නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 March 2012

-සියදිවි නසාගැනීම සහ ප්‍රේමය -

මේ දවස් වල බ්ලොග් කියවන්න එන්නෙත් කඩිමුඩියෙ..මෙහාට හෙණ ගගහා වහිනවා හෆ්ෆා...:( :(  සෙනසුරාදා ඉරිදා උදෙන්ම ඇවිල්ලා මඟ ඇරුණු ඔක්කොම ලිපි කියවන්න ඕනෙ. අලුත් වැඩක් කරන්න ඉන්නෙ වෙලාව නැතිකමයි, කාළගුණ විපර්‍යාසයි නිසා ඒකත් කල් යනවා.. :( ඔන්න ඔහොමයි ආ ගිය තොරතුරු..:D

මම මීට කාලෙකට කලින් ලියලා තිබුණූ ලිපියක් අද බ්ලොග් එකේ දාන්න ඕනෙ කියලා හිතුණා.මට හිතෙන විදියට ඒ ගැන ලිව්වෙ. සමහර දේවල් වැරදි වෙන්නත් පුළුවන්..මීට කලිනුත් මේ සම්බන්ධව බ්ලොග් අඩවි වල ලියැවුනා මතකයි....කියවලා බලන්නකෝ ,මේ මගේ අදහස.



සියදිවි හානි කරගන්නවා කියන්නෙ මොකක්ද?කෙනෙක් ඇත්තටම තමන්ගෙම ජීවිතේ අකාලයේ නැති කරගන්නෙ ඇයි?ප්‍රශ්නයක් නේද?බුදුදහමට අනුව නම් සියදිවි නසා ගැනීම අකුසලයක්.සියදිවි හානි කරගන්න,එහෙමත් නැත්තම් කෙනෙක් තමන්ගෙ ජීවිතේම තමන් විසින් නැති කරගන්න මූලික වෙන්නෙ "චේතනාව".ඒ නිසා කෙනෙක් නරක ,කිළුටු සිතුවිල්ලකින් දෙයක් කලොත් ඒ දේ නිසා වෙන අකුසල කර්මය ගොනා පසුපස එන කරත්ත රෝදෙ වගේ පස්සෙන් එනවා.ඒ නිසා බුදුදහමට අනුවත් සිය දිවි හානි කරගැනීම විශාල අකුසල කර්මයක් කියලයි හඳුන්වන්නෙ.


හුඟාක් දෙනෙක් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න ඕනෙ කියලා සිතුවිල්ලක් ආ සැනින් ක්ෂණිකව තමන්ට පහසුම ක්‍රමයක් එහෙම නැත්තම්,ඒ අවස්ථානුකූලව ජීවිතෙන් සදහටම සමුගන්න ක්‍රමයක් තෝරාගන්නවා.සමහරු වහ බොනවා,තව සමහරු ගඟේ මූදේ පනිනවා, තවත් අය එන කෝච්ච්යට බෙල්ල තියනවා.තවත් සමහරු ගේ ඇතුළෙම පරාලෙක හරි,වත්තෙ ගහක හරි එල්ලෙනවා.ඒ වගේම නින්දෙන්ම මැරෙන්න,ජීවිතේ නැතිකරගන්න ඕනෙ අය නිදි පෙති බොනවා.ක්ෂණික ආවේගය නිසා බොහෝ දෙනා වැරදි තීරණවටල ඇවිත් මේ විදියෙ විවිධාකාර ක්‍රම වලින් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න  පෙළඹෙනවා.


කෙනෙක් තමන්ගෙ ජීවිතේ විනාශ කරගන්න පෙළඹෙන්නෙ ඇයි?? ජීවිතේට මූණ දෙන්න ආත්ම ශක්තිය නොමැති කම නිසා එහෙම වෙන්න පුළුවන්.ඒ වගේම කෙනෙක්ට දරාගන්න බැරි පීඩනයක්, මානසික හිංසාවක් ඇතිවීම නිසාත් ඒ වගේ තීරණයකට එන්න පුළුවන්.


දුප්පත්කම,පවුල් ආරවුල්,ලෙඩ රෝග,මුදල් අර්බුධ, නීතිමය ප්‍රශ්න නිසා කෙනෙක් ජීවිතේ නැති කරගන්න පෙළඹෙන්න පුළුවන්.නමුත් හුඟාක් දුරට කතාබහට ලක් වෙන කාරණයක් තමා "ප්‍රේමය" නිසා සිය දිවි හානි කරගැනීම.


හැමෝම කතා කරන, හැම කෙනෙක්ම කැමති,නිතර දෙවේලේ අපි ඇලී ගැලීගෙන කතා කරන ප්‍රේමය නිසා ඇයි සියදිවිහානි කරගන්න පෙළඹෙන්නෙ??ප්‍රේමය කියන්නෙ කෙනෙක්ව මරණයට පත් කරන්න,එහෙමත් නැත්තම් ජිවිතෙන් ඈත් කරන්න පුළුවන් දරුණූ සාධකයක් ද?


ඇත්තටම ප්‍රේමය, එහෙමත් නැත්තම් මේ ආදරේ කියන්නෙ මොකක්ද?


"ප්‍රේමය" එහෙමත් නැත්තම් ආදරය  කියන වචනයට නිවැරදි ,නිශ්චිත අර්ථකතනයක් දෙන්න පුළුවන් කිසිම කෙනෙක් ඉන්නවා කියලා මම  නම් විශ්වාස කරන්නෙ නෑ..මොකද ඒ තරමටම සංකීර්ණ වගේම එක එක ස්වරූප වලින්,එක එක ආකල්ප වලින් වගේම විවිධාකර වූ අදහස් හැඟීම් තුළින් ගොඩනැගුනු දෙයක් තමා ප්‍රේමය,එහෙම නැත්තම් මේ ආදරය කියලා කියන්නෙ.ඒ වගේම වැඩිපුරම කියැවෙන්නෙ,බොහෝ දෙනෙක් කතා කරන්නෙ,යොවුන් ප්‍රේමය,එහෙමත් නැත්තම් මේ තරුණ තරුණියො අතරේ ඇති වන ආදරය ගැන තමයි.


අද ලෝකයේ බහුතරයක් ගීත,චිත්‍රපට,නාට්‍ය,නවකතා ඇතුළු හැම කලා නිර්මාණයකම වගේ ප්‍රධානතම මාතෘකාව,සාධකය වෙලා තියෙන්නෙ ආදරයයි.වැඩිපුරම යොවුන් ආදරයයි.ඒ තරමටම මේ මුළු විශ්වයම මූලිකත්වයක් දීලා තිබෙන හැඟීමක් විදියට ආදරය හැඳුන්වූවාට වැරද්දක් නම් නෑ මම හිතන්නෙ..


"ප්‍රේමය නම් රාගයෙන් තොර
 සඳ එළිය සේ 
අචින්ත්‍යයි... පාරිශුද්ධයි... සුරම්‍යයයි..."


නන්දා මාලිනියන්ගේ ගීතයෙන් කියැවෙන ප්‍රේමය අචින්ත්‍යයි.. පාරිශුද්ධයි...සුරම්‍යයි....එහෙම ප්‍රේමයකට පුළුවන්ද කෙනෙක්ගෙ දිවි තොර කරන්න.. ?? නෑ මම නම් හිතන්නෙ නෑ..


බහුතරයක් දෙනා,මේ ආදරය ,ප්‍රේමය නිසා ජීවිතේ නැති කරගන්නෙ , ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් නිසායි.තමන් ආදරේ කරපු පෙම්වතා තමාව රැවටීම,එහෙමත් නැත්තම් පෙම්වතිය මග හැරීම,වෙනත් සම්බන්ධකම් හසුවීම..මෙවැනි ප්‍රේම සම්බන්ධ හමුවේ ඇතිවෙන විවිධ ප්‍රශ්න නිසා, නිස්කාරණේ තමන්ගෙ ජීවිතෙන්ම පළීගන්න හිතාගෙන ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා.


ඒත් මම හිතන්නෙ නම් සැබෑ ආදරවන්තයෙක් කිසිදාක ප්‍රේමයෙන් පැරදීම නිසා දිවිතොර කරගන්නෙ නෑ..ප්‍රේමය වගේම,විරහවත්,වෙන් වීමත් දරාගන්න සැබෑ ප්‍රේමවන්තයෙක්ට,එහෙමත් නැත්තම් සැබෑ ආදරවන්තයෙක්ට පුළුවන් වෙන්න ඕනෙ.මගේ අදහස එහෙමයි.


පෙම්වතිය පිටුපෑ වේදනාව,ඒ නිසා හිතේ ඇතිවෙන වෛරය,තරහව,ක්ෂ්ණීක කෝපය ,ඒ වගේම පෙම්වතා පළා ගිය දුක, දරාගන්න,විඳගන්න හිත ශක්තිමත් නොවීම,ඒ හැඟීම දරාගන්න තරම් බුද්ධිය මුහුකුරා නොයෑම මෙලෙස ක්ෂණිකව ජීවිතේ නැති කරගැනීමට පෙළඹීමට හේතු සාධක වෙන්න පුළුවන්.

කෙනෙක්ට විරහව දරාගන්න ,කවියක් ලියන්න,සිංදුවක් අහන්න,වේදනාව අකුරු කරන්න,දුක තුනී කරගන්න ,වෙන මාර්ගයකින් හිත හදාගන්න ආත්ම ධෛර්‍යක්,හැකියාවක් තිබෙනවනම්,ජීවිතය  නැති කරගන්න කෙනෙක් පෙළඹෙන්නෙ නෑ..ඒ මගේ මතය.මම වැරදිද දන්නෙ නෑ..හැබැයි විරහා වේදනාව නිසාම ලෝකෙ බොහෝ වටිනා දේවල් නිර්මාණය වෙලා තියෙනවා.

ෂා ජෙහාන් කියන මෝගල් අධිරාජ්‍යයා,තමන්ගෙ දේවිය, මුම්ටාස් දේවිය සිහිවෙන්න ටජ් මහල ඉදි කරේ,ආදරේ වෙනුවෙන්.අදටත් දස දහස් ගණනක් පෙම්වතුන්,ආදරේ සංකේතයක් විදියට හඳුන්වන්නේ ටජ් මහල යි.මේ ලෝක ප්‍රසිද්ධ ටජ් මහල තනන්න ෂා ජෙහාන් රජතුමා,මුම්ටාස් දේවිය වෙනුවෙන්  ජීවත් වුනා.ඔහු මුම්ටාස් දේවිය වෙනුවෙන්  ඔහුගේ හිතේ ඇය කෙරේ තිබුණූ දයාව, ආදරය ලෝකයට ඔප්පු කළා.සැබෑ ආදරවන්තයෝ අන්න එහෙමයි....

අපේ කාලයේ පෙම්වතුන්ටත් ටජ් මහලක් හදන්න බැරි වුනත්,අවුරුදු ගාණක් තිස්සෙ තමන් රැක බලගත්ත අම්මා තාත්තා වෙනුවෙන්,ගෙවුණූ ජීවිත කාලෙ වෙනුවෙන් ,අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ වෙනුවෙන්වත් ජීවත් වෙන්න ධෛර්‍ය තියෙන්න ඕනෙ.දුක වේදනාව දරාගෙන නැගී සිටින්න ශක්තියක් තියෙන්න ඕනෙ.තමන්ට අහිමිවුනු ආදරේ නාමයෙන් හරි, ජීවිතේ දිනන්න හයියක් තියෙන්න ඕනෙ.

හොඳ ආගමික පරිසරයක්,සෞන්දර්‍යාත්මක රසවින්දනයක්, සාමාන්‍ය හෝ උගත් බුද්ධි මට්ටමක්,ඒ වගේම ජිවිතේ ගැන යථාර්තවාදී ආකල්පයක් තියෙන කෙනෙක් ,කිසිම දවසක ප්‍රේමය නිසාවත්,වෙන කිසිම හේතුවක් නිසාවත් ජිවිතෙන් පලා යන්න හිතන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ.මොකද එහෙම පරිසරයක ජීවිතේ ගෙනයපු,ගෙනියන කෙනෙක්,කොයිතරම් කඩා වැටුණත් ජිවිතේ ආයෙමත් නැගිටින්න හිතනවා.

අවසාන වශයෙන් ,මගේ නම් අදහස ප්‍රේමයෙන් පැරදීම,හෝ ඒ හා සම්බන්ධ වෙන අර්බුධයක් නිසා හෝ සිය දිවි හානි කරගැනීමනම් අනුවණ ක්‍රියාවක්.ප්‍රේමයේ නාම්යෙන් ජීවත්වීමකියන්නෙත් මහා අකුසල කර්මයකින් ගැලවීමක්.

ජීවිතේ හුඟාක් කෙටියි.මේ කෙටි කාලෙත් තවත් කෙටි කරගන්න හදන උත්සාහයෙදී විශාල  පවක් අකුසලයක් කරන්න කලින්,එක මොහොතකට හිතන්න පුළුවන් නම් මේ ජීවිතේ ලැබුනේ මොනතරම් අමාරුවෙන්ද කියලා?මේ ජීවිතේ දෙන්න තමන්ගෙ අම්මා මොන තරම් දුකක් විඳින්න ඇත්ද කියලා?මේ ජීවිතේ මේ තරම් හරි දුරක් එන්න ඒ තාත්තා මොනතරම් දුක් ගැහැට උහුලන්න ඇත්ද කියලා  ?? 

ප්‍රශ්න බාධක ගැටළු හමුවේ ජීවිතෙන් පලා යන වුන් කිසිදාක වීරයෝ නොවේ!!!!සියළු බාධක අභියෝග හමුවේ ජීවිතේ තව තවත් වැළඳගන්නවුන් සැබෑම වීරයෝ වේ!!!!

                                       ෴ .

Post Comment

73 comments:

  1. Replies
    1. ඇත්ත නංගියෝ... ජීවිතේ එක දෙයක් අපිට වැරදුනා කියලා මුලු ජීවිතේම නැති කරගන්න එක නම් මහම මහා මෝඩ වැඩක්.. කොච්චර වැටුනත් වැටි වැටි නැගින්න පුළුවන් නම් ඒක තමයි කෙනෙක්ට ජීවිතේ ගන්න පුළුවන් හොඳම පන්නරය..

      Delete
    2. අක්කි එක.. හුරේ!!!!

      ම්ම්.. ඔව් අක්කි, ජීවිතේ අමාරු තැන් වලදි ඉවසන්න,වැටෙන්න වැටෙන්න නැගිටින්න හිත හයිය කරගන්න පුළුවන් නම්, ඒක ලොකු දිනුමක්...

      Delete
  2. ඔන්න පලමු කමෙන්ට් එක වීරයෙකුගෙන්.......!!

    ReplyDelete
    Replies
    1. හී.. මමනේ එක .. මම වීරයෙක් ඒ කියන්නේ.. හී හී :D :D ;)

      Delete
    2. පන දෙවෙනි කොට ආදරේ කරල පැරදුනාද? තාම ජීවත් වෙනවද? එහෙනම් ඔයත් මම වගේ හිතූ වගේ ''වීරවරියන්ගෙ පොතට'' ඇතුල් වෙනවා..ජයවේවා..!!

      Delete
    3. අනිවාර්යෙන් කිරිල්ලියේ.. එහෙනම් අපි ඔක්කොම වීරවරියෝ තමා... :D

      Delete
    4. හෆ්ෆොච්චියේ... එක දෙක පොඩ්ඩක් මාරු වෙලා...:D

      ආයෙත් අහලා කිරිල්ලියෙ, ප්‍රර්ථනා අක්කියෙ.. අපිත් හොද වීරවරියො තමා..:D

      Delete
  3. අයියෝ...මේ ප්‍රාර්තනා පැන්නනෙ.....කමක් නෑ...ඇත්තටම ජීවිතේ නැති කර ගන්න එක ආදරේ වෙනුවෙන්? ඒක නම් ලොකුම විහිලුවක්,නිවට කමක්..!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ගානක් නෑ කිරිල්ලියෙ.. කවුරු එක වුනත් හැමෝම යාලුවොනෙ..:D

      ඔව්.. ජීවිතේ මොනම හේතුවක් නිසාවත් නැතිකරගන්න එක අපරාදයක් තමා..

      Delete
  4. ප්‍රේමය නිසා සියදිවි නහගන්නව කියන්නෙ මේ ලෝකෙ කරන්න තියෙන ලොකුම මෝඩකම.........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. ඒක ලොකු මෝඩකමක්...

      Delete
  5. ෂා මෙයා දන්නා දේවල්... Love Sucks හිතු ;) ;)
    Being Single is Awesome ;)

    ReplyDelete
    Replies
    1. ආ.. ඔව් දැක්කානෙ.. හිතූ දන්න දේවල්...:p

      ඔන්න ඕක මම කිව්වා වගේ බෝඩ් එහෙක ලියලා ගහගන්න පිටේ!!!

      Delete
  6. ඇත්ත කථාව... මට නම් හිතෙන්නේ කෙනෙකුට සිය දිවි හානි කර ගන්න හිත හදා ගන්නවා කියන්නේම පුදුම දෙයක්. මරණය..... එක පුදුම වේදනාවක් ගෙන එන අවස්ථාවක්. ඒ ගැන මතක් වෙද්දි අපිට තියන ප්‍රශ්න නම් මොනවද. ආදරය නිසා නම් මේ දෙය කර ගන්නේ ආදරයක් හටගන්නා විදි කිපයක් තියනවා නෙ.

    1 පලවෙනි පාර දැක්කම ඇතිවන ආදරය
    2 මුලින් යාළුවො පස්සේ පෙම්වතුන් වෙනවා

    මේ දෙකෙන් 1 තමා ගොඩක් වේලාවට upset වෙන්නේ.මොකද පලවෙනි පාර දැක්කම ඇති වෙන්නේ ආකර්ෂණයක් . ඒක ආදරය නෙමෙයි. පස්සේ එකිනෙකා ගැන දැන ගද්දි තමා තෙරෙන්නෙ ගැලපෙන්නේ නැ කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඔව් සහෝ ඒ කාරණාවෙ ඇත්තක් තියෙන්වා.. ආකර්ෂණය ආදරය විදියට වරදවා තේරුම්ගත්තාම එහෙම වෙනවා...

      Delete
    2. මෙතන අපේ අය හුග දෙනෙක් වරදවා වටහා ගත් දෙයක් තියෙනවා ආදරය ගැන.දැක්ක ගමන් ආදරයක් එයා ගැන හිතේ ඇති වුනා කියනවා නම් ඒ වැරදි කතාවක්.දැක්ක ගමන් ඇති වන්නේ ආශාවක්.විටින් විට අඩු වැඩි වෙන තවත් වෙලාවකට නැත්තටම නැති වෙලා යන මේ ආශාව ආදරය ලෙස අර්ථ කථනය කිරීම නිසා අපි අතින් බොහෝ වැරදි සිදුවෙනවා.

      Delete
  7. පොඩ්ඩක් හිතලා බලන්න තමන්ගේ ජීවිතය නැති කරගන්න කෙනෙක් කොච්චරනම් නිර්භීත වෙන්න ඕනෙද කියලා? අතක් පයක් හීරෙනවටත් බය මිනිහෙක්ට එල්ලිලා මැරෙන්න තරමට ඒ බය නැති උනේ කොහොමද? එහෙනම් ඒ සියදිවි නසාගන්න කෙනා කොයි වගේ මානසික තත්වයක ඉන්න ඇද්ද? මේ පුටුවක වාඩිවෙලා ඉන්න අපිට ඒ ගැන හිතාගන්නවත් බෑ. සියදිවි නසාගන්න බොහෝ විට හේතුවෙන්නේ දරාගන්න බැරි හිත් පීඩා. හිත ලෙඩ වුනාට අපි මොනවා කරනවද කියලා අපිම දන්නේ නෑ. හේතුව ආදරේ බිඳිමක් හෝ වේවා වෙනයම් දෙයක් හෝ වේවා හිත ලෙඩ උනොත් තත්වය දරුණුයි. ඒ වෙලාවට ඔයා ඔය උඩ ලියලා තියෙන කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ!
    මට නම් ආදරේ බිඳුනයි කියලනම් කවදාවත් සියදිවි නසාගන්න තියා එහෙම දෙයක් ගැන මතක් වෙයි කියලවත් හිතන්න අමාරුයි. හැබැයි කවදා හරි දවසක හොඳ කරන්න බැරි ලෙඩකින් එක දිහට දරාගන්න බැරි විදිහට වේදනා විඳින්න උනොත් හරි තමන්ගේ කිසිම වැඩක් කරගන්න බැරි විදිහට එකතැන් උනොත් හරි මම කැමතියි මැරෙන්න.

    ReplyDelete
    Replies
    1. හින්දි ෆිල්ම් වැඩිය බලන්නේ නෑ. ඔයා ඔය කියන ෆිල්ම් එක ගැන දන්නෙත් නෑ! මොන වගේ සිද්ධියක්ද ඒකේ තියෙනේ?

      Delete
    2. ම්ම්.. ඔව් පූසා අයියෙ.. ඇත්ත.මොකද එහෙම ආවේගයක් ආවාම හිතට ඒක පාලනය කරගන්න අමාරුයි තමා.. ඒත් මම හිතන්නෙ ඒ තරම් දරුණූ දෙයකට හිත යොමුවෙන්න තියන ඉඩ, අපිට කලින් පාලනය කරගන්න විදියක් නැද්ද?? දැන් අයියා විශ්වාසෙන් කියන්නෙ කවදාවත් අයියා එහෙම දේකට පෙළඹෙන්නෙ නෑ කියලා..

      ම්ම්ම්.. අන්තිම කාරණේනම් ඉතිං බරපතලයි තමා.. :) ඒත් එහෙම එක්තැන් වෙලත් මිනිස්සු ඉබේම මැරිලා යනකම් ජීවත්වෙනවා...:)

      Guzaarish එකෙත් රිතික් එහෙම රෝද පුටුවක ජීවිතේ ගෙවන්නෙ..

      Delete
  8. ජිවිතය කලම... කිරිලා නම් හොඳ වැඩක් තියනවා කරන්න. ඔබගේ ශරිර අවයව පරිත්‍යාග කරන්න.

    ReplyDelete
  9. අවුරුදු ගානක් හදපු වඩපු දෙමව්පියන් අමතක කරල ආදරේ කරපු කෙල්ලෙක් කොල්ලෙක් වෙනුවෙන් දිවි නසාගන්නව කියන්නෙ එයාට ආත්ම සීයකටවත් ගෙවාගන්න බැරි පාප කර්මයක්..ඒත් ඉතිං මේ වගේ දෙයක් කරන්න කෙනෙක් පෙලඹෙන්නෙ අඩුම තරමින් එයාට ඒ ඉන්න තත්වෙ ගැන වෙන කෙනෙක්ට කියලවත් හිත නිදහස් කරගන්න අවස්තාවක් නැති කම නිසා වෙන්න පුලුවන්..කාලයක් යනකන් එයාගෙ හිතට ගොඩක් සමීප මිත්‍රයෙක් හරි සහෝදර සොහෙදරියක් හරි ලඟින් ඉන්න එක ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් අක්කි. බුදු දහමට අනුව ලොකුම ලොකු පාපකර්මයක් තමා ඒක.. අනිවාර්යෙන්ම හිතට දරාගන්න බැරි දුකක්,කරදරයක් ආවාම ඒක කාටහරි කියලා හිත හදාගන්න පුළුවන් නම් හොදයි...

      Delete
  10. ප්‍රේමය යනු ඔය කියන තරං සිරා එකක් නොවන අතර එහෙම එකක් ලැබුන්නෑ කියා මැරෙන්නේ නැත.

    මේ කියන්නේ කරන්න එපා කියා නොවේ.... කරනවනං කරගත්තට කමක් නැත. හැබැයි මෙය.. අාහාර, ජලය , වාතය නිවාස වගේ නොව ලැබුනත් නැතත් කමක් නැති එකක් බව මතක හිටින්නේ නැත්තං ප්කාඩ්බෝඩ් එකක ලියා ප්‍රධාන දොරටුවේ එල්ලාගත යුතුය.

    තවද, එ්ලෙවල් කාලයේ මෙය කල අයගෙන් මා දන්නා සියලු දෙනාම ලයිට් කනු අඩු ගානේ දෙකකවත් හිමිකරුවෝ වෙති.

    ReplyDelete
    Replies
    1. අලියා ඉතිං ප්‍රේමය එක්ක මල යකා නැගලානෙ ඉන්නෙ කොයිවෙලෙත්...:D

      Delete
  11. පිස්සු අප්පා මැරෙන්නේ..

    ReplyDelete
  12. // ප්‍රේමය වගේම,විරහවත්,වෙන් වීමත් දරාගන්න සැබෑ ප්‍රේමවන්තයෙක්ට,එහෙමත් නැත්තම් සැබෑ ආදරවන්තයෙක්ට පුළුවන් වෙන්න ඕනෙ//
    මාත් එකඟයි හිතූ මේ අදහසට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්.. එහෙම තමා වෙන්න ඕනෙ මමනම් හිතන්නෙ..

      Delete
  13. මටනම් මැරෙන්න හිතුනොත් මම කරන්නේ මාරාන්තික වැඩක නියැලෙන එක..හි හි (එවරස්ට් තරණය වගේ). එතකොට මැරුණත් කමක් නැහැ මොකද මැරෙන්න හිතාගේනනේ ගියේ. හදිසියේ නොමැරී එන්න ලැබුනොත් එහෙම කොහොමද අප් එක :))

    ReplyDelete
    Replies
    1. අව්ව්.. අප්පා..සයුරි අක්කිගෙ ටිකිරි මොළේ බලන්නකෝ....ශෝයි!! ගුඩ් අයිඩියා..:D

      Delete
  14. අපිට කොච්චර ඕන උනත් මැරෙන එක උනත් අපිට ඕන වෙලාවට කරන්න බෑ.. ඒකටත් හරි වෙලාව එන්න ඕන.. ඒකනේ ඔය සියදිවි නසා ගන්න යන අය උනත් සමහර වෙලාවට දශමෙන් බේරෙන්නේ.. සියදිවි නසා ගැනීම තව කෙනෙක්ගේ ජීවිතයන් නසනවා හා සමානයිලු.. අනික ප්‍රශ්ණ වලට බයේ මැරෙන එක මෝඩ කමක්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකතමා අයියෙ මම කියන්නෙ. ප්‍රශ්න වලට බයේ, ජීවිතේට මූණ දෙන්න බයේ මැරෙන එක මහා මෝඩකමක්....

      Delete
  15. ප්‍රේමය නිසා නෙමෙයි මොන ගැටලුවක් ආවත් සිය දිවි නසාගන්න එක නම් අන්තිම මෝඩ වැඩක්.අනික තමන්ට වත් ආදරේ කරන්න බැරි කෙනෙක්, කොහොමද තව කෙනෙක් ට ආදරේ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. හොද අදහසක්.. තමන්ගේ ජීවිතේට අඅදරේ නැති කෙනෙක්ට අනුන්ගෙ ජීවිතයක් රකින්න බෑ.. ඒක හරි...තව කෙනෙක් වෙනුවෙන් ජීවිතේ කැප කරනවා කිව්වත් එතන ඇත්තටම ආදරයක් නෑ මං හිතන්නෙ..

      Delete
  16. ක්ෂණික ආවේගය තමයි ඔතන තියෙන්නෙ. ඒකනෙ ජීවිතේ නැතිකරගන්න හදපු සමහරු ඉස්පිරිතාලෙදි ආයෙ ජීවිතේ ඉල්ලලා බැගෑපත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් අහලා තියෙන්වා, හාපික්, එක එක වස ජාති බීලා ,පිච්චිලා ඉස්පිරිතාලෙ ආව අය වේදනාව උහුලගනන් බැරිව මැරෙන්නත් බැරිව ජීවත් ව්එන්න දඟලන හැටි ගැන..

      Delete
  17. හුග දවසකින් මේ පැත්තේ එන්න ලැබුනේ නෑ..මේල් එකට පොස්ට් ටික ලැබුන නිසා කියෙව යාලු..එත් කොමෙන්ටුවක් දන්නා එන්න වෙලාවක් තිබේ නෑ.."වීරවරියන්ගෙ පොතට'' මගේනමත් යනවා එහෙනම්...:) ජීවිතෙන් පැනල යනවා කියන එක නම් ඇත්තටම නිවට කමක්..ආදරය නිසා ජිවිතේ නැති කරගතත් තමන් එක්ක ජිවිතේ මෙච්චර කාලයක් ජිවත් උන මිනිස්සුන්ට දුකක් දීල යන එක ඊට වඩා පවක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.ඔයත් අපේ වීරවරියන්ගෙ පොතට එකතුවෙනවා..:D
      //ආදරය නිසා ජිවිතේ නැති කරගතත් තමන් එක්ක ජිවිතේ මෙච්චර කාලයක් ජිවත් උන මිනිස්සුන්ට දුකක් දීල යන එක ඊට වඩා පවක්..//

      හරියට හරි...

      Delete
  18. හැම කෙනෙක්ටම හොද පෝස්ට් එකක්
    ඔක්කොටම මුල ක්ෂණික ආවේගය.. පස්සෙ තේරුම් යද්දි වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු. ඔව් ආවෙග පාලනය කලානම් හරි..ඒත් එහෙම කරන්න හරිම අමාරුයිනෙ

      Delete
  19. //අවුරුදු ගාණක් තිස්සෙ තමන් රැක බලගත්ත අම්මා තාත්තා වෙනුවෙන්,ගෙවුණූ ජීවිත කාලෙ වෙනුවෙන් ,අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ වෙනුවෙන්වත් ජීවත් වෙන්න ධෛර්‍ය තියෙන්න ඕනෙ.//

    මෙන්න මේ ටික නම් ෆට්ටයි කෙල්ලෙ... හැමෝටම හිතන්න හොඳ අවස්ථාවක්...

    (අපිටත් වහිනෝ..එකයි පරක්කු උනේ..)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානියෝ...:D

      ආ.. මෙහාටත් වහිනවා හෆ්ෆා..

      Delete
  20. ප්‍රේමය ලොව හැම තැනම ඇති
    හැම දෙනටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හදුනා ගත් කිසි කෙනෙක් නැති

    ඔය හදුන ගන්න බැරි ප්‍රෙමය වෙනුවෙන් මම නම් ජීවිතේට ඔය වගේ වැ‍ඩක්නම් කරන්නේ නෑ. ඇයි අනේ අම්මෙක් ඉන්නේ මොකටද නේද හිතූ.
    ආ මේ මම මේ කොළළඹ නතර වෙලා ඉන්න ගෙදර ඉස්සරහ ගෙදර හිටිය අයියත් දැන් මාස දෙකකට උඩදී ඔය සන්තෑසිය කර ගත්තා. ඒත් ඉතිං පුරස්නයකට තියෙන්නේ උන්දැට කෙල්ලෙකුත් හිටියේ නැතිලූ. අනේ මන්දා අම්මලා ගෙදරින් යද්දී ටීවි බලබල ඉදලා ආයේ පැය භාගයකින් විතර ඇවිත් තියෙන්නේ එද්දී අක්කගේ දරුවට ගැටගහලා තිබුණ තොටිල්ලේ ලණුවේ එල්ලිලා. හොදට ඉගෙන ගනිපු පිලිගත් රැකියාවක් කල කෙනෙක්. උන්දෑ ඒක කොර ගත්ත දවසේ ඉදලා අප්පා බට්ටිට නම් හරි බයයි. වැඩත් වේලපහ ඇරිලා විදුලි වේගෙන් යනවා. උපන් තේකට මම එහෙම එකක් දැක්කමයි. එල්ලිලා ඉන්නවා නම් දැක්කේ නෑ. ඒත් වා‍හනේට දාගන්නවා දැක්කා.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා... එහෙමද බට්ටි අක්කෙ?? හුඟාක් ඉගනග්ත්තු, බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න උදවිය ඔහොම ඒවා කරගන්නවා තමා... අනේ මංදා..

      මමත් ඔහොම එව්ව බලන්න බයයි.. පින්තූරෙකින් දැක්කත් ගැස්සෙනවා...

      Delete
  21. ක්ෂණික ආවේගය ඔක්කොටම මුල.සියදිවි නහගන්න ගිහින් වැරදුනොත් පස්සෙ තේරෙයි මෝඩ කම.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ... ක්ෂණික ආවේගය නිසා හුඟාක් වටින ජීවිත නාස්ති වෙනවා...

      Delete
  22. මමනම් බරෙන්න බයයි.කව්ද හරි මැරෙනවනම් බරෙන්නේ වයසට ගිහිං අම්මෝ මටනම් බෑ.මොකද මම එච්චර ගොන් නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ බරෙන්නේ කියන්නේ.ආ...මට තේරුනා ඔයා කියන්න හදන දේ.මේක අපි විසන්දි කරලා ගන්න ඕනෙ වචනයක්...

      බර+එන්නේ = බරෙන්නේ

      මම හරි වෙන්ටෝනෙ මයෙ හිතේ...

      Delete
    2. හෙම්බිරිස්සාව හැදුනම කියන්නේ බරෙන්න කියල හොඳ වුනාම කියන්නේ මැරෙන්න කියල.

      ඔයා වැරදි.ඒත් එක ලකුණක්වත් දෙන්න බලන්නං.

      Delete
    3. මට ඔයා ඒක ලකුණද දෙන්නේ.කමක් නැහැ.මොනවා කරන්නද.මේක මගේ ලැබීම තමයි.

      Delete
    4. "බරෙන්නෙ?" හික්ස්ස්.. අයියෝ අයියේ!!!! :p ම්ම්ම්.. මරණයට අපි හුඟාක් අය බයයිනෙ...:)

      දැන් මෙහාටත් ඇනෝලා එනවා වැඩියි වගේ!!

      Delete
  23. මමත් හිතූ කියලා තියෙන දෙවල් වලට එකඟයි.ප්‍රේමය විතරක් නෙවේ ජීවිතේ මොනම අහිමිවීමකදීවත් පරාදයකදීවත් තමන්ගේ ජීවිතේ තමන්ගේ අතින් නැති කර ගැනීමට සිතීම මහ මෝඩ වැඩක්.හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ අපි පිටින් ඉදන් මෙහෙම කිව්වට අපිටත් ඒ වගේ කලකිරීමක් දුකක් පරාජයක් අපේ ජීවිතේට ආවම දැනුනම මේ ඇත්ත අපිට අමතක වෙනවා.ජීවිතේ යම් යම් ගැටලු වලදී මටත් හිතිලා තියෙනවා අනේ මැරුනනම් මීට වඩා හොදයි නේද කියල.ඒත් ටිකක් නැවතිල්ලේ නිවීසැනසිල්ලේ කල්පනා කරලා බැලුවම මම මටම දොස් තියා ගන්නවා එහෙම පිස්සු අදහසක් ආව එක ගැන.මැරෙන්න තරම් මට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියල හිතල.
    ආදරේ නිසා තමන් විසින් තමන්ව බෙල්ලෙ වැල දා ගනීමක් මට අපේ පලාතෙන්ම මම අහපු දැකපු සිද්දියක් තියෙනවා. මේක අපේ අක්කලගේ ගෙදරට ගෙවල් 4 ට එහා ගෙදරක සිද්ද උන දෙයක්.එතකොට මමත් අක්කලගේ ගෙදර හිටියේ.ඒ ගෑණු ලමයගේ වයස අවුරුදු 17යි.කොහුවල පංති යනවා කියලා එය ගෙදරින් ගිහින් තියෙනවා උදේ. එදාම එයාගේ අම්මට අසනීප වෙලා අම්මයි තත්තයි කලුබෝවිල ඉස්පිරිතාලේ යන්න ගිහින් තියෙනවා. එයාලගේ දුව පිරිමි ලමයෙක් එක්ක අතින් අල්ලගෙන කොහුවල ඉන්නව මෙයාල දැකලා දුවත් අම්මවයි තාත්තවයි දැකලා තාත්තා දුවට එතනදී කියලා තියෙනවා වරෙන්කෝ ගෙදර මම අල්ලගන්නම් කියලා. අම්මලට කලින් ගෙදර ආපු දුව එයාගේ කාමරේ අල්මාරිය උඩට නැගලා එයා ඇදන් හිටපු සල්වාර් එකේ ෂෝල් එකෙන්ම බෙල්ල වැල දාගෙන තිබුනා.හොදම වැඩේ කියන්නේ එහා කාමරේ එයාගේ අයියත් ඉදලා තියෙනව නිදා ගෙන. අඩුම ගානෙ එයාටවත් ඇහිලා නෑ සද්දයක්.පොලිස්සියෙන් එනකන් පැය ගානක් ඒ ලස්සන කෙල්ලගේ මිනිය බාල්කේ එල්ලී එල්ලී තිබුනා. මුලු ගමම ගියා ඒ සිද්දිය බලන්න මමනම් පැත්ත පලාතේ ගියේ නෑ. අපේ අක්කගෙන් තමා මම එතන වෙන හැමදේම දැන කියා ගත්තේ.එයා පුදුම ලස්සන ගෑණු ලමයෙක් මම කතා කරලත් තියෙනවා එයා එක්ක. තාමත් මට ඒ සිද්දිය මතක් වෙද්දි මුලු ඇගම හිරි වැටෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ.... ඉතිං බලන්න.. අම්මටයි තාත්තටයි මූන දෙන්න බැරිකමටනෙ එහෙම කරන් තියෙන්නෙ. අපරාදෙ ජීවිතේ, අම්මලා මටන්නෙ නෑනෙ ඔය දේට, බනියි, ගහයි..ඒත් අම්මයි තාත්තායිනෙ.. අපරාදෙ නිකන් ජීවිතයක්....
      ඔය වගේ සිද්ධි හරිම ඛේදජනකයි....

      Delete
    2. ඔව් ඇත්ත... මමත් දන්න මේවගේ සිද්ධියක් තියෙනවා. අවුරුදු දා හතක විතර ගෑණු ලමයෙක් ක්ලාස් යනවා කියලා ගෙදරින් ඇවිත් තමන්ගෙ පෙම්වතා එක්ක කතා කරමින් ඉඳලා තියෙනවා පාරේ. ඒ වෙලාවෙ ටවුන් එකට ආපු ඒ කෙල්ලගෙ අය්යා මේ සිද්ධිය දැකලා තියෙනවා. ඒ ගෑණු ලමයා කොච්චර බය වෙලාද කියනවනම්, හවස ගෙදර නොයා කොළඹ ඉඳන් එන කෝච්චිය ඉස්සරහට ගිහින් හිටගෙන ඉඳලා රේල් පාරේ.කෝච්චි ඩ්‍රයිවර් මේ ගෑණු ලමයව දැක්කත් කෝච්චිය නවත්තගන්ට බැරි වෙලා. කොච්චර හෝන් කරත් අයින් උණේ නෑ කියලයි ඩ්‍රයිවර් සාක්කි දීලා තිබුනේ. මොන තරම් දහිරියක් ඒ ලමයාගෙ හිතේ තිබුණු බය නිසා ඒ ලමයාට දැනෙන්ට ඇද්ද කෝච්චියට පනින්න තරම්.....? කට්ටිය නම් ගියා මිනිය බලන්න. ඒත් මට ඒකට හිත හදා ගන්ට බැරි උණා.....

      Delete
    3. හම්මෝ.... හරිම පවුනෙ... :( ඇත්ත..ඒක දහිරියට වඩා ආවේගය අක්කෙ.. මං හිතන්නෙ එහෙමයි.. එයාට අයියාට මූණ දෙන්න ධෛරයක් නෑනෙ...ඔය ව්අගේ ඒවා මට බලන්නත් බෑ..:(

      Delete
  24. හැම දේකම දෙපැත්තක් තියෙනවා. සිය දිවි හානි කරගන්නෙ හිතේ හයිය අඩු අය කියලා අපි අවතක්සේරු කළාට ඒ හිතේ හයිය අඩු වෙන්න බලපාන හේතු ගැන අපිට කියන්න බෑනෙ?

    මිනිස්සුන්ගේ හිත දුර්වල වෙන්න බලපාන කරුණු එකිනෙකාට වෙනස් !!

    අපේ ස්කෝලෙ හිටපු අයියා කෙනෙක් (හොඳ පෞර්ෂත්වයක් තිබුණ ටිකක් සැර පොරක්) කෝච්චියට බෙල්ල තිබ්බා අපි සා/පෙළ පන්ති වල ඉද්දි. කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයකට. ඒ සිද්දිය අපේ සර් කෙනෙක් අර්ථකතනය කළේ "ඒ ළමයාගේ හිතේ හයිය වැඩි වුණා" කියලා!

    ReplyDelete
    Replies
    1. අවතක්සේරු කියන වචනෙ නිකන් සැරයි වගේ..... ඔව් අපිට හේතු කියන්න හරියටම අමාරුයිනම් තමා..එක එක කරුණු තියෙන්න පුළුවන් ඒත් මැරෙන්න තරම් බලපාන දරුණු හේතු අවමයි මං හිතන්නෙ.

      ම්ම්ම්.. වෙන්න පුළුවන්. ඒත් මම නම් කියන්නෙ මැරෙන්න හිතේ හයිය තිබිලා වැඩක් නෑ.. මොකට්ද? නිකන්ම ලේසියෙන් මැරිලා යන්න තියෙන එකේ මොකට හිතේ හයිය නාස්ති කරනවාද? ජීවත් වෙන්නයි හිතේ හයිය ඕනෙ...

      Delete
  25. අනේ මන්දා අප්පා...

    ReplyDelete
  26. ගොඩක් හොඳ ලිපියක් යාලුවා..

    මටත් සියදිවි නසා ගැනීම ගැන ගොඩක් දුක්බර මතකයක් තියෙනවා.
    ගාල්ලේ යාලුවන්ට නම් මතකත් ඇති.2007 අවුරුද්දෙදි බද්දෙවිතාන සර්ගේ ක්ලාස් එක ලඟ කෝච්චියට බෙල්ල තියලා කොල්ලෙක් මැරුනා.

    එදා මැරුනේ මම ගොඩක් කල් ආශ්‍රය කරපු හොඳ යාලුවෙක්.විනාඩි ගානකට කලින් අපේ බෝඩිමට වෙලා මාත් එක්ක එකට කතා කර කර ඉඳලා මම යනව මචන් කියලා කිසි වෙනසක් නැතුව එලියට බැස්ස යාලුවා හරියටම රෑ 8.20 ට ගාල්ලට එන කෝච්චියට බෙල්ල තියල තිබුනා.

    පොඩි වෙලාවකට කලින් මාත් එක්ක කතා කරලා ගිය යාලුවගේ හිස නැති සිරුර එක පැත්තකින් අල්ලන්න සිද්ධ වෙන්න තරම් මම අවාසනාවන්ත වුනා.

    මගේ යාලුවත් මැරුනේ කෙල්ලෙක් නිසා.කෙල්ල රුහුණු කැම්පස් එකට ගිහින් වෙන කොල්ලෙක් එක්ක affair එකක් පටන් අරගෙන.

    මැරෙන්න කලින් දවල් ගිහින් කරාපිටියේදි ලේත් දීල එදා දවස ඇතුලත ලඟින් ආශ්‍රය කරපු හැම යාලුවෙක්ම මුන ගැහිලා ඇවිත් තිබුනේ.

    හිතේ හය්ය නැතුව මැරෙනවා කියන එක නම් කොහොම පිළිගන්නද නම්දා...රේල් පීල්ල උඩින් බෙල්ල තියාගෙන යකඩ ගොඩක් ඇඟ උඩින් යන්න එනකොට පොඩ්ඩක්වත් හෙලවෙන්නේවත් නැතුව ඉන්න මොන තරම් හිතේ හය්යක් තියෙන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔව් ඇත්තටම අයියා කියන එකත් ඇත්ත,විසිතුරු කිව්වා ව්ගේම එහෙම මැරෙන්න හිතට අඅවේගයක් එන්න ඕනෙ ලොකු.. මම හිතන්නෙ නම් අයියෙ මැරෙන්න කෙනෙක්ගෙ හිත හයිය වෙලා වැඩක් නෑ... ක්ෂණික ආවේගෙකට ජීවිතේ නැති කරගන්න්වට වඩා ජීවත්වෙන්න හිත හයිය කරගන්න එකයි වටින්නෙ...

      ස්තූතියි අයියෙ..

      Delete
  27. මේ පැත්තට කලින් කීපදවසක් ඇවිත් ගියා. ඒත් දිගටම මග හැරුණා.
    හොඳ ලිපියක් ජීවිතෙන් පළා යනවාට වඩා ජීවිතය ජීවත් කරන්න කියලා දෙනවා.ආදරෙන් පැරදුනත් ඒ ආදරයට ආදරේ කරන්න පුළුවන් නම් ඒක සැබෑ ජයග්‍රහනයක්. වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ස්තූතියි ආවට මෙහාට...

      හුඟාක්ම ස්තූතියි දිරිගැන්වීමට,,, මට කියන්න ඕනෙවුනෙත් මැර්න්න හිත හදාගන්නවට වඩා ජීවත්වෙන්න හිත හදාගන්න එක වටිනවා කියලායි..

      Delete
  28. අනේ මන්දා ඉතිං.. සියදිවි නසාගැනීම.. පාපක්‍රියාවක්..

    සිතෙහි තත්වය

    තමන් සියදිවි නසාගන්න මොහොතකට පෙර
    "මා මැරිය යුතුයි" (අන්කිසිවක් සිතෙහි නොවේ)
    තමන් මැරෙන්න මොහොතකට පෙර
    "මට ජීවත්වෙන්න ඕන" (සිතෙහි බලාපොරොත්තු ගොන්නකි)

    මුලාව - ඇලීම - ගැටීම

    චක්‍රීය දාමයේ පුරුක් මනා ලෙස සවිමත් ය. බිදින්නට වෙර දරනු.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්... නියම කමෙන්ටුවක්..:D

      Delete
  29. මේකට නම් කමෙන්ට් එකක් දාන්න මේක වෙලාවද මංදා....

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනෙ සියල්ලම වගේ ඔයාටත් කිව්වනෙ මම අයියේ...:D

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....