නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 July 2012

ක්‍රිකට් Vs කාන්තා පාර්ශවය



හික්ස්ස්.....:D අද නම් මාතෘකාව දැක්කාම කට්ටියට හිනා යයිද දන්නෙ නෑ... ඒත් මට නිකමට වගේ හිතුනු දෙයක් ලියන්න හිතුනා. හුඟ කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ.. ඉස්සර නම් නිතරම වගේ පෝස්ට් එකක් දැම්මාට දැන් දැන් මමත් පෝස්ට් දාන වේගෙ අඩුවේගෙන තමා එන්නෙ. හොඳකට හෝ නරකට ඒක එහෙම තමයි...හරි දැන් ඔක්කොම වල් පල් පැත්තකට දාල  එන්නම්කෝ අපේ මාතෘකාවට..


ක්‍රිකට් කියන්නෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාවක්නෙ. ගැහැණු පිරිමි බේදයකින් තොරව ක්‍රිකට් වලට බොහෝ පිරිසක් ආදරේ කරනවා. නමුත් බහුතරයක්ම ක්‍රිකට් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ පිරිමි පාර්ශවය කියලායි මම විශ්වාස කරන්නෙ. සාපේක්ෂව ඒක එහෙමයි නේද?
ලෝකෙ බොහෝමයක් රටවල් වල වගේම ,අපේ රටේත් ක්‍රිකට් කණ්ඩායමක් වගේම, ක්‍රිකට් ක්‍රීඩාලෝලීනුත් ඉන්නවා.ලංකාව කියන්නෙ ලෝක කුසලානය පවා දිනාගත්තු රටක්නෙ. ඉතින් ක්‍රිකට් ඉතිහාසයවත්, ලංකාවෙ හෝ ලෝකයේ ක්‍රිකට් ගැනවත් කතා කරලා , අදහස් දක්වලා තේරුමක් නෑ..මොකද මේක කියවන ඔයාලා හැමෝම මට වඩා ක්‍රිකට් ගැන දන්නවා..:D


ඉතින් දැන් මේ ක්‍රිකට් තරඟ, ලංකාවෙ ක්‍රීඩාංගන වල පැවැත්වෙද්දි , ටිකට් අරගෙන තරඟ බලන්න යන්න ලාංකික ක්‍රීඩාලෝලීන්ට තියෙන්නෙ පුදුම උනන්දුවක්නෙ.. ක්‍රිකට් වලට ආස, ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමට ආදරේ අය කොහොමහරි පොරකාලා හරි ටිකට් අරන් තරඟ බලන්න යනවා.. :D 


වෙනත් විදේශ රටක වගේ තරඟ තියෙද්දිනම් ඉතින් වෙන්නෙ නිදි මරාගෙන හරි, පාන්දර ජාමෙ නැගිටගෙන හරි තරඟ බලන්න තමයි. පුදුමෙ කියන්නෙ ඔය වැඩට යන්න, ඉස්කෝලෙ යන්න උදේට නැගිටින්න කම්මැළි අය ක්‍රිකට් තරඟ නරඹන්න නම් නැගිටින්නෙ පුදුම උද්‍යෝගයෙන්.. (අත්දැකීමෙන් කියන්නෙ..) ඉතින් කොහොමෙන් කොහොමහරි, ගෙදර ඉදන් ටීවී එකෙන් ක්‍රිකට් තරඟ නරඹන්න තමා හුඟාක් දෙනෙක් පෙළඹිලා ඉන්නෙ. (වැඩිපුරම නරඹන්නෙ ඉතින් පිරිමි පාර්ශවය තමයි.කාන්තා පාර්ශවයත් නොබලනවා නෙවෙයි.) ඒත් ඉතින් පිරිමි අය ක්‍රිකට් මැච් බලන්න ගියාම ඉතින් ඒකෙ ඉවරයක් නෑනෙ. වෙලාවක් කලාවක් නෑ.. "කන බොන වෙලාවද, නිදාගන්න වෙලාවද, ගෙදර තව මිනිස්සු ඉන්නවාද, අනිත් අය ක්‍රිකට් වලට ප්‍රියද නැද්ද?, ගෙදරම ඉන්න අය බලන්නෙ ක්‍රිකට් විතරද," ඒ පිළිබදව කිසිම ගානක් නැති උදවිය ඉන්නවානෙ.( හැමෝම එහෙමයි කියලා කියන්නෙ නෑ..නමුත් මම හිතන්නෙ බහුතරයක් ඇබ්බැහි වුනු අය එහෙමයි) අනික,ලෝකෙ මොන රටක් තරඟ කලත් මැච් බලන්න පුරුදු වුනු අයත් ඉන්නවා.(අපේ මල්ලිත් ඒ ජාතියෙ.)

ඔය ක්‍රිකට් තරඟ නැරඹීමෙ අතුරු ප්‍රශ්න ගොඩකුත් තියෙනවා..  බ්ලොග් අවකාශෙ ඉන්න ක්‍රිකට්ලෝලීන්ටත් ඔය ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා ඇති කියලා මම හිතනවා.. :D නිකමට කල්පනා කරලා බලන්න...;) ඔතනදි තමයි ක්‍රිකට් සහ කාන්තා පාර්ශවය ගැටෙන්නෙ.. :D අනිත් පැත්තට පිරිමි පාර්ශවයත් එක්කත් එහෙන් මෙහෙන් අවුල් ඇතිවෙන්නත් ඔන්න ඔය ක්‍රිකට් උන්මාදය වැඩිවීම බලපාන්න පුළුවන්.


"අද දවසටම ඔයා මට කෝල් කලේ නෑ .. ඔයාට ක්‍රිකට් තියෙනවානම් මාව ඕනෙත් නෑ.."
"මම කීසැරයක් කෝල් කලාද, මැසේජ් යැව්වාද, එකකටවත්  ඔයාගෙන් රිප්ලයි නෑ.. ඔයාට මට වඩා ලොකු ක්‍රිකට් මැච් තමා.."
"ඔයාට මාව මීට් වෙන්න එන්නත් බැරි මැච් එක මිස් වෙන හින්දානෙ.. ඔයා තීරණයක් ගන්න ,ක්‍රිකට්ද? මාවද? කියලා"


ඔය වගේ චෝදනා, මැසිවිලි, ගෝරනාඩු වලට ඔයාලාත් හසුවෙලා තියෙනවාද? බහුතරයක්ම ක්‍රිකට් නිසා ඉතින් හුඟාක් පෙම්වතුන්ට එයාලාගෙ පෙම්වතියන්ගෙන් අහගන්න වෙන කතාන්දර ටිකක් තමා මම හිතන්නෙ ඔය තියෙන්නෙ. මගෙත් යාළුවො හිටියා ඔහොම චෝදනා කරපු. ;) පෞද්ගලිකව මමත් ආස නෑ මට වුනත් එහෙම වෙනවාටනම්.. :/
ක්‍රිකට් නම් ක්‍රිකට්.. ආදරේ නම් ආදරේ....


ඒත් ඔය තත්වෙ  පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්, ගෑනු ළමයාත් තදින්ම ක්‍රිකට් වලට ඇබ්බැහි වුනු කෙනෙක්නම්. එහෙම වුනාම ඉතින් චෝදනා නෑනෙ..:D අනිත් කාරනේ ක්‍රිකට් සහ ආදරේ බැලන්ස් කරගෙන අවබෝධයෙන් දිවි ගෙවන අයටත් ඔහොම ප්‍රශ්න ඇති වෙන්නෙ නැතිවෙයි.


"ඔයා අදත් පරක්කු මොකද? හංදියෙ නැවතිලා මැච් එක බැලුවා නේ?"
" ඔයා වැඩ ඇරිලා ආව වෙලේ ඉදන් ටීවී එක බදාගෙන මැච් එකක් බලනවා. අඩුමගානෙ අපි ඉන්නවද නැද්දවත් දන්නෙ නෑනෙ.."
" ක්‍රිකට් මැච් ඉවරයක් නෑ.. ඔයාත් එක්ක නිවිසැනසිල්ලෙ කතා කරන්නත් දැන් මැච් ඉවරවෙනකම් ඉන්න වෙයි"


විවාහ වුනු අයටනම්,සැමියා ක්‍රිකට් තරඟ නරඹන්න දැඩි ලෙස ඇබ්බැහි වුනු කෙනෙක්නම් ඔන්න ඔය විදියට බිරිඳගෙන් චෝදනා  එල්ලවෙන්න පුළුවන්. නමුත් එතන්දිත් ප්‍රශ්න ගැටළු ඇති නොවෙන්න බොහොම සුහදව සාමුහිකව ක්‍රිකට් තරඟ නරඹන්න ත් පුළුවන්.. අවස්ථානූකූලව තීරන ගැනීම ඉතින් තමන් සතුයි.එහෙම නේද?


ඊට අමතරව ඉතින් අක්කලා මල්ලිලා, අයියලා නංගිලා, අම්මලා පුතාලා අතරෙත් බොහොම දරුණු තරඟයක් ඇතිවෙන්න පුළුවන්. අනිවාර්‍යෙන්ම ක්‍රිකට් තරඟ ටීවී එකෙන් නරඹද්දි එහෙම තරඟයකටත් මූණ දෙන්න වෙනවා.ටෙලිනාට්‍ය බලන්න ,චැනල් මාරු කරන්න,අක්කලා නංගිලා රණ්ඩු කරගන්න එන්න පුළුවන්. ඒ වගේම බත් කන්න කියලා කෑගහන, කඩේ යන්න කියලා කෑගහන අම්මාගෙ ගෝරනාඩුත් ඉවසා දරාගන්න වෙනවා. දැනටත් එහෙම වෙලා ඇති..


මොකක්ද විසඳුම? 


ක්‍රිකට් මැච් බලන ගමන්,  බැනුම් අහන්නෙත් නැතුව, චෝදනා, අපවාද වලට ලක් වෙන්නෙත් නැතුව ඉන්න බැරිද? ;) මමනම් හිතන්නෙ බැරි නෑ.. පුළුවන්..  


කොහොම වුනත් කාන්තා පාර්ශවය ක්‍රිකට් එක්ක තරහා වෙනවානම්, ඒකට හුඟාක් වෙලාවට "පිරිමි පාර්ශවය " හේතුවක් වෙන්න පුලුවන් ...!!! ;) 


ප.ලි- බැනුම් අහගන්න වෙන පෝස්ට් එකක් වෙයිද මංදා.... ;)



Post Comment

15 July 2012

පොළේ ගිහින් තියෙනවාද?


මාතෘකාව දැක්ක ගමන්ම මතක්වුනේ ගමේ තියෙන පොළ නේද? ඉරිදා පොළ, බදාදා පොළ, සිකුරාදා පොළ විදියට නානාවිධ නම් වලින් හඳුන්වගෙන තියෙන පොළවල්වලට, ඔයාල නැත්තම් ඔයාලාගෙ අම්මලා තාත්තලා හරි යනවා ඇති..ගිහින් ඇති.ඒත් මම මේ අද කියන්න යන්නෙ එහෙම ගමේ තියෙන, නගරේ තියෙන පොළ ගැන නෙවෙයි.. ඉස්කෝලෙ තියෙන පොළ ගැන. :D

ඉස්සර ඉදන්ම අපේ ඉස්කෝලෙ, හුඟාක් අවස්ථා වල විවිධ පොළවල් පැවැත්වුවා. හුඟාක් වෙලාවට මෙහෙම පොළක් සංවිධානය කරන්නෙ මොකක් හරි දිනයකට සමගාමීවයි..මාධ්‍ය කවය මඟින් පවත්වන මාධ්‍ය දිනයට සමගාමීව මාධ්‍ය පොළ පවත්වනවා.. දැනුම මිනුම සංගමය, කථික හා විවාද සංගමය, තාරකා විද්‍යා සංගමය, ඡායාරූප සංගමය වගේ විවිධාකාර සංගම් වලින් පොළක් සංවිධානය කරනවා.මේ විදියට එක එක අවස්ථා වලදි, ඉස්කෝලෙ ඇතුළෙම එක එක දිනයට පොළක් පවත්වනවා.. ඊටපස්සෙ ඒ පොළෙන් ලැබෙන ආදයමෙන් හුඟාක් වෙලාවට ඒ දිනයන් පවත්වනවා. මේ විදියෙ එක එක ක්‍රම සහ විදි තිබුණා ඉස්කෝලෙ ඇතුලෙ පවත්වන දිනයන්, වැඩමුළු වලට සල්ලි හොයන්න.මේ පොළක් පවත්වන එකත් ඒ ක්‍රම වලින් එකක්.

ඉතින් 6 වසරේදි අපි ඉස්කෝලෙට ගිය අලුතම වගේ නිසා පුදුම ආසයි පොලේ යන්න. ලොකු අක්කාලා එහෙම , මෙහෙම පොළක් තියෙනවා කියලා ඉස්කෝලෙ  ඇතුළේ පෝස්ටර් අලවලා, උදේට නිවේදනය කරලා කිව්වාම අපි පහුවදාට එන්නෙ ගෙදරින් පොළේ යන්න සල්ලිත් ඉල්ලගෙනයි.:D මෙහෙම පොළක් පවත්වද්දි පොළ තියන්නෙ ,ඉස්කෝලෙ ප්‍රධාන ශාලාවෙ එළියට වෙන්න තියෙන විශාල සඳලු තලාවෙ හරි, ප්‍රධාන ශාලාව ඇතුලෙ හරි එහෙමත් නැත්තම් ගෘහස්ථ ක්‍රීඩාගාරෙ හරි තමා .

උදේට කරන නිවේදන අතරෙදි, පොළේ යන්න එක එක ශ්‍රේණී වල අයට එක එක කාලපරිච්ඡේද වෙන් කරලා කියනවා. ඒ ක්‍රමේනම් ටිකක් අසාධාරණයි කියලා අපිට තේරුණේ අපිත් ටික ටික ලොකු පන්ති වලට යද්දි තමයි. 6-7 වගේ පන්ති වලට තමා ,පොළ පටන් ගත්තු ගමන් යන්න තියෙන්නෙ.ඒ කියන්නෙ උදේ වරුවෙ. අන්තිමට තමා ලොකු පන්තිවල අයට යන්න තියෙන්නෙ. එතකොට ඉතින් පොළ ඉවරයි..:D

දැන් වැදගත්ම දේ තමා මේ පොළේ මොනාද තියෙන්නෙ කියන එක. ඒත් හැබැයි ඉස්කෝලෙ පොළේ තියෙන්නෙ එළවළු, මාළු, පළතුරු නම් නෙවෙයි.නැතුවමත් නෙවෙයි.ඒත් මේ පොළ වෙනස්. ඉස්කෝලෙම ළමයි කණ්ඩායම් විදියට එකතුවෙලා පොළ පවත්වන සංවිධායක මණ්ඩලයට මුදලක් ගෙවලා, එයාලට කුටියක් වෙන් කරගන්නවා. ඊටපස්සෙ එක එක ජාති ගෙනෙල්ලා විකූණනවා..හුඟාක්ම තියෙන්නෙ ඉතින් කෑම ජාති තමයි. හුඟාක්ම කඩචෝරු...!!!! :D

අච්චාරු ජාති, බැදපු කඩල, අයිස්ක්‍රීම්, ශෝට් ඊට්ස් වර්ග, නූඩ්ල්ස්,සරුවත්, ෆලූඩා,මුරුක්කු වගේ එක එක කෑම බීම ජාති තියෙනවා. මොනතරම් කෑම තිබ්බත් ජීවිතට කෑම දැකලා නැති අය වගේ තමා කට්ටිය ඉතින් පොළෙන් කන්න යන්නෙ..:D :P

හැබැයි ඉස්කෝලෙ ඉන්න ටීචර්ලාව අරමුණු කරගෙනම තිබුණු වෙළද කුටිත් තිබුණා. ගෙදර හැදෙන එලවළු පලතුරු වර්ග එහෙමත් ගෙනෙල්ලා විකුණන අය හිටියා. ඒවා ඉස්කෝලෙ ටීචර්ලා අරගත්තා.

ඊට අමතරව ඔය පොළක් තියෙද්දි තියෙන ජනප්‍රියම අංගයක් තමා, එක එක සෙල්ලම් වර්ග සහ ඇස්බැන්දුම් . මෙන්න මේ වෙළඳ කුටි තමා පොළේ වැඩිම ආදායමක් උපයන්නෙ. ගිනි කූරකින් ඉටිපන්දම් 50ක්, 25ක් විතර පත්තු කරන එක ජනප්‍රිය සෙල්ලමක් වුනා. එහෙම ට්‍රයි කරන්න එන කෙනෙක්ගෙන් රු.20ක් විතර අය කරලා අවස්ථාවක් දෙනවා. එයා ඉටිපන්දම් ඔක්කොම පත්තු කළොත්, එයාට ලොකු තෑග්ගක් දෙනවා. ටෙඩී බෙයා කෙනෙක් වගේ තෑග්ගක්.

ඊලඟට තිබ්බ දෙයක් තමා, පොඩි පොඩි ආස හිතෙන දේවල් ටිකක් එල්ලලා, ඒවා අංක කරනවා. පුංචි සෙල්ලම් බඩු, කොණ්ඩ කටු, කරාබු,වළලු, මුදු ,චොක්ලට් වගේ දේවල් තමා මේවට ගන්නෙ. ඊටපස්සෙ තරඟෙට එන කෙනෙක්ගෙන් රු.10ක් හරි  5ක් හරි වගේ මුදලක් අය කරනවා.ඊටත් පස්සෙ තුණ්ඩු උඩ දානවා.. අහම්බෙන් වගේ ගන්න තුන්ඩුවක ලියලා තියෙන අංකෙ අනුව අදාල අංකෙ සහිත තෑග්ග දෙනවා.(වැඩේ කියන්නෙ ඉතින් ඔය බොහොමයක් තුණ්ඩු හිස්.:p ) අසරණ පොඩි එවුන් ඉතින් වැඩේට පුදුම ආසවෙන් සම්බන්ධ වෙනවා..යමක් කමක් තේරෙන ලොකු පන්ති වල ලමයිනම් ඕවාගෙ වෙන කපටිකම් අත්දැකීමෙන්ම දන්න නිසා ඕවාට යන්නෙ නෑ..

මම ඉස්කෝලෙ 6 පන්තියෙදි වගේ මමත් ඔහොම සෙල්ලම් වලට ගියා තෑගි දිනාගන්න තිබ්බ ආසවටම. ඒත් අවාසනාවන්ත මමත් ,ලොකු අක්කලාගෙ කපටිකමට අහුවුනා මිසක් තෑග්ගක්නම් දින්නෙ නෑ...:(

ටික ටික ලොකු පන්ති වලට යද්දිනම්, අපිට පොළේ යන්න හම්බුනේම නෑ.. උදේ වරුවෙ පොළ පටන්ගනිද්දිම යන්න ඕනෙ වුනත්,උගන්වපු මිස්ලා  අපිට උගන්වන වෙලාවට යන්න දුන්නෙ නෑ .අපිට යන්න නියමිත වෙලාවට යද්දි ඉතින්, පොළේ බඩු ඔක්කොම ඉවරවෙලා, පොළත් ඉවර වෙලා. :/ ඒ නිසාම පස්සෙ පස්සෙ ඔය පොළේ යන වැඩෙත් අපි අතෑරලා දැම්මා. ඒ නිසාම තමා ඊටපස්සෙ අපි පොළේ බඩු විකුණන වැඩේ කරන්න හිතුවෙ. :D

අපි 11 පන්තියෙ ඉන්නකොට,වාණිජ දිනේට සමගාමීව පැවැත්තුවා වාණිජ පොළක්.ඒක ටිකක් වෙනස් එකක්. හොඳම ලාභයක් උපයලා පෙන්වන කුටියට තෑග්ගක් එක්ක සහතිකයකුත් වාණීජ දිනය දවසට දෙන්න සූදානම් කරලා තිබ්බා. ඉතින් අපිත් කට්ටියක් එක්ක වහාම ක්‍රියාතමක වෙලා ලොකු කුටියක් වෙන් කරගත්තා.ඊටපස්සෙ එක එක්කෙනා කතා වෙලා කීපදෙනෙක්ම එක එක වර්ග වලින් දේවල් අරන් ආවා. එක්කෙනෙක් කෑම ජාතියක්.තව එක්කෙනෙක් සරුවත්, තවත් එක්කෙනෙක් ස්ටිකර් වර්ග,කොණ්ඩකටු වගේ දේවල්. වැඩියෙන්ම ලාභ උපයන්න පුලුවන් හොදම ක්‍රමෙත් අපි අමතක කලේ නෑ..

මගේ යාළුවෙක් හිටියා. එයාට පුළුවන් පබළු, සිප්පි කටු වගේ එක එක ජාති එකතු කරලා ලස්සන බ්‍රේස්ලට්, මාල, මුදු වගේ දේවල්  හදන්න.ඒවාට හොද ඉල්ලුමකුත් තිබ්බා.ගෑනු ළමයි කොහොමත් ආසයිනෙ එහෙම දේවල් වලට.ඉතින් අපිත් තිබ්බා තෑගි දෙන ක්‍රීඩාවක්.. ;) අර විදියට තෑගි ටික අංක කරලා ,තුණ්ඩු උඩ දාලා දිනන අයට තෑගි දුන්නා. අපිනම් ඉතින් ඒක බොහොම සාධාරණව කලා. තිබ්බ තෑගි ඔක්කොම ඉවර වෙනකම් අපි දුන්නා. ඒකෙන් අපිට හුඟාක් ලොකු ලාභයක් ලැබුණා.(අනිත් කුටිත් එක්ක සංසන්දනය කරලා බලනකොට)

කොහොමහරි අවසානෙදි එදා වාණිජ දිනයෙදි තෑග්ගයි, සහතිකයි දිනාගත්තෙ අපි..:D ඒත් බොහොම සාධාරණව....

ඉස්කෝලෙ කාලෙ අදටත් මතක් වෙද්දි හිනා යන, සතුටු හිතෙන වගේම දුකකුත් දැනෙන අත්දැකීම් ගොඩයි.ඒ අතරිනුත් ඉස්සර ලබපු අමුතුම අත්දැකීමක් වුනු දෙයක් තමා පොළේ යන එක.ආයෙත් ඉතින් එහෙම විනෝද කාලයක් එන්නෙ නෑනෙ කියලා මතක් වෙද්දි නම් පුදුම  දුකයි......:(

දුවගෙන දුවගෙන ගිහිල්ලා ,ලොකුම ලොකු අච්චාරු උරයක් අරගෙන මල පෙරේතියෝ වගේ පොර කකා අච්චාරු කන්න.... ජීවිතේට බීලා නැති දිව්‍යමය පානයක් වගේ , සරුවත් බොන්න දඟලන්න.....මිස්ලා ට හොරෙන් පන්ති කට් කරලා පොළේ ගිහින් රවුම් ගහන්න....මුරුක්කු පැකට් එකේ තියෙන ලොකුම මුරුක්කු කෑලි හොය හොය රණ්ඩු වෙන්න..... ආසයි මහ හුඟාක් මතක් වෙද්දිත් ඒ අතීතෙට යන්න......
ඒත් අවාසනාවකට ආයෙත් එහෙම කාලයක් එන්නෙ නෑ... මතක විතරක් ඉතුරු කරලා කාලෙ ගෙවිලා ගිහින්.......

කවදා කොහොම කොතැන පොළේ ගියත්..., ඒ ගමන ඉස්කෝලෙ පොළ තරම් සුන්දර වෙන එකක් නම් නෑ....... ඒකනම් හොදටම විශ්වාසයි....:D

Post Comment

08 July 2012

අහෝ දෛවය!!!!!


හුරුබුහුටි හිනා මුව,
හීන් වෙන නිල් පාට දෑස් යුග,
ඒ විතරක්ද ,
හිත කීරි ගැහෙන කතා බහත්.....,
ඔයා නම් මගේ හිත හොරකම් කළා.....

ලෙංගතුකම  හරි අගෙයි,
කල්පයක් තරම් හුරු පුරුදුයි,
ඒ විතරක්ද,
සිතුවිලි කල්පනා සොඳුරුයි අදහසුත්.......,
ඔයා නම් මගේ හිත අතරමං කළා........

හිත හුඟාක් දුර ගිහින්,
අපි අපි ගැනම තව තවත් දැනගන්න,
ඒ විතරක්ද,
හිත පුරා ඔයාවම ඇඳගන්න හිතුනාත්.......
අහෝ දෛවය,
ඔයාව මට ,මල්ලියෙක් කළා.........

Post Comment

01 July 2012

කෙදිනද කූඩූ හදන්නට එන්නෙ???


දන්නවාද? ඔයායි මායි ආදරේ කරන්න පටන් අරන් අදට අවුරුදු 6ක් වෙනවා. පුදුමයි නේද? මෙච්චර කාලයක් තිස්සෙ අපි දෙන්නාට දෙන්නා , අපි වෙනුවෙන් ජීවත් වුනු අපූරුව ගැන..නීතියෙන් කොල කෑල්ලක අත්සනක් දාලා, තාමත් ඔයාව මගේ සන්තකේටම ගන් බැරි වුනාට , අපේ ආදරේට අපේ අයිතිය තිබුණා. එහෙම නේද?


ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ගලාගෙන ආපු අපේ ආදරේට, ඇස් වහක් කටවහක් නැතුව මේ තරම් දුරක් එන්න ලැබුණු එක ගැන, ඔයාටත් වඩා මහ හුඟාක් සතුටු වෙන්නෙ මම. ඔව්. සත්තකින්ම මම. අපිට අපි ඈතින් ඉඳන් ආදරේ කරපු මේ කාලෙට, නැවතීමේ තිතක් තියන්න දැන් හොඳම කාලේ නේද? අපි අපේම වෙන්න, මට ඔයාගෙ ළඟින්ම ඉන්න, ඔයාගෙයි මගෙයි වෙන් වෙන්ව ගෙවෙන මේ ජීවිත, අපේම ජීවිතයක් කරගන්න, දැන් මේ ගෙවෙන කාලේ නේද හොඳම?තනි තනිව ගෙවෙන මේ ජීවිත අස්සට මහා ගොඩාක් ආදරේ ,රැකවරණේ, උණුසුම රිංගවන්න, මේ තමයි හොඳම කාලේ..ඔව්.. අපි අපේම කියලා පුංචි හෙවණක උණුසුම් වෙන දවස එනකම් මම පෙරුම් පිරුවා. මම දන්නවා, මං විතරක් නෙවෙයි..ඔයාත් ඒ වගේම ඒ දවසක් එනකම් ඇගිලි ගැන්න..


ඉතින්,
අපි අපේම කියලා පුංචි කූඩුවක් තනාගෙන එකම හෙවණක ගුලිවෙන්නෙ කවදාද?අපේම පුංචි කැදැල්ලක උණුසුම් වෙන්න, මගේ අත්තටු ආදරෙන් පිරිමදින්න ඔයා එන්නෙ කවදාටද?දැන් මගේ සිනිඳු තටු , ඕනෙ දුකක් දරාගන්න, ඕනෙ කරදරේකට මූණ දෙන්න තරම් හයියයි..ඔව් මේ ඇත්තමයි. ඔයාත් එක්ක එකතුවෙලා ,පුංචි පුංචි කෝටු කෑලි කෑලි තියලා , මල් වැල් ,කැටයම් කරලා, සිනිඳු කපු අතුරලා,අපේ පුංචි කැදැල්ල හදාගන්න තුරු මට ඉවසිල්ලක් නෑ.. සත්තයි, සඳ එළිය වගේ සෞම්‍ය ඔයාගෙ ආදරේන් නැහැවෙන්න, මගේ හිතට මහ ගොඩාරියක් ලෝභයි..ඒ ආදරෙත් එක්ක තනිවෙන්න අපිට තව හුඟාක් කල් ඉවසන්න වෙයිද?? ඒ සුන්දරම මොහොත තවත් ඈතයිද............?

පුංචි පුංචි අඩ දබර,හිත් බිඳිම් නොවුනා නෙවෙයි. ඒත් අපි මේ ජීවිතේ දරාගත්තා. ඔයාගෙ නොසැලෙන හිතයි, ඔය අවංකකමයි ,ඉවසීමයි නිසා ඔය අප්‍රමාණ ආදරේ කුළුදූල් සහ එකම අයිතිකාරි වෙන්න මම වාසනාවන්ත වුනා. මේ ජීවිතේට ඒ නම්, ඉහටත් උඩින්.ඔයාගේ දුකේදි සැපේදි ඔයා ළඟින්ම ඉදන්, ඔයාගෙ හිත ලඟ තනි රැක්ක මට, දැන් ඔයාගෙ "සදාදර බිරිඳ" කියන පදවිය ලබන එක හැර වෙන සතුටක් නැති තරම්..ඔයාගෙයි මගෙයි ලෝකෙ සරසන පුංචි පැටව් දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ගතකරන සුන්දර අනාගතේ ගැන මම හීන දකිනවා.


ඔව්,
විසකුරු සත්තු ඉන්න, රෞද්‍ර වන සත්තු පිරිච්ච මහ වනන්තරේ මැද, උසම උස ගහක් මුදුනෙ හුඟාක් පරිස්සමට ඔයායි මායි එකතු වෙලා හදන කූඩුව නිසා මුළු වන්නතරේම සුන්දර වෙයි. අපේ ආදරේ නිසා අමුතු එළියක් වැටේවී...ඔයා කෑම හොයාගෙන එද්දි, කූඩුවෙ දොරකඩට වෙලා ඉඳගෙන ඔයාගෙ වෙහෙසකර මූණට සතුටක් දෙන්න මම මඟ බලන් ඉන්නම්...පියාඹලා පියාඹලා වෙහෙස වුනු ඔයාගෙ අත්තටු ආදරෙන් පිරිමදින්න මම ඇස් රිදෙනකම් හරි බලන් ඉන්නම්....ඉතින් කවදාද අපි ඒ පෙම් සුව විඳින්නේ?? ඒ සුන්දරම දවස තව හුඟාක් දුරයිද........?



මේ තරම් දුර ආපු අපේ මාවතේ,දුෂ්කර තැන් හුඟාක් තිබුණා. අපි ඒවා අමාරුවෙන් හරි දරාගත්තා. ඔයා මට ජීවිතේ දරාගන්න හැටි කියලා දුන්නා.ඔව්, මගේ හයියට ඔයාගෙ ශක්තිමත් වාරුව හැම මොහොතකම තිබුණා. ඉතින් මේ ආදරේට ලස්සන වටිනාකමක් එකතුවෙන කම් මම තාමත් පෙරමඟ බලන් ඉන්නවා. රත්තරං පාට පෝරුවක නැගලා, දෑඟිලි එකතු කරලා, අත්පැන් වත්කරලා එකම හෙවණකට ගුලි වෙන ඒ සුන්දර දවස අපේ ආදරේ අගේ වැඩි කරාවී නේද? ඒක හරිම ලස්සන මොහොතක් වෙන බව නම් මට සහතිකයි....


තව,
මේ ලස්සනම ලස්සන අපේ කතාවෙ ,අලුත් පිටුවක් පෙරළන්න ඔයාත් බලන් ඉන්නවා නේද? ඉතින් ඇයි තවත් ප්‍රමාද ?ඔයාගේ පුංචි කූඩුවෙ, නෑ අපේ පුංචි කුරුළු කූඩුවෙ, ඔයාගේ ප්‍රිය බිරිඳ, නෑ..නෑ..ඔයාගෙම පුංචි කිරිල්ලී වුනාම නේද අපේ ලෝකෙ තවත් ලස්සන වෙන්නෙ?මගේ පුංචි හිස් මුදුන ආදරෙන් ඉඹලා ,ඔයා කියන කතාන්දර අහන්න , අනේ... මට නම් තවත් බලන් ඉන්න බෑ.....රස මසවුළු හොයාගෙන ඉගිල්ලිලා ඇවිල්ලා, තුඩින් තුඩ තියද්දි  , මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා මම කියන්නම්... ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොඳම ,ආදරණීයම සැමියා නෑ..නෑ.. පෙම්වතා... කියලා...ඉතින් ඒ දවස තවත් පරක්කු කරන්නෙ ඇයි? ඔයා ඉගිලිලා මා ළඟට එන්නෙ කවදාද? අපි අපේම කියල කූඩුවකට පියාඹන දවස තව හුඟාක් ඈතයිද...? කියන්න මට.....ඔයා එන්නෙ කවදාද??



කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ....
කවදා... තනිවන්නේ.....


බිදුනු සෙනේ දලු ලියලා ලා ගිනි
වනපෙත ඒකා ලෝක කෙරේ...
මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ....
කවදා..... තනිවන්නේ.......


දෙපය දොවා පිනි දිය දෝරේ ගිය
බිරිදක වූදා නේද අගේ......
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුවදෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ....
කවදා..... තනිවන්නේ......




ගායනය    :- නිරංජලා සරෝජනී

Post Comment