නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 January 2012

තටු සිඳුනු සමනළී -18 වන කොටස

කතාව ඩිංග ඩිංග අවසානයට ලං වෙමිනුයි තියෙන්නෙ.. කලින් කොටසට ලේන්සු ඕනෙ වුනේ නෑ කිව්වනෙ .අපි බලමු ඉස්සරහට. කතාවෙ මුල කොටස් අමතක අයයි, කියවපු නැති අයයි කියවලම එමුකෝ.. එහෙනම්...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17

අද 18 වෙනි කොටස....

-------------------------------------------------------------------------------------------------------------


විභාගෙට තව හරියටම දවස් 5යි.කාලෙ ගත වුනානම් දැනුනෙවත් නැති තරම් ඉක්මණට.අවුරුදු දෙකහමාරක පාසැල් ජීවිතේ තුළ ඉගනගත්තු දේවල් වල ප්‍රථිඵලය උරගා බලන ලොකුම කඩ ඉමට තව දින කීපයයි.හිත ඇතුළෙන් තියෙන තෙරපීම,බය,කලබලකරීබව කොයිතරම්ද කියලා විස්තර කරන්න බැරි තරම්ම සංකීර්ණයි.අවුරුදු දහතුනක් තිස්සෙ ඉගනගත්තු හැම දේකම අවසාන ප්‍රථිඵලය තීර්ණය කරන මේ තීරණාත්මක විභාගෙ කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ කියන සිතුවිල්ල හිතට නිතරම වද දුන්නා.

ඒ වගේම,දසුන්ගෙ ගෙදරින් තිබ්බ බලපෑම මත,දසුන් හොඳින් විභාගෙ කරගනීද නැද්ද කියලාත් මගේ හිතේ තිබුණෙ ලොකු බයක්.හැම අතින්ම මගේ හිතට එල්ල වෙලා තිබුණූ පීඩනය නිසාම ,විභාගෙ ගැන මගේ හිතේ තිබුණේ  අසාමාන්‍ය බයක්.ටියුෂන් පන්ති වල ගුරුවරු,ඉස්කෝලෙ ගුරුවරු,ටීවී එකේ වැඩසටහන් වලින් කොයිතරම් විභාගෙදි තියෙන්න ඕනෙ මානසිකත්වය ගැන විග්‍රහ කලත්,උපදෙස් දුන්නත්,මට මගේ හිත පාලනය කරගන්න, බය නැති කරගන්න අමාරු වුනා.

අවසාන වශයෙන් පාඩම් කරපු,වැඩ කරපු කොටස් ආයෙමත් බලාගන්නවා හැර,අලුතෙන් ඉගනගන්න, පාඩම් කරන්න වෙලාවක් තිබුණේ නෑ.එන විදිහකට මූණ දෙන්න,අමාරුවෙන් හිත හදාගෙන මම පුළුවන් තරමින් වැඩ කළා. ඔය අතරේ දසුන්ටත් කීපවතාවක්ම කෝල් කලා.

"හෙලෝ දසුන්.. ඔයා පාඩම් කරනවද??මම කරදර කලානම් සොරි පැට්ටො.."

"නෑ නෑ.. මධූ.. මම නිකන් මේ ප්‍රශ්න වගයක් කරන්න ගත්තා.තේරෙන්නෙත් නෑ ..සමහර ඒවා එපා වෙනවනෙ."

"කොහොමහරි පුළුවන් ටික කරගමු දසුන් අපි.. බැරි ඒවා,තේරෙන්නෙ නැති ඒවා ගැන වද වෙලා වැඩක් නෑ දැන් ...මටත් බය වැඩිවෙනවා එහෙම වුනාම."
"බය වෙන්නෙපා.ඔයා පාස් වෙයි.ඔයා මට වඩා වැඩ කළානෙ."

"එහෙම නෑ දසුන්. මටත් combined maths හුඟාක් අමාරුයි. තේරෙන්නෙත් නෑ සමහර ඒවා. අනේ මංදා."

"එහෙනම් දැන් ෆෝන් එක තියලා ගණන් හදන්න ළමයෝ.."

"අනේ ... මොනතරම් හොඳයිද, දසුන් යන්තමින් හරි හොදට කතා කරනවා.. පුදුම සතුටක්නෙ දෙයියනේ,,"
මම හිතින් එහෙම කියගත්තෙ දසුන්ගෙ වෙනස ගැන සතුටින් උදම්වෙලා.


"හරි හරි දසුන් එහෙනම් ඔයත් හොඳ ළමයා වගේ පාඩම් කරන්නකෝ.. අපි විභාගෙ පුළුවන් විදියකට කරමුකෝ.."

"හරි හරි.. එහෙනම් මම තියන්නම්.. බායි!!"

"හ්ම්ම්.. බායි!!!"

හිතේ තිබුණු බර එක මොහොතකට සැහැල්ලු වුනා වගේ දැනුණා දසුන් එක්ක කතා කරලා ඉවර වුනාට පස්සෙයි. දෙයියෝ මේ අහිංසක පුංචි කෙල්ලගෙ දුක දකින්න ඇති.. මම එහෙම හිතුවෙ දෛවය ගැන, මගේ ජීවිතේ ගැන අසීමිත විදියට පුදුම වෙලා.

ජීවිතේ සිද්ධ වෙන හුඟාක් දේවල් ඇත්තටම සිද්ධ වෙන්නෙ හොදට කියලා කතාවට කිව්වට,ඇත්තටම හැමදෙයක්ම වෙන්නෙ හොඳටමද කියන එක මට තිබුණු ලොකුම ලොකු ප්‍රශ්නයක්.දෛවය අපේ ජීවිත වෙනස් කරන්නෙ හරි පුදුම විදියට.සමහර අපි ආස කරන,ආදරේ කරන දේවල් ,දෛවය අපිට අහිමි කරනවා.සමහර වෙලාවට අපිට ඒ අහිමි වුනු දේවලට වඩා වටිනා,හොදම දේවල් ලං කරනවා.ඒකයි දෛවය මහ පුදුමයක් විදියට මට දැනුණේ.සමහරක් වෙලාවට මම මගේ දෛවයට වෛර කලා.තවත් සමහර වෙලාවට මම මගේ දෛවය ගැන පුදුම වුනා.ඇත්තටම කාලය හුඟාක් දේවල් වෙනස් කරනවා.ඒක ඇත්තක්.

විභාගෙට තව  දවස් 3ක් වගේ ඉතිරි වෙලා තිබුණා. Physics , Chemistry නම් මොනා හරි කරගන්න පුළූවන් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් Maths ගැන නම් තිබුණේ ලොකු බයක්. මොනතරම් හැදුවත්, සමහර ගණන් හදාගන්න බැරි  වෙද්දි මගේ ආත්ම විශ්වාසය පළුදු වෙලාම ගියා.ඒත් කොහොමහරි හිත හයිය කරගෙන මේ විභාගෙ වෙනුවෙන් කැපවෙන්න අන්තිම මොහොතෙ හරි හිත හදාගන්න දැඩිවම අධිෂ්ඨාන කරගත්ත මම අමාරුවෙන් වැඩ කලා.

විභාගෙට කලින් දවසේ අම්මාත් එක්ක ගෙවල් ලඟ පන්සලට ගිහින් පැයක් දෙකක් තිස්සෙ,නිස්කලංකව වැඳලා,පුද පූජා කරලා,කැළඹිලා තිබුණූ මගේ හිත ඒ බෝ මළුව යටදි තැන්පත් කරගත්තා.ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් කරපු නූලක් දකුණූ අතේ බැඳගෙන ,ආශිර්වාද ලබාගත්තු මට හිත පුරාම දැනුනේ අමුතුම පහන් හැඟීමක්.

බෝධීන්වහන්සේ ළඟ වැලිමළුවට වෙලා පිරිත් කියලා තැන්පත් කරගත්තු මගේ හිත,මේ අවසාන මොහොතෙත් ප්‍රාර්ථනා කලේ, මට වගේම දසුන්ටත් මේ වැදූ පිදුම් වල, ආශිර්වාදය ලබාදෙන්න කියලායරේ නිසාම හාමුදුරුවන්ගෙන් තවත් වැඩිපුර පිරිත් නූලක් ඉල්ලගත්තු මම,ඒ පිරිත් නූල පරිස්සමට බෝ කොළයක ඔතලා අත මිට මොළවගත්තෙ,ආයෙත් විභාගෙට කලින් දසුන්ව හම්බෙන කොයි මොහොතක හරි, දසුන්ට මේ පිරිත් නූල දෙන්න  තියන අදහසිනුයි.

------------------------------------------------------------------------------------------------------------
අවුරුදු දෙකහාමාරක් තිස්සෙ බලාගෙන උන්නු තීරණාත්මක මොහොත උදා වුනා,ඒ දවස උදා වුනා.ගෙදර තියන බුදු පහන තෙල් වලින් පුරවලා,පිරිසිදු තිරයක් දාලා,මල් වට්ටියක් පිරෙන්න වතුසුද්ද මල් කඩලා, පෙරහන් කඩේකින් පෙරාපු පැන් වීදුරුවකුත් ,සමන්පිච්ච මල් සුවඳ හමන හදූන්කූරුත් මගේ අත් වලින් බුදුන්ට පිදෙන්න මඟ බලන් උන්නා.බුදුන්ට පුදන්න ,මම වෙනුවෙන් සියල්ල සූදානම් කරපු අම්මා,මම ලෑස්තිවෙලා එනකම් බලාගෙන හිටියෙ බුදුන්ට වැඳලා ආශිර්වාද ගන්න කියන්නයි.

ඕනම, සුභ කටයුත්තක්, හොඳ කටයුත්තක්,තීරණාත්මක කටයුත්තක්,ජීවිතේට වැදගත් වෙන යමක් කරන්න සූදානම් වෙද්දි, මුලපුරද්දි ඕනම කෙනෙක් පටන්ගන්නෙ තමන්ගෙ ආගමානුකූලවයි.ඒ තමන් කරන්න යන කටයුත්තට ආගමානුකූලව  මුලපිරුවොත් සාර්ථක වෙයි කියන අරමුණ ඇතිව සහ ඒ ආශිර්වාදය ආත්ම විශ්වාසය, ධෛර්‍ය වඩවන්න හේතුවක් වෙයි කියන විශ්වාසය නිසායි. මගේ අම්මාත්, තාත්තාත්, බුදුන්ට වැඳලා මං වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කලා.

අවසානයෙදි, මම අම්මාටත්, තාත්තාටත් දණ ගහලා වැඳලා ආශිර්වාද ගත්තා.

"තුරුණුවන්ගෙ සරණින් මගේ කෙල්ලට වරදින්නෙ නෑ..."

අම්මා මගේ නළල ඉඹලා ඔළුව අතගාලා කිව්වා.

"මගේ පුතාට දෙවි පිහිටයි.. කලබල නොවී පුළුවන් විදිහට උත්තර ලියලා එන්නකෝ දුව."

තාත්තා මගේ සැලෙන හිත තවත් හයිය කලා.

අවසානෙදි මම කාමරේට ගිහින් පොත් බෑග් එකත් අරගෙන , දසුන්ට කෝල් එකක් ගත්තා.

"හෙලෝ දසුන්... ගුඩ් මෝනින්!!!"

"ගුඩ් මෝනින් මධූ.."

"හොඳට විභාගෙ කරනන් දසුන්.. කලබල නොවී, පුළුවන් විදිහට කරමු අපි.බය වෙන්නෙපා ඔයාට පුළුවන්."

"හ්ම්ම්.. ඔයාටත් එහෙමයි. මට වඩා බය වෙන්නෙ ඔයානෙ. දැන් ලෑස්තිවෙලාද ඉන්නෙ?"

"ඔව්.. ලෑස්තිවෙලා, දැන් තාත්තා එක්ක ටවුමට යනවා. හසී,නිශා, හංසී කට්ටියම ටවුමට එයි.."

"හ්ම්ම්.. මමත් ලෑස්ති වෙන ගමන්. මම තාත්තා එක්ක ඉස්කෝලෙටම යනවා. මෙහෙ ඉඳන් කොල්ලුපිටියට ළඟයිනෙ. ඉතිං හුඟාක් කලින් යන්න ඕනෙ නෑ.."

"අහ්හ්.. ඒක හොදයි.. අපි කට්ටියම එකට බස් එඛෙ යන නිසා තමා කලින් යන්නෙ. "

"විභාගෙ ඉවරවෙලා මම එන්නෙත් බස් එකේ තමා.මම තුම්මුල්ලේ ඉන්නම්.ඔයා එන්නකෝ..එහෙනම් දැන් පරිස්සමින් යන්න. හොඳට විභාගෙ කරන්න.  බුදුසරණයි මධූ.."

"අනේ..ඔයාටත් බුදුසරණයි දසුන්.. හොදට කල්පනාවෙන්  වැඩ කරන්න.  දවල්ට හම්බෙමු..එහෙනම් මම තියන්නම්.. අම්මා කතා කරනවා."

"හරි ගුඩ් ලක්!!"

"සේම් ටු යූ දසුන්!!"

ෆෝන් එක තිබ්බ මම සතුටට වටයක් කැරකුණා.ඊටත් පස්සෙ  පන්සලෙන් අරන්  ආපු පිරිත් නූලත් පරිස්සමට බෑග් එකට දාගත්ත මම ෆෝන් එක සාක්කුවට දාගෙන ,පොත් බෑග් එකත් අරගෙන කාමරෙන් එළියට ආවා.

"මොනාද පුතේ කරන්නෙ? පරක්කු වෙන්න නරකයි.. ඉක්මණින් යන්න තාත්තා අන්න එළියටත් බැහැලා. කෝ කෝ එන්න එළියට. "

"මේ එනවා අම්මා"

"දකුණු කකුල ඉස්සරහට තියලා නමෝ බුද්ධාය !! කියලා හිතාගෙන එළියට බහින්න පුතේ.."

සුදු පාට වතුසුද්ද මල් දාපු වතුර වීදුරුවක් අරගෙන එළියට  වෙලා කෑගහන අම්මා  ගැන මට ඇතිවුනේ මහා ලොකු ආදරයක්.. ඇස් දෙක යාන්තම තෙත් වේගෙන එද්දි මම අම්මා කිව්ව විදියටම එළියට බැස්සා.

වතුර වීදුරුවෙන් උගුරක් බිව්ව මම , තාත්තා එක්ක ටවුමට යන්න පිට වුනේ අම්මාට සමුදීලායි.

-------------------------------------------------------------------------------------------------------------

"හම්මෝ.. මෙන්න රජකුමාරි වඩිනවා..."

ඈත තියාම මම එනවා දැකපු හසී කෑගැහුවා.

"ඇයි ඇයි උඹලා නිකන් නෝන්ඩියට කියවන්නෙ? "

"ඇයි අහන්නෙ? උඹ විනාඩි දෙකක් පරක්කුයි.."

"ආ.. විනාඩි දෙක මොකක්ද බං. කෝ නිශා තාම නෑනෙ.."

"ඒක තමා.. මේකිට අදවත් එන්න බෑනෙ කලින් .. චික්.."

"ආ.. අර එන්නෙ කියනකොටම.."

"මොකෝ බං උඹ අදත් විනාඩි පහක් පරක්කුයි.."

"ආ.. කොහෙද බං, මට එන්න ඕනෙ වෙලාවට නැකැත් නෑනෙ  . අම්මා එන්න දුන්නෙ නෑ නැකැත් වෙලාව හරියනකම්.."

"හප්පටසිරි කිව්වලු.උඹ නැකැතුත් බැලුවද ?"

"නෑ බං, අපේ අම්මාට පත්තරයක තිබිලා අහුවෙලා. ඒ වෙලාවට එළියට බැස්සෙ."

"හරි හරි.. දැන් උඹලා මෙතනින් බස් එහෙක නගින්නෙත් නැකැතකටද??තව කවුද අඩු??ඔක්කොම ඉන්නවා නේද?"

හසී කෑගැහුවා. ඒ වෙද්දි හුඟාක් කට්ටියක් ටවුමට එකතුවෙලා හිටියා. අපේ ඉස්කෝලෙ නොවුනත්, අපි එක්ක එකට පංති ගියපු  අපේ යාළුවො කීපදෙනෙකුත්  එකතු වෙලා හිටියා.

"අහ්හ්..කෝ දසුන් එහෙම එනවද මෙහෙට?"

"නෑ හංසී..එයා තාත්තා එක්ක යනවා කිව්වා.ආපහු මෙහාට ඇවිත් යන එක අපරාදෙනෙ.."

"අහ්හ් ඔව් ඔව්.. එහෙනම් අපි හිස් සීට් තියන බස් එකක් බලලා නගිමු "

"ඒකතමා.. අන්තිම සීට් එක අල්ලගමු "

"ආන් කියනකොටම බස් එකක් එනවා.. නගිමු. නගිමු.."

"හා හා මම අල්ලගන්නම්කෝ පැනපු ගමන් අන්තිම සීට් එක."

නිශා නැගපු ගමන් අන්තිම සීට් එකේ වාඩිවුණා.

"කෝ මේ පෙම් මුල්ල එහෙම පුරුදුකාරයෝ ඉන්නවනම් එන්න. නැත්තම් වෙන තැන් වල වාඩිවෙලා නිකන් නුහුරුයි වගේ වුනොත්.."

"හම්මෝ..නිශෝ.. කෑගහන්න එපා බං. මේක බස් එකක්. යුනිෆෝම් එහෙකුත්  ඇඳගෙන පොඩ්ඩක් කට පරිස්සම්කරගනින්කො.."

"හා හා.. මගේ කට තමා උඹලාට ඉතිං කරදරේ.."

"කෝ කෝ මධු මෙහාට  එන්න..    මුල්ලට."

ඔක්කොමලා එකතුවෙලා මාව අන්තිම සීට් එකේ මුල්ලෙන් ඉන්ඳෙව්වා.මමත් මඩ කතා, නෝන්ඩි කතා , විහිළු තහළු මැද හිනා වෙවී ගිහින් මුල්ලෙන් වාඩිවුනා.

අපි මේ ලියන්න යන්නෙ ඒ ලෙවල් විභාගෙ කියලා හැම කෙනෙක්ටම වගේ අමතක වෙලා තිබුණේ වටපිට සිරි නරඹ නරඹ,කිසිම ගානක් නැතිව තමා බස් එකේ ගියේ.කොහොමටත් පාඩම් කරලා ලියන්න තියන ප්‍රශ්න පත්‍රයක් නොතිබුන නිසා,පාඩම් කර කර යන්න දෙයක් තිබුණෙත් නෑ..ගණිතය පළවෙනි ප්‍රශ්න පත්තරේ ට උත්තර ලියන්න ගෙදරදි තිබුණු බය මට මොහොතකට අමතක වුනේ මේ විහිළු තහළු, හිනා කතා නිසාමයි.

පැයක් විතර බස් එක ඇතුළේ නොයෙකුත් කතා එක්ක ගතකරපු අපි,ටවුන්හෝල් එකෙන් බැහැගෙනත්, පාර දිගට ඇවිදගෙන ගියේ නානාප්‍රකාර කතා කිය කිය විනෝදෙන් හිනා වෙවීයි.ප්‍රශ්න පත්‍ර බෙදන්න, විභාගෙ පටන්ගන්න විනාඩි 45කට කලින් අපි ඉස්කෝලෙ ඇතුලට ආවා.හුඟාක් දෙනෙක් හිනා වෙලා හිටියත්, ඒ මූණූ වල තිබුණු හැංගිච්ච චකිතයක් මට පෙනුණා. මම වගේම ඒ හුඟාක් දෙනත්, හිතේ හැගුණූ පුංචි හරි බයකින්, චකිතයකින් ඇති කියලා හිතුණා.

සියඹලා ගහ යට සිමෙන්ති බැම්මෙ වාඩිවෙලා නිකමට වගේ පොතක් පෙරළ පෙරළ උන්නු මට,ඈත තියාගෙනම හිනා වෙවී එන දීලූ යි, තමාෂියි අත වැනුවා. මමත් හිනා වෙවී අත වැනුවෙ නිරායාසයෙන්මයි.

"ගුඩ් මෝනින් මචෝ.. කොහොමද තත්වෙ?"

"මෝනින් මෝනින්!!! කියලා වැඩක් නෑ බං.. තත්වෙනම් බරපතලයි වගේ දිලූ.."

"අහ්හ්.. සේම් හියර් සේම් හියර් කෙල්ලෙ.."

"ඔන්න ඔය එන විදිහකට ලියපල්ලා ..වැඩිය හිතන්න, බය වෙන්න, දඟලන්න එපා.."

"නොහිතා කොහොමද බං.. මේ පේපර් එක අවුල් ගියොත් ඉතින්, අනිත් පේපර් ලියන්න විභාගෙට එන්න ඕනෙත් නෑ.."

"එහෙම හිතන්න එපා මධූ.. උඹට බැරි වෙන්නෙ නෑ..."

"හ්ම්... බලමුකෝ.."

"දැන් නම් වෙලාව ළඟයි.. උඹ හෝල් එක බලාගත්තද? විභාගෙ අංකේ දාලා තිබ්බා .."

"ඔව් ඔව්.. මට තියෙන්නෙ science section එකේමයි"

"අහ්හ්.. අපිටත් එකේමයි.. එහෙනම් කෙල්ලෙ, හොදට විභාගෙ කරපන්..ගුඩ් ලක්!!"

"හරි දිලූ.. උඹත් හොඳට කරපන්.. ඕල් ද බෙස්ට්!!"

"ඕල් ද බෙස්ට් තමාෂී!!"

"සේම් ටු යූ කෙල්ලෙ!!"

මම තමාෂිටත්, දිලූටත් සුභ පතලා, ෆෝන් එක අරගෙන දසුන්ට ආයෙමත් එස්. එම්.එස් එකක් යවලා ෆෝන් එක ඕෆ් කලා. ඊටත් පස්සෙ ඕන කරන පෑන් පැන්සල්, ඇඩ්මිෂන් එකත් අරන් දිලූයි, තමාෂියි එක්ක අනිත කට්ටිය ඉන්න තැනට ගියා.හැමෝම විභාගෙ පටන් ගන්න හදන මොහොතෙ ටිකක් බය  වෙලා උන්නෙ.හැම කෙනෙක්ටම සුභ පතලා, තම තමන්ගෙ විභාග අංක හොයාගෙන යන්න පිටත් වුනා.

මටත් පන්තියක මුල්ලෙ තිබුණු තැනක විභාගෙ ලියන්න නියමිත වෙලා තිබුණා.පුටුවෙන් වාඩිවෙලා, කැළඹිලා තිබුණූ මගේ හිත සන්සුන් කරගන්න මම 1 ඉඳන් 10ටත්,ආයෙමත් 10 ඉඳන් 1ටත් ගණන් කලා.උත්තර ලියන කඩදාසී බෙදන්න පටන්ගත්තා.තව විනාඩි කීපයකින් ප්‍රශ්න පත්‍රෙත් අතට ලැබෙනවා.

මගේ හද ගැස්ම තව තවත් වැඩි වුනා....ප්‍රශ්න පත්‍රෙ කොහොම වෙයිද?එන්න එන්නම හදවත ගැහෙන වේගෙ වැඩි වුනා....... නළලට හීනියට දාඩියත් දාන්න පටන්ගත්තා.. දෙයියනේ.. අවුරුදු දෙකහාමාරක ඉගනගත්තු දේවල්, වැය කරපු කාලය, වියදම් කරපු සල්ලි, ගඟට කපපු ඉණි වගේ වෙන්න නොදී රැකගන්න වෙනවා. හැම දේටම තියෙන්නෙ තව පැය 3ක් වගේ කාලයක්..... දෛවය මගේ ඉරණම කොහොම විසඳාවිද කියලා මම නොඉවසිල්ලෙන් වගේම තැතිගැන්විලා බලාගෙන උන්නා....

------------------------------------------------------------------------------------------------------------
දසුනුත්,මධූත් විභාගෙට කොහොම මූණ දෙයිද??බලාපොරොත්තු තබාගෙන බලන් ඉන්න උසස්පෙළ කඩඉම ජයගන්නට මධූට ,දසුන්ට හැකිවෙයිද??ඉන් පසුව ඔවුන්ගේ ආදර කථාවට හොඳ කලක් යයිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........   

ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............  

Post Comment

24 January 2012

අනේ... මටත් ලැබුණානම්.....

මේ හිතේ තියන දුක කියන්න,                                        
ළගින් ඉඳන් 
මේ මුතු කඳූළු පිසදාන්න,
අනේ...
මටත් තිබුණා නම් එහෙම ජීවිතයක්.......

දරාගන්න බැරි මේ හිත,
සැහැල්ලුවට අරන් 
තියන්න තිබුණා නම් පරිස්සමට,
අනේ... 
තවත් සුවඳැති හිතක් උඩින්.............

වැටුනූ වැටුනු මොහොතට
ආදරෙන් වැලඳගෙන නැගිටින්න,
රිදෙන රිදෙන වරෙකට 
හිමින් හිමින් හිස අතගා සනසවන්න,
අනේ...
මටත් ලැබුණානම් එහෙම හිතක උණුසුමක්......

දරාගන්න බැරි මේ පාළු තනිකම,
හිත ඇතුළෙ හිර කරන්
දුකක් නම් නොවිඳින්න,
රිදෙන හිත සැනසිලා, සතුට උතුරා යන්න
අනේ.....
මටත් ලැබුණා නම් අවංක ආදර හිතක්..........




_________________________________________
ප.ලි- ඔන්න මේක නිකන්ම නිකන්ම සිතුවිල්ලක් විතරයි. නැත්තම් හැමදාම මෙහෙම නිසැඳෙසක් දැම්මාම කට්ටිය මට බනින්න පටන් ගන්නවා..:D ඒ නිසා ඔන්න අද කිව්වා.;)

Post Comment

20 January 2012

- දඬුවම -

ඔන්න අද හිතුවක්කාරී කියන්න යන්නෙ පුංචි කාලෙ සිද්ධියක්. සිද්ධියක් කිව්වෙ මේ හිතුවක්කාර වැඩක් ගැන එහෙම නෙවෙයි.වරදක් නොකර ලැබුනු දඬුවමක් ගැනයි.


පුංචි කාලෙ,ඒ කියන්නෙ 1 වසරේ ඉඳන් 5 වසර වෙනකම් මම ඉස්කෝලේ ගියේ අපේ ගෙවල් වලට කිට්ටු නගරේ තියන ප්‍රාථමික ඉස්කෝලෙකට.අපේ ඉස්කෝලෙ සිරිතක් විදිහට වගේ, හැම අවුරුද්දකම දෙසැරයක් විතර හැම ළමයෙක්ගෙම අම්මා හරි තාත්තා හරි ඉස්කෝලෙ මුර සේවයට එන්න ඕනෙ.

දැන් බලයිනෙ මොකක්ද මේ මුර සේවය කියන්නෙ කියලා.මුර සේවය කියන්නෙ ඉස්කෝලේ ගෙට්ටුව ලඟ මුර කරන්න දෙමව්පියො එන්න ඕනෙ.ඉස්කෝලෙට ස්ථීරවම යොදවලා හිටපු ආරක්ෂක නිලධාරියෙක් හිටියා.එයාට අපි කිව්වෙ මුර අංකල් කියලා.එහෙම මුල අංකල් කෙනෙක් හිටියත් ,හැම ඉස්කෝලෙ දවසකම ඉස්කෝලෙ ඉන්න කාගෙ හරි ළමයි දෙන්නෙක්,තුන්දෙනෙක් ගෙ අම්මා හරි තාත්තා හරි ගේට්ටුව ළඟ මුර සේවයේ යෙදෙන්න එන්න ඕනෙ.හැම ළමයෙක්ටම අවුරුද්දට  දෙසැරයක්වත් ඉස්කෝලෙන් කොළයක් දෙනවා,දෙමව්පියො එන්න ඕනෙ දිනය සහ වෙලාව දන්වලා.ගේට්ටුවෙන් ඇතූළට යන එන අය ගැන බලන්න,ඉස්කෝලෙ ඇරුණූ වෙලාවට,පටන්ගන්න වෙලාවට ළමයි එහෙ මෙහෙ යද්දි ඒ ගැන බලන්න තමා මේ දෙමව්පියන්ට තියෙන රාජකාරිය.

සමහර අය ඉතින් මුර සේවයට ආවා කියලා ඔෆිස් එක ළඟ තියෙන පොතේ අත්සන් කරලා,පන්ති භාර මිස් ළඟ තියන පොතෙත් අත්සන් කරලා ගෙදර යනවා.එක එක විදියේ යටිකූට්ටු වැඩ ඔය කාරණාව සම්බන්ධව ඉස්කෝලෙ ඇතුළේ සිද්ධ වුණා.

මම කියන්න යන මේ සිද්ධිය වෙද්දි මම ඉගනගත්තෙ 3 පන්තියෙ.ඒ වෙද්දී අපේ තාත්තාත් කීපසැරයක්ම මුර සේවයට ඇවිල්ලා තිබුණා.ඒ මම 1 සහ 2 පන්තියේ ඉගනගනිද්දියි.ඔන්න ඉතින් සුපුරුදු විදියට  මුර සේවයට එන්න ඕනෙ දිනෙයි,වෙලාවයි දන්වලා ගෙදරින් එන්න කියන්න කියලා,තුනේ පන්තියේ මිසුත් මට කොළයක් දුන්නා.ගෙදරට ගිහින් මමත් අම්මාටයි තාත්තාටයි කොළේ පෙන්නලා,ටීචර් එන්න කිව්වා කියලා කිව්වා.

අම්මාට කොහොමත් එන්න වෙන්නෙ නැති නිසා තාත්තා එන්නම් කියලා කිව්වා වෙනදා වගේම. මල්ලියා චූටි නිසා අම්මාට මල්ලියාව දාල එන්න බැරි නිසාම ඉස්කෝලේ හුඟාක් වැඩ වලට ආවෙ තාත්තා.ඉතින් මේ දිනයටත් තාත්තා එන්නම් කියලා කිව්වා.

කොහොමහරි ඔන්න එදා ඉස්කෝලේ ගියාම,අපේ පන්තියේ මටයි තවත් ළමයෙක්ටයි තමයි මුර සේවයට අම්මාලා තාත්තාලා එක්කන් එන්න තිබිලා තිබුණේ.උදේ 7 ඉඳන් 11 වෙනකනුත්,11 ඉදන් 2.30 වෙනකනුත් වාර දෙකකට තමා මුර සේවය තිබුණේ.තාත්තා එනවා කිව්වෙ  11ටයි. අපේ පන්තියෙ අනික් ළමයගෙ ගෙදරින් කවුරුත් මුර සේවයට ඇවිත් තිබුණේ නෑ. මිස් ඒකට ඒ ළමයට දොස් කිව්වා හොදටම. මමත් ටිකක් බය වෙලායි හිටියෙ.මිස් මාවත් නැගිට්ටවලා ඇහුවා ගෙදරින් එනවා නේද කියලා. මමත් ඔව් ටීචර් කියලා හිටියා.

ඔන්න වෙලාවත් දැන් පහුවෙලා.ඒත් තාත්තා තවමත් ආවෙ නෑ.. ඉන්ටර්වල් එකේදි ගේට්ටුව ළඟට කිට්ටු කරලා තාත්තා එනවද කියලා බලාගෙනත් උන්නා.තාත්තා ආවෙ නෑ.."තාත්තට අමතක වෙලාවත්ද?" මට හිතුණේ එහෙමයි.අන්තිමට පන්තියට ගියාම මිස්ට හොදටම කේන්ති ගිහින්.

"කෝ හිතූගේ තාත්තා ආවෙ නෑනෙ??"

"එයි ටීචර්.තාත්තා එනවා කිව්වා."

"එනවනම් දැන් එන්න එපැයි..කෝ නෑනෙ..රංගිගෙ තාත්තා ආවෙත් නෑ උදේ..මගේ පන්තියෙ අද එන්න ඕනෙ දෙමව්පියෝ කවුරුත්ම නෑ.."

ඔන්න ඉතින් පුංචි හිතූට පංතිභාර මිස්ගෙන් අහගන්න වුනේ ඔහොම කතා ටිකක්. තාත්තා එනවා කියලා නොඑන්න ඇත්තෙ මොකක්හරි හේතුවක් නිසා වෙන්න ඕනෙ, නැත්තම් තාත්තා නෑවිත් ඉන්නෙ නෑනෙ. මගේ පුංචි මොළේට තේරුණූ දේ ඇයි මේ මිස්ට නොතේරෙන්නෙ කියලා මම කල්පනා කළා.

"මේක හරියන්නෙ නෑ..හිතූ..නැගිටිනවා..රංගි ..ඔයත් නැගිටින්න. දෙන්නම යන්න එළීයට.පන්තියෙන් එළීයට යන්න.ගිහින් පන්තිය මුර කරන්නකෝ දෙන්නාම.දෙමව්පියන්ට එන්න බැරිනම් අපිටත් කරන්න දෙයක් නෑ.."

ඔන්න ඉතින් අන්තිමේදි,මිස් මාවයි,රංගිවයි දෙන්නවම පන්තියෙන් එළියට දැම්මා.මටනම් පොඩ්ඩක් සතුටුත් හිතුනා.මොකද එදා ,මිස් උගන්වන්න ගත්තෙ පරිසරය පාඩමක්.මට පරිසරය පොතේ පිටු ගාණක් සටහන් ලියන එක තරම් එපා කරපු වැඩක් ඒ කාලෙ තිබුණේ නෑ.පිටු ගානක් කියන්නෙ ඉතින් පිටු 4ක් ලියයි වැඩිම වුනොත්.පුංචි වයසට ඉතින් ඒකත් ලොකු ගානක්නෙ.;)

කොහොමහරි නොකරපු වරදකට,මිස් දඬුවම් කලේ අහිංසක මටයි, අනිත් ළමයටයි.ගෙදරින් කවුරුත් මුර සේවයට ආවෙ නෑ කියලා අපිව පන්තිය මුර කරන්න එළියට දාපු මිස් ,ඉස්කෝලෙ ඇරෙන වෙලාව වෙනකම් පුංචි අපි දෙන්නාව එළියෙ  තිබ්බා.

කොහොමහරි එදා දවල් මම වෑන් එකේ ගෙදර ගිහින් අම්මා එක්ක සිද්ධිය කිව්වා.ඉස්කෝලෙදි ගාණක් නොතිබ්බත්,ගෙදර ගියාම තාත්තා ආවෙ නැති එකට හිතූට ටිකක් අප්සට් ගියා.අම්මාටත් දුකයි හොඳටම. තාත්තාට එන්න බැරි වුනු නිසා මිස් මාව පන්තියෙන් එළීයට දාපු නිසා අම්මා ගොඩාක් දුක් වුනා.ඊටපස්සෙ තමා අම්මා කිව්වෙ,තාත්තාට හදිස්සියෙම දුර ගමනක් යන්න වෙලා,කියපු වෙලාවට එන්න පුළුවන් වෙලා නෑ කියලා.

හැබැයි අම්මා ඊටපස්සෙ මට කොන්දේසියක් දැම්මා,මාව පන්තියෙන් එළියට දාපු කතාව තාත්තාට කියන්න එපා කියලා.එහෙම කිව්වොත් තාත්තාට හුඟාක් දුක හිතෙයි වගේම,තරහ ආවොත් ඉස්කෝලෙට ගිහින් මිස්ට දොස් කියන්නත් ඉඩ තියෙනවා කියලා.එක දවසක් හදිස්සියකට එන්න බැරි වුනාට ,වෙන දවසක එන්න කියනවා වෙනුවට මාව පන්තියෙන් එළියට දැම්මා කිව්වාම තාත්තාට තරහා යයි කියලායි අම්මා කිව්වෙ.

ඔය සිද්ධියෙන් පස්සෙ මට ඒ මිස්ව ටිකක් එපා වුණා.මොකද හිතුවක්කාරී වුනත් හිතූ එහෙම දඟ වැඩ කරලා නෑ වැඩියම.පොඩි අතපසුවීමකට පැයක් විතර පන්තියෙන් එළීයට දැම්ම නිසා හිතූ හිතාගෙන හිටියෙ ඒ මිස් හරිම නපුරුයි කියලා.කොහොම හරි ඉතින් පස්සෙ කාලෙක තාත්තාත් සිද්ධිය දැනගත්තා.ටිකක් තරහත් ගියා.දුකත් හිතුනා.තාත්තාට කිව්වෙ නැත්තෙ ඇයි කියලාත් දොස් අහගන්න වුනා. 

අන්තිමේදි මගෙ අතින් නොවුනු වරදකට,3 පන්තියේ මිස් මට දඬුවම් කළා.පුංචි කාලෙ ඉස්ඉස්සෙල්ලාම මතක හිටින විදියෙ දඬුවමකට ලක් වුනේත් 3 පන්තියෙ වුනු ඔය සිද්ධිය නිසාම තමා.

පවු නේද පුංචි අහිංසක හිතුවක්කාර මම??? :D

Post Comment

18 January 2012

තටු සිඳුනු සමනළී -17 වන කොටස

දැන් දැන් කතාව එන්නම එන්නම දුක පැත්තටම හැරෙනවා කියලා තමා කට්ටිය කියන්නෙ..:) ඒ නිසා කියවන්න එද්දි අපේ මධුරංග අයියා වගේ, ලේන්සුවක් එහෙම අරන් කියවන්න ආවට කමක් නෑ..මුල කොටස් අමතක අයයි, කතාව කියවන්න අද ඉඳන් එකතු වෙන අයයි මුල කොටස් කියවලාම එන්නකෝ...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16

අද 17 වන කොටස මෙතැන් සිට........

-------------------------------------------------------------------------------------------------------------

කාලය ගත වුනා.ඔරලෝසුවෙ කටු කැරකුනේ හිතාගන්න බැරි වේගයෙන්.මම  හැමදාමත් එකම විදියට ප්‍රශ්න ගොඩක් මැද්දෙ මිරිකෙමින් කල් මැරුවා.හැමදාකම නරක කාලෙ එන්නෙ නෑ වගේ, මගේ ජීවිතේටත් හොද කාලයක් එයි කියලා මම මඟ බලගෙන උන්නා.ජීවිතේ සමහර අමාරු කාල වලදි ටිකක් ඉවසීමෙන් බලගෙන ඉන්න වෙන බව මම දැනන් උන්නා. මේ කටුක සමය හමාර වෙලා, වසන්ත කාලෙ උදාවෙනකම් මම ඇඟිලි ගැන්නා.ගහකට වුනත් හැම වාරයකම මල් පිපෙන්නෙ නෑ.කොළ හැලිලා, මල් හැලිලා, කේඩෑරි වෙලා යන අවාරයක්  එනවා.මගේ ජීවිතේත් එහෙම ගහකට සමාන කරපු මම කාලයට ඉඩ දීලා බලන් උන්නා. වෙන කරකියාගන්න දෙයක් නැතිවම.

විභාගෙට තියෙන්නෙ තවත් සති දෙක තුනක වගේ කාලයක් විතරයි.දසුන් මේ දවස් ටිකේ ටිකක් රණ්ඩු කරන්න අමතක කරලා වගේ කියලා දැනුනා.ඒත් ඒ හා සමානවම ආදරේ කරන්නත් දසුන් අමතක කරලා තිබුණා.විභාගෙ ඉවර වුනාම හැමදෙයක්ම හරියාවි කියලා හිතුනත්, තියන ප්‍රශ්න තව තවත් වැඩිවෙයිද කියලා යටි හිතේ පුංචි බයක් නොතිබුණා නෙවෙයි.විභාගෙ කට ළඟටම ඇවිත් නිසාම හිතේ තිබුණේ ලොකු තිගැස්මක්.

අන්තිම වතාවට අපි මුණ ගැහුනෙ, පළවෙනි වතාව අපි හමුවුනු, ගණන් පංතියෙදිමයි. එදා ගණන් පංතියෙ අවසාන දවස නිසා දැනුනෙ ලොකු දුකක්. අපි හමුවුනු, හිනාවුනූ, කතාකරපු, ආපු ගියපු ,අපේ ආදරේ පටන්ගත්තු ,ඒ බිත්ති හතර අතෑරලා යද්දි,යාලූවො එක්ක පිස්සු නටපු ඒ කාලෙ අදින් ඉවරයි නේද කියලා හිතෙද්දි ,හිතට දැනුනු හැඟීම හරිම දුක්බරයි.

ඒත් කාලය නැවතිලා තියෙන්නෙ නෑ..අපි නැවතුනත් කාලය ගත වෙනවා.ඒකයි ඇත්ත.පංතියෙ අන්තිම දවස නිසා ලෑස්ති කරලා තිබුණු අවසාන භෝජන සංග්‍රහය බුක්ති විඳලා, සිංදු කියලා, නටලා, හිනා වෙලා, අඬලා,සමරු පොත් වල අත්සන් අරන් අන්තිමේදි අපිට වෙන්වෙන්න වුනා.රෑ අදූර වැටීගෙන එන හවස් යාමේ, රොටරියෙ ගේට්ටුවෙන් එළියට එද්දි ,මම ආයෙමත් වතාවක් රොටරිය දිහා හැරිලා  බැලුවා.ඒ අබලන් ගොඩනැගිලි ඇතුළේ ලියැවුනු අපේ කතාවල්, ඒ ඩෙස් බංකු,බිත්ති වල විතරක් නෙවෙයි, සදාකාලිකවම අපේ  මතක අතරේත් තැන්පත් වෙලා හමාරයි.

හසී, නිශා, දිලූ, කෞෂී අපි හැමෝම හිටියෙ ඒ ගතවුනු කාලෙ ගැන හිතින් මතක් කරමිනුයි.දසුනු ත් මාත් එක්කම සමාන්තරව ඇවිදගෙන ආවත්, කතාවක් බහක් තිබුනෙ නෑ. සමුද්‍රදේවි පාරෙන් එළියට එනකම් ම අපි අතරේ තිබුණේ ලොකු නිශ්ශබ්ධතාවයක්. අපේ පිටිපස්සෙන් ආව දසුන්ගෙ යාලුවො ටිකත් නුගේගොඩ හංදියෙන් වෙන්වෙලා ගියේ විභාගෙට හැම කෙනෙක්ටම සුභ පතලයි.

"දැන් දසුන් ලෑස්තියි නේද ඔයා විභාගෙට?" මම නිහඬ බව බින්දා.

"ම්ම්ම්ම්ම්......"

"මොකද කතා නැත්තෙ? මාත් එක්ක තරහින් වගේ?"

"එහෙම නෑ.. මට ඇති ලෑස්තියක් නෑ.. ඔන්න ඔහේ ලියලා දානවා."

"හ්ම්.. ඔයාට මට වඩා පුළූවන් නෙ. ඔයා පාස් වෙයි.බය වෙන්නෙපා දසුන්. ඔයාට පුළුවන්."

"පිස්සු හැදෙයි.. මට නෝට්ස් ඇත්තෙත් නෑ සමහර එව්වාගෙ.ෆොටෝකොපි කරගන්නත් බැරිවුනා, මොකෙක්වත් පොත් දෙන්නෙ නෑනෙ. "

"ඉතිං මට කිව්වෙ නැත්තෙ ඇයි?? මම ඕන ටික ෆොටෝ කොපි ගහලා ගෙනත් දෙනවනෙ.."

"හ්ම්.. එච්ච්ර ගොඩක් නෑ... Chemistry අන්තිම පාඩමේ නෝට්ස් මිස් වෙච්ච ටිකක් තියෙන්නෙ.. "

"එහෙනම් හෙට ඇඩ්මිශන් ගන්න යද්දි හම්බෙමු.. මම ෆොටෝකොපි කරලා දෙන්නම් නෝට්ස් ටික."

දසුන් රණ්ඩුවට නැතිව ,සාමයෙන් හොඳින් කතා කරපු නිසා සතුටෙන් ඉපිළෙමින් උන්නු මට දසුන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් හැඟීමකුයි තිබුනෙ.

"හා.බලමුකෝ මම අද රෑ වෙලා කියන්නම්කෝ.එහෙම වුනොත් හෙට ඉස්කෝලෙ ඇරිලා යනගමන් හම්බවෙමුකෝ.."

"හා හා.. අනේ ඔව් දසුන්... එහෙම කරමු.. බලන්න දෙයක් නෑ..."

මට එහෙමම කියැවුනා. සංතෝසෙට උඩ පනින්න තරම් හිතුණා. දෙයියනේ කියලා හිත සතුටින් , නිදහසේ විභාගෙ කරන්න පුළුවන් දසුන් මෙහෙම හොඳින් හිටියොතින් විතරයිනෙ.අතෑරලා දාලා තිබුණූ බලාපොරොත්තු ආයෙමත් අලුත් වුනා. ඒ බලාපොරොත්තු වලට පණ දන්නෙ දසුන්.

මගේ දුකට සැපට ලඟින් උන්නු වගේම  ඉන්න, අතිජාත යාළුවො සෙට් එකත් එක්කත් ඒ අන්තිම දවසේ ,දසුන් හුඟාක් සතුටින් කතා කළා. විහිළු කළා. ඇත්තටම ඒ වෙනස මට ප්‍රශ්නාර්ථයක් ගෙනාවා වුනත් ලොකු සතුටකුත් එකතු කළා.

"කෙල්ලෝ කාළගුනේ වගේ කිව්වට බැලුවාම කොල්ලොත් එහෙමනෙ." මම මටම කියගත්තෙ දසුන්ගෙ වෙනස්වීම් හරිම පුදුමසහගත නිසා.

අන්තිමේදි අපි හුඟාක් ළඟින් ,ඉස්සර තරම්ම බැදීමෙන් නොවුනත්,මොකක්දෝ අමුතු ලෙංගතුකමකින් ළංවෙලා ඉඳලා වෙන්වුනා.ආයෙත් පහුවදාට හම්බවෙන්න බලාපොරොත්තුවෙන් දසුන්ගෙනුත්,මගේ යාළුවොන්ගෙනුත් වෙන්වෙලා ගෙදර ආව මට , හිත පුරා දැනුනේ පුදුම සැනසීමක්.

තමන්ට ළඟින් ඉන්න,මහ මෙරක් ආදරේ කරන කෙනෙක්ගෙන් ,හිතට ලැබෙන ධෛර්‍ය,ශක්තිය තරම් ආත්ම ශක්තියට රුකුලක් වෙන දෙයක් තවත් නැති බව දසුන්ගෙ මේ ලෙංගතුකම මට සහතික කළා.ජීවිතේ අමාරු තැන් වලදි ,බාධක ,අභියෝග  හමුවේ තමන්ගෙ අයගෙන්,තමන්ගෙ කියලා පපුවෙ තියාගෙන ඉන්න අයගෙන් ලැබෙන ධෛර්‍යමත් වචන,අවවාද ,ආදරය විශාල ආශිර්වාදයක් වෙන බව මම අහපු දැකපු සත්‍යක් .ඒ වගේම ජීවිතේ දිනපු හුඟාක් මිනිස්සුන්ගෙ පිටිපස්සෙ ,යෝධ හෙවණැලි වැටිලා තිබිලා තියෙනවා.ඒ හෙවණැලි ආදරේ සංකේත විදියට අදහනවා  මම දැකලා තිබුණා.

මටත් මගේ අම්මා,තාත්තා වගේම දසුන්ගෙන් ලැබෙන එක කාරුණීක බැල්මක වුනත් මහා වටිනාකමක් දැනුනා.එක ආදරණීය වචනයක් වුනත් ලෝකයක් තරම් දැනුනා.මං හිතන්නෙ ආදරේ එහෙමයි..රත්තරං,මුතු මැණුක් නැතත් මනුස්සකම,ආදරේ,ගෞරවේ තියෙනවනම් ජීවිතේ විඳින්න පුළුවන්.දිනන්න පුළුවන් කියලා මම විශ්වාස කළා.දිනාගන්න බැරි හුඟාක් දේවල් දිනාගන්න ශක්තිය ලබාගන්න ආදරේ හොඳ උත්ප්‍රේරකයක් කියලාත් මම තදින්ම  විශ්වාස කළා.

------------------------------------------------------------------------------------------------------------
පහුවදා ඉස්කෝලෙ ගිහින් වුනෙත් වෙන්වීමේ කඳුළු අලුත් වුන එක විතරයි.අවුරුදු හතක් ඉගනගත්තු ඉස්කෝලේ, අවුරුදු දහ තුනක පාසැල් ජීවිතේ, මේ හැමදේකම සමුගැනීම එකම දවසක සිද්ධ වෙනකොට හිනා වෙන්න පුළුවන් කාටද?ඇඩ්මිශන් අරගෙන ඉස්කෝලෙ වටේම ඇවිදලා හැම මිස් කෙනෙක්ටම කතා කරලා වැඳලා ආශිර්වාද ගත්තා.

ඔය අතරේ මගේ හිතට ලොකුම ලොකු හයියක් දැනුනේ O/Lපංතියෙ විද්‍යාව උගන්වපු රණවන මිස්ගෙ වචන ටිකයි.


"පුතේ,A/L කියන්නෙ ජීවිතේ එක කඩඉමක් විතරයි. ඒක දිනන්න, සාර්ථක කරගන්න උපරිම උත්සාහ කරන්න. හැබැයි පුතේ බැරිවෙලාවත් අසාර්ථක වුනොත්,ජීවිතේ එතනින් ඉවර වෙන්නෙ නෑ..තමන් පැරදුනත් කවදාවත් මුළු ජීවිතෙන්ම කඩාවැටෙන්න එපා.මොකද පුතේ හැම පරදින මනුස්සයෙක්ටම දිනන්න මාර්ගයක් මැවෙනවා.ඒ නිසා ජීවිතේ කිසිම දවසක එක පැත්තක් අසාර්ථක වුනු පළීයට ජීවිතෙන්ම කඩා වැටෙන්න එපා."


මිස්ට දණගහලා වඳිද්දි මගේ ඇස් වල කඳුළු පිරුණා.මගේ ජීවිතේ මට හම්බ වුනු හොඳම ගුරුවරුන්ගෙ නම් ලැයිස්තුවෙ උඩින්ම උන්නු රණවන මිස්ට මම හැමදාමත් හුඟාක් ගරු කළා.

අවසානෙදි ඉස්කෝලෙ හැම ගහක් වැලක්,ගොඩනැගිල්ලක්  ගානෙම බඩගාගෙන ,උඩනැගගෙන පින්තූර ගත්ත අපි, හිනා වුනා. ඇඬුවා, කෑගැහුවා.එකට වැළඳගෙන දුක සතුට බෙදාගත්තා. අතීත මතක අතරට එකතු වුනු අපේ සැමරුම් හුඟාක් සංවේදී වුනා.ඉස්කෝලෙන් ඉවරවෙලා මම දසුන් මුණ ගැහෙන්න යන්න තිබුණූ නිසා, හසීටත්, නිශාටත්, හංසිටත්, බස් එකේ අපේ සෙට් එකෙනුත් සමුගත්ත මම ටවුන් හෝල් එකට එන්න පිටත් වුනා.

දසුනුත් මමත්, ඉස්කෝලෙ දවස් වල මුණ ගැහුනේ බොහෝමත්ම අඩුවෙන්. ඉස්කෝලෙ යුනිෆෝර්ම් එක ඇඳගෙන පාරෙ කතා බහ කරන එක ,හිරේ විලංගුවෙ වැටෙනවට වඩා බරපතල දෙයක් වුනු නිසාම , හුඟාක්ම හදිස්සි, වැදගත්ම විශේෂ දෙයකට හැරෙන්න අපි ඉස්කෝලෙ දවසකට මුන ගැහුනෙ නෑ..

අවුරුදු දෙකක් තිස්සෙ ඉස්කෝලෙන් බලපෑමක් නොතිබුණූ මට, මේ අන්තිම මොහොතෙ අන්තිම දවසෙ , චෝදනාවක් දමාගන්න වුනොත් කියලා බයටම මම පරිස්සම් වුනා.කොහොමටත් ඉස්කෝලෙ ඇරුනු වෙලේ වාහන තදබදයත් එක්ක දසුන්ට , තුම්මුල්ලේ ඉඳන් ටවුන් හෝල් එකට එන්න වෙලාවක් ගතවෙන නිසා මම හිමින් හිමින් ඇවිදගෙන බස් හෝල්ට් එක පැත්තට ගියා.

"දෙයියනේ... දසුන් ඇවිත්නෙ..."

ඈත තියාම දසුන්ව දැක්ක මට කියැවුනා.

"මෙයා කොහොමද අද මෙච්චර ඉක්මණට ආවෙ.වෙන්දට පරක්කු වෙනවනෙ.දැන් ඉතින් ඉවරයි.මම පරක්කුයිනම් බැනුම් තමා."

එහෙම හිතමින්ම දසුන් ළඟට කිට්ටු වුනා.

"ඔයා ඇවිත් හුඟාක් වෙලාද?

වටපිට බලලා පරිස්සමට හිමින් සැරේ දසුන්ගෙන් එහෙම ඇහුවෙ බැනුම් අහගන්න වෙයි කියලා බලාපොරොත්තුවෙන්මයි.

"නෑ..නෑ..දැන් චුට්ටකට කළීන් ආවෙ.අද ඩිංගක් වේලාසන පැන්නා."

"හා හා..ඕගොල්ලොන්ගෙ ඉස්කෝල නිසා හොඳා..කොල්ලොන්ට මොන නීතිද ඉතින්.. අපිට තමා ඔක්කොම.."

"ඒකනෙ... අද අන්තිම දවසෙ ඔය නීතී නෑ...අන්න බස් එකක්..යන්ද?නැත්තම් පරක්කුවෙයි මට."

"හා යමු..."

හුඟාක් කාලෙකට පස්සෙ හිතට ලොකු සැනසීමක් දැනුනා. දසුන්ට ඕනෙ කරන නෝට්ස් ඔක්කොම ගෙනත් දුන්නු මම ලොකු සතුටකින් උන්නා. දසුනුත් රණ්ඩු කරන්න, බනින්නෙ නැතිව කරුණාවෙන් කතා කලා.සමහර විට විභාගෙ ළඟ නිසා දසුන් මගේ හිත නොරිදා ඉන්න හිතුවා වෙන්න ඇති. කොහොම වුනත් දසුන් බස් එකෙන් බහින්න යද්දි හිතට මහා දුකක් දැනුනා. දසුන්ට මගේ ඇස් වලින් ඒ බව පෙනිලාද මන්දා මගෙන් ඇහුවා.

"මම එන්නද ඔයාව ටවුමෙන් බස්සන්නම?"

"නෑ දසුන් කමක් නෑ.. ඔයාට පරක්කුවෙනවා. ඔයා යන්න.නැත්තම් ආයෙත් එද්දි පරක්කුවෙයි."

"හ්ම්ම්.. එහෙනම් විභාගෙ දවස් වලදි හම්බවෙමු.. පරිස්සමින්."

"මොහොතකට දුකක් ආවත්,ආයෙත් හම්බෙමු කියන දසුන්ගෙ කටින්ම කියැවුනු ඒ වචන ටික මට ලොකු සතුටක් ගෙනාවා."

"හරි දසුන්. පරිස්සමින්.බුදුසරණයි!!!"

අන්තිම වතාවට මම එදා දසුන් ගෙන් සමුගත්තා.ආයෙත් විභාගෙ ඉවරවෙලා හම්බෙන බලාපොරොත්තුවෙන්.

ඇත්තටම දසුන් මෙහෙම වෙනස් වෙන්න, ආයෙමත් ඉස්සර හොඳ, අහිංසක දසුන්ම වෙන්න හේතුව හිතාගන්න බැරිව කල්පනා කළා. දසුන් වෙනස් වුනේ විභාගෙ ලඟ නිසාවත්ද??

------------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ වෙනුවෙන් දසුන් වෙනස් වෙයිද?බලාපොරොත්තු තබාගෙන බලන් ඉන්න විභාගෙට කුමක් වෙයිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........  


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............ 

Post Comment

15 January 2012

ඇවිත් යන්න එන්න.....

හිම කැට කැට වැටෙන මේ සීතලේ....
හිරිගඩු පිපෙන ,

හිම වැහි වැටෙන සැඳෑවෙ......
දෑස් පියන් විවර කරන්,
ගැහී ගැහී සීතලට ගුලි වෙවී,
බලාන ඉන්නෙ මං ,ඈත මඟ දෙසම.....
ඒවිදෝ කියා නුඹ ,
මේ සීත සමයේවත්.........
උණුහුමට ළඟ ඉන්න,
නළලත හාදුවක් තියන්න,
දවස තව ඈතයි ද,
නොදනිමි කිසිවක්ම හරි හැටියට....
එනමුත්, 

සැමදාම බලන්නෙමි මඟ දෙසම....
නුඹ අද ඒවි, හෙට ඒවි,
දෑසම අයාගෙන ඉමි.....
අනේ......

නුඹ මේ සීත සමයේ වත් 
ඇවිත් යන්න එන්න.............

Post Comment

12 January 2012

තටු සිඳුනු සමනළී -16 වන කොටස

මෙදා සැරේනම් ඉක්මණින් ලිව්වා ඔන්න ඉතුරු කොටස.:D හිතූ හොඳයි නේද??? :) මට චෝදනා කලා, පරක්කුයි කියලා තර්ජන කලා. ඉතින් මම බය වෙලා කලින්ම ලිව්වා..ඔන්න එහෙනම් කියවපු නැති අය මුල කොටස් ටික කියවලා, අමතක අයත් මුල කොටස් කියවලා එන්නකෝ..:)

තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15

අද 16 වන කොටස.........
------------------------------------------------------------------------------------------------------------

"ඒ ගමන මොන හෙණ ගෙඩියක්ද මේ පාත් වෙන්න හදන්නෙ??" මට එකපාරටම උන්හිටි තැනුත් අමතක වෙලා ගියා...අම්මා ළඟම ඉඳන් කට දිහා බලාගෙන ඉන්නවා.. මොනා කරන්නද මන්දා.. කමක් නෑ.. බැන්නත් මොනා කරන්නද, අහගෙන ඉන්නවා...

"හෙලෝ...හෙලෝ"

දසුන්ගෙ අක්කා එහා පැත්තෙන් ආයෙමත් කතා කළා.මගෙන් සද්දයක් නැත්තෙ මොකද බලන්න ඇති.

'අහ්හ් ඔව් අක්කෙ..කියන්න.."

"අහ්හ් මොකක්ද නංගි මේකෙ තේරුම?මොකක්ද මේ විකාරෙ?? දසුන් ඔයා එක්ක රවුම් ගහනවා අපිට ආරංචි වුනා. දැන් විභාගෙ ළඟයි නේද??කිසිම පාඩමක් කරන්නෙ නෑ..අනේ මංදා..."

"ම්ම්.. මේ..මේ නෑ අක්කෙ...මම කියන්නම්කෝ.. මම කියන්නම්කෝ එයාට...."

"ඇයි නංගි ඔයාට කතාකරන්න අමාරුද ඔතන?? මම මොබයිල් එකට ගන්නම්.. ඉන්න."

"හා හා අක්කා...ගන්නකෝ....එහෙනම්  තියන්නම් මම..බායි.."

"ඕකේ... බායි.."

හම්මෝ... හිතට දැනුන සනීපයක්. ඇති යාන්තම්.. තව ටිකක් කතා කළානම් වෙන්නෙ මට ගෙදරිනුත් බැනුම් අහගන්න තමා. මටම හියාගත්ත මම එහෙම්ම කාමරේට දුවන්න ගියේ දැන් තක්ෂිලා අක්කා මොබයිල් එකට කෝල් කරන නිසා.

"කවුද ලමයෝ කතා කලේ??"

"අහ්හ් මේ අපේ ස්කූල් බස් එකේ ගිය අක්කා කෙනෙක් අම්මා.. යාලුවෙක්ට පණිවිඩයක් කියන්න.."

කටට ආපු බොරුවක් අම්මාට කියලා දැම්ම මම ඉක්මණින්ම කාමරේට දිව්වා..එක අතකින් කෙල්ලෙක් වුනාම මොනතරම් දුකක්ද කියලාත් හිතුනා. මගේ කිසිම වැරැද්දක් නැතිවත්, අන්තිමේදි,  දසුන්ගෙ ගෙදරිනුත් බැනුම් අහන්න වෙන්නෙ මටමයි.මේක හරිම අසාධාරණ ලෝකයක්..මිනිස්සු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරයි, තමන්ගෙ අය ගැනම විතරයි.දෙයියනේ හැම දේටම වැරදි දැන් එතකොට මමද?? තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න...

කාමරේට යනකොටත් මගේ මොබයිල් එකට දසුන්ගෙ අක්කාගෙන් කෝල් එකක්..

"හෙලෝ අක්කා.. කියන්න.."

"ම්ම්.. මේකයි නංගි..මම කියන්නෙ නෑ ඔයාට ඔය සම්බන්ධෙ නවත්වන්න කියලා. හැබැයි අපේ අම්මාලා, තාත්තලා කතා කළොත් එයාලනම් කියන්නෙ ඒක තමා. මොකද මල්ලිට කොයිතරම් කිව්වත් එයා ගනන් ගන්නෙ නෑ.. සම්බන්ධෙ තිබුණත් ප්‍රශ්නයක් නෑ.. ඉගනගන්න ටිකවත් හරියට කරනවනම්.. කිසිම දෙයක්  නෑ..."

"ම්ම්.. මම කියන්නම් අක්කි දසුන්ට. අනේ මංදා, එයා මාත් එක්කත් රණ්ඩු කරනවා.මට තේරෙන්නෙ නෑ.."

"එයා ගෙදරත් එක්ක ඉන්නෙත් තරහින්... අපිට තේරෙන්නෙත් නෑ...තාත්තිටත් තරහා ගිහින් තියෙන්නෙ. මට ඔයාලව තේරුණාට එයාල එහෙම නෑනෙ. එයාලා කියන්නෙ ඉතින් සම්බන්ධෙ නවත්වන්න කියලා තමා. අනික තාත්ති ඉන්නෙ එයාව එහ්සෑම් එකෙන් පස්සෙ රට යවන්න. ඉතින් එයා එක සැරෙන් විභාගෙ පාස් වෙන්න ඕනෙ."

"ඔව්.. මට දසුන් කිව්වා. එයාව රට යවන්න හදන්නෙ කියලා."

"ඒක තමා නංගි.. ඔයත් හොඳ ළමයෙක්නෙ. ඉතින් ඔයත් මේ කාලෙ පිස්සු නටන්නෙ නැතිව ඉගනගන්න එක හොඳට කරගන්න. මොකද අපි දන්නෙ නෑනෙ මොනා වෙයිද කියලා. වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා."

"හ්ම්ම්......."

"මම කතා කලේ හුඟාක් දවසක් බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැනයි... පුළුවන් නම් වෙනසක් කරන්න බලන්න. හැබැයි මල්ලිට කියන්න එපා මම ඔයාට මෙහෙම කතා කලා කියලා හරිද?? එහෙම වුනොත් එයා මාත් එක්ක රණ්ඩු කරන්න ගනී.."

"හරි අක්කෙ.. මම පොරොන්දුවෙන්නම්.. කියන්නෙ නෑ මම."

"තෑන්ක්ස් නංගි...හොදට වැඩ කරලා ගොඩ යන්න බලන්න...මම එහෙනම් තියන්නම්..බුදුසරනයි!!"

"ඕකේ අක්කා.. බුදුසරණයි!!!"

මොනාද මේ මට වෙන්න යන්නෙ?? මම මොන පාපකර්මයක් කලාටද දෙයියනේ මෙහෙම මට වෙන්නෙ?ආයෙමත් ප්‍රශ්නෙක පැටළුනා මම. දසුන්ගෙ අක්කාත් මගේ කර උඩ තිබ්බෙ එසේ මෙසේ බරක්ද ,කරට නෙවෙයි ඇත්තටම හිතට මොන තරම් බරක්ද මේක.

මම ආයෙමත් සැරයක් අසරණ වුනා. දසුන්ගෙ ගෙදර තත්වෙ එච්ච්ර හොඳ මට්ටමක තිබුණේ නෑ.. එයාල කියන්නෙ සම්බන්ධෙ නවත්වන්න කියලා. දසුන් මේ තරම් මුරණ්ඩු වෙන්න, දරදඬුවෙන්න හේතුවත් දිගින් දිගටම ගෙදරින් එල්ල වෙන බලපෑම්ද දන්නෙ නෑ...ඒත් මම කියලා මොනාකරන්නද දෙයියනේ.....දසුන්ට ගෙදර අයගෙ හිත දිනාගන්න විදියට ඉමු කිව්වත්, එහෙම ඉන්න දසුන් අකමැති වුනා.

------------------------------------------------------------------------------------------------------------


විභාගෙට තවත් මාස 4යි.. මම එන්න එන්නම වැටෙනවා. නැගිටින්න හදන මොහොතක් ගානෙ මාව වැටෙනවා.හිත හදාගන්න ධෛර්‍ය ගන්න මොනතරමක් හැදුවත්, මගේ දුර්වල හිත මාව ආයෙමත් වට්ටනවා.අවු 19ක කෙල්ලෙක්ට දරාගන්න බැරිතරම් මගේ පිට චෝදනා, ඇනුම් බැනුම් ගැරහුම් පැටවිලා. කිසිම කෙනෙකුට හිතා මතා වරදක් නොකළ මම කීපදෙනෙක්ගෙ චෝදනාවට ලක් වෙලා. තියෙන ලොකුම දුක ඒ අතරේ දසුනුත් ඉන්න නිසායි.

 අති උතුම් පූජනීය ආදරයක් වන්දනා කරන්න හද බැතියෙන්ම වන්දනාවෙ යන්න පටන් ගත්තු මට, පාර වැරදුණාවත්ද?? ශ්‍රීපාදෙ වඳින්න , ඒ සිරි පතුල සිඹින්න පේවි ගෙන  පියාඹන පුංචි සමනල පැටියෙක්ට පාර වැරදුනා වගේ, මගේ ජීවිතේත් මම හොයාගෙන ආපු ඒ නිර්මල ආදරේට ළං වෙන්න බැරිවෙන්න තරම් මම මේ ජීවිතේ අතරමං වෙලාවත්ද?? දාහක් සිතුවිලි අතරේ මගේ හිත හොල්මන් කලා. පටන්ගන්න, අවසාන කරන්න, ඉමක් කොනක් හොයාගන්න බැරිව මම අසරණ වෙලා. "ජීවීතෙ දුකක් තමා. ඒත් උඹලාට මේ ජීවිතෙන් පැනලා යන්න බෑ.. ඒකට මූණ දෙන එකයි හපන්කම." Physics උගන්නපු අපේ පංතියෙ සර් හැම වෙලේම කිව්වෙ එහෙමයි.. ඒත් සර් කියන තරම් මේ කඩදාසි හිත හයිය කරගන්න ලේසි නෑ..පුංචි වතුර බිංදුවකට, විනාශ කරලා දාන්න පුළුවන්, දුර්වල කරන්න පුළුවන් කඩදාසියක් තරමට මගේ හිත දුර්වලයි.

පහුවදා සඳුදා  දවසක්. විභාගෙ කිට්ටු නිසා අපි ඉස්කෝලෙ ගියේ අඩුවෙන්. ගියේ නැති තරම්. එදා විශේෂ සම්මන්ත්‍රණයක් තිබුණා. ඉතින් හැමෝම එන නිසා මමත් එදා ඉස්කෝලේ යන්න කියලා ලෑස්ති වුනා.අද හවස ඉදන්ම  දසුන් එක්ක කතා කරන්න උත්සාහ කලත් කතා කරන්න බැරි වුනාදසුන් මගේ මැසේජ් වලට රිප්ලයි කලේ නෑ.. අඩුම තරමේ මිස් කෝල් එකක්වත් දුන්නේ නෑ.. කීප සැරයක් මම කෝල් කලත් උත්තරයක් නෑ.. අන්තිම වතාවට මම හුඟාක් රෑ වෙලා කෝල් කරපු වෙලේ දසුන්ගේ ෆෝන් එක call waiting දාලා තිබුනා.

හිත ගැස්සුනා. යාන්තමට ඇස් තෙත් වුනා.

"දසුන්ට ඇයි මට කතා කරනන් බැරි?? එයා කාත් එක්කද මේ මහ රෑ වෙලා කතා කරන්නෙ? "
 මට ඇති වුනේ කුතුහලයක්....

"කමක් නෑ.. යාලූවෙක් එක්ක වෙන්න ඇති. බලමුකෝ.. හෙට උදේටවත් කතා කරලා බලනවා. "

එහෙම හිතාගෙන නින්දට ගියත්, නින්දනම් මගේ අහළකටවත් ආවෙ නෑ.. දසුන්ගෙ අක්කා කියපු දේවලුයි, දසුන්ගෙ මේ වෙනස්වීමයි නිසා මගේ හිත ගිනි ගොඩක් වගේ ඇවිලි ඇවිලි තිබුනෙ..යාන්තම් ඇහැ පිය වෙද්දිත් නපුරු හීනයක් පෙනිලා ඇහැරුනා.ඊටත් පස්සෙ පාන්දර වෙනකම් ඔහේ හිත දුවන දිහා යන්න දීලා මම ඇදේ වැතිරිලා උන්නා.

පහුවදා පාන්දර මම ඇදේ ඉදන්ම දසුන්ට කෝල් එකක් ගත්තා. ඒත් ප්‍රතිචාරයක් නෑ... බැරිම තැන මම ඉස්කෝලෙ යනවා කියලා මැසේජ් එකක් යැව්වා. ඊට පස්සෙ ටික වෙලාවකින් දසුන් මට කෝල් කලා.

"මධූ ඇත්තට ඔහේට පිස්සුද හලෝ??"

"ඇයි දසුන්? මොකක්ද මේ උදේ පාන්දරම??මම මොනාද කලේ??"

"මේ උදේ පාන්දරම මඟුලක් කියවන්නෙ? ඉස්කෝලෙ යනවා කියලා.පිස්සුද?මොන ඉස්කෝලෙද? මේ කාලෙ කවුරුත් ඉස්කෝලෙ යන්නෙ නෑනෙ.."

"ඔව් යන්නෙ නෑ තමා දසුන්. ඒත් අපිට අද special seminar එකක්. ඉතින් හැමෝම එනවා කිව්වා. මාත් යනවා කියන්නයි ඊයෙ ඉදන්ම ඔයාට කෝල් කරන්න ට්‍රයි කලේ...ඒත් ඔයාගෙන් කිසිම රිප්ලයි එකක් නෑනෙ.. රෑත් මම කතා කරද්දි ඔයාගෙ call waiting  දාලා තිබ්බෙ."

"ආ... ඇත්තට?? ඔන්න අල්ලාගත්තා මගේ call waiting එක..දැන් තමුසෙ මඟුලෙ යන එක වහගන්න මගේ කෝල් කෙහෙල්මලක් අල්ලගත්තා නේද?? මේ බොරු කියන්නෙ නැතිව ගෙදර ඉන්නවා හලෝ... මගෙ යකා අවුස්සගන්නෙ නැතිව."

"මඟුලේ?? අනේ දසුන් මොකද මේ?? මම ඉස්කෝලෙයි යන්නෙ.. ඔයාට මොකක් වෙලාද ඇත්තටම ??මට තේරෙන්නෙ නෑ..."

"ඉස්කෝලෙ කියලා කොහෙ යනවද කවුද දන්නෙ?? මම මේ අන්තිම වතාවට කියන්නෙ. ගෙදර ඉන්නවා. කොහෙවත් යන්න ඕනෙ නෑ.."

"මම වෙන කොහෙවත් යන්න හැදුවෙ නෑ.. ඉස්කෝලෙ යන්නයි හැදුවෙ.. ඔයා ඔහොම කතාකරන්නෙපා දසුන්.. ඇයි පැට්ටො මට මෙහෙම කියන්නෙ ඔයා?"

"අනේ මේ නවත්තගන්නවා ඇඬියාව.වෞදේ පාන්දරම මූසලකමට. අද යන්න එපා. එච්චරයි!!!"

"හරි මම නොයා ඉන්නම්.. ප්ලීස්.. එක පාරක් හොඳින් කතාකරන්න දසුන්... ඔයා පල්ලා මම දිවුරලා කියන්නෙ මම ඔයාට හොරෙන් නරක වැඩක් කරලා නෑ.. කරන්නෙත් නෑ.. මට මෙහෙම කතාකරන්නෙපා දසුන්... මම පැලිලා මැරෙයි රත්තරං..."

"මම තියනවා.. අද යන්න එපා.එච්චරයි.. ගෙදරට වෙලා පාඩම් කරනවා."

"හරි දසුන්... ඔයාත් පාඩම් කරන්න..."

මම කියලා ඉවර වෙන්නත් කලින්ම දසුන් ෆෝන් එක තිබ්බා.. හිත රිදුනා නෙවෙයි.. පුපුරු ගැහුවා.මට කෑගහලා අඬන්න හිතුනා. ඒත් මම ගෙදරට ඇහෙයි කියලා බයටම හිමින් හිමින් ඉකිබින්දා.ඒ වෙනකොටත් මගේ කඳුළු වලට කොට්ටෙ තෙත බරියම් වෙලා හමාරයි.ඇස්දෙක පියාගෙන ටික වෙලාවක් ගත කලා. හිතනම් එකලාසියක් කරගන්න බැරි තරම්. ඒත් දසුන් කොයි මොහොතක හරි ආයෙමත් කතා කරයි කියලා හිත හදාගෙන මම නාඬා ඉන්න උත්සාහ කලා.

"දුව..... දුව...."

අම්මා කාමරේ දොර ළඟ ඉදන් කෑ ගැහුවෙ එතකොටමයි....

"අද ඉස්කෝලෙ යනවා කිව්වා නේද?? යන්නෙ නැද්ද? දැන් වෙලාව කීයද?"

මම ඇස් වල තිබුණු කදූළු ඇදන් උන්නු ගවුමෙන්ම පිහදාගෙන ඇඳෙන් බැස්සෙ අම්මාට කතා කරන්නයි.

"නෑ අම්මා..අද යන්නෙ නෑ.. අද බෑ වගේ.. වැඩක් වෙන එකක් නෑ... මම ඉන්නවා අද ගෙදර.."

"අහ්හ්හ් එහෙමද?? ඊයේ යනවා කිව්ව නිසයි කතා කලෙත් මම.. හරි හරි එහෙනම් ආයෙත් පස්ස පැත්තට එළිය වැටෙනකම් ම නිදාගන්නෙ නැතිව දැන්ම මූණ කට හෝදගෙන පාඩම් කරන්න.."

"හා හා.. හරි අම්මා.. තව චුට්ටකින්.."

අම්මා ගියාට පස්සෙ තමයි හිතට සැනසීමක් දැනුනෙ. මෙහෙම අඩ අඬ ඉන්නවා දැක්කානම් අම්මා.... දෙයියනේ... අම්මාට තරහා යාවි.. දුකත් හිතෙයි.. එයත් අම්මෙක්නෙ..එයාගෙ හිත උණු වෙයි.කොහොමටත් අම්මායි මායි අතරේ තිබ්බෙ පුදුම යාළුකමකකේ යාළුකම ඩිංගක් හරි ඈත් වුනා කියලා අම්මාට දැනුනානම් ඒ දසුන් හින්දායි.වෙලාවකට මට හිතුණා අම්මා ලඟට ගිහින්, අම්මාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාගෙන හැමදෙයක්ම කියලා හිත නිදහස් කරගන්න. අම්මාගෙ දෝණි ආදරෙන් පැරදෙන්නයි යන්නෙ කියලා අම්මාට කියන්න.ගුටිකන්න හරි අම්මාට කියලා අම්මාව බදාගෙන අඬලා දුක නැති කරගන්න හිතුණා.

ඒත් අම්මා කොහොම දරාගනීද , ඉවසයිද කියලා මට බය හිතුණා. එයාගෙ එකම දූ , එයාගෙ ආදරේ කියලා ළංකරගත්තු ඒ පිරිමි හිත මත්තෙ මෙහෙම නැහෙන්න යනවා කියලා දැනගත්තොත්, මෙහෙම දුක් විඳිනවා, ආදරේ හිඟා කනවා කියලා දැනගත්තොත්, මොනා හිතේවිද?? බෑ මට බෑ අම්මාට තවත් ගින්දර දෙන්න. මගේ ගිනි මම ම උහුලනවා කියලා හිතගත්තෙ ඒ නිසායි.

එදා දවසෙම දසුන්ගෙන් පණිවිඩයක්, කෝල් එකක් එයි කියලා බලන් උන්නත් දසුන් කතා කලේ නෑ.. අඩුමගානෙ මම ඉන්නවද නැද්ද බලන්නවත්, මගේ හිත රිදිලාද කොහොමද කියලා බලන්නවත් දසුන්ට උවමනාවක් තිබ්බෙ නෑ..ආදරේ කියන්නෙ පුදුම විදියෙ දුකක් කියලා දසුන් මට ඔප්පු කරලාම පෙන්නලයි තිබුනෙ. ඉස්සරම මොහොතක් මාව නොදැක ඉන්න බැරි වුනු දසුන්ට, මට කතා නොකර, මගේ ගැන බලන්නෙ නැතිව ඉන්න බැරි වුනු දසුන්ට දැන් මම හිටියත් එකයි නැතත් එකයි වගේ...

තවමත් මට නොතේරෙන මේ වෙනස්වීම ගැන මම මොනවා කියන්නද? මොනා කරන්නද කියලා දන්නෙ නැතිව අසරණ වෙලා බලන් උන්නා.දවස් සති මාස ගෙවෙන ඉක්මණ......මොහොතින් මොහොත දසුන් මගෙන් ඈතට යනවා නේද කියලා මට හිතුණා...ගතවෙන තත්පරයක් තත්පරයක් ගානෙ මම දසුන්ට ළං වෙන්න හිතුවා. ඒත් දසුන් ඒ හැම තත්පරයකම මගෙන් ඈත් වුනා මිස ළං වුනේ නෑ....

අදටත් මට මතක් වෙන්නෙ දිලූ කිව්ව කතාව විතරයි..

"ආදරේ කරපන් හැබැයි ආදරේ ජීවිතේම කරගන්න එපා."  

ඒත් මම දැන් මගේ ආදරේ ජීවිතේ කරගෙන ඉවරයි..... ඔව්.... මගේ ආදරේ ජිවිතේ වෙලා ඉවරයි....මේ ආදරේ මැරුණු දාකට... මමත්.......... 

------------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූට ,දසුන් ඉදිරියේදි කුමක් කරයිද?දහසක් බලාපොරොත්තු තබාගෙන බලන් ඉන්න විභාගෙට කුමක් වෙයිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්.......... 


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............


ප.ලි- හිතුවක්කාරී පෙනුම පොඩ්ඩක් වෙනස් කොලා...;) ගණන් ගන්නෙපා හොදේ?? කාජල්ගෙ පෙනුමෙන් මිදිලා හිතුවක්කාරි වෙන්න පොඩි ට්‍රයි එකක් දැම්මා.... :D

Post Comment

07 January 2012

ඉස්සර තරම්ම ළෙංගතුයි......


අරමුණක්,තේරුමක් නොදැන මම ඔහේ ඇවිදගෙන ගියා.ඉස්සරම ඇවිදගෙන ගියාට පස්සෙ,අද තමයි මේ පාරේ ඇවිදගෙන යන පළවෙනිම වතාව.කාලය ගත වෙලා,ලෝකෙ දියුණු වෙනවා.මිනිස්සු වෙනස් වෙනවා.මේ පාරවල්,ගොඩනැගිලි,ගස් වැල්,හැමදේම වෙනස් වෙලා.කාලය මොනතරම් වෙනස් කම් කරලාද??ඒත් මම??මම එදා වගේමයි...

අලුත් ගොඩනැගිලි කීයක්නම් හැදිලාද, ඉස්සර තිබුණු කඩ සාප්පු අද අලුත් වෙලා. ඉස්සර අපි අමාරුවෙන් ඇවිදගෙන ගියපු මඩ පිරිච්ච් පාර, අලුත් වෙලා. තාර දාලා,කාපට් කරලා ලස්සනට හදලා.පාර දෙපැත්තෙ පළා විකූනපු ආච්චි අම්මලා අද නෑ..පළතුරු විකුණපු ඒ දුප්පත් මිනිස්සුන්ට වාසනාව පෑදිලාද කොහෙද.අව්වට වේලි වේලි, වැස්සට තෙමී තෙමී දුක් විඳපු ඒ අයට අලුත් තැනක් හම්බුවෙලා...ඔව්ව්.. ඒ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දුක් විඳපු කාලෙ ඉවර වෙලා.. හොඳ කලක් ලබලා.

ඉස්සර දුප්පත් පොළ, දැන් සුපර්මාර්කට් එකක් වගේ වෙලා. ලස්සනට හදලා, අලුත් වෙලා. පිළිවල වෙලා. කාලය මවපු වෙනසක්.හැමදෙයක්ම වෙනස් වෙලා. අලුත් වෙලා. ඉස්සරට වඩා හොඳ වෙලා. ඇස් අදහා ගන්න බැරි තරම් වෙනස් වෙලා.මේ පෑගෙන වැලි කැටයක් ගානෙ මට පුරුදුයි කියලා දැනුනු මුළු නගරයම , අද වෙනස් වෙලා.ඒත් මේ හැම තැනකම ඉස්සර මතක එහෙම්මයි.ඔව්...ඉස්සර ලෙංගතුකම් එහෙම්මයි.මේ බස් හෝල්ට් එක,ස්නැක් බාර් එක,රේල් පාර,මේ හැම තැනකම ඉස්සර හෙවණැලි වැටිලා තියෙනවා වගේ...

මුළු ලෝකෙම වෙනස් වුනත් වෙනස් වෙන්නෙ නෑ කිව්ව ඔයා ඇරෙන්න, අනිත් හැම දේම අදටත් එහෙම්මයි. වෙනස් වුනත්, අලුත් වුනත්, ඒ මතකයන්, ලෙංගතුකම, සෙනෙහෙවන්තකම මැකිලා ගිහින් නෑ.ඒ ලෙංගතුකම් එහෙම්මයි.දස දහස් ගාණාක් මගේ අඩි සළකුණු ඇති මේ පාර දිගේ, අද තනි පංගලමෙ ඇවිදන් යන මාව,මහ ගොඩාක් අතීතයට අරන් ගියා මගේ හිත.මමත් ඒ මතක දිගේ ඔහේ ඇවිදගෙන ගියා.

ලොකුම ලොකු කාඩ්බෝඩ් අයිස්ක්‍රීම් කෝන් එකක් ඉස්සරහින් තියපු, ඒ පුංචි අයිස්ක්‍රීම් කඩේ ළඟින් යද්දි මට ඇස් වලට කඳුළු ආවා. එකම අයිස් ක්‍රීම් එකක් අරගෙන,අපි අත් දෙකෙන් අල්ලගෙන පාර දිගට රණ්ඩු වෙවී, අයිස් ක්‍රීම් කකා ඇවිදපු ඒ ලස්සන කාලෙට මගේ හිත ඇදිලා ගියා.එදා තිබුණු නිල් පාට රටකජු කරත්තෙ දැන් අලුත් වෙලා.ඉස්සර කරත්තෙ ,දැන් පුංචි කඩයක් වෙලා.මම කැමති පිටි තවරපු රටකජු කන්න.ඔයා කැමති බැදපු පරිප්පු  කන්න.ඉතින්  ජාති දෙකක් ගත්තා.බැදපු පරිප්පුයි, පිටි තවරපු රටකජුයි දෙකම අරන්,මළ පෙරේතියක් වගේ මහ පාර මැද කකා ඇවිදින්න ,ඉස්සර නම් මට පොඩ්ඩක්වත් ලැජ්ජ නෑ..ඒ කාලෙ ඔයා මා ළඟ ඉද්දි මම කිසිම දේකට බය නෑ..ඒ මගේ හයිය ඔයා නිසා, ඔයා මා ලඟම නිසා.ඒත් දැන්... දැන්නම් ඉස්සර මතක් වෙද්දි ,මුළු අතීතයම නිකන් හීනයක් වගේ....

මහන්සියක් දැනුනේ නෑ, ඔහේ ඇවිදගෙන ආව ඉස්සර මතක දිගේ.පුරුද්දට වගේ ඇවිත් තියෙන්නෙ අපි නිතරම ආව ගිය ස්නැක් බාර් එකට.කවදත් පුරුද්දට ඉල්ලුවෙ ෆලූඩා එකක්."මිස් ෆලූඩා එකක්   රු.65 යි." 'හත්දෙයියනේ මම දීලා තියෙන්නෙ ඉස්සර පුරුද්දටම රු.50ක්. දැන් කොහෙන්ද  රු.50ට ෆලූඩා. ඉතුරු රු. 15ත් දීලා ෆලූඩා එක්ක ගත්තට මොකද , හැම තැනකම පේන්නෙ ඉස්සර මතක විතරයි.අපි ආවගිය තැන්, කතාකරපු තැන්,හැමතැනකම අපි අපිට නැතිවුණු අතීතය විතරයි පෙණුනෙ.

අතීතය එකම එක හීනයක්. අර සිංදුවකත් තියනවා වගේ, සැබෑවක සුවඳක්වත් නෑ තමා..එදා අත්වැල් බැඳගෙන ඇවිදපු මේ පාරෙ අද මම තනි පංගලමේ ආවෙ, දෛවය නිසා. ඔව්... මේ වෙනස් වීමට,ඔයාගෙ වෙනස් වීමට හේතුවත්....දෛවයම වෙන්න ඇති.....හැමදෙයක්ම ඉස්සර තරම්ම ළඟ වුනත්, ඔයාව මට දුරස් කරවන්න ඇත්තෙ මේ දෛවය වෙන්න ඇති...ඔව්.. දෛවය වෙන්න ඇති...

    
ඔය සුදු අතේ එල්ලිලා...
ඔයත් එක්ක ඒ හුරුපුරුදු පාරවල් දිගේ
ඇවිදගෙන ගිය හැටි
මට තවමත් මතකයි.......
අපි ගිය පාරෙ ඒ වැලි කැට
ඒ ගස් වැල් පවා අපේ ආදරේට
සාක්කි දෙයි.....
අදත් මං ඒ අපේ පුරුදු පාරේ
ඇවිදගෙන යනවා...
ඒත් වෙනස ,
ඔයා මා ළග නෑ...
ඒ පාර, ඒ ගස් වැල්, මල්
එදා වගේම ලෙංගතුයි...
මුළු ලෝකෙම වෙනස් වුනත්
වෙනස් වෙන්නෙ නෑ කිව්ව ඔයා
අද වෙනස් වෙලා....
ඒත් එදා අපේ පුරුදු මතක
අදත් එහෙම්මයි.....
ඉස්සර තරම්ම ළෙංගතුයි.....
.

----------------------------------------------------------------------------
ප.ලි- අපේ Ice නගාගෙ  ~ ලෝක සොභාවය සහ මියැදුණු ආලය ~  පෝස්ට් එක කියෙව්වාම මටත් නිකන් මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුණා.. ඒ නිසා කලින් ලියපු නිසැඳෙසක් එක්ක නිකන් සිතුවිල්ලක් අකුරු කළා.

Post Comment

03 January 2012

තටු සිඳුනු සමනළී -15 වන කොටස

හැමදාමත් වගේ අදත් ප්‍රමාදයි..:D මූණු පොතෙන් මැසේජ් දාලා, චැට් එකේදි කියලා කියලා, මට කතාවෙ ඉතිරි කොටස ලියන්න මතක් කරන්න කීපදෙනෙක් ඉන්න නිසා වෙලාවට අමතක වෙන්නෙ නෑ..;)

ඔන්න එහෙනම් මට බැන බැන , කතාවෙ මුල කොටස් අමතක අයයි, අලුතෙන් කතාව කියවන්න එකතුවෙන අයයි, කියවලාම  එන්නකෝ...



තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14

අද 15 වන කොටස මෙතැන් සිට........

-----------------------------------------------------------------------------------------------------------

කෑලි කෑලි වලට කැඩිලා බිදිලා, සුණුවිසුණු වෙලා ගියපු හිත , අමාරුවෙන් එකලස් කරගෙන, කම්මුල් රත් වෙලා, ඇස් වලට උනන්න හදන කඳුළු කැට හංගගෙන ,මම නුගේගොඩ ඉඳන් කොහුවල හංදියට ඇවිදගෙන ගියේ   බලාපොරොත්තු සහගතවයි. දසුන් බස් හෝල්ට් එක ළඟ ඉඳීවී යි හිතාගෙන ඈත තියාම මම බස් හෝල්ට් එක දිහාම ඇහිපිය නොහෙලා බලාගෙන ගියා.

ගිනි ඇවිළෙන හිතට සීතල වතුර බිංදුවක් වැටුණා වගේ, මගේ නෙත් පිනවන, සනසවන ඒ රූපෙ ඈත තියාම දැක්කාම හිත සංතෝසෙන් පිරුණා."දසුන් මට ආදරේ නැතුවමත් නෙවෙයි. ආදරේ නැත්තම් මාව දාලා යන්න ඕනෙනෙ. එයා ගියේ නෑ කියන්නෙ, පොඩ්ඩක් හරි මම ගැන හිතන නිසානෙ." මම තනියම හිතලා පුංචි සතුටක් හිතින් වින්දා.

"දසුන්.... ඔයා මාව දාලා ගියේ නෑ එහෙනම්??"

මම දුවගෙන ඇවිත් දසුන්ගෙ අතේ එල්ලුනේ එහෙම කියාගෙනමයි.

"නෑ..බස් එකක් ආවෙ නෑ.ඒකයි ඉන්නෙ.."

දසුන් මගේ අත ගස්සලා අතෑරියා..පුංචි රස්නෙකටත් , උණු වෙලා යන ඉටිපන්දමක් වගේ, උණු වෙලා වැක්කෙරෙන්න යන හිත, හයිය කරගන්න මට අමාරු වුනා.

"අනේ ඇයි පැට්ටො ඔයා මෙහෙම කරන්නෙ?" කඳුළු බිංදු එකින් එක කම්මුල් දිගේ රූරා වැටෙද්දි මම දසුන් ගෙන් ඇහුවෙ දරාගන්න නොහැකිම තැනදියි.

"ඔයා මොකක්ද මධූ මට කරන්න කියන්නෙ?? ඔයා මම කියන දේ අහන්නෙත් නැත්තම්, ඔයාට ඕනෙ ඔයාගෙ යාළුවොන්ගෙ පස්සෙන් උන් යන යන තැන යන්නයි, උන් කියන ඒවා කරන්නයිනම්.. මට මොකක්ද කියන්නෙ??අපි මේක නවත්තමු..."

"මොකා....ක්......????? ද...ද..සු..න්.... ඔයා මොකක්ද කිව්වෙ?"
 අදහාගත නොහැකි වූ තැන, දසුන්ගේ කටින් කියූ දේ නෑසුණා දෝ කියා සිතා මම එහෙම ඇහුවා.

"ඇයි?? දැන් කන් ඇහෙන්නෙත් නැද්ද??? හා?? මම කිව්වෙ ඔයාට මම කියන විදියකට ඉන්න බැරිනම් මේ මගුල නවත්තලා දාලා ඕන එකක් කරගන්න. "

"අනේ ඔයා මොනාද දසුන් මේ කියන්නෙ? ඉස්සර ඔයාමද මේ ඉන්නෙ?ඔයාට ඇයි දසුන් ඉස්සර වගේ සතුටින් ඉන්න බැරි?"

"ඒක ඔයා මගෙන් අහන්නෙපා. ඔයාට මට වඩා ලොකු කෙහෙල්මල් විභාගයි, අම්මාල යි, අහළ පහළ එවුනුයි, නෑදෑයොයි නෙ.. ඉතින් මාව ඕනෙ නෑනෙ..ඕනෙකක් කරගන්නවා.."

"දසුන්... මට තේරෙන්නෙ නෑ මම කොහොමද ඔයාට කතාකරන්න ඕනෙ කියලා. මම ඔයාට මහා ගොඩාක් ආදරෙයි..මට ඒක කොච්චරක්ද, කොහොමද කියන්න තේරෙන්නෙ නෑ..ඔයා පිළිගන්නවනම් පිළිගන්න..දෙයිය්නේ දසුන් මට ඔයා ඇර වෙන කොල්ලො ඕනෙ නෑ.. විභාගෙ ගැන කියන්නෙ අපි දෙන්නාගෙ හොඳට."

"මට ඔය බණ ඇති වෙලා. බස් එකක් එනවා. නගිනවනම් නගිනවා.නැත්තම් ඉන්නවා. මම යනවා.."

"ඔයාට මාව දාලා යන්න බෑ දසුන්.. බිංදුවක් හරි ආදරේ කරපු ඔය හිතට මාව මෙතන දාලා යන්න බෑ.. මම දන්නවා.."

"මේ... විකාර දොඩවන්නෙ නැතිව නගිනවනම් නගිනවා හලෝ...මට පරක්කු වෙනවා."

හිත රිදුනු තරම්, පපුව ගිනිගන්න තරම්, ඇස් කඳුළු වලින් පිරෙන තරම් දසුන්ට පෙනුනේ නෑ..ආදරෙන් අන්ධ වෙලා උන්නු මට ඇත්ත පෙනුනේ නෑ..සැකෙන්, අවිශ්වාසයෙන් අන්ධ වෙලා උන්නු දසුන්ට මගේ ආදරේ පෙනුනේ නෑ..මොන දේ වුනත් මට දසුන් නැතිව ජීවත් වෙන්න බෑ.. ඔව් මට බෑ.. මගේ හිත කෑ ගැහුවා..හැම දුකක්ම ඉවසගෙන මම දසුන් වෙනුවෙන් තවදුරටත් ඉවසුවා.කාලය හැම දෙයක්ම හොදම විදියට විසඳන තුරු මම බලාගෙන උන්නා.

-----------------------------------------------------------------------------------------------------------
කාලය ඉක්මණට ගත වුනා.කාලයට විසඳන්න භාර කරපු මගේ ප්‍රශ්නෙ විසඳෙනතුරු මම බලාගෙන උන්නා නොඉවසිල්ලෙනනේත්....ජිව්තේ සුන්දර නෑ...ආදරේ පේන තරමට සරළ නෑ.දසුන්ගෙයි මගෙයි ආදරේ මරණාසන්නව පණ ඇද ඇද තිබුණා.පෙරුම්පුරාගෙන, බලාපොරොත්තු පොදි බැදගෙන ,දෛවෝපගත හමුවීමකින් ඇරඹි උත්තරීතර ආදරයක අවසානය මෙතැනද?හීන මල් පොකුරු පිටින් පිපිච්ච ආදරේ වසන්තය මේ තරම් ඉක්මණට අහවර වෙන්නෙ ඇයි?අනේ...හැම පිරිමි හිතක්ම ,ඔරලෝසු කටු වල වේගයට සිතුවිලි වෙනස් කරනවවත්ද?නිරුත්තරව , අසරණ වුනු මට මුළු ලෝකෙම හිස් වෙලා වගේ දැනුණා.

දසුන්... දසුන් කියන්නෙ මම ජිවිතේ ඉස් ඉස්සෙල්ලාම ළං වෙච්ච, මගේ තාත්තා හැරුණුකොට මට මේ මුළු ලෝකෙන්ම  උණුසුමක් දුන්නු, හෙවනක් දුන්නු,වටිනම පිරිමි හිත.මම ඒ හිත යට මේ තරමටම අසරණ වෙන දවසක් ඒවි කියලා හිතුවෙ නෑ.මම කොහොමද එහෙම හිතන්නෙ ,හීනෙකවත් එහෙම නපුරු කතා දසුන්  කියලා නෑ..ඒත්, දැන්.... මට යථාර්තයට මූණ දෙන්න වෙලා."මම ඔයාට පණටත් වඩා ආදරෙයි කෙල්ලෙ." කියපු ඒ රත්තරං කටින්ම තමා ,දසුන් "මට තමුසෙව එපා" කියලා කිව්වෙත්. හීනයක් නොවුනු ඒ ඇත්තට මූණ දෙන්න අද මට සිද්ධ වෙලා.

මොනතරම් රණ්ඩු වුනත්, බැන්නත්, නෝක්කාඩු කිව්වත් අපි ආයෙත් කලින් වගේම ළං වෙලා උන්නා.ඒත් කාලය ගතවෙන්න ගතවෙන්න අපිට එහෙම ඉන්න බැරි වුනා. කොයිතරම් බැනගත්තත් රණ්ඩු වුනත්, දවසක් තරහ වෙලා, කතා නොකර, ඉන්න බැරි වුනු අපි, දවස් ගණන් කතා නොකර හිටියා.මුලදි මටත් එහෙම ඉන්න අමාරු වුනත්, පහු වෙද්දි පහු වෙද්දි, දසුන්ගෙ අසාධාරණ චෝදනා, බැනුම්,නිසාම මටත් නිහඬබව සැනසිල්ලක් එකතු කලා.ඒ නිසාම දසුන් කියන ඕනෙම දෙයක් පිළිගෙන නිහඬවම, ඉන්න මම පුරුදු වුනා.

physics, chemistry, com:maths වලට  ලකුණු 40ක් ගන්න බැරිව අසරණ වෙලා හිටිය මට, අස්වැසිල්ලක් තිබුණේ නෑ. දසුන් ට විභාගෙ කියන්නෙ,හිසරදයක්.හිත හැදෙන්න කතාකරන්න,සනසන්න ඉස්සර ඉඳන්ම මා ළඟින්ම උන්නු දසුන්ට දැන් මාව කරදරයක්.පුංචි කාලෙ ඉඳන් උගන්නපු ගුරුවරුන්ගෙන් හොඳම විතරක් අහපු මට, "මධූ මොකද මේ ලකුණු අඩු??මෙහෙමනම් S එකක්වත් ගන්න බැරිවෙයි." කියලා උගන්වපු මිස් ලාගෙන් අහගන්න සිද්ධ වුනා."මොකද මධූ මේ? උඹ පාඩම් කරන්නෙ නැද්ද?උඹ වැඩ බැරි කෙල්ලෙක් නෙවෙයිනෙ බං.මොකද මේ වෙලා තියෙන්නෙ?" යාළුවොන්ගෙ දාහක් ප්‍රශ්න ඉස්සරහා මට දෙන්න උත්තරයක් තිබුණේ නෑ.."මධූනම් ටිකක් මදි. තව මහන්සි වෙන්න වෙයි හුඟාක්. අඩුමතරමේ විභාගෙ පාස් වෙන්නවත් මහන්සි වෙන්න වෙනවා." මගේ පංතියෙ ගණන් මිස් ගුරුදෙගුරු රැස්වීමෙදි අම්මා ඉස්සරහා කියද්දි අම්මාගෙ මූණෙ තිබුණු අසරණ, දුක්බර පෙනුම මට බලන්න හිතට හයියක් තිබුණෙ නෑ.ඇත්තටම මට මොකක්ද වෙලා තියෙන්නෙ?මම මගෙන්ම ප්‍රශ්න කළා.

ඉස්කෝලෙ මිස් ලා උගන්වන කිසිම දෙයක් මගේ ඔළුවට ගියේ නෑ.ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න යන හැම මොහොතකම මම මනසින් කඩා වැටුණා.Organic වලට වඩා,සංඛ්‍යානය ,සම්භාවිතාවට වඩා,ස්ථිති විද්‍යුතයට වඩා වැදගත් ප්‍රශ්න ගොඩක් මට තිබුණා.උත්තර පොතකින්වත් උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න ගොන්නක් මගේ හිතේ තිබුණා.

"පුතේ ඔයා හොඳට විභාගෙ පාස් වෙන්න. අපිට නෙවෙයි එතකොට .ඔයාටමයි." අම්මාගෙ වචන කන් දෙකෙන් දෝංකාර දුන්නා. සැරෙන් සැරේට මගේ හිත පුදුම විදියට හඬා වැලපුණා.කන්දක් උසට නැතත්, යන්තමින් හරි තිබුණු අම්මාගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ළඟ මම අතරමං වුණා. මගේ තාත්තා මාව එක වේලක්වත් බඩගින්නෙ නොතියා මට කන්න දුන්නෙ, නැහීගෙන හම්බ කරන සතයක් ගානෙ මගේ ඉගනීමට වියදම් කලේ ,තාත්තාගෙ එකම දුව ඉගනගන්නෙ නැතිව පිස්සු නටනවා බලන්නද? දසුන්ට මේවා තේරුණේ නෑ..අම්මා තාත්තා ගැන කියන වචනයක් ගානෙ දසුන් හිතුවෙ , දසුන් කියන්නෙ මට නිකන්ම කිකන් කොල්ලෙක් විතරයි කියලා.මට දසුන්ව වටින්නෙ නෑ කියලා.කොයිතරම් උත්සාහ කලත් දසුන්ට තේරුම්කරවන්න, දසුන් තේරුම් ගත්තෙ නෑ.. අඩුමතරමේ දසුන්ගෙ අම්මා තාත්තා වෙනුවෙන්වත් දසුන් ජීවිතේ ගැන හිතුවෙ නෑ.වෙන දෙයක් වෙන්න දීලා මම මෙච්ච්ර කල් හදන්න හදපු අපේ ලෝකෙ අතෑරලා දැම්මා.

"ඔව් අඩුම තරමේ මම මගේ අනාගතේ වෙනුවෙන් නෙවෙයි, අම්මාගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු වෙනුවෙන්වත් මොනාහරි කරනවා."

කරන දෙයක් නැතිම තැන මම හිතට උපරිම හයිය ගත්තා.

"ජීවිතේ අතෑරලා දන්න බෑ මධූ..ඔව් ඔයාට එහෙම පරාද වෙන්න බෑ.. මධූ පැරදුණොත් මධූ එක්ක වැටෙන්න තවත් අය ඉන්නවා.ඒ අය ගැන හිතලවත් ජීවිතේ හයියෙන් අල්ලාගන්න..අතාරින්න එපා.." මගේ යටි හිත මට හයිය දුන්නා.
------------------------------------------------------------------------------------------------------------
විභාගෙට හරියටම තව මාස 5යි. මම හිත හයිය කරගෙන ඇත්තට මූණ දෙන්න හිත හදාගත්තා. පුංචි කාලෙ ඉඳන් හරි හම්බකරගත්ත මනුස්සකම් වලට පිං සිද්ධ වෙන්න මට උදව් ලැබුණා.

"මධූ..උඹට මම අර Organic Tutes ටික ගෙනත් දෙන්නම්. උඹ ඒ ටික මුල ඉඳන් කරන්න. එතකොට හරි. බැරි ටික මම කියලා දෙන්නම්.."

හසී මගේ Organic ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා.

'ඔව් ඔව්.. බැරි තැන් කියන්න අපි කියලා දෙන්නම්.. අනික අර උඹට මිස් වෙච්ච පාඩම් ටික අපි කරමු. අපේ ගෙදර එන්න මධූ..මටත් තේරෙන්නෙ නෑ. ඒත් අපි  කොහොමහරි කරමු"

නිශා කිව්වෙ මට තවත් හයියක් වෙනගමන්.

"තෑන්ක්ස් නිශා. උඹලාත් නැත්තම් අද මට කිසිම හයියක් නැති වෙනවා."

"අනේ මොනාට තෑන්ක්ස් කරන්නද මධූ.. අපි හැමදාකම උඹත් එක්ක.දසුන්ගෙ ප්‍රශ්න අමතක කරපන්, ටික කාලෙකටවත්. මට තේරෙන්නෙ නෑ මෙච්ච්ර හොඳ කොල්ලාට මක් වෙලාද කියලා.හොඳ දෙයක් වෙයි මධූ.. අපි බලමු."

"හ්ම්ම් ඔව් මධූ.. මාත් මෙ කියන්න ගියේ..ඔය ප්‍රශ්න මේ ටික කලෙට ඩිංගක් අමතක කරන්න.කොහොමහරි උඹ මැරිලා වගේ ඉන්නෙ නැතිව ආයෙමත් වැඩ කරන්න පටන්ගත්ත එකනම් හොදයි කෙල්ලෙ."

'ඔව් දිලූ මම දැන් ඔහේ ඉන්නවා. වෙන දෙයක් වෙයි. මම හැදුවෙ දසුන් එක්කම ජිවිතේ ඉස්සරහටම යන්න. ඒත් දසුන් යන්න හදන්නෙ වෙන පාරකනම්, මාව මග ඇරලානම්, මම මොනාකරන්නද දිලූ.."

"උඹ දුක් වෙන්නෙපා බන්. උඹේ හිත හොඳයි. උඹට වරදින්නෙ නෑ.. දසුන් පිස්සෙක්.මටනම් තරහයි එයා එක්ක."

"දසුන්ට බනින්න එපා හසී.. මොනා කරන්නද?මේක මගේ දෛවය වෙන්න ඇති.එයා වැරදි නෑ.. මිනිහෙක්ට තමන්ගෙ ජීවිතේ ගැන තම්න් කැමති තීරණයක් ගන්න අයිතියක් තියෙනවනෙ."

"ඒත් තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් තීරණ ගන්න එක නෙවෙයිනෙ මධූ වැරැද්ද, ආදරයක් නැතිව අනුන්ගෙ ජීවිත පාලනය කරන්න යන එකයි,තමන්ගෙ ජීවිතවලට ඈද ගත්ත ජීවිත වල හැඟීම් එක්ක සෙල්ලම් කරන එකයි."

"මම දන්නෙ නෑ දිලූ.. අපි බලමු..තවත් මට දුක් වෙන්න හිතක් නෑ...මම් එයාට ආදරෙයි මම දන්නෙ එච්චරයි. එයාට මාව විශ්වාස නැත්තම්, කරදරයක්නම්, මම මෙහෙම පාඩුවෙ ඉන්නවා.මට තියන එකම දුක , එයා දැන් වෙනම යාළුවො සෙට් එකක් හදාගෙන රස්තියාදුවෙ යන එකයි."

"ඔව් ඔව්. මට ධනුෂ්ක කිව්වා එයා අර Game house එකට යනවා කියලා සෙට් එකක් එක්ක Game ගහන්න."

"හ්ම්ම්... ඒකතමා..හැමදාම ඉන්ට්‍ර්වල් එකට පන්තියෙන් පැනලා එයා යනවා. මම කිව්වට අහන්නෙ නෑ.. මම දන්නෙ නෑ දිලූ.. මට පිස්සු හැදෙයි.. ඒ නිසා හිතන්නෙ නෑ වැඩිය."

"ඔව් කෙල්ලෙ.උඹ හිතන්න එපා. ඕනෙ දේකට අපි ඉන්නවනෙ.අපි බලමු."

බිංදුවටත් පල්ලෙහාට වැටිලා උන්නු ,මට චුට්ටක් හරි ඔළුව කෙලින්කරගන්න උදව් කලේ මගේ සහෝදර බැඳිමක් තිබ්බ යාළුවො ටික දෙනයි. ඒ හයියෙන් මම හුඟාක් දුර යන්න පෙරුම් පිරුවා. දසුන් මොනා කලත්, කිව්වත් මම ඉවසගෙන හිටියා. කොයිතරම් උත්සාහ කලත් දසුන් දිගින් දිගටම කලේ දසුන්ට හිතුණු දේ විතරමයි. මොනතරම් කිව්වත් මට වෙනස් කරන්න බැරි තරමට දසුන් මුරණ්ඩු වුනා.


දවසක් දා රෑක අපේ ගෙදර ෆෝන් එකට කෝල් එකක් ආවා.අම්මා කතා කරන හඬ ඇහුනා.

 "දුව.. ඔයාට කෝල් එකක්..." කියලා අම්මා කෑගැහුවා.

"අහ්හ්.. එනවා අම්මා.. කවුද දන්නෙ නෑ..."

මම ෆෝන් එක ළඟට ගියේ එහෙම කියාගෙනමයි.

"අනේ මංදා.. යාළුවෙක්ලු නම කිව්වෙ නෑ.."

"හෙලෝ.."

"හෙලෝ" එහා පැත්තෙන් නුපුරුදු කටහඬක්.

'අහ් මධු නංගිද මේ?? දන්නවද මම මේ කවුද කතා කරන්නෙ කියලා??"

"මම මධූ නම් තමා. ඒත් ඔයාව අඳුරගන්නනම් බෑ.."

"මම මේ දසුන්ගෙ අක්කා කතා කරන්නෙ...තක්ෂිලා..."

---------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූට , තක්ෂිලා කුමක් කියාවිද??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............

Post Comment

02 January 2012

ආදරයයි... කරුණාවයි...මනුස්සකමයි....

ඔක්කෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! 2012 ත් ලැබුවා එහෙනම්.හිතුවක්කාරි අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම ලියන  ලිපිය. කවුරුත් අවුරුදු සමරලා සතුටෙන් සමාදානෙන් ඉන්න වෙලාවෙ,මම මේ ලියන්නෙ මට හම්බුනු අත්පත්‍රිකාවක තිබුණු කතාවක් ගැනයි.




ඔන්න අලුතෙන්ම කාර් එකක් මිලදී ගෙදර ගෙනාව තාත්තා කෙනෙක්,කාර් එක අත ගාමින්, එහි හැඩ බලමින්,දූවිලි නොතිබුණත් දූවිලි  පිසදමමින් හිටියා.මේ කාර් එක දැකපු ඔහුගෙ පුංචි පුතා, බොහෝම ආසවෙන්, සතුටින් කාර් එක ලඟට දුවගෙන ආවා.නමුත් තාත්තා, ඔහුගේ පුතාව දැක්කෙ නැහැ.ගල් කැටයක් අහුල ගත්ත මේ පුංචි පුතා , ඒ ගල් කැටයෙන් කාරයේ බඳේ යමක් කුරුටු ගාමින් සිටියා.මේ අවස්ථාවෙ හදිස්සියෙන්ම වාගෙ මේ දරුවාගෙ තාත්තා මේ සිද්ධිය දැක්කා.


දරුවාගෙ අතින් අල්ලා ගත්ත තාත්තා, කෝපයෙන් දැවෙමින් මේ පුංචි දරුවාගෙ අත අරගෙන වේගයෙන් කාරයේ ගැසුවා.මේ පුංචි පුතා "එපා.. එපා.. අනේ එපා.." කිය කිය කෑගැසුවත් ඔහු දිගින් දිගටම දරුවාගෙ අත කාරයෙ ගැසුවා.අවසානයේ ඔහු එය නැවත්තුවෙ ලේ දුටු විටයි.


ඉන්පසුව තාත්තා, බය වීම නිසාම, පුංචි පුතාවත් රැගෙන රෝහලට ගියද, දරුවාගෙ අතේ ඇඟීලි පහ බේරාගන්නට වෛද්‍යවරු අසමත් වුනා.ඇඟිලි නැති අත දැකපු පුංචි දරුවා තාත්තාගෙන මෙහෙම ඇහුවා."තාත්තේ, ආයෙත් මගේ අතේ ඇඟිලි වැවෙන්නෙ කවදාද??"  දුක දරාගන්න නොහැකිව, හඬා වැලපෙමින් සිය අලුත් කාරය සොයාගෙන ගිය පියා ඊට වේගයෙන් පහරදෙමින් උන්නා.


මේ අවස්ථාවෙදි ඔහුට අහම්බෙන් මෙන්, පුංචි පුතා කාරයේ කුරුටු ගාන ලද දේ ඇස ගැටුණා.එහි පුංචි පුතා කුරුටු ගා තිබුණේ මෙයයි.


"තාත්තේ...මම ඔයාට ආදරෙයි!!!"


බඩු භාණ්ඩ ඇත්තේ මිනිසාගේ පාවිච්චියටයි.
මිනිසුන් සිටින්නේ, ආදරය හා කරුණාව දැක්වීමටයි...




අලුත් අවුරුද්දෙ ඉඳන් වෙනස් වෙන්න. හැම කෙනෙක්ටම ආදරය කරුණාව, මෛත්‍රිය දක්වන්න.හැමදෙනෙක්ටම සුභම සුභ අවුරුද්දක්, යහපත් කාලයක්, ඉබේම සැලසේවි..
-------------------------------------------------------------------------
ප.ලි- පහු ගිය අවුරුද්දෙ දාපු ලිපි කීපයකම කමෙන්ට්ස් වලට පිළිතුරු ලියන්න බැරි වීම පිළිබඳව කනගාටුව..:( සමාවෙන්න ඕනෙ. ඉඩ ලද විගසම පිළිතුරු ලියන්නම්...

Post Comment