නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 April 2012

මගේ පුංචි රෝස මලේ......


ළමයි දාහකටත් වඩා  ඉගනගන්න එන ,මම උගන්වන මගේම ටියුෂන් පන්තියේ, මම දැකපු හුරතල්ම පුංචි කෙල්ල එයා. ගෑණූ ළමයි මහ ගොඩාක් මැද , මගේ හිත අහම්බෙන් හරි නැවතුනේ පුංචි ,අහිංසක,හුරතල් ගෑණූ ළමයෙක් ළඟ. ඒ ගෑණූ ළමයා දැක්කාම මට හිතුනෙ එකම එක දෙයයි.."අනේ මට මේ පුංචි කෙල්ල මගේම කරගන්න තිබ්බානම්" කියලායි. ඒත් එක මොහොතකින් මම ගැන මතක් වුනාම, මගේ වයස ගැන හිතුණාම,මෙහෙම ආදරයක් අසම්මතයක් ද කියලා හිතුණා. ඒ නිසාම මම දස දහස් වාරයක් හිත ඇතුළෙන් තැවුණා.හඬා වැටුණා. තව අවුරුදු 10ක් වත් වයසින් බාල වෙන්න තිබ්බානම් කියලා හිතුනා. එහෙනම් පන්තියේ කෙළවරේම බංකුවකට වෙලා මේ පුංචි කෙල්ල දිහා බලාගෙන ඉන්න තිබ්බා නේද කියලා හිතුණා. පුංචි කොළ කෑල්ලක් අරන් කවියක් ලියලා යවලා, ඒ සුදු මූණේ හැඟීම් දිහා හොරෙන් බලන් ඉන්න තිබුණානම් කියලා හිතුණා.ඒ හිතට සර් කෙනෙක් නොවී, යාළුවෙක් වෙලා ළං වෙන්න තිබුණා නම් කියලා හිතුණා.ඒත් හැමදේම වෙනස් කරන්න බැරි තරමට කාලෙ ගෙවිලා හමාරයි..

තවත් ගෑණූ ළමයි රොත්තක් එක්ක, හුරතලේට දඟ කර කර පන්තියට දුවන් එන ඒ පුංචි කෙල්ල, මගේ ඇස් මානෙම මලක් වගේ පිපිලා තියෙද්දි , ඒ මල නෙළා ගන්න බැරිව ලතැවුනූ මගේ හිත විඳෙව්ව තරම දන්නෙ මම විතරමයි.ආදරේට වයස ප්‍රශ්නයක් නෑ..ඒත් තරුණකම යාන්තමට ගෙවීගෙන යන මගේ හිතින්, ඒ පුංචි කෙල්ල ගැන තියෙන හැඟීම පහ කරන්න බැරි තරමට මම අසරණ වෙලා.

පන්තියෙ උගන්නන වෙලාවෙදිත් එහෙ මෙහෙ දුවන මගේ ඇස් එකසැරේම නවතින්නෙ ඒ ඇස් ලඟමයි. "කියාගන්න බැරි මේ හැඟීම මගේ ඇස් වලින්වත් කියවලා තේරුම්ගන්නවනම් මේ පුංචි එකී??" මගේ වියපත් හිත බොළඳකමින් පිරිලා ගියා.බෝනික්කියක් වගේ ඇස් නටව නටව ළඟ ඉන්න යාළුවොත් එක්ක කියවන කතා අහන් ඉන්න මගේ හිත ලෝබකමින් ඉතිරිලා ගියා.


ඇත්තටම ඔයා රෝසමලක්. සුවඳ උතුරන ලස්සනම ලස්සන රෝස මලක්.  මට හුඟාක් දුරින් පිපුණූ පුංචි මලක්. මම ඒ මල ට ළං වෙන්න හිතාගන්නවත් බැරි වියපත් බඹරෙක්.ඔයාගෙ හීනෙකටවත් ලං වෙන්න බැරි මම අසරණයෙක්. ආදරේ නාමයෙන් ඔයාගෙ හීන ලෝකෙ සැරිසරන්නවත් පිනක් නැති මම අවාසනාවන්තයෙක්.


රසායන විද්‍යාව උගන්වන මගෙන්, එයා ඉගනගන්න ආවෙ රසායන විද්‍යාව මිස ආදරේ වත්, ජීවිතේවත් නෙවෙයි. ඒත් මුරණ්ඩු මගේ හිතට දැනෙන නොඉවසිල්ල, අහිමි කරපු සැනසිල්ල, ආපහු මටම ලබාගන්න විදිය මට උගන්වන්න පුළුවන් එයාට.ඔව්.. එයාට විතරමයි. පන්තියෙ ඉගනගන්න කොල්ලෝ, මේ පුංචි කෙල්ල දිහා බලද්දි, කතා කරද්දි, මේ රෝස මලට ළං වෙන්න හදද්දි, මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා යනවා. ඒ කොල්ලන්ට  ගහන්න තරම් තරහක් එනවා. මගේ ඇස් මානෙ නැළවෙන මේ පුංචි මල කවුරුහරි නෙළා ගනීවී කියලා හිත බයෙන් ගැහෙනවා.තමන්ට අයිති වෙන්නෙ නැති දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා දැක්කාම සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙන ඒ සියුම් ඊර්ෂ්‍යාව අසාධාරණ නෑ කියලයි මට හිතුණේ. එයා ගැන කියලා ඉස්සරහට එන සමහර චිට් කියවලා මගේ මූණ අඳුරු වෙන හැටි, මගේ හිත ගැහෙන හැටි මටම නොදැනෙනවා නෙවෙයි.ඒත් මටවත් නොතේරෙන මේ හැඟීමෙන් මාව මුලා වෙලා වගේ..


දවසක් දා පන්ති ඉවර වෙලා ළමයි ඔක්කොම යද්දිත්, එයා යාළුවත් එක්ක නතර වුනා .මගේ හිත ඩිංගක් ගැස්සුනා. හිමින් හිමින් පොතකුත් අරන් මගේ ළඟට ආපු පුංචි කෙල්ල, "සර්" කියලා හරිම හිමින් , ගෞරවයෙන් කතා කළා.උගන්වපු පාඩමේ සටහන් අතරේ ,සුදුම සුදු පුංචි ඇඟිලි එහෙ මෙහෙ යව යව , ඒ දුඹුරු පාට බෝල ඇස් මගේ ඇස් වටේ යව යව  මගෙන් ප්‍රශ්න ඇහුවා.මගේ හිත ඇතුළෙන් සතුට විද්දෙ වතුර මලකින් වතුර විදිනවා වගේ. මම ඒ සුන්දර මූණේ හැම සියුමැලි රේඛාවක්ම හීන් සීරුවෙ විඳගත්තා. මගේ ඇස් නැවතුනේ එයා ඇඟිලි තියලා පෙන්නපු වචන පේළී වල නෙවෙයි,  ඒ හීන් සුදු ඇඟිලී ළඟ. සුදුපාට පුංචි ගලක් අල්ලපු චාම් මුද්දකින් ඒ දකුණතේ ඇඟිල්ල හැඩ වෙලා තිබුණා."මටත් තිබ්බානම් ලස්සන චාම් රත්තරං මුද්දක් දාලා ඒ වමත හැඩ කරන්න.." මගේ හිත දිව්වා..තදින් අල්ලගන්න අල්ලගන්න හදන හැම මොහොතකම මගේ හිත දිව්වා.එදා දවසම මගේ හිත පුරා සැරිසැරුවෙ ,ඒ පුංචි හුරතල් ගෑණූ ළමයා විතරයි.


මේ හිත පුරා ඇවිලෙන එකම එක සිතුවිල්ල ඔයාට කියාගන්න බැරිව මම අසරණ වෙලා.ඔයා හඳක් වගේ මගේ ජීවිතේට පායලා එනවනම් මම හුඟාක් ආසයි.නොතේරුණූ පාඩමක් කියලා දෙනවා වගේ, ඔයා ළඟට ලං වෙලා , මේ ආදරේ කියලා දෙන්නත් වෙලාවකට නොහිතෙනවා නෙවෙයි... ඒත් ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තොත්? මට දුක හිතේවී හුඟාක්ම. ඒත් මම තරහක් නෑ.. ඔව්. ඔයා මගේ ආදරේ තේරුම් නොගත්තාට මම තරහා නෑ.


එයාගේ හිනාව , ඒ කතාව,  ඒ දඟකාරකම, හුරතල් ගතිය , මේ හැම දෙයක්ම මාව තව තවත් තරුණ කලා වගේ. කවදාකවත් නැතිව මම මගේ පෙනුම ගැන හිතුවා. පාට පාට ශර්ට් ඇඳලා වෙනදාට වඩා පිළිවලට පන්තියට ආවා.මවාගත්ත දඟකාරකමකින්, උද්යෝගයකින් ,උනන්දුවකින් මම ඉගැන්නුවා. කොලුකමට කොල්ලො එවපු චිට් දෙක තුනකත් මගේ වෙනස ගැන අහලා තිබ්බෙ නැතුව නෙවෙයි. ඒත් මම මේ වෙනසට ආස කළා.මාව අවුරුදු ගාණක් ආපස්සට ඇදගෙන යන්න තරම් මේ ආදරේ ප්‍රබල වුනා.


අහම්බෙන් දවසක මම දැක්ක දෙයින් හිත කීරි ගැහුණා. පන්තිය පටන්ගන්න කලින්, පඩිපෙළක් ළඟ එයා හිටියෙ හුරුබුහුටි කොල්ලෙක් එක්ක කතා කර කර. මගේ හිත පතුරු පතුරු ගැලවිලා ගියා.ඒ හුරුබුහුටි කොල්ලා මගේ පුංචි කෙල්ලගෙ අතකිනුත් අල්ලගෙනයි හිටියෙ. ඉස්කෝලෙ යන කාලෙ බොළඳ පෙම්වතෙක් වගේ මගේ හිත අප්‍රමාණව බොළද වුනා. දරාගන්න බැරි තරම් දුකක් ආවා. තවත් බලාගෙන ඉන්න බැරි තැන මම එතනින් ඈතකට ගියා. ඔව් මම එයාගෙන් ඈතටම ගියා.


ඔයාව මට අයිති නෑ තමා. ඔව් ඒක එහෙමම වෙයි.ඒත් ඔයා කවමදාක හරි මගේ ජීවිතේට එනවනම් මම කැමතියි. මගේ පුංචි ලෝකෙ පුරාවට , මේ ජීවිතේ පුරාවට ඇවිත් සැරිසරන්න ඔයාට පුළුවන් නම්, මම මේ ජීවිතේ ඔය වෙනුවෙන් දිගහැරලා ඉවරයි. ඔයාව මලක් වගේ බලාගන්න මට පුළුවන්. ඔව් මම ඔයාව මලක් වගේ බලාගන්නවා.හරිම පරිස්සමට.. ඔයාට පුළුවන්කමක් තියෙනවනම් මේ ජීවිතේට ළං වෙන්න.. හැබැයි නෑවිත් හිට්යත් මම තරහා නෑ.. දුක දැනෙයි හුඟාක්, ඒත්..මම තරහ නෑ..අවසානෙදි මම දන්නෙ එකම එක දෙයයි.. ඒ, ආදරේට වයසක් නෑ කියලා විතරයි..


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න... 


ගායනය- අමරසිරි පීරිස්

Post Comment

25 April 2012

෴වෙස් මුහුණ අහිමි කළ සයිබර් සිහින උළෙල ෴

ඔන්න ඉතිං කට්ටියම ඇඟිලි ගැන ගැන බලාගෙන උන්නු සයිබර් සිහින උළෙල කිට්ටු වෙද්දි , හරි හරියට පෝස්ට් වැටුණා.. මූණූ පොතේ කතා වුනා..හැමෝම හිටියෙ මේ ගැන ලොකු අවධානෙකින්. 22 වෙනිදා ලං වෙද්දි මටත් තිබුණු එකම ප්‍රශ්නෙ තමා "සයිබර් සිහින උළෙලට යනවාද? නැද්ද?" කියන එක. ඔන්ලයින් ආවමත් හුඟක් දෙනක් ඇහුවෙ ඉතිං "22 එනවාද?" කියලාමයි. මාත් ඉතිං අන්තිමට දහ අතේ කල්පනා කරලා කරලා,"ඔන්න ඔහෙ යනව " කියලා හිත හදාගත්තා. ඒත් දැන් දන්න අඳුරන අය එනවද කියලා හොයාගන්න ඕනෙනෙ. ඊළඟ මෙහෙයුම වුනේ ඒක. මගේ අක්කියානම් කොහොමත් එනවා. ඒත් ඉතිං එදාට එයාට සෑහෙන්න වැඩ තියෙනවානෙ. "මලා එතකොට හැම වෙලේම මා එක්ක ඉන්න වෙන්නෙ නෑ.." .ඔන්න ඉතිං මම ඊටපස්සෙ දන්න කියන හැමෝටම වගේ මැසේජ් දාලා තර්ජනය කලා 22 එන්න කියලා. :D 


වර්ණා එන්නම් කියලා පොරොන්දු වුනා.ඒත් ඉතිං ඉවර වුනාම එයිද කියලා ශුවර් නෑනෙ.. ;) අග්නි ධාරා, අනූ, අයිස් නගා, මන්තරකාරී අක්කා ,වගේ කට්ටියගෙන්ම එනවද කියලා අහලා බැලුවත් එන්න වෙන්නෙ නෑ කියලා තමා කිව්වෙ. :( හයියෝ!! මොනා කරන්නද ඉතිං,  සිහින මධාරයි, දඟ මල්ලයි නම් එනවා කියලා කිව්වා.ඊටපස්සෙ මම ඉතිං අපේ අයියලා ටිකට තර්ජනේ කලා, කොහොමහරි  22 එන්න කියලා ;) එහෙම කරලා එන්න කට්ටියක් හොයාගත්තා. ඊටපස්සෙ බලන් හිටියෙ 22 එනකම්. :D


බලන් හිටපු දවස ආවා. 9ට පටන්ගන්න උත්සවේට 10ට එමු කියලා මායි, තරූ අයියයි, වෙලාවට වැඩ (නො)කරන ChammA අයියායි කතා වුනා. කොහොමහරි මායි තරූ අයියායි 10 වෙද්දිම ග්‍රවුන්ඩ් එක කිට්ටුවට ආවත් ,ChammA අයියා සුපුරුදු විදියටම පරක්කුයි!! ;) පරක්කු වෙලා ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකට යන පාර කියලා වැරදි පාරක් තමා පෙන්නුවෙ. අන්තිමට මගේ උනන්දුවෙන් අපි හරි පාර හොයාගත්තා :p ;)


කොහොමහරි ග්‍රවුන්ඩ් එකට ආපු හැටියෙම දන්න කියන කෙනෙක් ටිකක් පොඩි පහේ ලොකු මෑන් කෙනෙක් අපි දිහාට ආවා. "මචං උඹලා මොකෝ පැත්තකට වෙලා"  කියාගෙන අයියලා එක්ක කතාවට වැටුනු පොඩි මෑන්, කට්ටිය අඳුරගෙන ඊළඟට ආවෙ මා ළඟට. ආව ගමන්ම මම හිතුවක්කාරි කියලා කියන්න බයකමට මම මුකුත් නොකියා හිනා වුනා. ඊටපස්සෙ පොඩි මෑනුත් පස්සෙ අඳුරගමු කියලා ගියා.:D


ඊටපස්සෙ අඳුරගත්තෙ වල්පල් ලියන පිස්සු පූසා අයියාව. ඊළඟට අපිට තිබ්බෙ රෙජිස්ටර් වෙන්න යන්න. සුපුරුදු විදියට බැංකුවෙ පුරුද්දටද කොහෙද අවුරුදු උත්සවේත් සල්ලි එකතු කරන්න, රෙජිස්ටර් කරන්න වැඩකටයුතු භාර අරන් තිබ්බෙ දේවා අයියා.:p පොලීසියෙන් වගේ ප්‍රශ්න අහලා කොළයක් දුන්නා නම ලියලා අලවගන්න කියලා.


මෙච්චර කාලයක් කතා කරලා , පින්තූරවලින් දැකලා තිබ්බ මගෙම අක්කිව ඇත්තටම හැබැහින් හම්බුනේ එදා. කාර්‍යබහුල වෙලා, එහෙ මෙහෙ දුවල පනින වෙලාවක මාත් එක්ක කතා කරන්නත් ප්‍රාර්ථනා අක්කි අමතක කලේ නෑ..:* <3


ම්ටර්100 දුවන තරඟ, කණාමුට්ටි වගේ තරඟ නරඹමින් විතරක් හිටපු මට එකසෙරේම "හිතූ" කියලා කෑගහන සද්දයක් ඇහුණා. මලා..බැලින්නම් පොඩි මෑන් :D දේවා අයියගෙ ඔත්තුව මතද කොහෙද පොඩි මෑන් මාව අදුරගෙන කතා කලා.මෙච්චරකල් අමුතු අමුතු කතා කියෙව්වට ලියන කෙනාව හැබැහින් දැකලා තිබ්බෙ නෑනෙ. ඉතිං පොඩි මෑන්වත් අඳුරගත්තා.ඊටපස්සෙ දඟමල්ලයි, නෙත්පානි අක්කිවයි කතාවට හම්බුනා. සිහින මදාරා පරක්කුවෙලා එනවා කිව්ව නිසා දඟමල්ලත් හිටියෙ පාලූවෙන්. දඟ මල්ල වුනත් ඒ හැටි දඟ පාටක් නෑ.. ශෝයි කෙලි පොඩ්ඩ.:D හිම හංසි නංගි, සඳ කිඳුරා මල්ලි, බිම්සර මල්ලි වගේ තවත් කීපදෙනෙක්වත් ඔය අතරේ ප්‍රාර්ථනා අක්කි අඳුන්වලා දුන්නා.


ඊලඟට හම්බුනේ මධුරංග අයියාව. මගේ බ්ලොග් එකේ පලවෙනි කමෙන්ටුව දාපු, පලවෙනි Follower වෙච්ච මධුරංග අයියාව අමතක කරලා කොහොමද, ඒ නිසාම මම කතා කලා,"අයියෙ මම හිතූ".. "හෆ්ෆටසිලි හිතූද?" මධුරංග අයියාත් නිකන් ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා කතා කලා. :D ඊටපස්සෙ හිරු එළිය ලියන දඟ අයියාව දැක්කා. දඟ අයියා කණාමුට්ටිය බින්ද වේගෙට කණාමුට්ට්යෙ කෑල්ලක් , මගේ කන ළඟින් ගිහින් බේරුණේ අනූනවයෙන්."හලෝ අයියේ!" කියලා කතා කරපු මගෙන් දඟ අයියා  "ආ..කවුද නංගී?" කියලා ඇහුවාම , මම අලවන් හිටිය ටැග් එක පෙන්නුවා."ආ..හිතූ..මම හිතුවෙ නෑ එයි කියල.." ඔන්න ඔහොම ඉතිං දඟ අයියාවත් අදුරගත්තා.


ඊටපස්සෙ ඔන්න මගේ තර්ජන වලට බය වෙලා එනවා කිව්ව කුබූ අයියා ව මම ඈත තියාම අඳුනගත්තා. මම කට ඇරගෙන බලන් හිටපු නිසාමද මංදා, කුබූ අයියාත් ආපු ගමන්ම,"හිතූ නේද?" කියලා ඇහුවා. "ආ..ඔව් ඔව්.. මම තමා කොහොමද දන්නෙ?" බය වුනු සැරේට මට එහෙම ඇහුණා."මම දන්නවානෙ..අර ඉන්නෙ සැමා.." කියපු කුබූ අයියා ,අත දික් කරලා මට පෙන්නුවෙ ටිකක් නාකි පහේ අයියා කෙනෙක්ව ;) :p "හෆ්ෆටතිලි මෙයාද බොලේ සැමා :O " මම කටට ආපු වචන ගිලගෙන එහෙම්ම සැමා අයියාටත් හායි කිව්වා.


ඊලඟට ඉතිං අනිත් අයියලාටත් එක එක්කෙනාව අඳුන්වලා දීපු මට වුනේ,වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුනා වගේ වැඩක්..:/ කට්ටිය අන්තිමට මට කතන්දර කිව්වෙ එකපැත්තකට ගිහින්..:/ ඔය අතරේ අර වෙනස්ම ඇඳුමකින් සැරසිලා ආපු සැමා අයියා නම් ලියපු ටැග් එක අලවගන්න ගමන් මට කුජීත කතාවක් කිව්වා..:/ ආයෙත් දවසක හම්බෙයිනෙ ඔය සැමා :p :/


ඊළඟට ඔන්න උදේම එනවා කිව්ව වර්ණා ග්‍රවුන්ඩ් එකට සැපත් වුනා දවල් 12ට විතර. ආවගමන් තරඟ කීපෙකටත් ගිහිල්ලා පැරදිලා හිතේ දුකින් ඉන්න ගමන් මම ඉතිං කතා කලා..ඔන්න  එතකොටම වගේ අයියලා සෙට් එක බලෙන්ම වගේ වර්ණාව තියලා ෆොටෝ ගත්තා. ;) සංතෝසෙ වැඩිකමට වර්ණා Alpenliebe ටොෆී පැකට් එකක්ම ගෙනල්ලා බෙදන්න ගත්තා. නාකියා අයියා තමා වර්ණාට ටොෆී බෙදන්න සපෝට් කලේ.:D වර්ණා හීන්සැරේ මගේ කනට කරලා කිව්වෙ "හිතූ මම අද මේ ටොෆී ගෙනාවෙ ඇයි දන්නවාද? මට ඕනෙ අර ඇඩ් එකේ කාජල් දෙන ටොෆිය කාලා කිඹුලා පස්සෙන් එනව වගේ, මෙ ටොෆී කාලා හොදටම රහවැටිලා කට්ටිය මගෙ පස්සෙන් ගෙන්නගන්න" කියලා. මම ඉතිං කාටවත්ම කිව්වෙ නෑ වර්නා කිව්ව රහස :p 


ඒ එක්කම වගේ කොහෙන්දෝ ඉදලා ආපු හුරුබුහුටි ගෑණූ ළමයෙක් මගේ ළඟට ඇවිල්ලා,"ඔයා නේද හිතූ?" කියලා ඇහුවා.මම ඔව් කිව්වා."ආ..මම සිහින මදාරා." ඔන්න ඔහොමයි මදාරව අදුරගත්තෙ.ඊලඟට ස්කූබී ඩූත් කතා කරලා අඳුරගත්තා.ඊටපස්සෙ මගේ ටැග් එක හොරෙන්ම බලාගෙන ඇවිල්ලා කතා කලේ රෙප් මහත්තයා..:D "හිතූ හැංගිලා ඉන්නවා කිව්වට ඔය ඉන්නෙ." කියලා රෙප් මහත්තයත් කිව්වා.ඒ වෙනකොටත් තිබ්බ කිසිම තරඟෙකට යන්න බැරිව සෑහෙන දුකින් තමා කට්ටිය හිටියෙ.;) කට්ටිය කිව්වෙ මම නෙවෙයි අයියලා ටික.:p ඔහොම ඉද්දිම හිත හොද පිස්සාත් ඇවිල්ලා කතා කලා. කට්ටිය ඉස්සරහා උජාරුවට කිව්වෙ නැතැයි," හිතූ තමා මගේ බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක" කියලා. හෆ්ෆේ..ඔතන හිටපු සමහර අයියලා ඉතිං මට ඒකටත් මඩ ගැහුවා ඊරිසියාවට :/
කිරි පුතා ත් ඇවිල්ලා කතා කරලා අඳුරගත්තෙ ඔය අතරෙයි.


දන්නෙම නැතුව කන වෙලාවත් ඇවිල්ලා. දවල්ට කන්න කෑම ගන්න යන්න තිබ්බෙ පෝළිමේ, කන්න කෑම අරන් එද්දිම තමා දැක්කෙ පෝළීමේ හිටිය සුදුම සුදු කිරි සුදු තඩි පූස් අයියා ;) ,"හෙලෝ අයියේ!" හරිම අහිංසක විදියට හිනා වුනු සුදු පූසා අයියා "කවුද මේ.." කිව්වා."මම හිතුවක්කාරී.." ආ..හිතූද?" ඔන්න ඉතිං ආ ගිය තොරතුරු ටිකක් කතා කරලා මම කෑම එකත් අරන් මාරු වුනා.අත හෝදන්න ටැප් එක ළඟට යද්දි මගේ ටැග් එක දැකලා ,හරිම නිහතමානී කමින් මගේ ළඟට ඇවිත් කතා කලේ සුදු හංසි අක්කියා.සුදු අක්කි එක්කත් "කේතකී "ගැන එහෙම කතා කරපු මම ආයෙත් ඉක්මනට කතාව ලියන්න පොරොන්දු කරවගෙන තමයි ආවෙ.:)


කන්න ආපු තැනට එද්දිම දැක්කෙ මම ,පොල් කට්ටක් පිරෙන්නවත් චූ කරගන්න බැරි කොල්ලෙක් (එහෙම තමා එයා කියලා තියෙන්නෙ එයා ගැන :p ) ට්‍රැක්ටරයක් උඩ නැගගෙන බත් කනවා."හායි" කියාගෙන මාත් ළඟට ගියා. ටිකක් වෙලා බලන් ඉදලා,ආගිය තොරතුරු කතා කරලා සිතිර වත් අඳුරගත්තා. :D


ඊලඟට කන්න ගිය තැනදි දුකා අයියාව අදූරගත්තා. ජේෂ්ඨ බ්ලොග් ලියන කෙනෙක් වෙච්චි ඒ අයියත් හරිම නිහතමානීව කතාබහ කලා.දවල් කෑමෙන් පස්සෙ තමයි හොදම හරිය. මුලින් කට්ටිය අලියාට ඇහැ තිබ්බා, දෙහි ගෙඩිය හැන්දෙ තියාගෙන ගියා, බනිස් කෑවා, තුන් පා දිව්වා,මිටර් සීය දිව්වා. ඊළඟට තව තරඟ ගොඩක් ඉතුරුවෙලා තිබ්බා කරන්න. වර්ණා පොඩි මෑන් එක්ක යෝගට් කන්න ගිය නිසා, නාකියා අයියා ගෙ හිත වාවගන්න බැරුව යෝගට් කන්න යන්න කෙනෙක් හොය හොය ඇවිද්දා..:D


කට්ටිය කඹ අදින්න යන්න ලෑස්තිවෙද්දි තමා පිණිබිඳු අක්කාව අඳුරගත්තෙ.හරිම අහිංසක, නිවිච්ච සෝයි අක්ක කෙනෙක් තමා පිණිබිඳු අක්කත්.:D කොහොමහරි කඹ ඇදලා දින්න්නෙත් අක්කාගෙ කණ්ඩායම.(Y)


"ඔයා නේද හිතූ?ඔය දෙන්නා නේද අර එකම වගේ කවියක් දාලා තිබ්බෙ?" ඔහොම කියාගෙන මායි ප්‍රාර්ථනා අක්කියි මැද්දට ආපු පිටසක්වළයාත් හම්බෙලා කතා කලා.


ඊලඟට ජනරඟ අයියා ඇවිල්ලා කතා කලා.එයානම් ඇහුවෙම මම ගාල්ලෙද කියලමයි. මම ගාල්ලෙ නෙවෙයි කොළඹ කිව්වට පිළිගත්තෙම නෑ නෙ..:/ උසාවියෙ විත්තිකාරයගෙන් ප්‍රශ්න අහන නඩුකාර උන්නාන්සෙ කෙනෙක් වගේ මගෙනුත් ඇහුවෙ නැතෑ හරස් ප්‍රශ්න ගොඩාරියක්.:O 


කිසිම තරඟෙකට නොගිය නිසා යන්නම ඕනෙ කියලා බලාගෙන උන්නු සංගීත තොප්පි තරඟෙට ඉක්මණටම දුවලා ගියා.:D එතනදි නීනු අක්කා එක්කත් වචනයක් කතා කලා.  ඒත් ඉතිං අපිට ඔය තොප්පි දාගෙන පුරුද්දක් නැති නිසා,තොප්පිය වෙන එක්කෙනෙක්ට දාලා ශේප් එකේ මාරු වෙලා ආවා.දන්නෙම නැතුව කාලෙ ගතවෙලා හවස් වේගෙනත් ආවා.අවුරුදු කුමාරයා,කුමාරී තෝරන්න තමා තිබුණේ. ඒ වෙනකොටත් දුර බැහැර ඉන්න අය එහෙම හුඟාක් යන්න පිටත් වෙලා තිබුණා.අන්තිම මොහොතේ Dush අක්කිවත් හම්බෙලා කතාවක් දැම්මා.:D


අවුරුදු කුමාරයවයි, කුමාරිවයිත් බලාගෙනම අපි එන්න ලෑස්ති වුනා. දන්න කියන අය අතරේ, රාජ් අයියා, රත්ගමයා එක්ක එහෙම කතා කරන්න බැරි වුනා.(රත්ගමයානම් හිටියෙ ටිකක් ලොකු ලයින් එකෙන්:P )තවත් කීපදෙනෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කලා වගේ මතකයි.ඒත් ඒ අයගෙ නම් පොඩ්ඩක් මට ටැපලිලා.. සමාවෙන්න ඒකට.කතා කරපු අයටවත් මතකනම් කමෙන්ට් එකක් දාන්නකෝ..:)


අවාසනේදි ඉතිං ලස්සනට සිද්ද වුනූ වැඩක් සාර්ථකව අවසාන වුනා. අන්තිමම වෙනක්ම් හිටිය කට්ටියනම් හොදට නටලා කෑගහලා උපරිම ජොලියක් අරන් තිබ්බා..කොහෙද ඉතිං අපිට මිස් වුනානෙ චාන්ස් එක.
:( අයියලට කළුවර වැටෙන්න කලින් ගෙවල් වලට යන්න තිබ්බ නිසා අපිට කලින්ම එන්න වුනා.:D :p එන්න කලින් සඳ කිඳුරන් පිළිබදව ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා සඳ කිඳුරො ඉන්නෙ කොහෙද කියලා කිඳුරාගෙන්ම දැනගෙන තමා ගෙදර ආවෙ.(මොකද කට්ටියක් එකතු වෙලා මාව බයිට් කලා කිඳුරො ඉන්නෙ මුහුදෙ නෙවෙයි කියලා) :/


බ්ලොග් කියවලා, මූණූ පොතෙන් චැට් කරලා කතා කරලා විතරක් තිබුණු හුඟාක් දෙනෙක්ව ඇත්තට හම්බුනා.දැකගත්තා.සතුටු වුනා. ඒ ගැන හුඟාක් සංතෝසයි. මේක සංවිධානය කරපු සංවිධායක කමිටුවට මම හැමෝම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.


ලංකාවෙන් පිට ඉන්න බ්ලොග් ලියන අපේ අනිත් අයියලා අක්කාලා යාලුවෝ නැති අඩුවත් නොදැනුනා නෙවෙයි.අසරණයා අයියා, වින්චැට් කිරිල්ලි, දිනේශ් අයියා ,නන්දු අක්කා ,කුමාරිහාමි අක්කා ඇතුළු අනිත් විදේශගත වෙලා ඉන්න සහෝදර සහෝදරියො හැමෝමවත් මේ වෙලාවෙ මතක් කරනවා ආදරෙන්. :)


අවසානෙදි ඉතිං මෙච්චරකල් හැංගිලා උන්නු හිතුවක්කරිට එළියට එන්න වුනා.. වෙස් මූණ ගලවන්න වුනා. කමක් නෑ.. ඒ ලෙංගතුකම වෙනුවෙන් මම හැමෝම බලන්න ආවා. ඊළඟ අවුරුද්දෙත් එනවා.. මේ සැරේ එන්න බැරි වුනු අය ලබන සැරේ අනිවාර්‍යෙන්ම එන්න කියලා ආරාධනා කරනවා..කසුන් අයියා, ගිනිකුරුල්ලා අයියා,ඇතුලු මෙදා සැරේ එන්න බැරිවුනු හැමෝම අනිවාර්‍යෙන්ම ලබන සැරේ හම්බෙමු අපි.කොහොමෙන් හරි කී බෝඩ් එකෙනුයි, මොනිටරෙනුයි බැඳිච්ච ඒ බැදීම් වලට මම නම් හැමදාම ආදරෙයි!! 


ආයෙමත් වතාවක්, සයිබර් සිහින උළෙලට ආපු හැමෝටමයි, සංවිධානය කරපු ඒ ශක්තියටයි හුඟාක්ම ස්තූතියි!!!




සදාතනික බැදීම් වලට එහා ගිය,
අපේ සයිබර් අවකාශයේ බැඳීමට
ආදරෙයි මහා ගොඩාක්
සදාකල් එකලෙසම.....
බැදීම් අලුත් කළ,තව තවත් ළං කල,
අපේ සයිබර් සිහින උලෙළට
ආදරෙයි මහා ගොඩාක්
වෙස් මුහුණ අහිමි කළත්.... <3

Post Comment

12 April 2012

ඇවිල්ලා...ඇවිල්ලා.....සිංහල අවුරුද්ද ඇවිල්ලා........!!!!

2012 ලැබුවා විතරයි,දන්නෙම නැතුව සිංහල අවුරුද්දත් ඇවිල්ලා. කාලය ගතවෙන ඉක්මණ බලන්නකෝ ඉතිං..දැන් කට්ටියම කඩි මුඩියෙ අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති නේද? හැමෝම වගේ මේ වෙද්දි සාප්පු සවාරි ගිහින්, තෑගි බෝග අරන්, කෑම බීම හදන්න ඔක්කොම ජාති ලෑස්ති කරන් අවුරුදු ලබනකම් බලාගෙන ඇති.(මම දන්න බ්ලොග් ලියන අක්කා කෙනෙක්නම් දැනටම කේක් එහෙම හදලාත් ඉවරයිලු :p කන්න තමයි ලු බලන් ඉන්නෙ :p) ඉවසලා ඉන්න තව පොඩ්ඩක්...අවුරුදු ලබන්න තව මහ කාලයක් නෑ.. ළඟ ළඟම අවුරුදු එනවාලු...


ලඟ ලඟම සුනාමියක් එනවා කියලා, ඊයේ ආපු ආරංචිය නිසා අපේ රටේ මිනිස්සුන්ගෙ අවුරුදු සිහින බොඳ වෙන්නයි ගියේ, ඒත් වාසනාවකට, දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන්, රැකවරණෙන් අපේ රටේ මිනිස්සුන්ට සුනාමියෙන් ආපදාවක් වුනේ නෑ. ඒකනම් ලොකු සතුටක්..




කොහොමහරි ඉතින් මේ බක් මාසෙ, එහෙම නැත්තම් අප්‍රේල් මාසෙ කියන්නෙ වසන්තය උදා වෙන මාසයක්නෙ. ගස් වල මල් පිපිලා, ඵල බර වෙලා, මුලු පරිසරයම ලස්සන කරන කාලයක්. සෞභාග්‍ය ,සශ්‍රීකත්වය උදා වෙන කාලයක් තමායිලු මේ කාලෙ.(ඒ වගේම තමයි, මේ ලස්සන මාසෙ තමයිලු හුඟාක් ශ්‍රේෂ්ඨ, හොඳ ,ගුණ යහපත් උත්තමයෝ,උත්තමාවියෝ උපත ලබලා තියෙන්නෙ :p :p :p ). බක් මාසෙ මට නම් නරකකට කියලා තියෙන්නෙ එක දෙයයි. ඒ තමා බක්මහ අකුණූ. මේ කාලෙ හැන්දෑවට, පාන්දරට අකුණු ගගහා වහින්න පටන් ගන්න එක තමා ටිකක් හරි නැත්තෙ..:(( ඔයාලත් බ්ලොග් කියවන්න එන්නෙ එහෙම පරිස්සමින් හොඳේ?? )ඒ හැරුණාම අප්‍රේල් මාසෙ, නැත්තම් බක් මාසෙ කියන්නෙ ලස්සන මාසයක්.


ගෙවල් දොරවල් අස් කරන්න, කලඑළි කරන්න, ජනෙල් දොර රෙදි දාන්න, පාට ගාන්න කාගෙ කාගෙත් තියෙන්නෙ හරිම උනන්දුවක්.ලොකු පොඩි කිසිම බේදයක් නැතිව ,අවුරුද්දට හරි හරියට ලෑස්තිවෙන්නෙ ඒ නිසාමනෙ. මේ දවස් ටිකේ පාරට බැහැලා බැලුවානම්, කාටවුනත් තේරෙන්න ඇති අවුරුදු ප්‍රබෝධය කොයිතරම්ද කියලා ;) ඇඳුම් සාප්පු වල පොදිකන සෙනඟ දැක්කාම ඇස් උඩ යනවා. ඒ විතරක්ද, සුපර් මාකට් එකේ, බැංකුවෙ,ATM ළඟ, රත්තරං බඩු උගස් කරන තැන් වල, පෙට්‍රල් ශෙඩ් වල, ඒ විතරක් නෙවෙයි ගෙවල් ලඟ සිල්ලර කඩෙත් තියෙන්නෙ පුදුම පෝළිමක්..:D 


පේමන්ට් එක දිගට සේල්!!! සේල්!!! සේල්!!! එක පොකුරට මිනිස්සු පොදිකනවා.සපත්තු, සෙරප්පු, ඇඳුම්, හට්ටි ,මුට්ටි ,වළං,රතිඤ්ඤා හැමතැනම දකින්න තියෙන්නෙ අවුරුදු... අවුරුදු... අවුරුදු ප්‍රබෝධය. මේ දවස්වල පාරෙ වාහන තදබදය ඊට වඩා බරපතලයි. අතේ තියෙන සල්ලි ටික මදිනම් ණය තුරුස් වෙලා හරි අවුරුදු සමරන්න තමයි අපේ රටේ බහුතරයක් දෙනා පෙළඹිලා තියෙන්නෙ. (ඒක හරිද වැරදිද කියන්න දන්නෙ නෑ..ඒක එක එක්කෙනාගෙ කැමැත්ත) කොහොම වුනත් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්, අවුරුදු සමරන්න, අපේ රටේ මිනිස්සු හුඟාක්ම උනන්දුයි.


හැම ගෙදරකම වගේ තෙල් තාච්චියක් ලිප තියලා කැවුමක්, කොකිසක් හදන, ඒ නැත්තම් කඩෙන් හරි ගෙනැල්ලා අවුරුදු කෑම මේසයක් ලෑස්ති කරන සිරිත අපේ රටේ මිනිස්සු අදටත් අකුරට සිද්ධ කරනවා. අවුරුද්දෙ හුඟාක් අය ආසම කරන අංගයක් තමයි "ගණූදෙණු" කරන එක. :p ( ගොඩක් අය ඉතිං ආස, "දෙනු" නෙවෙයි "ගණු" වලට විතරයිනෙ::p )අහල පහල ගෙවල් වලට කෑම පිඟන් බෙදන්න, තෑගී බෝග අරගෙන නෑගම් යන්න ,මේ හැමදේකටම තියෙන්නෙ තව බොහොම ටික කාලයයි. අවුරුදු ළඟටම ඇවිල්ලා...:D

අවුරුදු කාලේ ඊළඟ ලස්සනම වැඩේ තමා අවුරුදු උත්සව . අවුරුදු උත්සව අඩියෙන් අඩිය..:D අවුරුදු උත්සව වලට ගිහින් තෑගි දිනන්නම ලෑස්ති වෙන අයත් ඕනෙ තරම් ඇති. මේ වෙද්දි එහෙම අවුරුදු උත්සව සංවිධානය කරන් යන අයත් ඇති. ඉතිං ඒ හැමෝටම සුභ පතනවා ඒ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා.ඔන්න දැන් අපේ බ්ලොග් අවකාශෙ කට්ටියත් එකතුවෙලා අවුරුදු උත්සවයක් සංවිධානය කරලා තියෙනවානෙ. අප්‍රේල් 22 වෙනිදා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නෙ.මේ වෙද්දි හැමෝම වගේ ඒ ගැන දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් බ්ලොග් එකේ දකුණු පැත්තෙ තියෙන සිහින බක් මහ උළෙල 2012  පින්තූරෙ ක්ලික් කරලා වැඩි විස්තර දැනගන්න.දැනට ආරංචියෙ හැටියටනම් 200ක් විතර එනවා කියලයි දන්නෙ. ඔන්න කට්ටියම එන්න හොඳේ!!!![මේ මමත් හිතුවක්කාර නොවී අවුරුදු උත්සවේ පැත්තෙ ඇවිල්ල යන්න කියලා බැලුවෙ ;) :D ඒ ගැන පසුවට බලමුකෝ..]

ඔන්න එහෙනම් හැමකෙනෙක්ම අවුරුදු නිසා බිසී වෙලා ඉන්න කාලෙ, අවුරුද්දට සුභ පතන්න පෝස්ට් එකක් දාන්න මමත් අමතක කලේ නෑ.. මේ ලබන අලුත් අවුරුද්දෙදි හැම කෙනෙක්ගෙම හිත් වල සතුට ඉතිරිලා, හැම බලාපොරොත්තුවක්ම, හැම ප්‍රාර්ථනාවක්ම, කරන කියන හැම හොද කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මමත් සුභ පතනවා!!!

මේ ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැම කෙනෙක්ටම සාමය සතුට සෞභාග්‍ය උදා කරන වාසනාවන්ත අවුරුද්දක්ම වේවා!!!!!!


Post Comment

07 April 2012

~ සිත් ගත් බොලිවුඩ්පුරය ~

ටික දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනානෙ.ඔන්න අද නම් මම මේ ලියන්න යන්නෙ බැනුම් අහගන්න වෙන ලිපියක්ද මංදා. මොකක් වුනත් කමක් නෑ, මට සෑහෙන කාලෙක ඉදන් ආසවක් තිබ්බා මේ හින්දි චිත්‍රපටි, නළු නිළියො ගැන මොකක් හරි ලියන්න.:D


ඔය හින්දි ෆිල්ම් බලන පිස්සුව මට හැදුනෙ මම ඉස්කෝලේ 6,7 ඉන්න කාලෙදි වගේ තමයි.ඉස්සර ඉතිං ටීවී එකේ ඉරිදාට පෙන්නන හින්දි ෆිල්ම් එක බලන්න ඉන්නෙ පුදුම ආසාවෙන් තමයි. ඉරිදාට මුකුත් ටියුෂන් පන්ති එහෙම වැටිලා තිබ්බෙත් නැති කාලෙ පුරුද්දක් විදියට හැම ඉරිදාම අඬ, අඬ හොටු පෙර පෙර ඔය  හින්දි ෆිල්ම් බැලුවා.(හුඟාක් ෆිල්ම් අවසානෙදි සතුටින් ඉවරවුනත්, දුකින් ඉවරවුනත් හැඟීම්බර තැන් වලදි මම අඬලා තිබුණා. :( )[ඒ තරමට හින්දි උන්මාදය ;) ]


ඒකත් ලේසි වුනේ නෑ. 12ට 12.30ට විතර නාලා එහෙම, බත් පිඟානත් අරන් ටීවි එක ඉස්සරහා වාඩි වුනාම ඉතිං බත් කෑම කෙසේ වෙතත් බැනුම් අහන එකනම් උපරිමෙන් අහගත්තා. පැයක් විතර බත් එක අතේ තියාගෙන ටීවි එක කනවා කියල අම්මායි ,තාත්තයි නොසෑහෙන්න දොස් කිව්වා. ඒත් ඉතිං මම නෙවෙයි කනකට ගත්තෙ.(හිතුවක්කාරීනෙ :p ).


ඉස්සර ඉඳන්ම මට කොච්චර බැලුවත් එපා වෙලා නැති, අදටත් මම බලන්න තිබ්බොත් නොබලා ඉන්නෙ නැති ආසම කරපු ෆිල්ම් එකක් තමයි "දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ" කියන්නෙ. බොලිවුඩයේ "King Khan" එහෙම නැත්තම් ශාරුක් ඛාන් සහ මම ආසම කරන "හිතුවක්කාර"  නිළිය කාජල් රඟපාපු ඒ ෆිල්ම් එක, මම 7,8 සැරයක් විතර බලලා ඇති. ඒ වගේම ඒ සින්දු වලටත් මම අදටත් හුඟාක් ආසයි.ශාරුක් ඛාන්ගෙ සුපිරි තාත්වික රඟපෑම නිසා ඒ ෆිල්ම් එකට හොදම නළුවාගෙ සම්මානයත්, කාජල්ගේ අපූරු රඟපෑම නිසා හොඳම නිළිය සම්මානයත් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි ලැබිලා තිබුණා.


මම ආස කරපු තවත් ඒ හා සමානම ෆිල්ම් කීපයක්ම තිබ්බා .කුච් කුච් හෝතා හේ,දිල් තෝ පාගල් හේ,අසෝක්, පර්දේශ්,දිල් සේ ,දේව්දාස් ,වීර්-සාරා වගේ ශාරුක් ඛාන් රඟපාපු ෆිල්ම් ගොඩාක් මම පුදුම ආසවෙන් බැලුවා වගේම ඒ සිංදු වලට තාමත් ආසයි. කොහොමත් මෑත කාලීන ආපු හින්දි ෆිල්ම් වල සිංදු වලට වඩා, ටිකක් පරණ ෆිල්ම් වල සිංදු අහන්න මම පුදුම විදියට ආසයි.

ඊළඟට "දිල්වාලේ දුල්හනියා ලේ ජයේන්ගේ" ෆිල්ම් එකට සමානවම තව හුඟාක් මම ආස කරපු ෆිල්ම් එකක් තමයි "කහෝනා පෙයාර් හේ" කියන්නෙ. රිතික් රෝෂන්, අමීෂා පටෙල් රඟපාපු ඒ ෆිල්ම් එකත් මගේ හිත ගියපු ෆිල්ම් එකක් වුනා ඒ දවස් වල. ඒ ෆිල්ම් එකෙත් හුඟාක් සින්දු වලට මම ආස කළා.රිතික් රෝෂන්ගෙ නැටුම් වලට වශී වෙලා හිටියා කාලයක් ම ඒ ෆිල්ම් එක බලලා.;)[පිස්සු තද වෙලා]

ඒ වගේම රිතික් රෝෂන් රඟපාපු "මුජ් සේ දෝස්ති කරෝගේ","කබි කුෂී කබි ගම්","කොයි මිල් ගයා",වගේ ෆිල්ම් වලටත් පිස්සු වැටිලා තමයි හිටියෙ.:D

ඊළඟ මම ආසම ෆිල්ම් ලිස්ට් එකට වැටුණු ෆිල්ම් එක තමා "ජීනා සිර්ෆ් මේරේ ලියේ" කියන්නෙ.ඒකට ආසවෙන්න ලොකුම හේතුව වුනේ ,ඒ ෆිල්ම් එකේ නමේ තේරුම මගේ හිත ගත්තා වගේම ඒකෙ ප්‍රධාන නළුවා තුෂාර් කපූර් ට හිත ගියා.;)"ජීවත් වෙන්න මං වෙනුවෙන් විතරක්" කියලා වගේ නම අදහස් වෙන ඒ ෆිල්ම් එක හරිම ලස්සනයි..ඒ වගේම නළුවත් ;) [හින්දි සිනමාවෙ වෙනස්ම විදියෙ ලස්සනක් තිබ්බ නළුවෙක් කියලා හිතුනා]
ලිස්ට් එකේ ඊළඟට වැටුණු ෆිල්ම් එක "සාතියා" .ඒ ෆිල්ම් එකට ආසම වෙන්න හේතු වුනෙත් නළුවා සහ නිළියම තමා. විවේක් ඔබරෝයි සහ රාණි මුඛර්ජි කියන්නෙ මම හුඟාක්ම ආස වුනු දෙන්නෙක්. ඒ නිසාම ඒ ෆිල්ම් එක මගේ හිත ගත්තා. ඒ වගේම ඒ ෆිල්ම් එකේ තිබුණු සිංදුව "සාතියා" සිංදුවත් මම ආසම සිංදුවක් වුනා ඒ කාලෙ.[ළඟකදිනම් අහන්නත් බැරි වුනා ඒ සිංදුව:( ]


ඊටපස්සෙ මගේ ලිස්ට් එකට වැටුණූ, ෆිල්ම් එකක් තමා "ෆිඩා" . ඒ ෆිල්ම් එක මගේ හින්දි පිස්සුව හොඳටම වැඩි කළා. ඒකට හේතුව තමා ,ඒ ෆිල්ම් එකේ රඟපාපු හුරතල් නළුවෙක් වෙච්ච "ශාහිඩ් කපූර්" .මම ආස කරපු අනිත් හැම නළුවෙක්ම පරද්දලා, ශාහිඩ් කපූර් සෑහෙන්න ඉදිරියට ආවා මේ ෆිල්ම් එක නිසා. ඊටපස්සෙ දිගින් දිගටම මම ශාහිඩ් කපූර් රඟපාපු ෆිල්ම් බලන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. අදටත් මගේ ප්‍රියතම ,ආසම හින්දි සිනමා නළුවා වෙලා තියෙන්නෙ "ශාහිඩ් කපූර්".[ඒක හුඟාක් අය දන්නවා මං හිතන්නෙ. මොකද බ්ලොග් ලිවිල්ලෙදිත් මම පින්තූර වලට වැඩුපුරම ශාහිඩ් කපූර්ගෙ පින්තූර යොදාගන්නවා වැඩියිනෙ   ;) ]

බලන්න ඉතින් මෙයාගේ ලස්සන ;)

විවාහ්, ඉශ්ක් විශ්ක්,ජබ් වී මෙට්,කිස්මත් කනෙක්ෂන් වගේ ශාහිඩ් කපූර් රඟපාපු ෆිල්ම් හැම එකක්ම වගේ පුදුම ආසාවෙන් බැලුවා.ෆිඩා ෆිල්ම් එකේ මම හුඟාක්ම ආස සින්දුවක් තමා මේ තියෙන්නෙ..<3


 


ඔය මම ආසම කරපු නළු නිළියො ඉන්න ෆිල්ම් වලට අමතරව, මගේ ආසම ෆිල්ම් ලිස්ට් එකේ තව ලස්සන ෆිල්ම් හුඟාක් තිබුණා. සමහර ෆිල්ම් වල නම් කියන්න මතකත් නැති තරම්. ධර්කන් ෆිල්ම් එක ඔය ෆිල්ම් අතරේ මම හරිම ආස කරපු ෆිල්ම් එකක්. ඒ ෆිල්ම් එකේ සින්දු හැම එකක්ම වගේ පුදුම ලස්සනයි. ඒ වගේම දිල් කා රිෂ්ඨා,ලගාන්, ගජිනි,ජොශ්,තේරේ නාම්,ෆනා,ක්‍රිශ්, කුච් නා කහෝ,ඕම් ශාන්ති ඕම් වගේ ෆිල්ම් වල සින්දු අදටත් අහන්න ආස කරනවා.

තව ඉතිං එකී මෙකී නොකී ෆිල්ම් තොගයයි.. නම් කියන්නවත් මතක නැති තරම්. හුඟාක් මෑත කාලෙකදි ආපු ලස්සනම සින්දුවක් වුන "තේරී මේරි " සින්දුව තියෙන ෆිල්ම් එක කොහොම අමතක කරන්නද? :D "බොඩිගාර්ඩ්" ;) ඒ වගේම "I hate Love stories",අග්නිපත්, රා වන් වගේ ෆිල්ම් ටිකත් මතක් කලේ නැත්තම් හරි නෑනෙ..

මේ දවස්වල ටිකක් කතාබහට ලක් වෙච්ච හින්දි සිනමාවෙ ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතෙන කසවසම්, දක්ෂ නළුවෙකුත් ඉන්නවා(ලු) නෙ. ;) හැබැයි මටනම් ශාහිඩ් කපූර් තරම් එයාව විශේෂ වුනේ නෑ. හැබැයි හුඟාක් දෙනෙක් මේ දවස්වල කතා කරන කෙනෙක් තමා මෙයා. ඒ තමා "රන්බීර් කපූර්".

සාවරියා ,බච් නා ඒ හසීනෝ,Luck by Chance,Rock Star වගේ ෆිල්ම් වල රඟපෑම නිසා රන්බීර් කපූර් හරිම ඉක්මණින් ජනප්‍රිය නළුවෙක් බවට පත් වෙලා තියෙනවා.මට තාම රොක් ස්ටාර් ෆිල්ම් එක බලන්න හම්බුනේ නෑ..:( හැබැයි රන්බීර් ගෙ "බච් නා ඒ හසීනෝ " ෆිල්ම් එකේ රඟපෑමට හරිම ආස හිතුනා.:D බලමුකෝ ඉස්සරහට රන්බීර්ගෙත් දක්ෂකම්.


ඔන්න ඔහොම තමා මගේ හින්දි පිස්සුවෙ පරිණාමනය සිද්ධ වුනේ.. දැන් දැන් නම් ටීවී නොබලන නිසා වැඩිය ටීවී එකේ යන හින්දි ෆිල්ම් බැලෙන්නෙම නෑ..:( කොහෙන්හරි හම්බුනොත් ගෙනල්ලා බලනවා හැරෙන්න දැන් දැන් පොඩ්ඩක් විතර හින්දි ෆිල්ම් බලන එක මගෑරිලා ගිහින්. ඒත් හින්දි සින්දු අහන එකනම් අඩුවක් නෑ..:D

කොහොමටත් ඔය සමහර පිරිමි ළමයින්ටනම්(හුඟාක් අයට :p ) හින්දි ඇලජික්!! බ්ලොග් කියවන, ලියන අය අතරෙත් ඇති හුඟාක් එහෙම අය. 100%ක් ශුවර් ඒකනම්. ඔන්න එහෙම කට්ටියගෙන් තමා ඉතිං මේ පිස්සු පෝස්ට් එකට බැනුම් අහගන්න වුනොත් අහගන්න වෙන්නෙ. ;) කමක් නෑ බලමුකෝ...

කොහොම වුනත් මමනම් අදටත් ආස ටිකක් පරණ හින්දි ෆිල්ම් වල සින්දු අහන්න තමයි.කලින් කිව්වා වගේ ඉස්සර ආපු ෆිල්ම් වල තාක්ෂණික දියුණුව කෙසේ වෙතත් හැම සින්දුවක්ම වගේ හරිම ලස්සනයි. දැන් සින්දු කැතයි කියනවා නෙවෙයි. ඒත් ඒ ෆිල්ම් වල එක දිගට රසවිඳින්න පුළුවන්, විඳින්න පුළුවන් හිතට දැනෙන ලස්සන සින්දු හුඟාක් තිබුණා. මංදා, මට හිතුනෙ එහෙමයි.. අනිත් අය කොහොම හිතයිද දන්නෙ නෑ..:)

අද මේ ලිව්වෙ මම ආසකරන ෆිල්ම් ටිකක් සහ නළු නිළියො, සින්දු වගේ කොටස් කීපයක් ගැන විතරයි. ඉස්සරහට තව තව ෆිල්ම් ගැන, ලංකාවෙ ෆිල්ම් ගැන එහෙමත් ලියන්න හිතාගෙන ඉන්නෙ. ඒවා පසුවට බලමුකෝ.. එහෙනම් ජය වේවා!!!

ප.ලි- ෆිල්ම් වල නම් එහෙම ලිව්වා හරිද මංදා, මොන හරි වැරැද්දක් තියෙනවානම් නිවැරදි කරන්නකෝ...;)

Post Comment