නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

23 June 2012

මා බාල කාලේ

ලියන්න හිතුනා මගේ බාල කාලේ ගැන. බාල කාලේ කිව්වෙ මගේ ප්‍රාථමික පාසැල් අවධිය , මොන්ටිසෝරි අවධිය ගැන වගේ.. :D හික්ස්ස්.. හිතුවක්කාරී චුට්ටි කාලේ දැන් වගේ හිතුවක්කාර නෑ.. හොදම හොඳ ළමයෙක්!!! ;)
බලන්න ඉතින් මගේ අහිංසක කම ;) :P
මොන්ටිසෝරි කාලේ
මට මතකයි මම මුලින්ම මොන්ටිසෝරි ගිය දවස. අම්මායි තාත්තායි මාව දැම්මෙ ගෙවල් ලඟම තිබ්බ මොන්ටිසෝරියකට. ළඟම කියන්නෙ බස් හෝල්ට් 4යි.:D එදා පළවෙනිම දවසෙ අම්මා මාව මොන්ටිසෝරියට ඇරලලා යන්න හදද්දි මම බිම පෙරළිලා ඇඬුවා. අම්මට යන්න නොදී බදාගෙන ඇඬුවා. ඒත් ටීචර් මාව වඩාගෙන බොරු බොරු කතා කිය කිය මාව නළවගනන් අතරේ අම්මා මාව දාලා ගිහින්..:'(
[ ඒ යන්න ගියාට හැංගිලා බලන් හිටියාලු අම්මා හුඟාක් වෙලා. දාලා යන්න වාවගන්න බැරුව. ]


ඉතිං එදාම තවත් අලුත් බබෙක් මොන්ටිසෝරියට ඇවිල්ලා හිටියා. එයාගෙ අම්මාත් එයාව දාලා යද්දි එයාත් හොදටම අඬන්න ගත්තා. ඉතිං මේක දැකපු මමත් ආයෙමත් අඬන්න ගත්තා.කොහොමහරි දාගෙන ගිය සපත්තු මේස් ගලවගෙන.. හොදටම අඬලා, අවසානේදි අනිත් බබාගෙ මේස් එකක් මම දාගෙන , මේසුත් මාරු කරගෙනයි ගෙදර ඇවිත් තිබ්බෙ.කොහොම හරි මම මුල දවස් ටිකේම අඬ අඬ ගිහින් ඊටපස්සෙ මොන්ටිසෝරි යන්න පුරුදු වුනා.:)


මගේ ආච්චි අම්මාටයි, සීයටයි ඉස්සර ලී බඩු සාප්පුවක් තිබ්බා. ඉතිං ආච්චියි සීයයි සාප්පුවට යන්නෙ ,සීයාගෙ මොරිස් මයිනර් එකෙන්.:D ඒ ගමන්ම මාවත් මොන්ටිසෝරියෙන් බස්සලා තමයි ආච්චියි සීයයි යන්නෙ. මුල්ම කාලෙ අම්ම නැතුව මොන්ටිසෝරි නොගිය මම, පහු වෙද්දි යස අගේට මොන්ටිසෝරි ගියා ආච්චියි, සීයයි එක්ක කාර් එකෙන්ම :P. හවසට එක්කගෙන යන්න අම්මා ආවා.


කොහොමහරි මම මොන්ටිසෝරියේ කැපී පෙනෙන චරිතයක් වුනාලූ..;) කොන්සර්ට් එකක වුනත් ඕනෙම නැටුමකට, සින්දුවකට, නාට්‍යකට ඉන්න මම කිව්ව ගමන් කැමති වෙනවා කියල මොන්ටිසෝරියේ ටීචර් අම්මා එක්ක මගේ හොද කියලා ත් තිබ්බා..;)
[බලන්න ඉතින් මම මොන තරම් හොදද කියල..:P 


මොන්ටිසෝරියේ කොන්සර්ට් එහෙකදි "කොටු වැටිච්ච පුංචි සරම.." සින්දුව කියන ගමන් රඟපාන මම ;) :P
ඒ විතරක් නෙවෙයි, මට මොන්ටිසෝරියෙ පොත් වල පාඩම්, සින්දු, ඔක්කොම හොදටම පාඩම්. ඉතින් ටීචර් ත් මට හරිම ආදරේ වුනා.ඒ නිසාමද කොහෙද මොන්ටිසෝරියෙන් අස් වෙද්දි ටීචර් අපේ අම්මාට කියලා, "මෙයා දක්ෂ ළමයෙක්.මෙයාව කොළඹ ඉස්කෝලෙකට දාන්න " කියලා. ඒත් අපේ තාත්තා කියලා තියෙන්නෙ," කොළඹ යවලා මේ පොඩි කාලෙම මොකට තෙහෙට්ටු කරනවාද පොඩි එකා, ළඟ තියෙන ඉස්කෝලෙකට දාන එක හොදයි" කියලායි. ඒ නිසා මාව අපේ ගෙවල් කිට්ටුව නගරේ තියෙන ඉස්කෝලෙකට තමයි දැම්මෙ.


ප්‍රාථමික පාසැල් කාලේ
මම එක වසරේ ඉඳන් පහ වසර වෙනකම් ගියේ , අපේ ගෙවල් වලට කිට්ටු නගරේ තියෙන ප්‍රාථමික පාසලකට.නගරේ තිබුනූ ප්‍රාථමික පාසැල් වලින් තරමක් හොඳ නමක් දිනාගෙන තිබුණු, ශිෂ්‍යත්ව විභාග ප්‍රථිඵල අනුව ඉහළ ස්ථානයක තිබුණු මේ මගේ ඉස්කෝලේට මම ඇතුළත් වුනේ 1996 අවුරුද්දේ.ඒක මිශ්‍ර ඉස්කෝලයක්. ගැහැණු පිරිමි දෙගොල්ලෝම හිටියා. 


1වසර ගෙවුනු හැටි
1996 දී පළවෙනි වතාවට ඉස්කෝලෙ ගිය මාව වැටුනේ හරිම සිරියාවන්ත, ලස්සන , සීදේවි කරුණාවන්ත ටීචර් කෙනෙක්ගෙ පන්තියටයි. ඉතින් ඒ ටීචර් මාව හරිම ආදරෙන් පන්තියට ගත්තා.මුලදි මම පොඩ්ඩක් අදිමදි කළත්, ඉකෝලෙ යන එක මම බොහොම ආසාවෙන් කලා. මගේ එකවසරේ හොදම යාළුවා වුනේ "දියුනි" කියලා කෙනෙක්.[දැන් නම් එයා කොහෙද දන්නෙ නෑ.]
ඒත් ඔය කාලෙම අපේ මල්ලියා පවුලට එකතු වුනු නිසාම, අම්මාට මා එක්ක හැම මොහොතකම පස්සෙන් ඉන්න බැරි වුනා. ඉතින් මම වෑන් එහෙක ඉස්කෝලෙ යනවා. වෑන් එකේම ගෙදර එනවා. ඒත් අම්මා ගෙදරදි මගේ වැඩ හැම දෙයක්ම හොයලා බැලුවා.


ඉස්සර අපිව ඉස්කෝලෙන් , පෝයට කලින් දවසෙ එහෙම පන්සල් එක්කන් යනවා. ඉස්කෝලේ ඉදන් පන්සලට තියෙන්නෙ පොඩි දුරක්. පයින් යන දුර. ඉතින් අපිව පන්සල් යන්න ලෑස්ති කරවන්නෙ පන්තියෙ ඉන්න ගෑනු ළමයයි, පිරිමි ළමයයි අත් අල්ලගෙන, දෙන්නා දෙන්න පෝලිමට හැදිලායි.:P  ළමා සාරි, නැෂනල් ඇදලා ,පුංචි අපි හරිම ලස්සනයි..:D
ඉතින් ඔය කාලෙම වුනු සුවිශේෂ දෙයක් වුනේ, මම ඉස්කෝලේදි ,හිටපු ගමන්ම "මල්ලීව බලන්න යන්න ඕනෙ.. මල්ලී මතක් වුනා" කියලා අඬන්න පටන්ගන්නවාලූ.මල්ලි ඉපදුනු අලුත නිසා මට හැම වෙලේම මල්ලිව මතක් වුණා. :D ඊටපස්සෙ ටීචර් ශේප් කලාම හරිලු..[දැන් නම් හිනාත් යනවා ] 


ඔහොම තමයි එකවසර ගෙවුනේ...


2 වසර ගෙවුනු හැටි
2 වසර නම් ඒ තරම්ම විශේෂ අවුරුද්දක් වුනේ නෑ..අලුත් ටීචර් කෙනෙක්. අලුත් පන්තියක් වුනාට, මට ඒ තරමටම ඒ පන්තිය අල්ලලා ගියේ නෑ.ඒත් මම ඉස්කෝලේ වැඩ නම් අකුරටම, හරියටම කලා.


ඔය කාලෙ මම වෑන් එකේ දවල්ට ගෙදර එද්දි, අම්මා හුඟාක් වෙලාවට මල්ලිව දොයි කරවනවා. ඉතින් මාව දැක්කොත් මල්ලි දොයියන්නෙ නැති නිසා,මල්ලි දොයියනකම් මම ඇඳ මුල්ලට වෙලා බිම නිදා ගන්නවා..පව් නේද?? :D [ ඒ කාලෙ මම අම්මා නැතිව එළියට යන්නත් බයයිලු. ඒ නිසා ඇඳ මුල්ලෙ තමා ඉඳලා තියෙන්නෙ]


ඔන්න ඔහොම තමා 2 පන්තියේ කාලෙ ගෙවුනෙ.


3වසර ගෙවුනු හැටි
3  පන්තියට නම් මම එච්චරම ආස වුනේ නෑ. පරිසරය පොතේ හුඟාක් ලියන්න තිබුණු නිසාම මට එපා වෙලයි තිබ්බෙ..:D අනිත් එක 3 වසර පන්ති භාර ටීචර් ත් ටිකක් අමුතුයි. හැමදාම අම්මලා ඇවිල්ලා , ටීචර් එක්ක හිතවත් අයට තමයි වැඩි සැලකිලි. මතකනෙ හිතුවක්කරීට දුන්නු දඬුවම ත්?
අපේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක , නායිකාවො පත් කරන්න පටන් ගත්තෙත් 3 වසරේ ඉඳන් තමයි. ශිෂ්‍ය නායක, නායිකාවන්ට තරු ගහපු බැජ් එකක් පලඳවලා, උත්සවයක් තියලා, සහතිකයක් එහෙම දීලා තමයි වැඩ භාර දුන්නෙ. ලොකු අයියාල අක්කාලා එහෙම ඉන්නවා දැක්කාම, ඒ කාලෙ මගෙත් හීනයක් තිබ්බා ශිෂ්‍ය නායිකාවක් වෙන්න.ඒත් අපේ ටීචර් බැජ් දුන්නෙ ගොට්ට අල්ලපු අම්මලාගෙ ළමයින්ට :D අයියෝ සල්ලි!!


ඔය කාලෙම හවසට ඉස්කෝලෙම ශිෂ්‍යත්ව පන්තිත් පටන් ගත්තානෙ.. පුදුම ආසාවෙන් තමා ඒ පන්තියටනම් හිටියෙ. මොකද අපිට හවස පන්ති කලේ අපේ පන්ති භාර ටීචර් නෙවෙයි වෙන ටීචර් කෙනෙක්. ඒ ටීචර් හරිම කරුණාවන්ත කෙනෙක්.:D


4 වසර ගෙවුනු හැටි
4 වසරනම් මගේ ප්‍රාථමික ඉස්කෝල අවධිය ටිකක් වෙනස් කරපු කාලයක්.:D අපිට හිටිය ටීචර් තරුණ වගේම , කරුණාවන්ත ටීචර් කෙනෙක්. ඒ ටීචර් තමා 4 ශ්‍රේණි ප්‍රධාන ටීචර් වුනේ. ඉතින් ශිෂ්‍යත්වෙට එක අවුරුද්දක් තිබුණු නිසා, ඔය කාලෙ හරි උනන්දුවෙන් ප්‍රශ්න පත්‍ර , ඉගනගන්න වැඩ එහෙම කරපු කාලයක්..:D යාලුවොත් හුඟාක් හිටියා. ඉස්කෝලෙ වටේම දුව දුව සෙල්ලම් කරපු ඒ කාලෙ නම් හරිම ශෝක්..:D


මොන හේතුවක් නිසාද මංදා, ඒ ටීචර් මාව පන්ති නායිකාව කළා. ඒ විතරක් නෙවෙයි මුළු 4 වසරේම නාම ලේඛන ටික ඔෆිස් එකෙන් උදේම අරගෙන, පන්ති වලට බෙදන රාජකාරියත් මට පැවරුවා. [ ඒ කාලේ හැටියට ඒ වගකීම මට නම් ඉහටත් උඩින්. පුදුම ආසවෙන් කලේ.. :D]


ඊටත් පස්සෙ මගේ ඒ ඉස්කෝලෙ ජිවිතේ තවත් වෙනස් දෙයක් වුණා. අපේ ඉස්කෝලෙ ඉස්සර හැමදාම දවල් 12ට ප්‍රවෘත්ති කියනවා. 1 ඉදන් 5 වසර වෙනකම් උගන්වන ටීචර්ලාට ,ළමයින්ට කියලා ප්‍රවෘත්ති ලියවගෙන ,ඒවා එකතු කරලා පුංචි ප්‍රවෘති විකාශයක් ඉදිරිපත් කරන වගකීම බෙදලා දීලා තිබ්බා, කාල සටහනකට අනුව.ඉතිං ඉස්කෝලෙ ඇතුළේ පුරුද්දක් විදියට ඕක හැමදාම කෙරුනා. ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙන් ප්‍රවෘත්ති විකාශය වුණා ..ප්‍රවෘත්ති ඉවර වුනාම ටීචර්ලා ළමයින්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඔහොම තමා සිද්ධ වුනේ.ඒක මේ ලමයින්ගෙ ඇහුම්කන් දීම වර්ධනය කරන්න වගේ කරපු දෙයක්.


දවසක් අපේ ටීචර් ගෙ ප්‍රවෘත්ති භාරව තිබුණු  දවසේ, ටීචර් මාව ලඟට ගෙන්නලා ඇහුවා, "ඔයාට පුලුවන්ද ප්‍රවෘත්ති කියන්න?" කියලා. මමත් පැනපු ගමන් හා කිව්වා. ඉතින් ටීචර් මට පෙරහුරුවක් තියලා එහෙම, ප්‍රවෘත්ති කියන ඔෆිස් එකට එක්කගෙන ගියා. පළවෙනි වතාවට මම 4 වසරේදි ප්‍රවෘත්ති කිව්වා, ඉස්කෝලෙටම ඇහෙන්න මයික් එකෙන්. [ ඒ කාලෙ ඒක මහා ලොකු සතුටක් වුනා.:D ලොකුකමකට නෙවෙයි. ඒක හරිම අහිංසක සතුටක්]


ඊටපස්සෙ දිගින් දිගටම, එක එක ටීචර් ලාගෙ ප්‍රවෘත්ති කියන දවසට, ප්‍රවෘත්ති කියන්න මාව ගත්තා. ඉස්කෝලෙ "ප්‍රවෘත්ති කියන ළමයා" විදියට මට නමකුත් හැදුනා.:D


ඔන්න ඔහොමයි මම ආසම කරපු 4 වසර ගෙවුනේ.:D ඒත් මගේ හීනෙනම් සැබෑ වුනේ නෑ ඒ අවුරුද්දෙදිවත්. :(


5 වසර ගෙවුනු හැටි
අපිට 5 වසරට වැටුණෙත් අලුත් පන්තියක අලුත් ටීචර් කෙනෙක් ළඟට. ඒත් පරණ ළමයි එක්කම වැටුණු නිසා, යාලුවො ඔක්කොම හිටියා.ඒ පන්තියේ ටීචර් මට කතා කලේ මගේ දෙවෙනි නමින්. මේ ටීචර්ත් මුල ඉදන්ම එක එක පුංචි පුංචි වගකීම් මට පැවරුවා. මම බලෙන් ගත්තෙ නැති වුනත් ටීචර් පවරපු වැඩ මම අකුරටම කළා. 


ඒ අවුරුද්දෙත් පන්ති නායිකාව විදියට මාව පත් කළා. ඒත් ඉතින් ගුටි කාපු වාරත් අනන්තයි. ගැටළු ගනන් හදන්න පරක්කු වුනාම, වැරැද්දුවාම ටීචර් අපිට වේවැලෙන් ඇති පදමට ගැහුවා. එක වැරැද්දකට පාරවල් දෙක ගානෙ..:( ඔය අතරේ මගේ ප්‍රවෘත්ති කියන වැඩේත් දිගටම සිද්ධ වුනා. ඊට අමතරව ඉංග්‍රීසි දින වලට  , රැස්වීමට කතා කවි කියන්නත් ඉදිරිපත් වුණා.


5 වසරේදි අපිට හවසට ශිෂ්‍යත්ව පන්ති තිබුණූ නිසා, අපි එදාට තමා සෙල්ලම් කරන්නෙ. :D ඉක්මණීන්ම කෑම කාලා පන්ති පටන්ගන්නකම් අපි "ලොක් ඇන්ඩ් කී " කරනවා. ගෑනූ ළමයි ,පිරිමි ලමයි දෙගොල්ලොම එකතු වෙලා ඉස්කෝලෙ වටේම දුව දුව සෙල්ලම් කරනවා. හරිම විනෝදයි. ටින් කඩන්න, හැංගි මුත්තම් කරන්න,ඔන්චිලි පදින්න, ලිස්සන බෝට්ටුව පදින්න ,ඒ කාලෙ හරිම ආසයි. ඕවා කරන්න ගිහින් අනන්තවත් වැටිලා, දණිස් ලෙලි ඇරගෙනත් තියෙනවා.තව කළු අවතාරේ, ගැහැණු පිරිමි මල් පළතුරු වගේ සෙල්ලමුත් කළා.


ඔන්න ඒ අවුරුද්දෙ ,ඒ කියන්නෙ 2000 අවුරුද්දෙදි මගේ හීනෙ හැබෑ වුණා. 5 වසරේ ටීචර් මාව ශිෂ්‍ය නායිකාවක් කරන්න නම් භාර දුන්නා. එදානම් මට පුදුම සතුටුයි..:D තරු දෙකක බැජ් එකක් එක්ක ස්ටේජ් එකට නැගලා සහතිකේ ගන්න මම පුදුම ආසවෙන් හිටියේ.ඉතින් ඒ හීනෙ හැබෑ වුණා. මම ශිෂ්‍ය නායිකාවකුත් වුණා.


ශිෂ්‍යත්ව විභාගෙට තිබ්බෙ හරිම පොඩි කාලයක්. ඉස්කෝලෙ තිබුණු පන්තියට අමතරව තව එක පන්තියකට ගිය මට හැමදාම ප්‍රශ්න පත්‍ර වලට තිබ්බෙ ලකුණු 80 ගනනක් නැත්තම් 70 ගණනක්. කොළඹ හොද ඉස්කෝලෙකට යන්න , ශිෂ්‍යත්වෙ පාස් වෙන්න තිබුණු ආසාවත් එක්ක මම වැඩ කරගෙන ගියා. ඒත් හුඟාක් මහන්සිවුනේ, මැරුණෙ නම් නෑ.[ දැන් කාලෙනම් අපිට වඩා ලොකු තරඟයක්නෙ මේ විභාගෙට තියෙන්නෙ]


කොහොමහරි 5 වසරේදි අපි ට්‍රිප් ගියා, විවාද තිබ්බා, එක එක තරඟ තිබ්බා, අමතර වැඩ එක්ක ශිෂ්‍යත්වෙත් කළා. අවසානෙදි ශිෂ්‍යත්ව ප්‍රථිඵල ආව දවසෙ මට මතකයි අම්මා එක්ක ගිහින් ප්‍රථිඵල බැලුවාම මට තිබුණා ලකුණු 165ක්. :D ඒ සැරේ පාස් මාක් එක වුනේ 144. ඉතින් ඒ ලකුණු මට්ටම අනුව, මට කොළඹ ඉස්කෝලෙකට යන්න සෑහෙන ලකුණු තිබුණු නිසා මම හිටියෙ හරිම සතුටින්. 


ඒ වගේම මම 2001 අවුරුද්දෙදි කොළඹ බාලිකා පාසැලකටත් ඇතුළත් වුනා. ඉතින් මගේ බලාපොරොත්තු මම ඒ පුංචි කාලෙදි ඉටු කරගත්තා හෝ වාසනාවකට ඒවා ඉටු වුණා.


අවසාන වශයෙන් මගේ ප්‍රාථමික පාසැල් ජීවිතේ මම බලාපොරොත්තු වුනු හැම දෙයක්ම වගේ සහ මම හිතපු නැති දේවලුත් මට ලැබුණා. දැනට වඩා මම ඒ කාලෙ ආත්ම ශක්තියෙන් සහ විශ්වාසයෙන් හිටියා කියන එකනම් මට අද වෙද්දි හොදටම දැනෙන දෙයක්.


මොකද අද වෙද්දි, මේ වර්ථමානෙදි මට නොලැබුනු සමහර දේවල් සහ, මට ළඟා වෙන්න බැරි වුනු දේවල් ගැන හිතලා බලද්දි මට දැනෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි, මගේ ඉස්සර කාලෙ නොතිබුණු මා ගැන තියෙන අවතක්සේරු ස්වභාවයයි. ඒ විතරක් නෙවෙයි ආත්ම විශ්වාසය මද කම වගේම ආත්ම ශක්තිය හීන වීම ත් අද වෙද්දි මගේ ජීවිතේ සමහර දුර්වලකම් කියලා මම හිතනවා.අනිත් එක පුංචි කාලෙ තරම් දැන් අපේ ජීවිත සැහැල්ලු නෑ වගේ ..


ඉතින් ඉස්සර කාලෙ, පුංචි කාලෙ, බාල කාලේ මතක් වෙද්දි මට දැනෙන්නෙ පුදුම සතුටක්. මොකද මගේ ජිව්ත කාලේ ඇතුළත මම බොහොම සතුටින් වගේම , ඉදිරියෙන් හිටිය කාලයක් නිසා.


ඒ වගේම තමා,ඒ බාල කාලෙන් ඉගනගන්න , අදටත් මට හුඟාක් දේවල් තියෙනවා කියලා විතරක් පැහැදිලියි......


ඔන්න ඔහොමයි "මා බාල කාලේ..." ඉවර වෙන්නෙ.... :D


ජය වේවා!!!


ප.ලි- ලියනවානම් ලියන්න විස්තර එමටයි.. එහෙම වුනොත් මේක මාගලක් වෙන නිසා, මෙතනින් නැවැත්තුවා..

Post Comment

14 June 2012

~ ආයෙමත් ආදරෙන් ~



"හෙලෝ..."

"හෙලෝ..."

ආත්ම ගානක ඉඳන්  පුරුදුයි කියලා දැනෙන කට හඬ. ජීවිතේ පලවෙනි වතාවට මුලින්ම ඇහුණු සුන්දරම පිරිමි කටහඬ. හදවතේ හැම ලේ නහරෙකටම දැනෙන ගැඹුරු හඬ. 

"දෙයියනේ.... එයා....මේ... එයා නේද?"

ආයෙමත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන කල්පනා කලේ නම්බර් එක ගැන. 

"ම්ම්ම්..නම්බර් එකනම් වෙනස්. කලින් එක නෙවෙයි.ඒත් country code එක අනුවනම් මේ එයාම වෙන්න ඕනෙ. වෙන කවුද ඉතිං..."

මම අවාසන නිගමනයට ආවා. ඔව්.. සෑහෙන කාලෙකට පස්සෙ ඇහුනත්, අඳුරගන්න පුළුවන් ඒ කටහඬ ගැන, මම අවසාන නිගමනයට ආවා.

"හෙලෝ..හෙලෝ... හෙලෝ.....ඕඕඕඕඕඕ..."

මම පරීක්ෂණ , නිරීක්ෂණ , නිගමන කරන අතරතුර..  එහා පැත්තෙන් අරයා බෙරිහන් දෙනවා...

"ආ.. හෙලෝ... හෙලෝ.."

"මොනාද ගෙම්බියෙ කතා නොකර කරන්නෙ..කන් බීරිද? නැත්තම් ගොළුද?"

"හෑ... අහන හැටි විතරක් මෙයා..."

"මෙලෝ ගාණක් නැතුව.. කිසිම දෙයක් අපි අතරෙ වෙලා නෑ වගේ.. මගේ බුදු ෆිට් යාළුවෙක් වගේ.. නිකන් බොක්කෙන්ම කතා කරන්න එන්නෙ...හිතන් ඉන්නෙ මම මැරිලා ඉපදිලා කියලාද දන්නෙ නෑ.."

මොහොතකට මට ආවෙ තරහක්. අතීතය එක ක්ෂ්ණීකයෙන් විදුලියක් වගේ හිත පුරා ඇඳිලා ගියා. අහස ඉරි තලාගෙන ඇඳිලා යන අකුණක් වගේ, මගේ හිත පුරාවට ඇදූනු අතීත මතකය හිත රිදෙව්වා. මට ආයෙමත් වතාවක් මම ගැනම දුක හිතුණා.කියාගන්න බැරි ආත්මානුකම්පාවකින් හිත පිරුණා.

ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වුනත්, මම ඒ පරතරය හැමදාම රැකගත්තා..මහ ගොඩාක් ආදරේ කරපු හිතින් වෛරයක් ගැන හිතාගන්නවත් බැරි නිසා ,හැමදේම වෙනස් වුනාටත් පස්සෙත් මම ආදරේම කළා. අවසානෙදි හති වැටිලා වැටිලා මොහොතකට නැවතුණා. මෙච්චර කාලයක් දිව්වෙ මිරිඟුවක් පස්සෙ කියලා තේරුම්ගත්තාට පස්සෙ, මට වැරදුණා කියලා තේරුම්ගත්තාට පස්සෙ, මම හිත හදාගත්තා.අන්තිමේදි  ජීවිතේට මූණ දෙන්න ධෛර්‍ය ගත්තා. එහෙම හදාගත්තු හිත ආයෙමත් දෙදරවලා ගියපු මේ කෝල් එක ගැන මට ඇතිවුනේ නොරිස්සුමක්.

අමාරුවෙන් හරි සැලෙන කටහඬ දැඩි කරගත්තා. කෙල ටිකක් ගිලලා, හුස්මක් අරගෙන මම වෙර ගත්තා.

"නෑ.. මම ගොළුත් නෑ..බීරිත් නෑ.. මම අන්ධ වෙලා හිටියෙ..ඒත් දැන් තමා තේරෙන්නෙ අපරාදෙක තරම..ම්ම්ම්ම්...ඔයා කවුද?"

මගේ නපුරුකමටද, තරහවටද, දුකටද මංදා.. මට කටින් පිටවුනේ මමවත් නොහිතපු වචන ටිකක්.එක මොහොතකට හිතුණා මම වචන වලින් පළිගත්තාවත්ද කියලා..

ආයෙත් ඒ ක්ෂණිකයෙන් මට හිතුණේ , මම මටම රිදවගත්තාද මංදා කියලා.මොකද ආදරේ කරන, ආදරේ කරපු කෙනෙක්ට රිදවන එක තරම්, තමන්ට රිදවගන්න තවත් ලේසි ක්‍රමයක් නැති තරම් නිසා.

"ම්ම්.. මාව අඳුරන්න බැරිද ඇයි?"

ජවය අහිමි වුනු කටහඬින් කතා කරපු එයා නිසා, මම ගල් කරගෙන ඉන්න හිත ඉටිපන්දමක් වෙන්න එනවා වගේ දැනුණා.ඒත් මම , අතීතයේ රළු මතකයන්, දුක්ඛිත දෙබස් මතක් කරගෙන තව තවත්  හිත හයිය කරගත්තා.

"බෑ.. අඳුරන්න බෑනෙ.. "

"කාලය ඒ තරමටම ඔයාව වෙනස් කරලාද?"

"කාලය මාව වෙනස් කලේ හුඟාක් පහුවෙලා.. ඒත් සමහරුන්ව  මොහොතින් මොහොත වෙනස් කරන්නෙ..."

"හ්ම්ම්... මගේ කටහඬවත් මතක නෑ...මම කවීන්..මතකද මාව? නමත් මතක නෑ කියන්නෙපා..මට ඔයාව මතක් වුනා. ඉතිං නිකන් කතා කලේ.."

වටපිටාවෙ තියෙන දේවල් දිළිසුණා. බොඳ වුණා. නෑ.. ඇත්තටම වටපිටාවෙ වෙනසක් නෑ.. මගේ ඇස් වල කඳුළු පිරිලා..  හයිය කරගත්ත හිතට තවත් වාරුවක් තිබ්බෙ නෑ.. ඉටිපන්දමක් වගේ වැක්කෙරිලා දියාරු වෙලාම ගියා..

"හ්ම්ම්ම්....."

කෑලි කෑලි කැඩිලා , බිඳිලා කුඩු වෙලා ගිය හිත අමාරුවෙන් එකළාසියක් කරගෙන මම කතා කළා.

"මොකද හ්ම්ම්ම් ගාන්නෙ.. බස්සෙක්ද?"

"නෑ.. බස්සියක්.."

"හා.. ශෝක්!!! කොහොමද ඉතිං?  මොනාද කරන්නෙ මේ දව්ස් වල?"

"හුඟාක් හොඳින් ඉන්නවා.."

මම හිතාමතාම "හුඟාක් හොඳින් " කියන වචනෙ බර කරලා කිව්වා.

"ඔයාට කොහොමද ඉතින්.."

"වරදක් නෑ.. ඔහේ ඉන්නවා ඉතිං.. "

දිග හුස්මක් පල්ලෙහාට හෙලන ගමන් එයා කියපු හැටි මට කුතුහලයක් ගෙනාවා. එදා ඉඳන්ම ඒ හිතේ හැංගිච්ච හැම හැඟීමකම රහස ඉවෙන් වගේ මට දැනුණාත්, අවසානෙදි මට වැරදුණු නිසාම, මම ඒ වචන ඇතුළෙ තියෙන්නෙ හොදක්ද නරකක්ද කියලා මනින්න ගියේ නෑ..

"කොහොමද ඔයාගෙ studies එහෙම?"

"ම්ම් වරදක් නෑ කවීන්.. හොදින් කරගෙන යනවා..ඔයාගෙ වැඩ කොහොමද?"

"කරන් යනවා ඉතිං.."

"මොකද නිකන් එපා වෙලා වගේ?"

මම හිතාමතාම නෝන්ඩි හිනාවක් දාලා කවීන්ගෙන් එහෙම ඇහුවා..

"මට හැමදේම එපා වෙලා ශානි.."

ආයෙමත් මගේ හිත ගැස්සුනා.. 

"දෙයියනේ මේ කෝල් එකක් නිසා දැන් කීසැරයක් මම පිච්චුණාද?"

"ඒ මොකෝ කවීන්.. මොකද එපා වෙලා?"

"නෑ..මට හිතෙනවා මට කොතන හරි වැරදුනා කියලා.."

"හ්ම්ම්....."

"මට මගේ හිත පාලනය කරගන්න බැරි වුනා. එදා ඉදන් මම හිත කියන කියන විදියට නැටුවා.. අන්තිමේදි මම ඔයාවත් නැති කරගත්තා..."

හිතුවක්කාර මගේ හිත ආයෙමත් උණු වෙලා වැක්කෙරෙන්න ගත්තා. හැඟීම් වලට වහල් වෙච්ච මට අතීතෙ අමතක වුනා. එකසැරයක් , නෙවෙයි කීපසැරයක්ම මාව අසරණ කරපු කෙනෙක් නේද මේ කතා කරන්නෙ, මහ පොළොවෙ හැපි හැපී මම මැරෙන්න  යද්දිත් මට පිටුපාලා ගිය කෙනෙක් එක්ක නේද මේ කතා කරන්නෙ කියලා මට අමතක වුනා.

"මට දැනෙන්නෙ අද මම මහ කාලකණ්ණි මිනිහෙක් විදියට ශානි. මම ජීවිත ගොඩාක් අවුල් කලා. මට එක අරමුණක්, එක හිතක් තිබ්බෙ නෑ.. මම ඔයාගෙ අරමුණු, බලාපොරොත්තු, හීන හැමදේමත් වෙනස් කළා. මම හැම දෙයක්ම අවුල් කලා."

"වෙන්න තිබ්බ දේවල් වුනා. ඒ දේවල් දැන් ඉවරයිනෙ.මම හැමදේම අමතක කරලා ඉන්නෙ.. හිත හදාගෙන ඉන්නෙ. මම අලුතෙන් හැම දෙයක්ම පටන් ගත්තා.."

"හ්ම්ම්.. ඒත් මට මගේ හෘද සාක්ෂියෙන් සමාවක් නෑ ශානි..  මට හැම මොහොතකම අතීතෙ මතක් වෙද්දි දැනෙන්නෙ මහා කලකිරීමක්. මම ගැනම තරහක්..වෛරයක්.."

"පිස්සු ඔයාට.. ඔයිට වඩා වැරදි මිනිස්සු කරන්නෙ.. ඒක වැරැද්දකුත් නෙවෙයි වෙන්නැති එක අතකින්.. ඒක ඔයාගෙ අයිතියක්නෙ.."

"ම්ම්.. ඇත්ත වෙන්නැති.. ඒත් මම ඒ අයිතිය පාවිච්චි කල විදිය වැරදියි..මම ඒක දන්නවා.. මෙහෙම හරි ඔයා මාත් එක්ක කතා කරන එක මට හිතට නිදහසක්.. ඔයා මට වෛර නොකරන එකම ලොකු දෙයක් ශානි."

"හ්ම්ම්.. මම වෛර කරන්නෙ නෑ.. මට එහෙම කරන්න බෑ..ඔයා ඒක දන්නවා.."

"අද වෙද්දි හැම කෙනෙක්ම මගෙන් ඈත්වෙලා යන්න ගිහින්.. අන්තිමේදි ඔයා විතරයි මට සැනසෙන්න එක වචනයක් කියන්න හරි ඉතුරු වුනේ.."

"ඇයි.. එතකොට......."

මම අහන්න ගිය ප්‍රශ්නෙ අතරමැද හිර වුනා. ඔයාගෙ ගර්ල්  ෆ්‍රෙන්ඩ් ට මොකද වුනේ කියලා අහන්න ඕනෙ වුනත් මට හයියක් නැති වුනා...

"ම්ම්..  ඒවා වැඩක් නෑ..හැමදේම බොරුවක් ශානි.. බොරුවයි ඇත්තයි අතරේ මම අතරමං වුනා."

"ම්ම්... මගෙන් ඔයාට වෙන්න ඕනෙ දෙයක් තියෙනවානම් කියන්න . පුළුවන් උදව්වක්නම් මම කරන්නම්.."

එදා ඉදන්ම පොඩි හුලඟටත් ගහගෙන යන මගෙ හිත, පොඩි වැස්සටත් යට වෙන මගේ හිත, පොඩිම පොඩි සද්දෙකටත් ගැස්සෙන හිත , හැමෝම කියන විදියට හිතුවක්කාර මගේ හිත, කවීන් ගේ වචන වලට නැවුනා..පුංචි දේටත් උණු වෙන හිතක් මනුස්සයෙක්ට මොන තරම් වදයක්ද කියලාත් වෙලාවකට හිතුණා.

"ම්ම්...  ඔයාට පුළුවන්ද ශානි මට ඉස්සර වගේම මහ ගොඩාක් ආදරේ කරන්න.?"

"දෙයියනේ....... කවීන්........ආයෙමත් ... ආයෙමත් ඔයාට ආදරේ කරන්න??? "

------------------------------------------------------------------------------

"බබා.... බබා..නැගිටින්න... වෙලාව 5.30යි..  අද යන්නෙ නැද්ද??"

අම්මා උදේ පාන්දර ඇහැරෙව්වෙ නැත්තම්........ 

වෙලාවට ඒක හීනයක් වුනේ.. නැත්තම් මටත්  සිද්ධ වෙන්නෙ, අතීතෙට පණ ගන්න පුළුවන් ඔක්සිජන් මැෂිමක් හොය හොය දුක් විද විඳ ඇවිදින්න..


එකමත් එක මූසල සැඳෑවක
නුඹේ සීතල නිසල දේහය
වසා කැටයම් පෙට්ටියකින්
මතක වස්ත්‍ර පූජා කර  , 
පැන් වඩා මිහිදන් කල,
අතීතය සිහිනයකි...........!!!!



                                       නිමි.


ප.ලි- අතිශයින්ම සිතුවිල්ලක් පමණි!!!!!

Post Comment

09 June 2012

හිතුවක්කාරකම් 100 ට , අවුරුද්දයි!!!!

අද හරිම ලස්සන දවසක්.. එදා ට වඩා හුඟාක්ම ලස්සන දවසක්. එදා කියන්නෙ කවද්ද දන්නවාද? 2011-06-09 වෙනිදා. හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක්. ඒත් එදා ඒ දවසට වඩා, මේ අද දවස හරිම ලස්සනයි. ඇයි මම එහෙම කියන්නෙ කියලා දන්නවාද? නැහැනෙ? එහෙනම් අහගන්නකෝ..

ඔන්න අදට හරියටම අවුරුද්දකට කලින්, අද වගේ දවසක තමා හිතුවක්කාරී ගෙ මේ බ්ලොග් එක හැදුනෙ. :D ඒත් හැබැයි බ්ලොග් එකේ නම වුනේ "෴කතා කරන කදූළු෴" . 'දුක තුළම නුඹව දකිමී 'කියන හැදින්වීමත් එක්ක පටන් ගත්තු මේ බ්ලොග් කලාවට අඩිතාලම වැටුණෙ නම් මූණූ පොත තමයි.


මූණූ පොතේ "හිතුවක්කාර කෙල්ල" වුනු මම නානාවිධ විකාර ,පිස්සු කතා ලිය ලිය ඔහේ කාලෙ ගෙව්වා.ඒවාට ප්‍රතිචාරත් ලැබුණා. ඔය අතරේ තමා බ්ලොග් කියලා දෙයක් තියෙනවා කියලා දැනගත්තෙ.එක එක්කෙනා බ්ලොග් ලියනවාද කියලා අහද්දි, ඒ ගැන හොයලා බලලා,කියවලා, ආස හිතිලා , අන්තිමේදිම මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියලා. ඒත් මම මේ බ්ලොග් කලාව ගැන කිසිම දෙයක් දැනගෙන උන්නෙ නම් නෑ.. අන්තිමේදි ඉතිං කොහොමෙන් කොහොමෙන් හරි ,තනියමම එහෙට මෙහෙට කැරකිලා,දේවල් ඉගනගෙන,ඊටපස්සෙ බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා. 



දුක විතරක් හිත පුරා ඇතිරිලා තිබුණු නිසාමද මන්දා, මට දුක කියන දැනෙන්න ලියාගන්න පුළුවන් වුනා කියලා මම හිතනවා..  කොහොම කොහොමහරි, දුක හිතෙන නමක් දාගෙන, දුක ගැනම ලියන්න ගත්ත මගේ බ්ලොග් එකට අහම්බෙන් හරි ආපු මධුරංග අයියා නිසා, අද වෙද්දි මම මේ තරම්වත් දුරක් ආවා. ඒ වගේම කතා කරන කඳුළු නමින් ලියපු මගේ බ්ලොග් එකේ දුක්බර නමින් මිදෙන්න කියලා මට යෝජනා කරපු පිස්සු පූසා අයියා නිසා, මම මගේ බ්ලොග් එකේ නම, හිතුවක්කාරිගේ හිත කළා. බ්ලොග් ලිවීමෙ කාලය තුළ වැදගත් අවස්ථා දෙකක් තමයි ඒ.


එදා පටන්ගත්තු දා ඉදන්, සහ මුල් කාලෙ ඉදන්ම, මේ හිතුවක්කාරිගේ හිත කියවන්න ආපු පිරිසක් ඉන්නවා.. මේ අද වෙනකම්ම ඒ අය මාත් එක්ක ඉන්නවා..  නම් වශයෙන් කියන්න බැරි වුනත්, ඒ හැමෝටම හුඟාක් ස්තූතියි!!  හුඟාක් ම ගෞවරවයෙන් මතක් කරනවා ඒ හැමෝමවම..


මේක මහ ලොකු ගමනක් නෙවෙයි. ඒත් අවුරුද්දක් තිස්සෙ ලියපු මේ බ්ලොග් එක නිසා, ජීවිතේට මම හම්බ කරගත්තු වටිනා කියන දේවල් හුඟාක් තියෙනවා.  පලවෙනිම දේ , මේ බ්ලොග් ලිවිල්ල නිසා මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. මම මේ ලියන්නෙත් ඒ නිසාමයි. මම සතුට හම්බ කලා මේ බ්ලොග් එකෙන්. ඒ වගේම හරිම වටින,  සුන්දර මනුස්සකම් ගොඩාරියක් හම්බකරගත්තා. මේ බ්ලොග් එක නිසා හරිම වටින බැදීම් ගොඩාක් ඇති වුණා.  බොහොම සමීප සහෝදරයෝ, සහෝදරියෝ මුණ ගැහුනා. හුඟාක් හොද යාළුවො ගොඩාක් මුණ ගැහුනා .මේ බ්ලොග් එක නිසා ලැබුණු ඒ ටික මටනම් ඉහටත් උඩින්...:D.(හැමෝගෙම නම් මතක් කරන්න ගිහින් එකක් හරි මිස් වුනොත් ලෝක ප්‍රශ්නයක් වෙන්නෙ. ඒ නිසා නම් ලිව්වෙ නැතෝ..) 


අද වෙද්දි මම බලාපොරොත්තු නොවුනු තැනක මම ඉන්නවා. මහා ලොකු හීන, බලාපොරොත්තු, හිට්ස් ලක්ෂ ගනන්, ජනප්‍රියත්වය පස්සෙ මම එලවන්නෙ නෑ.. එලෙව්වෙත් නෑ.. මේ ලද දෙයින් මට සතුටුයි!! මම ලියන එක අකුරක් ගානෙ කියවන්න, ගොඩක් කට්ටිය එකතුවෙලා ඉන්න  එක මට මහා ලොකු සතුටක්!!!සමහර වෙලාවට ආපහු හැරිලා බලද්දි පුංචි, අහිංසක ආඩම්බරයකුත් දැනෙනවා. මම ලියපු නවකතාව එක්ක, ඒ ලැබුණු ප්‍රතිචාර එක්ක සහ මූණු පොත ඇතුළේ ලැබෙන  ප්‍රසංශා, පැසසුම් නිසා ඒ සතුට තවත් වැඩිවෙනවා.ඒ වගේම කවදාවත් නොදන්න, දැකලා නැති, අඳුරන්නෙවත් නැති අයගෙන් ලැබෙන ඒ ආදරේ, ඒ වචන, ප්‍රතිචාර මට හුඟාක් වටිනවා.ඉතිං මම ලද දෙයින් සතුටුයි... කවදාහරි මට මේ ලිවිල්ල ඇතිවෙනකම්ම, මම ලියනවා...දවසක හිතුනොත්  දැන් ඇති කියලා, එදාට බොහොම සතුටින් නවත්තනවා..:)


 ඉතිං මේ බ්ලොග් අවකාශෙ ඇතුළෙ ඇබිත්තන් චරිතයක් වන මට, උදව් උපකාර කරපු, මාව දිරිමත් කරපු, වචනෙකින් හරි උදව් කරපු හැමෝටම හුඟාක් පින්... ඒ වගේම අඩුපාඩු , වැරදි, පෙන්නලා දීපූ අයටත් හුඟාක්ම ස්තූතියි.. ඒ හැම කෙනෙක්ම නිසා, අද මේ හිතුවක්කාරිට හුස්ම වැටෙනවා...


අවසානම වශයෙන් මට කියන්න තියෙන්නෙ, මම ලියන දේවල් කියවන්න ඇවිත්, මෙච්චර කාලෙකට හොද හෝ නරක කියපු ඔයාල හැමෝටම ස්තූතියි!!!! මගේ හිතේ සතුට වෙනුවෙන් ලියන මේ බ්ලොග් එකට ආව ගිය ඔයාලා හැමෝටම ආයෙමත් වතාවක් ස්තූතියි!!!


ජය වේවා!!!




ඔන්න එහෙනම් මං ගානෙ කට්ටියට පාටියක්.. කේක් කෑල්ලක් කාලම යන්නකෝ....:D


චොක්ලට් කැමති අයට චොක්ලට්...;)


ඔන්න කේක් කන්න ගිහින් රණ්ඩු වෙනවා එහෙම නෙවෙයි කට්ටිය...:D

Post Comment

04 June 2012

සදාදරණීය නුඹට , ආදරෙන් ලියමි...!!!


ආදරණිය නුඹට,

ජීවිතේ හුඟාක් දිග නෑ. හරිම කොටයි. ඒක ඇත්ත. මට එහෙම දැනෙන්නෙ නිකන් නෙවෙයි..හොදට ඇස් ඇරලා බලන්න.. ඉස්සර අපි එක්ක හිටපු අය අද ඉන්නෙ කොහෙද කියලා? එයාලා අපෙන් හුඟාක් ඈතට ගිහින්. අපිවත් දන්නෙ නෑ කාලෙ ගතවෙලා යන ඉක්මණ ගැන.මේ පුංචි ජීවිත කාලෙදි ,අතරමැදදි අහම්බෙන් මට හම්බුනේ ඔයාව..... ඔව් ඔයාව....

ඔයා මගේ ජීවිතේට ආපු දා ඉඳන් මේ ජීවිතේ හරි පුදුම විදියට වෙනස් වුනා. ඇත්තමයි. හිතාගන්න බැරිතරම් පුදුම සැහැල්ලුවක්, නිදහසක් වගේම සතුටකුත් නොතිබ්බා නෙවෙයි. මම ඔයා නිසා, ඉස්සරටත් වඩා ජීවිතේ ගැන ඉගනගත්තා.මම ජීවිතේ වින්දා.සමහර වෙලාවට විඳෙව්වාත්. ඒත් මට ඔයාගෙන් ඈත්වෙන්න හිතෙන්නම නෑ.. ඔව්. අදටත් මට එහෙම හිතෙන්නෙ නෑ.

ඔයා මාත් එක්ක හැම මොහොතකම හිටියා. පුළුවන් හැම මොහොතකම හිටියා. මඟ තොටේ මම යද්දි, එද්දි,මම කාටවත් කියන්න බැරි තරම් සතුටින් ඉද්දි, දුක හිතිලා මම කොට්ට බදාගෙන අඬද්දි,දරාගන්න බැරි ප්‍රශ්නයක් ආව වෙලාවකදි, හිතට මහම මහ බරක් දැනෙන වෙලාවකදි....., මේ හැම මොහොතකම මගේ ළඟින්ම හිටියේ ඔයා...ඔව් ඔයා මගෙන් ඈත් නොවී මගෙ ලඟින්ම හිටියා. 

ළඟින් ඉන්න අය ඈත් වෙද්දි, කරදරයක් වුනාම මඟ අරිද්දි, හිත රිදෙන කතා කියද්දි , නිකරුණේ චෝදනා කරද්දි, නොකරන වැරදි වලට මාව අහුකරද්දි , ඇස්පනාපිට මට ගරහද්දි,කිසිම දෙයක් කර කියාගන්න බැරිව අසරණ වෙලා ඉද්දි, ඔයා මාව අතෑරලා ගියේ නෑ. ඔයා මගේ ලඟින්ම හිටියා.මාව තේරුම් ගත්ත එකෙම එක්කෙනා ඔයා.ඒකම වෙන්න ඇති මම අදටත් ඔයාට ආදරේ.. ඔයාගෙන් ඈත් වෙන්න මේ තරම් බයත් ඒ නිසා වෙන්න ඇති. ඔයාව අමතක කරලා ,ඔයාගෙන් ඈත් වෙලා වෙන කෙනෙක්ට ලං වෙන්න මම මේ තරම් බයත් ඒ නිසා වෙන්න ඇති.මට හොදටම් විශ්වාසයි මම මහ ගොඩාක් ළඟයි ඔයාට..

ඒ විතරක් නෙවෙයි,ඔයා එක්ක ගෙවන මේ ජීවිතේ තියෙන සතුට, සැනසීම, සැහැල්ලුව නැති කරගන්න මම හරිම ලෝභයි. ඔයාගෙන් ලැබෙන මේ නිදහසින් මිදිලා, බැදීමකට හිර වෙලා, යට වෙලා ජීවත් වෙද්දි පපුවට දැනෙන ගින්දර උහුලන්න මම බයයි. ඔව් ඇත්තටම.. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියන්නෙ බොරුවට නෙවෙයි. ඔයා මගේ ජීවිතේට එන්න කලින් , මම හිරවෙච්ච ඒ බැදීම එක්ක උහුලපු සමහර වේදනාත්මක මොහොතවල් මට මතකෙට එද්දි දැනෙන්නෙ ,මහම මහ බයක්!!!

ඔයා මට ජීවිතේ තේරුම් කෙරෙව්වා..මේ නපුරු සමාජේ එක්ක ජීවත්වෙන්න ඔයා මට අමාරුවෙන් වුනත් හයියක් දුන්නා. මම දුරවල වෙලා අඬපු හැම වෙලාවකම ඔයා මට දඬුවම් කලා.  ඒත් ඒ දඬුවම් මේ ජීවිතේ වෙනුවෙන් බව මම දන්නවා...මැරෙනකම්ම මාත් එක්ක ඉන්න බැරි වෙයි කියලා ඔයා මට අනතුරු ඇගෙව්වාට, මට දැන් හිතෙනවා මොන දේ කරලා හරි ඔයා එක්ක මැරෙනකම්ම ජීවත් වෙන්න. මොන මොහොතක ළඟ නොහිටියත් මැරෙන මොහොතෙ අපි ළං වෙන බව මම දන්නවා...

ඒත්, සමහර වෙලාවට මට ඔයා එක්ක ජීවත්වෙන්න ඕනෙ නෑ කියලත් හිතෙනවා. ඒ ඔයා මට වදයක් වුනු වෙලාවට.. ඔයා නිසා මට කම්මැළි හිතුනු වෙලාවට,ඔයා නිසා මට සමාජේ ඉස්සරහා බයෙන් , තැති ගැනීමෙන් ඉන්න වුනු වෙලාවට, ඔයා නිසා මාව අනිත් අය ඉස්සරහා විහිළුවට ලක් වුන වෙලාවට...., ඔව්!! එහෙම වෙලාවට මට ඔයාව වදයක් කියලාත් නොහිතෙනවා නෙවෙයි.. ඔයාට වෛර කරන්නත් නොහිතෙනවා නෙවෙයි.. ඒත් මම ඔයාගෙම නාමයෙන් හැම දුකක්ම , හැම කරදරයක්ම දරාගත්තා...ජීවිතේ හැටි මේකයි කියලා මම වින්දා..විඳෙව්වා දෙකම කලා..ඒත් මම අදටත් ඔයාවම බදාගෙන ,ඔයාම මත්තෙ නැහෙනවා........

දවසක් ඒයි මට ඔයාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන,මම එදාට ලෑස්තියි!! ඕනෙම දෙයක් වෙත්දෙන් කියලා මම හිත හදාගත්තා. ඔයත් එක්ක මෙච්චර කාලයක් ජීවත් වුනු මට ඉස්සරහා ගැන තියෙන්නෙ කුතුහලයක් මිස, බයක් නෙවෙයි..මොකද මට ඔයාව විශ්වාසයි. කවදාහරි මම ඔයාව දාලා ගිහින්, ආයෙමත් ඔයා ළඟටම එන්න වුනත් ඔයා මාව භාරගන්න බව මම දන්නවා . ඒ තරමට ඔයාත් මට ආදරේ බව මම දන්නවා.. දවසක මට ඉතුරුවුනොත් ඉතිරි වෙන්නෙ ඔයා විතරක් බවත් මම දන්නවා.. ඒ නිසා මම ජීවිතේ ඔයා වෙනුවෙන් තියෙන ගෞරවය, ආසාව මොනම දෙයක් නිසාවත් නැති කරගන්නෙ නෑ....

මම හුඟාක් කියෙව්වා.. සමහර විට මේ මම ඔයා එක්ක ගෙවන අන්තිම කාලෙ වෙන්නත් පුළුවන්.. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. වෙනස් වෙන ලෝකෙ මම කොහොමද ඔයාට නොවෙනස්  වෙයි කියලා හිතලා දෙයක් කියන්නෙ..මට ඕනෙ වුනේ ඔයා වෙනුවෙන් මෙහෙම සටහනක් ලියලා තියන්න විතරයි.. මම ඔයාට මොන තරම්  ලෙංගතුද කියලා මේ සටහන කියෙව්වාම ඔයාට දැනෙයි........

එහෙනම් මම දැන් නවතින්නම්, 

අන්තිම වතාවට හරි, ආයෙම වතාවක් හරි මට කියන්න තියෙන්නෙ මෙච්චරයි............

මම ඔයාට මහා ගොඩාක්  ආදරෙයි තනිකම........

මීට ,
ඔයාගෙ ආදර හිතුවක්කාරී
හිතූ
________.

Post Comment