නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 November 2011

උදාවූ වසන්තය සදා කල් රැඳේවා!!!!!!!!!!

හිතූට තියන බරපතලම චෝදනාවක් තමා, දුකම හිතෙන ඒවා විතරයි නිතරම ලියන්නෙ කියන එක.ඉතිං ඔන්න අද ලියන්නෙ නම් සුභදායී විදියට අවසාන වුන කතාවක් ගැනයි.හුගාක් දෙනෙක් කැමතියිනෙ මේ "හැපී එන්ඩින්ස් " වලට.හැමෝම කැමති ඕනෙම කතාවක් හරිම සතුටු දායක විදියට ඉවර වෙනවා දකින්නයි.නවකතාවක වුනත්, චිත්‍රපටියක වුනත්,කොටින්ම කිව්වොත් අපේ සැබෑ ජීවිතේ සිද්ධ වෙන කතන්දර වලදි වුනත් , අපි කැමති සුභ අන්තයක් දකින්නයි.


මේ කතාව ඇත්තටම මගේ  හොඳ යාළුවෙක් ගැනයි.මීට මාස ගානකට කලින් මට මුණ ගැහුනත්, හම්බුන හොඳ යාළුවො අතරේ ඉන්න හොඳ යාළුවෙක්.කතාවට කලින් මම යාළුවා ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ.


පුද්ගලයා පිරිමි ළමයෙක්.මෙයාට අපේ කට්ටිය කියන්නෙ ආදරේට Family Guy කියලායි.තව සමහරු Tattoo කියලාත් කියනවා.:D එහෙම කියන්නෙනම් කොටාගෙන ඉන්න Tattoo හින්දායි.පොල් ගහක් විතර උස,ජිම් (පංති) ගිහින් කාය වර්ධන ව්‍යායාම එහෙම කරලා බොඩිගාර්ඩ් වගේ ඉන්නෙ.(බොඩි ගාර්ඩ් ෆිල්ම් එක එහෙම බැලුව අය දන්නවා ඇතිනෙ බොඩිගාර්ඩ් ඇවිදින විදිය ;)අන්න  එහෙම තමා මෙයා ඇවිදින්නෙත්.:p ) ඒවගේම හැබැයි ඉතින් කියන්න ඕනෙ,මෙයා හරිම හොඳ යාළුවෙක්.ටිකක් විතර ගණන්කාරයෙක් වුනාට හිත හොඳ,අවංක, ගුණ යහපත් ළමයෙක්. ඔන්න ඔහොම තමා ටැටූ ගෙ විස්තර.


ඔන්න ඉතින් ටැටූ අපිත් එක්ක එයාගේ ආදර කතාව දිග ඇරියා.පැනඩෝල් පෙත්තකින් පටන්ගත්ත ඒ සුන්දර කතාවට මේ වෙද්දි අවුරුදු 5ක් වෙනවා.අපේ ටැටූ ගෙ හිත දිනාගත්ත මේ පුංචි කෙල්ල තමා Pinky


දහම් පාසලෙන් හම්බවුනු මේ දෙන්නගෙ කතාව මෙච්ච්ර කාලයක් ගලාගෙන ගියේ එහෙම සුන්දර ,වටපිටාවක් මැදනම් නෙවෙයි.අතිශය බාධා,කරදර මැදයි.ඒකට හේතුව තමා මේ දෙන්නාගෙ සම්බන්ධෙට පින්කි ගෙ ගෙදරින් එල්ලවුනු බලවත් විරෝධතාව.(හැබැයි ඉතින් ආදරේ වුනත් චුට්ටක් බාධා ඇති වුනාම අමුතු ගතියක් තියන්වලු නේ? ) විරුද්ධ වෙන්න තරමට ප්‍රබල සාධකයක්, හේතුවක් නොතිබුනත්,පින්කි ගෙ ගෙදරින් මේ සම්බන්ධෙට එක හෙළාම විරුද්ධ වුනා.කොහොමත්  ගෑණූ ළමයෙක්ගෙ ගෙදරට එහෙම පලහිලව්වක් අහුවුනාම ඉතින් කෝටියක් ප්‍රශ්න නෙ.හේතු අනවශ්‍යයි.නිදහසට කරුණු අනවශ්‍යයි. නිවාස අඩස්සියෙ තමා.(අත්දැකීමෙන් එහෙම නෙවෙයි ඔන්න කිව්වෙ ;) ). 


හැබැයි ඉතින් ඔය තත්වය හැම තැනකමත් නෑ..ටැටූ ගෙ ගෙදරිනුත් මුලින්ම බර බරේ දැම්මට, පසු කාලීනව සම්බන්ධෙට අනුමැතිය ලැබුනා.ළමයින්ගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනෙනෙ කියලා හිතපු,ටැටූ ගෙ අම්මාගෙ ආශිර්වාදය එයාට ලැබුනා.ඒ වගේ ගෙදර හැමෝගෙම ආශිර්වාදය සහයෝගය ලැබුනා.අවසානෙදි පින්කි ටත් හුගාක් ආදරේ වුනා වගේම එයාලගෙම දරුවෙක්ට වගේ, ඒ හා සමානවම සැළකුවා. නමුත් පින්කි ගෙ ගෙදරින් නම් එහෙම අනුමැතියක් ලැබීම , කවදාහරි අවසර ලැබීමත් හීනයක්ම වගේ වුනා.කිසිම බුරුලක් පින්කි ට නම් ලැබුනේ නෑ..කිසිම නිදහසක් දුන්නෙත් නෑ..


ඔහොම ඔහොම කාලෙ ගත වෙලා යද්දි, ටැටූ ත් ඉතින් බොහොම දුක් කම්කටොළු මැද , සියල්ල දරාගෙන, සියළු කටු කාගෙන, බොක්කෙන්ම පින්කි ට ලව් කලා. පින්කි ත් එහෙමයි.ෆෝන් එකක් නැතිව,නිතර දකින්න හම්බෙන්න බැරිව වුනත්, මේ ආදර කතාව දිගින් දිගටම ගලාගෙන ගියා.(හොරාට හොරාට ඉතින් දෙන්න හම්බෙන්න ඇති. තිරයේ පිටුපස කතා වැඩිපුරම හිතූ දන්නෙ නෑ..)මෙව්වා ලියලා ගුටි කන්න වෙයිද මංදා... :D


ටැටූ ගෙ අම්මා කියන විදියටනම් ටැටූගෙයි, පින්කිගෙයි සම්බන්ධෙ නිසා පින්කි ට ගෙදරින් ඇති වුනු ප්‍රශ්න එක්ක,මේ සම්බන්ධෙ නවතින්නෙ නැතිව මේ තරම් කාලයක්,( අවු.5ක් තරම් ලොකු කාලයක්) පවත්වගෙන ආපු එකත් හරිම පුදුමයිලු.ඒ ටිකම ඇති, පින්කි කියන්නෙ ස්ථිර අදහසක්, එක අරමූණක්, අවංක හිතක් තියන හොඳ ගෑණු ළමයෙක් කියලා ඔප්පු වෙන්න.


ඔන්න ඉතින් ටැටූ යි, පින්කි යි කාලයක් තිස්සෙම මවපු හීනයක්නෙ, එයලා දෙන්නාට සදහටම එයාලගෙ වෙන්න ලැබෙන්න කියන එක.ඉතින් මේ හීනෙ ඒ විදියටම හැබෑ වුනා.:D ටැටූ ට පින්කිව අයිති වෙලා ඉවරයි තමා. හැබැයි ඒකට නීතියෙන් ලැබෙන්න ඕනෙ අවසරයත් ඔන්න ළගදි ලැබුනා.ඒ කිව්වෙ ටැටූ ට පින්කිව නීතියෙනුත් අයිති වුනා.


ටැටූ ගෙ දෙමව්පියන්ගෙ අශිර්වාදය මැද, නීතියෙනුත් පින්කිව තමන්ගෙම කරගත්තෙ, අනාගතේදි මොනාහරි දෙයක් නිසා, පින්කිව ඈත් කරගනීවි කියලා බයටයි.නමුත් තවමත්, පින්කි එයාගෙ දෙමව්පියන් ලග පුරුදු විදියට ජීවිතේ ගෙවනවා.ටැටූත් සුපුරුදු විදියට එයාගෙ කටයුතු කරගෙන යනවා.ටැටූ කියන්නෙ කවදා හරි තමන් හොඳ ස්ථාවරයකට ඇවිත්, පින්කිව එයාගෙ ළගටම ගන්න පුළුවන් වෙනකම් පින්කි ත්, ටැටූත් මේ ඉන්න විදියටම ඉන්නවා කියලයි.


කොහොම වුනත්,පුංචි හේතුවකටත්,තමන් ආදරේ කරන ගෑණු ළමයාව අතෑරලා දාන පිරිමි ළමයිත්, පොඩි ප්‍රශ්නෙකටත් තමන් ආදරේ කරපු පිරිමි ළමයව අතෑරලා දාන ගෑණූ ළමයිත් ඉන්න කාලෙක,පිනකි යි ටැටූ යි සැබෑ ආදරේ වෙනුවෙන් හොඳ සංකේත දෙකක් කියන්න පුළුවන්.


අවසානෙදි ආදරේ වෙනුවෙන් සටන් කරලා දිනාගත්ත ඒ අයිතියත්, පින්කිගෙ ලස්සන හිතත්, ඒ ආදරෙත් එක්කම, තියන බාධක ඔක්කොම නැති වෙලා, ලබන අනාගතේ හුගාක් සුන්දර, වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අපේ "සෙට් එක" ( මම බ්ලොග් එකේ ලියලා නැති මේ සෙට් එක) වාසනාවන්ත අනාගතේකට ටැටූ ටත්, පින්කිටත් සුභ ප්‍රර්ථනා කරනවා..!!!!




එක්වුනු අතැඟිලි සැමදා රැඳේවා
සිත පිරි සොම්නස සදාකල් තිබේවා
ආදරේ නාමයෙන් දිවිමගම දිනේවා
මලනුවනි නුඹේ ලොව ඇය සමඟ දිලේවා


ජීවිතේ හරිමඟම සැමදා පෙනේවා
ආදරේ නොනිමි සුව දිවිතුරා රැදේවා
පැතු පැතුම් දුටූ හීන එලෙසෙම ඉටු වේවා
උදාවූ වසන්තය සදා කල් රැඳේවා  ෴.
                 
ප.ලි- වාසනාවන්ත, සුන්දර, ආදරණිය අනාගතේකට පිනකිටත්, ටැටූටත් සුභ පැතුම් පතන්නෙ- ඩයිනෝ,කුක්කා, බස්සී,මැක්සී, ඒප්‍රන් සමග හිතූ :D


ප.ප.ලි- හිතූ හැරුණූකොට ඉහත සදහන් නම් ගම් පිළිබඳව පසු දිනෙක විස්තර සහිතව ලිපියකින් හමුවෙමු!!! ;)

Post Comment

28 November 2011

~ පැණි රස ආදරේ තිත්ත වෙන හැටි ~

මේ ලෝකෙ මට
ලස්සනම ඔයාව.....
ඔයා නැතිව මොහොතක්වත්
ඉන්න බෑ මට....
මහා ගොඩාරියක් 
ආදරෙයි මං......
කොච්ච්රද කියලා කියන්න
බැරි තරමටම.....
ඔය ඇස් වල කඳුළක් දකින්න 
ඕනෙ නෑ මට......
මම දකින්න ආසම
ඔය හිනාව විතරමයි........

දන්නවාද?? එයා එහෙම කිව්වෙ ඉස්සර ලු......

තමුසේ මහ වදයක්                             
නවත්තගන්නවා ඔය කරච්චලේ....
හැටි විතරක් බුම්මගෙන,
දෙන්න හිතෙන්නෙ හොම්බටම දෙකක්....
මට නම් තමුසෙව පේන්න බෑ...
අඬනවා..අඬනවා..
ඇති වෙනකම් අඬනවා
අඬලම මැරිලා යනවා.....
මොන මගුලකට 
මා එක්ක ඉන්නවද මංදා.....
මට තමුසෙව එපා.........

ඉස්සර අරම කියපු එයාම
දැන් කියන්නෙ මෙහෙමලූ............

Post Comment

26 November 2011

තටු සිඳුනු සමනළී -12 වන කොටස

ඔන්න අදනම් මම කතාව ලියන්න හොඳටම ප්‍රමාදයි කියලා දන්නවා.සමවෙන්න ඕනෙ ඒකට.පහු ගිය ටිකේ තිබුනු පුංචි පුංචි වැඩත් එක්ක ටිකක් ප්‍රමාද වුනා ඉතිරි කොටස ලියන එක.ඔන්න අද කොහොමෙන් හරි 12 වෙනි කොටස දැම්මා. ටිකක් වැඩිපුරත් ලියවිලාද මංදා.කියවලා අඩු පාඩු,හොඳ නරක ඔක්කොම කියන්න හොදේ?? ගල් මුල් මල් වෙනදා වගේම සාදරෙන් පිළිගන්නවා.

මුල කොටස් කියවපු නැති අය, මුල කොටස් අමතක අය කියවලම එන්නකෝ...

තටු සිඳූනු සමනළී 1
තටු සිඳූනු සමනළී 2
තටු සිඳූනු සමනළී 3
තටු සිඳූනු සමනළී 4
තටු සිඳූනු සමනළී 5
තටු සිඳූනු සමනළී 6
තටු සිඳූනු සමනළී 7
තටු සිඳූනු සමනළී 8
තටු සිඳූනු සමනළී 9
තටු සිඳූනු සමනළී 10
තටු සිඳූනු සමනළී 11

අද 12 වෙනි කොටස මෙතැන් සිට........

--------------------------------------------------------------------------------------------------------

සමහර වසන්ත කාලවලදිත් කලාතුරකින් වගේ අහස කළු කරලා,තද හුළං හමලා,ගස් වැල් ඇඹරිලා කුණාටුවක පෙරනිමිති පෙන්වනවා වගේ,දසුන්ගෙයි මගෙයි සුන්දර ප්‍රේම කතාවට අසුන්දර පරිච්ඡේදයක් එළඹෙනවද කියලා පුංචි සැකයක් පහළ වුනා.අපේ ආදර කතාව  ඇරඹෙන්න,දසුන් මටත්, මම දසුන්ටත් මේ තරම් ලං වෙන්න,මහා හුගාක් උදව් කරපු මගේ ෆෝන් එක අතුරුදහන් වීම, මේ සුන්දර ආදර කතාවට අසුභ  පෙරනිමිත්තක හෙවණැල්ලක් වුනා කියලා හිතුනා.

"තවත් නම් බලන් ඉඳලා බෑ...අම්මාගෙන් අහලා බලනවා.වෙන කරනන් දෙයක් නෑනෙ.."

මම එහෙම හිතාගෙනම කාමරෙන් එළියට ඇවිත් කුස්සිය පැත්තට ගියේ,අම්මාගෙන් ෆෝන් එක ගැන ඇහුවාම , මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා හිතන ගමනුයි.ඒත් කොහොමහරි ෆෝන් එක හොයාගන්න ඕනෙ නිසා හිතට ධෛර්‍ය අරගෙන උගුර පාදලා අම්මාට කතා කළා.

"අම්මා.........."

"ඇයි දුව??මොකද මේ තාම ඇඳුම් මාරු කරලත් නෑ..නාගන්නෙ එහෙම නැද්ද අද?"

"නෑ නෑ මේ...අම්..මා...මේ...මේ.."

"මොකක්ද ළම්යෝ තෙපරබාන්නෙ නැතිව කියන්න."

"මේ..මගේ ෆෝන් එක දැක්කද??ඒක නෑනෙ.මම උදේ ඕෆ් කරලා ලාච්චුවෙ දාලයි ගියේ..."

"ආ..... දැන් මේ ෆෝන් එක තමා ආව ගමන් තියන ලොකුම රාජකාරිය??නේ? මේ හෙට අනිද්දා විභාග ගන්න ඉන්න ළමයි...හරි අපූරුයි.."

හිතේ තිබුනු නොඉවසිලිමත් බවත් එක්ක අම්මාගෙ කතා ඇහුවාම මට ආවෙ තරහක්.

"අම්මා..මම අහන්නෙ අම්මා මගේ ෆෝන් එක දැක්කද??මොකක් වුනාද මන්දා...හොරු අරන් ගියා වෙන්න බෑනෙ."

"මම දන්නෙ නෑ ඕවා..හවසට තාත්තා ආවම අහගන්න එකයි ඇත්තෙ.තාත්තා එක්කම බේරගන්න.කොහොමත් A/L ඉවර වෙනකම් ෆෝන් ඕනෙ නෑ...ඉගනගන්න ෆෝන් එකක් ඕනෙ නෑනෙ."

"මොකක්ද අම්මා...??ඇයි එහෙම කරන්නෙ.??මට ෆෝන් එක ඕනේ.අනික තාත්තා ඇයි මගේ ෆෝන් එක ගන්නෙ?"

කඳුළු කැට පනින්න ඔන්නමෙන්න තියෙද්දි මම වෙවුලන හඩීන් හයියෙන් ඇහුවෙ හිතට ආපු ආවේගෙට වගේම දුකටයි.හිත පුරා දහසක් සිතුවිලි පොර බදද්දි ,කර කියාගන්න දෙයක් නැතිවම, අම්මා ඉස්සරහ අසරණ වුනු මට සිද්ධ වුනේ අන්තිමට කරබාගන්නයි.

"ඒත් දසුන්??තාත්තා ෆෝන් එක ගත්තෙ ඇයි??ඇත්තටම ෆෝන් එක අම්මා ලගද ඇත්තෙ?අම්මා මට බොරු කියනවද වත්ද?අම්මාටයි තාත්තටයි දසුන්ගෙයි මගෙයි සම්බන්ධෙ ගැන ආරංචි වෙලාවත්ද?"

දාහක් ප්‍රශ්න මගේ ඔළුවෙ හොල්මන් කලා.

"මොනාද දැන් ඔය හැටි කල්පනා කරන්නෙ??මේ බත් කාලා ඉන්න ළම්යෝ....නාලා කාලා පොතක් පතක් බලාගන්න..ෆෝන් එක තිබ්බහම බඩ පිරෙන්නෙ නෑනෙ."

අම්මා ආයෙමත් මම කල්පනා කරනවා දැකලා කෑගහන්න පටන් ගත්තා.එන ඕනෙම දේකට මූණ දෙන්න හිත හදාගෙන මමත් සද්ද නැතිව නාන කාමරේට ගිහින් නාගෙන ඉවර වෙලා ,අම්මාගෙන් බේරෙන්න ඕනෙ කමට බත් කටක් දෙකක් උඩින් පල්ලෙන් කාලා කාමරේට ගියේ දසුන්ට පණිවිඩයක් දෙන්නෙ කොහොමද කියලා හිතමිනුයි.

ඔය අතරෙම අම්මා හවසට චුට්ටක් නින්දක් දාන අතරේ මට ගෙදර ෆෝන් එකෙන් ,දසුන්ට කතා කරල සිද්ධ වෙලා තියන දේ කියන්න පුළුවන් නේද කියලා මතක් වුනා.අම්මා කාමරේට ගිහින් නිදාගන්න කම්,මම හිමින් හිමින් හොර ගල් ඇහුලුවා.ඔය අතරේ මගේ පැතුම් ඉෂ්ඨ වුනා.අම්මා කාමරේට ගියේ පොඩි නින්දක් දාන්නයි.ඔය අතරේ හොරෙන්ම ගෙදර ෆෝන් එක ළගට කිට්ටු වුනු මම දසුන්ගෙ නොම්මරේ එබුවෙ විදුලි වේගෙන්.

"ට්‍රීං....ට්‍රීං.........ට්‍රීං......."

දසුන්ගෙ ෆෝන් එකේ රින්ග්ස් යනවා..ඒ තරමටම මගේ හිතත් ගැහෙනවා.ඒ අතරෙම අම්මා එයිද කියලා වට පිට බල බල කැරකෙනවා.

"හෙලෝ..."

දසුන්ගෙ හඬ එහා පැත්තෙන් ඇහුනා.

"හෙලෝ දසුන්..මේ මම..මධූ..."

"ඔව් මධූ..මොකෝ වුනේ චූටි?මම බය වෙලා උන්නෙ හොදටම.මොකද වුනේ ඔයාට??කොහෙද ඉන්නෙ??ගෙදර නේද??ඔයා හොදින් නේද මධූ?"

දසුන්ගෙන් ප්‍රශ්න පත්තරයක්...එක දිගට දසුන් අහගෙන අහගෙන ගියා ප්‍රශ්න ගොන්නක්ම.

"අනේ දසුන්....මට වැඩිවෙලා කතාකරන්න බෑ...මට පොඩි ප්‍රශ්නයක් වෙලා.මගේ ෆෝන් එක තාත්තා අරගෙන දසුන්.සමහරවිට ආයෙත් හම්බෙන එකක් නෑ.."

"ඒ මොකද චූටි??ගෙදරට අපි දෙන්නා ගැන ආරන්චි වෙලාවත්ද??"

"ඒකනම් දන්නෙ නෑ දසුන්. ඒත් මොකක්ම හරි වෙලා තියනවා.ඔයා  මට මැසේජ් එවන්න්න එපා.මම ඔයාට ෆෝන් එක හම්බුනොත් කෝල් කරන්නම්. එහෙම බැරි වුනොත් ඉස්කෝලෙ ඇරිලා එන ගමන් මම ඔයාට හංදියෙන් කෝල් කරන්නම්..හරිද?"

"අනේ..හරි මධූ..ඔයාට මං හින්දා වුනේ මාර වැඩක් නේද චූටි?"

"නෑ නෑ...කමක් නෑ.අපි බලමුකෝ...එහෙනම් මම තියන්නම් දසුන්.. අම්මා එයි දැන්.. ඔයා පරිස්සමට ඉන්න.බුදුසරණයි.."

"ඔයත් පරිස්සමට ඉන්න.බුදුසරණයි.."

දසුන්ට කතා කරලා ඉක්මණින් ෆෝන් එක තිබ්බ මම එහෙම්ම කාමරේට ගියේ,හිතේ ඇතිවුනු පුංචි දුකකුත් එක්ක.දසුන් ගෙ අසරණ අහිංසක හඬ ළග මගේ හිත තැවුනා.මම කාමරේ ඇඳ උඩට වෙලා, ඔහේ කල්පනා කර කර හිටියේ දසුනුයි මායි ගැන අම්මායි,තාත්තයි දැනගෙන නම් ,ඒකට මූණ දෙන්නෙ කොහොමද කියලායි.

-------------------------------------------------------------------------------------------------------

"මොකද දුව මේ නිදි? පාඩම් කරන්නෙ එහෙම නැද්ද?"

යාන්තමින් නින්දත් නොනින්දත් අතරේ මට අම්මාගෙ කටහඩ ඇහුනා.

"කරන්න ඕනෙ අම්මා .මට නින්ද ගියා."

 මට ඒ වචන ටික කියවුනේ ටිකක් සැරෙන් වගේම,තරහින්.

"හ්ම්ම්...හ්ම්...විභාගෙ ගනන් ඉන්න ළම්යි ඔහොම නිදාගෙන බෑනෙ ..තාත්තත් ඇවිත් අන්න."

ක්ෂණිකවම මට ඇඳෙන් නැගිට්ටුනා.තාත්තා ඇවිල්ලා කියන්නෙ,ෆෝන් එක ගැන තොරතුරක් හරියටම දැනගන්න පුළුවන්. ඒත් හිත බයෙන් ඇවිළුනා.මම කාමරෙන් එළියට නොයන්න හිතාගෙන ඇඳටම වෙලා ගොඩාක් වෙලා හිටියා.

ඊට පැයකට දෙකකට විතර පස්සෙ , ආයෙමත් අම්මා ඇවිත් ළගින් වාඩිවෙලා මගේ ඔළුව අතගෑවෙ හුගාක් ආදරෙන්.

"දැන් මේ අපිත් එක්ක තරහ වෙලා මොකද දුව??මොකද දැන් අපි ඔයාට කළේ??අපි ඔයාට නරකක් වෙනවට කැමති නෑනෙ...මොකක්ද මේ ඉගනගන්න කාලෙ නාස්ති කරගන්න හදන්නෙ දුව?"

"මොකක්ද අම්මා? මම දන්නෙ නෑ.."

"ඔයාගෙ පිරිමි ළම්යෙක් එක්ක සම්බන්ධයක් තියෙනවනෙ.අපිට හංගන්නෙපා.මම ඔයාගෙ අම්මා.මුරණ්ඩු වෙන්න හදන්නෙපා දුව.කවුද ඔය පිරිමි ලමයා?කොහෙ කෙනෙක්ද??පංති වලට එන ළමයෙක්නෙ?අපිට එහෙන් මෙහෙන් ආරංචි එද්දි අපි ගණන් ගත්තෙ නෑ..ඒ ඔයාව විශ්වාස කරලා.ඒත් දැන්..."

"මම දන්නෙ නෑ අම්මා..එහෙම දෙයක් නෑ.."

"අපිට බොරු කරන්නෙපා.ඇත්තම කියන්න.කොහොමටත් ඔය ෆෝන් ඕනෙ නෑ ආයෙත්.විභාගෙ ඉවර වුනාම අරන් දෙන්නම්කෝ හොඳම එකක්.මිනිස්සු බලන් ඉන්නෙ වරදිනකම්. අනික ගෑණූ ළමයෙක්ට වරදින්න මහ වෙලාවක් යන්නෙ නෑ. කාගෙන්වත් කතාවක් අහගන්නෙ නැතිව මෙච්ච්ර කාලෙකට ලස්සනට හිටියනෙ ඔයා.ඉස්සරහටත් එහෙම ඉන්න ඕනෙ දුව.එතකොටයි වටිනාකමක් තියෙන්නෙ.හොඳ ළමයනෙ."

"මම දන්නවා අම්මා.මම අම්මලට නරකක් අහන්න තියන්නෙ නෑ.. මම දන්නවා හොඳ නරක. දසුන් කියන්නෙ  මගේ යාළුවෙක් විතරයි.එයා මට හුගාක් උදව් කරන හොද යාලූවෙක්. එයා එක්ක මම පංති ඇරිලා එනවා.එච්චරයි."

මම ජීවිතේ පළවෙනිම වතාවට අම්මා ඉස්සරහා ලොකුම ලොකු බොරුවක් ඇඟට පතට නොදැනීම කියලා දැම්මා. ඒත් මම හදවතින් ඒ ගැන හුගාක් කම්පා වුනා.

"යාළුවෙක් ආශ්‍රය කරන විදිය වෙනස්නෙ ළමයෝ... අපිත් ඔය වයස පහු කරලයි ආවෙ. ඔයා හැරෙද්දි මේ අම්මා දන්නවා.කොහොම වුනත් කමක් නෑ..එහෙම දෙයක් තියනවනම් ඕවා නවත්වලා දාලා විභාගෙ හොඳට කරගන්න ලෑස්ති වෙන්න.ඊට පස්සෙ අපෙන් ඕවට තහනමක් නෑ..තාත්තා වුනත් මෙච්ච්ර කාලෙකට ඉපදුනු දවසෙ ඉඳන් අද වෙනකම් අතක් උස්සලවත් නෑනෙ. ඉතින් හොඳ දුව වගේ..හිතුවක්කාර නොවී ඉන්න."

"හරි අම්මා.මම හොදීන් ඉන්නම්.."

අම්මා දසුනුයි මමයි ගැන දැනගෙන තියන බව හොදටම පැහැදිලි වුනා.ඒත් මම අම්මාගෙන් ඒ ගැන හාර අවුස්සලා අහන්න ගියෙත් නෑ..ෆෝන් එක ඉල්ලුවෙත් නෑ..මෙච්ච්ර කාලෙකට අම්මායි තාත්තයි මා ගැන තියන් තිබුනු විශ්වාසය පළුදු වුන එක ගැන හිතට දුකක් නැතුවමත් නෙවෙයි,ඒත් මගේ ආදරේ ලගදි මට මේ ලෝකෙම පෙනුනෙ හරි පුංචියට. සමහර විට මම ආදරෙන් අන්ධ වෙලා වෙන්න ඇති.

"ම්ම්.. මම කෑම බෙදාගෙන එන්නම්කෝ කවන්න .දැන් ඕවා අමතක කරලා ඉන්නකෝ..හොඳ දුවනෙ මගේ."

අම්මා හුගාක් ආදරෙන් මගේ ඔළුව අතගාලා යන්න ගියා.මට අම්මායි තාත්තායි ගැන ලොකු දුකක් හිතට ආවා.මේ වගේ දේකදි වුනත් මගේ අම්මායි තාත්තයි හැසිරුනු විදිය කොයිතරම් අහිංසකද කියලා හිතුනා.මෙච්ච්ර කාලයක් මාව ජීවත් කරපු ඒ ආදරේ මට සුළුවට හිතන්න බෑ..''මම කොහොම හරි මගේ අරමුණට ගිහින්, අම්මලාව සතුටු කරනවා" මම තදින්ම හිතින් හිතා ගත්තා.

------------------------------------------------------------------------------------------------------------
කාලය ගත වුනා.දවස්,සති,මාස, ඔහේ ගෙවිලා ගියා.ෆෝන් එකක් නැති වුනත් මම හැමදාකම හංදියෙන් බැහැලා ,හංදියේ කොමිනිකේෂන් එකෙන් දසුන්ට කෝල් කලා.පංති තියන දවසට අපි හම්බුනා.වෙනදට වඩා ටිකක් පරිස්සමට ,කතා බහ කලා.ඒ රටාවට අන්තිමේදී මාත් දසුනුත් පුරුදු වුනා.මොන බාධක ආවත් අපේ ආදරේ ගලාගෙන ගියා.ගඟක් වුනත් ලස්සන බාධක අතරින්, ගලාගෙන යනකොටලුනෙ.ආදරේත් එහෙමයි.

එහෙම කාලෙ ගත වෙද්දි, පංති නැති වුනු දවස් කීපයක අපි,කැලණි පන්සලට, දෙහිවල සත්තු වත්ත බලන්න ගියා.දසුන් ළග ගත වෙන හැම තත්පරයකටම මම පුදුම විදියට ලෝභ වුනා.ආදරේ කියන්නෙ කැපවීමක්,පරිත්‍යාගයක් බව ඇත්ත. අම්මා තාත්තට වුනත් බොරුවක් කරන්න පුළුවන් වෙන්න තරම්, බලගතු හැගීමක්ද කියලා හිතුනා.ජීවිතේ කවදාම හරි දවසක මට ඒ නිසා දඬුවම් ලැබේවිදෝ කියලත් නොහිතුනා නෙවෙයි.හැම සිතුවිල්ලක්ම අතරේ මම දසුන්ගෙ ආදරේට තව තවත් ලෝභ වුනා.

අපි  එකම පහනකට එකම තිරයක් දාලා,එකම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන කැළණී පන්සලේ පත්තු කරපු පොල්තෙල් පහනට අපේ ජීවිත එළිය කරන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කලා.ජීවිතේ පළවෙනි වතාවට ,තවත් එක අහිංසක ප්‍රාර්ථනාවක් වෙනුවෙන්,මුරණ්ඩුකම් කරපු පුංචි කෙල්ලෙක්ට සමාවදෙන්න තරම් දෙවියෝ කාරුණික වෙයි කියලා හිතුවා.දෛවය මට මොන දේ උරුම කලත්, ඒ දේ භාරගන්න ලෑස්ති වෙලා ඉන්න එක නුවණ ට හුරු නිසා, මම කාලයට ඉඩ දීලා බලාගෙන උන්නා.

එක ඉරිදා දවසක මාත්,දසුනුත් පංති ඇරිලා නුගේගොඩ ඉදන් ඇවිදගෙන ආවා.

"ඔයා කලබල වෙයි කියලා මම එද්දි නොකිව්වෙ මධූ...."

"ඇයි ඇයි මොකක්ද දසුන්? මොකද වෙලා තියෙන්නෙ? මුකුත් ප්‍රශ්නයක්ද?"

"ඔය ඔය ඉතින්... දැක්කනෙ.. ඔයා කියන්නත් කළින් කලබල වෙනවනෙ ළමයෝ.. ඒකයි මම කියන්නෙ නැතිව ඉන්න හැදුවෙත්."

"අනේ එහෙම බෑනෙ..කියන්න දසුන්...මොකද වෙලා තියෙන්නෙ?"

"මේකයි මධූ....ප්‍රශ්නයක් නම් තමයි.. මට හිතාගන්න බෑ....මොකක්ද කරන්නෙ කියලා."

"දෙයියනේ!!!! දසුන් මොකක්ද මේ කියනන් හදන්නෙ.." මගේ හිත බයෙන් පිරුනා.

----------------------------------------------------------------------------------------------------------
දසුන් මධූට කුමක් කියාවිද? දසුන්ට ඇති වෙලා තියන ප්‍රශ්නය මොකක් වෙන්න ඇත්ද??තවත් එක ආදර කතාවක අවසානයවත්ද??? කුතුහලය, ආදරය,සහෝදරත්වය,පිරි තවත් කොටසකින් හමුවෙමු.......


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............



Post Comment

22 November 2011

෴ අරලියා හෙවණ යට ෴



මතකද ඉස්සර දවස්?? ඒ සුන්දරම සුන්දර අතීතෙ..මම මහා ගොඩාක් ආදරෙයි ඒ අතීතෙට.හැම මොහොතකම අපේ හිත් තිබුනේ සතුටින් පිරිලා ඉතිරිලා.ඒ සුදු පාට අරලියා මල් පිපුනු  ගස් යටින් අපි   අත්වැල් පටලගෙන ඇවිද්දෙ පුදුම සැහැල්ලුවකින්.ජීවිතේ මොන දුකක් කරදරයක් ආවත් ,හිනා වෙලා ඉන්න හයිය දුන්නෙ ඒ යාළුකම.මම මහ ගොඩාරියක් ආදරෙයි ඒ යාළුකමට. අපි හිනා වුනා,සමහර වෙලාවකට ඇඬුවා.මේ බාලිකාව යට අපේ හිනා හඬ තාමත් ඇහෙනවා,ඒ හිනා හඬ හැමදාමත් ඇහේවී.අපි නැතත් ඒ මතක හඬ රැව්දේවී....


 එකම බත් එක බෙදාගෙන කාලා,එකම පෝළීමක ඩෙස් පුටු තියාගෙන අපි ඉගනගත්තෙ ගණන්,සිංහල,ඉංග්‍රීසි විතරක් නෙවෙයි.ජීවිතේ....ඔව්!!! අපි ඉගනගත්තා ජීවිතේ ගැන.සාමාන්‍ය පෙළින් උසස් පෙළට, එතනින් සමාජෙට, පියවරින් පියවර ජීවිතේ දිනන්න උදව් කලේ ඒ පින්බර භූමිය.අපි අකුරු කරපු ඒ බාලිකාව....ඒත් අද..ඇස් වලට කදූළු එද්දි,මේ පින් බිම දාලා යන්න බැරි තරමට කකුල් පණ නැති වුනත්,හිතට දිරි අරන් ඒ සියළු මතක අතීතෙටම පවරලා සමු අරන් යායුතුමයි.හමුවීමක් ඇත්නම් වෙන්වීමකුත් තියෙන්න ඕනෙ.මේ වෙන්වීමත් එක් හමුවීමක අවසානයක් විතරයි....


ඇසළ සඳ හෙටත් පායාවී..හරි අපූරූවට පායාවී. අපි හමු වුනත්, වෙන්වුනත් මේ ස්ව්භාදහම මේ ලෙසම පවතිවී.ස්ව්භාදහම දන්නෙ නෑ අපේ දුක.දැනුනොතින් නම් සත්තයි ස්ව්භාදහමත් කම්පා වේවී.මේ ජීවන ගමන් මගේ ‍යා යුතු තව දුර බොහෝයි.මේ ජීවන ගීයේ ගයන්නට තවත් ඉතිරි වෙලා තියනවා.ඒත් මේ වෙන්වීම දුරස් වීම හමුවේ හිත් ඉකිගසන තරමක්... අපිට අපි විතරක් නෙවෙයි..මේ නැණ නුවණ දල්වපු තක්සලාව,මේ සුන්දර මතක පිරි බාලිකාව,පින් සුවඳ ගලන පුණ්‍ය භූමියත් අහිමි වෙලා....


ඒ පංති කාමර ඇතුළේ අපේ හිනා හඬ,ඉකිබිඳුම් මේ හැම හැගීමක්ම ගලාගෙන ගියපු අතීතේ ,ඒ මල් මල් සමය,සත්තකින්ම හීනයක්ද කියලත් හිතෙනවා.ජීවිතේ ඒ තරම් සුන්දර සැහැල්ලු කාලයක්  අපිට තිබුණාද කියලත් හිතෙනවා.ඒ අතීතෙට හිත ලෝභ වෙන තරමටම මහා දුකකින් හිත මිරිකිලා යනවා...ඇස් වලට කදූළු උනන ඒ අතීතෙට ආදරේ වෙන තරමටම හිතට මහ ගොඩාක් දුකයි තමයි..ඒත්....


හඳ ඉල්ලලා අඬන පුංචි නොදරුවෝ නෙවෙයි අපි..මේ වෙන්වීම දරාගන්න ඕනෙ.හිත හයිය කරගන්න ඕනෙ.ධෛර්‍යමත් වෙන්න ඕනෙ.අතීතෙ සුන්දර තැන්, අසුන්දර තැන්, දුක සතුට,ජය පරාජය, මේ හැම දෙයක්ම අනාගතේට පන්නරයක් කරගෙන මේ මොහොතට මූණ දෙන්න ඕනෙමයි.අතීතෙ දිහා බලලා සතුටින් සිනා වෙලා,ඒ හැම දෙයක්ම අතීතෙටම පවරලා,සුන්දර අනාගතයක් වෙනුවෙන්, මේ පින්බිමෙන්,මේ සුන්දර බාලිකාවෙන් අපි සමුගනිමු!!!!! ඒත්,...හැමදාටම මේ ලෙංගතුකම් හිතේ ඉතුරුකරගෙන......


සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා......

ඇසළ සඳ දිය නොවුණු ඈත වැව් තල කොනෙක
ගයා නිමවූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා.....

සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමයි සිහිනෙකි
සඳට ඉකි බිඳ හඬන නොදරුවන් නොවේ අප
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....





ගායනය-කරුණාරත්න දිවුල්ගනේ

Post Comment

19 November 2011

ඉළංදාරියෙක්ට ඇබෑර්තුවක්!!!!!!!

හිතුවක්කාරී පහු ගිය දවස් 5ක් විතර මූණූ පොතෙන්,බ්ලොග් අවකාශෙන් ඈත් වෙලා හිටියා නොවැ.පුංචි අකරතැබ්බයක් නිසා, මේ පැත්තටවත් එන්න බැරි වුනා.ඉතින් හිතූ ට මක් වුනාද කියලා,මූණු පොතෙන් එහෙම පණිවිඩ එවල හොයලා බලපු හැමෝටම ස්තූතියි!!!පහු ගිය ටිකේ බ්ලොග් එහෙම කියවන්න බැරි වුනා. ඔන්න අද ඉඳන් වෙලා ඇති හැටියට කියවන්නම්කෝ..
-----------------------------------------------------------------------
බ්ලොග් අවකාශේ එහෙ මෙහෙ කැරකෙද්දි කීපවතාවක්  දැක්කා මංගල දැන්වීම් වගේ එව්වා පළ කරලා තිබුණා.ඉතින් හුදෙක් විනෝදය සඳහා පමණක්ම මටත් හිතුනා නිකන් එහෙම ලිපියක් පළ කරන්න.;) මේ තියන සුදුසුකම් සහිත ඉලංදාරියෙකුට,පොඩි චාන්ස් එකක් තියෙනවා :p
සුදුසුකම් තියේනම් දාමුකෝ බලන්න කමෙන්ටුවක්!!!!!!!!
හුගාක් ලස්සන වෙන්න ඕනෙ නෑ...
හැබැයි ටිකක් හුරතල් පාට වෙන්න ඕනෙ.
ඕනාවට වඩා පෙනුමෙන් පිළිවල  වෙන්න ඕනෙ නෑ......
ඒත් ,වැඩක් පිළිවලට කරගන්න පුළුවන් වෙන්න ඕනෙ.
බොරු සෝබන කයිවාරු පොෂ් ගති නම් ඕනෙම නෑ...     
හැබැයි ,තැනට ගැළපෙන්න අඳින්න,පළඳින්න කතා කරන්න ඕනෙ.   
හුගාක්ම තැන්පත් විනීත අහිංසකම වෙන්න ඕනේ නෑ.
ඒත්,චුට්ටක් විතර දගකාර, හිතුවක්කාර,විසේකාර වෙන්න ඕනෙ...
කොණ්ඩෙ ජෙල් කරලා,පවුඩර් ගාලා,පර්ෆියුම් නාලා ඉන්න
පියරු බබෙක්නම් වෙන්න ඕනේ නෑ නෑමයි.....
ඒත්,කොණ්ඩෙ චුට්ටක් අවුල් වෙලා,රැවුල ටිකක් වැවිලා
පුංචි "අපත" පාටක්  තිබුණට ගානක් නෑ......
පිරිමියෙක් ලස්සන වෙන්නෙ චාම්,සරල වෙන තරමට නිසා 
සරල වෙන්න ඕනෙ.......                             
මත් පැනින් දුමෙන් තොරනම් වඩා හොදයි..නැතත් කමක් නෑ..
ඒත්, ඇබ්බැහි වීම සහ සීමා රහිත වීමනම් කොහෙත්ම බෑ....
තොරොම්බල් සුකුරුත්තම් වලින් පිරුණු මනසක්,හිස් හිතක් නම් ඕනෙම නෑ.....
සියල්ල දත් කියලා හිතන,ලෝකෙටම ලොක්කා වෙන්න යන පණ්ඩිතයෙක් ඕනෙ නෑ...
ඒත්, ඉස්සරහට ඉගනගන්න ආස,නිහතමානී,උනන්දුව තියන ධෛර්‍යවන්තයෙක් වෙන්න ඕනෙ...
දුප්පත්කමට ගරහන ,දුකට අපහාස කරන,
සල්ලිකාර චණ්ඩියෙක් නම් වෙන්න බෑ....
මනුස්සකමට ගරු කරන,දුකට හිත උණු වෙන,
සල්ලි කියන්නෙ ජීවිතේම නොවන වග දන්න පිරිමියෙක් වුනාම ඇති.
ආදරේ අඳුරන,ඒ වෙනුවෙන් කැපවීම් කරන්න හැකි,
කෙල්ලෙක්ගෙ කඳුළු වලට හිනා වෙන්නෙ නැති 
ආදරණීයයෙක් වෙන්න ඕනෙ...
තොරතෝන්චියක් නැතිව කියවන,ටිකක් විතර  විසේකාර  කෙල්ලෙක්ගෙ දාංගලේ ඉවසන්න පුළුවන් වෙන්නත් ඕනෙ....
ජීවිතේ ගැන, කලාව ගැන, ආදරේ ගැන ලස්සනට හිතන්න පුළුවන් ලස්සන අදහස් තියන කලාකාමියෙක් වෙන්න ඕනෙ..
ප්‍රශ්න ඉස්සරහා බයේ පැනලා යනන් හදන,කොන්ද පණ ඇතිව ජීවිතේට මූණ දෙන්න බය ,බය ගුල්ලෙක්නම් වෙන්න ඕනේ නෑ....
මේ ඔක්කොම ගුණ අගූණ අඩු වැඩි වශයෙන් තියෙන්න ඕනෙ වගේම අවංක,හිත හොඳ,ආත්මර්ථකාමී නැති,අවු:21 ත්  25ත් අතර  ඉලංදාරියෙක් වෙන්නත් ඕනෙ. :p
දකින දකින කෙල්ලට පැණි හලන,හතර වටේම ඉන්න කෙල්ලො රවට්ටන පැණියෙක්නම් එපා....           


ඉහත සුදුසුකම් අඩු වැඩි වශයෙන් ඔබත් සපුරයි නම්..නොපමාව කමෙන්ට් කරන්න...:p සුදුස්සාට සුදුසු තැන. ;) 






අවවාදයයි:මෙම ලිපිය පළ කරන ලද්දේ අතිශයින්ම විනෝදය සඳහා පමණක් බව සළකන්න.

Post Comment

11 November 2011

තටු සිඳුනු සමනළී - 11 වන කොටස

අද කතාවෙ ඊළග කොටස ලිව්වා ටිකක් කලින්ම ඔන්න. කට්ටිය හැමදාමත් අහනකම් ඉන්නෙ නැතිව අද ඉක්මණටම ලිව්වා. ;) ;) හුරේ..... හික් හික්... හිතුවක්කාරිට පිස්සු හැදිලා කියලා හිතාවිද මංදා...:)

ඔන්න එහෙනම් මුල කොටස් කියවපු නැති අයයි, මුල කොටස් අමතක අයයි, මුල ටික කියවලා එන්නකෝ....

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10

අද 11 වන කොටස........

----------------------------------------------------------------------------------------------------------------



පාට බිංදු බිංදු එකතු වෙලා හැදෙන  ලස්සනම ලස්සන සිත්තමක් වගේ අපේ ආදරේ සායම් කරපු අපූරුව මොහොතකට හිතද්දි දැනුනෙ හරිම ප්‍රේමණීය හැගීමක්.දෙනෝදාහක් ඇස් අස්සෙ, මගේම කියලා දැනුනු ඒ ඇස් දෙක එක්ක දොඩමළු වුන පළවෙනි දවසෙ, හිතුනෙ නම් නෑ මට ඒ පුංචි කතාව මේතරම් දුර එන්න පුළුවන් වෙන කතාන්දරයක් වේවි කියලා.


දෙන්නාගෙම හිත් වල එක සැරේම ඇති වුනු මේ ආදරේ, හරිම අහම්බයක්.මගේ හදවත පතුළටම එබුනු ඒ ප්‍රේමණීය හිත ,මට සත්තකින්ම හයියක් වුනා.ගිරවියෙක් වගේ තොරතෝංචියක් නැතිව කියවන මගේ කතා අහන් ඉන්න තරම්, දසුන්ගෙ හිත හරිම ඉවසිලිවන්ත වුනා.කරුණාවන්ත වුනා.අවසානෙදී දෛවය මට මම හොයපු ආදරේ දුන්නා.දසුන්ව මගේම වුනා.ඒත් දෛවය විසින්ම තමන් ලබා දීපු දේවල්, ආයෙත් උදුරගන්න බව දැනගෙන උන්න  නිසාම , මගේ හිත ඇතුළෙන් පුංචි බයක් නොතිබුණා නොවෙයි.


ඈත අතීතයේ ඉඳන්ම අහලා තියන කියවලා තියන ,ප්‍රේම කථා නම් හුගාක්ම ඉවර වෙලා තිබුණෙ ශෝකාන්තයකින්. ඒත් ආදරේ අවසානය කියන්නෙ දුකක්ම නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකත් ලෝකෙ ඕනි තරම් තියෙන නිසා, වැඩි වැල් වටාරම්, බහු භූත නොහිතා මම අපේ ආදර කථාව ගලන් යන්න ඉඩ දෙන්න හිතුවා.මොකද ඕනිම දෙයක් ඕනාවට වඩා ඕනේම නෑ කියලා අපේ අත්තම්මාත් නිතරම කියන නිසා.


මගෙයි දසුන්ගෙයි  ආදර පළහිලව්ව ගැන මුලින්ම දැනගත්ත  මගේ යාළුවො සෙට් එකට තිබුණ සංතෝසෙනම් කියලා නිම කරන්න බැරි තරම්.හැමෝම පුදුම සංතෝසෙකින් හිටියෙ එයාලගේ අනාවැකි හරි ගියා කියලයි.දසුන්ව මට මූණ ගැහුණු දා ඉඳන් ම , මටයි දසුන්ටයි විහිළු තහළු කර කර උන්නු හසී, කෞෂී, නිශා, දිලූ, තමාෂී, හංසී මේ හැමෝම ,අපි දෙන්නාගෙ සම්බන්ධෙ ගැන හරියටම දැනගත්තට පස්සෙ උන්නෙත් පුදුම උද්දාමෙකින්.


අපේ ආදරේ පටන්ගත්තෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙ නිසා, මේ ගැන යාළුවො කට්ටියම දැනගෙන උන්නත්, ඒ ගැන කතා කරන්න ඔක්කොමලා හම්බුනේ ඉස්කෝලෙ පටන්ගත්තට පස්සෙයි.


"අහ්.. ඔන්න බලාපල්ලකෝ අන්තිමට බළලා මල්ලෙන් එළියට පැන්නා..."


නිශා සුපුරුදු කටකාරකම ඉස්සර කරගෙන මටයි දසුන්ටයි මඩ ගහන්න පටන්ගත්තා.


"මොකාද දැන් බළලා?? එතකොට මල්ල මොකක්ද?"


හසී ත් කතාව පටන්ගත්තෙ, මගේ දිහාවට ඇස් ඉගී මර මර හිනාවකුත් රඳවගෙනමයි.


"අහ්හ්හ්....දැන් හැමෝම දන්නවනෙ,මෙච්ච්ර කල් හැංගි හැංගි නටපු උන් දැන් එළිපිටම නටන්නෙ..."


"කවුද දැන් නටන්නෙ?? කියපිය බලන්න??"


"ආදරෙයි කැස්සයි හංගන්න බෑනෙ බං...ඒකයි ඇත්ත."


"අනේ... මොකක්ද බං මේ හරස් පද ප්‍රෙහේළිකා,උපමා, විශේෂන පද, ප්‍රස්තා පිරුළු ,ආප්තෝපදේශ නවත්තලා කියන මගුලක් තේරෙන සිංහලෙන් කියාපල්ලකෝ..."


එහෙන් මෙහෙන් ඇහෙන එක එක කතා ගොන්න මැද දිලූ කෑගැහුවා.මම සද්දයක් නැතිවම හිනා වෙවී බලාගෙන උන්නෙ ඊළගට මොකද වෙන්නෙ කියලායි.


"ඇයි සුදූ... දන්නෙ නැද්ද අළුත්ම නිව්ස් එක??අර දසුන් කියන අහිංසකයා,මධූ කියන මායාකාරිගෙ මායා දැලට අහුවෙලාලු..කොච්ච්රද කියනවනම් බෙල්ල තද වෙන්නම."


හසීගේ ඒ කතාව ඇහුණු බස් එකේ උන්නු විස්තරේ නොදන්න ළමයිනුත් අපි දිහා බලලා හිනා වුනා.ලැජ්ජාවටද මංදා මගේ කම්මුල් හැකිලිලා යන ගතියක් දැනුණා.


"අහ් ඕකද?? ඕක ඉතින් අපි කළින්ම දැනගෙන උන්නු කතාන්දරයක්නෙ බං."


"හ්ම්ම්.. ඒකනෙ.. ඒක නෙවෙයි මධූ..උඹ මේ හොර පූසී වගේ ඉන්නෙ මුකුත් නොදන්න ගානට,කෝ අපිට පාර්ටියක්??"


"හයියෝ...හයියෝ... මම හොරා වගේ හිටියේ නෑ...පාර්ටියක්නම් ඉතින් දෙන්න බැරියෑ..."


මම අවස්ථානුකූලව හිනාවක් දාලා බේරුනා.ඔය අතරෙදි දිලූ මගේ දිහාවට ළං වුනේ බොහොම සීරියස් බවක් මූණට අරගෙනයි.


"මධූ මේ අහපන්...උඹ ඔය තීරණේ ගත්තෙ හොඳටම හිතලා නේද කෙල්ලෙ?පණ්ඩිතකමට, හුරතලේට, තියන දාංගලේට අපිත් උඹව උසී ගැන්නුවට මොකද ,දැන් නිකන් හිතට මොකක්ද වගේ "


"අනේ..ඇයි දිලූ ඒ?? එහෙම දෙයක් නෑ..උඹලා මට වැරැද්දක් කලෙ නෑනෙ.මේක මම ගත්ත තීරනයක්. හුගාක් හිතලා.මම දසුන්ට ආදරෙයි.එයා හොඳ කෙනෙක් දිලූ.."


"ඔව්.මධූ.. ඒක ඇත්ත. දසුන් හොදයි තමා.උඹට හොදයිනම්, අපිටත් එච්චරයි.හැබැයි කෙල්ලෙ මේ ටිකත් මතක තියගන්න.මේ ලෝකෙ හැමදෙයක්ම දවසක වෙනස් වෙනවා ,විශේෂයෙන්ම මිනිස්සු.මිනිස්සුන්ට වෙනස් වෙන්න හේතු ඕනෙම නෑ බං.ඒ නිසා ආදරේ කරපන්..හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා.මොකද ආදරේ දවසක නැති වුනත්,ජීවත් වෙන්න උඹට ජීවිතයක් තියෙන්න ඕනෙ කෙල්ලෙ.මම මේ කියන්නෙ උඹට එහෙම වෙන්න කියලා නෙවෙයි.උඹට තියන ආදරේට.ඕනෙම දේකට මූණ දෙන්න ධෛර්‍ය ඇති කරගෙන, ඉගනගන්න එක හරියට කරපං.උඹට වරදින්නෙ නෑ..ෂුවර්..."


"මට තේරෙනවා දිලූ.. උඹ කියන්නෙ ඇත්ත. මං දන්නවා උඹලා මට ආදරෙයි.මේ ඉස්කෝලෙට ආපු දා ඉඳන් මම උඹව දන්නෙ.මගේ ජීවිතේ දසුන්ට වඩා කාලයක් මම ගෙව්වෙ උඹලා එක්ක "
"මම දන්නවා දිලූ..අවසානෙදි මොන දේ වුනත්, මාත් එක්ක උඹලා ඉන්නවනෙ.. මම මේක ගින්නක් බව දැන දැන තමා මේ ගින්නට පැන්නෙ."


"හ්ම්ම්.. මතක්නෙ කෙල්ලෙ මට වුනු දේවල්? ඔයාටත් කලින් මම ඔය ආදරේ කියන අකුරු හතරට රැවටුනේ..ඒත් මට අවසානෙකට යන්න බැරි වුනා.උඹ දන්නවා සිද්ධ වුනු දේවල්..ජීවිතේට අරගනින් ඒ දේවල්..මොන දේ වුනත් හිත හයිය කරගෙන ජීවිතේට මූණ දෙන්න ඉගනගන්න.මොනා වුනත් මම උඹත් එක්ක හැම දාටම ඉන්නවා."


දිලූ අන්තිම වචන ටික කිව්වෙ හුගාක් හැගීම්බරව මගේ අත තදින්ම මිරිකගෙන සහෝදරකම උතුරලා යද්දියි.මෙච්චර කාලෙකට මට මොනවත් නැති වුනත්, මම මේ එකතුකරගෙන තියන මනුස්සකම්, ඒ බැඳීම් ටික හුගාක් වටිනවා නේද කියලා මට දැනුනේ ඒ මොහොතෙයි.හොඳ යාළුවො ලබන්න පිං කරන්න ඕනෙ කියලායි බණ පොතෙත් තියෙන්නෙ.ඒ අතින් මම පිංවනතයි නේද කියලා හිතුණා.


"හම්මෝ...උඹලා දෙන්නගෙ කුමණ්ත්‍රණය ඉවරද?? කාටද උගුල් ඇටෙව්වෙ ඔච්ච්ර සීරියස් විදියට?බහින්න කල්පනාවක් නැද්ද අද?"


"අපි අටවපු උගුලක් නෑ නේද දිලූ??"


"හරි හරි..මොකක් හරි..අපි හිතුවා දෙන්නගෙ කතාවෙ හැටියට අද බහින්නෙ නැතිව,ඩිපෝවටම යයි කියලා ඩ්‍රයිවර් අංකල්ගෙයි, කොන්දා අයියගෙයි තනිය මකන්න."


"අනේ අපිට වැඩේමයිනෙ..."


අපි කියව කියවා, කෑ ගගහා බස් එකෙන් බැහැගෙන හිනා වුනේ හරිම සැහැල්ලුවෙන්.ඉස්කෝලෙ කාලෙ තරම් සුන්දර කාලයක් ජීවිත වලට තවත් එන එකක් නෑ කියලා මට නිතරම හිතෙන්නෙ මෙහෙම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න වෙලාවට.


---------------------------------------------------------------------------------------
එදා හංදියෙන් බැහැලා ගෙදර යන ඩිංගටත් මම කල්පනා කලේ දිලූ කියපු දේවල් ගැනයි.සත්තකින්ම ඒ හැම දෙයක්ම ඇත්ත නේද කියලා හිතුනා." ආදරේ කරපන්..හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා." දිලූගෙ ඒ වචන ටික මට දෝංකාර දුන්නා.දැනටමත් මම පරක්කු වැඩියි නේද කියලා මම මගේ හිතින්ම ප්‍රශ්න කළා."මම දැනටමත් දසුන්ව මගේ ජීවිතේ කරගෙනද??"


විගහට විගහට බස් එකෙන් බැහැලා ගෙදරට දුවගෙන ගියේ ගෙදර ගිය ගමන් "මම ගෙදර ආවා පැට්ටෝ" කියලා දසුන්ට SMS එකක් යවන්න ඕනෙ නිසායි.වෙනදාට ගේට්ටුවෙන් ඇතුළට යනකොටම දොරකඩ ළග ඉඳගෙන "ආ මගේ කෙල්ල ආවද?" කියලා අහන අම්මා  දොරකඩ පේන්න හිටියෙ නෑ.ටිකක් පුදුම හිතුනත් , "අම්මා මොකක් හරි වැඩක් ඇති " කියලා මම මටම කියාගෙන ගේ ඇතුළට ගියා.


සාලේ පුටුවක් උඩට වෙලා අම්මා පත්තරයක් බලනවා.සද්දයකටවත් අම්මා බැලුවෙ නෑ.පත්තර බලන ගමන් අම්මාට නින්ද යන නිසා ඉතිං මම හිතුවෙ අම්මා පත්තරේ තියාගෙන පුටුව උඩ හොඳට නිදි ඇති කියලයි.ඉතින් මම එහෙමම කාමරේට ගියේ අම්මාට පස්සෙ කතා කරන්න හිතාගෙනයි.


"අහ් දැන් ගෑණූ ලමයට අම්මා උන්නද නැද්ද ගානක් නෑ නේද? ආවා රිංගගත්තා කාමරේට...ඕක අස්සෙමයි..අම්මා තාත්තා ඉන්නව නේද , කතා කරන්න ඕනෙ නේද කිසිම වගක් නෑ..."


"මේ මොකද අම්මා මේ?? ගෙට ගොඩ වුනා විතරයි කෑගහන්නේ? මම හිතුවෙ අම්මාට නින්ද ගිහින් ඇති කියලා පුටුව උඩම."


"ඔව් ඔව්.. උඹලා හිතන්නෙ අම්මාලා තාත්තලා දවාලක් රැයක් නැතිව ඇස් කන් පියාගෙන ඉන්නෙ කියලා, ඒ නිසා උඹලා මොනාද කරන්නෙ කියලා අපිට පේන්නෙ නෑ.. ඇහෙන්නෙ නෑ කියලා තමා හිතන්නෙ නේද?"


හත්දෙයියනේ....!!! අම්මා මෙහෙම කතාකරන්නෙ මොකාක් හරි ලොකු දෙයක් වෙලා තියෙන්න ඕනෙ..නැත්තම් මෙහෙම කළකිරීමෙන්, දුකෙන්, තරහෙන් අම්මා කවදාවත් කතා කරන්නෙ නෑ..මොකක් නමුත් මගේ හිත පුරාම මහා බයකින් ඇවිලිලා ගියා.


"මොකද අම්මා වුනේ??ඇයි මේ??"


"ඇයි කියලා පස්සෙ කතා කරමුකෝ..දැන් ගිහින් ඇඳුම් මරු කරලා,නාගෙන කරගෙන  කෑම කන්න එන්න."


හරි.. දැන් නම් හොඳටම පැහැදිලියි.. මොකක්හරි දෙයක් වෙලා.ෂුවර් එකටම එක්කො, ලොකු අම්මා ගින්නක් දීලා, නැත්තම් වෙන කවුරුහරි මොකක්හරි කියලා තමා.


"හරි අම්මා මම එන්නම්..."


කියාගෙන මම කාමරේට ගිහින් දසුන්ට SMS එක යවන්න ෆෝන් එක ගන්න ,පොත් මේසේ තියන ලාච්චුව ඇරියා.


"අහ්හ්හ්හ්...!!!! දෙයියනේ...කෝ ෆෝන් එක?"


මම ඉස්කෝලෙ යද්දි ෆෝන් එක ඕෆ් කරලා ලාච්චුවෙ දාලයි හැමදාම යන්නෙ,ඒත් මම කාමරේ හැමතැනම බැලුවත් ෆෝන් එක නෑ.මගේ ඇස් වල කඳූළු බිංදු නලියද්දි මම කාමරේ පුරාමත්, හැම අස්සක් මුල්ලක් නෑරම ෆෝන් එක හෙව්වා.ඒත් හම්බුනේ නෑ...


"අනේ... මගේ ෆෝන් එකට මොකද වුනේ.. කවුද ඒක ගන්න ඇත්තෙ?අම්මාවත් ගත්තද??"




----------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??මධූ ගේ ෆෝන් එකට මොකක් වෙන්න ඇත්ද??කුතුහලය, ආදරය,සහෝදරත්වය,පිරි තවත් කොටසකින් හමුවෙමු.......


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............



Post Comment

10 November 2011

හුරේ.!!!!!!!!!!!! 50 යි..!!!!!!!

අද හිතුවක්කාරිගෙ හිතට හරිම වැදගත් දවසක්. ඒ වගේම වැදගත් අවස්ථාවක්. ඒකට හේතුව තමා අද මේ හිතුවක්කාරි බ්ලොග් එකට ලියන 50 වන ලිපියයි.  :D  ( 50ක්ම ලිව්වා එහෙනම් නේ? හික්ස්ස්...)


මේ බ්ලොග් එක හදන්න හේතුවක් තිබ්බා. ඒ තමා මූණූ පොතේ මම,හිතුවක්කාර කෙල්ල විදියට , එක එක නිසැඳෙස් ලියද්දි, නිර්මාණ දමද්දි, හුගාක් දෙනෙක් නිතර නිතර ඇහුවා "හිතූ බ්ලොග් එකක් ලියන්නෙ එහෙම නැද්ද ?" කියලා. ඉතිං මම ලියන්නෙ නෑ  කිව්වහම ,ලියන්න ලියන්න  කියලා හුග දෙනෙක් මාව දිරිගැන්නුවා.ඉතින් මටත් හිතුනා මගේ හිතේ තියන අදහස් කෙලින්ම කියාගන්න, මගේ ආත්ම තෘප්තියට  ලියන එක හුගාක් හොද දෙයක් වෙයි කියලා.මම හුගාක් බ්ලොග් කියවලා තිබ්බා.ලස්සනට ලියන අයගෙ බ්ලොග් මම කියවලා තිබ්බා.කොහොමටත් මම ලියන්න ඒ තරම්ම දක්ෂ කෙනෙක් නෙවෙයි.මට එහෙම සුවිශේෂී හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ...සත්තකින්ම මම මෙහෙම ලියන්නෙ මගේ ආත්ම තෘප්තිය සඳහායි.කොහොමහරි ඔන්න බ්ලොග් ලිවීමේ කලාව ගැන මෙලෝ හසරක් නොදැන මම බ්ලොග් අවකාශයට පය තිබ්බා.:D


මම මේ බ්ලොග් එක හැදුවෙ 2011,ඒ කියන්නෙ මේ අවුරුද්දෙ මැයි මාසෙ.හැබැයි මම ඉස් ඉස්සෙල්ලාම , පෝස්ට් එකක් දැම්මෙ ජුනි මාසෙ.ඒත් පෝස්ට් දෙකක්ම එක සැරේ දැම්මා.ඒ කාලය කොතරම් නපුරුද? සහ මට මා පවා අද නැතිවී ගිහින් කියන පෝස්ට් දෙකයි.නමුත් ඒවට කමෙන්ට්ස් එහෙම වැටිලා තිබුණෙ නෑ.. මම සින්ඩි ගැනවත්, බ්ලොග් එකක් කරන් යන්නෙ කොහොමද කියන එක ගැනවත් ඒ තරම් දැනගෙන උන්නෙ නෑ.. හැබැයි මම කියවලා ටික ටික ඉගනගත්තා. ඔය අතරේ ජුලී මාසෙ මම තවත් පෝස්ට් කීපයක්ම එකසැරේම දැම්මා.කලින් ලියලා තිබුණු ටිකක් ඔහේ බ්ලොග් එකට දැම්මා.


ඔන්න මම ඒ මාසෙ දවසක් බ්ලොග් එකට ලොග් වෙද්දි, අරුම පුදුම දෙයක් වෙලා තිබුණා.:D ඒ තමා මම ඒ වෙනකම් ලියලා තිබුණු හැම ලිපියකටම වගේ එක්කෙනෙක් කමෙන්ට්ස්  දාලා තිබුණා. ඒ තමා මගේ බ්ලොග් එකේ පළවෙනිම පාඨකයා, පළවෙනිම Follower ,මධූරංග අයියා . :D ඔන්න ඉතින් මටත් පුදුමයි. සතුටුයි. හිතාගන්නත් බෑ.මධුරංග අයියා තමයි මට බ්ලොග් එක සින්ඩි වලට දාන්න කියලා ඒවායෙ ලින්ක්  එවලා, මූණු පොතේ බ්ලොග් ලියන අයගේ ගෲප් එකට එකතුවෙන්න කියලා, හුගාක් මග පෙන්වීම් කලා.


ඉතින් මධුරංග අයියට මම මේ වෙලාවෙ හුගාක් ස්තූතිවන්ත වෙනවා.එදා ඒ දුන්නු තල්ලුවෙන් මම අද සෑහෙන  දුරක් ඇවිත් තියනවා.ඕං අද වෙද්දි මධුරංග අයියගෙ චූටි නංගි වෙලා ඉන්නෙත් හිතූ ලූ ;) ( ඔන්න මඩ ගහන්න එහෙම එපා හිතූගෙ ලොකු අයියට හරිද? :p )ඒ වගේම මූණූ පොතේ, බ්ලොග් අවකාශෙ ,මම බලාපොරොත්තු නොවුනු, කිසිම දවසක හිතුවෙවත් නැති ආදරයක් ලැබිලා තියනවා.මේ ලියන අකුරු වලට ආදරේ කරන,හිතූට ආදරේ කරන පිරිසක්,මම කවදාවත් දැකලා නැති, හැබැහින් හමුවෙලා නැති,අඳුරන්නෙ නැති, සහෲදයෝ පිරිසක් අද මගේ වටේ ඉන්නවා.


මම මුලින්ම මගේ බ්ලොග් එකට නම දාලා තිබුනේ ෴කතා කරන කඳුළු ෴ කියලයි.ඒත් එකදවසක් මම දාපු ,අලුත් ජීවිතයක් ගැන හීනයක්   කියන ලිපියෙන් පස්සෙ,ඒකට  ලැබුණු කමෙන්ට් එකක් එක්ක මම මගේ බ්ලොග් එකේ නම වෙනස් කළා.ඒ තමා පිස්සු පූසා අයියාගෙ කමෙන්ට් එක.මේ වෙලාවෙ ඒ අයියවත් ආදරෙන් මතක් කරනවා. මොකද බ්ලොග් එකේ නමේම තියෙන්නෙ කඳුළු නිසා, වෙනස් වෙන්න බ්ලොග් එකෙන්ම පටන්ගන්න කියලා ඒ අයියා බොහොම ආදරෙන් මතක් කරලා දුන්නා.ඉතින් ඊටපස්සෙ මගේ බ්ලොග් එක ෴හිතුවක්කාරීගේ හිත෴ වුනා.


නමුත් මම නිතරම ලිව්වෙ කඳුළු ගැන, දුක ගැන, ආදරේ වේදනාව ගැන, අහිමි වීම් ගැන.ඒකට හේතුව සමහර විට හිතුවක්කාරිගෙ හිතේ තියෙන්නෙ දුක කියන එක විතරක්ම වෙන්නත් පුළුවන්.නමුත් මම එහෙන් මෙහෙන්, ඉස්සර කාලෙ,අමතක නොවන අත්දැකීම් කීපයක් ගැන,හිතන්න යම් යම් දේවල් ගැනත් ලිව්වා.මගේ දුක ළගදි ,මම කවදාවත්ම ඇත්තට අඳුරන්නෙ නැති, මුණගැහිලා නැති,හුගාක් හිත් බොහොම ලෙංගතුකමින් මගේ දුක බෙදාගන්න හිටියා.ඒ ලෙංගතුකමට මම ණයගැතියි.


ඒ එක්කම බ්ලොග් එක කියවන්න එන්න අය වැඩිවුනේ මම ලියන්න පටන්ගත්ත , කොටස් වශයෙන් පළකරන නවකතාව "තටු සිඳුනු සමනළී " නිසායි.ඇත්තටම මම ඒ කතාව ලියන්න හේතුවක් තියනවා.ඒක ලියන්න පටන්ගත්තෙ අරමුණක් ඇතිවයි.ඒ ගැන පසුවට, කතාවෙ අවසානයේදී කියන්නමමේත් කතාව ලියාගෙන යද්දි,ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම පුදුමෙනුත් පුදුම වුනා.:O :O මටම හිතාගන්න බැරි වුනා.මොකද ඒ තරමටම ඒ කතාව , මම ලියන කතාව කියවන්න හුගාක් පිරිසක් රොක් වෙලා හිටියා.මූණූ පොතට ගියත්, "කවදද කතාවෙ ඊළග කොටස දාන්නෙ?" ,"මොකක්ද ඊළගට වෙන්නෙ?" "ඇත්ත කියන්න මේ ඔයාගෙ කතාව නේද?" ආදී වශයෙන් හුගාක් ප්‍රතිචාර ලැබුනා,හුගාක් පිරිසක් දැනටමත් හිතාගෙන ඉවරයි ඒ මගේ ආදර කතාව කියලා.ඒ වගේම කමෙන්ට්ස් නොදා, මගේ බ්ලොග් එක කියවලා ඒ ගැන අදහස් දක්වන, මාව දිරිමත් කරන, අඩුපාඩු කියන පිරිසකුත් මගේ වටේ ඉන්නවා.ඒ හැම කෙනෙක්ටම මගේ අවංක හද බැති ගෞරව ප්‍රණාමය පුද කරනවා.


බ්ලොග් එක පටන් අරන් අද වෙද්දි මාස 5ක් වෙනවා.මේ මම ලියන 50වෙනි ලිපිය. මේ වෙද්දි Followers ලා 105ක් එක්ක ,හිට්ස් 9300 ක් පහු කරලා තියනවා.ඉතින් පුංචි කෙල්ලෙක් විදියට මේ බ්ලොග් කලාව තුළ මම මේ හිමින් හිම්න් ආපු ගමන ගැන හුගාක් සතුටුයි.මේ බ්ලොග් අවකාශයේ මට හුගාක් හොඳම හොඳ යාළුවො ගොඩාක් හම්බුනා, සහෝදරකම ට අයියා, අක්කා, මල්ලි, නංගි කියන්නත්, ආදරණීය යාළුවෙක් විදියට හිතූ කියලා කට පුරා මට කතා කරන්නත් හුගාක් හොඳ යාළුවො ගොඩාක් හම්බුනා.


ඒ අතරින් මට හුගාක්ම සමීප වුනු, මං  වගේම මගේම අක්කා වගේ හුගාක් ආදරණිය,සිත් අහසේ  ප්‍රාර්ථනා අක්කිව මතක් කරන්නම් ඕනෙ.මට හුගාක්ම ලං වුන මගේ හොඳම හොඳ යාළුවෙක් වුනු, මගේ අක්කා මට හුගාක් උදව් කළා.මගේ බ්ලොග් එකට මධුරංග අයියා වගේම මුල් කාලෙම එකතු වුනු තවත් සමාජිකයෙක්, මගේ සහෝදරයෙක් තමා විසිතුරු ලියන  විසිතුරු යාලූවා.හැම ලිපියක්ටම අද වෙනකම් අදහස් කියන්න එකතු වෙලා ඉන්න මගේ සමීපතමයෙක් විදියට විසිතුරුටත් ගොඩාක් ස්තූතියි.ඒ වගේම මානස විලේ හංසයා( දිනේෂ් අයියා) හුගාක් ආදරෙන් මතක් කරනවා. මම බ්ලොග් කියවන්න පටන්ගත්තෙ එතනින්.හංසයාටත් හුගාක් ස්තූතියි.ඒ වගේම මට මේ බ්ලොග් අවකාශයේ හුගාක්ම ලෙංගතු තවත් මතක් කළ යුතුම පිරිසක් ඉන්නවා.හිරු එළියෙ දග අයියා,ChammA 's බ්ලොග් එකේ, ChammA අයියා ,උඩු සුළගේ ගිනි කුරුල්ලා ,තරූගේ ලෝකයේ මගේ ආදරණීය තරූ අයියා,ලට්ට ලොට්ට ලියන පොඩි මෑන් මගේ නව කතාවට ගුරු හරුකම් දුන්න මගේ හිතවතා,නිහඬවම මගේ ලිපි වල ගුණ අගුණ විචාරන සදාදරණිය මිත්‍රයා වවුලාගේ කතිකාවෙ වවුලා,හැම පෝස්ට් එකක්ම කියවන්න ඇවිත් මොනාම හරි හිත හැදෙන්න කියලා යන නිසූගේ කතා ලියන නිසූපා අක්කි,මගේ බ්ලොග් එකේ තාක්ෂණික ගැටළුවලට ක්ෂණිකවම පිළිතුරු ලබාදෙන BlogShan අයියා,සිහිනයක මියැදුණූ සිතක්  ඇති ආදරණිය යාළුවා,කම්මැළියා,මහී,ඒ වගේම හුගාක් ප්‍රශ්න වලදි අවංකවම දිගු කමෙන්ට්ස් වලින් ,අකුරු අමුණලා මගේ හිත සනසන්න උත්සාහ කරන ආදරණිය මිත්‍රයා NKK ,වර්ණ  ලියන දිනේශ් අයියා, අම්බලම නමින් ලියන සහෝදරයා,දේව්දාස්, මන්තරකාරී අක්කා,කසුන් අයියා, දඩබ්බරයා,මිහිරි අමිහිරි ඛේදවාචක ලියන රහස් පරීක්ෂකයා,දේවා ගේ අඩවියේ දේවා අයියා,හිස් අහසේ සඳරු අයියා, මගේ බ්ලොග් අවකාශයේ ගමන් මග තුළ මට හුගාක් අත හිත දුන්නු පිරිස අතරේ මේ වෙද්දි ඉහළින්ම ඉන්නවා.ඒ හැම කෙනෙක්ටම මම හුගාක් ගරු කරනවා. ඒ වගේම ස්තූතිවන්ත වෙනවා.මාත් එක්ක හිටියට.


මීට අමතරව බ්ලොග් නොලියන, සහ බ්ලොග් ලියන නම් නොකී බොහෝ පිරිසක් මට මේ තාක් දුර එන්න උපකාර කරලා තියනවා.ඒ හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි.!!!


බ්ලොග් වලට අමතරව මූණූ පොතෙන් මගේ බ්ලොග් එක කියවලා මට අදහස් දක්වන,දිරිමත් කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ට මත් මගේ අවංක ස්තූතිය මේ වෙලාවෙ මම පුද කරනවා.ඒ වගේම අත හිත දෙන සින්ඩි වලටත් ගොඩාක්ම ස්තූතියි.


ඒ වගේම මගේ දුක විවේචනය කරන, මේක ශෝකාන්තයක්, ශෝක විලාපයක්ම විතරයි කියලා හිතන,මගේ බොළඳ කමට හිනා වෙන,හැම කෙනෙක්ටමත් මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඒ අයගෙ අදහසුත් මාව තවත් දිරිමත් කළා.


මගේ බ්ලොග් එක කියවන මාව (හිතුවක්කාරීව නෙවෙයි, සැබෑ මාව) අදූරන කීපදෙනෙක් ඉන්නවා.එයාලා බ්ලොග් නොලිව්වත්, ලිව්වත් මම ලියන අකුරක් ගානෙ කියවලා, කරන දිරිමත් කිරීම් වලට, සහ විශේෂයෙන්ම විවේචන සහ උපහාසාත්මක අදහස් වලට වුනත්, ගොඩාක් ස්තූතියි.මොකද ඕනම දෙයක් කරද්දි,  හොද විතරක් නෙවෙයි, වැරදි අඩු පාඩු හුගාක්ම වැදගත් නිසා. :)


කොහොම හරි හිතුවක්කාරි මේ තරම් දුරක් ආවා.මගේ දුක සතුට කියන්න, බෙදාගන්න මේ බ්ලොග් එක මට ආදරණීය යාළුවෙක් වුනා.ඉස්සරහටත් මගේ දුක සතුට, හැමදේම මම ලියනවා.මෙච්ච්ර කාලයක් මාත් එක්ක හිටපු ඒ ලෙංගතුම යාළුවො  ඉස්සරහටත් ඉදීවී කියලා හිතෙනවා.:) මට පුළුවන් කාලයක් හිතුවක්කාරි විදියට මේ හිතේ ලියනවා.හිතුන දවසක නොලියා ඉන්නවා.


අද ඉඳන් තවත් වටිනාකමක් තියන හොඳ දේවල් ලියන්න උත්සාහ කරන්නම්.මේ තාක් කාලයක් මා සමග සිටි ඔබ සැමටම මාගෙ ගෞරව ප්‍රණාමය පුද කරනවා.!!!


ආ මග බොහෝ කෙටි බවනම්
දනිමි මම....
යා යුතුව ඇත තව බොහෝ දුර 
මට ඒ තරම...
එදා මෙදා තුර මා ළග රැඳී උන්
ඔබ සැමටම.....
පුදනෙමි මගේ හද බැති පෙම්
තුති කුසුම.....


ඔයාලා හැමෝටම හුගාක් ස්තූතියි!!!! ජය වේවා..!!!!




ප.ලි - ඔන්න දැන් හිතූ ට උණ හොදයි වගේ. ඒත් තවමත් ඒ තරමට ෆිට් එකක් නෑ.. හිතූ වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි...

Post Comment

05 November 2011

-- තමන් හිසට තම අතමය සෙවණැල්ල --



මේ ලොකේට අපි මුලින්ම ඉපදෙනකොටම අරගෙන එන්නෙ තනිකම විතරයි.ඒ එන්නෙත් තනිකම තුරුළු කරගෙන අඬාගෙනමයි."අපි කවදාවත්ම අඬලා නෑ.අඬන්නෙත් නෑ... ජීවිතේට අඬලත් නෑ" කියල මහ ලොකු පම්පෝරි ගහන කොයි කවුරුත් මේ ලෝකෙ ඇස් අරිද්දි ඉස්ඉස්සෙල්ලාම කලේ අඬපු එක. හැබැයි දැන් ඒ අයට මේ ඇඬිල්ල අමතක වෙලා තියෙන්නෙ, මං හිතන විදියටනම් ඇත්තටම  ඒ අයගෙ වාසනාවට. ඒත්, එහෙමයි කියල ඒ අය අනිත් අයගෙ අවාසනාවන්තකමට ගරහනවනම්, හිනාවෙනවනම්, අපහාස කරනවනම්, ඒක ඒ අයගෙ පෞරුෂත්වයවත්, ලොකු කමවත්, ශක්තිමත්කමවත්, මහ ලොකු පිරිමි කමවත්, ගැහැණුකමවත් නෙවෙයි. මං හිතන විදියට ඒක අමනුස්ස කම නැත්තම් දුෂ්ඨ කම.මේ සමාජෙ එහෙම මිනිස්සු කියලා කියාගන්න අය ඕනෙ තරම් ඉන්නවා.මේ මගේ ජීවිතෙත් එහෙම අය ඕනෙ තරම් හම්බෙලා තියනවා.තමන්ගෙ මනස ශක්තිමත් තරමට, හිත හයිය තරමට ,අනිත් අයගෙ දුර්වලකම දිහා හීනමානෙන් ඉදිමිලා ,පාච්චලේට බලන අයත් ඕනෙ තරම් මේ සමාජේ ඉන්නවා.


හිතන්න නිකමට, උදාහරණයක් විදියට, තුවාලයක් වෙලා ලේ ගල ගල වේදනාවෙන් ඉන්න මනුස්සයෙක්ට,ඉස්සෙල්ලම තුවාලෙට බේත් දාන්න හරි, ඒ මනුස්සයගෙ වේදනාව අඩුකරන්න හරි උපක්‍රමයක් යොදන්නෙ නැතිව,"තුවාල වුනේ ඇයි? තුවාල වෙන්න හේතුව මොකක්ද?  ඇයි තුවාල කරගත්තෙ ? ඕක මහලොකු තුවාලයක් නෙවෙයි.ඕවත් තුවාලද?" කියලා තුවාලකාරයට දොස් කියන්න, ප්‍රශ්න අහන්න, කියවන්න ගත්තහම කොහොම වෙයිද??


අපේ රටේ, සමාජේ බහුතරයක් මිනිස්සු ප්‍රශ්න විසඳන විදිය ඒක තමා.ඒක කාගෙවත් වැරැද්දක් නෙවෙයි. ඒක මේ සමාජෙ පුරුදුවෙලා තියන විදිය.ක්‍රමය.


ජීවිතේ කියන්නෙ හුගාක් හැල හැප්පීම් මැද , දුක් ගැහැට මැද ගෙවන්න තියන එක්තරා විදියක කට්ටක්.මේ කට්ට කාගෙන, ඉස්සරහට යන්න සැලෙන්නෙ නැති හිතක්, වැටෙන්නෙ නැති මනසක් තියෙනවනම්, ඇත්තටම හරිම ලේසියි.ලෝකෙම එක පැත්තකට වෙලා තමන් තනියම වුනත්, ධෛර්‍ය සම්පන්න විදියට නැගී හිටින්න පුළුවන් තරමේ ශක්තිමත් හිත් තියන අය මේ ලෝකෙ ඉන්නවා.ඒ අය ඇත්තටම වාසනාවන්තයෝ.


දැකලා තියනව නේද මහ ලොකූ විශාල යෝධ ගස්? කොයිතරම් මහා කුණාටුවක් ආවත්, සුළි සුළගක් ආවත් මුලින් ඉදිරිලා වැටෙන්නෙ නැති ගස්? ඒකට හේතුව ශක්තිමත් කඳක්, ඔක්කොමටම වඩා හොඳ මුදුන් මුලක්, මූල පද්ධතියක් එක්ක ගහ වැඩිලා තියන නිසායි.කොයිතරම් මහා වැස්සක්, සුළගක් ආවත් එහෙම ගස් ඉදිරිලා වැටෙන්නෙ නෑ.අත්තක් දෙකක් කඩාගෙන වැටුනත්, ගහ මුලින් ඉදිරිලා වැටෙන්නෙ නෑ. අත්තක් දෙකක් කඩන් වැටුනත් ගහට ඒක ගාණක් නෑ.   


ඒ වගේම දැකලා තියනවා නේද ඒ තරම් ශක්තිමත් නැති,පුංචි සුළගකට ත් අතු කඩාගෙන වැටෙන,කොළ හැලිලා යන,සුළි සුළගක් ආවොත් ගහ මුලින්ම ඉදිරිලා වැටෙන ගස්?ඇයි එහෙම?? එකම පරිසරයේ විදි දෙකක ගස් කොළන් තියෙන්නෙ? ඒක ස්වභාදහමෙ හැටි. ස්වභාදහම විසින් ගස් කොළන් මවලා තියෙන්නෙ එහෙමයි. ඒක වෙනස් කරන්න බෑ අපිට.


ඒ වගේමයි නේද මේ සමාජයත්?මිනිස්සු මවලා තියෙන්නෙ එක එක විදියට. සමහරුන්ට ශක්තිමත් මනසක් එක්ක සැලෙන්නෙ නැති, වැටෙන්නෙ නැති, පුංචි දේටත් රිදෙන්නෙ නැති ,හිතක් ලැබිලා තියෙන්නෙත්, තවත් සමහරුන්ට පුංචි දේටත් රිදෙන, සැලෙන හිතක් එක්ක, කඩාගෙන වැටෙන මනසක් ලැබිලා තියෙන්නෙත් එහෙමයි. ඒක දෛවය සළකපු හැටි සහ මේ ස්වභාවධර්මය මවපු විදියෙ හැටි.


ඒත් ඔය බව තේරුම් අරන් ඉන්නෙ මේ සමාජෙ බොහොම ටික දෙනයි.හැමකෙනාටම එකම මානසික මට්ටමක්, එකම ධෛර්‍යයක්, එකම දරාගැනීමෙ ශක්තියක් නෑ කියන එක දන්නෙ හුගාක් සීමිත පිරිසක්.හැම කෙනාවම තමන්ගෙ මට්ටමින් බලන එක, තමන් හරි කියන මතයේම ඉඳගෙන බලන එක හරිම ආත්මාර්ථකාමී කමක්.මේ ලෝකෙ හැමකෙනෙක්ම ආත්මාර්ථකාමී තමයි. නමුත් අවස්ථානූකූලව මිනිස්සුන්ගෙ සිතුම පැතුම් අනිත අයගෙ හිත් නොරිදෙන්න, අනිත් අයට දුකක් නොවෙන්න වෙනස් වෙන්න ඕනෙ.ඒත් ඇත්තටම එහෙම වෙනවද?? 


මම ඒකයි මේකේ මාතෘකාවටම දැම්මෙ තමන් හිසට තම අතමය සෙවණැල්ල කියල. ඇත්තටම අන්තිමට අන්තිමට හිතලා කෙළවරටම ගියාම තමයි දැනෙන්නෙ, "අනේ...අපිට ඉන්නෙ අපි විතරයි" කියලා.ඒක තේරුම්ගන්න ඇත්තටම මොනා හරි ප්‍රශ්නයක්, දෙයක් වෙන්න ඕනෙ.මොනා හරි ප්‍රශ්නෙකදි මිනිස්සු ඒකට ප්‍රතිචාර දක්වන විදිය අනුව ඒ ඒ අයව මැනගන්න පුළුවන්.


හුගාක් වෙලාවලදි අපි පාවිච්චි කරන වචන නිසා හුගාක් දේවල් දුරදිග යනවා.විශ්ෂයෙන් මේ වචන කියන දේ හරිම ප්‍රබල දෙයක්.මනුස්සයෙක්ව බිංදුවටම වට්ටන්න, විශ්වාසය පළුදු වෙන්න,සම්බන්ධකම් කැඩිලා යන්න, බැදීම් ,යාළුකම්, බිදිලා යන්න මේ වචන හේතුවක් වෙනවා.ඕනෙම සම්බන්ධයක ශක්තිමත් බවේ පදනම විශ්වාසය නිසා, විශ්වාසය පදනම් කරගෙන කියන වචන වලට ලොකු වටිනාකමක් තියනවා.එහෙම විශ්වාසයෙන් කියන වචනයක් දෙකක් වැරදුනොත්?එහෙම නැත්තම් එහෙම වචනයක් නිසා වැරදි අවබෝධයක් ඇති වුනොත්? ආයෙත් කවදාවත් ඒ වරද නිවැරදි කරගන්න බෑ.මොකද කිව්ව දෙයක්, වචනයක් ආපහු ගන්න බෑ.විශ්වාසයක් නැති වුනාට පස්සෙ,ආයෙත් ඒක හදන්න බෑ.


කෙනෙක් දෙයක් කරද්දි, කියද්දි ඒ කෙනාට මොහොතකට හිතන්න පුළුවන් නම්, "මම මේ කරන්න යන දෙයින්, කියන්න යන දෙයින් කාට හරි ප්‍රශ්නයක් ඇති වෙයිද? නැත්තම් කාගෙ හරි හිත රිදෙයිද? කවුරුහරි තරහ වෙයිද?කාගෙ හරි නමට,සම්බන්ධෙක ට කැළලක් ඇතිවෙයිද? " කියලා.ඇත්තටම එහෙම හිතන්න පුළුවන් නම් හුගාක් ප්‍රශ්න වෙන්නෙ නෑ.හිත් රිදීම් වෙන්නෙ නෑ.හැබැයි එහෙම කරන්න අමාරුයි.වෙන්නෙත් නෑ.


අපි හැමෝම මිනිස්සු තමා. හැමෝම සම්පූර්ණ පරිපූර්ණ නෑ තමා. එක එක්කෙනාගෙ එක එක අඩු පාඩු තියනවා තමා.වැරදීම්, අතපසු වීම්,නොඉවසිලිවන්තකම නිසා හුගාක් දේවල් දුර දිග යනවා තමා.ඒ වගේම දෙයක් සිද්ධ වුනාට පස්සෙ ඒක හදන්න, වළක්වන්නත් බෑ.කිරි කළයකට වුනත් ගොම බිංදුවක් වැටුණත් ඇති,කිරි කළෙන්ම වැඩක් නෑ.මිනිස්සු ඉස්සෙල්ලාම හිතන්නෙ තමන්ට වුනු දේ, තමන්ගෙ හිත රිදීම, තමන්ගෙ දුක, තමන්ගෙ තරහව ගැනයි.එහෙම තමන් ගැන හිතලා තමයි ඉස්සෙල්ලාම වැඩ කරන්නෙ.හැබැයි එහෙම කරලා ඒකෙන් තවත් හිත් කීයක් රිදෙනවද?තවත් අතුරු ප්‍රශ්න කීයක් ඇති වෙනවද කියලා හිතන්නෙ නෑ.


ඒ වගේම කෙනෙක්ට කරදරයක්, දුකක් වුනාම ඒ කෙනාගෙ පිහිටට ළගින් ඉන්නෙ, කිට්ටුම සම්බන්ධකම් තියන අය. ආදරේ කරන අය.කෙනෙක්ගෙන් වරදක් වුනත්, නැතත්, ආදරේ කරන අය, හිතවත් අය, ළගින් ඉන්න අය, කවදත් ගන්න උත්සාහ කරන්නෙ, තමන්ගෙ කියලා පපුවෙ තියන් ඉන්න අයගෙ පැත්තයි.තමන්ගෙ පුතා හොරෙක් වුනත්, හොරාගෙ අම්මාට තමන්ගෙ පුතා වීරයෙක්.ඒ වගේ සමහර බැදීම් ,හරි වැරැද්ද ළගදි ,සාධාරණෙ, අසාධාරණෙ ළගදි අන්ධ වෙනවා.ඒකෙ වැරැද්දක් කියන්නත් බෑ.පෘථජන මිනිස්සුන්ගෙ ස්වභාවය ඒක. 


හැබැයි එතනදි අසරණකමක් දැනෙන්නෙ තනි වුන කෙනෙක්ට.ඒ වගේමයි, කිසි කෙනෙක්ගෙ හයියක්, ශක්තියක් නැති වුනාම ,මනසින්, හිතින් දුර්වල බව දැනුනාම, සාධාරණෙ, අසාධාරණෙ මොකක් වුනත්, පහර දෙන්නෙ, රිද්දන්නෙ දුර්වල තැනටයි.හැමෝම ඇගිල්ල දික් කරන්නෙ දුර්වලයටයි. එතකොට කවුරුත් තමන්ගෙ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ ඒ කෙනාව බේරගන්න එයා නිවැරදි වුනත්. එහෙම වෙන්නෙ අර මම කලින් කිව්වා වගේ ප්‍රබල බැඳිමක් තිබුණොතින් විතරයි.ඒකෙත් වැරැද්දක් නෑ.ඒකයි මෙතනටත් අර මාතෘකාවෙ තියරිය ගැළපෙන්නෙ.තමන් හිසට තම අතමය සෙවණැල්ල.


අද වෙද්දි මම මේ ජීවිතේන් ඉගනගත්ත හුගාක් පාඩම් තියනවා.අත්දැකීම් එක්ක තමා මිනිස්සු සම්පූර්ණත්වයට ළං වෙන්නෙ.මට දැනුනු තේරුණූ විදියටනම්, මගේ අවසාන නිගමනය මේකයි.අපි කොයිතරම් කිව්වත්, "මට මෙයා ඉන්නවා, අරය ඉන්නවා, මෙයානම් මට එහෙම දෙයක් කරන එකක් නෑ. එයා මගේ හොදම යාළුවා. එයා මට මගේ මල්ලි වගේ නෙ,මගේ අයියා වගේනෙ, මගේ නංගි වගේනෙ.ඕනම ප්‍රශ්නෙකදි කරදරේකදි දුකකදි මට පිහිට වෙන්න මෙයා ඉන්නවා,අරය ඉන්නවා" කියලා, ඇත්තටම අවසානෙදි අපිට ඉන්නෙ අපි විතරයි. 


මේක ලියද්දි මට මතක් වුනා  ඒ ලෙවෙල් කාලෙ පංති යද්දි, මම අදහපු,ගරුකරපු  සර් කෙනෙක් කියපු කතාවකුත්,"යකුනේ... අන්තිමට තමන්ට ඉන්නෙ තමන් විතරයි.අම්මා තාත්තවත් නෑ..මොකෙක්වත් නෑ.. අම්මා තාත්තා වුනත් හැමදාම ඉන්නෙ නෑ.අම්මා තාත්තට වුනත් කරන්න පුළුවන් සීමාවක් තියනවා.දවසක තනිවෙන්න වෙනවා.අසරණ වෙන්න වෙනවා.ඉගනගන්න ටික විතරයි ඉතිරි වෙන්නෙ.ඒ නිසා ඉගනගනිල්ලා..තමන්ට තමන් විතරයි" ඒ ටික හරියටම හරි.එදා නොතේරුණාට දැන් දැන් තේරීගෙන යනවා කියලා දැනෙනවා ඒ ඇත්ත.


තමන්ට තමන්වත් විශ්වාස කරන්න බැරි මේ සමාජෙ , වෙන කාවවත්ම විශ්වාස කරන්න බෑ.ඒක තමයි අවසානෙදිම තේරුම් ගන්න තියෙන්නෙ.මොකද මිනිස්සු අතින් වුනත් වැරදි වෙනවා.අතපසුවීම් වෙනවා. ඒ නිසා කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් විශ්වාසය රැකීම කියන දේ බලාපොරොත්තු වෙන්න හොද නෑ.අවසානෙදි දුක තමන්ටමයි. මොකද කොහොමටත් බලාපොරොත්තු කියන ඒවා, ජිවිතේට ගේන්නෙ දුක නිසා.ඒ වගේම හුගාක් දෙනෙක් තවත් කෙනෙක්ට උදව් කරන්න පෙලඹෙන්නෙ පෙරලා උදව් බලාපොරොත්තුවෙන්. අවසානෙදි හැම දේකටම ඉත්තා ලෙස සළකන්නෙ "කරපු උදව්".තමන් අතින් හිත රිදවීමක් වුනත්, වැරැද්දක් වුනත්, අතපසුවීමක් වුනත්, මොන දෙයක් වුනත් එහෙම අය හිතන්නෙ, " මං මොකටද එයාට සෙකන්ඩ් වෙන්නෙ, එයාට මම ඕනෙ තරම් උදව් කරලා තියනවනෙ" කියලයි. 


හැම කෙනාම උත්සාහ කරන්නෙ තමන්ව සාධාරණිකරනය කරගන්න මිසක්, නිහතමානි කමින් තවත් කෙනෙක්ට කතා කරන්න නෙවෙයි.මානයෙන් ඉදිමිච්ච මිනිස්සු ඉන්න මේ ලෝකෙ මේවා හරි සුලභ අත්දැකීම්. 


අවසාන වශයෙන් , කොහොම කළත් ජීවිතේ දුක කියන දේට ඈතින් ඉන්න නම්, ටිකක් කපටි වෙලා, ආත්මාර්ථකාමී වෙලා, අවස්ථාවාදී වෙලා, උද්ධඦ්ඡ කමින් ,අනිත් අයට හෙණ ගැහුවත් මොකද මම කෙලින් ඉදලා කියලා හිතාගෙන , වැඩිය දුර දිග නොසිතා, කල්පනා නොකර ,ඕනෙ කෙනෙක් ඕන දෙයක් කියයි,අනිත අයට මොනා වුනාම මට මොකද කියලා හිතාගෙන ජීවත් වුනානම් හොදයි කියල මට හිතෙනවා.මොකද එහෙම මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා දැන් දැන් හිතෙන නිසා.අනික මටත් හිතුනා ගග ගලන පැත්තටම පීනන එක ලේසියි නේද කියලා උඩු ගං බලා පීනනවට වඩා.


ජීවිතේට වෙනසක් ඕනෙ.වෙනස් වෙන්න සාධකයක් ඕනෙ.දුක දරාගෙන ඇත්තට මූණ දෙන්න හයිය ඕනෙ.තමන්ට ඉන්නෙ තමන් විතරයි කියලා හිතාගෙන ජීවිතේට මූණ දෙන එක තරම් වෙනත් විකල්පයක් අද ඉතිරි වෙලා නෑ.අවසානෙදි හිතුවක්කාරිට ඕනෙ වුනේ කියන්න,තමන් හිසට තම අතමය සෙවණැල්ල. කියලායි. කවදාවත් ජීවිතේදි කිසිම කෙන්ක්ගෙන් තමන් වෙනුවෙන් පිළිසරණක්, හයියක් බලාපොරොත්තු වෙන්න එපා.


තනිවයි උපන්නෙ..... තනිවයි මැරෙන්නෙ.......




ප.ලි - හිත රිදීම් හුගාක් මැද, කළකිරීම් ගොන්නක් මැද හිතේ දුක යන්න අකුරු කරපු මේ ලිපිය නිසා, කාගෙ හෝ හිත රිදුනානම් සමාවෙන්න ඕනෙ.කිසිවකු අරමුණු කරගෙන හෝ කිසිම කෙනෙකුට රිදවීමටව්ත්, අපහාස කිරීමවත් අරමූණ කරගෙන ලියූවක් නොවේ.. 


පෝස්ට් එක දිග වැඩි වුනා. සමාවෙන්න ඒකට.හිතේ තියන බාගයයි මේ ලිව්වෙ..

Post Comment

02 November 2011

~ මියැදුණු මගේ හිත ~


මහා හයියෙන් මේ වහින වැස්සට                         
ගස් වැල් වල තියන මල්,
බිම හැලිලා තැලිලා පොඩිවෙලා යනවා.........
හැබැයි ඒවා දකිද්දි
ඉස්සර වගේ මගේ හිත
අනේ.... දැන් නම් රිදෙන්නෙ නෑ...............
අහක බලාගෙන ගියත්
කතා නොකර ම ගියත් ,
හිනා නොවී ගියත් අද ඔයා
අනේ..... දැන් මට කමක් නෑ..........
ඉස්සර වගේ,
ඔයා අහක බැලුවට
ඔයා හිනා නොවුනට,
කතා නොකලට
අනේ....දැන් මට රිදෙන්නෙ නෑ........
ඔයා ගැනම හිත හිත 
ඔයා ගැනම හොය හොය
තැවෙන්න වැළපෙන්න රිදවගන්න
අනේ.. දැන් මට හිතක් නෑ.................

Post Comment