නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 March 2012

අතීතය සිහිනයක් පමණයි!!!!


ජීවිතේ හුඟාක් තැන් වලදි මම ඕනාවට වඩා දුක් වුනා.ඔව්. මගේ පහුගිය අතීතෙ දිහා හැරිලා බැලුවොතින්, මම හරිම සැහැල්ලුවෙන්, සතුටින් ජීවත් වෙච්ච,පිහාටුවක් වගේ පාවෙවී ගතකරපු සුන්දරම සුන්දර යුගයක් තිබුණා.ඒ ලස්සන කාලෙ සමහර මතක වලට ,අදටත් මගේ හිතට සැහැල්ලුවක් ගේන්න, මූණ පුරාවටම හීන් හිනාවක් ගේන්න පුළුවන් වෙලා තියෙනවා.

ඒත් ඊට ඩිංගක් මෑත අතීතය දිහා හැරිලා බැලුවොත්නම්,වැඩිපුරම මම හිනා වුනාටත් වඩා අඬලා තියෙනවා. ජීවිතේ ලස්සනම ලස්සන කාලෙක මම දුක බදාගෙනම ජීවත්වෙලා ඉඳලා.ඇත්ත පෙනී පෙනී මම ඒ ඇත්ත මඟ ඇරලා ගිහින්.ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා යාන්තමට හරි දැනිලා තිබුණු මේ මගේ හිත , හදවතට වහල් වෙලා ජීවිතේ තේරුම පටළවාගෙන. අද මම ආපහු හැරිලා බලද්දි අතීතෙ දිහා, මට දැනෙන්නෙ,තේරෙන්නෙ ,එක දෙයයි. ඒ මම ගෙවපු අතීතෙ සමහර තැන් වල ජීවිතේ අගක් මුලක් හොයාගන්න බැරි තරම් පටලවගෙන.ඔව්...ඒ අද මට මගේ අතීතෙ ගැන හිතෙන දේ.

ආදරේ බහ තෝරන යුගයක පටන්ගත්තු කුළුඳුල් ආදරේට වහල්වෙලා,ජීවිතේ අතරමැද හිරවෙච්චි මට දැන් නම් දැනෙන්නෙ ,ඒ අතීතේ හීනයක් කියලායි.මොනතරම් හිතුවත්, මොනතරම් පසුතැවුනත්,කොයිතරම්නම් සුසුම් හෙලුවත්, වෙනස් කරන්න බැරි ඒ අතීතෙ ඇත්තටම හීනයක්ම තමා. සැබෑවක සුවඳක්වත් නැති ඒ අතීතෙ ,මහා දිග හීනයක්. දුක ,සතුට,තරහා,වේදනාව, කළකිරීම , වෛරය...මේ හැම දෙයක්ම අඩුවැඩියෙන් එකතු වෙච්ච ඒ අතීතෙ ඇත්තටම හීනයක්.හැඟීමකට වඩා කිසිම දෙයක් නොදැනෙන ඒ අතීතෙට දෙන්න පුළුවන් එකම නම ,ඒක "හීනයක්" කියන එක විතරයි.

එදා අහම්බෙන් වගේ මගේ ජීවිතේට ආපු ඔයා එක්ක, මම මහා හුඟාක් ආදරෙන් බැඳුනෙ නැත්තම්, මහා ලෝබකමකින් ඔය ආදරේ වෙනුවෙන් ඔය හිතට ඇළුනෙ නැත්තම්,මොහොතක් මොහොතක් ගානෙ ඔය ඇස් එක්ක සාංසාරික බැදීමකින් වෙළුනෙ නැත්තම්, සත්තමයි...අද මේ දැනෙන වේදනාව දැනෙන්නෙ නැතිවෙයි.අපිට අපි නැතිවෙන්න බැරි තරමට ඔයා මාව ආදරෙන් පිස්සු වැට්ටුවෙ නැත්තම්, මම අදත් එදා වගේම සැහැල්ලුවෙන් ඉදීවී..ඔයාට මමවත්, මට ඔයාවත් මුණ ගැහුණේ නැත්තම් එදා..ඔව්..එදා හමුවෙච්ච අපි මහා හුඟාක් ආදරෙන් බැඳුනෙ නැත්තම් මෙදා මෙහෙම වියෝවක් නෑ තමයි.. බැදීම් ජීවිත වලට එකතු කරන්නෙ සතුටක් වගේම , හැංගිච්ච වේදනාවක්..

ඉස්සර අපි මොන තරම් ආදරෙන් හිටියාද? මේ ලෝකෙ මම දැකපු හොඳම කොල්ලා ඔයා. ඔයාට හුඟාක්ම ආදරේ කරපු ,ඔයාගෙ ජීවිතේට හිටිය එකම ,හොඳම කෙල්ල මම.මගේ හිත පිරෙන්නම හිටියේ ඔයා විතරයි. ඔයාගෙ මුලූ ලෝකෙම සතුට තිබ්බෙ මගේ හිනාවෙ.අපිට අපි හිටියානම් ඇති.මේ ලෝකේ කොහේ හරි තැනක, අපිට අපි උරුම තැනක, අපේම කියලා පුංචි ලෝකයක් හදාගෙන ජීවත් වෙන්න අපි පෙරුම් පිරුවා. ලස්සනම ලස්සන මල් පොකුරක් අරන්, ලා පාට චාම් සාරියකින් හැඩ වෙලා,ඔයාගෙ පුංචි මනමාලි වෙලා,ඔයා එක්ක එකම පෝරුවක හිටගෙන අත්පැන් වත් කරන්න මම හීන මැව්වා.දෑඟිලි රන් පාට නූලකින් බැඳිලා, මම ඔයා දිහාත්, ඔයා මං දිහාත් හිමින් හිමින් ඇස්  කොනින් බල බල, ලැජ්ජාවෙන් හිනා වෙන හැටි මම හීන දැක්කා.සතුටු කඳුළු නිසා ලාවට තෙත් වෙච්චි මගේ ඇස් අස්සෙන්, බොඳ වෙලා පේන ඔයාගෙ හිනාව බලන්න මම හීනෙනුත් ආස කලා.අම්මා තාත්තා, නෑදෑ හිතම්ත්‍රයෝ හැමෝම ඉස්සරහා, හැමෝගෙම ආශිර්වාද මැද, ජීවිතේ තියනකම් ඔයාගෙම වෙන්න ,මම පෙරුම් පිරුවා.ඔව් මම හීන නෙවෙයි,හීන මාළිගාවල් හැදුවා.අපේම පුංචි ලෝකෙ ඇතුළේ, පුංචි පැටියෙක්ගෙ හිනා පොකුරු එක්ක හුරතල් වෙන්න,කිරි සිහින දැකපු මගේ බොළඳ හිත ,අනේ.. එදා ඒ හීන ලෝක වල පාවුණා.

ඒත්....ඒ හීන ,බිඳිලා ගියා.මගේ හීන මාළිගා කඩන් වැටුණා. මම හිතපු තරම් හීන සුන්දර නෑ කියලා තේරුණා.අපි අපෙන් වෙන්වුනා.අපිට අපි නැති වුනා. අපි හදපු ලෝක ,මේ මහ පොළොවෙන් හුඟාක් ඈත බව දැනුනේ හුඟාක් පහුවෙලායි.ඒත් මම තරහා නෑ.. කවදාවත්ම ඒ අතීතෙට ගරහන්නෙ නෑ.. ඔව්.සත්තමයි, මම වෛර කරන්නෙ නෑ ඒ අතීතෙට.මේ ඇස් වල කඳුළු නෑ දැන්..කාලෙත් එක්ක කඳුළු වියැළිලා.තාමත් මේ හිත ඉස්සර තරම් ම ලස්සනයි. කිසිම කිළුටක් නෑ..ඔයාව මට අහිමි වුනත්, වෙන කෙනෙක්ට හිමි වුනත්, මේ හිත ඇතුළේ තරහක් නෑ..මට දුක විතරක් ඉතිරි කලාට, හිනාව අතුරුදහන් කලාට , මම ආයෙමත් කිසිදවසක නෝක්කාඩු කියන්නෙත් නෑ..දෛවය අපිව වෙන් කල පවට , මම ඔයාට පළිගහන්නෙ නෑ...ආදරේ කරපු මේ  හිත ඒ තරම් පව්කාර නෑ.. 

ගෙවුනූ අතීතෙ ඉස්සරම දවසක ,අපි පන්සල් ගිහින් එද්දි, පන්සල ළඟ මල් පැළ තවානෙන් ලස්සනම ලස්සන රෝස පැළයක් ගත්තා..ඔයා ඒක මට අරන් දුන්නෙ හුඟාක් ආදරෙන්.මමත් ඒ රෝස පැලේ අරන් ගිහින් හිටෙව්වෙ, ඉස්සෙල්ලාම හැදෙන රෝස මල ඔයාට ගෙනත් දෙන්න හිතාගෙනමයි.රෝස පැළේ ටිකින් ටික ලොකු වුනා. පුංචි පැළේ තරමක පැළයක් වුනා. මම හැමදාම උදේට නැගිටලා ගිහින් බලන්නෙ රෝස පැළේ ලොකු වෙලාද කියලා.ඒ තරමට ආදරෙන් මම ඒ පැළේ බලාගත්තෙ.දවසක් උදේ නැගිටිලා බලද්දි , දෙයියනේ !!! මට පුදුම සතුටුයි.. රෝස පැළේ පොහොට්ටුවක් ඇවිල්ලා.. ලස්සනම ලස්සන ලා රෝස පාට පුංචි පොහොට්ටුවක්..මම හුඟාක් සතුටින් හිටියේ ඒ රෝස පොහොට්ටුව පිපෙනකම්... අනේ...ඒත්... පහුවදා රෑ.. මහා මූසලයි.. එදා මුළු රෑම වැස්සා..පුංචි වැස්සක් නෙවෙයි ඒක.. මොර සූරන වැස්සක්.අකුණු ගගහා වැස්සා..ගස් කොළං ඇඹරිලා, බිම වැටෙන්න වැස්සා.. මට මතක් වුනා රෝස පැළේ..පහුවදා උදෙත් වැඩි පොදේම ගියේ රෝස මල් පොහොට්ටුව බලන්න... අනේ..... රෝස පැළේ බිම පෙරළිලා..වැස්සට කඩන් වැටිච්ච අතු අස්සෙ රෝස පැළේ  හිරවෙලා...පොඩි වෙලා.මුලෙන්ම ඉදිරිලා තිබුණු පැළේ, මල් පොහොට්ටුව පොඩි වෙලා. මට හුඟාක් දුකයි..හුඟාක්... කඳුළු ආවා ඇස් වලට.. ඒත් ඔයාට කිව්වාම ,ඔයා මාව සැනසුවා.මගේ හිත හැදුවා.."ඕවා ඔහොම තමා .ස්වභාදහම වළක්වන්න අපිට බෑනෙ පැටියෝ.." ඔයා කිව්වෙ එහෙමයි....ඔව්.මට තාමත් මතකයි...ඔයා එහෙම කිව්වා.


ඔයා හරි.. ඔයා එදා කිව්වෙ ඇත්ත.මේ ලෝකෙ ස්වභාධර්මයට අවනත නොවී ඉන්න අපි කාටවත්ම බෑ තමා. ලස්සනට මල් පිපෙන,කොළ පිරිලා තියෙන ගහක් වුනත්, මල් හැලිලා ,කොළ හැලිලා,කේඩෑරි වෙලා යන යුගයක් එනවා. මහ හයියෙන් වහින වැස්ස, පොළොව ඉරිතළා දාන ඉඩෝරෙ නවත්තන්න අපිට පුළුවන්කමක් නෑ..හරියටම අපේ ජීවතත් ඒ වගේමයි.. හැමදාම එකම විදියට,අපි කැමතිම විදියට ,අපි ආසම විදියට , මේ ජීවිතේ වෙනස් කරගන්න බෑ.. දුක සැප හැමදෙයක්ම බාරගන්න වෙනවා..ලැබීම් නොලැබීම් එකම විදියට දරාගන්න වෙනවා. දිනන්න වගේම පරදින්නත් හිත හයිය කරගන්න වෙනවා. ඔව්.. ඒක ලෝක ස්වභාවය. ස්වභාවධර්මය අපිට දායාද කරන විදිය..ලෝකෙ හුඟාක් ජයග්‍රහණ පිටිපස්සෙ තියෙන්නෙ , විශාල පරාජයන්..දරුණු කඩාවැටීම්..මේ ජීවිතේ පැරදීමක් නැති තැන දිනුමක් නෑ..


අතීතයේ දැකපු හීන බිඳුනා.. මම දුක් වුණා. ආයෙමත් හීනනම් දකින්නෙ නෑ කියලා හිතුවා.ඒත්, අතීතයත් හීනයක්ම තමා. දැන් ඒ හීනෙ ඉවරයි..එක හීනයක් බිඳුනාට කමක් නෑ.. මම ආයෙත් හීන බලනවා.. හැබැයි ඉස්සර වගේ නෙවෙයි.. හීන කවදාහරි හැබෑ වෙන්නත් පුළුවන් වගේම,හීන කවදාහරි එහෙම් පිටින්ම බිඳිලා යන්නත් පුළුවන් කියලා,මම දැන් දන්නවා.කවදා හරි ඒ හීනත් අතීතයෙම කොටසක් වෙයි... අන්තිමේදි මුළු අතීතයම හීනයක් විතරක්ම වේවී෴.


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ..............

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ
සිනාවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ..............

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ..............






ගානයනය: කරුණාරත්න දිවුල්ගනේ

Post Comment

60 comments:

  1. අතීතය සිහිනයක් නං විතරයි වෙන්න පුලුවං! හැබැයි හීන වලත් වැදගත්කමක් තියනව!

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලි..සමහර හීන මිනිස්සුන්ව ජීවත් කරවනවා..

      Delete
  2. හ්ම්ම්.. අනේ මන්දා.. ඇත්තටම අතීතය සිහිනයක් පමනයි.. ඒත් ඒ හීනේ ලස්සන තැන් මතක් වෙද්දි මහා හයියෙන් හිනා වෙන්නත්, දුක්බර තැන් මතක් වෙද්දි ඇස් වලට තාමත් කඳුළු එන්නත් හේතුව මොකක්ද මන්දා...
    මම ගොඩක්ම ආසා සිංදුවක් නංගියෝ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි..එකම හීනෙක වුනත් සතුටයි දුකයි දෙකම කැටිවෙලා තියෙන්න පුළුවන් නෙ..තැන්කූ අක්කියෝ..

      Delete
  3. අතීතය.. අනාගතය දෙකම සිතුවිලි විතරයි... ඇයි දන්නවද අතීතය ගෙවිලා ගිහින්.. ඒත් අපි අතීතයේ කවදාවත් ජීවත් උණේ නෑ. අපි හැමදාම ජීවත් වෙන්නේ වර්ථමානයේ. සිද්ධවෙන හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ වර්ථමානයේ. අනාගතයත් බලාපොරොත්තුවක් විතරයි.කවදාවත් එන්නෙ නෑ. අපි හැමදාම ඉන්නෙ වර්ථමානයේ....

    ඉතින් හොඳම් දේ තමයි වර්ථමානය සතුටින්, යහපත් විදියට ගෙවන එක. එහෙම උනොත් අතීතයත්, අනාගතයත් දෙකම ලස්සන වෙනවා.......

    ReplyDelete
    Replies
    1. නියම කතාවක් අක්කි!!! ඔයා හරි..අතීථය, අනාගතය දෙකම සිතුවිලි විතරයි තමා..වර්තමානය අනුව හැමදේම ලස්සන, හොද කරගන්න පුලුවන් බවත් ඇත්ත..ස්තූතියි අක්කෙ (Y)

      Delete
  4. මෙන්න මෙයා සීරියස් වෙලා !!!

    ReplyDelete
  5. ජීවිතේට හීන නැතුවමත් බෑ.හීන එක්ක ජීවත් වෙන ජීවිතේ අමුතු සුන්දර කමක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.අනික දුක කියන දේ අපේ ජීවිත වලට සුපුරුදු දෙයක් නේ.ඒක නිසා දුකට පයින් ගහල දාල ජීවිතේ සතුටෙන් ගත කරන්න ට්‍රයි කරන ඒක තමා ගොඩාක් වටින්නේ කියලයි මං විස්වාස කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ.. ඒක හරි..:) හීන හැමවෙලේම සැබෑ වෙන්නෙ නෑනෙ...

      Delete
  6. වියොවු පසුවයි දැනෙන්නේ.... හිතු ගේ බ්ලොග් එකට ආවම පරන කෙස් මතක් වෙනවා බැනේ කරන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්.. "වියෝ වූ පසුවයි දැනෙන්නේ..ප්‍රේමයේ අභිමන්.."

      හෆ්ෆා..එහෙමද?? සමාවෙන්න එහෙනම්..:(

      Delete
  7. "සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ......"

    මගේ ජීවිතයෙත් ශේෂය මේකද කියලා හිතෙනවා.
    පෝස්ට් එක ගොඩක් සංවේදියි නංගි.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. හුඟාක් දෙනෙක්ගෙ ජීවිත වල ශේෂය මේක තමා අයියේ!!! ම්ම්.. හුඟක් දෙනෙක් කිව්වා. මංදා. මම එහෙම සංවේදී කලේ නෑ හිතාමතා.. සිංදුවට සිතුවිල්ලක් එකතු කලා විතරයි!!! :) ස්තූතියි අයියාට..

      Delete
  8. අතීතය ගැන මතක් නොකර ඉන්න තාක්කල් ජීවත්වෙන්න ලේසි

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් අපේ බ්ලොග් එකටත් ඇවිත් යන්න එන්න

      http://manolokaya.blogspot.com

      Delete
    2. ම්ම්ම්.. ඒත් අතීතය අමතකම කරලා දාන්නත් බෑනේ?? සමහර දේවල් අතීතයෙන් ඕනෙනෙ..:)

      ඔය පැත්තෙ ආවා මම..

      Delete
  9. අතීතයේ නෙමෙයි, මගේ ජීවිතේ ඉන්න එවුවො නම් වර්තමානයත් හීනයක් කරලා මගේ ජීවිතෙන් මැකිලා යන්නම යනවා.ඔය මවාපු හීන, පතපු ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවනම් කොයිතරම් දෙයක්ද...

    හැමෝටම කියන දේ කියලා යන්නම්..
    මේ වගේ දේ හිතන හිතුගේ හිතටයි, ටයිප් කරන අත් දෙකටයි ගොඩක් පිං!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ගතවුනු හැම තත්පරයක්ම අතීතෙට එකතුවෙලා ඉවරයි සහෝ!!! :) අනාගතේ වෙනුවෙන් හීන දකින්න.. ඒවා හැබෑ කරගන්න මහන්සිවෙන්න..

      මට පිං දෙන්න ඕනෙ නෑ.. මම ලියන්නෙ මගේ හිත..:)තෑන්ක්ස්..

      Delete
  10. ඔව් හීන දකින්න දිගටම...මිනිස්සුන්ට ජීවත් වෙන්න හීන ඕන...ඒත් ඒ හීන මුළු ජීවිතේම කරගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි!! සම්පූර්ණයෙන්ම ඇත්ත..:)

      Delete
  11. ගීයට ගොතා තියන මනෝ සිතුව්ල්ල නියමයි. අර කියමනක් තියනවානේ " වෙනස් වන ලෝකයේ නොවෙනස්වන එකම දේ වෙනස් වීම පමණයි කියලා" ඒක මේකට ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට :) අනිවාර්යෙන්ම.. හරියට හරි.. ඒ සිංදුවෙ කියැවෙන දේයි මේ සිද්දියයි දෙකම එකකට එකක් ගැළපෙනවා..:)

      Delete
  12. ගෙවුන හැම තප්පරයක් දිහාම සතුටින් බලන්න නංගී.. ජීවිතේ අපිට ලබන්න තව මහා හුගක් දේවල් තියෙනවා..

    මේ මාතෘකාව දකිද්දි මම හිතුවා මම මීට කලින් මේ මාතෘකාවෙන්ම දාපු පෝස්ට් එක වගේ එකක්ද කියලා..

    ReplyDelete
    Replies
    1. ම්ම්... ගෙවුනු අතීතයේ එහෙම සුන්දර තැන් නැතුව නෙවෙයි.. ඒත් සමහර මතක හිත පාරවනවාට ආස නෑ...:)

      ම්ම්.. අයියාගෙ පෝස්ට් එක මම කියෙව්වා මං හිතන්නෙ..

      Delete
  13. සින්දුව වගේම පෝස්ට් එකත් ලස්සනයි...ඒත් මම ආස සින්දුවට විතරයි....ඔයා අතීතය ගැන ලියනවට මම කැමති නැහැ...මිණීවලවල් හාරනකොට...................................................................................

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කිරිල්ලියේ!!!!ම්ම්...:D ඇත්ත තමා.. මේකනම් ලිව්වෙ මගේ අතීතයටත් වඩා සිංදුව වෙනුවෙන් ගොතපු සිතුවිල්ලක් විදියට..:)

      ඒත් පරණ වෙච්චි මිණී වලවල් හාරද්දි පලාතම අසුන්දර වෙනවානම් තමා..

      Delete
  14. " සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ "
    :)
    හිතූ ගීතය වෙනුවෙන් වියැවුණු සිතුවිල්ල ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ විසිතුරු කොල්ලා..;)

      Delete
  15. ගොඩක් ලස්සනට ලියලා තියෙනවා අක්කියො..සින්දුවටත් මම ගොඩක් ආසයි.ඒත් අතීතය ඒ තරම්ම ලස්සන නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගියෝ!!!! ම්ම්.. අතීතයේ හැම සිදුවීමක්ම එහෙම ලස්සන නෑ තමා කෙල්ලෙ..:)

      Delete
  16. පෙරලුනු පිට හොදයි කියල ඉමු නේද??:p

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..:D හොදයි නේන්නම්..All is Well ලු නෙ ;)

      Delete
  17. ලස්සනයි නංගි..ගීතය කියවපුවම තමයි දැනුනෙ මේ කිව්වෙ ගීතය ගැන කියල..ඇත්තටම ආදරේ කරපු ගොඩදෙනෙක් පපුවෙ තියාගෙන දුක් විඳින හීන බිඳිල විසිරුනු අතීතය මේකමයි..

    ReplyDelete
    Replies
    1. ම්ම්... :) ඔව් අක්කෙ.. හුඟාක් දෙනෙක්ට මේක තදින් දැනුනානම් ඒකට හේතුවත් ඒකම වෙන්න ඇති...ස්තූතියි අක්කෙ..

      Delete
  18. oya athithaya amathaka karana ekama thamai hoda

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්...:)අතීතයේ දරාගන්න අමාරු තැන් අමතක කලාම ඇති නේද??

      Delete
  19. ඔයා ලියන විදියට මන් ගොඩක්ම ආසයි....මන් ගොඩක් දවසක ඉඳල ඔයාගේ පොස්ට් බලනව.....ඇත්ත.....අතීතය හීනයක්.....මතක් වෙන්න වෙන්න දුක හිතෙන ඒත් හැම තප්පරේම මතක් වෙන මතක් කරන්න ආස හිතෙන ඒ අතීතෙ සැබෑ කරගන්න බැරි ලස්සනම ලස්සන හීනයක් මට නම් හැමදාටම..........

    ReplyDelete
    Replies
    1. :D තෑන්ක්ස් නංගි!!! (මං හිතන්නෙ නංගියෙක්) ස්තූතියි හුඟාක් කියවනවාට..

      මතක් ව්එන්න මතක් වෙන්න දුක හිතෙද්දිත් ,මතක් කරන්න ආස තැන් අතීතයේ තියෙනවා තමා...:) ඒත් අතීතය එක්කම, වර්තමානෙ හොදින් ඉන්න, අනාගතේ වෙනුවෙන්!!

      Delete
  20. ලියන ශෛලිය මාර ගති. හිතට වදින්න ලියන්න පුළුවනි ඔයාට. සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. හි හි.. තෑන්ක්ස් සහෝ!!!:) හුඟාක්ම ස්තූතියි ඔයාට...මම මට දැනෙන දේ එහෙම්ම ලියනවා..:)

      Delete
  21. ටිකක් දැනෙන විදියට මේ පොස්ට් ඒක ලියල තියෙනවා.පරණ දේවල් මතක් කරන්න කරන්න තමා ඒ වේදනාව.අමතක කරන්න උත්සහ කරන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. අසර් අයියා තවත් අසරණ වුනාද? නෑනේද? :) මම නිකන් සිංදුවට අකුරු ඇමුණුවා විතරයි අයියේ!! අතීතෙ වේදනාබර මතක අමතක කරලා මම හුඟාක් දවස්..:)

      Delete
  22. සුපිරියි....
    ජයවේවා......!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! ජයම වේවා!!

      Delete
  23. එක හුස්මට කියෙව්වා හිතූ, මම හිතුවා මුලින්ම මේ මමදෝ මගේ හිතදෝ ලියවිලා තියෙන්නෙ කියල.මම දන්නේ නෑ මේක ප්‍රබන්ධයක්ද ඔයගේ ජීවිතේ ඇත්තද කියල.ඒත් මේකනම් මගේ ජීවිතේට බොහොම සමීපයි.ඒත් දන්නවද නංගා ඒ ආදරේ තව දුර ගිහින් බිඳුනට වඩා හොදා කලින්ම අහිමි වුන එක.හැරෙන්න බැරි තරම් දුරක් ගෙනිහින් මං වගේ අතරමං වෙන්නනම් කිසිම කෙනෙකුට නොවේවා.
    ඇත්ත අතීතය සිහිනයක්ම පමනයි

    ReplyDelete
    Replies
    1. ම්ම්..මේක ප්‍රබන්ධයක් එක්ක කැටි වෙච්ච ඇත්තක් කිව්වොත් හරි අක්කෙ..:)
      //ආදරේ තව දුර ගිහින් බිඳුනට වඩා හොදා කලින්ම අහිමි වුන එක//
      ඒක හරි අක්කෙ.. එහෙම වුනානම් දුක වැඩියි!!!

      Delete
  24. සමහරුන්ට අතීතය,වර්තමානයට වඩා ලස්සනයි.සමහරුන්ට වර්තමානය,අතීතයට වඩා ලස්සනයි.මේ දෙකෙන් කොයි එක උනත් අතීතය කියන්නෙ ගෙවිලා ඉවර උන දෙයක්.ඒ අතීතයෙන් ඉගෙනගත්ත පාඩම් එක්ක මතකයන් එක්ක ජීවිතය ගලාගෙන යනවා

    මේ මම ගොඩක්ම ආසා කරන සිංදුවක්. ඔයා ලියලා තියෙන විදිහ නම් හරිම ලස්සනයි හිතූ. හිතට ගොඩක් දැනුනා

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඇත්ත අතීතයෙන් පාඩම් ඉගනගෙන වර්තමානෙ ලස්සනට ගත කරන්න ඕනෙ..:)

      ස්තූතියි යාලු!!

      Delete
  25. එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නැ !

    ReplyDelete
  26. ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න කුරුළු පිහාටුවක් වගේ කාලෙට හිත ලෝබ වුණත් නංගියෝ.. අපි ජීවත් වෙන්න වෙන්න හැම තත්පරයක්ම අපේ ජීවිතේට පාඩමක් උගන්වනවා.. අපි ඒ සැහැල්ලුවෙන් හිටි කාලෙ ජීවිතයේ ආයෙත් ලබාගන්න පුළුවන් ඒ පාඩම් වලින් අපිටමයි..

    ස්වභාවදහම හැමදාමත් දුකමත් හැමදාමත් සතුටත් දෙන්නෙ නැහැ.. ඒ දෙකම සමබරව දෙන එකයි එයාගෙ නීතිය.. ඉතින්..
    ස්වභාවදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ..අපි කවුරුත් එහෙම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කාලෙකට ලෝබයි නේද?

      Delete
  27. අතීතයෙ වෙච්ච දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න......ඒක ගැන හිතුව කියල ලැබෙන දෙයක් නෑ..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්..අතීතයෙන් පාඩම් ඉගනගෙන අනාගතේ ලස්සන කරගන්නයි තියෙන්නෙ.

      Delete
  28. me post eke kiyawenekote matath mage past memories mathak una akki,,, heenayak thaam saba nowene :) take care

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. හැම කෙනෙක්ටම ලස්සන හරි, දුක හිතෙන හරි අතීතයක් තියෙනවානෙ නංගෝ...:)

      Delete
  29. අතීතය හීනයක් වුනාට අතීතයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.අපිට වුන වැරදි හදාගෙන වර්තමානය ලස්සන කරගන්න එක තමයි හොදම දේ.එහෙම නොවුනොත් අපි නොදැනුවත්වම තවත් ගොඩක් දේවල් අපිට නැතිවෙලා තියෙයි.මම බලපු හිල්ම් එකක ඉන්න ඉබ්බෙක්...පැන්ඩෙක්ට මෙන්න මෙහෙම කිවුවා " Yesterday is History, Tomorrow is a Mystery... but today is a Gift that's why it's called Present " පැන්ඩා නම් ඒක අහලා එයාගෙ ජීවිතේ හදාගත්තා. බලමු හිතූ මොනවා කරයිද කියලා : )

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව Human එකඟයි!!!

      හික්ස්ස්.. මම අතීතෙ මත්තෙම නැහෙන්නෙ නෑ සහෝ!!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....