නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 March 2012

සඳ නුඹ වඩින තුරා......

හැන්දෑ අහස් කුස
අඳුරුයි..පාළුයි...
නුඹ නැතිව තවම
මේ සිත් අහසම හිස් වෙලා......

අඳුරු වැහි වළාකුළු
වසාගෙන..මුළු අහසම...
නුඹ නැතිව තවම
මේ සිත් අහසම අඳුරු වෙලා......

පුංචි පුංචි තරු කැට
දිළිසෙයි..තැන තැන...
ඒත්, නුඹ නැතිව
මේ සිත් අහසට එළිය මදිවෙලා.....

සඳේ නුඹ එනතුරාවට
මඟ බලමි.. දෑස් අයාගෙන...
නුඹ නෑවිදින් ඉන්නැතිව
හනිකට පායන්න මේ සිත් අහස පුරා......




Post Comment

27 March 2012

අතීතය සිහිනයක් පමණයි!!!!


ජීවිතේ හුඟාක් තැන් වලදි මම ඕනාවට වඩා දුක් වුනා.ඔව්. මගේ පහුගිය අතීතෙ දිහා හැරිලා බැලුවොතින්, මම හරිම සැහැල්ලුවෙන්, සතුටින් ජීවත් වෙච්ච,පිහාටුවක් වගේ පාවෙවී ගතකරපු සුන්දරම සුන්දර යුගයක් තිබුණා.ඒ ලස්සන කාලෙ සමහර මතක වලට ,අදටත් මගේ හිතට සැහැල්ලුවක් ගේන්න, මූණ පුරාවටම හීන් හිනාවක් ගේන්න පුළුවන් වෙලා තියෙනවා.

ඒත් ඊට ඩිංගක් මෑත අතීතය දිහා හැරිලා බැලුවොත්නම්,වැඩිපුරම මම හිනා වුනාටත් වඩා අඬලා තියෙනවා. ජීවිතේ ලස්සනම ලස්සන කාලෙක මම දුක බදාගෙනම ජීවත්වෙලා ඉඳලා.ඇත්ත පෙනී පෙනී මම ඒ ඇත්ත මඟ ඇරලා ගිහින්.ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා යාන්තමට හරි දැනිලා තිබුණු මේ මගේ හිත , හදවතට වහල් වෙලා ජීවිතේ තේරුම පටළවාගෙන. අද මම ආපහු හැරිලා බලද්දි අතීතෙ දිහා, මට දැනෙන්නෙ,තේරෙන්නෙ ,එක දෙයයි. ඒ මම ගෙවපු අතීතෙ සමහර තැන් වල ජීවිතේ අගක් මුලක් හොයාගන්න බැරි තරම් පටලවගෙන.ඔව්...ඒ අද මට මගේ අතීතෙ ගැන හිතෙන දේ.

ආදරේ බහ තෝරන යුගයක පටන්ගත්තු කුළුඳුල් ආදරේට වහල්වෙලා,ජීවිතේ අතරමැද හිරවෙච්චි මට දැන් නම් දැනෙන්නෙ ,ඒ අතීතේ හීනයක් කියලායි.මොනතරම් හිතුවත්, මොනතරම් පසුතැවුනත්,කොයිතරම්නම් සුසුම් හෙලුවත්, වෙනස් කරන්න බැරි ඒ අතීතෙ ඇත්තටම හීනයක්ම තමා. සැබෑවක සුවඳක්වත් නැති ඒ අතීතෙ ,මහා දිග හීනයක්. දුක ,සතුට,තරහා,වේදනාව, කළකිරීම , වෛරය...මේ හැම දෙයක්ම අඩුවැඩියෙන් එකතු වෙච්ච ඒ අතීතෙ ඇත්තටම හීනයක්.හැඟීමකට වඩා කිසිම දෙයක් නොදැනෙන ඒ අතීතෙට දෙන්න පුළුවන් එකම නම ,ඒක "හීනයක්" කියන එක විතරයි.

එදා අහම්බෙන් වගේ මගේ ජීවිතේට ආපු ඔයා එක්ක, මම මහා හුඟාක් ආදරෙන් බැඳුනෙ නැත්තම්, මහා ලෝබකමකින් ඔය ආදරේ වෙනුවෙන් ඔය හිතට ඇළුනෙ නැත්තම්,මොහොතක් මොහොතක් ගානෙ ඔය ඇස් එක්ක සාංසාරික බැදීමකින් වෙළුනෙ නැත්තම්, සත්තමයි...අද මේ දැනෙන වේදනාව දැනෙන්නෙ නැතිවෙයි.අපිට අපි නැතිවෙන්න බැරි තරමට ඔයා මාව ආදරෙන් පිස්සු වැට්ටුවෙ නැත්තම්, මම අදත් එදා වගේම සැහැල්ලුවෙන් ඉදීවී..ඔයාට මමවත්, මට ඔයාවත් මුණ ගැහුණේ නැත්තම් එදා..ඔව්..එදා හමුවෙච්ච අපි මහා හුඟාක් ආදරෙන් බැඳුනෙ නැත්තම් මෙදා මෙහෙම වියෝවක් නෑ තමයි.. බැදීම් ජීවිත වලට එකතු කරන්නෙ සතුටක් වගේම , හැංගිච්ච වේදනාවක්..

ඉස්සර අපි මොන තරම් ආදරෙන් හිටියාද? මේ ලෝකෙ මම දැකපු හොඳම කොල්ලා ඔයා. ඔයාට හුඟාක්ම ආදරේ කරපු ,ඔයාගෙ ජීවිතේට හිටිය එකම ,හොඳම කෙල්ල මම.මගේ හිත පිරෙන්නම හිටියේ ඔයා විතරයි. ඔයාගෙ මුලූ ලෝකෙම සතුට තිබ්බෙ මගේ හිනාවෙ.අපිට අපි හිටියානම් ඇති.මේ ලෝකේ කොහේ හරි තැනක, අපිට අපි උරුම තැනක, අපේම කියලා පුංචි ලෝකයක් හදාගෙන ජීවත් වෙන්න අපි පෙරුම් පිරුවා. ලස්සනම ලස්සන මල් පොකුරක් අරන්, ලා පාට චාම් සාරියකින් හැඩ වෙලා,ඔයාගෙ පුංචි මනමාලි වෙලා,ඔයා එක්ක එකම පෝරුවක හිටගෙන අත්පැන් වත් කරන්න මම හීන මැව්වා.දෑඟිලි රන් පාට නූලකින් බැඳිලා, මම ඔයා දිහාත්, ඔයා මං දිහාත් හිමින් හිමින් ඇස්  කොනින් බල බල, ලැජ්ජාවෙන් හිනා වෙන හැටි මම හීන දැක්කා.සතුටු කඳුළු නිසා ලාවට තෙත් වෙච්චි මගේ ඇස් අස්සෙන්, බොඳ වෙලා පේන ඔයාගෙ හිනාව බලන්න මම හීනෙනුත් ආස කලා.අම්මා තාත්තා, නෑදෑ හිතම්ත්‍රයෝ හැමෝම ඉස්සරහා, හැමෝගෙම ආශිර්වාද මැද, ජීවිතේ තියනකම් ඔයාගෙම වෙන්න ,මම පෙරුම් පිරුවා.ඔව් මම හීන නෙවෙයි,හීන මාළිගාවල් හැදුවා.අපේම පුංචි ලෝකෙ ඇතුළේ, පුංචි පැටියෙක්ගෙ හිනා පොකුරු එක්ක හුරතල් වෙන්න,කිරි සිහින දැකපු මගේ බොළඳ හිත ,අනේ.. එදා ඒ හීන ලෝක වල පාවුණා.

ඒත්....ඒ හීන ,බිඳිලා ගියා.මගේ හීන මාළිගා කඩන් වැටුණා. මම හිතපු තරම් හීන සුන්දර නෑ කියලා තේරුණා.අපි අපෙන් වෙන්වුනා.අපිට අපි නැති වුනා. අපි හදපු ලෝක ,මේ මහ පොළොවෙන් හුඟාක් ඈත බව දැනුනේ හුඟාක් පහුවෙලායි.ඒත් මම තරහා නෑ.. කවදාවත්ම ඒ අතීතෙට ගරහන්නෙ නෑ.. ඔව්.සත්තමයි, මම වෛර කරන්නෙ නෑ ඒ අතීතෙට.මේ ඇස් වල කඳුළු නෑ දැන්..කාලෙත් එක්ක කඳුළු වියැළිලා.තාමත් මේ හිත ඉස්සර තරම් ම ලස්සනයි. කිසිම කිළුටක් නෑ..ඔයාව මට අහිමි වුනත්, වෙන කෙනෙක්ට හිමි වුනත්, මේ හිත ඇතුළේ තරහක් නෑ..මට දුක විතරක් ඉතිරි කලාට, හිනාව අතුරුදහන් කලාට , මම ආයෙමත් කිසිදවසක නෝක්කාඩු කියන්නෙත් නෑ..දෛවය අපිව වෙන් කල පවට , මම ඔයාට පළිගහන්නෙ නෑ...ආදරේ කරපු මේ  හිත ඒ තරම් පව්කාර නෑ.. 

ගෙවුනූ අතීතෙ ඉස්සරම දවසක ,අපි පන්සල් ගිහින් එද්දි, පන්සල ළඟ මල් පැළ තවානෙන් ලස්සනම ලස්සන රෝස පැළයක් ගත්තා..ඔයා ඒක මට අරන් දුන්නෙ හුඟාක් ආදරෙන්.මමත් ඒ රෝස පැලේ අරන් ගිහින් හිටෙව්වෙ, ඉස්සෙල්ලාම හැදෙන රෝස මල ඔයාට ගෙනත් දෙන්න හිතාගෙනමයි.රෝස පැළේ ටිකින් ටික ලොකු වුනා. පුංචි පැළේ තරමක පැළයක් වුනා. මම හැමදාම උදේට නැගිටලා ගිහින් බලන්නෙ රෝස පැළේ ලොකු වෙලාද කියලා.ඒ තරමට ආදරෙන් මම ඒ පැළේ බලාගත්තෙ.දවසක් උදේ නැගිටිලා බලද්දි , දෙයියනේ !!! මට පුදුම සතුටුයි.. රෝස පැළේ පොහොට්ටුවක් ඇවිල්ලා.. ලස්සනම ලස්සන ලා රෝස පාට පුංචි පොහොට්ටුවක්..මම හුඟාක් සතුටින් හිටියේ ඒ රෝස පොහොට්ටුව පිපෙනකම්... අනේ...ඒත්... පහුවදා රෑ.. මහා මූසලයි.. එදා මුළු රෑම වැස්සා..පුංචි වැස්සක් නෙවෙයි ඒක.. මොර සූරන වැස්සක්.අකුණු ගගහා වැස්සා..ගස් කොළං ඇඹරිලා, බිම වැටෙන්න වැස්සා.. මට මතක් වුනා රෝස පැළේ..පහුවදා උදෙත් වැඩි පොදේම ගියේ රෝස මල් පොහොට්ටුව බලන්න... අනේ..... රෝස පැළේ බිම පෙරළිලා..වැස්සට කඩන් වැටිච්ච අතු අස්සෙ රෝස පැළේ  හිරවෙලා...පොඩි වෙලා.මුලෙන්ම ඉදිරිලා තිබුණු පැළේ, මල් පොහොට්ටුව පොඩි වෙලා. මට හුඟාක් දුකයි..හුඟාක්... කඳුළු ආවා ඇස් වලට.. ඒත් ඔයාට කිව්වාම ,ඔයා මාව සැනසුවා.මගේ හිත හැදුවා.."ඕවා ඔහොම තමා .ස්වභාදහම වළක්වන්න අපිට බෑනෙ පැටියෝ.." ඔයා කිව්වෙ එහෙමයි....ඔව්.මට තාමත් මතකයි...ඔයා එහෙම කිව්වා.


ඔයා හරි.. ඔයා එදා කිව්වෙ ඇත්ත.මේ ලෝකෙ ස්වභාධර්මයට අවනත නොවී ඉන්න අපි කාටවත්ම බෑ තමා. ලස්සනට මල් පිපෙන,කොළ පිරිලා තියෙන ගහක් වුනත්, මල් හැලිලා ,කොළ හැලිලා,කේඩෑරි වෙලා යන යුගයක් එනවා. මහ හයියෙන් වහින වැස්ස, පොළොව ඉරිතළා දාන ඉඩෝරෙ නවත්තන්න අපිට පුළුවන්කමක් නෑ..හරියටම අපේ ජීවතත් ඒ වගේමයි.. හැමදාම එකම විදියට,අපි කැමතිම විදියට ,අපි ආසම විදියට , මේ ජීවිතේ වෙනස් කරගන්න බෑ.. දුක සැප හැමදෙයක්ම බාරගන්න වෙනවා..ලැබීම් නොලැබීම් එකම විදියට දරාගන්න වෙනවා. දිනන්න වගේම පරදින්නත් හිත හයිය කරගන්න වෙනවා. ඔව්.. ඒක ලෝක ස්වභාවය. ස්වභාවධර්මය අපිට දායාද කරන විදිය..ලෝකෙ හුඟාක් ජයග්‍රහණ පිටිපස්සෙ තියෙන්නෙ , විශාල පරාජයන්..දරුණු කඩාවැටීම්..මේ ජීවිතේ පැරදීමක් නැති තැන දිනුමක් නෑ..


අතීතයේ දැකපු හීන බිඳුනා.. මම දුක් වුණා. ආයෙමත් හීනනම් දකින්නෙ නෑ කියලා හිතුවා.ඒත්, අතීතයත් හීනයක්ම තමා. දැන් ඒ හීනෙ ඉවරයි..එක හීනයක් බිඳුනාට කමක් නෑ.. මම ආයෙත් හීන බලනවා.. හැබැයි ඉස්සර වගේ නෙවෙයි.. හීන කවදාහරි හැබෑ වෙන්නත් පුළුවන් වගේම,හීන කවදාහරි එහෙම් පිටින්ම බිඳිලා යන්නත් පුළුවන් කියලා,මම දැන් දන්නවා.කවදා හරි ඒ හීනත් අතීතයෙම කොටසක් වෙයි... අන්තිමේදි මුළු අතීතයම හීනයක් විතරක්ම වේවී෴.


අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ..............

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ
සිනාවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ..............

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ..............






ගානයනය: කරුණාරත්න දිවුල්ගනේ

Post Comment

22 March 2012

ආසයි මං......



ලස්සනම ලස්සන හැන්දෑවරුවක
ඔයාගේ අතේ එල්ලිලා 
පුංචි එකියක් වගේ උඩ පැන පැන
සතුටින් රවුමක් යන්න එන්න
සත්තමයි...මට හරිම ආසයි.....
හුරතල්ම හුරතල් පුංචි එකියක්
අයිස්ක්‍රීම් ඉල්ලලා අඬනකොට
ආදරේට තරවටු කරන තාත්තෙක් වගේ
ඔයාගෙන් අහිංසක තරවටු ලබන්න
සත්තමයි...මට හරිම ආසයි.....
ආදර සුළං සීරුවට හමා එන
සුන්දරම සුන්දර වෙරළ කොනක
ඔයාගෙ උරතලේ හිසම හොවාගෙන
මහා හුඟාක් කතානදර කියවන්න
අනේ ඇත්තටම... මට ලෝභයි......
ඔය අහිංසක ඇස් දිහාම බලාගෙන
කප්පරක් හීන බල බල සැනසෙන්න
තව තවත් ළඟටම ළං වෙලා තුරුළු වෙන්න
ආදරේ උණුසුමටම ගුලිවෙන්න
සත්තයි...අනේ මට දුකයි ,
මේ හීනෙන් ඇහැරෙන්න.......




ප.ලි- කාලෙකට කලින් මම ලියපු කවියක් මේ.. ප්‍රර්ථනා අක්කා එක්ක බුකියේ චැට් එකක් දාගෙන ඉන්නකොට අක්කා මට එවපු කවියක් නිසයි අපි දෙන්නටම මේ කවිය දාන්න හිතුනේ... ප්‍රර්ථනා අක්කාගෙ කවියට මෙතනින් යන්න පුළුවන්.. කියවලාම බලන්නකෝ මේ දෙක කොයි තරම් එක සමානද කියලා ... :p

ප.ප.ලි-සමානද බලන්න කිව්වට ,ප්‍රර්ථනා අක්කා තරම් මම කවි ලියන්න ශූරියක් නෙවෙයිනෙ.. හික්ස්ස්.. මේක දැම්මෙ ජොලියට. ප්‍රර්ථනා අක්කාගෙ කවිය සුපිරියි!!! ඔන්න මම තමා මුලින්ම එහෙම කිව්වෙ :D

Post Comment

18 March 2012

-කෙල්ලෙක්ගෙ දුක තේරෙන්නෙ කෙල්ලෙක්ට -

"හායි"

මූණූ පොතේ  එහේ මෙහේ පාවි පාවි ඉද්දි අහම්බෙන් වගේ එයාව දැක්කෙ. 

"මෙන්න හායි කියලා..මොකද දැන් කරන්නෙ.."
මම මගේ හිතින්ම අහගත්තා.

"ඔන්න ඔහෙ හායි කියනවා. ඒ කෙල්ලගෙ වරදක් නෑනෙ.. මගේ කරුමෙ පල දුන්නාට ඒකි මක් කරන්නද?"

"හායි"

මමත් වැඩිය ගනන් ගන්නෙ නැතිව හායි කිව්වා.

"කොහොමද ඔයාට?"

"ම්ම්.. මම හොදින්. ඔයාට කොහොමද?"

"මාත් හොදින්."

ම්ම්... අවුරුදු ගානක් මම ආදරේ කරපු මගේ පෙම්වතාගෙ, වර්තමාන පෙම්වතිය වුනු ගයනි  එක්ක ,මගේ තරහක්නම් තිබුණේ නෑ.. ඒත් මටවත් තේරුම්ගන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතේ තෙරපිලා තිබුණා. ඒත් කවදාවත් කෙනෙක්ගෙ හිතක් ,හිතාමතාම රිදවන්න අකමැති මම කිසිම වෙනසක් නොපෙන්වා ගයනි එක්ක කතා කරන්න උත්සාහ කළා.

"ඔයා මාව දන්නවාද?"

"හ්ම්ම්. මං හිතන්නෙ දන්නව.."

"හ්ම්ම්...."

එයා මා ගැන දන්නවාලුනෙ.. එහෙනම් සහන් කියලා ඇති..

"ඔයා සහන්ගෙ කලින් Girl නෙ?"

"හ්ම්ම්..."
මම හූ මිටි තිබ්බා..

"ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ළඟක් වෙනකම් ඒ විත්තියක්..මම හිතුවෙ ඔයා සහන්ගෙ යාළුවෙක් කියලා."
"ආ.. ඇයි සහන් මං ගැන කියලා තිබ්බෙ නැද්ද?මගේ Profile එකේ එයා දැන් නෑ.. මම එයාව Remove කරලා Block කරලාත් තියෙන්නෙ. ගිය අය මට වැඩක් නෑ..ඔයාව ඇඩ් කරගත්තෙත් ගොඩාක් හිතලා."

"ඔව් මම හිතුවා. ඔයා මගේ Request එක ටික දවසක් යනකම් Confirm නොකල ඉන්නකොට."

"හ්ම්ම්.. ඔව්. මම දැන් සතුටින් ඉන්නෙ. නිකන් කරදර දාගන්න ආස නෑ.."

"මාව කරදරයක්ද ඔයාට? "

"අයියෝ නෑ..ඒත් මම සහන්ගෙ මතක එක්ක තවත් රැඳෙන්න ආස නෑ..එයා මගේ අතීතෙ විතරයි.. මගේ වර්තමානෙ එයා නෑ..ඔයාත් එයා එක්ක බැඳිච්ච මතකයක්නෙ."

මම ඔහේ කියවගෙන ගියා. සහන්ගෙයි මගෙයි මතක අමතක කරන එක ලේසි වුනේ නෑ මට. ඒත් කාලයත් එක්ක මම හිත හදාගත්තා. ජීවිතේ තේරුම්ගත්තා. බැඳිම් කවදාහරි නැතිවෙන්නම ඇතිවෙන දෙයක් කියලා මම මගේ හිතට කෑගගහා කිව්වා. සහන්ව අතීතෙදි අයිති මට වුනත්, දැන් අයිති ගයනි ට කියලා මම මගේ හිතට තරවටු කළා.

"ඇත්තටම ඔයාලට මොකද වුනේ?"

ගයනි ආයෙමත් මගෙන් ඇහුවා. මගේ ඇඟ සීතල වෙලා ගියා.මම මතක් කරන්න අකමැතිම ඒ මතක, ආයෙත් මොකට අවුස්සනවාද මංදා.

"ඇයි ඔයාට සහන් කිව්වෙ නැද්ද?"

"නෑ.. මම නිකන් අහන්නෙ ඔයාගෙන් දැනගන්න.."

"මෙහෙමයි.. කෙනෙක්ට ආදරේ කරද්දි වර්තමානෙ එයා ආදරේ තමන්ටනම්, එයාගෙ අතීතෙ ගැන ,අතීතෙ ආදරේ කරපු කියපුවා ගැන අවුස්සන එක තේරුමක් නෑනෙ?"

"එහෙම නෙවෙයි.. මට අවුස්සන්න ඕනෙ නෑ..ඒත් ඔච්ච්ර ආදරෙන් හිටපු ඔයාල වෙන්වුනේ ඇයි?"

හ්ම්ම්.. මමත් අදටත් උත්තර හොයන ප්‍රශ්නයක්.. මට, මටවත් දෙන්න උත්තර හොයාගන්න බැරිවුනු ප්‍රශ්නයක්..කොහෙන් පටන් අරන් කොහෙන් ඉවරවුනාද කියලා දන්නෙ නැති කතාවක්..

 මම කොහොමද මේ වෙන කෙනෙක්ට කියන්නෙ?ජීවිතේ අපිට අපි ළංවෙලා උන්නු ඒ කාලෙ, අපිට අපිව අඳුරගනන් බැරිවුන නිසා අපි වෙන්වුනා කියන්නද? බෑ බෑ.. මම එහෙම කියන්නෙ කොහොමද? මගේ ආදරේ එච්ච්ර බාල්දු කරන්න බෑ....

"ම්ම්.. හේතුවක් කියන්න දන්නෙ නෑ.. මංවත්..."

"ම්ම්.... ඔයා තාමත් එයාට ආදරෙයිද?"

මගේ හිත නැවතුනා. මොහොතකට හුස්මගන්නත් අමතක වුනා. 

"දෙ..දෙ..යියනේ.. මේකී මොනාද මේ අහන්නෙ?"

අමාරුවෙන් ටයිප් කරගත්තා...

"නෑ.. එයා ආදරේ ඔයාටනෙ..මට නෙවෙයි.. :) "

" ඒක නෙවෙයි නේද මම අහපු ප්‍රශ්නෙට උත්තරේ?"

"ප්‍රශ්නෙ මොකක් වුනත්, උත්තරේ මේකයි.. සහන් මහා ගොඩාක් ආදරේ ඔයාට."

"ම්ම්.. වෙන්නැති.. ඔයාට එයාව තේරුම්ගන්න බැරිවුනා..ඒකයි.."

මේ සැරේනම් මගේ ඇඟේ ලේ රත්වුනා.

මෙයා එනවා සහන් ගැන මට උගන්වන්න. සුපුරුදු ගෑණූකමයි, ඊර්ෂි‍යාවයි, තරහවයි මතුවුනා. අවුරුදු 3ක් මම ආදරේ කරපු මගේ කොල්ලා ගැන මට කියලා දෙන්න එන්න ,මේ කෙල්ල කවුද? 

මම තරහෙන් පිපුරුවා.

"ඔයාට වඩා මම එයා එක්ක කාලෙ ගත කලා. මට එයා ගැන උගන්වන්න ඕනෙ නෑ.. මම එයා ගැන දන්නවා..ගයනී.."

"බලන්න.. ඔයා තාම එයාට ආදරෙයි මල්කි. :) "

මොනවා? නෑ.. ගයනිට පිස්සු.. මම ආදරේ නෑ.. ඉස්සර ආදරෙයි..ඒත් දැන්... නෑ..මට වැඩක් නෑ මාව දාලා ගිය කෙනෙක්ව ආපහු.. මැරිච්ච ආදරේකට පණ ගන්න බෑ..  පණ ගත්තාත් ආයෙත් ඉක්මණටම දාලා යනවා..

"මම ආදරේ නෑ එයාට. මට එයාව දැන් වැඩක් නෑ..."

"ඔය ඇත්තමද? මට නිකන් හිතට හරි නෑ වගේ.. ඔයාට මම අසාධාරණයක් කළා වගේ දැනෙනවා."

"ඔව්.. ඇත්තමයි..මට එයා එපා. ඔයාල සතුටින් ඉන්න. එයා හිත හොද කොල්ලෙක්.."

"ඔයා දන්නෙ නෑ මල්කි මා ගැන. ඔයා එයාට තාමත් ආදරේනම් , මට පුළුවන් ඔයාට උදව් කරන්න."

මොනවද මේ කෙල්ල කියවන්නෙ මේ? මාව අතරමං වුනා කොහේදෝ ලෝකෙක..කෙනෙක්ට පුළුවන්ද තමන්ගෙ ආදරේ තව කෙනෙක්ට ලියලා දෙන්න? කෙල්ලෙක්ට පුළුවන්ද තමන් පණ වගේ ආදරේ කරන කොල්ලාව තව කෙල්ලෙක්ට දෙන්න? බෑ.. දෙයියනේ මටනම් බෑ.. මගේ ආදරේ මාව දාලා ගිය එක ඇත්ත. ඒත්, මම කවදාවත් මගේ ආදරේ තව කෙනෙක්ට පූජා කරන්නෙනම් නෑ..ඔව්.. මට එහෙම කරන්න බෑ.. මම ඒ තරම් පරර්ථකාමී කෙල්ලෙක් නෙවෙයි..

"මොනාද ඔයා කියවන්නෙ? ඔයාට පිස්සු.."

"නෑ..මට පිස්සු නෑ.. මම කියන්නෙ ඇත්ත. මම ඔයා වෙනුවෙන් එයාව අතාරින්නම්.."

"ගයනි!!! විකාරද ඔයාට? මට සහන්ව එපා. මාව දාලා ගිය කෙනෙක්ව ආයෙත් උදුරලා අරන් බදාගන්න තරම් මෝඩියක් නෙවෙයි මම. මගේ ආදරේ ඒ තරම් බාල්දු කරනන් එපා."

"එහෙම නෙවෙයි මල්කි..ඔයා ඉන්නකෝ.. ඔයා මා ගැන දන්නෙ නෑ.. මම ඔයා වෙනුවෙන් මොනා හරි කරනවාමයි.."

"පිස්සු.. මට වැඩක් නෑ..."

"ම්ම්.. ඔයා වෙන කෙනෙක් එක්ක යාළු නොවී ඉන්නෙ ඇයි එහෙනම් තාමත්? මෙච්ච්ර කල් ගිහිල්ලත්? affair එක නවත්තලා අවුරුදු 2ක් ගිහිල්ලත්..?"

"ගයනි.. මට කොල්ලෙක් නැතිව ඉන්න බැරි නෑ.. මට මගේ පාළුවට රූකඩයක් හරි කමක් නෑ කියලා මොකෙක්ව හරි බදාගන්න ඕනෙ නෑ.. මම ඒ තරමට ආදරෙන් දුප්පත් නෑ..මට ආදරේ, මාත් ආදරේ කරන කෙනෙක් හම්බුන දාට මම එයා එක්ක මගේ ලෝකෙ හදනවා.."

"හ්ම්ම්.. මංදා. ඔයාගෙ කැමැත්තක්. ඒත් මම ඔයා වෙනුවෙන් මොනා හරි කරන්න ඕනෙ..ඔයා පවු"

" ඒ මොකට්ද? මම අසරණ වෙලා නෑ.. ආදරයක් නැති වුනා කියලා මම මැරෙන්න වැටිලා නෑ.. මම හොදින් ඉන්නවා.. මගේ ජීවිතේ ඉස්සරටත් වඩා හොදයි.ඔයා ඔයාගෙයි සහන්ගෙයි ලෝකෙ ලස්සන කරගන්න මහන්සිවෙන්න."

"ම්ම්.. OK මල්කි.. ඔයාව මට තේරෙනවා. ඔයා කොහොම කිව්වත් ඔයාගෙ හිත මට දැනෙනවා.. මම මොනා හරි කරන්නම්.. මට දැන් Log out වෙන්න වෙලා.පස්සෙ හම්බෙමු..බුදුසරණයි!! Tc!! Bye!!

"OK. Bye!!TC!!බුදුසරණයි!!"

හරිම පුදුමයක් මේකනම්.. මට අදහගන්න බැරිව මම කල්පනා කලා. සහන්ව මගේ ජීවිතේට ඕනෙ කියලා නොදැනෙන මොහොතක ආයෙමත් මට ලං කරන්න හදන්නෙ ,එයාගෙම පෙම්වතිය වෙන ගයනිමයි. එදා දවස පුරාම මම හිටියෙ මේ අරුම පුදුම සිතුවිල්ලත් එක්කමයි..

පහුවදා මූණූ පොතට ඇවිල්ලා විස්තර බල බල ඉද්දි අහම්බෙන් වගේ දැනගත්තු  දෙයින් මාව පුදුම වුණා.ගයනි මාව Block කරලා තිබුණා. මට හීනී හිනාවක් ගියා. දුකක් දැනුණෙ නම් නෑ.. සතුටකුත් නෑ.. ඒත් මොකක්දෝ මංදා මහ අමුතු හැඟීමක් හිතට දැනූනා..ඊයේ එයාගෙ ආදරේ මට පූජ කරන්න හදපු කෙල්ල, අද මාව Block කරලා...

මොනතරම් කතා කිව්වත්, කොයිතරම් පරාර්ථකාමී වුනත් ආදරේ කරන කෙනෙක්ව තව කෙනෙක්ට භාරදෙන්න, ආදරයක් එහෙම් පිටින්ම  ලියලා දෙන්න,තව කෙනෙක්ට අයිතිවෙනවා සංතෝසෙන් බලන් ඉන්න, බෑ... බෑ..බෑ මයි..ඒක තමා ඇත්ත.අපි ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් නම් එහෙම දෙයක් අමාරුවෙන් හරි දරාගෙන විඳවගන්න තිබුණා. ඒත් ඒකත් හරිම කටුක අත්දැකීමක් බව නම් මම හොදින්ම දැනගෙන උන්නා. අපි හැමෝම මිනිස්සු.. හදවතක් තියන, ආදරේ දැනෙන,විඳින කෙනෙක්ට ඒ ආදරෙන් සංතෝසෙන් වෙන් වෙන්න අමාරුයි...ඒකයි යථාර්තය.



ඔයත් කෙල්ලෙක්.. මමත් කෙල්ලෙක්....
මම එයාගෙ කලින් ආදරේ..
ඔයා එයාගෙ දැන් ආදරේ...
එයාට හිත් දෙකක් තිබ්බට
අපිට තිබ්බෙ, තියෙන්නෙ එක හිතයි නේද??
කොහොම ඔය කටින් කියනවද ඔයා??
"ඔයා වෙනුවෙන් මම එයාව අතාරින්නම්" කියලා...
බෑ.. වෙන්න බෑ...
ඔයා කොහෙද එහෙම වෙන්නෙ?
ඔයා වෙස්සන්තර කුලේ වෙන්න බෑ....
ඔව්.. ආදරේ දෝත පුරෝලා ලෝබ නැතිව
මට පූජ කරන්න,
ඔයාට කොහොම පුළුවන් වෙන්නද??
ඔයත් කෙල්ලෙක්.. මමත් කෙල්ලෙක්...
මම දන්නෙ නැද්ද,
කෙල්ලෙක්ගෙ දුක තේරෙන්නෙ කෙල්ලෙක්ට වුනත්,
දෙයියනේ!!!!!

කාටද පුළුවන් ආදරේ කරපු හිතක්
සින්නකර ලියලා දෙන්න???
මංදා.. මටනම් බෑ........
මම දන්නෙ එච්චරයි......

                                         ෴නිමි෴ 


ප.ලි-සිතිවිල්ලක් පමණි කියලා දැම්මාට වැඩක් නෑනෙ.. ඉතිං , මෙදා සැරේ නොදාම ඉන්නවා..:D :p

ප.ප.ලි- බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කරන්න සෑහෙන්න මහන්සි වුනා ..බැනර් එකක් හදාගන්නත් .. අවසානෙදි Background එකේ තිබ්බ පින්තූරෙත් පොඩ්ඩක් එහාට මෙහාට වුනා මගේ පිස්සු වැඩ නිසා. ඔන්න ඊටපස්සෙ දාලා තියෙන පින්තූරෙ කැතයි කියන්න නම් එපා..කැතයි කියන අය ඉන්නවානම් මට අලුතෙන් ලස්සන "හිතුවක්කාර" පින්තූරයක් හොයලා දෙන්න. හොඳේ?? :p :p

Post Comment

15 March 2012

-සියදිවි නසාගැනීම සහ ප්‍රේමය -

මේ දවස් වල බ්ලොග් කියවන්න එන්නෙත් කඩිමුඩියෙ..මෙහාට හෙණ ගගහා වහිනවා හෆ්ෆා...:( :(  සෙනසුරාදා ඉරිදා උදෙන්ම ඇවිල්ලා මඟ ඇරුණු ඔක්කොම ලිපි කියවන්න ඕනෙ. අලුත් වැඩක් කරන්න ඉන්නෙ වෙලාව නැතිකමයි, කාළගුණ විපර්‍යාසයි නිසා ඒකත් කල් යනවා.. :( ඔන්න ඔහොමයි ආ ගිය තොරතුරු..:D

මම මීට කාලෙකට කලින් ලියලා තිබුණූ ලිපියක් අද බ්ලොග් එකේ දාන්න ඕනෙ කියලා හිතුණා.මට හිතෙන විදියට ඒ ගැන ලිව්වෙ. සමහර දේවල් වැරදි වෙන්නත් පුළුවන්..මීට කලිනුත් මේ සම්බන්ධව බ්ලොග් අඩවි වල ලියැවුනා මතකයි....කියවලා බලන්නකෝ ,මේ මගේ අදහස.



සියදිවි හානි කරගන්නවා කියන්නෙ මොකක්ද?කෙනෙක් ඇත්තටම තමන්ගෙම ජීවිතේ අකාලයේ නැති කරගන්නෙ ඇයි?ප්‍රශ්නයක් නේද?බුදුදහමට අනුව නම් සියදිවි නසා ගැනීම අකුසලයක්.සියදිවි හානි කරගන්න,එහෙමත් නැත්තම් කෙනෙක් තමන්ගෙ ජීවිතේම තමන් විසින් නැති කරගන්න මූලික වෙන්නෙ "චේතනාව".ඒ නිසා කෙනෙක් නරක ,කිළුටු සිතුවිල්ලකින් දෙයක් කලොත් ඒ දේ නිසා වෙන අකුසල කර්මය ගොනා පසුපස එන කරත්ත රෝදෙ වගේ පස්සෙන් එනවා.ඒ නිසා බුදුදහමට අනුවත් සිය දිවි හානි කරගැනීම විශාල අකුසල කර්මයක් කියලයි හඳුන්වන්නෙ.


හුඟාක් දෙනෙක් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න ඕනෙ කියලා සිතුවිල්ලක් ආ සැනින් ක්ෂණිකව තමන්ට පහසුම ක්‍රමයක් එහෙම නැත්තම්,ඒ අවස්ථානුකූලව ජීවිතෙන් සදහටම සමුගන්න ක්‍රමයක් තෝරාගන්නවා.සමහරු වහ බොනවා,තව සමහරු ගඟේ මූදේ පනිනවා, තවත් අය එන කෝච්ච්යට බෙල්ල තියනවා.තවත් සමහරු ගේ ඇතුළෙම පරාලෙක හරි,වත්තෙ ගහක හරි එල්ලෙනවා.ඒ වගේම නින්දෙන්ම මැරෙන්න,ජීවිතේ නැතිකරගන්න ඕනෙ අය නිදි පෙති බොනවා.ක්ෂණික ආවේගය නිසා බොහෝ දෙනා වැරදි තීරණවටල ඇවිත් මේ විදියෙ විවිධාකාර ක්‍රම වලින් තමන්ගෙ ජීවිතේ නැතිකරගන්න  පෙළඹෙනවා.


කෙනෙක් තමන්ගෙ ජීවිතේ විනාශ කරගන්න පෙළඹෙන්නෙ ඇයි?? ජීවිතේට මූණ දෙන්න ආත්ම ශක්තිය නොමැති කම නිසා එහෙම වෙන්න පුළුවන්.ඒ වගේම කෙනෙක්ට දරාගන්න බැරි පීඩනයක්, මානසික හිංසාවක් ඇතිවීම නිසාත් ඒ වගේ තීරණයකට එන්න පුළුවන්.


දුප්පත්කම,පවුල් ආරවුල්,ලෙඩ රෝග,මුදල් අර්බුධ, නීතිමය ප්‍රශ්න නිසා කෙනෙක් ජීවිතේ නැති කරගන්න පෙළඹෙන්න පුළුවන්.නමුත් හුඟාක් දුරට කතාබහට ලක් වෙන කාරණයක් තමා "ප්‍රේමය" නිසා සිය දිවි හානි කරගැනීම.


හැමෝම කතා කරන, හැම කෙනෙක්ම කැමති,නිතර දෙවේලේ අපි ඇලී ගැලීගෙන කතා කරන ප්‍රේමය නිසා ඇයි සියදිවිහානි කරගන්න පෙළඹෙන්නෙ??ප්‍රේමය කියන්නෙ කෙනෙක්ව මරණයට පත් කරන්න,එහෙමත් නැත්තම් ජිවිතෙන් ඈත් කරන්න පුළුවන් දරුණූ සාධකයක් ද?


ඇත්තටම ප්‍රේමය, එහෙමත් නැත්තම් මේ ආදරේ කියන්නෙ මොකක්ද?


"ප්‍රේමය" එහෙමත් නැත්තම් ආදරය  කියන වචනයට නිවැරදි ,නිශ්චිත අර්ථකතනයක් දෙන්න පුළුවන් කිසිම කෙනෙක් ඉන්නවා කියලා මම  නම් විශ්වාස කරන්නෙ නෑ..මොකද ඒ තරමටම සංකීර්ණ වගේම එක එක ස්වරූප වලින්,එක එක ආකල්ප වලින් වගේම විවිධාකර වූ අදහස් හැඟීම් තුළින් ගොඩනැගුනු දෙයක් තමා ප්‍රේමය,එහෙම නැත්තම් මේ ආදරය කියලා කියන්නෙ.ඒ වගේම වැඩිපුරම කියැවෙන්නෙ,බොහෝ දෙනෙක් කතා කරන්නෙ,යොවුන් ප්‍රේමය,එහෙමත් නැත්තම් මේ තරුණ තරුණියො අතරේ ඇති වන ආදරය ගැන තමයි.


අද ලෝකයේ බහුතරයක් ගීත,චිත්‍රපට,නාට්‍ය,නවකතා ඇතුළු හැම කලා නිර්මාණයකම වගේ ප්‍රධානතම මාතෘකාව,සාධකය වෙලා තියෙන්නෙ ආදරයයි.වැඩිපුරම යොවුන් ආදරයයි.ඒ තරමටම මේ මුළු විශ්වයම මූලිකත්වයක් දීලා තිබෙන හැඟීමක් විදියට ආදරය හැඳුන්වූවාට වැරද්දක් නම් නෑ මම හිතන්නෙ..


"ප්‍රේමය නම් රාගයෙන් තොර
 සඳ එළිය සේ 
අචින්ත්‍යයි... පාරිශුද්ධයි... සුරම්‍යයයි..."


නන්දා මාලිනියන්ගේ ගීතයෙන් කියැවෙන ප්‍රේමය අචින්ත්‍යයි.. පාරිශුද්ධයි...සුරම්‍යයි....එහෙම ප්‍රේමයකට පුළුවන්ද කෙනෙක්ගෙ දිවි තොර කරන්න.. ?? නෑ මම නම් හිතන්නෙ නෑ..


බහුතරයක් දෙනා,මේ ආදරය ,ප්‍රේමය නිසා ජීවිතේ නැති කරගන්නෙ , ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම් නිසායි.තමන් ආදරේ කරපු පෙම්වතා තමාව රැවටීම,එහෙමත් නැත්තම් පෙම්වතිය මග හැරීම,වෙනත් සම්බන්ධකම් හසුවීම..මෙවැනි ප්‍රේම සම්බන්ධ හමුවේ ඇතිවෙන විවිධ ප්‍රශ්න නිසා, නිස්කාරණේ තමන්ගෙ ජීවිතෙන්ම පළීගන්න හිතාගෙන ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා.


ඒත් මම හිතන්නෙ නම් සැබෑ ආදරවන්තයෙක් කිසිදාක ප්‍රේමයෙන් පැරදීම නිසා දිවිතොර කරගන්නෙ නෑ..ප්‍රේමය වගේම,විරහවත්,වෙන් වීමත් දරාගන්න සැබෑ ප්‍රේමවන්තයෙක්ට,එහෙමත් නැත්තම් සැබෑ ආදරවන්තයෙක්ට පුළුවන් වෙන්න ඕනෙ.මගේ අදහස එහෙමයි.


පෙම්වතිය පිටුපෑ වේදනාව,ඒ නිසා හිතේ ඇතිවෙන වෛරය,තරහව,ක්ෂ්ණීක කෝපය ,ඒ වගේම පෙම්වතා පළා ගිය දුක, දරාගන්න,විඳගන්න හිත ශක්තිමත් නොවීම,ඒ හැඟීම දරාගන්න තරම් බුද්ධිය මුහුකුරා නොයෑම මෙලෙස ක්ෂණිකව ජීවිතේ නැති කරගැනීමට පෙළඹීමට හේතු සාධක වෙන්න පුළුවන්.

කෙනෙක්ට විරහව දරාගන්න ,කවියක් ලියන්න,සිංදුවක් අහන්න,වේදනාව අකුරු කරන්න,දුක තුනී කරගන්න ,වෙන මාර්ගයකින් හිත හදාගන්න ආත්ම ධෛර්‍යක්,හැකියාවක් තිබෙනවනම්,ජීවිතය  නැති කරගන්න කෙනෙක් පෙළඹෙන්නෙ නෑ..ඒ මගේ මතය.මම වැරදිද දන්නෙ නෑ..හැබැයි විරහා වේදනාව නිසාම ලෝකෙ බොහෝ වටිනා දේවල් නිර්මාණය වෙලා තියෙනවා.

ෂා ජෙහාන් කියන මෝගල් අධිරාජ්‍යයා,තමන්ගෙ දේවිය, මුම්ටාස් දේවිය සිහිවෙන්න ටජ් මහල ඉදි කරේ,ආදරේ වෙනුවෙන්.අදටත් දස දහස් ගණනක් පෙම්වතුන්,ආදරේ සංකේතයක් විදියට හඳුන්වන්නේ ටජ් මහල යි.මේ ලෝක ප්‍රසිද්ධ ටජ් මහල තනන්න ෂා ජෙහාන් රජතුමා,මුම්ටාස් දේවිය වෙනුවෙන්  ජීවත් වුනා.ඔහු මුම්ටාස් දේවිය වෙනුවෙන්  ඔහුගේ හිතේ ඇය කෙරේ තිබුණූ දයාව, ආදරය ලෝකයට ඔප්පු කළා.සැබෑ ආදරවන්තයෝ අන්න එහෙමයි....

අපේ කාලයේ පෙම්වතුන්ටත් ටජ් මහලක් හදන්න බැරි වුනත්,අවුරුදු ගාණක් තිස්සෙ තමන් රැක බලගත්ත අම්මා තාත්තා වෙනුවෙන්,ගෙවුණූ ජීවිත කාලෙ වෙනුවෙන් ,අඩුම ගානෙ තමන්ගෙ අනාගතේ වෙනුවෙන්වත් ජීවත් වෙන්න ධෛර්‍ය තියෙන්න ඕනෙ.දුක වේදනාව දරාගෙන නැගී සිටින්න ශක්තියක් තියෙන්න ඕනෙ.තමන්ට අහිමිවුනු ආදරේ නාමයෙන් හරි, ජීවිතේ දිනන්න හයියක් තියෙන්න ඕනෙ.

හොඳ ආගමික පරිසරයක්,සෞන්දර්‍යාත්මක රසවින්දනයක්, සාමාන්‍ය හෝ උගත් බුද්ධි මට්ටමක්,ඒ වගේම ජිවිතේ ගැන යථාර්තවාදී ආකල්පයක් තියෙන කෙනෙක් ,කිසිම දවසක ප්‍රේමය නිසාවත්,වෙන කිසිම හේතුවක් නිසාවත් ජිවිතෙන් පලා යන්න හිතන්නෙ නෑ කියලයි මම නම් හිතන්නෙ.මොකද එහෙම පරිසරයක ජීවිතේ ගෙනයපු,ගෙනියන කෙනෙක්,කොයිතරම් කඩා වැටුණත් ජිවිතේ ආයෙමත් නැගිටින්න හිතනවා.

අවසාන වශයෙන් ,මගේ නම් අදහස ප්‍රේමයෙන් පැරදීම,හෝ ඒ හා සම්බන්ධ වෙන අර්බුධයක් නිසා හෝ සිය දිවි හානි කරගැනීමනම් අනුවණ ක්‍රියාවක්.ප්‍රේමයේ නාම්යෙන් ජීවත්වීමකියන්නෙත් මහා අකුසල කර්මයකින් ගැලවීමක්.

ජීවිතේ හුඟාක් කෙටියි.මේ කෙටි කාලෙත් තවත් කෙටි කරගන්න හදන උත්සාහයෙදී විශාල  පවක් අකුසලයක් කරන්න කලින්,එක මොහොතකට හිතන්න පුළුවන් නම් මේ ජීවිතේ ලැබුනේ මොනතරම් අමාරුවෙන්ද කියලා?මේ ජීවිතේ දෙන්න තමන්ගෙ අම්මා මොන තරම් දුකක් විඳින්න ඇත්ද කියලා?මේ ජීවිතේ මේ තරම් හරි දුරක් එන්න ඒ තාත්තා මොනතරම් දුක් ගැහැට උහුලන්න ඇත්ද කියලා  ?? 

ප්‍රශ්න බාධක ගැටළු හමුවේ ජීවිතෙන් පලා යන වුන් කිසිදාක වීරයෝ නොවේ!!!!සියළු බාධක අභියෝග හමුවේ ජීවිතේ තව තවත් වැළඳගන්නවුන් සැබෑම වීරයෝ වේ!!!!

                                       ෴ .

Post Comment

10 March 2012

කුමාරයෙක්.....

අද මම ලියන්න හිතුවෙ ,මම ඉස්සරම දවසක කොහෙන්හරි කියවපු කතාවක් ගැනයි.හරියටම මතක නෑ මට කියෙව්වෙ කොහෙන්ද කියලා,ඒත් මේ ලඟකදි ඒ වගේම තව කතාවක් අන්තර්ජාලයේ දැක්ක නිසා මතක් වුණා.

මෙන්නෙ මෙහෙමයි කතාව.

--------------------------------------------------------------------------------

ඔන්න එකෝමත් එක රටක රාජ කුමාරිකාවකට,සහකරුවෙක් හොයන්න අණබෙර ගැහුවාලු.ඔන්න ඉතිං මේ ප්‍රචාරණයත් එක්ක සිටුවරුන්ගෙ පුත්තු වැල නොකැඩී,පෝළිමට ,රජ මාළිගාවට ආවලු.මේ කුමාරවරු එක්ක කතාබහ කරලාම කුමාරිටත් එපා වුනාලු.එන එන කුමාරයා එක්ක කතා කරලා හවස් වෙද්දි කුමාරි හොඳටම හෙම්බත් වෙලාලු හිටියෙත්.

ඔන්න ඉතිං හවස් වරුවෙ රජතුමයි,දේවියයි ඇවිල්ලා කුමාරිගෙන් ඇහුවාලු ,කුමාරයෙක්ව තෝරගත්තාද කියලා, අනේ ...කුමාරිකාවී හරිම දුකෙන් ඔළුව දෙපැත්තට වනලා "නැහැ" කිව්වලු. රජතුමාටයි, දේවියටයිත් හරිම කනගාටුයිලු මේ ගැන.

ඔහොම ඉද්දි ,රජමාළිගාවෙ ගේට්ටුව ළඟට ,ඈත පිටිසර ගමකින් ආපු කුමාරයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ආරාංචියක් ආවලු.කුමාරි හිටියෙ හුඟාක් තෙහෙට්ටුවෙන්,කතා කරන්නත් බැරිතරම් විඩාවට පත්වෙලා වුනත්, රජතුමා කුමාරිට බැගෑපත් වෙලා කිව්වලු ,මේ ඇවිල්ලා ඉන්නෙ සමහරවිට හිමිකාරය වෙන්න පුළුවන් ,මෙයා එක්ක විතරක්වත් අන්තිම වතාවට කතා කරලා බලන්න කියලා.කුමාරයෙක්ව රස්තියාදු කරන්න හොද නෑනෙ වචනයක් හරි කතා කරන්න , කියලා දේවියත් කිව්වලු.

අන්තිමට ඒ කුමාරයාට ,කුමාරිගෙ යහන් ගැබේ දොර ලඟට එන්න කියන්න කියල කුමාරි කිව්වාලු. රජතුමත් කුමාරයාට එන්න කියන්න කියලා පණිවිඩයක් යැව්වාලු.මේ පණිවිඩය ලැබූ ගමන්ම කුමාරයත්,කුමාරිගෙ  යහන් ගැබ ළගට ආවලු.

ඔන්න ඉතිං ඊටපස්සෙ,කුමාරයා ඇවිල්ලා පැයක් ගියාලු,දෙකක් ගියාලු, රෑ 12ත් වුනාලු.කුමාරිගෙ තනියට ඉන්න පරිවාර සේවිකාවො ගිහින් රජතුමාට කිව්වලු,"අනේ රජතුමනි බලන්න, අර අන්තිමට ආපු කුමාරයා දිගටම ඉන්නවානෙ ,යන්නෙ නෑ "කියලා. රජතුමාත් පුදුමෙනුත් පුදුමෙට පත්වුනාලු. ඉතිං රජතුමාත් මේ කාරණාව ඇත්තද කියලා බලන්න කුමාරිගෙ යහන් ගබඩාවට ගියාලු.ඒ යද්දිත් ,කුමාරි එයාගෙ ලස්සන ඇඳුම් ආයිත්තම් අල්මාරිය ඇරගෙන,ඒවා කුමාරයාට පෙන්වනවාලු. රජතුමාට තවත් පුදුමයිලු.

ඊටපස්සෙ රජතුමා අර කුමාරයාට පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා කුමාරිගෙන් ඇහුවාලු, "දූ කුමරිය ,කුමාරයෙක්ව තෝරගත්තාද?" කියලා.කුමාරිකාව හරිම සතුටින් හිනා වෙලා කිව්වලු "ඔව් පිය රජතුමනි" කියලා."අර තරම්  පෝසත්,හොද සිටු කුමාරවරු ඇවිල්ලා හැරිලා ගියා.ඒත් කුමාරි ඇයි මේ දුප්පත් සිටු කුමාරයාටම කැමති වුනේ ?" කියලා රජතුමා කුමාරිගෙන් ඇහුවාලු.

එතකොට කුමාරි කිව්වලු "පිය රජතුමනි,අද දවසේ ආපු හැම කුමාරයෙක්ම වගේ කිව්වෙ එයාලගෙ පුරාජේරුව..එයාලා දන්න කඩු ශිල්ප..එයාලා කරන වීර වැඩ ..දඩයමේ ගිය හැටි..ඉගනගත්තු ශිල්ප..තාත්තාගෙ විස්තර..ඔයවගේ ගොඩාක් දේවල්...ඒත් මම කුමාරයෙක් තෝරගන්නේ,එයාව බැන්දාට පස්සෙ ඔය වගේ දේවල් අහන්න..ඒත් අද මං ඒවා අහන්න ආස නෑ...."

"එතකොට මේ කුමාරයා?" පියරජතුමා ප්‍රශ්න කලාලු.

"මේ කුමාරයා තාම එයා ගැන මට මොනවත්ම කියලා නෑ.නම විතරයි මම තවමත් දන්නෙ.ඒත් එයා මේ වෙද්දි මං ගැන හැමදෙයක්ම දන්නවා..එයා මේ ටිකට මගෙන් සේරම විස්තර ඇහුවා.මම ආස මොනාටද කියලා එයා දැන් දන්නවා.මං ආස කරන සංගීතෙ එයා දන්නවා. මං ආසම රතු වයින් වලට කියලා එයා දන්නවා. මේකයි පියරජතුමනි, ඒ කුමාරයාට ඕනෙ මාව තේරුම්ගන්න...ඇත්තටම මට ආදරේ කරන්න,අනිත් එක කුමාරයෙක්ටවත් මාව තේරුම්ගන්න ඕනෙ වුනේ නෑ. ඒ නිසා මං මේ කුමාරයාට ආදරෙයි. මං මේ කුමාරයාව තමා බඳින්නෙ. එයා මට හොද කුමාරයෙක් වෙයි.ඒ වගේම පියරජතුමනි, කවදාහරි රටේ ජනතාවට ඇහුම්කන්දෙන හොදම හොඳ රජතුමෙක් වෙයි..".

"දූ කුමාරී හරී...." රජතුමා දූ කුමාරිගෙ බුද්ධිමත්කම ගැන සතුටු වෙමින් කිව්වාලු..ඒ වගේම කුමාරී ගැන ආඩම්බර වුනාලු..

ආදරය, විවාහය වගේ බැඳීමකට එකිනෙකාව තේරුම් ගැනීම හුඟාක්ම වැදගත් සාධකයක් වගේම, එකිනෙකා වෙනුවෙන් ඉවසීම ,ඇහුම්කන් දීම සහ ගරු කිරීම හුඟාක් ප්‍රශ්න ගැටළුවලට විසඳුමකුත් වෙයි.

ප.ලි- හිතූගේ අවවාදයයි: හිතුවක්කාර කෙල්ල සමඟ කතා බහ කිරීමේදී , ඔය මූණූ පොතේ ඉන්න කුමාරවරු, හිතූගේ සැබෑ නම ගම විස්තර ඇසීමෙන් වළකින්න. එසේ පෞද්ගලික තොරතුරු හාර අවුස්සන කුමාරවරු සමඟ හිතූ වැඩිපුරම මිත්‍ර නොවන අතර, එසේ පෞද්ගලික කාරණා නොවිමසන කුමාරවරු ගැන සළකා බලනු ලැබේ..;) හිකිස්ස්ස්..... :D :D :p

Post Comment

04 March 2012

සැණකෙළි බිමේ.....



මඟ හැරිය නුඹේ ඇස් හමු වුනා ආයෙමත්,         
දෙනෝදාහක් ඇස් අතර
නැවතුනා මගේ ඇසුත් නුඹේ ඇස් ළඟම,
සත්තමයි නැවතුනා ආයෙමත් 
මේ හිතත්.........


නැටුම් ගැයුම් වැයුම් අතරේ හමුවුනා අපි ආයෙත්,
අතීතය මතක අතර
නැවතුනා මගේ හිතත් නුඹෙ හිත ළඟම,
සත්තමයි සිතුවිලි බරයි ආයෙමත්
මේ හිතටත්........


නොලැබෙනා නොපතනා නුඹව මට ආයෙමත්,
දෛවයේ සරදම් අතර
කුමට  ළං කලාද මොහොතකට නුඹ ළඟම,
සත්තමයි මේ නම් හිත කළඹන අහඹුවක්
මේ ජීවිතයටත්........




ප.ලි-සිතුවිල්ලක් පමණි. [ ප.ලි යක් දැම්මෙ නැත්තම් කට්ටිය මුල ඉඳන්ම එන්නෙ වැරදි පාරේ නෙ;) ]

Post Comment