නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 August 2012

෴ හීන ෴


හීන.... හීන කිව්වාම මොකද හිතෙන්නෙ?? එකපාරටම මතක් වෙන්නෙ හිතේ පුරවගෙන ඉන්න හීන කන්දරාවද? එහෙමත් නැත්තම් රෑ දෙගොඩහරියෙ ,පාන්දරට සීතලට දකින හීනද? එහෙමත් නැත්තම් දවල්ට කාලා බඩ පිරුණාට පස්සෙ ,යාන්තම් ඇහැ පියවේගෙන එද්දි ..,පන්තියේදි, ඔෆිස් එකේදි, කැම්පස් එකේදි  දකින දවල් හීනද? 

ඇත්තටම මම නම් අදහස් කලේ, නින්දෙන් දකින හීන ගැන.ඒ කියන්නෙ අපිට නින්දෙන් හීන විදිහට පේන්නෙ අපේ යටි හිතේ තැන්පත් වුනු මොනයම් හෝ සිද්ධ්යක් හා සම්බන්ධ සිතුවිලිලු..ඒත් අපි හිතේ තියාගෙන ඉන්න බලාපොරොත්තු වලටත් "හීන" කියනවානෙ. බලාපොරොත්තු ඉෂ්ඨ වුනාම , හීන හැබෑ වුනා කියලත් කියනවා..ඒත් ඇත්තටම මටනම් "හීන" කිව්වාම දැනෙන්නෙ කවදාවත් හැබෑ නොවෙන දෙයක් කියලායි.. (මගේ සෘණාත්මක ආකල්ප නිසාද දන්නෙ නෑ.. :p )

කොහොම වුනත් නින්දෙන් දකින හීන පිළිබඳ මහා  හුඟාක් පරණ අතීතයක් තියෙනවානෙ....  එදා මහාමායා දේවිය, සුදු ඇත් පොව්වෙක් නෙළුමක් හොඬින් ගෙන ඇගේ කුසට ඇතුළු වෙනු දුටු හීනයේ පටන්, මේ අද දක්වාම අපිත් හීන දකිනවානෙ...එදා දේවිය දුටු හීනය තුළ අරුතක් ගැබ්ව තිබුණා.ඊටත් පසුව, බුද්ධ චරිතයේ පවා විවිධ අවස්ථා වල හීන පිළිබඳව අපිට අහන්න ලැබෙනවා..කොසොල් රජතුමා පවා හීන 16ක් දැක තිබෙනවා.. මේ විදියට හීන පිළිබඳව බුදු දහමේ පවා විශේෂ කරලා දක්වපු අවස්ථා තියෙනවා..

අපි හුඟාක් කැමතියිනෙ අපිට හීනෙන් හරි සුන්දර දේවල්, අපි ආස කරන දේවල්, සුභ දේවල් පේනවානම්.. සැබෑ ලෝකෙන් නොලැබෙන සුන්දර අත්දැකී හීනවලින් හරි ලැබෙනවානම් කැමති අය ඕනෙ තරම් මේ ලෝකෙ ඇති. ඒ වගේමයි අසුබ හීන, නරක දේවල්, බය හිතෙන දේවල් සැබෑවට වගේම හීනෙන්වත් දකින්න අපි අකමැතියි.. මෙහෙම නරක හීන පේන එක වලක්වගන්න, නින්දට යන්න කලින් ආගම සිහි කරලා , බුද්ධාගමට අනුව නම් පන්සිල් අරන් නින්දට යන්න කියන දේ අපි පිළිගන්නවා..

ඒ වගේම සමහර හීන වල අර්තයන් ගැබ් වෙලා තියෙන බවක් කියැවෙනවානෙ..විශේෂයෙන්, අතීතයේ නම් බොහෝ හීන සම්බන්ධව පලාපල කියන්නට දක්ෂ පිරිසක් ඉඳලා තිබිලා තියෙනවා කියලා තමයි අහලා තියෙන්නෙ..වර්තමානයෙත් ඒ විදිහට හීන විග්‍රහ කරලා පලාපල කියනවා මම අහලා තියෙනවා. විශේෂයෙන් සමහර රේඩියෝ චැනල් වල ඔය හීන පලාපල කියනවා මම අහලා තියෙනවා.. ඒවාගේ සත්‍ය අසත්‍ය බව ගැන නම් අදහසක් නෑ..ඒත් සමහර හීන වලින් කියැවෙන දේවල් විග්‍රහ කරද්දි පුදුම හිතෙනවා..හීනෙන් දැකපු දේ හා කිසි සේත්ම ගැලපෙන්නෙ නැති දෙයක් ගැන තමා සමහර වෙලාවට ඒ හීන වලින් කියැවෙන බව කියන්නෙ.. 

ජනප්‍රවාදයේ තියෙන දේවල් හෝ, මම අහලා තියෙන අදහස් කීපයක් තමයි, හීනෙන් වතුර දැක්කොත් අසුබයි ලු, ඒ වගේම කටේ දත් දැක්කොත්,දතක් ගැලවෙනවා වගේ දැක්කොත් රණ්ඩු අඩ දබර ඇති වෙනවාලු.. ඔය කිව්ව කාරණා දෙක සම්බන්ධව නම් මටත් අත්දැකීමක් තියෙනවා.. මොකද , මම ඔය වගේ හීන දැකපු කීප අවස්ථාවකම මට ඒ දේවල් ඇත්ත වෙලා තියෙනවා.. සමහර විට සිතුවිලි වල බලයද දන්නෙ නෑ... ;)

ඒ විතරක් නෙවෙයි සමහර සත්තු හීනෙන් දැක්කාම , පලාපල සඳහන් කරලා තියෙනවාත් මම අන්තර්ජාලයේම දැක්කා.. ඒවායෙත් සත්‍ය අසත්‍යතාවය ගැන නම් දන්නෙ නෑ..කොහොම වුනත් හීන එක්ක බැඳුනු කතා බොහෝමයක් තියෙනවා.. සමහරක්, මිත්‍යා මත වෙන්න පුළුවන්.. සමහරවිට සත්‍යක් වෙන්නත් පුළුවන්.....

කොහොම වුනත් හීන කියන්නෙ මිනිස්සුන්ට එක පැත්තකින් ජීවත් වෙන්න උත්ප්‍රේරකයක් වෙන්නත් පුළුවන්.තවත් පැත්තකින් නිකන්ම නිකන් සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්.. නමුත් නින්දෙන් පේන හීන වුනත්, හිතින් දකින හීන වුනත්......, හීන කියන්නෙ හීන විතරයි නේද?? කවදාහරි ඔයාලා නින්දෙන් දැකපු හීනයක් හැබෑ වෙලා තියෙනවාද?? නැත්තම් ඔය කියන විදිහෙ පලාපලයක් සත්‍ය බව ඔප්පු වෙලා තියෙනවාද??

කොහොම වුනත් මගේ අදහසනම්..., හීන සුන්දරයි.. ඒවා හැබෑ නොවෙන තාක් කල්........

හීන මල් පිපුණු අත
නෙලන්න ඇත්නම්
දෑතම දිගු කොට.....
ඒත්,
හීන මල්  තිබුණ දෙන්
ඔහේ පර වෙලා ගියදෙන්
බලෙන් දුක් ගන්නෙ කුමකටද,
හීන මල් පරවෙත් දෙන්.....

ප.ලි- පුංචි පෝස්ටුවක්!!! මේ මාසෙටම දාන 2වෙනි පෝස්ටුව.. කාලෙකින් මම ලිව්වෙ නෑ.. හරියකට බ්ලොග් එකක් කියවන්න වුනෙත් නෑ..:( සමාවෙන්න ඕනෙ කියවන්න එන්න බැරි වුනාට..සැප්තැම්බර් මාසෙන් පස්සෙ ආයෙත් දිගටම එන්නම් මේ පැත්තෙ.. ජය වේවා!!!

Post Comment

05 August 2012

නොදැනුන ආදරේ!!!!!

"ඔයා දන්නවාද? ආදරේ කියන්නෙ ආදරේට!!! වෙන මුකුත් නෙවෙයි.."

"මම දන්නවා ආදරේ.. ඔයාටත් වඩා දන්නවා මම "

"ඔයා දන්නවා... ????  හි..හි..හි... හි...." 
එයා හිනා වුනා. නිකන් පිස්සෙක් වගේ.. හරියට මට සමච්චලයට වගේ.
"ඔව් දන්නවා තමා.. ඇයි හිනා වෙන්නෙ? "

"හිනා යනවා මට.ඕක විහිළුවක්.. ඔයා ආදරේ දන්නෙ නෑ.. ඒත් ඔයා කියන්නෙ ඔයා ආදරේ දන්නවාලු.."


"පිස්සු ඔයාට නම්.. මාව තරහ ගස්සන්න එපා..ප්ලීස්."
ඒ සැරේ නම් මට ඇත්තටම තරහා ගියා.


"හරි එහෙනම් කියන්න මට ආදරේ කියන්නෙ මොකක්ද කියලා?"


"ආදරේ... ම්ම්ම්....ම්ම්.. ආද..රේ.. ම්ම්ම්.. දන්නෙ නෑ.. ඒක කාටවත් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ.."


"අහ්හ්.. ඔයා ආදරේ දන්නවාලු. ඒත් පැහැදිලි කරන්න බෑලු.. හරි.ok. අමතක කරන්නකෝ ඒක."


"ම්ම්....." 
මම හූමිටි තිබ්බා විතරයි. පන්සිළු එක්ක ආදරේ ගැන වාද කරල දිනන්න බැරි බව දන්න නිසාම ,මම ආදරේ ගැන වාද කරන්න ගියේ නෑ..


අපි ඔහේ ඇවිදගෙන ගියා. ඉර බැහැගෙන යන වෙලාවට මූදු වෙරළෙ තියෙන ලස්සන මම වින්දා. ඒත් එක මොහොතකට පන්සිළුගෙ ආදරේ මගේ හිතට මහා බරක් වුනා.ඒ බර හිත ඇතුළෙ යටපත් වෙලා තිබුණාට කොයිමොහොතක හරි ආයෙමත් ඉස්මතු වෙනවා..


ඒත් මට ඕනෙ වුණේ මේ දැනෙන පීඩනෙන් මිදෙන්නයි.පන්සිළු මට ආදරේ වුනත්, මට පන්සිළුට ආදරේ කරන්න බෑ.. මට පන්සිළුගෙ ආදරේ දැනුනාත්, පෙරළා පන්සිළුට ආදරේ කරන්න මගේ හිත මට ඉඩ දුන්නෙ නෑ.. ඉතින් තවමත් පන්සිළු මගේ ආදරේ බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.


"ඒයි... මොනාද නෙතූ කරන්නෙ? උඩ බලාගෙන තරු ගණන් කරනවාද?"


පන්සිළුගෙ කෑගැහිල්ලෙන් මගේ සිතුවිලි බිඳුනා.


"නෑ ..හලෝ.. මම මේ වළාකුළු ගැන්නා.. "


"ඒකත් හොඳයි.. හීන කුමාරයාසුදු අස්සයාගෙ පිටින් ඇවිල්ලා බහිනකන් ඇඟිලි ගනිනවාට වඩා , වළාකුළු  ගනින එක හොඳයි.."


පන්සිළු මට නෝක්කාඩුවට වගේ කිව්වා..මට දැනුනා මොහොතකින් මගේ කම්මුල් වලට ලේ පිරෙනවා.. දැන් කම්මුල් රතුවෙලා ඇති.. මගේ ඉවසීමෙ සීමාව පැන්නා. පන්සිළුට ඕනෙ වුනේ මම ආදරේ ප්‍රතික්ෂේප කල එකට මට රිදවන්නයි..


"ඔය ආයෙමත්... ඔයාට ඕන මගේ  හිත රිද්දන්නමයි..මම අස්සයෝ පිටින් කුමාරවරු ඇවිල්ල බහිනකම් ඇඟිලි ගනින්නෙ නෑ.. ගැන්නෙත් නෑ කවදාවත්.."
 මම හිතට ආව කේන්තියට එහෙමම කියාගෙන ගියා..


"ඇයි තරහා ගන්නෙ? ඇත්ත කියද්දි ඔයාට දුක හිතෙන්නෙ ඇයි? ඔයා ඇත්තට බයයි නෙතූ.. ඔයා ආස නෑ මේ ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න. ඔයාට ඕනෙ ඔයා මවාගත්ත ලෝකෙක ඔහේ ඉන්න."


"මම මවාගත්තු ලෝකයක් නෑ...මම යනවා මෙතනින් යන්න. ඔයා එක්ක කතා කරලා තේරුමක් නෑ.. කවදාවත් මේකෙ ඉවරයක් නෑ.."


"යන්න කලින් අහන්න මේ ටික.ඔයාට මාව ඕනෙ නෑ.. හරි. ඒකට කමක් නෑ..ඒක පැත්තකින් තියමුකෝ. ඒත්, ආදරේ කියන්නෙ ඔයා ඔය හොයන දේ නෙවෙයි. ඔයාට ඕනෙ  perfect match එකක්. ඔයා ඇත්තටම ආදරේ නම් හොයන්නෙ , ඔයාට කොන්දේසි, සීමා, මායිම්,මිනුම් දඬු තියෙන්න විදියක් නෑ..ඔයාට ආදරේ වෙනුවෙන් කැපවීම් කරන්න බෑ.. ඒ නිසායි ඔයා එහෙම කැපවෙන්නෙ නැතුව ඔයාටම ඕනෙ විදියෙ කෙනෙක් හොයන්නෙ.ඔයාට බෑ ආදරේ කරන්න. ඒකයි ඇත්ත."
මොහොතකට මට දැනුනෙ මගේ පපුවට පන්සිළු පිහියකින් අනිනවාදෝ කියලායි. ඒ තරමට ඒ වචන තියුණු වුනා.ඒත් මම ඒ තියුණු වචන වලින් රිදවගත්තුබව පන්සිළුට පෙන්නුවෙ නෑ.. මම දරාගත්තා..


"ඔයා ඕනෙ දෙයක් කියන්න. ඒත් මම දැන් ඉස්සර තරම් බොළඳ නෑ.. ඔය ආදරේ කියන වචනෙ පස්සෙන්  විතරක් එළවලා මට වුනු හොඳක් නෑ.. මම ජීවිතේ හුඟාක් තැන් වරද්දගත්තා විතරයි. ආදරේ විතරක් තිබිලා ජීවත් වෙන්න බෑ.. ආදරේ පවතින්න තව හුඟාක් දේවල් ඔනෙ.."


"මොනාද? ඔයා හොයන්නෙ? ඔයාට කෙනෙක්ගෙ පෙනුමට, තත්වෙට, බලයට, නිලයට,හිත ගියා කියන්න. ඔයා ආදරේ කරා කියන්න.ඒත් දවසක ඔය කියන භෞතික දේවල් නැති වෙන්නත් පුළුවන් නෙ?? එතකොට?"


" මම කෙනෙක්ගෙ නිලයට බලයට තත්වෙට පෙනුමට ආදරේ කරන්නෙ නෑ.. ඒත් ආදරේ දැනෙන්න ඕනෙ දෙයක්..මට ඔයාව දැනෙන්න ඕනෙ. ඔයා වෙනුවෙන් ජීවත්වෙන්න වගේම මැරෙන්නත් හිතෙන්න ඕනෙ. ඒක උමතුවක් වෙයි සමහරවිට.ඒත් මට ඕනෙ එහෙම..."


මම කකුළෙන් මූදු වෙරළේ වැලි හාරගෙන, තෙරපගෙන වචන පිට කලා. ඒක හිතේ තියෙන දුකද තරහවද , කළකිරීමද කියලා අඳුරගන්න බැරි හැඟීම පිටකරගන්න ලේසිම විදියක් වුණා.


"ඉතින් ඔයාට මාව දැනෙන්න ඕනෙ. එහෙම නැත්තම් ඔයා මාව කෙලින්ම ඔයාගෙ ජීවිතෙන් අයින් නොකර තියාගෙන ඉන්නෙ නෑනෙ..?? ඔයාට මාව නැති කරගන්න හිත දෙන්නෙත් නෑ.. එහෙමනේ?"
පන්සිළු වේගෙන් කියාගෙන ගිය සමහර වචන වලට මගේ හුස්ම වැදිලා තිබුණා කියලා මට හිතුණා. ඔව්.. සමහර මගේ සිතුවිලි එහෙම්ම පන්සිළුගෙ කටින් පිටවුණා.ඒ ඇස් ලාවට රතුවෙලා. හිතාගන්න බැරි තරම් ගැඹුරු පතුලක් නොපෙනෙන හිතක් තිබුණු පන්සිළුගෙ ආදරේ මට දැනුනෙ නැතුවමත් නෙවෙයි.. ඒත් මට කවදාවත් පන්සිළුට ආදරේ කරන්න තරම් එයාව දැනුණෙ නෑ..


"අනේ දෙයියනේ මම දන්නෙ නෑ ...මම දන්නෙ නෑ.. ඒත් මම දන්න එකම දේ, ඔයා මම හොයන කෙනා නෙවෙයි කියන එක විතරයි පන්සිළු....ඔය විදිහට මට ගරහන්න එපා..ප්ලීස්.. මම ආස වුනේ නෑ ඔයාගෙ හිත රිදවන්න. ඔයා වෙනස් කෙනෙක්. ඔයා අමුතුයි. ඔයාගෙ ආදරේත් අමුතුයි.. ඒත්... ඒත්.. ඒ ඔයා නෙවෙයි.. ඔව්.. මගේ හිතේ ඉන්න කෙනා ,ඔයා නෙවෙයි.."


ආපස්සට හැරිලා ආපු පන්සිළු මගේ උරහිසින් තද කරලා අල්ලගත්තා.ලා රතුපාටට හැරුණු ඒ ඇස් වලින් මගේ ඇස් වල පතුලටම එබුනු පන්සිළු දිහා බලන්න මට දුක හිතුණා. ඒ වගේම බයත් හිතුණා.


"ජීවිතේ කවදාහරි දවසක ඔයාට හිතෙයි, ඔයා හොයපු දේ ලැබුණාට ඇත්තටම ඔයාට ඕනෙ වුනේ මේ දේ නෙවෙයි නේද කියලා. ආදරේ කියලා නම දාගෙන ඉන්න ඔයාගෙ ඔය විහිළුව ,ඔයාගෙම ඇස් රතු කළොත්.....එදාට සමහරවිට ඔයාට මාව මතක් වෙයි.. මම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා...."


මගේ ඇස් වල ලාවට වගේ කදුළු පටලයක් ඇඳෙද්දි, පන්සිළු මාව අතෑරියේ මගේ ඔලුවත් හිමීට අතගාලයි.


"දැන් ඔයා යන්න නෙතූ.. දැන් යන්න. යන්න... මට මෙතන ටිකක් වෙලා ඉන්න ඕනෙ තනියම.."


"ඒත් පන්සිළු... ඔයා..."


"ප්ලීස් නෙතූ.. මම ඔයාගෙන් ඉල්ලන්නෙ අන්තිම වතාවටවත් මට මේ උදව්ව කරන්න..ඔයා මට ආදරේ කරන්න ඕනෙ නෑ..its Ok.මට පුළුවන් දරාගන්න. මම ඔයාව අමතක කරන්නම්.. දැන් සතුටුයිනෙ ඔයාට??ඒත් දැන් මෙතනින් ඔයා යන්න.. ප්ලීස්.....ප්ලීස්..."


කවමදාකවත් ජීවිතේදි කිසිම කෙනෙක්ට ගින්දරක් නොදීපු මට, පන්සිළු තනිකරලා යන්න යද්දි දැනුනේ මම මොහොතකට හරි වැරදිකාරියක් කියලා.මගේ ඇස්වල කඳුළු අලුත් වුනා. ඒත්, ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙනුත් මේ තරම් තැවෙන්න, දුක්වෙන්න මට වෙන හේතුවක් තිබුණෙත් නෑ.. මට එක මොහොතකට මාවම තේරුම්ගන්න බැරි වුනා.


ඒත් අවසානෙදි මම අමාරුවෙන් හරි පන්සිළුව තනි කරල ආපහු එන්න හැරුණා.ආපහු හැරිලා බලන්න හිත මුරණ්ඩු වෙන්න හැදුවත්,මම හිතුවක්කාරකමට ආපහු හැරිලා නොබලාම දිව්වා...

ආදරේ අකුරු හතරක්...
කවුරුත් නොදන්න තේරුමක්...
ගලපගන්න බැරි කවියක් වගේ,
තෝරන්න බැරි තේරවිල්ලක් වගේ,
හදවතේ ඇතිවෙන  දැවිල්ලක් වගේ,
මම දන්න එකම එක දේ,
ආදරේ කියන්නෙ  නම් ගින්නක් වගේ.......


                                         
                                           ෴ නිමි ෴


ප.ලි- කාලෙකට පස්සෙ පිස්සු කතාවක් ලිව්වා. :D සිතුවිල්ලක් පමණි තමා ඉතින්.. ඒත් එහෙම දාලා වැඩකුත් නෑනෙ... :/ 

Post Comment