නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

24 May 2012

ආදරේ කරලා බඳිනවාද? බැඳලා ආදරේ කරනවාද?


ආදරේ.... මම හැමදාම කියනවා වගේ ආදරේ කියන වචනෙට හරිම අර්ථකථනයක් දෙන්න කාටවත්ම බැරිව ඇති. ඔව් එහෙම වෙන්න ඕනෙ..නැත්තම් ඔයාට පුළුවන්ද හරියටම කියන්න, ආදරේ කියන්නෙ මෙන්න මේකයි කියලා? අමාරුයි නේද? මොහොතකට හිතාගෙන කියාගෙන කියාගෙන ගියත් , "ඇත්තටම ආදරේ ඒකද?" කියලා ආයෙමත් හිත ඔයාගෙන්ම ප්‍රශ්න කරනවා නේද? 


කොහොම මොන විදියකින් කිව්වාත්, ආදරේ කරන අපේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ බහුතරයකගේ අවසානයේ හීනය වෙන්නෙ ඒ ආදරේ විවාහයකින් කෙළවර වෙනවා දැකීමයි. ඇත්තටම මම හරිද? විවාහයෙන් ආදරේ කෙළවර වෙනවා කියන්න පුළුවන්ද? විවාහ වුනාම ආදරේ කරන්නෙ නැද්ද එතකොට? (ඔන්න බැඳපු අයට දෙන්න පුළුවන් හොද උත්තරයක්)


සමාජෙ බොහෝ දෙනෙක් කියන විදිය තමයි, ආදරේ විවාහයෙන් කෙළවර වෙන එක සතුටක් කියන කාරණාව. ඔව්.. "කෙළවර වීම" ,"අවසාන වීම" කියන වචන කෙසේවෙතත්, ඇත්තටම අවංකව ආදරේ කරපු කෙනෙක්ට, තමන් ආදරේ කරපු කෙනත් එක්ක මැරෙනකම් ජීවත් වෙන්න,  සදාකාලිකවම එකට ඉදගෙන, ජීවිතේ බෙදාගන්න තියෙන නෛතික වටිනාකමක් එක්කම ලැබෙන අවස්ථාව තමා විවාහය කියන්නෙ.


විවාහය අපේ රටේ  එක එක විදියට සිද්ධ වෙනවානෙ.. බහුලවම සිද්ධ වෙන ආකර දෙකක් තමයි, යෝජිත විවාහ සහ ආදර සම්බන්ධතා පදනම් කරගත් විවාහ.පෞද්ගලිකව මම නම් යෝජිත විවාහයකට අකමැතියි. ;) ඒත් මේ ක්‍රම දෙකේදිම මම හිතන්නෙ සැලකිය යුතු පැති කීපයක්ම තියෙනවා.හැම දේකදිම දෙපැත්තක් තියෙනවා වගේ, මෙතනදිත් පැතිකඩ දෙකක් තියෙනවා කියන එකයි මගේ අදහස.


ආදරේ කරලා බැඳලා සතුටින් ජීවත්වෙන අය ලෝකෙ කොච්චරනම් ඇත්ද? ඒ වගේම කසාද බැඳලා ආදරේ කරන අයත් ලෝකෙ මොනතරම් ඇත්ද? ඒත් කවුද සාර්ථක , කවුද අසාර්ථක කියලා අපිට නිශ්චිතවම කියන්න පුළුවන්ද?


මම හිතන  විදියටනම්, ආදරේ කරලා කාලයක් තිස්සෙ ආශ්‍රය කරලා, දෙන්නාට දෙන්නා අඳුනගෙන කසාද බඳින එක හොඳයි.එතකොට  එකිනෙකාගෙ රුචි අරුචිකම්, ගතිපැවතුම්, පුරුදු, හැකියාවන්, දක්ෂතාවයන්, දුර්වලකම් මේ හැම දෙයක්ම කාලයක් තිස්සෙ අධ්‍යනය කරන්න පුළුවන්.


එයාට තරහා ගියාම කොහොමද, එයා රණ්ඩු වෙන්නෙ කොහොමද,  එයා කන්න කැමති මොනාද, අඳින්න කැමති කොහොමද, යාලුවන්ට, නෑදෑයන්ට ,වැඩිහිටියන්ට ,දෙමව්පියන්ට සළකන්නෙ කතා බහ කරන්නෙ ගරු කරන්නෙ කොහොමද, එයා  ජීවිතේ තේරුම්ගන්නෙ කොහොමද, එයා එක්ක මට ජීවත් වෙන්න පුළුවන්ද? ජීවිතේ කෙළවර වෙනකම්, මැරෙන මොහොත වෙනකම් එකට ජීවත් වෙන්න තරම්  එයා මාව තේරුම් අරන්ද ඉන්නෙ, මම එයාව තේරුම් අරන්ද ඉන්නෙ,  එයාට මම වෙනුවෙන් ඉවසන්න කැපවෙන්න පුළුවන්ද, මට එයා වෙනුවෙන් ඉවසන්න කැපවෙන්න පුළුවන්ද, ...... වගේ හුඟාක් දේවල් ගැන තේරුම්ගන්න ආදරේ කරන කාලෙකදි කෙනෙක්ට පුළුවන්.(දිනපතාම වගේ රණ්ඩු වෙන්න ,වලි දාගන්න ආස අයට ඕන්නම් ඒකත් පුළුවන් :p)


සමහර සම්බන්ධතා මොන විදියකින් හරි,(හේතුවක් ඇතිව/නැතිව )බිදිලා යන්නෙත් කොතනක හරි තියෙන නොගැළපීමක් නිසා වෙන්න පුළුවන්.ඉතිං විවාහයක් දක්වාම දුර දිග යන්න තරම් කාලයක් තිස්සේ සම්බන්ධයක් පවතිනවානම් මම හිතන්නෙ ඔවුන් සාර්ථකයි. 


ඒත් මට එහෙම කියන්න පුළුවන්ද? 


පැලෙන්න ආදරේ කරලා...තේරුම් අරන්...අවුරුදු 7ක් 8ක් නැත්තම් 10ක් තිස්සෙ ආදරේ කරලා..සමහරවිට ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම පටන්ගත්ත කුළුඳුල්ම ආදරේ  විවාහය වෙනතෙක් දුර ගිහිල්ලාත්, රටටම පේන්න ලොකුම ලොකු තරු පහේ හෝටලේක...හොදම විදියට ...සුපිරිම විදියට මඟුල් කාලා...,අවසානෙදි උසාවියේ විත්ති කූඩුවෙ, පැමිණිලි කූඩුවෙ ඉදන් ,දෙන්නාට දෙන්නා ඇඟිල්ල දික් කරගන්න වෙන අවස්ථා නැද්ද? නෑ....එහෙම අවස්ථා නැත්තෙ නෑ.. ඕනෙ තරම් තියෙනවා. මේ ලියන මම, කියවන ඔයා ,  ඔයාගේ යාළුවෝ ඕනෙ තරම් අහලා තියෙනවා, දැකලා තියෙනවා ඇති එහෙම කතා.ඉතින් එහෙනම් ආදරේ කරලා කසාද බඳින  එක තමා හොඳම කියන්න පුළුවන්ද??


එහෙනම් යෝජිත විවාහයක් තමා හොඳම. ඒ කියන්නෙ කසාද බැදලා ආදරේ කරන්න පටන්ගන්නවා. නැත්තම් ආශ්‍රය කරලා කෙටි කාලෙකින් විවාහ වෙනවා.ඒක තමා එහෙනම් හොඳම.එහෙමද?


ටික කාලයක් කතා බහ කරලා, එයා කොහොම කෙනෙක්ද , එයාගෙ කතාබහ ,පෙනුම , හැසිරීම ප්‍රසන්නයි නම් කසාද බඳිනවා. කසාද බැඳලා පටන්ගන්නවා ,ආදරේ කරන්න. එයා මං ගැන හොයනවා බලනවා...මට ආරක්ෂාව දෙනවා.. ලෙඩකදි දුකකදි බලනවා..ළූණු ගෙඩියක් සුද්ද කරලා, පොල් බෑයක් ගාලා දීලා, ගෙදර වැඩ වලට උදව් කරනවා...තව, රාජකාරි මට්ටමේ වැඩ වලට පුළුවන් විදියට උදව් කරනවා..එයාගෙ විදියට මම හැඩගැහෙන්න උත්සාහ කරනව..මගේ විදියට එයා හැඩගැහෙන්න උත්සාහ කරනවා.. අපිට අපි ගළපගන්න මහන්සි වෙනවා. ජීවිතේ හිමින් හිමින් කල් ගත වෙද්දි අපි අපිව තේරුම් ගන්නවා.පුංචි පුංචි රණ්ඩු සරුවල් ඇති වුනත් අපි අපේ ජීවිත කොහොම හරි ගෙනියනවා..අවුරුදු 4ක් 5ක් තිස්සෙ රණ්ඩු වෙවී, යාලු වෙවී ජීවිතේට ජීවිතේ ගළපගෙන ,ගෙවන්න යන ජීවිත වලට වඩා මෙහෙම පටන්ගන්න ජීවිතේ නැවුම් ගතියක් තියේවී.. පහු පහු වෙද්දි හැම දේම කොහු කොහු වෙන න්‍යාය සලකද්දිනම්, ආදරේ කරලා බැන්ද අයට වඩා වැඩි කාලයක් , බැඳලා ආදරේ කරන අයට සතුටින් ඉන්න පුළුවන් වෙයි....


ඒත්, ඇත්තටම යෝජිත විවාහයකට මුල පුරන විදිය හොදයිද? එතන තියෙන්නෙ වෙන්දේසියෙ දැම්මා වගේ වැඩක් නෙවෙයිද? පත්තරේ දැන්වීමක් දානවා." මුදලින් ලක්ෂ 5යි, ගොඩින් අක්කර 5යි, මඩින් අක්කර මෙච්චරයි. උගත් රූමත් ගැහැණු  දරුවට, සුදුසු සහකරුවෙක් මව්පියෝ සොයයි"ලු.. දැන්වීම දැකලා ලිපි හුඟාක් එනවා. මනමාලයෝ ඇවිල්ලා බලලා යනවා. ගෑනු ළමයාගෙ පෙනුමත් හොදයි , දෑවැද්දත් හොදයි, උගත්කම, රස්සාව, දේපළ, පවුල, කුල මල ඔක්කොම හරි.. කසාදේ තීන්දුයි..ඊටපස්සෙ "ටික කාලයක් ආශ්‍රය කරන්න" කියලා සත්තු වගේ නිදහස් කරනවා.. 


කසාදේ තීන්දු වුනේ මොනා පදනම් කරගෙනද? රූපය බලය නිලය තත්වය ,සල්ලි මූලික කරගෙන නෙවෙයිද? හුඟාක්ම යෝජිත විවාහ වල සිද්ද වෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිද?භෞතික සාධක මූලික කරගත්ත විවාහයකට හොදම උදාහරණයක් යෝජිත විවාහයක් කියලායි මම හිතන්නෙ.


එතකොට කොහොමද එතන සැබෑ ආදරයක් ඇතිවෙන්නෙ? තත්වය බලය නිලය සල්ලි දේපළ ගැන බලලා විවාහයට කෙනෙක් තෝරගන්න එක වරදක් නෑ.. ඒත් එතනදි ඇතිවෙන බැඳිම හරි ව්‍යාජයි වගේ නැද්ද?


ටික කාලයක් තිස්සෙ හොරෙන් හොරෙන් ,ගෙවල් වල අයට , නෑදෑයන්ට අඳුනන අයට වහන් වෙලා බයෙන් බයෙන්  ආදරේ කරලා, නානාවිධ ප්‍රශ්න වලට මූණ දීලා , ඒ බාධක අභියෝග වලට කොහොමහරි මූණ දීලා, ඒවායින් දිනලා සදාකාලිකවම හිමි වෙන ආදරේ අමුතු සුන්දරකමකුත් තියෙනවා නේද?රණ්ඩු වෙවී හරි දත කාගෙන එකට ඉදලා, දාලා යන්නෙ නැතිව හයියෙන් බදලා අල්ලගෙනම ඉදලා, අන්තිමේදි පෝරුවට නැග්ගාම දැනෙන සතුට යෝජිත  විවාහයකදි දැනෙනවා ඇත්ද? 


මුලින්ම මඟ තොටදි, ඉස්කෝලෙදි, ටියුෂන් පන්තියේදි  දැකලා ඇති වුනු ආසාව, පස්සෙ කැමැත්තක්, ඊටත් පස්සෙ ආදරයක් වෙලා, ගරු නම්බු නාම, පවුල් පසුබිම් , කුල මල ,වයස මුකුත්ම නොදැන පටන්ගත්තු සම්බන්ධයක් පත්තරේ වෙන්දේසි වෙන බැදීමකට වඩා හොද නැද්ද?


එතකොට කොහොමද කියන්නෙ යෝජිත විවාහයක් හොදයි කියලා? බැඳලා ආදරේ කරන එක හොදයි කියන්නෙ කොහොමද?


ආදරේ කරලා බඳින එක නේද හොඳම??


කාලාන්තරයක් තිස්සෙ ආදරය කරලා, දැන අඳූනගෙන , සීමා මායිම් හැම දෙයක්ම කඩා ඉහිරවාගෙන,ගොඩාක් දුර ගිහින් ඊටත්පස්සෙ එකිනෙකාට තියෙන ආකර්ෂණය,  ගෞරවය, බැඳීම  හැමදෙයක්ම දුරස් වෙලා ගියාටපස්සෙ, ඊළඟට කලයුත්ත විවාහය නිසාම පමනක් විවාහ වෙන්න වුනොත් කොහොම දැනෙයිද? එහෙම සිදු වෙන විවාහයකට වඩා ගෙදරින් ගේන යෝජනාවකින් හම්බෙන කෙනෙක්ව කසාද බැදලා ජීවිතේ ඉතුරුටිකත් ගෙවලා දාන එක හොඳ නැද්ද?


එහෙම බැලුවොත් බැඳලා ආදරේ කරන එක නේද හොඳම?


ඇත්තටම මොකක්ද හොඳම?


ආදරේ කරලා කසාද බඳින එකද? කසාද බැඳලා ආදරේ කරන එකද?


ඔයාලාගේ තීරණේ මොකක්ද?


ප.ලි- නිකමට හිතුනු දෙයක්.. මේ ගැන බ්ලොග් අවකාශේ හුඟාක් ලිපි ලියැවුනා මම හිතන්නෙ.. මගේ අදහස අනුව දෙපැත්ත ගැනම හිතෙන  හැටි නිකමට ලිව්වෙ ;)



Post Comment

18 May 2012

~ අසම්මත පෙම ~

අපිට අපි හිමි නැති මේ ආදරෙන්,             
වෙන් වෙන්න කල් දැන් ඕනෑ තරම්....
නුඹ අයිති ඇයටයි...
මා අයිති ඔහුටයි....
අපිට අපි අහිමියි....
හිත දන්න මුත් අපි නොදනියි.......


ලෝකෙනුත් ගැරහුම් පමණ නම්,
ඇයි ඉන්නෙ අපි ළං වෙලා මේ තරම්....
ආදරෙත් අසම්මතයිලු...
බැදීමත් තාවකාලිකයිලු...
ජීවිතෙත් අසම්පූර්ණයිලු...
හිත දන්න මුත් අපි නොදනියිලු.........


ලෝකෙ මොනතරම් අසාධාරණද,
ආදරේට මොකට සම්මතයක්ද....
නුඹ මට ආදරෙයි...
මම නුඹට ආදරෙයි....
කොන්දේසිත් විරහිතයි....
අපි දන්න මුත් ලෝකය නොහඳුනයි......

Post Comment

15 May 2012

-TEEN Books , Autographs සහ මම -

මේක මම කාලෙක ඉදන් ලියන්න හිටපු මාතෘකාවක්.ඒත් ආයෙමත් ලියන්නම ඕනෙ කියල මතක් වුනේ ළඟදි දවසක පොත් කබඩ් එක ඇතුළෙ තිබිලා හම්බ වුනු මගේ පරණ Autographs කීපයක් සහ TEEN BOOK එකක් කියෙව්වාමයි.

ඇත්තටම ඒ සටහන් මට හුඟාක් දේවල් මතක් කලා.සමහර ඒවා කියවද්දි මට හොදටම හිනා..:D :Dසමහර දේවල් කියවද්දි දුකත් හිතුණා.ඒ හුඟාක් ලියැවුනූ දේවල් එක්ක අතීතෙට ඇදිලා යන ගතියක් තිබුණා.කොහොමටත් එහෙම ලියැවිච්ච සටහන් වල වටිනාකමක් දැනෙන්නෙ දැන් තමයි.. අතීතෙ කරපු කියපු දේවල්, ඒ කාලෙ අපේ සිතුවිලි, යාළුවෝ.. මේ හැම දෙයක්ම මතක් කරගන්න පුලුවන් දේවල් ඔය Autographs වල තියෙනවානෙ.

ඔය Autograph වල ලියන එක, Teen Book වල ලියන එක ,පුරුද්දක් විදියට අපි අතරට ඉස්සෙල්ලාම ආවෙ මම හතේ පන්තියෙ විතර ඉද්දියි.හතේ පන්තියෙ ගත කරන අන්තිම දවස ළඟ එද්දි, ඒ කියන්නෙ හත වසරෙන් අට වසරට පාස් වෙද්දි පන්තියේ ළමයී හෝ ගාලා සමරු පොත් දෙන්න පටන්ගත්තා "අනේ මේකෙ ලියලා දෙන්නකෝ" කියලා.ඔන්න ඔහොම මුලින්ම එකක් ලියන්න දුන්නාමනම් හරිම අමුතුයි.බයෙන් බයෙන් අනිත් අය ලියපුවා ඔක්කොම කියවලා,කොහොමද ලියන්නෙ කියලා අවබෝධයක් එහෙම අරන්,පාට පාට පෑන් වලින් ලස්සනම පිටුවක් තෝරගෙන ලියපු හැටි මට තාමත් මතකයි.ඊටපස්සෙ අම්මාට කියලා මටත් එකක් ගෙන්නගත්තා.උජාරුවට අරන් ගිහින් හතේ පන්තියේ යාලුවන්ට කියලා ලියවගත්තා..

හැම අවුරුද්දකම අන්තිමට ඔය විදිහට Autograph එකක ලියවගන්න එක පුරුද්දකට ගිහිල්ලයි තිබ්බෙ. ඉතිං ඉස්කෝලෙ එක අවුරුද්දක් ඉවරවෙන්න  අන්තිම කාලෙ වෙද්දි කරන්න තිබ්බ ලොකුම වැඩේ වුනෙත් ඔය සමරු සටහන් තියෙන එක තමයි.
ඉස්සර ඉදන් මගෙ ළඟ තිබ්බ Autograph 3ක් 

TEEN Books කියන අලුත් ජාතියක් ගැන මට දැනගන්න ලැබුණෙත් ඔන්න අපි 7 පන්තියේ ඉද්දියි. පන්තියේ හිටපු ටිකක් ලොකු ලොකු වැඩ කරන්න උත්සාහ කරපු ගෑනු ළමයෙක් දවසක් දා , මායි මගෙ හොදම යාළුවයි පොඩි චැටක් දාගෙන ඉද්දි උස්සගෙන ආවා ලොකු පොතක්. පිටු 400 විතර ඇති ලස්සන කවරයක් දාපු ,කවරෙ ඉස්සරහා මල් මල් අලවපු ලස්සනට හදපු පොතක්. මාත් ඉතින් ඇස් දෙක උඩ තියාගෙන බලන් හිටියෙ මොකක්ද මෙයා මේ කියන්න යන්නෙ කියලා..

"මේ හලෝ.. ඔය දෙන්නා මේකෙ ලියලා දෙනවාද?"

ඔන්න ඉතින් අපි දෙන්නාට ලියලා දෙන්න කියලා මෙයා පොත දික් කරා..

"මොකක්ද මේ?"

පොත අතටවත් නොගෙන පැනපු ගමන් මම ඇහුව ප්‍රශ්නෙ ඒක..

"ඕක මේ TEEN BOOK එකක් අනේ..කියවලා බලලා ලියලා දෙන්නකෝ..ඔය දෙන්නා free වෙලාවක ලියලා හෙට ගෙනත් දෙන්නකෝ ඕක මට."

කියපු ළමයා එතනින් යන්න ගියා.

උඩ බිම බලගත්තු මායි මගෙ යාළුවයි පොත පෙරලලා බලන්න ගත්තා.ඒක නිකන් ප්‍රශ්න උත්තර පොතක් වගේ.. මුලින්ම ප්‍රශ්න 50ක් විතර එක එක කොටස් විදියට අහලා තියෙනවා. ඊටපස්සෙ ඒවාට උත්තර වෙන වෙන අය ලියලා තියෙනවා. ලස්සන පින්තූර අලවලා, පාට පාට පෑන් වලින් හරිම ලස්සනට පොත පුරාම ලියලා තිබ්බා.

මායි මගේ හොදම යාලුවයි ඉතිං ප්‍රශ්න ටික කියවගෙන කියවගෙන ගියා. නම, ගම , අම්මා තාත්තාගෙ සහෝදරයන්ගෙ නම්, කැමතිම කෑම, පාට, බීම, නම, අකුර, වචනෙ, කැමතිම කෙනා, සිංදුව, ගායකයා ..ඔය විදියේ නානාප්‍රකාර ප්‍රශ්න ඔය අතරේ තිබුණා.අන්තිමම ප්‍රශ්න 10 වෙන්වෙලා තිබ්බෙ අමුතුම මාතෘකාවකට. ඒ තමා "ආදරේ" හෆ්ෆටසිලි!!! ඒ ප්‍රශ්න ටික දැක්ක ගමන්ම නම් අපි දෙන්නාව උඩ ගියා.:D හතේ පන්තියේ හිටපු අපි දෙන්නා ලැජජවෙන්  ඇඹරුනා. ;) ඇස් දෙක උඩ ගිහින් නිකන් බයත් හිතුනා."ඔයා කාට හරි ආදරේ කරනවාද? ඒ කෙනාගෙ නම, එයාගෙ හැඩ රුව, ඔයාගෙ ආදරේ එයා දන්නවාද?, නැත්තම් ඒකපාර්ෂවික ආදරයක්ද? ඔයාට හම්බුන මුල්ම තෑග්ග, ඉස්සෙල්ලාම ආදරෙයි කිව්වෙ කවුද?, එයාගෙ කැමතිම ගතුගුණය," ඔය ආදි වශයෙන් ප්‍රශ්න ගොඩාක් අන්තිමට අහලා තිබ්බා. 


අනේ ඉතිං ඒ කාලෙ, 7 පන්තියේ ඉද්දි අපිට මොන ආදර හුටපටද? :D කාටූන්, හපන් පැදුර, කතාන්දර පොත්, සෙල්ලම් ගෙදර, එක්ක ගොඩ නැගිලා තිබ්බ අපේ ලෝකෙ වෙනස් වුනේ, සංකීර්ණ වුනේ ඊට ටික කාලයක් ගියාට පස්සෙයි.ඒ වෙන තුරු,උඹ  බං කියලවත් යාළුවෙක් එක්ක කතා නොකරපු, ඔයා මෙයා හලෝ කියාගත්තු ගමන් හිටපු, මිස් ල නැති වුනාම සින්දු කිය කිය නටපු, ගැහැණු පිරිමි මල් පළතුරු කරපු ,අපි හිටියෙ හෙනම අමුතු ලෝකෙක. (සමහරු හිටියා ,ඊට වෙනස් විදියේ).


ඉතිං මේ පොතේ අන්තිම ප්‍රශ්න ටික කියවලා අපි දෙන්නාට හිනා.පස්සෙ මගේ යාළුවා බය වෙලා වගේ ," ඒ මටනම් බෑ හලෝ මේක ගෙදර ගෙනියන්න. ගෙදර ගෙනිහින් ලියන්න ගියොත් අපේ අම්මා දැකලා මට ඉන්න හම්බෙන්නෙ නෑ.." මලා. එතකොට මටත් මතක් වුනේ ඒකමයි. 


"අපේ අම්මාත් එහෙම තමා. අපි ඕක මෙහෙදි ලියලා දෙමු. අන්තිම ප්‍රශ්න වලට ඉරි ගහමු.."


මගේ ටිකිරි මොලේට පහළ වුනේ එහෙම අදහසක්.


"අහ්හ්.. ඔව් එහෙම කරමු. " 


මගේ යාළුවත් අනුමත කරපු නිසා දෙන්නත් එක්ක එකතු වෙලා මිස්ලා ආවෙ නැති වෙලාවල් වලදි ප්‍රශ්න වලට පාට පාටින් උත්තර ලියලා සම්පුර්ණ කරලා අදාල ළමයාට පොත භාර දුන්නා. :D කොහොමහරි අපේ පළවෙනි TEEN BOOK ලිවිල්ල අවසාන වුනේ එහෙමයි.


ඒත් ඊටපස්සෙ කාලෙත් එක්ක, කාලෙ ගත වෙලා යද්දි හැමදේම වෙනස් වුනා. ඉස්සර ට වඩා අපේ ලෝක ටික ටික වෙනස් වුනා.හින්දි චිත්‍රපටි,  සින්දු, නළු නිළියෝ, ගායකයෝ, Autographs, TEEN BOOKS එක්ක අපි වෙනස් වුනා.ඉස්සරට වඩා සංකීර්න වුනා. ඊටපස්සෙ TEEN BOOKS වල ප්‍රශ්න දැකලා අපි බය වුනේ නෑ.. මොනා හරි කතාවක් ලියලා ප්‍රශ්න ශේප් කරගන්න අපි දක්ෂ වුනා. ;) 


9,10,11 වසර වෙද්දිනම් හැමෝම වගේ TEEN BOOK හදාගෙන හිටියා. ඉස්සර සිංහලෙන් හදපු TEEN BOOK ඒ වෙද්දි English වලින් හදන එක තමා Trend එක වුනේ. :D කොටින්ම කියනවානම් Trend එකට වගේ මාත් හැදුවා එකක්. අපේ සෙට් එකේ ලස්සනම TEEN BOOK එක තිබ්බෙ මට.:D ඕක ඉතිං හැමෝටම දීලා ලියවගෙන, පින්තූර අලවලා හෙනට පරිස්සම් කරලා තමයි තියාගත්තෙ. ( අම්මාගෙ ඇස නොගැටෙන්න තියාගන්නත් වග බලාගත්තා.) :p


ඊටපස්සෙ O/L කාලෙ ළං වෙද්දිනම් ආයෙමත් ඒ TEEN BOOK පිස්සුව නැතිවෙලා ගියා. ඒකට තව හේතුවකුත් තිබ්බා.ඒ තමයි, අපේ ඉස්කෝලෙ නීතියක් ගෙනාවා TEEN BOOK බෑග් වල තිබිලා අහුවුනොත් අල්ලන. ඒවා ඉස්කෝලෙ ගේන එක තහනම් කලා. ඔක්කොමත් හරි, ඕවායෙ ලියලා තියෙන ඒවා කියෙව්වොත් වස ලැජ්ජාවක්නෙ වෙන්නෙ. රටේ නැති පිස්සු කතා ඔක්කොම ලියලානෙ. :D


ඒත් O/L ඉවර වෙලා, A/L වෙනකම්ම Autographs ලියන එකනම් නැවතුනේ නෑ.. ඉස්සරම කවියක් ලියලා, මොනා හරි සිංදු කෑල්ලක් ලියලා  ඉවර කරන ලිවිල්ල. පස්සෙ කාලෙ වෙද්දි දිගම දිග මඩ කතාන්දර ලියන තැනට පත් වුනා.. ඇත්තටම දැන් කියවද්දිනම් ඒ කතා හරිම සුන්දරයි. එක එක්කෙනා ගැන, ඒ ඒ අවුරුදු වල අපි කරපු ජොලි වැඩ, පිස්සු නටපු හැරි, ට්‍රිප් ගිය හැටි ඔය ආදී වශයෙන් සුන්දර මතකයන් එකතු කරලා ලියපු මඩ කතා හුඟාක් පස්සෙ කාලෙදි Autographs වල ලියැවුනා. අදටත් මගේ O/L , A/L කාලෙ ලියැවිච්ච කතා එහෙම සුන්දර කතා තමයි.


ඒත් A/L කාලෙ ලියැවිච්ච සමහර දේවල් කියවද්දිනම් මොකක්දෝ මන්දා මහා කළකිරීමක්, දුකක් වගේ දෙයකුත් දැනෙනවා. ඒත් මොනවා වුනත් ඒ අතීතෙ හරි සුන්දරයි, වගේම අසුන්දර තැනුත් තියෙනවා. එක මොහොතකට , ක්ෂණිකවම හිත අතීතෙට ගෙනියන්න පුළුවන් දෙයක් විදියට ඔය සමරු සටහන් හැදින්වූවාට වැරැද්දක් නෑ මං හිතන්නෙ. ඒ තරමටම අපි කවුරුත් ඔය සමරු සටහන් වලට කැමතියි...එහෙම නේද?ජීවිතේ දැන් නෙවෙයි. තව ඉස්සරහට ගිහිල්ලා , ආපස්සට හැරිලා බලන්න, රසමුසු තැන් විඳගන්න පුළුවන් හොද මාධ්‍යක් විදියට සමරු සටහන් ලිවීම ගන්න පුළුවන්..


මම කියනවට දිග ඇරලා කියවලා බලන්නකෝ පරණ Autograph එකක්.. මොහොතකට ඇඳේවී ලොකුම ලොකු හිනාවක් මූණ පුරාම..:D


අතීතය කවියක්නම්,
එය ලියා තබනු හැකි
හොඳම හොඳ තැනක්
එය නම්,
නුඹේ සමරු පොත.......
මතු  දිනෙක පෙරළා
කියවා බලනු විට
සත්තයි නැගෙයි එකම එක
හසරැල්ලක්
ඔය මුවග පුරාවටම.........


_____________________________________________________________

සමරු සටහන් වගේම, අපි හැම කෙනෙක්ගෙම හිත් තුළ, දස දහස් ගණනින් සිතුවිලි අතුරපු, ආදරණීය මනුස්ස හදවතක් සදහටම නතර වෙලා.බ්ලොග් අවකාශයම ආදරේ කරන, මුළු සයිබරයම වැළඳගත්ත සදාදරණීය හිතවතෙක්, ජීවිත කාලය තුළ සෙනෙහෙබර පියෙක් වූ, දයාබර සැමියෙක් වූ, කාටත් මිතුරෙක් වූ. ගතින් , මෙන්ම සිතිනුත් සැබෑවටම තාරුණ්‍ය හඹා යන්නෙක් වූ ඔහු.... අපේ ආදරණීය ඔබා මාමා, කාගේත් හිතවතා වූ ඔබා අයියා, දහසකුත් දෙනාගේ සිත්දිනාගත් ඔහු "Observer" , සදහටම මෙලොව අතැර යන්න ගොසින් හමාරයි. ඔහු වෙනුවෙන් මගේ පැතුම, ආදරණීය ඔබා මාමේ, ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!!!!!

Post Comment

07 May 2012

ලෝකෙ මවපු විදිය මේක මිස.........



වෙසක් එකට කලින්ම                   
බට කපාගෙන එන්න,
එකින් එක එකතු කරලා
කූඩු හුඟාක් හදන්න,
කාටවත් කරදර නොකර
කූඩු අලවලා එල්ලන්න,
ලයිට් වැල් ගෙනත් 
මම ආස විදියට අමුනන්න,
අපරාදෙ මටත් තිබ්බෙ
කොල්ලෙක් වෙන්න.........
කාටවත් එක්කන් යන්න නොකියා
ආසම පන්සලකට තනියමම යන්න,
චට පටාස් ගාලා ඇහෙන
රතිඤ්ඤා  සද්දෙට දන්සැලකට දුවන්න,
ලැජ්ජාවෙ ඇඹරෙන්නෙ නැතිව
දන්සැල් පෝලිම් වල කල්මරන්න,
කොල්ලො සෙට් එකට එකතුවෙලා
මහ රෑ වෙසක් බලන්න යන්න,
අපරාදෙ මටත් තිබ්බෙ
කොල්ලෙක් වෙන්න.........
කෙල්ලෙක්ට නැති, 
කොල්ලෙක්ට වැඩිපුරත් ඇති
නිදහස...
කොල්ලෙක්ට නැති,
කෙල්ලෙක්ට වැඩිපුරත් ඇති
සීමා මායිම්...
මොනා කරන්නද දැන් ඉතිං,
ලෝකෙ මවපු විදිය මේක මිස.........




ප.ලි- හුඟකාලෙකින් බ්ලොග් එකේ මුකුත් ලිව්වෙ නෑ.මේ වෙසක් දවස් වල අත්දැකීම් නිසාම මට නිකමට වගේ හිතුණු දෙයක් . ;) :D මූණු පොතෙත් මම දැක්කා මීට සමාන අදහස් තිබුණූ ස්ටේටස් එහෙමත් තිබුණා.ඒ ඔක්කොම කාරණා නිසා මෙහෙම ලියන්න හිතුවා.

Post Comment