හිතුවෙ හුගාක් දෙනෙක්ට( හුගාක් කිව්වට මේ ටික දෙනෙක්ට)  ප්‍රශ්නාර්ථයක්  වෙලා ඉන්න  මම (හිතුවක්කාරි) ගැන එහෙම නෙවෙයි.මූණූ පොතේ හිතුවක්කාර කෙල්ල විදියට කටයුතු කරන් යද්ද්දි, මට මූණ දෙන්න වුනු පොඩි පොඩි සිද්ධි කීපයක් ගැන.



පළවෙනියටම මම කියන්නම්කෝ මෙහෙම නමකින් ෆේක් ප්‍රොෆයිලයක් හදාගෙන ,මූණූ පොතට එන්න හිතුව හැටි ගැන.නැත්තම් ඒකත් ප්‍රෙහේළිකාවක්නෙ.ඔන්න ඉතින් මම දෙවෙනි වතාවටත් A/L එහෙම කරලා ගෙදරම රැදෙන දවස් වල ( ඒ කිව්වෙ මීට අවුරුද්දකට විතර කලින්..) කම්මැළිකමට ඉද්දි, මගේ යාලුවෙක්ම මෙහෙම වෙන නමකින් ප්‍රොෆයිල් එකක් හදාගෙන මට මැසේජ් එකක් එවලා තිබ්බා. ඊටපස්සෙ ඉතින් මටත් හිතුනා මගේ හිතේ තියන දේවල්, අදහස් කෙලින්ම ලියන්න , එහෙම එකක් හදාගත්තනම් හරි කියලා.ඔන්න ඊටපස්සෙ කල්පනා කරලා කරලා නමක් දාගෙන එකක් හදාගත්තා.මම කැමතිම නිළිය කාජල් නිසාත්, කාජල්ගෙ තිබ්බ දගකාර, හිතුවක්කර පෙනුම නිසාත් මම ප්‍රිෆයිල් පින්තූරෙට දැම්මෙම කාජල්ගෙ පින්තූරයි.කාලයක් යනකම් ඉතින් කට්ටිය එහෙම වැඩිය ඇඩ් වුනේ නෑ.. (මෙහෙම නමකින් ඉද්දි ඉතින් කවුද කැමති ඇඩ් කරගන්න) ඔහොම ඉතින් කාලයක්ම හිටියා. එක එක සිංදු කෑලි දදා.ඊටපස්සෙ කාලයක් යද්දි මෙන්න මමත් ටිකින් ටික ෆේක් ලෝකෙට එකතු වුනා.

ඔය වෙන අය ෆොටෝ වලට එහෙම ලස්සන කතා ලියලා, වෙන අයව ටැග් කරලා තියනවා දැක්කා.(මුලදි මාව නම් ටැග් කලේ නෑ ඔන්න). ඒත් මමත් ඒවට මට හිතෙන දේවල් අකුරු කළා.ඒවට සෑහෙන්න ලයික් එහෙම වැටෙන්න ගත්තා.(සෑහෙන්න කිව්වෙ මේ 5ක් 6ක් වගේ :p). ඊටත් පස්සෙ ටිකෙන් ටික රික්වෙස්ට් එහෙමත් එන්න ගත්තා.ටික ටික අදුරගන්න  අය වැඩි වුනා.ඒත් චැට් කරන්නනම් පෙළඹුනේ කලාතුරකින්.නිතරම කවි, කතා එහෙම ලියන අය එක්ක හැරුනාම, චැට් කලේම නැති තරම්.(දැන් නම් බ්ලොග් ලියන අය එක්ක එහෙම චැටක් දානවා.).අනිත් අය එක්කත් චැට් කරනවා. ඒත් හුගාක්ම හිතවත් අය එක්ක.

ඔහොම කාලයක් යද්දි මම ලස්සන ලස්සන පින්තූර වලට නිසැදෙස් වගේ ඒවා ලියලා , ටිකක් හිතවත් අයව ටැග් කලා.ඒවාට ඉතින් හොද ප්‍රතිචාරත් හම්බුනා. ආදරේ ගැනම ,(වැඩිපුරම දුක ගැන) ලියන නිසාද මන්දා, හුගක් දෙනෙක් කැමති වුනා.ඒවා දැකලා හොදයි කිව්වා. දවසින් දවස ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වැඩි වුනා.මමත් mutual friends ලා වැඩියෙන් ඉන්න අයව ඇඩ් කරගත්තා.ඔහොම ඔහොම හිතුවක්කාරි ජනප්‍රිය වුනා(ලූ).ඊටත් පස්සෙ තමා බ්ලොග් එකක් කරන්න අදහසක් ආවෙ.බ්ලොග්කරණයට මගේ ආගමනය ගැන දැන්ම නොලියා ඉන්නම්. ඒ ගැන දවසක ලියන්නම්.

ඉතින් හිතුවක්කාරි වටේ හුගාක් යාළුවො එකතු වුනා.ඉස්සර ඉදන්ම හුගාක් හිතවත් වුනු කීපදෙනෙක්ම හිටියා.හිරු එළිය ලියන දග අයියා, මානස විලේ හංසයා,සිහින සිතුවම්, විකසිත පියුම්,වගේ හිතවත් පිරිසක් නිර්මාණය වුනා හිතූගෙ වටේ.හිතුවක්කාර කෙල්ලට කට්ටිය ආදරේට හිතූ කියන්නත් ගත්තා. (අන්තිමට"හිතූ " නම රෙජිස්ටර් වුනාලු).දැන් හිතුවක්කාරිගෙ යාලූවො 700කටත් වඩා ඉන්නවා.හැබැයි මෙච්ච්ර කාලයකට හිතූට බරපතල ප්‍රශ්න ඇති වෙලානම් නෑ..එහෙම නොවෙන්න හිතුවක්කාරි වැඩ කරගෙන ආවා.පුංචි පුංචි රසවත්, කුතුහලය දනවන සිද්ධි නම් වුනා.

මුලින්ම මට මූණ දෙන්න සිද්ධ වුනු ප්‍රශ්නෙ තමා, චැට් කරන්න එන ඕනම කෙනෙක් මුලින්ම අහන්නෙ" ඇයි ඔයා හිතුවක්කාර ?" කියන එක. නැත්තම් "ඇයි ඔච්ච්ර හිතුවක්කාර?" කියන එක.ඇත්තටම මට දැන් ඒ ප්‍රශ්න තිත්ත වෙලා. අහලම අප්පිරිය වෙලා.මොකද ඒවට මටවත් දෙන්න උත්තරයක් නෑනෙ..ඊළගට තමා ලොකුම අවුල."ඔයා ඇත්තටම කෙල්ලෙක්ද?" මේ ප්‍රශ්නෙත් හුගාක් දෙනෙක් මගෙන් අහනවා.එතකොටනම් තරහත් යනවා.ඒත් එහෙම ප්‍රශ්නයක් අහන එකත් සාධාරනයිනෙ.මොකද එහෙම ගැහණු නම් වලින් ඉන්න පිරිමි චරිත ඕන තරම් අද මේ මූණූ පොතෙ ඉන්නවනෙ. ඉතින්, මම ගෑනූ ළමෙයෙක් තමයි කියලා කරුණු කියනවා.ඒත් සමහරු පිළිගන්නෙ නැති වුනාම මටනම් ඌරු ජුවල්. රිමූව් කරලා දානවා.අනිත් දේ තමයි "ඔයාගෙ ඇත්ත නම මොකක්ද?", "ඉන්නෙ කොහෙද?" ,"මොනාද කරන්නෙ?" ඕවා ඉතින් සුපුරුදු ප්‍රශ්න ටිකක්නෙ. ඒ ටිකත් නිතරම අහනවා.

කොහොමහරි මම දිගටම මාව ටැග් කරන ඒවාට, වෙන අය ලියන ඒවාට කමෙන්ට් දදා හිටියා. දැනට වඩා ඉස්සර හුගාක් ලිව්වා.ඔහොම ඉන්න අතරෙදි, මම නොහිතපුම විදියට එක අක්කා කෙනෙක් ( එයා නම් ඔර්ගිනල් ප්‍රොෆයිල් එහෙකින් කවි ලියන කෙනෙක්), මගෙන් තවත් ෆේක් කෙනෙක් ගැන (පිරිමි චරිතයක් ගැන)ඇහුවා.අපි එයාට ***** කියමු.නිතරම ඇහුවා, දිගින් දිගටම.මම ඇයි ***** ටැග් කරන ඒවාට එහෙම ලියන්නෙ, ***** ව මං දන්නවද, ඔය වගේ එකේක ප්‍රශ්න ඇහුවා.ඒත් ඇත්තටම මම ***** ව ඇත්තට දැනන් හිටියෙවත් නෑ. අනිත් අය ලියන දේවල් වලට ලියනවා වගේම, ආදරේ ගැන අකුරු කලා විතරයි.ඒත් මේ අක්කා මගෙන් ඇහුවා මම ***** ට ආදරේ කරනවද කියලා.මාව දෙලෝ රත් වුනා. මට හිතා ගන්න බැරි වුනා. මේ අක්කා මගෙන් දිගින් දිගටම අහන්න ගත්තා. මට ***** ව ඕනෙද? එහෙම දෙයක් හිතේ තියනවද? එහෙමනම් ඇත්තම කියන්න.වගේ දේවල්. ඇත්තටම මට ඒ කිසිම දෙයක් තේරුනේ නෑ. මම කිව්වා එයාට මට තේරෙන්නෙ නෑ. මගේ එහෙම කිසි දෙයක් නෑ.. මම නිකන් ලියන්නෙ, මාව ටැග් කලාම, නැත්තම් ලස්සන කවියක් දැක්කහම, කියලා.

ඊටපස්සෙ ඒ අක්කා මගෙන් ඒ ගැන ඇහුවෙ නෑ. ඒත් මට ***** ගෙන් ඈත් වෙන්න කිව්වා.එයාට කවි ලියන්න එපා කිව්වා.මම කිව්වා ඉතින් මෙහෙම දේවල් මගේ හිතේ නෑ.. මං වරදක් කලානම් සමාවෙන්න , ඒත් මට තේරෙන්නෙ නෑ වෙලා තියන දේ,මම ආයෙත් ලියන්නෙ නෑ කියලා.ඊටපස්සෙයි මම දැක්කෙ, ***** මට inbox එකට මැසේජ් එකක් එවලා.ඒකෙ තිබ්බෙ මෙහෙම දෙයක්.මේ තියෙන්නෙ එයා එවපු මැසේජ් එකමයි.(මේකෙ තිබ්බ නම වෙනුවට මම ---- ටිකක් දැම්මා.)

"ජිවිතය...

----- කියන්නෙ ලොකු අවදානමක ඉන්න කෙනෙක්...ඒ ජිවිතේ හරි අහිංසකයි..මං ඒ අහිංසකීව සනීප වෙන්න හැමදාමත් බෝධි පුජා තියනවා.. ----- කියන්නේ මගෙ ජිවිතේ...සමාවෙන්න මට මහ හුගක් මෙහම කියනවට..මං ලියන කවි වලට ඔයා කවි ලියුවම එයා දුක් විදිනවා හුගක්.ඔයා මගේ කවි ලගින් ආයේ කවි ලියන්න එපා ..ඒ අහිංසකිගේ ජිවිතය බේරන්න හදන මං ,ඔය හිත රිද්දුවනම් සමා වෙන්න..මට පව් ඇති මෙහෙම කියුවට..මං කාගේවත් හිත රිද්දන කෙනෙක් නෙමේ..ඒත් ආයේ මගෙ wall එකේ කවි ලියන්න එපා."


මට ඒක දැක්කම මගේ ප්‍රොෆයිල් එක එපා වුනා.මං ගැනම මට හුගාක් දුක හිතුනා.***** මේ මැසේජ් එක මට එවලා , මාව බ්ලොක් කරලා තිබ්බා. ඇත්තටම මට දුක හිතුනා. මං අදටත් දන්නෙ නෑ.. මේ කතාවෙ තේරුම හරියටම. මම ඇහුවත් මට ඒ ගැන කිව්වෙ නෑ.ඒත් මට හුගාක් ලොකු ප්‍රශ්නයක් වුනා මේ සිද්ධිය. ඒත් මං මූණු පොත අතෑරියෙ නෑ...දිගටම හිටියා. පස්සෙ මේ ළගකදි මම දැක්කා අර,***** ගෙ ප්‍රොෆයිල් එක තියනවා. එයා ,මම වෙන අයව ටැග් කරපු, මං ලියපු කවි වලට ලයික් දාලත් තිබ්බා.

ඒත් ඒ සිද්ධිය මහ අමුතු දෙයක් වුනා මට. හිතපුවත් නැති දෙයක් නේ සිද්ධ වුනෙ .ආයෙත් දවසක ඒ කෙනා මාත් එක්ක කතා කලොත් මං එයාගෙන් ඒ දේ සහසුද්දෙන්ම දැනගන්නවා.(එයා කිව්වොත් තමයි). මොකද මගෙන් සිද්ධ වුනු වරද ඒ තරම් බරපතළයි කියලා මට දැනුනා.

ඒ වගේම කියන්නම ඕනෙ අද වෙද්දි මට මූණූ පොතේ හුගාක් හොද යාළුවො මුන ගැහිලා තියනවා. ඒ වගේම මේ බ්ලොග් ලියන අයත් ඒ අතරේ ඉන්නවා. හොද නරක කියන එක කොහොමත් හැමදෙයකම තියන නිසා,මේකත් එහෙම සිදුවීමක් කියලා හිතනවා.

මේ වගේ තවත් අමුතු සිදුවීම් වුනා. ඒ ගැනත් පසුවට ලියන්නම්...

ප.ලි- මෙහෙම ලිපියක් දැම්මෙ ,කිසිම කෙනෙක්ට අපහාසයක්වත්, නින්දාවක්වත් කරන අදහසකින් නම් නෙවෙයි.ඒවගේම කිසිම කෙනෙක්ව බයිට් කරන්නවත්, නෝන්ඩි කරන්නවත් හිතාගෙන නොවන බව කරුණාවෙන් සලකන්න.
                                   

Post Comment

17 September 2011

මං වැරදිකරුවා....




ඔය තරු ඇස් දැක්ක පළවෙනිම දවස, මට මතකයි අද වගේම.ඒ පුංචි හීනි, දිළිසෙන, තරු ඇස් දෙකේ එළියට මං වශී වුනා. සත්තයි එදා තමයි මට මාවත් අහිමි කලේ ඔයා.ලස්සන පිරිමි ඇස් ගොන්නක් එක්ක මෙච්ච්ර කාලෙකට  ගණුදෙනු කරල තිබුණත්, මටම කියලා, මගේම කියල දැනුණු ඔය ඇස් එක්ක මට ලොකූ කතාවක් තිබුණා.කාටවත්ම නොකියපු ඒ කතාව මම මගේ හිතේ ලියාගත්තා. දවසින් දවස, මොහොතින් මොහොත, ඒ කතාව අලුත් වුනා.මම තව තවත්, ඒ කතාවට ළං වුනා.හිතින් බැඳුණා.

කට්ට කළුවර අහසකට පායපු රත්තරං පාට හඳක් වගේ ඔය ලස්සන හිනා පිරුණු මූණ මට නොදැක බැරි වුණා, දවසක් දවසක් ගානෙ මං හෙව්ව එකම රූපෙ, ඔයාගේ. මොහොතක් මොහොතක් ගානෙ මං හෙව්ව ඒ ඇස්, ඔයාගෙ.දහසක් හිනා මූණූ අතරේ මං පැතුව හිනාව, ඔයාගෙ.මම තව තවත් කතාවට හිතාගන්න බැරි තරමටම ළං වුනා.ඔය මූණේ හැම ඉරියව්වකම නිධාන කතාව කියවන්න, මට පුළුවන් වුනා.ඔයා දුකින්ද, සතුටින්ද, කරදරෙන්ද, කණස්සල්ලෙන්ද,මට ඒක දැනුනා.ළගින් ඉඳන් ඒ හැගීම් බෙදාගන්න මට බෑ තමයි. ඒත් මං ඔය හිත කියෙව්වා.ඔයා පුදුමවෙයි.සත්තයි ඒ කතාව දැනගත්තොත්නම් ඔයා පුදුමෙනුත් පුදුම වෙයි.
ඒත් මම  කියන්නෙනම් නෑ... දවසක ඒ කතාව ඔයාම තේරුම් ගනීවී....

කතා කරද්දි පුංචි වෙන ඔය ඇස්  දිහා බලාගෙන, කට උල් කර කර ඔයා කියන කතා අහගෙන ඉන්න මට තිබුණෙ පුදුම ආසාවක්. ඒත් කාලය මෙච්චරක්නම් ගත වුණා. ඔයා මං එක්ක  කතා කරපු ඒ වචන දෙක තුන වුනත්, මට රත්තරං.හිත පතුළෙම ලියවෙච්ච ඒ වචන දෙක තුනට , මම සදහටම ආදරෙයි....

කිසිම කෙනෙක් අංග සම්පූර්න , පරිපූර්ණ නෑ... ඇත්ත. ඔයත් එහෙමයි. මාත් එහෙමයි.කොලුකමට දග කමට , කරපු වැරදි එකක් දෙකක් ඇරෙන්න ඔයා සම්පූර්ණයි.හැම දෙයක්ම සෙල්ලක්කාරකමට අරගෙන,ජීවිත ගොන්නක් එක්ක සෙල්ලම් කරන හිත් වලට සාපේක්ෂව, දෙයියනේ ඔයාගෙ හිත ශ්‍රේෂ්ඨයි..අරුමෝසම් ලෝකෙ මැද, පාට පාට චරිත මවන්න ,සිංහ හම පොරෝ ගන්න දගලන පිරිමි චරිත වලට ,ඔයා සැබෑම ආදර්ශයක්.මවාපාන්න දගලන විකට චරිතයක් නොවුනු ඔයා, මේ මහ පොළොවෙ පය ගහලා, සරලව ජීවත් වෙන්න හදන සැබෑම වීරයෙක් මට.

ඔව්.... මේ තරම් ආදරෙත් ඒ නිසාම වෙන්න ඇති.ඔය හිත පිරෙන්න ගලන මනුස්ස සුවඳට ආදරෙයි මං.ඊයේ, අද ,හෙට වගේම හැමදාමත්.ඔයා මගේ හැම දවසක්ම උදුරගෙන. මගේ අද දවස වගේම, ඊයේ දවසත්. එහෙව් මගේ හෙට දවස ගැන කවර කතාද?මේ ආදරේ වැරැද්දක්ද?මේ මුළු ලෝකෙටම හිතවත්කම පාන ඔය හිත, මා එක්ක අමනාපෙන් ද?නෑ.... ඔයාට එහෙම කරන්න බෑ....ඔය හිතට එහෙම දරුණු වෙන්න බෑ...කොහොමද මේ අහිංසක මට චෝදනා කරන්නෙ?ආදරේ කරපු පලියට මට දඩුවම් කරන්න බෑ ඔයාට.මේ තරම් බරපතල දඩුවමක් මගේ හිතට දෙන්න ඔයාට බෑ ..... කවදාවත්ම බෑ.....ඒත් ඔයා තීන්දු කරලා ඉවරයි..... මේ තරම් බරපතල දඩූවමක් මට දෙන්න...ඔයා හිත හදාගෙන ඉවරයි...

මං කොහොමද උත්තර දෙන්නෙ? ඇයි මං ආදරේ කළේ?ඇයි මට ඔය හිත නැතිව බැරි? ඇයි මං ඔය හිත ළග බොළඳ වෙන්නෙ? ඇයි මට ඔය ජීවිතේ මහා ගොඩාක් වටින්නෙ?හරස් ප්‍රශ්න, අතුරු ප්‍රශ්න කෝටියයි.පැමිණිලි කරන්න ඔයාට ලේසියි..ඒත් මට උත්තර බඳින්න තේරෙන්නෙ නෑ... මට කියන්න තේරෙන්නෙ නෑ... ලියන්න තේරෙන්නෙ නෑ... ආදරේ මට දැනෙනවා විතරයි...කියන්න මට තේරෙන්නෙ නෑ...සත්තයි. මම කියන්නෙ මේ ඇත්තමයි.....ඔයාගෙන් අහන්නෙ නැතිව, ඔයාට කියන්නෙ නැතිව, ඔයාගෙ අවසරයක් නැතිව ඔයාටම  ආදරේ කරපු, ඔය හිත ළග මහා ගොඩාක් ආදරේ පූජා කරපු මං.......
වැරැදිකාරියක්.....ඔව්... මම වැරදිකාරියක්.

ඔබේ ඇස් ළග නුඹව කියවන                           
ඇසේ කඳුලක දුරට කිමිදෙන
ඔබෙන් නාහා ඔබට පෙම් කළ
මං වැරදිකරුවා...මං වැරදිකරුවා....

මගේ අදවත් මට නොදෙන්නට
හෙටත් ඊයෙත් ඔබම ගන්නට
බරපතල වැඩ හිතට සදහට
තීන්දුව ලියලා.. තීන්දුව ලියලා...

ජූරියත් ඔබ පැමිණිලිත් කල
කොහොම වග උත්තර බඳින්නද
ආදරේ දැනෙනවා විතරයි
කියන්නට මට බෑ..කියන්නට මට බෑ....

ගායනය-රොෂාන් ප්‍රනාන්දු


මේ සින්දුවෙ වෙනස්ම අදහසක් වෙනස් විදියට ලියවිලා තියෙනවා. මම හුගාක් ආස කරන සින්දුවක්. ඒ හා බැදිච්ච කතාවක් මටත් තිබුණා. ඒ නිසා නිකන්ම  බොළද වචන ටිකක් හිතට ආවට ලිව්වා.ඒ බොළදකමට සමාව ඉල්ලනවා.




Post Comment

15 September 2011

තටු සිඳුනු සමනළී - 6 වන කොටස

ඔන්න මෙදා සැරේ ඊළග කොටස ලියලා වෙනදා වගේම ඉක්මනටම දැම්මා ;) වැඩිය පරක්කු නෑනෙ..කලින් කොටස් කියවු නැති අයට මෙන්න කියවන්න මුල කොටස් ටික.කියවලා හොද නරක කියලා යන්න අමතක කරන්නෙපා හොදේ???

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5

අද 6 වෙනි කොටස මෙතැන් සිට...........

------------------------------------------------------------------------------------------------------------

කළුවර අහසක මල් වෙඩි පුපුරද්දි පේන්නෙ දැන්නෙ හැගෙන්නෙ කොහොමද, මගේ හිතෙත් ඒ වගේම අමුතුම හැගීමක් තිබුණෙ. සතුට මිශ්‍ර වුනු ඒ උනත් නොඉවසිලිමත්, විසිරිලා ගියපු ඒ හැගීම මාව වෙනමම ලෝකෙක අතරමං කෙරෙව්වා.කළ යුත්ත මොකක්ද ,අවබෝධයක් නැතිව මගේ හිත ඉබාගාතේ යනවා වගේ දැනුණා.

දිලූ, තමාෂි, හසී කිව්වා වගේ, මම දසුන්ට කතා කරනවද ??නැද්ද? එයාට කතා කරලා මං මොනාද කියන්නෙ??මේ සිදුවීම් ඔක්කොමගෙම අවසානයක් තියෙන්න ඕනෙනෙ කවදා හරි..ඒක කොහොම වෙයිද???විසදගන්න බැරි, හිතාගන්න බැරි ප්‍රශ්න ගොන්නක් අතරේ මං හෙම්බත් වෙලා.

කිසිම දවසක හැබැහින් කතා කරලා නැති, ඒත් ඒ ඇස් එක්ක මොහොතින් මොහොත දොඩමළු වුනු මගේ ඇස්, එක නිමේෂයකට පිය වුණා.දවස තිස්සෙම තර්ක විතර්ක ප්‍රශන උත්තර මැද විඩාබර වුනු මගේ හිත , මොහොතකට නිශ්චල වුනා.

අඳුරු අහසකට රිදී පාට තරු ගොන්නක් පායලා වගේ එළිය දෙන ඒ හිනාව, මට චිත්‍රයක් වගේ ඇඳිලා පෙනුණා. ඒ ඇස් දිළිසෙන ලස්සන දැක්කාම වරු ගාණක් වුනත් බලන් ඉන්න පුළුවන් නේද කියලා හිතුනා.එයා ලස්සනට හිනා වුනා.ඒ ඇස් දිහාම බලාගෙන මාත් යන්තමට හිනා වුනා.

" දුව..... දුව.... ළමයෝ...."

" අහ්... අ...ම්..මා..... ඇ..ඇ....යී???"
අම්මාගේ කෑගැහිල්ලට මම කලබලෙන් ඇඳෙන් නැගිට්ටෙ කිසිමදෙයක් හිතා ගන්න බැරිවයි..කියවන්න ගත්ත පොතත් එක්කම මට ඇද උඩ නින්ද ගිහින් ඒ ඩිංගට තමයි අහිංසකයව හීනෙන් දකින්න ඇත්තෙ කියලා මට පස්සෙ තේරුණා.

"නිදිමතනම් මේ ලයිට් ඕෆ් කරලා පිලිවළකට නිදාගන්නකෝ ළමයෝ...මේ අඩමානෙට නිදාගන්නෙ නැතිව. තවම කාලත් නෑනෙ??කෑම බෙදලා මම කීයෙ ඉදන්ද කතා කලේ"

"අහ් නෑ අම්මා.. මම මේ පොත කියව කියව හිටියේ. දන්නෙම නැතිව ඉබේම නින්ද ගිහින්. අම්මා කතා කරනවා ඇහුනේ නෑනෙ..."

"ඔව් ඔව්. මටත් දැන් පේනවා ඒ බව නම්.කතා කළාට ඇහෙන්නෙත් නෑ..පොත් අතේ තියන් හිනා වෙවී හීන බලනවා.අනේ මංදා මේ ළමයි නම්..."

" නෑ නෑ අම්මා...අද හරිම මහන්සියි.."

" හා හා මහන්සි නම් කාලා බීලා දැන් නිදාගන්න. උදේම පාඩම් කරන්න.දැන් එන්න කන්න."

" හරි අම්මා මේ එනවා.මගේ සුදු අම්මා අද මට කවන්නකෝ... කන්න බෑ වගේ අද."

මම අම්මාව බදාගෙන මූණ සිපගත්තෙ හුගාක් ආදරෙන්.කොහොමත් ඉදලා හිටලා නෙවෙයි , හුගාක් වෙලාවට අම්මාව බදාගෙන පුංචි කාලෙ වගේ ළගට වෙලා හුරතල් වෙන එක මට පුරුද්දක් වෙලා තිබ්බා.එහෙම වෙලාවට අම්මාත් අම්මාගෙ එකම දෝණි ගෙ මූණ ඉඹලා චුට්ටක් හුරතල් කරන්න, කුචි කවන්න අමතක කරන්නෙ නෑ...

" හොර කෙල්ල. මෙහෙ එනවා. "
අම්මා මගේ පිටට තට්ටුවක් දාගෙනම කාමරෙන් එළියට ගියා.

අම්මා ගියාට පස්සෙත් තත්පර කීපයකට මම, මට මොහොතකට කළින් සිදුවුණු දේ ගැන කල්පනා කළා.අහිංසකයාව හීනෙන් දැකලා මම හිනා වුනු හැටි, අම්මා මොනා හිතුවද දන්නෙ නෑ... මගේ හිත කනස්සල්ලෙන් පිරුනා.පවු අහිංසකයත්, එයා බලන් ඉන්න ඇති මං අද කතා කරයි කියලා.ඒත් අද කතා කරලා හරියන්නෙ නෑනෙ.හෙටම කතා කරනවා. කතා කරලා එයාව පුදුම කරනවා.
------------------------------------------------------------------------------------------------------------
පහුවදා, සිකුරාදා මුළු දවසම අහිංසකයාට කතා කරන වෙලාව එනකම්, මම නොඉවසිල්ලෙන් කාලය ගත කළා."ගණන් උස්සන්න ගිහින් මාත් කරගත්ත දෙයක්. නිකන් හිතට වද දෙනවා" මම මටම දොස් පවරගත්තා.අහිංසකයට කතා කරන්න අද වෙනකම් ඉන්න කියලා කිව්ව හසීලා එක්කත් චූටි තරහක් ආව.

එදා දවසෙම ඉස්කෝලෙ කාලෙ ගත වුනේ අහිංසකයට කතා කරන එක ගැන හිත හිතයි. කාලෙ ගත වුනෙත් හරිම හිමින් කියලයි දැනුනෙ. කොහොමටත් අපේ හිත් නොඉවසිලිමත් වෙන්න වෙන්න, කාලය ගත වෙන්නෙ හිමින් කියලනෙ හිතෙන්නෙ.එදාත් එහෙමයි දැනුණෙ.දවස ගෙවිලා යනකම් බලන් උන්නෙ ඇගිලි ගැන ගැන.

ඔය අතරේ ඉස්කෝලෙ වෙලාව අතරතුරේදී දිලූ, හසී, තමාෂී , මට අහිංසකයට කතා කරන්න ඕනේ විදිය ගැන නානාප්‍රකාර අදහස් කිව්වා. ඉස්කෝලෙ වෙලාවෙයි, බස් එකේදියි, එදා මුළු දවසෙම මාතෘකාව වුනේ "අහිංසකයා".

"ඔන්න උඹට මතකයිනෙ අපි කියපුවා?? ගණන් උස්සලා කතා කරන්න."
හසී කිව්වා.

" ඔව් ඔව් වැඩිය උවමනාවක් පෙන්වන්න එපා. උඩින් පල්ලෙන් කතා කරන්න. හරිද?? මැටි හරකි වගේ කියන ඔක්කොම ඇත්ත කියලා හිතන්නෙපා.."

දිලූ ත් පැත්තක ඉදන් උපදෙස් දුන්නා.

" අපෝයි ඔව් කෙල්ලෙ. දන්නවනේ කොල්ලොන්ගෙ හැටි?? මතකනෙ මට අර ඩිලානයා දාපු බයිට් එක?? ගෙම්බා!!!!! මට මතක් වෙද්දි ඕකාව කොල්ලො සංහතියම එපා වෙනවා."

හසී කිව්වෙ තරහෙන්.

හැමෝගෙම උපදෙස් අවවාද අනුශාසනා අහගෙන මම එදා දවසම ඔළුව අදහස් වලින් පුරවගෙනයි හිටියෙ.
------------------------------------------------------------------------------------------------------------
සාමාන්‍යයෙන් උසස් පෙළට මම අමතර පංති ගියේ සති අන්තේ විතරයි. ඉතින් සතියෙ දවස් පහේම ඉස්කෝලෙ ඇරිලා ගෙදර රැදෙන්න අවස්ථාව තිබුණා.නමුත් මේ සිකුරාදා මම ගෙදර ආවෙ, වෙනාදට නැති අමුතු හදිස්සියකුත්, අමුතුම සතුටකුත් නොඉවසිලිමත් බවකුත් එක්කයි.හිතේ තෙරපිලා තිබුණු දහසක් සිතුවිලි නිදහසේ එකින් එක හිමීට හිමීට තෝරන්න, වෙන් කරලා අදුරගන්න, සිතුවිලි ලෝකෙ කිමිදෙන්න තියන හොදම තැන තමා ගෙදර නාන කාමරේ.

ගෙදර ආපු හැටියෙම, හිතේ හැටියට නාගන්න හිතාගෙන නාන කාමරේට වැදුනේ හිත පුරා විසිරුනු සිතුවිලි ටිකත් එකතු කරගෙනයි.ඔහේ හිදහසේ යන්න දීපු හිතත් එක්ක වතුර මල යට මම කොයිතරම් වෙලාවක් හිටියද කියලා දැනගෙන උන්නෙ නෑ..

" මොනාද ළමයෝ දැන් පැය ගානක් නේ ඕකට රිංගලා. මෙච්ච්ර වෙලා නාන්න පිස්සුද?? දැන් වෙලාව කීයද??හවස් වෙලා."

"දඩාං බඩාං " ගාල නාන කාමරේ දොරට ගහන සද්දෙයි ,අම්මා කෑ ගහන සද්දෙයි ඇහිලා කල්පනා ලෝක වල සිහි මුර්ච්ඦා වෙලා උන්නු මට පියවි සිහිය එළඹුනා.

" හරි අම්මා... මේ එනවෝ...."

"ඉක්මණට නා ගෙන ඇවිත් මේ කෑම කන්න.දැන් හතරටත් ළගයි.."

හිතේ තිබුණු සතුට, නොසන්සුන්කම, කලබළේ , ඔක්කොම නිසා නාන කාමරේට වෙලා මම පැයකටත් වඩා නාලා නේද කියලා තේරුණේ කෑම කන්න කලින් වෙලාව බලද්දියි.ඉක්මණටම කෑම කාල ඉවරවෙලා , මම කාමරේට දිව්වෙ අහිංසකයට කතා කරන එක ගැන හිතමිනුයි.

හසී ලා කිව්ව විදියටනම්, වැඩිය ගණන් ගන්නෙ නැතිව, ආඩම්බරකමට, උවමනාවක් නැතිව උඩින් පල්ලෙන් කතා කරන්න ඕනෙ. ඒත් අනේ මං කොහොමද එහෙම මාවගෙන කතා කරන්නෙ?? මට බෑ එහෙම කතා කරන්න.ඒත් දැන් එයාට කතා නොකරත් බෑ.. අද නම් කතා කරන්නම වෙනවා.ඔව්. මම මට හිතෙන විදියට සාමාන්‍ය විදියටම කතා කරනවා.ඒත් කවදාවත්ම කතා කරලත් නැති, වැඩිය ඇදුනුම්කමකුත් නැති පිරිමි ළමයෙක්ට එකසැරේට කතා කරන්නෙ කොහොමද කියන එක මට පුදුම ප්‍රෙහේළිකාවක් වුනා.

නෑ... තවත් හිතන්නෙ නෑ... හිත හිත ඉඳලා මොකටද පස්සෙ පසු තැවෙන්නෙ. මම අද කතා කරනවමයි.තදින්ම මගේ හිතට තරවටු කරගත්ත මම, රජිකා දුන්නු කොළ කෑල්ලෙ තිබුනු නම්බර් එක මගේ ෆෝන් එකට දාගත්තා.දෙපාරක් හිතන්නෙ නැතිවම මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.

හප්පොච්චියේ!!!! රින්ග්ස් යනවා.දැන් නම් පපුව "ඩිග් ඩිග්" ගානවා.තොල් දෙකත් වෙවුලනවා. උගුර කට වේලිලා. නළලට දාඩියත් දාල.

" හෙලෝ......"

මාව ගල් වුනා. හිතා ගන්න බැරි වුනා. එහා පැත්තෙන් ඇහුණේ සෞම්‍ය, මෘදු ලස්සන පිරිමි කටහඬක්.මම ඒ හඬට වශී වෙලා ගියා. ඇත්තටම රළු, ගොරෝසු නොවුනු ඒ කටහඬ ,එයාගෙ ලස්සන සුදු අහිංසක මූණටම ගැළපෙනවා. මම ඒ කටහඬයි, පෙනුමයයි සැසඳුවා.අපූරුවට ගැලපුනා.

"හෙලෝ...හෙලෝ.."

මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන ආයෙමත් එහා පැත්තෙන් , අහිංසකයා කතා කළා.මමත් අමාරුවෙන් අකුරු එකතු කලා.

"හෙ....ලෝ..."

තත්පර කීපයකට ආයෙමත් ගොළු වුනා.

" දසුන්ද කතා කරන්නෙ ඔය??"
මම ඉස්සර වුනා.

" ඔව් දසුන් තමයි. මේ මධූ ද කථා කරන්නෙ?"

මම ගැස්සුනා.පුදුමෙනුත් පුදුමයි."මෙයා දන්නෙ කොහොමද මම කතා කරනවා කියලා."

"මේ මධූ ද කථා කරන්නෙ?" ෂා.....!!!! අහපු ලස්සන .එයා තමයි මගේ නම මෙච්ච්ර කාලෙකට ලස්සනටම කිව්ව කෙනා.මම සතුටින් ඉපිලුනා..

"ඔව් මම තමයි. ඒත් ඔයා කොහොමද දන්නෙ??"

" මං හිතුවා ගෑණු ළම්යෙක් කතා කරද්දි, ඔයා වෙන්න ඇති කියලා."
අහ්... මෙයා බබා වගෙ කතා කරන හැටි. වෙන කෙල්ලො මෙයාට කතා කරන්නෙම නැතිව ඇති.කවුද දන්නෙ ඉතිං. මගේ හිතට එන සිතුවිලි වලින් නම් අඩුවක් නෑ..

"හ්ම්ම්ම්ම්ම්....."
මම මොනවත් නොකියාම හිටියා.

"ඇයි ඊයේ කතා නොකලේ?? මං බලන් හිටියා.."

අනේ පවු. ..ඒ වචන ටික කිවෙ හුගාහක් දුකින්. ඇත්තටම මටත් දුක හිතුනා.මගේ මුළු හිතම ඇවිලිලා ගියා.

"මගේ ෆෝන් එක කැඩිලා තිබුනේ පහු ගිය දවස් වල දසුන්. ඊයේ තම හදාගත්තෙ. ඒකයි කතා කරන්න වුනේ නැත්තෙ."

ඒ හිත රිද්දන්න ලෝභකමට, මම බොරුවක් කිව්වා. ඒත් හිත හුගාක් රිදුම් දුන්නා.

"හ්ම්... එහෙම්ද?? කමක් නෑ.. අද කථා කලානෙ ඔයා.හෙට එනවද පංති??"

" ඔව් මම එනවා. ඔයා එනවද?ඔයාට දැන් උණ හොදයිද??"

" ඔව් මාත් එනවා. දැන් උණ හොදයි.පහු ගිය දවස් වල හුගාක් අමාරු වුනා. ඒකයි ගිය සතියෙ එන්නත් බැරි වුනේ.."

"අලුත් පාඩමක් කලේ නෑ දසුන්. බය වෙන්නෙපා. හෙට එන්නකෝ."

" බය නෑ.. ඒත් දුකයි. ගිය සතියෙ එන්න බැරි වුනානෙ."

" ඇයි දුක??"

" නෑ මට ඒ පංතියට නෑවිත් ඉන්න හිතෙන්නෙ නෑනෙ."

මොනා කියනවද මංදා මෙයා. මාව සීතල වෙලා ගියා.හුස්ම හිරවුනා."ඇයි දන්නෙ නෑ නෑවිත් ඉන්න බැරි." මට හිතුනූ දේවල් මම එහෙම්මම ගිලගත්තා.

" රාජිකා කිව්ව නිසා කතා කලේ.."

" ඔව්. ඔයා එක්ක කතා කරන්න ආස හිතුනා. ඒකයි කතා කරන්න කිව්වෙ.පංතියෙදි කතා කරන්න බලද්දි ඔයා දුවලානෙ."

"ම්ම්ම්.... මම දැන් තියන්නද එහෙනම්..??"

වරු ගානක් වුනත් එයා එක්ක කතා කරන්න තිබුනා. ඒත් අම්මා ආවොත් සැක හිතයි. හිතකින් නොවුනත් මම එහෙම ඇහුවෙ, ගෙදර ප්‍රශ්න ඇති කරගන්න අකමැති නිසා.

"ඇයි හදිස්සි?? හ්ම්.. කමක් නෑ එහෙනම් තියන්න.. හෙට එනවනෙ ඔයා?? "

" ඔව් එනවා. පස්සෙ දවසක කතා කරමුකෝ.මං නවතින්නම් අදට.බුදුසරණයි..!!"

" ඕකේ... හෙට එන්න එහෙනම්. මම බලන් ඉන්නවා.බුදු සරණයි.. පරිස්සමින් ඉන්න."


කෝල් එක කට් කරලා , ගැහෙන අතින්ම ෆෝන් එකත් අල්ලගෙන , මම ඇදට පැන්නා."පරිස්සමින් ඉන්න" ඒ වචන ටික හිත ඇතුලේ දෝං කාර දුන්නා.මහා පුදුම හැගීමක් මාව තදින්ම බැදගත්තා වගේ...බලාගෙන උන්නු සුන්දරම මොහොතක් එළඹිලා ගෙවිලා ගිය ඉක්මණ...මං ඇඳේ එහාට මෙහාට පෙරළුනේ සංතෝසෙ වැඩිකමට. "ඇත්තටම එයා හොදයි.." මම මගේ හිතේ ආයෙමත් වතාවත්, ඒ සිතුවිල්ල තදින්ම ඇදගත්තා.

දැන් ඉතින් හෙට වෙනකම් බලන් ඉන්න වෙනවනේ...... ඒ මූණ බලන්න.......

Post Comment

13 September 2011

වැරදුනු කුරුමානම.......

හැමදාම ආදරේ ගැනයි , දුක ගැනයිම ලියන නිසා අද හිතුනා වෙනසකටත් එක්ක ඉස්සර කාලේ සිද්ධියක් ගැන කියන්න.මගේ ඉස්කෝලේ කාලේ,වැඩි ඈතක නෙවෙයි ඉතින්. බොහොම මෑත කාලෙ තමා හිතුවක්කාරි ඉස්කෝලෙ ගිහින් ඉවර වුනේ.මම මේ කියන්න යන සිද්ධිය වුනේ 10වසරේ ඉන්න කාලෙ. ඒ කාලෙනම් දැනට වඩා දගයිද මංදා මම.මම කලින් ටිකක් කිව්වනෙ මගේ යාළුවො ගැන. ඉස්සර දවස් ගැන.

ඔන්න ඉතින් අපි 10 වසරේ දි අපි සෞන්දර්‍ය විෂයකට කලේ පෙරදිග සංගීතය. අපි කිව්වෙ හිතුවක්කාරියි, හිතුවක්කාරිගෙ යාළුවො පස් දෙනයි. අපේ පංතියේ සංගීත විෂය කලේ ළම්යි ටික දෙනයි. අපි 6 දෙනත් එක්ක තව 3න් දෙනයි.ඔක්කොම 9 දෙනයි.අපේ සංගීත කාමරේ එහෙම නැත්තම් අපිට සංගීත උගන්වන පංතිය තිබ්බෙ තට්ටු 4ක ගොඩනැගිල්ලක 4 වෙනි තට්ටුවෙ.ඉතින් අපිට සංගීත විෂය තියන වෙලාවට, අපේ පංතියෙ ඉදන් එතනට යන්න සෑහෙන්න වෙලාවක් යනවා. ඉවර වෙලා පංතියට එන්නත් එහෙමයි.ඒකට හේතුව තමයි, ඔය තට්ටු 4 ගොඩනැගිල්ල තිබ්බෙත් ඉස්කෝලෙ එක කොනක. අපේ පංතිය තිබුනෙ ඊට ටිකක් දුරින් තිබුනු ගොඩනැගිල්ලක.අනිත් එක සංගීත කාමරේට යද්දි සපත්තු ,මේස් ගලවලා එහෙම යන්න ඕනෙ. ඉතින් යද්දි සපත්තු, මේස්  ගලවන්නයි, ආයෙත් ඉවර වෙලා එද්දි සපත්තු , මේස් දාගන්නයි ඕනෙ.ඉතින් ඒකත් හරිම කරදරයක් වුනා වෙලාවකට.

විශේෂයෙන්ම interval එකට කලින් වගේ අපිට සංගීතය තිබ්බ දවස් වලට හරිම වදයක් වුනා.interval එකට බෙල් එක ගහපු ගමන් පංතියට දුවන්න බෑනෙ. සපත්තු මේස් දාගෙන අත් හෝදගෙන පඩි බැහැගෙන යන්න ඕනෙනෙ. එතකොට interval එක ඉවර වෙන්නත් ළගයි. එහෙම දවසට කෑම කන්න වෙලා මදි වෙනවා.අනික අපිට තිබ්බ කාලසටහනට අනුව අනිවාර්‍යෙන්ම සතියට එහෙම දවසක් දෙකක් තිබුනා.අනිත් ලොකුම ප්‍රශ්නෙ තමා interval එකෙන් පස්සෙ සතියෙ හුගාක් දවස් වල අපිට තිබ්බෙ English .

අපිට English උගන්නන්න හිටියෙ ටිකක්  වයස,කලින් A/L පංති වලට Chemistry විශය English medium උගන්වපු මිස් කෙනෙක්. ඉතින් මිස් ට, ඒ කාලෙ   ලොකු පංති වල හිටපු අක්කලා කියලා තියෙන්නෙ "කෙමී" කියලා.ඕං අපි නම් නෙවෙයි.වෙන අය තමයි එහෙම නමක් දාලා තිබ්බෙ. ඇත්තටම මිස් හුගාක් හොදට ඉගැන්නුවා. වෙලාවට ගානට එක විනාඩියක්වත් පරක්කු වෙන්නෙ නැතිව පංතියට එනවා.මිස් ශරීරයෙන් හරිම පුංචියි. වැඩිය උස නෑ.කොන්ඩෙ කොටට කපලා තමා හිටියෙ. හරිම කඩිසරයි. කවදාවත් එන්නෙ නැතිව ඉන්නෙ නෑ. හැමදාම උගන්වන්න එනවා. නැබැයි ළමයි home work කරලා නැති වුනාම එළියට දානවා. ටිකක් සැරයි. ඉතින් ළමයි වැඩිය කැමති වුනේ නැත්තෙ මිස් ගෙන් බේරුමක් නැති නිසයි.

ඔන්න දවසක් අපි සංගීතෙ ඉගනගන්න ගිහින්, අපිට සංගීත මිස් ගෙන් ගැලවුමක් තිබුනේ නෑ..interval එකට බෙල් එක ගහලත් මිස් අපිට යන්න දුන්නෙ නෑ එදා.අපිට දැන් හොදටම තද වෙලා හිටියෙ.බඩගිනියි හොදටම.බඩේ පණුවො බොක්සිං ගහනවා. ඒත් මිස් නෙවෙයි ගානකටවත් ගත්තෙ. කොහොමහරි interval එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා අපිට යන්න කිව්ව. අපි ඉතින් සංගීත මිස්ගෙ පරම්පරව ගැනම මතක් කරගෙන දඩි බිඩි ගාලා පංතියට යන්න ගියා. ඒත් ගියා විතරයි interval ඉවර වෙන බෙල් එක ගැහුවා.දැන් ඉතින් ඉවරයි. කාලා හමාරයි.English මිස් තව විනාඩියෙන් පංතියෙ.
 " මේක හරියන්නෙ නෑ.. අපි අද කට් කරමු. මටනම් මාර බඩගිනියි."
එක්කෙනෙක් කිව්වා.
" ඔව් ඔව්. අපි කෑම එකත් උස්සගෙන එළියට යන්. ආයෙත් අද ඉස්කෝලෙ ඇරෙනකම් ම කන්න ව්එන්නෙ නෑ.. නැත්තම්. කලන්තෙ දායි මටනම්."

ඔන්න තව එක්කෙනක් කිව්වා.

අපි වහාම ක්‍රියාත්මක වුනා. පංතියෙන් එළියට පැන්නා. කෑම ටිකත් උස්සගෙන දිව්වා පස්ස නොබලාම. බැරි වෙලාවත් මිස්ව හම්බුනොත් කියලා.ඔහොම දුවද්දිම අපේ කරුමෙට ඉස්සරහට ආවෙ vice principal මැඩම්. කට්ටියටම කරගන්න දෙයක් නැති වුනා. මැඩම් අපේ මූණු ටික දැකපු ගමන් ඇහුවා  " කොහෙද මේ කට්ටිය දුවන්නෙ?? දැන් මොනාද තියෙන්නෙ පංතියෙ ?" කියලා.ඔන්න ඊටපස්සෙ, " මොකක්ද පංතිය?""කවුද උගන්නන මිස්?", "ඇයි කට් කරන්නෙ?"  ප්‍රශ්න වැලයි.අපිත් ඉතින් සිද්ධිය ඔක්කොම කිව්වා.අපි ඔක්කොම කලේ ඉතින් බඩගින්නටනෙ.මීට ඉස්සර එහෙම පංති කට් කරලත් නෑ.

ඊටපස්සෙ මැඩම් ඔක්කොම අපෙන් විස්තර අහගෙන "යන්කො එහෙනම් කට්ටියම පංතියට දැන් මාත් එක්කම." කිව්වා.දෙයියනේ ..... අපිට හුස්ම හිර වුනා.කරනන් දෙයක් නෑ. යන්න වුනා.අපි යද්දි මිස් පංතියෙ උගන්වනවා.මැඩම් ගිහින් මිස් එක්ක කතා කලා. පංතියෙම ළමයි ටික අපි දිහා කට ඇරගෙන බලන් ඉන්නවා.
"මීට කලිනුත් මේ ළමයි මෙහෙම කට් කරලා තියනවද?" මැඩම් මිස් ගෙන් ඇහුවා.

" නෑ නෑ..එහෙම කිසිම දෙයක් මේ ළම්යිනෙගෙන් වෙලා නෑ" මිස් මැඩම්ට කිව්වා.

"මීට පස්සෙ මෙහෙම කරන්නෙපා. බඩගින්නෙ ඉන්න ඕනෙ නෑ.. මිස් ට කියලා කන්න වෙලාවක් ඉල්ලගන්න" කියලා මැඩම් යන්න ගියා.

"වාඩිවෙන්න, විනාඩි 5ක් දෙන්නම් කන්න" මිස් අපිට කිව්වා.

අපිත් බයටම "ඕනෙ නෑ මිස්, අපි මිස් ගියාම කන්නම් "කියල හිටියා. අපි හිතුවෙ මිස් අපිට හොදටම බනී කියලා. ඒත් මිස් එදාවත් ඊට පස්සෙවත් ඒ සිද්ධියට බැන්නෙ නෑ..

ඇත්තටම අපිට හරිම දුකයි. පුදුමයි. මිස් අපිට බැන්නානම් ඇත්තටම අපිට එහෙම ඒක දැනෙන එකක් නෑ. ඒත් මිස් අපිට වචනයක්වත් කිව්වෙ නැති නිසාම අපිට හුගාක් දුක හිතුනා. අපි මිස් ගැන හිතන් හිටිය විදිය ගැනත් පසුතැවුනා. පස්සෙ අපි ගිහින් මිස්ගෙන් සමාව ගත්තා.

එදා ඉදන් මිස්ගෙ හොදම සුවච කීකරු ගෝලයෝ වුනේ අපි.අවුරුදු 2ක්ම අපිට උගන්වපු නිසා, පස්සෙ කාලෙකදි මිස් අපිට හුගාක් ලං වුනා.එදයින් පස්සෙ කවදාවත්ම එහෙම වැඩ කළෙත් නෑ.....

Post Comment

12 September 2011

දෛවයේ සරදම....

ඔය ඇස් දකින්න එක   මොහොතකටවත්
මම පෙරුම් පුරද්දි..........
අවාසනාවන්ත මගේ දෛවය,
ඒ හැම මොහොතකම
ඔය ඇස් මට මග හැරියා........
මේ පුංචි හිතේ තිබුණු
අහිංසකම පැතුම
ඇසිල්ලකින් සුනුවිසුණු කළා....
ඒත්.........
ඔය ඇස් මහ හරින්න
හැම මොහොතකදිම
මම මාන බලද්දි..........
අකාරුණික මගේ දෛවය,
ඒ හැම මොහොතකදිම
ඔය ඇස් මට මුණ ගැස්වුවා.......
මගේ රිදුණු හිතේ යටපත් වුනු
දුකම හිතෙන සිතිවිලි
මොහොතින් මොහොත මට ළං කළා.....
අනේ.......
දෛවය මට සරදම් කරන තරමක්......

Post Comment

10 September 2011

තටු සිඳුනු සමනළී - 5 වන කොටස

ඔන්න මෙදා සැරේ කතාවෙ ඉතුරු ටික දාන්නනම් ටිකක් පරක්කු  වුනා. කට්ටියට කතාව අමතක වෙලාද දන්නෙත් නෑ.... පරක්කු වුනාට සමාව දීලා 5 වෙනි කොටස කියවන්නකෝ..කියවලා හොද නරක දෙකම කියන්න හොදේ...

මුල කොටස් බලපු නැති අයට මෙන්න මුල කොටස් ටික.
තටු සිඳුනු සමනළී  1
තටු සිඳුනු සමනළී  2
තටු සිඳුනු සමනළී  3
තටු සිඳුනු සමනළී  4

අද තටු සිඳුනු සමනළී 5 වන කොටස........

---------------------------------------------------------------------------------------------

"කතා කරන්නකෝ ළමයෝ...මොනාද කල්පනා කරන්නෙ??"

රජිකාගේ කටහඩින් මම ආයෙමත් මොහොතකට මගේ කල්පනාවෙන් මිදුනා.

"ඔව්. ඔව්.. ඔය කියන බෝයි ව මම දන්නවා අනේ..හැබයි එහෙමටම නෑ..."

" හරි කොහොමහරි ඔයා එයාව දන්නවානෙ?? "

" හ්ම්ම්.. නම ගම ඉස්කෝලෙන් හැඩරුවින් දන්නවා.ඇයි රජිකා?? මොකක්ද ප්‍රශ්නෙ??රජිකා එයාව දන්නවද??"

"නැහැ,මම දසුන්ව නම් අදුරන්නෙ නෑ. ඒත් එයාගෙ යාලුවෙක් ව නම් දන්නවා.එයා තමා මගෙන් ඇහුවෙ ඔයා ව දන්නවද කියලා."

" මොනවා..කවුද යාළුවා?? තාරුක ද??"

" නෑ.. නෑ.. මධූ ඔයානම් එයාව දන්නෙ නැතුව ඇති. හෂාන් කියලා දසුන්ගෙ ගෙවල් ළග ඉන්න යාලූවෙක්.දන්නවද එයාව?? නෑනෙ??"

"නෑ.. නෑ... එයා අපේ පංති එන එක්කෙනෙක් නෙවෙයි වෙන්න ඇති.. දන්නෙ නෑ නමින් නම් .ඉතින් මොනාද දැන් එයා ඇහුවෙ??"

"එයා ඇහුවා මගෙන් හැඩරුව, නම එහෙම කියලා maths කරන ගෑණු ළමයෙක් ව දන්නවද කියලා, මම ඉතින් හැඩ රුව විස්තර කිව්වහම දැනගත්තා මේ ඔයා තමා කියලා. පොඩි සැකයක් ආවනම් ඒ නම හින්දා. මධූ කියල තව අයත් ඉන්නවනෙ."

දෙයියනේ... මේ කොල්ලා නම් මාව පිස්සියෙක් කරලා තමයි නතර වෙන්නෙ. මෙහෙම මං ගැන හොයන්නෙ මොකටද මංදා. මගේ තුන් හිතම ඇවිලිලා ගියා එකම ගින්නකින්...දසුන් මට ආදරේ කරනවවත්ද?? නෑ වෙන්න බෑ.. බලමු...මම අමාරුවෙන් වචන ගැටගහගත්තෙ රජිකා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න නිසා.

" හ්ම්.... ඔව්. ඒකතමා. මොනාද ඉතින් ඔයා කිව්වෙ?? මගේ විස්තර කිව්වද??"
මම කළබලෙන්ම අහල දැම්මා.

" මම මොනා කියන්නද අනේ??? එයාලා ඔක්කොම දන්නවනෙ ඔයා ගැන...ඊ ට පස්සෙ තමයි මම ඇහුවෙ මොකටද මේ ඔයාව හොයන්නෙ කියලා.මම හිතුවෙ හෂාන් ඔයාට ට්‍රයි කියලයි.."

" අනේ පිස්සුද .?? මං දන්නෙවත් නෑ එහෙම කෙනෙක්."

"හරි බං.මං දන්නවා. ඊට පස්සෙ තමයි කොල්ලා මට කිව්වෙ. එයාට නෙවෙයි , එයාගෙ යාළුවා දසුන් ඔයා ගැන හැම වෙලේම කියවනවා. ඒකයි මගෙන් දන්නවද ඇහුවෙ කියල"

රජිකා කියන විදියටනම් හෂාන් දසුන්ගෙ ළගම යාලුවෙක්. ගෙවල් ළගත් නිසා හොදටම දන්නවා ඇති.. අනේ.. අහිංසකයට කොහොමද දන්නෙ නෑ... එයාට දැන් උණ හොදයිද දන්නෙ නෑ... ඒත් මං කොහොමද මේවා රජිකාගෙන් අහන්නෙ. එතකොට එයා ගිහින් හෂාන් ට කියලා, හැමදේම අහිංසකයා දැනගනීවි.මං මොකද කරන්නෙ??

මොහොතකට මගේ හිත ලොකූ ප්‍රශ්නෙකට මැදි වුනා. අහිංසකයා ගැන විස්තරයක් හරියටම දැනගන්න ලැබෙන අවස්ථාවක් මග හැරගන්න මට මහා ලෝභකමක් දැනුනා.ඒත් හිතේ තිබුනු බය නිසා මම මගේ ඒ ආසාව යටපත් කරගත්තා.

" අයි මධු මුකුත් ප්‍රශ්නයක්ද?? එහෙම දෙයක් නම් කියන්න. මම උදව් කරන්නම්..."

" අනේ නෑ රජී...එහෙම දෙයක් නම් නෑ.. ඒ බෝයි හොයල තිබ්බා මා ගැන. මට තවත් යාළුවෙකුත් කිව්වා. අනේ මංදා. මොකද දන්නෙ නෑ.."

" අනේ... අනේ... උඹ බබා...ඔහොම හොයන්නෙ වෙන මොකට්ද බං. ලව් එකටනෙ."

" අනේ යන්න කෙල්ලෙ. මම දන්නෙ නෑ ඕවා.. බලමුකෝ.. ඔයාට හෂාන්ව හම්බෙනවද අද??"

" නෑ.. ඒත් එයා මට මැසේජ් කරනවා. ඇයි පණිවිඩයක්ද?? තියනවනම් කියන්න කෙල්ලෙ. බය වෙන්නෙපා. මම කාටවත් කියන්නෙ නෑ.."

අනේ.... ....කියනවද නැද්ද?? කියනව්ද නැද්ද??මේක තමා අන්තිමම අවස්ථාව. මගේ හිත මහා අරගලයක. නෑ එක්කො ඕනෙ නෑ... එහෙම වුනොත් හිතයි මමත් දසුන් ගැන හොයනවා කියලා. කොල්ලො ෂුවර් කරන්නත් බෑ.. කවුද දන්නෙ මොකට එන්න හදන්වද කියලා. ඔන්න ඔහේ ඉන්නවා වෙන දෙයක් වෙයිනෙ.

අන්තිමට මම දසුන් ගෙ අසනීපෙ ගැන හෂානෙගෙන්, රජිකා ලවා අහගන්න තිබ්බ අදහස අමාරුවෙන් අතෑරගත්තා.

" නෑ නෑ.. රජිකා. මුකුත් නෑ.. මම ඕන වුනොත් කියන්නම්කෝ. තෑන්ක්ස් කෙල්ලෙ. මම යන්නම් දැන්. අපිට  lab එකට එන්න කිව්වා."

" අහ්... ඕක මොකක්ද අනේ... ආයෙත් මුකුත් තිබ්බොත් මං කියන්නම්කෝ...එහෙනම් යන්න මධු.. නැත්තම් මිස් ගෙන් අහගන්න වෙයි..බායි....!!!"

" ඔව් ඔව්. එහෙනම් මං ගියා. බායි.."

"ඩිග් ඩිග් ඩිග්...!!!!!" ගාලා මගේ හිත ගැහෙන සද්දෙ වෙන කාටවත් ඇහුනද කියලා බයෙන් වගේ මම වටපිට බැලුවා.නළලෙ මතු වෙච්ච දාඩිය බිංදු ටික හිමින් සැරේ මගේ දම් පාට මල් වැටිච්ච ලේන්සු පොඩියෙන් පිහදාගත්තා.ඉක්මන් ගමනින් පඩිපෙළ බහින්න පටන් ගත්තෙ මිස් ලැබ් එකට ඇවිල්ලානම් මට සිද්ධ වෙන දේ කල්පනා කරලයි. මගේ හිතේ ත්බුනු නොසන්සුන් කමටයි, කළබලේටයි පඩි බහින්න ගිහින් කකුල් පැටලිලා නොවැටී බේරුනේ අනුනමයෙන්.

පංතියෙ ඔක්කොම ළමයි ටික lab එකට ගිහින්. මම බයෙන් බයෙන් lab එකේ දොර ළගට ගියේ දොරේ වීදුරුවෙන් , මිස් ඇවිත් ද කියලා බලාගන්නයි.

අනේ වාසනාවන්....මිස් තවම ඇවිත් නෑ.. මම දඩි බිඩි ගාල lab එක ඇතුළට රිංග ගත්තා.

" මොකෝ බං මේ??? හොල්මනක්වත් දැක්කද උදේ පාන්දරම??? බය වෙලා වගේ??"

මාව දැක්ක ගමන්ම  ශමල්කා බෙරිහන් දෙන්න ගත්තා.

"නැත්තම් ඔෆිස් එක පැත්තෙන් එද්දි, invitation එකක් එහෙම අරන් ආපු කොල්ලෙක් වත් දැක්කද??"

පැත්තක හිටපු ප්‍රමුදිත් කට දැම්මා.

" අනේ බං උඹලත්.. මං දැක්ක කොල්ලෙක්වත්, හොල්මනක්වත් නෑ...මම බයෙන් ආවෙ මිස් ඇවිත් ද දන්නෙ නෑ කියලා. ඒකයි.."

" ආ........ මේ මිස් ට බයේ....."

ශමල්කයි ප්‍රමුදියි දෙන්නම හිනා වුනා.

"ගිය සතියෙ practical එක ලියලා ඉවරකරන්න කියලා  මිස් . අද අලුත් එකක් පටන් ගන්න කලින්. ගිහින් පොත අරගෙන ලියන්න මධු."

" අහ් හරි හරි. ලියමු.."

ලියන්න පොත අතට ගත්තට මගේ හිතනම් පොතේ තිබුනේ නෑ.. මගේ හිත දිව්වෙ රජීකා ගේ වචන දිගේ දසුන් ලගට. එයා මං ගැන එහෙම හොයන්නෙ ඇත්තටම මං ගැන උනන්දු නිසා වෙන්න ඕනෙ.එදා කෞෂි කිව්වෙත් ඒකනෙ. "දසුන් මං ගැන උනන්දුයි" කියන හැගීමෙන් මගේ හිත පිරිලා ගියා. අමුතුම සතුටක් ඒ හැගීම එක්ක මගේ හිතේ පැතිරුනා වගේ මට දැනුනේ.

අපි ආස කරන කෙනෙක් අපි ගැන උනන්දු වුනාම හිතට දැනෙන සංතෝසෙ කොයි තරම්ද  කියලා අහලා තිබුනට මට දැනුනෙ අදයි... ඒත් දසුන් ගැන විස්තරයක් දැනගන්න තිබ්බ අව්ස්ථාව මගෑරිය එක ගැනනම් , මම ටිකක් විතර පසු තැවුනා.
-------------------------------------------------------------------------------------
කාලය ගත් වුනේ හරිම වේගෙන්. දවස්, සති ඉක්මණටම ගෙවිලා යනවා වගේ. සතියක් ගෙවීගෙන යනවා දැනුනෙවත් නෑ.. අද බ්‍රහස්පතින්දා.වෙන්දා වගේම interval එක වෙලේ මම මගේ බත් මුලත් උස්සගෙන එහා පන්තියට දිව්වෙ තමාෂියි, දිලූයි ,හසීයි, කට්ටියම මං එනකම් කන්න බලාගෙන ඉන්න නිසායි.ඒත් මම පන්තියෙන් එළියට එද්දිම කට්ටියම මගේ පැත්තට දුවගෙන එනවා.

" මේ මොකෝ??අද කන්නෙ නැද්ද??"

මම ඇහුවෙ පුදුමෙනුත් පුදුම වෙලා.

" නෑ නෑ බං. සතියට එක වරක්වත් කෑමට පෙර හරියට අත් සෝදන්න කියලා පොතේ තියෙන්නෙ. අපි පල්ලෙහාට යනව අත හොදන්න.. එන්න යන්න."

නිශාගෙ කතාවට මට හොදටම හිනා ගියා. වෙන්දට පංතියෙ ගහලා තියන දැල් වලින් අත් දාලා වතුර බෝතල් වලින් අත හෝදන කට්ටියම අද පඩි පෙළ බැහලා පල්ලෙහාට ගිහින් ටැප් එකෙන් අත හෝදන්නයි හදන්නෙ.

" අද නම් වහී බං. මට ෂුවර්.. "

" ඔව් ඔව්. ඒක ඇත්ත. නෑ බං. මේ අද අපේ මිස් තර්ජනය කළානෙ. උඩ තට්ටුවෙන් පල්ලෙහාට අත දාලා අත් හෝදන්න එපා, වතුර වැටෙනවා දැක්කොත් අදින් පස්සෙ පංතියටම දඩුවම් කරන්වා කියලා."

"ඉතින් බං අපි ඉඳුල් පිටින් හෝදන්නෙ නෑනෙ..කාල අත හොදන්නෙ ටැප් එකෙන් නෙ."

" ඔව් ඒක තමා බං. ඒත් කරන්න දෙයක් නෑ කෙල්ලෙ. ඔන්න ඔහේ ඉක්මණට යන්. නැත්තම් කන්න වෙලා මදි. බත් 5ක් කන්නත් එපැයි."

අපි කට්ටියම පල්ලෙහාට බහින්න ගත්තා දුවගෙන. කොරිඩෝව දිගේ දුවද්දි ම මට රජීකාව හම්බුනා.

" අහ් මධු... මේ මං මේ ඔයව හම්බෙන්න උඩට එන ගමන්.මෙදා සැරේනම් වැඩේ බරපතලයි කෙල්ලෙ.."

" ඇයි මොකද??"

" ඊයෙ මට හෂාන් හම්බුනා. මිනිහා මගෙන් ලොකු උදව්වක් ඉල්ලුවනෙ."

" ඒ මොකක්ද කෙල්ලෙ???"

" හෂාන් මගෙන් ඔයාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුව. දසුන් ඉල්ලුවාලු"

මගේ ඇස් දෙක නලළටම ගියා. දන්නෙම නැතිව කටත් ඇරුනා.මගේ දෙයියනේ...මේ වෙන්නෙ මොනාද?? මං මේ හීනයක්වත් දකිනවද?? නෑ.. මං මාවම කොනිත්තගත්තා. නෑ.. නෑ.. මේ ඇත්ත. රජිකා මගේ ඉස්සරහා.මම මේ ඉස්කෝලෙ ඉන්නෙ.මම පියවි සිහියට ආවා.

" මේ...මේ.... ම....ගේ..."

දිව පැටලි පැටලි මම අමාරුවෙන් වචන එකතු කරගත්තා.

" ඔව් ඔව්. ඔයාගෙ තමා.ඒත් මං ඇත්තටම ඔයාගෙ නම්බර් එක දන්නෙ නෑනෙ.මං දන්නෙ නෑ කිව්වා."

" ඉතිං......"

" ඒත් එයා හිතුවෙ මං බොරු කිව්වා කියලා. පස්සෙ මට කිව්වා කමක් නෑ එහෙනම් නම්බර් එක දෙන්න බැරිනම් දසුන්ගෙ නම්බර් එක දෙන්නම් , ඒකට මධූට කතා කරන්න කියන්න කියලා"

රජිකා පැන්සල් පෙට්ටියෙ දාගෙන උන්නු කොළ කෑල්ලක් නවලා මගේ අතට දුන්නා. මම ගැහෙන අතින් ඒ කොළ කෑල්ල ගත්තෙ විසිරිලා ගියපු හිත එකතැන් කරගන්න උත්සාහ කරන ගමන්.

" මං ... මං....කතා කරන්නෙ මොකටද??"

මම ඇහුවා නෙවෙයි. මට ඇහුනා.

" දසුන් ඔයාට කතා කරන්න කිව්වලු.එයා අසනීපෙන් ඉන්න කතාවකුත් කිව්වා හෂාන්.මොකද දන්නෙ නෑ... ඔයා කතා කරලා බලන්නකෝ.. එයා බලන් ඉන්නවා කිව්වා ඔයා කතා කරනකම්..."

හිතාගන්න බැරි, කියාගන්න බැරි, අදහගන්න බැරි දාහස් සිතුවිලි අස්සෙ මම අතරමං වුනා.

" මධූ.... මධූ... කන්නෙ නැද්ද බං අද??? බඩේ පණුවො බොක්සිං ගහනවා. ඉක්මණට එනවාකෝ...ඔය දෙන්නත් එක්ක කුමණ්ත්‍රනය කරන්නෙ මොකාව අමාරුවෙ දාන්නද??"

දිලූ මහ හයියෙන් කෑ ගහන්න ගත්තා.

" අන්න අරුන් ටික කෑ ගහනවා. ඔයා යන්න මධු එහෙනම්. මතකයිනෙ. අනිවාර්‍යෙන්ම දසුන්ට කතා කරන්න හරිද?"

" අනේ මංදා කෙල්ලෙ. බලමුකෝ.. මං යන්නම්..."

කඩිමුඩියෙ මම ටැප් එක ළගට දුවලා අතත් හෝදගෙනම දිලූ, හසී එක්ක දිව්වා.

"මොකෝ සීන් එක?? අර අංගුලිමාල උඹට ලව් ලුද?? නෑ නෑ සොරි මට නම් ටැපලුනානෙ.. අහිංසක.. නේ?? පස්සෙ අංගුලි මාල??"

දිලූ සුපුරුදු විදියට මේකත් විහිලුවකට ගත්තා. කට්ටියම හිනා වුනෙ පංතියෙ වහලෙ උළු උඩ යන තරම් හයියෙන්.

"උඹලාට විහිළු...."
මම කිව්වෙ නෝක්කාඩුවට.

" හරි දැන් කියන්නකෝ මොකෝ වුනේ???කන ගමන් කියන්නකෝ..."

"මොන කෑමක්ද?? මටනම් කෑම උගුරෙන් පල්ලෙහාට යන්නෙත් නෑ... "

" එහෙනම් වතුර ටිකක් බීලා. කන්න මධු. විහිලු නෑ ආයෙත්.. කියන්න මොකෝ වෙලා තියෙන්නෙ දැන්??"

මම රජිකා කිව්ව විස්තරෙයි. අහිංසකයා ෆෝන් නම්බර් එක දුන්නු විස්තරෙයි කට්ටියටම කිව්වා.

" ඉතිං ඕක අහන්නත් දෙයක්ද බං. හිතන්න දෙයක් නෑ.. කතාකරපන්.. පවු කොල්ලා."
ගත් කටටම තමාෂි කිව්වා.

" අනේ මංදා.. මට තේරෙන්නෙ නෑ...අනිද්දානෙ ආයෙත් පංති. අද බ්‍රහස්පතින්දා"

" අනේ මේ... උඹ නැකත් බලන්නද යන්නෙ දැන්මම?? ඉතින් කතා කරන්න කියලනෙ කියල තියෙන්නෙ. උඹටත් ඕනෙ දැන් එයාට මොකද කියලා දැනගන්නනෙ...ඕනෙම නම් පොඩ්ඩක් ගණන් උස්සලා , අද නැතිව හෙට කතාකරන්න."

" අන්න හරි. එතකොට ටිකක් අගේ වැඩියිනෙ."

හසී ත් කතාව අනුමත් කළා.

" ඔව් එහෙම කරන්න. ආව් අප්පා.. කෙල්ලගෙ සිරියාව. මේකි මේ බොරුව දාන්නෙ. මේකිට සතුට උතුරනවා."

" සතුටක් නැත්තෙමත් නෑ... ඒත් බයයිනෙ."

" බය වෙන්න දෙයක් නෑ...කතා කරන්න . හෙට සිකුරාදානෙ.අනිද්දා සුභ දෙයක් වෙයිනෙ. එයාගෙ අසනීපෙ ගැන අහන්න. ඒත් ටිකක් ගණන් උස්සලා කතා කරන්න."

මුන් දාහක් දේවල් කියනවා, ඒත් මගේ හිත ලොකූ ප්‍රශ්නෙකට මැදි වෙලා.කතා කරනවද නැද්ද,මට හිතා ගන්න බැරි තරම් හිත නොසන්සුන්. මම දැන් මොකද කරන්නෙ...??? මම පරිස්සමට රජිකා දුන්නු කොළ කෑල්ල පර්ස් එකේ දාලා වැහුවා. හොදට කල්පනා කරලා හිතෙන හොදම දේ කරනවා.........

  

Post Comment

08 September 2011

මම- ඔයා- මගේ ජීවිතේ

මං බොළඳයිලු. ජීවිතේ ගැන හිතන්නෙම අසුභවාදීවලු. මං ගැන හිතන්නෙ හරිම අඩුවෙන්ලු. ටිකක් මෝඩයිලු. කලබල වෙනවා වැඩියිලු.ආදරෙන් අන්ධයිලු.දුකම ළං කරගන්නලු හදන්නෙ. ඒත් මගේ හිත හොදයිලු. හිනාව ලස්සනයිලු.සංතෝසෙන් ඉන්නවා වගේලු පේන්නෙ හැම වෙලේම.අවංකයිලු.
මම නම් දන්නෙ නෑ...හිතන්නෙත් නෑ.. මෙහෙම කියන්නෙ අනිත් අය. එයාලට පේන හැටි. ඒත් මං මං ගැන දන්නෙ, මං බලාපොරොත්තු ,හීන හමුවේ අසරණ වුනු ,කාටවත් හිතා මතා වැරදිනම් නොකරන, හිතුවක්කරකමට ජීවිතේ පසු බහින්න හදන මෝඩ කෙල්ලෙක් විදියට.මං දන්නෙ එච්චරයි.

ජීවිතේ කියන්නෙ අපි පතන දේ නෙවෙයිලූ... අපිට ලැබෙන දේලු... ජීවිතේ ලැබෙන්නෙ දුකද සතුටද ආදරෙන් වැළදගන්න සිද්ධවෙනවලු.. අනේ මංදා.. මට තේරෙන්නෙ නෑ... අනිත් අයට් බණ කිව්වට.. මට මේවා හිතා ගන්නවත් බෑ... ජීවිතේ හැමදාම දුක සතුට එකම් විදියට තියෙන්නෙ නෑලුනෙ. ඒත් මගේ ජීවිතේ සතුට කියන දෙයට හුගක් දුරයි....ලැබීම් එකක් දෙකක් අතරේ.. නොලැබීම් ම විතරක් උරුම වුන මගේ ජීවිතේ, අදත් හෙටත් කවදත් හොයන්නෙ මහා ලොකූ සැනසීමක් සංතෝසයක් නෙවෙයි.. පුංචි සැනසීමක සෙවනැල්ලක් වත්...... සතුට බිංදුවක්වත්....නෑ පේන මානෙකවත් නෑ..... 

ලෝකෙට පේන්න හිනා වෙලා, සතුට දෝරෙ ගලන මගේ හිනාවෙන් අනුන්ගෙ ඇස් මුලා කරලා  මං වින්දෙ නෑ විඳෙව්වෙ මේ ජීවිතේ.හැමදාම පුංචියට හිට්යානම් හොදයි කියලා අම්මා එක්ක නිතරම කියනවා මං.ඒ වෙලාවට අම්ම කියන්නෙ කිසිම දෙයක බරක්පතලක් නොදැන, මහා නිදහසකින්, සැහැල්ලුවකින් , දුකක් විඳින්නෙ නැතුව, හැමදාකම සතුට විතරක් විදගෙන මුළු ජීවිතේම ගෙවන්න අපිට බෑ කියලා.
ඇත්ත. අම්මා කියන්නෙත් ඇත්ත. මෙච්චර දේවල් ගැන කියවන මම දන්නෙත් ඒ ඇත්ත.දෙයියනේ ඒත් මේ මගේ හිත,හිතුවක්කාරිගෙ හිත  ඒ ඇත්ත පිළිගන්නෙ නෑනෙ.

අම්මාගෙයි තත්තාගෙයි ආදරේ මාව අද වෙනකම් ජීවත් කලා. සදහටම ජීවත් කරන්නෙත් ඒ ආදරේමයි..මේ ලෝකෙ මාව කවුරු තේරුම් නොගත්තත්, මගේ අම්මායි තාත්තායි ඉන්නවනෙ. ඒ ආදරේ අපරිමිතයි.චණ්ඩියා වුනත් හුරතලේට ලගින් ඉඳන් ආදරේ කරන්න ,රණ්ඩු වෙන්න, මං පොඩි කාලෙදි අම්මා ගෙනත් දුන්නු මගේ මල්ලියා මගේ පණ වගේනෙ.

ඔව් මං තනි වෙලානම් නෑ.එදා ඉදන් දුක සැප බෙදාගත්ත මගේ ළගින්ම උන්නු යාළුවො ටික, උන් ටික එක්ක බැඳුණු මගේ සහෝදර කැක්කුම, එදා වගේම අදත් එහෙමයි...ඉස්කෝලෙ කාලෙන් පස්සෙ අදටත්, එදා ඉදන්ම තිබ්බ ඒ බැඳිම චුට්ටක්වත් අඩුවෙලා නෑ.

ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මට හම්බුනු මගේ ජීවිතේ ඊළග කොටස්කාරයෝ ටික. මගේ සහෝදර පවුලේ අලුත්ම හදවත් ටික.ඕන ප්‍රශ්නෙකදි සහෝදර කමට ළගින්ම ඉන්න සුදු අයියා ගැන මං දවසක් කිව්වා.

දන්න නොදන්න දේවල් අතරේ හැම වෙලේම උදව්වට ඉන්න, දුක සැප බෙදාගන්න ආදරේ ගැන කතා කරන්න, කවි ලියන්න , බ්ලොග් ලියන්න, සිංදු ලියන්න, විහිළු කරන්න, මාව තරහ ගස්සවන්න , මගෙන් බැනුම් අහන්න හැමදේටම හිතට ළගින් ඉන්න මගේ අනිත් අයියා ක්‍රිකට් පිස්සා.මාව තේරුම් ගත්ත අනිත් සහෝදර චරිතෙ.

ඊළගට මගේ ආදරණිය පිස්සියෝ දෙන්නා, රණ්ඩු වෙන්න, හිනා වෙන්න, බැන ගන්න, සෙල්ලම් කරන්න, අඩන්න හැම දේටම කොහොමහරි ළගින් ඉන්නවා. ඒ බැඳිමට ගරු කරන්නෙ මං හදවතින්ම.එකට බද්ධ වෙලා තියන මේ  හිත්, හැමදාමත් දුකේදි සතුටෙදි මෙච්ච්ර කාලෙකට හිටියා.මොන දේ වුනත්, අන්තිමට අපි එක  තැනක.ඒකයි හිතට හයිය.

මම දුකින් ඉද්දි මාව හිනස්සවන්න, මොහොතකට මට සතුටක් දෙන්න, විහිළුවක් කරලා හරි මගේ හිත සනසන්න,මගේ හිනාව දකින්න ආස කරන මගේ ලගින්ම ඉන්න මගේ මල්ලිලා ටික.තේරුම් ගන්න බැරි චරිත අතරේ මාව සැබෑවටම අදුනගත්ත ආදරණිය ඒ බැදීම් මට ආශිර්වාදයක්.මල්ලිලා කිව්වට උන් ටික මගේ අයියලා වගේ.නොදන්න දේවල් කියලා දෙන්න,උදව් කරන්න, කුප්පි දාල උගන්නන්න, දුක සතුට බෙදා ගන්න, පොඩි පොඩි වලි දාගන්න, කුචි කවාගන්න,මට කියලා කවි ලියාගන්න, ඇත්තටම මේ පාළු හිතට ඒ හිත් වාසනාවක් ගෙනාව.
ඒ මගේ ජීවිතේ කොටස් ටිකක්..ගහට පොත්ත වගේ මගේ ජීවිතේ එක්ක ඇලිලා, ගැලිලා තියන හදවත් ටිකක්....

ඔව් ඒ මගේ දුකේදි සතුටෙදි මට මුලින්ම මතක් වෙන ආදරණියම හිත් ටික.ඒත්,  ඔයා.............
ඔයා නම් කිසිමදෙයක් දන්නෙ නෑ.. දැනගත්තත් ඔයාට වැඩක් නෑ...ඔයා ඉන්නෙ ඔයාගෙම ලෝකෙක. ඔයා යන්නෙ වෙනම පාරක. මං යන්නෙ වෙනම පාරක. මට ඔයාගෙ අතින් ඇදන් ,මගේ පාරෙ බලෙන් ගෙනියන්න බෑ... ඔයා මගේ අතින් අල්ලගෙන ,ජීවිතකාලෙම මාත් එක්ක ,අපි දෙන්නාම එකම පාරක යන්න එනවනම්...... ඒක හීනයක්.....ඔව්.. හැබෑ නොවෙන හීනයක්.

ආදරේ කියන්නෙ මොකක්ද කියලා විග්‍රහ කරන්න මං දන්න වචන මදි. ඒත් ආදරේ කියන්නෙ හිතක ලස්සනට පිරිසිදුව ඇති වෙන්න ඕනෙ, හැගීමක්. අවංක පිවිතුරු නිර්මල බැඳීමක්. ඔයා දන්නවා ඇති. නොදන්නවත් ඇති. හිතක් අතෑරුනාම දැනෙන දුක. මට ලියන්න කියන්න තේරෙන්නෙ නෑ... මීට වඩා ඒ ගැන.. ඔයා දවසක තේරුම් ගනීවී....ආදරේ කරන්න ලේසියි... ඒත් ලබන්න..... අමාරුයි....මට කියන්න පුළුවන් ලස්සනම විදිය මෙච්චරයි...... මේ  ඔයා වෙනුවෙන් මගේ ආදරේ.... අකුරක් අකුරක් ගානෙ මේ තියෙන්නෙ මගේ ආදරේ.....

මග දිගටම මම හොය හොය
ඇවිදින්නෙ,
ඔයාගෙ අතින් අතෑරුනු
මගේ පුංචි අහිංසක හිත.......
මහා මේරු පර්වතයක්
තරම් මගේ ආදරේ
ඇල්පෙනෙති තුඩක් තරම් හීනියට
ඔයාට දැනුනට,
තරහා නෑ කිසිම දවසක.....
ආදරේ මනින්න,
කියන්න, ලියන්න
මට තේරෙන්නෙ නෑ
දැනෙනවා.. හැගෙනවා විතරයි......
කවදාහරිම දවසක
මේ ආදරේ ඔයාට තේරුණු දවසක
මේ ආදරේ අවංකයි කියලා
දැනුනු දවසක
මාව හොයාගෙන එන්න......
හැබැයි,හිතුවක්කාරකමට
ඔය හිතට ආදරේ කරපු පළියට
වෛර කරන්න නම් එපා මට
කිසිම දවසක...........



Post Comment

06 September 2011

විභාගේ- ජරමරේ...

ඔයා එක තැනක මං තව තැනක  
මට ගොඩාක් පිටිපස්සෙන්
ඔයා උන්නෙ.....
හැරුණු ගමන් මං පිටිපස්සට
පෙනෙන තැනක හැබැයි
ඔයා හිටියෙ.....
තව විනාඩි දෙකයි තුනයි  
විභාගෙනම්
පටන් ගන්න.....
බෙදුව ගමන් ප්‍රශ්න කොලේ
ලිව්වා මං
හැටට හැටේ......
එකසැරේට ඔයාගෙ
හඩ ඇහුනා වගේ
මගේ කනට....
හැරුණා මං
හදිස්සියෙම
අංශකනම් 180ට......
ෂා...........

ඔයාගෙ ඇස් මගේ ඇස්
හම්බුනා නොවැ
කළබලේට......
මෙච්චර කල් ලිව්ව ටිකයි
එකතැන් වුනු මගේ හිතයි
සත්තයි මට අමතක වුනි
එක සැරේට උන් හිටි තැන්...........





ප.ලි- සත්‍ය සිදුවීමක් ඇසුරින් හදිස්සියෙම ලිව්ව අදහසක්...පද ගැලපීම් නම් කොහොමද මන්දා...;)

Post Comment

04 September 2011

වැස්සක් යටින්......


එදත් හයියෙන් වැස්සා....
අද වගේම , හුගාක් හයියෙන්...
ගස් කොල මහ හයියෙන් ඇඹරුනා...
අපි දෙන්නා මහ වැස්සෙ...
මගේ පුංචි කුඩේ යට
පාර මැද්දෙ තනිවෙලා උන්නා...
මතකද ඔයාට.....
හයියෙන් අකුණු ගහද්දි...
විදුලි එළි පෙනෙද්දි
මං බය වෙලා තව තවත් ඔයාටම තුරුළු වුනා....
ඔයා තෙමි තෙමි
ඒ මහා වැස්සෙන් මාව ආරක්ෂා කලා....
මතකයි මට....... 
අදත් වහිනවා එදා වගේම,
මහ හයියෙන්.....
අකුණු ගහනවා... විදුලි එළි පේනවා....
මම තනියෙන් මේ මහ වැස්ස මැද ,
එදා වගේ මගේ ළග ඔයා නෑ......
ඒත්......
එදා වගේ මම බය නෑ අද
ඔයා මගේ ළග නැති නිසා......
මේ මහ මග මං මැරුණත් ,
මට දුකක් නෑ... මට බයක් නෑ.....
මොකද මං දන්නවා,
ඔයා පරිස්සමින් කියලා....

Post Comment

02 September 2011

තටු සිඳුනු සමනළී - 4 වන කොටස

ඔන්න මම 4 වන කොටස වෙන්දට වඩා ඉක්මණටම ලියලා දැම්මා.. කියවලා අඩුපාඩු කියන්න හොඳේ...
කලින් කොටස් කියවපු නැති අයට මෙන්න.
තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3

අද 4 වන කොටස...........

-----------------------------------------------------------------------------------------

පන්තියට ආවට මගේ හිත තිබ්බෙ වෙන කොහේදෝ මන්දා ලෝකෙක අතරමං වෙලා වගේ.පාඩමට හිත යොමු කරගන්න මට සෑහෙන්න වෙලාවක් ගියා.ලස්සනට පේවිලා, බැබළි බැබළි තිබුනු මගේ දිළිසෙන හිත මොහොතකට කුඩුපට්ටම් වෙලා ගියා වගේ දැනුණා.
" දසුන් ලෙඩ වෙලා. පෙරුම් පුරාගෙන බලන්න ආව ඒ සුදු මූණ දැන් මැලවිලා ඇති" මගේ හිත පුදුම විදියට නොසන්සුන් වුනා. මගේ හිත කලබලෙන් බව දැනිලාද මන්දා හසී මගේ දිහාවට අමුතුම විදියේ බැල්මක් දැම්මා.

" මේ මධූ.... දැන් උඹට මොකද වෙලා තියෙන්නෙ???"

"මට...මේ.. මට මු..කු..ත් වෙලා නෑ බං.. මේ මං ඉන්නෙ හොදට."

" අහ් හා වෙලා නැත්තම් හොඳයි... ඔහොම යද්දි මුකුත් වෙයිද  කියලා තමා බය."

"පිස්සුද හසී??? මොනා කියවනවද මංදා ..කෝ කෞෂී???"
මම කළබලෙන් වගේ වටපිට බැලුවෙ අපිත් එක්ක ආව කෞෂි අපි ළග හිටියෙ නැති නිසා.

" අනේ අනේ.. මෙලෝ සිහියක් නෑ....කෞෂි එයාලගෙ ඉස්කෝලේ යාළුවො ළගට ගියා. අපිට කියලනෙ එයා ගියේ..ඇහුනේ නැද්ද??"

"අහ්.... ඔව් නේ.."

ඇත්තටම මට ඇහුනේ නෑ.. මං හිටියේ වෙන කල්පනාවකනෙ.ඒත් මං ඇහුනා කියලා කිව්වෙ, නැත්තම් හසීගෙන් බේරුමක් වෙන්නෙ නැති නිසා.පන්තිය පැය 3ක් වුනත් මට දැනුනේ ඊට වඩා කාලයක් මං පන්තියේ ඇතුළෙ ගෙව්වා වගේ.. මගේ හිත නොසන්සුන් නිසා කාලය හිමින් යනවා වගේ මට වැඩියෙන්ම දැනෙන්න ඇති.

එදා හවස කෞෂි පන්ති ඇරිලා යන්න අපි එක්ක ආවෙ නෑ..

"හසී.. ඔයාලා යන්න. අද මං ඔයාල එක්ක යන්න එන්නෙ නෑ.. මට සරසවියට යන්න ඕනෙ පොත් වගයක් ගන්න. තාරුකත් යනවලු .මම එයා එක්ක යන්නම්. ඔයාලට පරක්කුත් වෙනවනෙ. නිකන් රස්තියාදුවෙන එක අපරාදෙ හැමෝම. ඔයාල යන්න."

" අහ්.. එහෙනම් කමක් නෑ කෞෂි. තාරුක ඉන්නවනෙ. අපි යන්නම් එහෙනම්..පරිස්සමින්.. "

" මේ තාරුක ඔයා ටිකක් පරිස්සමින් හොදේ???"

නිශා කෑගහලා තාරුකට කිවා. අපි හැමෝටම හොදටම හිනා. කෞෂි නිශාට  හුරතලේට රැව්වා.තාරුකත් කෞෂිත් අපි හැමොටම අත වැනුවා. අපි කෞෂිගෙන් සමු අරන් ගෙදර එන්න පිටත් වුනා.
------------------------------------------------------------------------------------------
නිරන්තරයෙන් වහින පළාත් වලටත් ඉඳලා හිටලා හද්ද දුෂ්කර කටුක නියං කාල එනවා වගේ, මෙච්චර කාලයක් මගේ හිත පිරිල තිබුනු සීත මෝසම් සමය ඉවර වෙලා මහා කර්කෂ කටුක නියගයක්  උදා වෙලා කියලයි මට හිතුණෙ.

සන්තෝසෙන් උඩ පැන පැන විනෝදෙන් හිටපු මං මෙහෙම මූඩ් ගහන්න වුනේ ඇයි කියලා හිතුනා.කොහොමත් උපන් දා ඉඳන්ම පුංචි දේටත් සැලෙන හිතක් තිබුනු මට පුංචිම දුකක්, කනස්සල්ලක් වුනත් ගොඩාක් ලොකුවට දැනුනා.
අහිංසකයා ලෙඩ වුනු එක ගැන මගේ හිතත් මේ තරම් වද වෙයි කියලා මට හිතුනෙම නෑ..මගේ හිත මේ තරම් සැලෙයි කියල හිතුනෙ නෑ.. ඒ ආරංචිය අහපු වෙලේ ඉඳන් මගේ හිත තිබුනේ ගිනි ගොඩක.

තැන තැන විසිරිලා ගියපු මගේ හිත එකලස් කරගන්න බැරිව , ඇඳ උඩට වෙලා කල්පනා කර කර ඉද්දි මගේ මොබයිල් ෆෝන් එක රින්ග් වුනා.
"හෙලෝ'

"හෙලෝ මධූ.. මං කෞෂි.."

"හානෙ කෞෂි... ඉතින් හදිස්සියෙම මේ රෑ වෙලා??..."

"නෑ.. නෑ.. මධු මං මේ නිකමට කතා කලේ.. හවස ඔයාල එක්ක එන්නත් බැරි වුනානෙ."

"අහ් ඒකනෙ. මාත් මේ නිදාගන්න කියලා ඇඳට ආවා. ඒත් නින්ද ගියේ නෑ.. "

"ආව්..... දැන් කෙල්ලට නින්ද යන්නෙත් නෑ වගේ.. කවුරු ගැනද රෑ තිස්සෙ ඇහැරිලා කල්පනා කලේ??"

" අනේ යන්න කෞෂි... ඔයාත් අරුන් ටික වගේ මට පල් එක දානවා."

" අනේ නෑ, සුදූ.. මං මේ විහිළුවක් කලේ.. ඇත්තටම් කතා කලේ පොඩි සීන් එකක් ගැන කියන්න."

" අහ් ඒ මොකක්ද බං?"

" මේ.... අද මං තාරුක එක්ක සරසවියට ගිය වෙලේ, තාරුක මගෙන් ඔයා ගැන ඇහුවනෙ.."

" මොකාක්???? මේ... මං ගැන....????"

" ඔව් ඔව්.. උඹ ගැන තමා."

" ඒ මොනාද?? මොන ගැනද??"

" උඹේ නම ගම ඉස්කෝලෙ, කොල්ලෙක් ඉන්නවද අනං මනං විස්තර"

"ඉතිං....."

"ඉතිං මාත් දුන්නා උඹේ චරිත සහතිකෙයි. උප්පැන්නෙයි දෙකම. තාරුක කිව්ව විදිහටනම්, එයාගෙ යාළුවා දසුන්... උඹ ගැන උනන්දුයිලූ... උඹ යන බස් එක හොයාගන්න දවසක් උන් දෙන්න පසෙන් පැන්නුවලු. ඒත් උඹලාව මිස් වෙලා."

"දෙයියනේ....!!! කෞෂි මොනාද මේ දොඩවන්නෙ..මගේ හුස්ම හිර වෙන්න වගේ කෙල්ලෙ." මං කියන්න ගිය දේ එහෙම්ම ගිල ගත්තා. හිත ඇතුලේ දාහක් ප්‍රශ්න අහගන්න බැරිව පොර කෑවා.මොහොතකට ලෝකෙම නතර වුනා කියලා හිතුනා.
" කෞෂි ලණුවක්වත් දෙනවද මංදා... නෑ.. නෑ.. එහෙම වෙන්න බෑ... එහෙමනම් මෙහෙම කතා කරල කියයිද??" මගේ හිතින් මම ම ප්‍රශ්න කරගෙන ඒවාට උත්තරත් දුන්නා.

" මධූ... මධූ.. හෙලෝ... හෙලෝ..."                                  

 මම ආයෙමත් පියවි සිහියට කෞෂිගෙ කෑගැහිල්ලටයි.

" අහ් ඔව් කෙල්ලෙ කියන්න.."

" කොහෙද බං යන්නෙ. මං හිතුවෙ ලයින් එක කට් වෙලා කියලා."

" නෑ.. නෑ කෞෂි කියන්න.. අනේ මං දා මම දන්නෙ නෑ.. ඔය කියන බෝයි දවස් ගානක් කොළ ගුලි ගැහුවා. කීප සැරයක්ම බලන්වත් දැක්කා. වෙන මුකුත් මං දන්නෙ නෑ..."

"මට තාරුක කිව්වෙ කොල්ලා හෙන අහිංසකයිලු. හොඳ කොල්ලෙක්ලු.සංගීත පිස්සෙක්ලු.එහෙම කෙල්ලො පස්සෙන් යන එකෙකුත් නෙවෙයිලු බං.මට හිතෙන්නෙ කොල්ලා උඹට ලව්"

"අනේ යන්න කෞෂි.. උබට විකාර."

" හා හා මට විකාර නෙවෙයි.. බලමුකෝ අපි... උඹේ හිතෙත් ලාවට වගේ කොල්ලා ගැන තියන්වනෙ.. අදහසක්.."

"ලාවට නෙවෙයි බං.. ඒ කොල්ලා මගේ මුළු ලෝකෙම අල්ලගෙන. මාව පිස්සු වට්ටලා තියෙන්නෙ" කියලා කියන්න මට කටට ආවා. ඒත් මං නොකිය කට පියාගත්තා.

" එහෙනම් මධූ අපි බලමු.. මං මේ උඹට විස්තරේ කියන්න ගත්තෙ. නැත්තම් ඊළගට මට බැනුම් අහගන්න වුනොත් කිව්වෙ නෑ කියලා. ඒකයි.."

" අහ් හරි කෞෂි අනේ තෑන්ක්ස්... "

:" එහෙනම් මං තියන්නම් කෙල්ලෙ. උඹ හෙට පන්ති යනවද?"

" ඔව් යනවා මම. හෙට physics නේ"

" හ්ම්ම්.. හරි එහෙනම් මං තිබ්බා. බුදුසරණයි..!!good night!!!"

" බුදුසරණයි..!!! good night කෞෂි"

එදා රෑ මගේ ජීවිතේ තවත් නිදිවර්ජිත රැයක් වුනා. මේ අහිංසකයා මගේ හැම මොහොතක්ම උදුරගෙන ගිහින්...

--------------------------------------------------------------------------------------------
සති අන්තය ගෙවුනේ, හරිම අමුතු විදියට. බලාපොරොත්තු වුනු දේවල් වුනේ නැතත්. බලාපොරොත්තු නොවුනු දේවල්  සිද්ධ වුනේ... අහිංසකයාට ලෙඩ වෙලා මගේ හිත මහා දුකකින් පිරිලා තියන වෙලේ. කෞෂිගෙ කෝල් එක මගේ හිතට තවත් අලුත් බලාපොරොත්තු ඇති කළා.

ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නෙ හරිම ඉක්මණට. ඒ වගේම "ඉක්මණ් කොටයි" කියලා කතාවක් තියනවා කියලා අම්මා නිතරම කියනවා මං අහලා තිබ්බා.කුණාටුවක් වගේ හමාගෙන ඇවිත් හැම දේම විනාස කරලා දාල යන්න, ජීවිතේට මිනිස්සු එකතු කරන් වැඩක් නෑ කියලා මගේ පුංචි හිත දැනගෙන උන්නා. ඒත් මගේ ජීවිතේට මේ අහිංසකයා නම් කූණාටුවක් වෙන්නෙ නෑ කියලා විශ්වාසයකුත් තිබුණා.

හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ හොඳට කියලා හිතාගෙන මම වෙනදා වගේ මගේ ඉස්කෝලෙ වැඩ කරගෙන හිටියා.මොන දුකක් කරදරයක්, කණස්සල්ලක් තිබ්බත් ඉස්කෝලෙ ගිහින් හසී, නිශා, හංසි, තමාෂි, දිලූ එක්ක කතා බහ කරලා කාලෙ ගෙවද්දි හැම දේම අමතක වුනා. ඒතරම්ම පිස්සු නටන සැහැල්ලු හිත් ගොඩක් එක්ක ඉන්න එක, ජීවිතේට මහා ලොකු වටිනකමක් කියලා දැනුනා.

එදා සඳුදා උදේ අපිට physics practical වලට lab එකට එන්න කියලා මිස් පණිවිඩයක් එවලා තිබුණා.ඉතින් අපි ඔක්කොම පහළ තට්ටුවෙ තිබ්බ physics lab එකට යන්න ගියා.පඩි පෙළ බැහැගෙන යන්න පටන් ගනිද්දිම කවුදෝ මගේ නම කියලා කෑ ගහනවා ඇහුනා.

" මධුෂානි.... මධුෂානි..."

මගේ සම්පූර්ණ නමින්ම කෑගහගෙන මා ළගට දුවන් ආවේ රජිකා. bio පන්තියෙ රජිකා.ලොකූ ෆිට් එකක් නොතිබ්බත් රජිකා මට හිතවත් යාළුවෙක්.

" ඇයි රජිකා.. මේ හති දාගෙන.??"

" නෑ අනේ.. මං මේ ඔයාව හම්බෙන්නමයි හිටියේ.. වෙලාවට ඔයාව දැන් දැක්කෙ."

" ඇයි මොකුත් ප්‍රශ්නයක්ද??/"

"නෑ.. මේ පොඩි මංගල කාරණාවක්.මේ.... ඔයා දන්නවද දසුන් කියලා බෝයි කෙනෙක්??

" දසුන්??? " මට කෑ ගැහුනා හයියෙන්. හිතාගන්න බැරි තරම් කුතුහලයක් ඇති වුනා.

" කෑ ගහන්නෙපා මෝඩියේ... ඔයා දන්නවද කියන්නකෝ?? ඔයාලගෙ combined class එකේ, සුදු , උස, කෙට්ටු බෝයි කෙනෙක්???

රජිකා මේ කියන්නෙ අහිංසකයා ගැනම තමයි.. ආයෙත් ඒකෙ කතා දෙකක් නෑ... ඒ ගමන මේ මෙයා මොකක්ද මේ කියන්න යන්නේ??? දෙයියනේ.... මොනා වෙන්න යන්වද මංදා....මට තේරෙන්නෙ නෑ.......

5 වෙනි කොටසට....

Post Comment