නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

07 January 2012

ඉස්සර තරම්ම ළෙංගතුයි......


අරමුණක්,තේරුමක් නොදැන මම ඔහේ ඇවිදගෙන ගියා.ඉස්සරම ඇවිදගෙන ගියාට පස්සෙ,අද තමයි මේ පාරේ ඇවිදගෙන යන පළවෙනිම වතාව.කාලය ගත වෙලා,ලෝකෙ දියුණු වෙනවා.මිනිස්සු වෙනස් වෙනවා.මේ පාරවල්,ගොඩනැගිලි,ගස් වැල්,හැමදේම වෙනස් වෙලා.කාලය මොනතරම් වෙනස් කම් කරලාද??ඒත් මම??මම එදා වගේමයි...

අලුත් ගොඩනැගිලි කීයක්නම් හැදිලාද, ඉස්සර තිබුණු කඩ සාප්පු අද අලුත් වෙලා. ඉස්සර අපි අමාරුවෙන් ඇවිදගෙන ගියපු මඩ පිරිච්ච් පාර, අලුත් වෙලා. තාර දාලා,කාපට් කරලා ලස්සනට හදලා.පාර දෙපැත්තෙ පළා විකූනපු ආච්චි අම්මලා අද නෑ..පළතුරු විකුණපු ඒ දුප්පත් මිනිස්සුන්ට වාසනාව පෑදිලාද කොහෙද.අව්වට වේලි වේලි, වැස්සට තෙමී තෙමී දුක් විඳපු ඒ අයට අලුත් තැනක් හම්බුවෙලා...ඔව්ව්.. ඒ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දුක් විඳපු කාලෙ ඉවර වෙලා.. හොඳ කලක් ලබලා.

ඉස්සර දුප්පත් පොළ, දැන් සුපර්මාර්කට් එකක් වගේ වෙලා. ලස්සනට හදලා, අලුත් වෙලා. පිළිවල වෙලා. කාලය මවපු වෙනසක්.හැමදෙයක්ම වෙනස් වෙලා. අලුත් වෙලා. ඉස්සරට වඩා හොඳ වෙලා. ඇස් අදහා ගන්න බැරි තරම් වෙනස් වෙලා.මේ පෑගෙන වැලි කැටයක් ගානෙ මට පුරුදුයි කියලා දැනුනු මුළු නගරයම , අද වෙනස් වෙලා.ඒත් මේ හැම තැනකම ඉස්සර මතක එහෙම්මයි.ඔව්...ඉස්සර ලෙංගතුකම් එහෙම්මයි.මේ බස් හෝල්ට් එක,ස්නැක් බාර් එක,රේල් පාර,මේ හැම තැනකම ඉස්සර හෙවණැලි වැටිලා තියෙනවා වගේ...

මුළු ලෝකෙම වෙනස් වුනත් වෙනස් වෙන්නෙ නෑ කිව්ව ඔයා ඇරෙන්න, අනිත් හැම දේම අදටත් එහෙම්මයි. වෙනස් වුනත්, අලුත් වුනත්, ඒ මතකයන්, ලෙංගතුකම, සෙනෙහෙවන්තකම මැකිලා ගිහින් නෑ.ඒ ලෙංගතුකම් එහෙම්මයි.දස දහස් ගාණාක් මගේ අඩි සළකුණු ඇති මේ පාර දිගේ, අද තනි පංගලමෙ ඇවිදන් යන මාව,මහ ගොඩාක් අතීතයට අරන් ගියා මගේ හිත.මමත් ඒ මතක දිගේ ඔහේ ඇවිදගෙන ගියා.

ලොකුම ලොකු කාඩ්බෝඩ් අයිස්ක්‍රීම් කෝන් එකක් ඉස්සරහින් තියපු, ඒ පුංචි අයිස්ක්‍රීම් කඩේ ළඟින් යද්දි මට ඇස් වලට කඳුළු ආවා. එකම අයිස් ක්‍රීම් එකක් අරගෙන,අපි අත් දෙකෙන් අල්ලගෙන පාර දිගට රණ්ඩු වෙවී, අයිස් ක්‍රීම් කකා ඇවිදපු ඒ ලස්සන කාලෙට මගේ හිත ඇදිලා ගියා.එදා තිබුණු නිල් පාට රටකජු කරත්තෙ දැන් අලුත් වෙලා.ඉස්සර කරත්තෙ ,දැන් පුංචි කඩයක් වෙලා.මම කැමති පිටි තවරපු රටකජු කන්න.ඔයා කැමති බැදපු පරිප්පු  කන්න.ඉතින්  ජාති දෙකක් ගත්තා.බැදපු පරිප්පුයි, පිටි තවරපු රටකජුයි දෙකම අරන්,මළ පෙරේතියක් වගේ මහ පාර මැද කකා ඇවිදින්න ,ඉස්සර නම් මට පොඩ්ඩක්වත් ලැජ්ජ නෑ..ඒ කාලෙ ඔයා මා ළඟ ඉද්දි මම කිසිම දේකට බය නෑ..ඒ මගේ හයිය ඔයා නිසා, ඔයා මා ලඟම නිසා.ඒත් දැන්... දැන්නම් ඉස්සර මතක් වෙද්දි ,මුළු අතීතයම නිකන් හීනයක් වගේ....

මහන්සියක් දැනුනේ නෑ, ඔහේ ඇවිදගෙන ආව ඉස්සර මතක දිගේ.පුරුද්දට වගේ ඇවිත් තියෙන්නෙ අපි නිතරම ආව ගිය ස්නැක් බාර් එකට.කවදත් පුරුද්දට ඉල්ලුවෙ ෆලූඩා එකක්."මිස් ෆලූඩා එකක්   රු.65 යි." 'හත්දෙයියනේ මම දීලා තියෙන්නෙ ඉස්සර පුරුද්දටම රු.50ක්. දැන් කොහෙන්ද  රු.50ට ෆලූඩා. ඉතුරු රු. 15ත් දීලා ෆලූඩා එක්ක ගත්තට මොකද , හැම තැනකම පේන්නෙ ඉස්සර මතක විතරයි.අපි ආවගිය තැන්, කතාකරපු තැන්,හැමතැනකම අපි අපිට නැතිවුණු අතීතය විතරයි පෙණුනෙ.

අතීතය එකම එක හීනයක්. අර සිංදුවකත් තියනවා වගේ, සැබෑවක සුවඳක්වත් නෑ තමා..එදා අත්වැල් බැඳගෙන ඇවිදපු මේ පාරෙ අද මම තනි පංගලමේ ආවෙ, දෛවය නිසා. ඔව්... මේ වෙනස් වීමට,ඔයාගෙ වෙනස් වීමට හේතුවත්....දෛවයම වෙන්න ඇති.....හැමදෙයක්ම ඉස්සර තරම්ම ළඟ වුනත්, ඔයාව මට දුරස් කරවන්න ඇත්තෙ මේ දෛවය වෙන්න ඇති...ඔව්.. දෛවය වෙන්න ඇති...

    
ඔය සුදු අතේ එල්ලිලා...
ඔයත් එක්ක ඒ හුරුපුරුදු පාරවල් දිගේ
ඇවිදගෙන ගිය හැටි
මට තවමත් මතකයි.......
අපි ගිය පාරෙ ඒ වැලි කැට
ඒ ගස් වැල් පවා අපේ ආදරේට
සාක්කි දෙයි.....
අදත් මං ඒ අපේ පුරුදු පාරේ
ඇවිදගෙන යනවා...
ඒත් වෙනස ,
ඔයා මා ළග නෑ...
ඒ පාර, ඒ ගස් වැල්, මල්
එදා වගේම ලෙංගතුයි...
මුළු ලෝකෙම වෙනස් වුනත්
වෙනස් වෙන්නෙ නෑ කිව්ව ඔයා
අද වෙනස් වෙලා....
ඒත් එදා අපේ පුරුදු මතක
අදත් එහෙම්මයි.....
ඉස්සර තරම්ම ළෙංගතුයි.....
.

----------------------------------------------------------------------------
ප.ලි- අපේ Ice නගාගෙ  ~ ලෝක සොභාවය සහ මියැදුණු ආලය ~  පෝස්ට් එක කියෙව්වාම මටත් නිකන් මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුණා.. ඒ නිසා කලින් ලියපු නිසැඳෙසක් එක්ක නිකන් සිතුවිල්ලක් අකුරු කළා.

Post Comment

50 comments:

  1. අදයි මේ පැත්තට ආවේ!
    බුදු හාමුදුරුවොත් දුක වර්ග 5ක් දේශනා කලාට අපිට වඩාත්ම තදින් දැනෙන දුක තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීම !
    විප්‍රලම්භ ශුන්ගාරය දනවන ලිපියක්!
    ඇත්තටම හිතට වැදුන! :((

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..සාදරෙන් පිළිගන්නවා හිතුවක්කාරිගේ හිතට.෴
      හ්ම්ම්.... හිතට දැනුනානම් සංතෝසයි... දිගටම එන්නකෝ.. ජය වේවා!!!

      Delete
  2. හ්ම්ම්ම්......
    කාලය ගෙවුණත් පැරණි මතක එහෙමමයි. කාලයේ වැලි තලාවෙන් එය සඟවන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. ම්ම්.... ඔව්..සඟවන්න අමාරුයි!!!! සමහර මතක අමතක කරන්න බැරිතරම්...

      Delete
  3. මේ ලගදි මටත් ඕකම උනා..ගෙදර ගිහිල්ල එද්දි මම ඉගන ගත්ත පාසල, ඒ නගරය දකිද්දි මගෙ හිත මටත් හොරෙන්ම මහා ලොකු දුර ඈත අතීතෙනට මාව අරන් ගියා...බස් එකෙන් බැහැල ඒ නගරයෙ ආයිත් ඇවිදල බලන්න හිතට ලොකු නොඉවසිල්ලක් ආව...ඒ නගරයෙ නොඇදපු පාරක් නොගිය කඩයක්..ඉස්කෝලෙදි නොපැන්න තාප්පයක්..නැතිතරම්...හිත තදකරගෙනම බස් එකෙන් බහින්නැතුව ආවෙ ඒ නගරයෙ ගොඩනැගිලි , පාරවල් ඒ වගේම උනාට ඒ තුල තිබුණු මගේ මතකය...,මගේ ජීවිතය දැන් ගොඩාක් ඈත් වෙලා නිසා...ඉතාමත් හුරුපුරුදු තැනකට අමුත්තෙක් වගේ ගොඩබහිනවට වඩා ඒ මතකයන් එහෙම්මම තියල ඇස්දෙක පියාගෙන මම ගෙදර ආවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... සම්හර හුරුපුරුදු තැනවල මතක ඉතිරි වුනාම හිතට මහ බරක් දැනෙනවා අයියා.. ඒක ස්වභාවිකයි!!! ජිවිතේ පුරාම ඒ මතක හිතේ තැන්පත් වෙලා තියෙනවා...

      Delete
  4. ඇත්තටම ඔයා වගේ කෙනෙක්ගේ ආදරේ අතෑරලා යන්න තරම් එයා අවාසනාවන්ත උන එක හරියට බර්මියුඩා ත්‍රිකෝනය හරහා ගිය දෙයක් අතුරුදහන් උනා වගේ. ඒ කෙනා ඔයාව දාල ගිය එක මටත් තාම නොවිසදුනු බර්මියුඩා අබිරහස වගේ. මන් අහලා තියන විදිහට නම්..හැම නරක කොල්ලෙක්ම හොද කරන්න පුලුවන් හොද කෙල්ලෙක්ට විතරයි කියලා ..අනේ මන්දා එත් ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා මට හිතුනු වාර නම් අනන්තයි..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... මරු උදාහරණයක් ඔයා අරන් තියෙන්නෙ..:) අබිරහස විසඳගන්න කවදාවතම බැරිවෙයි ;)හ්ම්ම්... එයා නරක කොල්ලෙක් නෙවෙයි...කවුද කිව්වෙ නරකයි කියලා..??? :p ම්ම්... ඒක මගේ දෛවය...:)කාලය මට අහිමි කරපු තවත් එක දෙයක් විතරයි...:)

      මේ සිහින කවුද ඇත්තට?? මම දන්න කෙනෙක්ද??

      Delete
  5. කාලයත් එක්කම ඔය දේවල් විතරක් නෙමෙයි නංගි මිනිස්සුත් වෙනස් වෙනවා. අස්ථිර වූ ලෝකයක ස්ථිර මොනාහරි දෙයක් හොයාගන්න බෑ. ඒක සහතිකයි.

    කාලයත් එක්ක අපේ වටිනාකම් රැකගෙන වෙනස්වෙන්න පුලුවන් නම්, ජීවිතයට තව තවත් හොද දේවල් කාලයත් එක්කම එකතු කරගන්න පුලුවන් නම්.... ඒක කොච්චර නම් හොද වෙයි ද ?

    ReplyDelete
    Replies
    1. හැම දේම වෙනස් වෙන ලෝකෙ වෙනස් නොවන එකම දේ වෙනසීම විතරය්නෙ අයියෙ..:) ඇත්ත.

      හ්ම්ම්.. කාලයත් එක්ක එකතැන පල් වෙන්නෙ නැතිව වටිනාකම් එකතුකරගන්න පුළුවන් නම් හොඳයි තමා අයියෙ..

      Delete
  6. මටත් ඔහොම වේදනාකාරී මතකයන් තිබුනා, මම අද දවල් ඔක්කොම එ්ව ගිනිතිබ්බා.

    හැමතිස්සෙම, තමන්ට වේදනාකාරී අත්දැකීමක් ලැබෙනකොට, එ්ක වෙන කෙනෙක්ට නොදැනෙන්න ගන්න පුලුවන් පියවර ගන්න ඔ්න!

    ReplyDelete
    Replies
    1. :O තනි අලියාට එහෙම මතක තිබුණාද?? පුදුමයිනෙ...
      හ්ම්ම්... ඇත්ත මල්ලි...

      Delete
  7. නුඹ නො එන මග දිග
    වැටුන මල් පාවඩ
    හිනැහේවි තවම
    නොදැන නුඹ නොඑන වග..

    මල් සැලේවි එකින් එක
    සරසලා පාවඩ මග දෙපස
    එකම එක බලාපොරොත්තුවකට
    නුඹ පිළිගන්න කුමරියක් ලෙසට..


    මතක වෙලාවකට හරිම පුදුමාකාරයි.. ලස්සන කවි පෙලක් නපුරු හිතුවක්කාරියේ.. :)

    ReplyDelete
    Replies
    1. //නුඹ නො එන මග දිග
      වැටුන මල් පාවඩ
      හිනැහේවි තවම
      නොදැන නුඹ නොඑන වග..//

      ලස්සනයි අයියේ!!! තෑන්ක්ස්!!! අන්න ඉතින් මම නපුලු නෑ හලී....:'(

      Delete
  8. කියවගෙන යද්දි ගොඩක් දේවල් මතක් වුනා.ඇත්ත තමයි ...මේ ලෝකේ ගොඩක් දේවල් අපිට වෙනස් කරන්න බෑ....මොන තරම් අකමැත්තෙන් උනත් අපිට අපි කැමතිම දේවල් වලින් ඈත් වෙන්න සිද්ධ වෙනවා.....

    ගොඩක් ලස්සන පද ගැලපුමක් යාලුවා....වෛරය බිඳක්වත් නැතුව හැර ගිය පෙම්වතා ගැන මතක සටහන් ලියනවා....පූජනීය ආදරයක්..! අකාලේ මිය ගියා වුනත්.....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ඔව් අපිට ඈත් වෙන්නම වෙනවා සහෝ!!!

      ස්තූතියි සහෝ..:) ඇත්තටම ආදරේ කරපු හිතකින් වෛර කරන්න බෑනෙ...:)

      Delete
  9. අපූරූ හැඟීමක්නේ ආදරය කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව්.. මහා පුදුමාකාර හැඟීමක්..

      Delete
  10. මම නම් අත්වැල් පටලන් ඔහොම ගිහින් නෑ තාම.....මම තනියම යනවා එතකොට කිසිම දුකක් නැහැ...හිතුවක්කාරී..! තනියෙන් ඉන්න එක තරම් නිදහසක් සැණසීමක් මේ ලෝකෙ තවත් නැහැ..ලස්සනයි ඔයාගෙ කතාව...

    ReplyDelete
    Replies
    1. // තනියෙන් ඉන්න එක තරම් නිදහසක් සැණසීමක් මේ ලෝකෙ තවත් නැහැ//
      ඇත්ත කිරිල්ලි!!! මම දැන් ඒ සැනසීම විඳිනවා.. හැබැයි අතීතය සැනසීම නැති කරනවා සමහර වෙලාවල්වලට..:)

      ස්තූතියි!!!

      Delete
  11. "අදත් මං ඒ අපේ පුරුදු පාරේ
    ඇවිදගෙන යනවා...
    ඒත් වෙනස ,
    ඔයා මා ළග නෑ...
    ඒ පාර, ඒ ගස් වැල්, මල්
    එදා වගේම ලෙංගතුයි...
    මුළු ලෝකෙම වෙනස් වුනත්
    වෙනස් වෙන්නෙ නෑ කිව්ව ඔයා
    අද වෙනස් වෙලා....
    ඒත් එදා අපේ පුරුදු මතක
    අදත් එහෙම්මයි.....
    ඉස්සර තරම්ම ළෙංගතුයි......"

    ඇත්ත නංගියෝ.. කාලයත් එක්ක මොනදේ වෙනස් වුණත්.. අපේ මතක හැමදාම අපි ළඟ.. වෙනස්වුන කාලයත් එක්ක හිතට දැනෙන්නෙ හිත්රිදීම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්... ඔව් අක්කි... හිත රිදෙදි තමා දන්නෙ, තාමත් අපිට අතීතය ලඟයි කියලා..

      Delete
  12. ජීවිතේ සමහර මතකයන් ගොඩක් හිත පාරනවා..ඒත් අපි ඒ වේදනාවටත් ආසයි..ඒ තුවාලේ හොඳ කරගන්නවත් හිතන්නේ නෑ.මම හිතන්නේ හැමෝටම වගේ මේ විදියට මතක් කරලා දුකත් සතුටත් අතරේ කිමිදෙන්න දෙයක් තියෙනවා..ආදරේ ලඟින් තියෙනකන් ගොඩක් සුන්දරයි..ඊට පස්සේ ලේ ගලන තුවාලයක් වගේ

    ReplyDelete
    Replies
    1. //.ආදරේ ලඟින් තියෙනකන් ගොඩක් සුන්දරයි..ඊට පස්සේ ලේ ගලන තුවාලයක් වගේ//

      හරියට හරි කුමාරිහාමි

      Delete
  13. අපේ හිත්වල තියෙන මතක හිත පාරනවා වගේම අපිව ජිවත් කරවන්නත් ලොකු මෙහෙයක් කරනවා....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.. ඔව්..සමහර මතක නිසා අපේ හිත් ධෛර්‍යමත් වෙනවා තමා!!! ස්තූතියි ලොකූ..

      Delete
  14. දුරස් වන්නට මේ ලෙසින් ඇයි ද අප හමු උනේ.......
    දුරස් වන්නට මේ ලෙසින් ඇයි ද අප ඉපදුනේ.......
    ප. ලි .
    වෙරි සොරි කිව්වා ආයෙමත්.... හිකිස් .......

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඉට්ස් ඕකේ... :D

      Delete
  15. කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙ නෑ....
    වෙන්වෙන්නදො ලංවුයේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. ලං වෙද්දි වෙන් වෙන්න හිතන්නෙ නෑනෙ...

      Delete
  16. අතීතයේ මතකයත් එක්ක ඒ වැරදීම නිවැරදි කරගන්න පුරුදු වෙමු.ඔබගේ ඒ දුක මටත් උරුමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. ඔව් අතීතයට පණ දෙන්න හදලානම් වැඩක් නෑ තමා...ඒ දුක කාටත් උරුමයිනෙ

      Delete
  17. අනේ අම්මප මෙච්චර සෙන්ටිමෙන්ටල් කතාවක මට ඔලුවට ගියෙ කෑම ගැන තිබ්බ ටික විතරනෙ!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්ස්ස්ස්ස්ස්ස්... ඒ ටික ඔළුවට ගිය එකත් හොදයි!!!

      Delete
  18. අතීතය නිසා කොච්චර සතු‍ටු වෙනවද..සමහර වෙලාවට කොච්චර දුක් වෙනවද...කොහොම උනත් අතීතට අපිව ජීවත් කරවනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ... ඇත්ත. අතීතය කියන්නෙ අපි ජිව්ත් වෙන බව ඔප්පු කරන්න හොඳ සාධකයක්..

      Delete
  19. Sometimes a good memory is a blessing.. But sometimes it a curse when yu'r trying 2 forget someone.. :( :(

    ReplyDelete
  20. ජීවිතේ කියන්නේ මෙන්න මේකටයි ..

    අතීතය කියන්නේ සුව නොවෙන තුවාලයක් , වර්ථමානය කියන්නේ තුවාලයට දාන බේත් , අනාගතය කියන්නේ ඒ තුවාලය හොඳ වීම ..

    කවුදෝ කෙනෙක් එහෙම කියලා තිබුණා මතකයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... ඔව් අයියා..ජිවිතේ මේක තමා... ඒ කතාව කවුරු කිව්වත්, හරියටම හරි. ඇත්ත කතාවක්...

      Delete
  21. ගොඩාක් දේවල් මට මතක් කළා මේ සටහන..
    අමතක කරන්න බැරි ගොඩාක් දේවල්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.... දුක හිතෙන දේවල් මතක් කලානම් සමාවෙන්න :(

      Delete
  22. ගෙවුනු අතීතය.සුන්දරම ඒ මතක සටහන්, අමතක කරන්න පුලුවන්නම්, ඒ කීයෙන් කීදෙනාටද​? කවද හරි දවසක ඒ මතක පිසටහන් අතරින් අපිට යන්න වෙද්දි, සදහටම අගුල් දානව කියල හිතුව මතක ඒ පොතේ එක පිටුවක් නෑර දිගහැරෙනව.එහෙම බලද්දි අපේ ජීවිතේ ලස්සන, දුක හිතෙන මතක වලට සමුදෙන්න කිසිම කෙනෙකුට බැහැ නේද​????????...

    ලස්සන ලිපියක් යාළු.කියවන් වද්දි, දන්නෙම නැතුව අත්තීතයට අරගෙන ගියා.....

    ReplyDelete
    Replies
    1. බෑ සහෝ කිසිම කෙනෙක්ට අමාරුයි එහෙම මතක යටපත් කරලා දාන්න..:)

      ස්තූතියි යාලු...

      Delete
  23. හැම දෙයක්ම නැසෙන සුළුයි දරුවා... හැම දෙයක්ම වෙනස්වෙනවා.. ඕකයි ලෝත ස්වභාවය...

    දැන් ඉතින් සාදු කියන්න බලන්න...

    ReplyDelete
  24. හා හා.. සාදූ!!!! සාදූ!!! සාදූ!!!!

    ReplyDelete
  25. @ hithu...ඒ උදාහරනේ ගත්තේ ඒක තමයි ඔයාට හොදටම ගැලපෙන්නේ කියලා හිතුන නිසා හිතූ..ඇත්තටම සිහින කියන්නේ ඔයාව ඔයාටත් වඩා හොදට තෙරුම් ගත්ත කෙනෙක්..හැබයි ඒ ඔයාට වඩා ගොඩක් දුරින් ඉදලා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... බයත් හිතෙනවා කවුද මේ සිහින හැංගිමුත්තම් කරන???

      Delete
  26. @ hithu..
    Hold up... hold on... don't be scared You'll never change what's been and gone May your smile... Shine on... Don't be scared Your destiny may keep you warm

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... m nt going to be scared... i think so... thanku!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....