නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

15 July 2012

පොළේ ගිහින් තියෙනවාද?


මාතෘකාව දැක්ක ගමන්ම මතක්වුනේ ගමේ තියෙන පොළ නේද? ඉරිදා පොළ, බදාදා පොළ, සිකුරාදා පොළ විදියට නානාවිධ නම් වලින් හඳුන්වගෙන තියෙන පොළවල්වලට, ඔයාල නැත්තම් ඔයාලාගෙ අම්මලා තාත්තලා හරි යනවා ඇති..ගිහින් ඇති.ඒත් මම මේ අද කියන්න යන්නෙ එහෙම ගමේ තියෙන, නගරේ තියෙන පොළ ගැන නෙවෙයි.. ඉස්කෝලෙ තියෙන පොළ ගැන. :D

ඉස්සර ඉදන්ම අපේ ඉස්කෝලෙ, හුඟාක් අවස්ථා වල විවිධ පොළවල් පැවැත්වුවා. හුඟාක් වෙලාවට මෙහෙම පොළක් සංවිධානය කරන්නෙ මොකක් හරි දිනයකට සමගාමීවයි..මාධ්‍ය කවය මඟින් පවත්වන මාධ්‍ය දිනයට සමගාමීව මාධ්‍ය පොළ පවත්වනවා.. දැනුම මිනුම සංගමය, කථික හා විවාද සංගමය, තාරකා විද්‍යා සංගමය, ඡායාරූප සංගමය වගේ විවිධාකාර සංගම් වලින් පොළක් සංවිධානය කරනවා.මේ විදියට එක එක අවස්ථා වලදි, ඉස්කෝලෙ ඇතුළෙම එක එක දිනයට පොළක් පවත්වනවා.. ඊටපස්සෙ ඒ පොළෙන් ලැබෙන ආදයමෙන් හුඟාක් වෙලාවට ඒ දිනයන් පවත්වනවා. මේ විදියෙ එක එක ක්‍රම සහ විදි තිබුණා ඉස්කෝලෙ ඇතුලෙ පවත්වන දිනයන්, වැඩමුළු වලට සල්ලි හොයන්න.මේ පොළක් පවත්වන එකත් ඒ ක්‍රම වලින් එකක්.

ඉතින් 6 වසරේදි අපි ඉස්කෝලෙට ගිය අලුතම වගේ නිසා පුදුම ආසයි පොලේ යන්න. ලොකු අක්කාලා එහෙම , මෙහෙම පොළක් තියෙනවා කියලා ඉස්කෝලෙ  ඇතුළේ පෝස්ටර් අලවලා, උදේට නිවේදනය කරලා කිව්වාම අපි පහුවදාට එන්නෙ ගෙදරින් පොළේ යන්න සල්ලිත් ඉල්ලගෙනයි.:D මෙහෙම පොළක් පවත්වද්දි පොළ තියන්නෙ ,ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවෙ එළියට වෙන්න තියෙන විශාල සඳලු තලාවෙ හරි, ප්‍රධාන ශාලාව ඇතුලෙ හරි එහෙමත් නැත්තම් ගෘහස්ථ ක්‍රීඩාගාරෙ හරි තමා .

උදේට කරන නිවේදන අතරෙදි, පොළේ යන්න එක එක ශ්‍රේණී වල අයට එක එක කාලපරිච්ඡේද වෙන් කරලා කියනවා. ඒ ක්‍රමේනම් ටිකක් අසාධාරණයි කියලා අපිට තේරුණේ අපිත් ටික ටික ලොකු පන්ති වලට යද්දි තමයි. 6-7 වගේ පන්ති වලට තමා ,පොළ පටන් ගත්තු ගමන් යන්න තියෙන්නෙ.ඒ කියන්නෙ උදේ වරුවෙ. අන්තිමට තමා ලොකු පන්තිවල අයට යන්න තියෙන්නෙ. එතකොට ඉතින් පොළ ඉවරයි..:D

දැන් වැදගත්ම දේ තමා මේ පොළේ මොනාද තියෙන්නෙ කියන එක. ඒත් හැබැයි ඉස්කෝලෙ පොළේ තියෙන්නෙ එළවළු, මාළු, පළතුරු නම් නෙවෙයි.නැතුවමත් නෙවෙයි.ඒත් මේ පොළ වෙනස්. ඉස්කෝලෙම ළමයි කණ්ඩායම් විදියට එකතුවෙලා පොළ පවත්වන සංවිධායක මණ්ඩලයට මුදලක් ගෙවලා, එයාලට කුටියක් වෙන් කරගන්නවා. ඊටපස්සෙ එක එක ජාති ගෙනෙල්ලා විකූණනවා..හුඟාක්ම තියෙන්නෙ ඉතින් කෑම ජාති තමයි. හුඟාක්ම කඩචෝරු...!!!! :D

අච්චාරු ජාති, බැදපු කඩල, අයිස්ක්‍රීම්, ශෝට් ඊට්ස් වර්ග, නූඩ්ල්ස්,සරුවත්, ෆලූඩා,මුරුක්කු වගේ එක එක කෑම බීම ජාති තියෙනවා. මොනතරම් කෑම තිබ්බත් ජීවිතට කෑම දැකලා නැති අය වගේ තමා කට්ටිය ඉතින් පොළෙන් කන්න යන්නෙ..:D :P

හැබැයි ඉස්කෝලෙ ඉන්න ටීචර්ලාව අරමුණු කරගෙනම තිබුණු වෙළද කුටිත් තිබුණා. ගෙදර හැදෙන එලවළු පලතුරු වර්ග එහෙමත් ගෙනෙල්ලා විකුණන අය හිටියා. ඒවා ඉස්කෝලෙ ටීචර්ලා අරගත්තා.

ඊට අමතරව ඔය පොළක් තියෙද්දි තියෙන ජනප්‍රියම අංගයක් තමා, එක එක සෙල්ලම් වර්ග සහ ඇස්බැන්දුම් . මෙන්න මේ වෙළඳ කුටි තමා පොළේ වැඩිම ආදායමක් උපයන්නෙ. ගිනි කූරකින් ඉටිපන්දම් 50ක්, 25ක් විතර පත්තු කරන එක ජනප්‍රිය සෙල්ලමක් වුනා. එහෙම ට්‍රයි කරන්න එන කෙනෙක්ගෙන් රු.20ක් විතර අය කරලා අවස්ථාවක් දෙනවා. එයා ඉටිපන්දම් ඔක්කොම පත්තු කළොත්, එයාට ලොකු තෑග්ගක් දෙනවා. ටෙඩී බෙයා කෙනෙක් වගේ තෑග්ගක්.

ඊලඟට තිබ්බ දෙයක් තමා, පොඩි පොඩි ආස හිතෙන දේවල් ටිකක් එල්ලලා, ඒවා අංක කරනවා. පුංචි සෙල්ලම් බඩු, කොණ්ඩ කටු, කරාබු,වළලු, මුදු ,චොක්ලට් වගේ දේවල් තමා මේවට ගන්නෙ. ඊටපස්සෙ තරඟෙට එන කෙනෙක්ගෙන් රු.10ක් හරි  5ක් හරි වගේ මුදලක් අය කරනවා.ඊටත් පස්සෙ තුණ්ඩු උඩ දානවා.. අහම්බෙන් වගේ ගන්න තුන්ඩුවක ලියලා තියෙන අංකෙ අනුව අදාල අංකෙ සහිත තෑග්ග දෙනවා.(වැඩේ කියන්නෙ ඉතින් ඔය බොහොමයක් තුණ්ඩු හිස්.:p ) අසරණ පොඩි එවුන් ඉතින් වැඩේට පුදුම ආසවෙන් සම්බන්ධ වෙනවා..යමක් කමක් තේරෙන ලොකු පන්ති වල ලමයිනම් ඕවාගෙ වෙන කපටිකම් අත්දැකීමෙන්ම දන්න නිසා ඕවාට යන්නෙ නෑ..

මම ඉස්කෝලෙ 6 පන්තියෙදි වගේ මමත් ඔහොම සෙල්ලම් වලට ගියා තෑගි දිනාගන්න තිබ්බ ආසවටම. ඒත් අවාසනාවන්ත මමත් ,ලොකු අක්කලාගෙ කපටිකමට අහුවුනා මිසක් තෑග්ගක්නම් දින්නෙ නෑ...:(

ටික ටික ලොකු පන්ති වලට යද්දිනම්, අපිට පොළේ යන්න හම්බුනේම නෑ.. උදේ වරුවෙ පොළ පටන්ගනිද්දිම යන්න ඕනෙ වුනත්,උගන්වපු මිස්ලා  අපිට උගන්වන වෙලාවට යන්න දුන්නෙ නෑ .අපිට යන්න නියමිත වෙලාවට යද්දි ඉතින්, පොළේ බඩු ඔක්කොම ඉවරවෙලා, පොළත් ඉවර වෙලා. :/ ඒ නිසාම පස්සෙ පස්සෙ ඔය පොළේ යන වැඩෙත් අපි අතෑරලා දැම්මා. ඒ නිසාම තමා ඊටපස්සෙ අපි පොළේ බඩු විකුණන වැඩේ කරන්න හිතුවෙ. :D

අපි 11 පන්තියෙ ඉන්නකොට,වාණිජ දිනේට සමගාමීව පැවැත්තුවා වාණිජ පොළක්.ඒක ටිකක් වෙනස් එකක්. හොඳම ලාභයක් උපයලා පෙන්වන කුටියට තෑග්ගක් එක්ක සහතිකයකුත් වාණීජ දිනය දවසට දෙන්න සූදානම් කරලා තිබ්බා. ඉතින් අපිත් කට්ටියක් එක්ක වහාම ක්‍රියාතමක වෙලා ලොකු කුටියක් වෙන් කරගත්තා.ඊටපස්සෙ එක එක්කෙනා කතා වෙලා කීපදෙනෙක්ම එක එක වර්ග වලින් දේවල් අරන් ආවා. එක්කෙනෙක් කෑම ජාතියක්.තව එක්කෙනෙක් සරුවත්, තවත් එක්කෙනෙක් ස්ටිකර් වර්ග,කොණ්ඩකටු වගේ දේවල්. වැඩියෙන්ම ලාභ උපයන්න පුලුවන් හොදම ක්‍රමෙත් අපි අමතක කලේ නෑ..

මගේ යාළුවෙක් හිටියා. එයාට පුළුවන් පබළු, සිප්පි කටු වගේ එක එක ජාති එකතු කරලා ලස්සන බ්‍රේස්ලට්, මාල, මුදු වගේ දේවල්  හදන්න.ඒවාට හොද ඉල්ලුමකුත් තිබ්බා.ගෑනු ළමයි කොහොමත් ආසයිනෙ එහෙම දේවල් වලට.ඉතින් අපිත් තිබ්බා තෑගි දෙන ක්‍රීඩාවක්.. ;) අර විදියට තෑගි ටික අංක කරලා ,තුණ්ඩු උඩ දාලා දිනන අයට තෑගි දුන්නා. අපිනම් ඉතින් ඒක බොහොම සාධාරණව කලා. තිබ්බ තෑගි ඔක්කොම ඉවර වෙනකම් අපි දුන්නා. ඒකෙන් අපිට හුඟාක් ලොකු ලාභයක් ලැබුණා.(අනිත් කුටිත් එක්ක සංසන්දනය කරලා බලනකොට)

කොහොමහරි අවසානෙදි එදා වාණිජ දිනයෙදි තෑග්ගයි, සහතිකයි දිනාගත්තෙ අපි..:D ඒත් බොහොම සාධාරණව....

ඉස්කෝලෙ කාලෙ අදටත් මතක් වෙද්දි හිනා යන, සතුටු හිතෙන වගේම දුකකුත් දැනෙන අත්දැකීම් ගොඩයි.ඒ අතරිනුත් ඉස්සර ලබපු අමුතුම අත්දැකීමක් වුනු දෙයක් තමා පොළේ යන එක.ආයෙත් ඉතින් එහෙම විනෝද කාලයක් එන්නෙ නෑනෙ කියලා මතක් වෙද්දි නම් පුදුම  දුකයි......:(

දුවගෙන දුවගෙන ගිහිල්ලා ,ලොකුම ලොකු අච්චාරු උරයක් අරගෙන මල පෙරේතියෝ වගේ පොර කකා අච්චාරු කන්න.... ජීවිතේට බීලා නැති දිව්‍යමය පානයක් වගේ , සරුවත් බොන්න දඟලන්න.....මිස්ලා ට හොරෙන් පන්ති කට් කරලා පොළේ ගිහින් රවුම් ගහන්න....මුරුක්කු පැකට් එකේ තියෙන ලොකුම මුරුක්කු කෑලි හොය හොය රණ්ඩු වෙන්න..... ආසයි මහ හුඟාක් මතක් වෙද්දිත් ඒ අතීතෙට යන්න......
ඒත් අවාසනාවකට ආයෙත් එහෙම කාලයක් එන්නෙ නෑ... මතක විතරක් ඉතුරු කරලා කාලෙ ගෙවිලා ගිහින්.......

කවදා කොහොම කොතැන පොළේ ගියත්..., ඒ ගමන ඉස්කෝලෙ පොළ තරම් සුන්දර වෙන එකක් නම් නෑ....... ඒකනම් හොදටම විශ්වාසයි....:D

Post Comment

93 comments:

  1. අදනං වට්ටි අම්මා කෙනෙක් වගෙයි කට! :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඇත්තෙයි?? ආ.. එහෙනම් ඇත්තටම පොළේ ඉද්දි මගේ කට ඇහුනානම් මොනා කියාවිද දන්නෙ නෑ...:D

      Delete
  2. මමත් පොඩි කාලේ පොළක මුදලාලි කෙනෙක්.2 වසරේදී. ඒ සල්ලි සේරම 3 වසරේ අයියාකෙනෙක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. අසරණ කමක මහත.... :(

      Delete
    2. අපොයි පව් අසරණයා :පි

      Delete
    3. අසරණයා අයියා- හික්ස්ස්... අනේ දෙයියනේ... ඔයානම් අසරණයෙක්ම තමා.. පවු හෆ්ෆා.. චුට්ටි කාලෙ ඉදන්ම අඩත්තේට්ටම්!!!

      Delete
    4. අහිංසකයෝන්ට හැමදාම අඩන්තේට්ටම්.

      Delete
    5. :P ඔයා අහිංසකයි කිව්වෙ නෑනෙ කවුරුත්...;)

      Delete
  3. අපේ ඉස්කොලේ පොළත් මට මතක් වුනා... හැබැයි එක තියෙන්නෙ අවුරැද්දටම එක සැරයයි.... එදාට ඉතින් රජ මගුල් අපිට ඇයි පාට ඇදුම් අදින්නත් දෙනවානේ... Dj එහෙකුත් තියෙනවා.... නියමයි ඉතින්... ඇත්තටම ඔයාගේ පොස්ට් එක කියවද්දි ඒ හැමදේම මතක් වුනා.... හ්ම්ම්ම්..... ලස්සනයි හිතු :)

    ReplyDelete
    Replies
    1. හම්මා... මරුනෙ.. අපිට DJ තියන්න දුන්නෙ නෑ ඉස්කෝලෙ.. නිතරම තියෙන පොළ නෙ.. ඒ කාලෙ මාර ජොලිනෙ... :D

      Delete
  4. නිවාඩුව ගතකරන්න ගිය අතරෙ ගිය ඉරිද මාත් අමුතු පොලකට ගියා...මෙහෙ නම් නෙවේ අල්ලපු රටක..කවදාවත් නොදැකපු දේවල් තිබ්බෙ ඒකෙ....අතින් හදපු දේවල්...[නයෙක්ද මන්ද.]

    ReplyDelete
    Replies
    1. ආ.. මම කියෙව්වා පෝස්ට් එකෙත් තිබ්බෙ..:) වෙලාවක ඒ පොළ ගැනත් ලියන්න.. නයෙක් නෙවෙයි කියලා පලියක් දාන්න..;)

      Delete
  5. මගේ ඉස්කෝලේ පොලත් මතක් උනා.. මගේ නම් හොදම බිස්නස් එක Game cd විකුනණ එක.(ඒ ආදායම මගේ සාක්කුවට යන එක වෙනම කතාවක්).

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් පිරිමි ළමයින්ටනම් හොද බිස්නස් එකක් නේද? ගේම් පිස්සො ගන්නවානෙ..:D

      හික්ස්.. ගසා කෑවද ඔයා.. ;)

      Delete
  6. ඒ කාලේ අපිත් තිබ්බා පොලවල්.. එක පාරක් ඔහොම තිබුනු පොලක තැගි ටොපි ඔය හිතු කිවා එවාට කියන්නේ එහෙම නේද?
    ඔක්කොම එක පාර සේරම අරගෙන ඔක්කොම තැගි ටික කොල බලන්නෙත් නැතුව අරගෙන ආවා මම... කොල බල බල තැගි ගන්න ගියා නම් ගොඩාක් තැගි වලට එතන ටොපි තිබිලත් නැ. එක පාර ඔක්කොම ගත්තු නිසා කරගන්න දෙයක් තිබුනෙත් නැ ඒ අයට...

    ඔක්කොම ගන්න මගෙ ලග එහෙම සල්ලි තිබුනෙත් නැ ඒ දවස් වල `මොනවාහරි පොදු වැඩකට අපේ පන්තියේ එකතු කරපු සල්ලි වගයක් තමා මම ලග තිබුනේ... පස්සේ ඉතින් ඔය තැගි ටික අපේ පන්තියේ පොලේ විකුනලා අපි ලොකු ගානක් හෙව්වා...
    අර වියදම් උනු සල්ලි ටිකත් හොයාගත්තා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියේ!! තෑගි ටොෆි තමා..:D

      ශාහ්හ්හ්.. නියමයිනෙ.. අන්න මොළකාරයෝ!!!

      Delete
  7. කොහෙද ඉතින් අපි කාලයක්ම කඩේ ගියා මිසක් පොළේ ගිහින් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්.. කාටද කඩේ ගියේ?? ;)

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඩිලීට් කරපු කොමෙන්ටුවට පවා රිප්ලයි කරන සොඳුරු හදවතක් ඇති මිහිරි යාළුවෙක් ඔයා...like it :)

      Delete
    2. අහ්හ්... ඔයා වගේ සොඳුරු යාලුවෙක් වෙනුවෙන් එහෙම කරන්න වෙනවානෙ මට..:D

      Delete
    3. සොදුරු යාළුවා කිව්වේ මේ අපේ රීසා අක්කියටද හිතූ..බුඩු අම්මේ උයා ඩන්නෑ එයා චීනපටස් එකක්වගේ අප්පා.බනින්න ගියහම....

      Delete
  9. මේක කියවගෙන යද්දි මාව නිකම්ම ඉස්කෝල කාලෙට ගියා.විශිෂ්ඨයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ!!! මතක ඇවිස්සෙන්න වචනයක් වුනත් ඇති නේද?? :)

      Delete
  10. අපිටත් ඉස්කෝලේ ඔය වගේ පොළවල් නම් අනන්තවත් තියනවා..ඉතින් ඒ දවස‍ට නත්තල් වගේ තමයි..ඒ කාලේ ආයෙමත් එන්නේ නෑ කියලා හිතෙද්දි නම් හිතට ඇත්තටම මහ හුගක් දුකයි අක්කි..ඒ තරම් ලස්සන සැහැල්ලු කාලයක් ජීවිතේට තවත් නැතිව ඇති....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගෝ!!!ඒ කාලෙ පුදුම සුන්දරයි තමා..

      Delete
  11. ආයෙමත් පාසැල් කාලේට ගියා වගේ දැනුනා . අපි දැන් මොන මට්ටමක හිටියත් තාමත් අපි ආස පාසල් කාලේටමයි නේද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම අක්කෙ.. අපි කොහොම කවදා කොතැන හිටියාත්, ඉස්කෝලෙ කාලෙට හැමදාකම ආදරේ කරාවි!!

      Delete
  12. අපෙත් පොළවල් තිබුනා.ඒත් කන බොන දේවල් විතරයි.ඒවායින් වැඩිය මතක අච්චාරු තමයි.අපිටනම් ඉන්ටවල් එක තමා හැමෝටම පොළට යන්න වෙන් කරලා තිබුනෙ.ඔය වෙනකොට හුගක් දවස් වලට අච්චාරු ගෙනාපු පන්ති වලම ඉවර වෙලා.ඉතුරු වුන පොඩ්ඩ හරි ගන්න බෙල් එක ගහපු ගමන් දුවන්න ඕනෙ.

    අලේ අන්නාසි අච්චාරුවක් කාපු කාලයක් මතක නෑ.:((((

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඔව් ඔව් අපෙත් අච්චාරුම තමා තිබ්බෙ හුඟාක්.:D

      අලේ ඔව් අක්කේ.. මටනම් වෙරළු අච්චාරුවක් කාපු කාලයක් මතක නෑ...:(

      Delete
  13. මම නම් ආසම නැති වැඩේ තමා අම්මත්තෙක්ක පොලේ යන්න. අපේ අම්මා පොල වටේ සෑහෙන වට ගානක් ඇවිදිනවා. මට තියෙන්නේ බෑග් එක උස්සන් එන එක. අපේ අප්පෝ ඒ තරම් අමාරු වැඩක් වෙන නැද්ද මන්දා..... හික්ස් :)

    නමුත් මෙහෙම පොලේ යන්ඩ ලබෙන එක නම් මරු වැඩක් ආස හිතෙනවා.
    මොකද මන්දා අපි ඉස්කෝලේ යන දවස්වල මොන පොලක්වත් තිබ්බේ නෑ. අපේ අවාසනාව !!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අයියාට ඉතින් අනාගතේට ඕව්වා වැදගත්නෙ..:D ඉස්සර අම්මාගෙ බෑග් එක.. ඊටපස්සෙ... ;) ;) ;) හික්ස්ස්...

      අහ්හ්..ඉස්කෝලෙ පොළක් තිබ්බානම් ජොලි!! අපරාදෙ..

      Delete
  14. මට හිතුනා ඔයත් අපේ ඉස්කෝලෙටද ගියෙ කියලා... ඔය කියපු විස්තර වලට් අනුව නම් අපේ ඉස්කෝලෙ වගේමයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... මං හිතන්නෙ අපි එක ඉස්කෝලෙ තමා.. ;)

      Delete
  15. ලස්සන අත්දැකීමක්!

    ReplyDelete
    Replies
    1. :D විස්තුරුටත් ඇතිනෙ ලස්සන අත්දැකීම්..??

      Delete
  16. හිකිස් ඉස්කෝලෙ පොලේ ගිහැටි මතක් උනා..ඇත්තමයි නංගි මම මේ ඔයාගේ ටැලන්ට් එක ගැන කියන්නෙ..දැන් වුනත් ඔයාට පාර්ට් ටයිම් පොලේ රස්සාවක් කලොත් හොද ගානක් හොයාගත්තෑකි..:පී

    ReplyDelete
    Replies
    1. ආ........ අපෝ..පාර්ට් ටයිම් පොලේ රස්සා වැඩක් නෑ.ඉස්කෝලෙ පොල තමා මරු!!

      Delete
  17. ම්..තැන්කූ හිතූ මේ ගැන මතක් කලාට අපිත් ගොඩක් වෙලාවට ඔය වගේ මරිසි වැඩ කලා පොල වලදි..

    එක සැරයක් අපි 6 වසරේ විතර ඉද්දි ලොකු පන්ති වල ඉන්න අක්කලා කරපු පොලෙකින් බඩුගන්න ගියා..පළවෙනි කුටියෙ තිබුනෙ කරපිංචා ගොඩ ගහලා..කරපිංචා ඕන නැති නිසා දෙවෙනි එකට ගියා..ඒකෙත් තිබුනෙ කරපිංචා..තුන්වෙනි එකෙයි හතරවෙනි එකෙයි තිබුනෙත් කරපිංචා විතරමයි..පස්වෙනි එකට ටිකක් ඔළුව දැම්මා විතරයි කොළ පාටට පේද්දි අපි ආපහු හැරුනා..
    පොඩි කාලෙ ඉතින් මේක ගැන ලොකු තේරුමක් නැති නිසා අපි හිස් අතින්ම ආපහු එන්න හදද්දි අක්කා කෙනෙක් තව එක්කෙනකුට කියනවා..
    “අනේ මචං මෙච්චර කරපිංචා ගොඩක් එක්ක මොනවා කරන්නද?..උදේට කැඳ දවල්ට මැල්ලුං රෑට තෙල්දාලා.හවසට තේ හදලා බීලත් බැරිවෙයිද මන්දා“ කියලා..

    :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... මර්සි වැඩ!!! :D

      හෆ්ෆටතිලි!! කරපිංචා ?? එච්චර?? මරුනෙ...:D නියම කතාව හැබැයි!! කරපිංචා ඉතින් ඉස්කෝලෙ පොලක ඒ තරම් විකිනෙන්නෙ නෑනෙ??

      Delete
  18. නියමයි..පරණ මතකයන් ටිකක් අලුත් උනා...

    ReplyDelete
  19. අනේ අපේ ඉස්කෝලේ තිබුනේ නෑ නේ පොලක් :( ගමේ පොලේ නම් ගිහින් තියනවා. හැමදාම රසම රස රෝස පාට සීනි පොල් කොහු එකක් හම්බ වෙනවා මට :)

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඉස්කෝලෙ පොලක් තිබ්බානම් ජොලි!!! රෝස පාට සීනි පොල් කොහු කිව්වෙ, බොම්බය්මොටයි ද??

      Delete
  20. ඉස්කෝලේ පොළ සැහෙන fun වගේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මාරම ෆන්!!!

      Delete
  21. හිතුවක්කාරි කියනකොට තමා මටත් ඒ කාලේ පොළවල් දාපු හැටි මතක් වුනේ. අපූරු අත්දැකීමක් තමා!
    දැන්නම් හිතුවක්කාරි වැරදිලාවත් පොළක් පැත්තෙ යන්නෙ නැතුව ඇති නේද? :)

    ReplyDelete
    Replies
    1. හා.... අපිම ඉන්න ඕනෙ එව්වා මතක් කරන්න නේ???

      මම කොහොමත් ඉස්කෝලෙ පොල හැරුනාම පොළේ ගිහින් නෑ... :D යන්න ආසයි

      Delete
  22. මටත් මගේ ඉස්කෝල කාලේ මතක් වුනා හිතූ.. අපි එක සැරයක් D.J එකක් දැම්මා. ඒක තමා අපේ ස්ටොල් එක වුනේ.. entrance වලට රුපියල් දහයක් හරි විස්සක් හරි ගත්තා.. සින්දු රික්වෙස්ට් කරන්න පුලුවන්.. :) ඇති වෙනකන් නටන්න පුලුවන්..මාර ජොලි.. තව සැරයක් ස්වීට්ස් විකුනුවා.. :D

    ReplyDelete
    Replies
    1. හම්මා..... D.J මරු තමා.. ඒත් අපි ඕක එකසැරයක් කරන්න ගිහින් මැඩම් එපා කිව්වානෙ..:/

      Delete
  23. මට පුංචි ප්‍රශ්නයක්...! උඩ ඉන්න තුන්දෙනාගෙන් ඔයා කවුද කියන එක. ජය...!

    ReplyDelete
  24. //ඊටපස්සෙ තරඟෙට එන කෙනෙක්ගෙන් රු.10ක් හරි 5ක් හරි වගේ මුදලක් අය කරනවා.//

    කප්පං කාරයෝ වගේ හරියට !

    ReplyDelete
    Replies
    1. කප්පම් කාරයෝ සල්ලි ගන්නෙ බලෙන් නෙ..;) එයාල දෙන්නෙ කැමැත්තෙන්..

      Delete
  25. අප්පේ ඒ ඉස්කෝලේ කාලෙට ආයේ යන්න තියනවනම් නේද....?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. ආයෙත් එහෙම කාලයක් එනවානම්...

      Delete
  26. අපෙත් එකේහි හරි දෙකේදි හරි තිබුණා සිඟිති පොළක්.. ඒකෙ ෆොටෝ නම් මම ගාව තිබුනේ නෑ. ඒත් ලඟදී දවසක යාලුවෙක් එකක් ටැග් කොරලා මුහුනූ පොතට දාල තිබුණා... දකිනකොටත් ආසයි... පෝස්ට් එක කියවද්දි අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ දැනුන

    ReplyDelete
    Replies
    1. අනේ... ඒ සිඟිති පෝලවල් නම් තවත් ශෝක්!! චුට්ටිම කාලෙනෙ.. ෆොටෝ එහෙම හරි වටිනවා...

      Delete
  27. පොලේ ගිහින් තියෙනවද ඇහුවම මතක් උනේ මම හැම සෙනසුරාදම යන පොළ... :)

    ඉස්කෝලේ අපිත් ඕවා කලා නේන්නම්.. එදාට ඉතින් අපි කෙල්ලො ටිකට අපේ පන්තියේ වැඩේ බාර දිලා අපි යනවා පහල පන්ති වල කෙල්ලනට ලයින් දාන්න... :)

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් ඔව් නේ?? අයියා අර කෙල්ලො බලන්න ගිය පොළ..;)

      හික්ස්ස්.. හෆ්ෆෝයි ඒ කාලෙ ඉදන්ම ඉතින් කොරලා තියෙන්නෙ ලයින් දාන එක තමා.. ;) :P දැන් නම් ඉතින් නෝ ලයින් නේ??? :D ලයින් එක කනෙක්ට් වෙලානෙ තියෙන්නෙ..හික්ස්ස්..

      ජය වේවා!!

      Delete
  28. අනේ අපේ ස්කොලේ පොළවල් තිබුනේ නෑ.අපේ ස්කොලේ හිටිය ලොකොත්ත්රයන් එක්ක පොළවල් කරන්න බෑ කියලා.

    ReplyDelete
    Replies
    1. හෑ??? :D ලෝකෝත්තරයෝ?? හිකි හිකි!!!!

      Delete
  29. මේවා තමා නියමම මතක :)

    ReplyDelete
    Replies
    1. නැතුව!! සුන්දරම මතක...

      Delete
  30. නිෂ් අක්කේ කියන්නකෝ අපේ ඉස්කෝලේ පොළ ගැන :පි

    ReplyDelete
    Replies
    1. ඔය නිෂ් අක්කා කියලා තියෙන්නෙ...:D

      Delete
  31. පාසල් දිවියේ ලබපු සුන්දරම අත්දැකිමක්. අපේ ඉස්කෝලෙත් ඔහොම පොලක් තිබුණා. හැබැයි වැඩිම ආදායමක් උපයපු කණ්ඩායමට තෑගිත් ලැබුණා. ඒක හරිම සුන්දර අත්දැකිමක්

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්.. වැඩිම ආදායමට තෑග්ගක් දෙනවා කිව්වාම ඉතින් උනන්දුවත් වැඩියිනෙ...:)

      Delete
  32. ඇත්තටම මේක කියවපුවාම අපේ ඉස්කෝලෙ තිබුන පොල මට මතක් උනා.පාසැල් ජිවිතයෙ ලබපු අමතක නොවන අත්දැකිමක්...මෙහෙමයි අපෙ ඉස්කෝලෙ පොල...
    මේක පුංචි පොලක් එහෙම නෙමෙයි..දවස් තුනක මහා පොලක්..පොල පැවැත්වෙන්නෙ දෙවැනි වාරයේ..මේකට යොදා ගන්නෙ ගොඩක් වෙලාවට බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා යන දවස් තුන..වෙන පොලවල් වල වගේම අපේ පොලෙත් කෑම ජාති තිබුනා..ඊට අමතරව තව බොහෝ දේ තිබුනා
    අපේ පොල තියන අතරෙ තවත් තරඟයක් තිබුනා..ඒ පංති වලට.ඒ තමයි දවස් තුනෙන්ම වැඩම මුදලක් හොයන පංතියට ත්‍යාගයක් ලබා දෙනවා..ඉතින් නොකිවුවට මොකද හැම පංතියක්ම උත්සහ කරේ ඔය තෑග්ග ගන්න තමයි...ඒ නිසාම තම පංතියෙන් මොනවද පොලට ඉදිරි පත්ක කරන්නෙ කියලා අනිත් පංතිවල අයට නොකියා ඉන්න සියල්ලම වග බලා ගත්තා..
    අපේ ඉස්කෝලෙ තියෙන්නෙ 6 පංතියෙ ඉදලා 13 වෙනකන්..ඉතින් මේ පොලේ වෙන පාසැල් වල නැති අමුතු අමුතු තරඟත් පැවැත්තුනා..කෑම බිම වලට අමතරව මෙරිගො රවුන්ඩ්,හොල්මන් මන්දිර,කැරොකේ ගීත තරඟ,සංගිත සංදර්ශන,තාරාවට වලල්ල දමන්න,ඒවා සංවිධානය කරේ ගොඩක්ම ලොකු පංතිවල අය...ඊට අමතරව චුටි නංගිලා ටින් පෙරලන්න,විදුරුවට ජලය පුරවා ඒ මැද කෝප්පයක් තබා සතයක් ඒ කෝප්පයට දාන්න,තුණ්ඩු ගොඩකින් තෑගි තියන තුන්ඩුවක් ගන්න(හැබැයි සේරම තියෙන්නෙ බිංදුම තමයි)..ගිනි කූරෙන් ඉටිපන්දම් පත්තු කරන්න..තව තරඟ ගොඩක් තිබුනා..
    ඉතින් පොලට එන අය ගැන කිවුවොත්..අපේ පවුල් වල අය ඒ කියන්නෙ අම්මලා තාත්තලා..සහෝදර සහෝදරියෝ..තව පවුල් වල නෑදැ හිතමිතුරෝ ඒ ඔක්කෝටම කොහොම හරි එන්න කියනවා..ඒත් එක්කම අපේ ඉස්කෝලේ බාලිකා පාසලක් නිසා අපේ සහෝදර පාසැල් වල ඒ කියන්නෙ පිරිමි ලමයි ඔක්කොම එනවා..අපේ ගෑනු ලමයින්ගෙන් යාළු වෙන්න අහන අයයි,යාළු වෙලා ඉන්න පිරිමි ලමයි තව ඒ ලමයින්ගෙ යාළුවොයි..මොකද අපේ ඉස්කෝලෙට තනියම පිරිමි ලමයි එන්න බයයි..:D ඒ නිසා යාළුවෝ ඔක්කොමව එක්කන් එනවා..අම්බෝ පොල දවස්වලට අපේ ඉස්කෝලේ පිරිලා..ඒ අතර තුර අපේ සිස්ටර් ප්‍රින්සිපල් එහෙට මෙහෙට යනවා ලමයින්ගෙ හොර අල්ලන්නත්..:D කැරොකේ ගීත තරඟ තියෙන්නෙ ගොඩක්ම හවස් වරුවෙ වගෙ..ඒකට ඉස්කෝලේ ලමයින්වම එකතු කරගන්නවා...තරඟයට ඇතුල් විමට මුදලකුත් තරඟය නැරඹිමට වෙනම මුදලකුත් අය කරනවා...ඉතින් ඒ මහා ලොකු මුදලක් නෙමෙයි රුපියල් 10,20 තමයි...සංගිත සංදර්ශන පැවැත්වෙන්නෙ රෑට... ඉතින් එය නැරඹිමටත් විශාල ප්‍රමානයක් සිටිනවා...ඉතින් මෙහෙම තමයි අපේ පොල ගැන කෙටියෙන්ම විස්තරේ අඩුපාඩු වර්ණා නංගි හදන්න හොදේ..
    හිතු නිසා අපේ ජිවිතයෙ සුන්දරම අත්දැකිමක් මතක් උනා..ඇත්තටම හැමදාම පොත් වල ඇලිලා ඉන්නවට වඩා පාසැල් වල ලමයින්ට මේ වගේ මනසට නිවාඩුවක් දෙන දෙයක් කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිෂ් අක්කේ ඔයා පුදුම සුන්දර කමෙන්ට් එකක් දාලා තියෙන් නෙ.. මේ මතක ටික එකතු කරපු ඔයාගෙ කමෙන්ටුව මගේ පෝස්ට් එකට අමුතු එළියක් ගෙනාවා.. හුඟාක් ස්තූතියි ඒකට...

      ඇත්තටම හරිම ශෝක් නේද ඒ පොළ? ඔයාලාගෙනම් තිබිලා තියෙන්නෙ හරිම විශාල පොළක්.. ස්තූතියි මතක බෙදාගත්තාට..

      Delete
    2. අම්මෝ අවරුදු දෙකකට සැරයක් ටමයි පොළ තියෙන්නේ. පිරිමි ළමයි ටමයි වැඩියෙන්ම එන්නේ. අක්කා කියුවා වගේ අපේ සිස්ටර් ප්‍රින්සිපල් ට බාලක සෝදර පාසල් වල ළමයි ගොඩාක් බයයි. ඉතින් පොළ දවසට ටමයි බය නැතුව එන්නේ. අපි එක පාරක් කෑම කඩයක් කළා ප්‍රිෆෙක්ට්ස් ලා වෙලා ඉද්දි.කෑම කියුවේ හැම කෑම ජාතියක්ම තිබුනා. පොඩි පන්ති වල ඉද්දි නම් අම්මලා ටමයි කෑම විකුනන්නේ. කොහොමහරි සෑහෙන්න ලාබයක් තියෙනවා පොලෙන්. මොකද අනිත් ඉස්කෝල වලට වඩා අපේ ඉස්කෝලේ පොලට සෙනග එනවා වැඩි. :පි

      අම්මෝ මතක් වෙද්දීත් ආවාසේ බෑ. එක අව්රුද්දක දවස් 4 ක් තිබ්බා. අම්මෝ නියමයි :)

      Delete
    3. කියද්දිත් ආසයි වර්ණා ඔය විස්තර!!! :) හරිම සුන්දරයි තමා ඒ කාලෙ.. ඔයාලත් මදි නොකියන්න ජොලි කරලා තියෙන්නෙ ඔය... මට ඊරිසියායිත් එක්ක..:p

      Delete
  33. ඔය පොළවල් ගැන නම් කියලා වැඩක් නෑ.. ඒවායෙන් ගත්ත ජොලිය අමතක වෙන්නේ නෑ නංගෝ.. අපි නම් පොඩි කාලෙටත් වඩා A/L O/L කාලේදි පොළවල් වලට ගිහින් ජොලිය ගත්තා. ගිනිකූරෙන් ඉටිපන්දම් පත්තු කරන game එක තමා මම කැමතිම. ඒත් අනේ මට නම් ඉටිපන්දම් 20ට එහා යන්න බෑ කවදාවත්ම. හෙ හෙ... ඒ කාලේ හරිම සුන්දරයි නේ? ලස්සනට ලියලා නංගෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඊතින් ඒ කාලෙ තේරෙන කාලෙනෙ.. එතකොට ජොලි වැඩියි!!!! ඉටිපන්දම් 20ක් පුලුවන් කියන්නෙත් නියමයිනෙ.. මටනම් එච්චරවත් බෑ අක්කියෝ!!!

      ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි !!!

      Delete
  34. හානේ....මෙන්න මෙයා පොලේ යවන්න නියම කෙනා... ;)

    ReplyDelete
  35. මම දෙකේ හරි තුනේ හරි ඉන්න කාලෙ සූටි සරමක් ඇදගෙන මුදලාලි කෙනෙක් වූ මතකය මෙම පෝස්ටුවෙන් නැවතත් ආවර්ජනය විය....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.. සූටි සරමක් ඇදලා, සූටි මුදලාලි කෙනෙක් වුන හැටි නේද? හලිම ශෝයි!!!

      Delete
  36. අපිත් පොලක් කළා වාණිජ දිනයට ,බදු ඉවරවෙනකොට ආපහු පිටිපස්සේ ගේට්ටුවෙන් ගිහින් එළියෙන් බදු අරන් එනවා ,මම වැඩිපුරම කඩේයන සීන් එකට එන්ටර්වෙලා හිටියේ ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්... මොනාද ඔයාලා විකුණුවෙ??? එහෙනම් ඔයා දස්ස පොළේ යන්න නෙවෙයි කඩේ යන්න...:P

      Delete
  37. හි හි මාත් එක පාරක් සිගිති පොලක මුදලාලි වෙලා හිටියා 2දිද කොහෙද?

    හිතුවක්කාරී වට්ටි අම්මා වගේ ඉන්න ඇති නේ පොලේ ;):P

    ReplyDelete
    Replies
    1. හහ්හ්හ් හා හා..:D :D චූටි මඩයා මුදලාලි වුනේ 2දීද?? මරු මරු!!!

      වට්ටියක් තිබ්බෙ නෑ අනේ..ඉතින් වට්ටි අම්මා වෙන්න වුනේ නෑ....

      Delete
  38. අපේ ඔෆිසිය පල්ලෙහත් පොලක් තියෙනව හැම පඩි දවසකටම

    ReplyDelete
    Replies
    1. ආ.. ඉතින් රාජ් අයියාත් යනවාද පොළේ?? පඩි දවසට??

      Delete
  39. //ආසයි මහ හුඟාක් මතක් වෙද්දිත් ඒ අතීතෙට යන්න......
    ඒත් අවාසනාවකට ආයෙත් එහෙම කාලයක් එන්නෙ නෑ... මතක විතරක් ඉතුරු කරලා කාලෙ ගෙවිලා ගිහින්.......// ඒකනම් ඇත්ත හිතූ...
    හරිම ලස්සනයි....ගොඩක් ස්තුතිය් මේ වගේ පෝස්ට් ලියනවට..!(එන්න පොඩ්ඩක් පරක්කු උනා මේ දවස් වල වැඩ වැඩී)

    ReplyDelete
    Replies
    1. අනේ පරක්කු වුනාට මොකද . පහුවෙලා හරි ආවානෙ..:)

      ස්තූතියි වී!!!!

      Delete
  40. අනේ.... මේ ඉක්කෝලේ පොළ නේ? අපේ පන්තියේ ළමයි ඉංග්‍රීසි ළමා චිත්‍රපටි පෙන්නුවා... ඔයාල එව්වා කලේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආ... ඔය තියෙන්නෙ.. මොකද නැත්තෙ?? තෑන්ක්ස් අනුවො මතක් කලාට... අපෙ ඉස්කෝලෙත් පෙන්නුවා නේන්නම්.. හැරී පෝටර් එහෙම..

      Delete
  41. හේ හේ...හරිම ලස්සන ගොඩාක් මතක තිබුණු කාලයක් ආපහු මතක් වුනා පොස්ට් එක දමලා...අපිත් පොලක් කළා නේන්නම්....
    අදමයි ආවේ මේ පැත්තේ...නියමයි....

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්.. සාදරෙන් පිළිගන්නවා..සිතුවිලි සිත්තම්ව... :)

      ඒකනෙ මෙහාට එන්නම ඕනෙ නේ මතක අලුත් කරගන්න...

      Delete
  42. අපේ ඉස්කෝලෙත් පොලක් තිබුනා මං එක වසරෙදි. අනේ හරිම දුකයි දැනුත්. මං විකුණන්න ගෙනියපු ඒවා ටීචලා මං රවටිටලා සේරටම රු. 5 ක් දීලා ගත්තා. ඒ නිසා මං පොලවල් වලට ආස නැ :(

    ReplyDelete
    Replies
    1. මොකකාක්?? ටීචර්ලා ගත්තා?? :O හෆ්ෆෝයි!!! හලිම අපරාදයක්නෙ..:(

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....