නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

26 October 2012

හම්බ කරන්න පුළුවන් හොඳම වෘත්තිය, ගුරු වෘත්තිය!!!


මාතෘකාව දැක්ක ගමන් බය වුනාද?හම්බ කරගන්න පුළුවන් හොදම වෘත්තිය ගුරු වෘත්තිය කිව්වාම එකසැරේම ඔළුවට ආවෙ මොකක්ද?"හම්බ කරගන්න පුළුවන්" කිව්ව ගමන් ඉතින් කාට කාටත් ඔළුවට එන්නෙ දෙයියන්ගෙ මල්ලි වෙච්ච සල්ලි මිසක් වෙන මොනාද? ඒත් ඇත්තටම මම මේ ලිපියෙන් කතා කරන්න හිතුවෙ, සල්ලි හම්බ කරන වෘත්තිය කෙසේ වෙතත්, මිනිස්සු හම්බ කරගන්න පුළුවන් වෘත්තියක් ගැන.මිනිස්සු එහෙමත් නැත්තම් මනුස්සකම්, හම්බකරගන්න පුළුවන් වෘත්තියක් විදියට ගුරු වෘත්තිය හැඳින්වුවාට වරදක් නෑ නේද? 

ඇත්තටම ගුරුවරයෙක්, එහෙමත් නැත්තම් ගුරුවරියක් කිව්වාම ,අපිට අපේ ජිවිත කාලෙ ඇතුළතදි මොහොතකින් මතක් වෙන ගුරුවරු, ගුරුවරියෝ ඉන්නවා නේද? මගේ ජීවිතේ නම්, පාසැල් කාලෙ වගේම ඊට පස්සෙත් හමුවුණු ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ගුරුවරු" කියලා හඳුන්වන්න පුළුවන් කීපදෙනෙක් ඉන්නවා..

ඒ වගේමයි නේද ,ඒකෙ තවත් පැත්තකුත් තියෙනවා නේද? ළමයෙක්ට තමන්ගේ ජීවිතේ ඉගනීම කියන දේ එපා කරවන්න තරම් පවා හැකියාවක් ගුරුවරයෙක්ට තියෙන්න පුළුවන් කියලායි මම නම් හිතන්නෙ. මොකද ඒකට හොඳම උදාහරණයක් විදියට මගේ යාළුවෙක්ගෙම අත්දැකීමක් තියෙනවා. අපේම ඉස්කෝලෙ උසස් පෙළ කරන කාලෙදි,අපි උසස්පෙළට ආව මුල්ම කාලෙදි, එක්තරා ගුරුවරියකගෙ අසාධාරණ, අමානුෂික ,දැඩි ක්‍රියාකලාපය නිසා නිකරුණේ දඬුවම් විඳින්න සිද්ධ වුන නිසා, මගේ හොඳම යෙහෙළියක් ඉස්කෝලෙ ජීවිතේට සදහටම තිත තිබ්බා. අදටත් ඒ ගුරුවරිය නිසා, ඒ තත්වය ඇයට උදා වුනා කියන එක සහ කලකිරීම ඒ හිතේ තදින්ම තියෙනවා.

නමුත්, ගුරුදෙවිවරු වගේ ,අදහන්න වටින,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉගැන්වීම වෙනුවෙන්ම කැපවෙන බොහෝම ගෞරවාන්විත පිරිසක් මේ රටේ, මේ ලෝකෙ ඉන්නවා..ඉස්සර නම් සල්ලි කියන දේ මතම ගුරුහරුකම් යැපුණේ නෑ...තුටු පඬුරක් දීලා ගුරුවරු සතුටු කරපු යුගයකුත් තිබුණා. ඒත් ලෝකෙ දියුණු වෙද්දි,කාලය ගත වෙද්දි , හැමදේම දියුණු වෙද්දි,සල්ලි, එහෙමත් නැත්තම් මුදල් කියන එක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා හමාරයි..  අද වෙද්දි නම් මුදලට සරිලන විදියටවත් සේවය කරන පිරිස අඩුවෙලා තියෙනවා.. මුදල් පස්සෙම දුවන පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා..  ඉතින් එහෙම පරිසරයක, දෙවිවරු වගේ අදහන්න පුළුවන් පිරිස අඩු වෙන එකත් අරුමයක් නොවෙයි.

ඒත් මම ගෞරවනීය වෘත්තියක් විදියට ගුරු වෘත්තියට කැමතියි.. ඒ කවදාකවත්, සල්ලි වලට ගන්න බැරි ආත්ම තෘප්තියක් ගුරු වෘත්තිය තුළ හැංගිලා තියෙන නිසයි.ඒ වගේම ලේසියෙන් ලබාගනන් බැරි ගෞරවයක් , සමාජ පිළිගැනීමක් ගුරුවෘත්තිය තුල ගැබ් වෙලා තියෙනවා. හිතට එකඟව, අවංකව සේවය කරන, අවංකවම දරුවන්ගෙ දැනුම දියුණු කරන්න, ඉගනගන්න දරුවන්ට කිසිම අඩුවක් නොකර උගන්වන්න කැපවෙන ඕනෑම ගුරුවරයෙකුට නොමිලේම ලැබෙන ඒ ආත්ම තෘප්තියත් හරිම බලවත්.ඒ විදියට ගෞරවයෙන්, ආසවෙන් කැමැත්තෙන් උගන්වන ගුරුවරුන්ට පෙරළා ලැබෙන ගෞරවයත් මහා හුඟාක් ඉහළයි. අපි වුනත් ඉස්කෝලෙ කාලෙදි, බොහෝම කැපවීමෙන් මහන්සියෙන්, අවංකවම ළමයින්ගෙ යහපත වෙනුවෙන් වෙහෙසිලා කටයුතු කරන ගුරුවරුන්ට විශේෂ කැමැත්තක්, ගෞරවයක් දැක්වුවා. මගේ පාසැල් කාලෙදිත්, ජිවිතේ තුලත් එහෙම විශේෂ ගුරු මව්වරු, පියවරු හිටියා.

කොයි කාගෙත් ජිවිත වල , එක සැනින් මතක් කළාම මනසේ ඇඳෙන ගුරුවරයෙක් හෝ කීපදෙනෙක් ඇති. ඇත්තටම මම හිතන්නෙ ඔවුන් වාසනාවන්තයි.. ශිෂ්‍යයෙක්ගෙ, ඉගනගත්තු ගෝලයෙක්ගෙ ,හිත ඇතුලේ කාලාන්තරයක් යනකම් පැලපදියම් වෙන්න ගුරුවරයෙක් වාසනාවන්ත වෙන්නම ඕනෙ.. ඒ විතරක් නෙවෙයි, අනිවාර්යෙන්ම ඔවුන්  ඉගැන්වීම කියන කාරණාව තුළ බොහෝ දේවල් කළ අයෙක් වගේම, ජීවිතේටත් ලොකු අත්වැලක් සපයපු කෙනෙක් බවට පත් වියයුතුමයි.

උගන්වන විෂය කරුණු වලට අමතරව, ජීවිතේ ගැන, සාර්ධර්ම, යහපත් ගති පැවතුම්, සිරිත් විරිත්, වගේම අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් කරුණු කාරණා කියලා දෙන ගුරුවරුන්ට ළමයින්ගෙ හිත් තුළට හරි ඉක්මණින් ඇතුළුවෙන්න පුළුවන්.ඒ වගේම සාධාරණව තීරණ ගන්න, සමානාත්මතාව අගයන, සුදුස්සාට සුදුසු තැන ලබාදෙන ගුරුවරුත් නිබඳවම සිසුන්ගෙ ගෞරවාදරයට පාත්‍ර වීම ස්ථීරයි..ඒක නිසාමයි මම විශ්වාස කරන්නෙ "ගුරුවරයෙකු" කියන භූමිකාව තුළ, එම වචනය තුළ වුවත් විශාල කරුණු කාරණා ගොඩාක් අන්තර්ගත වෙලා තියෙන බව.

ගුරුවරයෙක්ට විශාල සමාජ ආශ්‍රයක් ලැබෙනවා. බොහෝ දෙනා ආශ්‍රය කරන්න, කත අබහ කරනන් වැඩකටයුතු කරන්න ලැබෙනවා. ඒකත් එක්තරා භාග්‍යක්.මොකද ගුරුවරයෙක් වෘත්තියෙන් විශ්‍රාම ගත්තත්, ලැබෙන ගෞරවය අඩුවක් නෑ.. බස් එහෙක ගියත්, රෝහලකට ගියත්, වෙනත් කාර්‍යක් වෙනුවෙන් , මොන ස්ථානයකට ගියත් ලොකු පිළිගැනීමක් ලැබෙන්න පුළුවන්. ඇත්තටම එහෙම ලැබෙනවා.ඉතින් බොහෝ පිරිසක්, විවිධ සමාජ මට්ටම් වල, විවිධ තාරතිරමේ අය සමඟ ගනුදෙනු කරන්න ඉඩ ලැබෙනවා.මේ හැමදෙයක්ම ගුරුවරයෙකු වීම තුළ ලැබෙන අමතර දේවල්. මුදල් හා සමානව ජිවිතේට වටින දේවල්.

මේ වගේ අවංකව සේවය කරන, දරුවන්ගෙ නැණස පාද ගුරුවරයෙක්ට, ගුරුවරියකට හරිම ලේසියෙන් බොහෝ දේවල් උපයගන්න, එහෙමත් නැත්තම් හම්බකරගන්න පුළුවනි.ආත්ම තෘප්තිය, ගෞරවය, පිළිගැනීම,සහයෝගය, උපකාර,වගේම මුදලුත්.

නමුත් අවංකව, සාධාරණව, කැපවීමෙන් වෘත්තියට ආදරෙන් මේ ඉගැන්වීම නොකළොත්,බොහෝ පිරිසකගෙ අප්‍රසාදයට ලක් වෙන්නත් ඉඩ ප්‍රස්ථාව නැතුවාම නෙවෙයි.

ඕනෑම වෘත්තියක් සාධාරණව, අවංකව කළොත් පෙරළා ඒ වෙනුවෙන් ගෞරවය ලබාගන්න පුළුවන්. නමුත් ගුරු වෘත්තියෙදි ඊටත් වඩා බොහෝ දේවල්, මිල කල නොහැකි තරම් වටිනා දේවල් ලබාගන්න උපයගන්න පුළුවන් කියන එකතමා මගේ අදහස.

අරුණැල්ල ලියන රැංගො මලයාත්, මෙවැනිම අත්දැකීමක් නිසා අමන්දානන්දයට පත්වුනු බවක් පහුගිය දවසක ලියලා තිබුණා. ඇත්තටම ඒ ලිපියත් මෙයට හොඳ සාක්ෂියක්.ඒ ලිපිය බලන්න   මෙතනින් යන්න.

ජය වේවා!!!!


Post Comment

17 October 2012

-ආදර කඳුළු 2 -

ආදර කඳුළු 1

අද කතාව එතැන් සිට.........



ජීවිතේ පළවෙනි වතාවට නොවුනත්, අද හිත පුරාවටම දැනුනෙ මහ අමුත්තක්.. මනමාලයෙක් බලන්න ආව පළවෙනි දවසෙවත් ඇති නොවුනු චකිතයක් වගේ හැඟීමක් හිත ඇතුළේ තියෙන වගක් දැනෙන්න පටන් අරන්... ඉස්සර කාලෙ විදියටම බුලත් හෙප්පුවක් අරන් මනමාලයා ඉස්සරහට නොගියාත්, අම්මා කියලා දුන්නෙ හිනා වෙලා ආයූබෝවන් කියන්න කියලායි..ඒකතමයි අමාරුම වැඩේ.. බුලත් හෙප්පුව දුන්නානම් බිම බලාගෙනම ඕක අල්ලලා මඟ අරින්න තිබුණා ඒ පළවෙනිම බැල්මවත්...

හිත මොන මොන දේවල් කිව්වාත් මම අමාරුවෙන් ඉස්සරහාට ගියා, ඈතදිම බිම බලාගෙන සැලෙන පය අමාරුවෙන් තිය තිය අම්මාත් එක්කම ඇදිලා ගියේ ඉබේටම වගෙයි.... තද කරගෙන ,බිමට බරකරගෙන තිබුණු ඇස් හිමීට ඔසවන්න දැන් දැන් වෙලාව හරි.... සාලෙ මැද සෝෆා එකේ වාඩි වෙලා උන්නු මනමාලයා ළඟට කිට්ටු වෙද්දිම මම ඔළුව උස්සලා මනමාලයා දිහා බැලුවා....

මොහොතකට මේ ඇස් .. ඒ ඇස් එක්ක පැටළුනා..පැහැදිලි ඇස් දෙකක්... මීට කලින් කවදාකවත් ,අපු කිසිම කෙනෙක් එක්ක ,පළවෙනිම බැල්ම මේ තරම් දිග නොවෙන්න ඇති.. ඔව්..කිසිම කෙනෙක් එක්ක මේ තරම් දිග හමුවීමක් වුනේ නැතිබව විතරක් නම් සහතිකයි.. හදවතේ ගැස්ම වැඩි වෙද්දි මම අමාරුවෙන් හිනා වෙලා ආයුබෝවන් කිව්වා. ආයෙමත් ඒ ඇස් වලට අහු නොවෙන්න කොහාට හරි පැනලා යන්න තිබූණානම්.... ඒත් කොහෙන්ද මට එච්චර වාසනාවක්...

"දැන් ඉතින් සාලෙ මැද වෙන්දේසි වෙන්න තමා තියෙන්නෙ." හිතින් මම මටම කියාගත්තා.. අම්මලා තාත්තලා කතා  බහ කරනන් පටන් ගත්තා.. ඒ අතරේ ආගන්තුක ඇස්, මගේ වටේ කරකැවෙනවා... අමාරුවෙන් මම වෙන අතක් බලන් උන්නෙ..

"ස්ස්ස්ස්.....ස්ස්ස්ස්...ස්ස්ස්ස්...." කෑම කාමරේ දොර අස්සෙන් පංචි "ස්ස්ස්.." ගානවා ඇහුණෙ ඔය අතරෙයි...

එහෙන් මෙහෙන් අංග චලන දම දම, පංචි අහන්නේ ,"මනමාලයා කොහොමද හිතට ඇල්ලුවාද" කියලා බව මට හොදටම තේරුණා.ඒත් මම නොතේරුණු ගානට පංචිට ඇද කරලා නිකන් උන්නා.

"දෙන්නාත් එක්ක ඉතින් කතා බහ කරලා දැන අඳුනගන්න.." හැමදාමත් සුපුරුදු වාක්‍ය අදත් අම්මාලගෙ කටින් කියැවෙන බව මම දැනන් උන්නා.. 

මෙච්චර කාලයකට කතා බහ කරන්න ඉස්සරවුනේ, ආව මනමාලයෝ  වගේ මෙදා සැරෙත් "එයා" ඉස්සර වුනා. 

"අපි එළියට යමුද?" උගුර පාදගෙන කාතා කරපු ඒ හඩේ තිබුනේ ලැජ්ජාශීලී ගතියකට වඩා හරිම සුහදශීලී ගතියක්...
"ම්ම්..." මම ඉස්සර වුනා..
 මම කෙලින්ම ගිහින් නතර වුනේ වත්තෙ කෙළවරකම බෝගන්විලා ආරුක්කුව යට තිබුණු බංකුව ලඟ.

"ඉඳගන්න.." මම ඒ ඇස් මඟ ඇරලා බොහොම හිමින් කිව්වා..
"ඔයාත් ඉදගන්න.." හුඟාක් ප්‍රසන්න, විනීත, තැන්පත් ස්වරයකින් එයා කතා කළා..
"මගේ හිත ඕනෑවට වඩා එයාට ලකුණු දෙනවා වැඩියි වගේ..." වාඩිවෙනගමන් මටම හිතුණෙ එහෙමයි..

"ඔයාද මේ මල් වවන්නේ??" අහපු පළවෙනි ප්‍රශ්නෙ නිසාම මම පුදුම වුනා..  මෙච්චර කාලෙකට ආපු හැමෝම ඇහුවෙ වෙන වෙන විකාර සමයන් ප්‍රශ්න.. ඒත් මෙයා..

"අපෝ නෑ.. මම මල් වලට ආස නෑ.. මල් වවන්නෙත් නෑ.. " හිතාමතාම මම එහෙම්ම උත්තර දුන්නා.

"හ්ම්ම්ම්ම්ම්... වෙරි ගුඩ්!! " මගේ ඇස් උඩ ගියා.. 

"ඔයා සාරිය ට ලස්සනයි.. " මගේ ඇස්දිහාම බලාගෙන එහෙම කිව්වාම, මාව ලැජ්ජාවෙන් ඇඹරිලා ගියා.ඒත් එ බවක් නොපෙන්වා ඉන්න මම උත්සාහ කළා.

"තෑන්ක්ස්ස්.. ඒත් මම සාරි අඳින්න දන්නෙ නෑ.. මේ අද ඇන්දුවෙත් මගේ යාළුවා.. ඔෆිස් යද්දි අන්දන්නෙ අම්මා..." මම ටිකක් සැහැල්ලුවට කියාගෙන ගියා..

"අහ්හ්හ් එහෙමද, වෙරිගුඩ්!! මම සාරි අන්දවන්න දන්නවා.. ඒ නිසා බය වෙන්නෙපා.. බැන්දාට පස්සෙ මට අන්දවන්න පුළුවන් ඔයාට.."

තුන්හිතකින්වත් හිතපු නැති කතාවක් , මටත් වඩා සැහැල්ලුවට අරන් කිව්ව හැටි...... මට හිනා යන්න ආවත් මම බැරෑරුම් බවක් මූණට මවාගත්තා..

"මම ඔයාව බඳින්න එපැයි ඒකට..., මම එහෙම දෙයක් කියලා නෑනෙ.. මම ඔයාව දන්නෙවත් නෑ..." මම නොසැලී කියවගෙන කියවගෙන ගියා..
"හරි ඉතින්, අපි දැනගමු,.. ඔයාට මොනාද දැනගන්න ඕනෙ?මමනම් දන්නවා ඔයා ගැන.." ඔහු කියවගෙන ගියා.

"මොනාද දන්නෙ ඔයා?"

'ඔයා සකුණි.. ඔයා හරිම හොදයි.. ඔයා ලස්සනයි.. ටිකක් සැරයි.. ඔයා බඳින්න කැමති නෑ..."

"හිහ්හ්හ්හ් හී...." මම හිනා වුනා නෙවෙයි මට හිනා ගියා...

"අප්පෙ... ආව වෙලේ ඉදන් ඔන්න දැන් තමා ඔයා අවංකවම හිනා වෙනවා දැක්කෙ.." 

මෙයානම් පුදුම චරිතයක්.. මීට කලින් කාත් එක්කවත් හරියකට වචනයක් වත් කතා නොකරපු මම, මෙයත් එක්ක කතා කරන්නෙ පුදුම සැහැල්ලුවකින්... මම මගේ හිතටම කියාගත්තා...
"ඔයාගෙ නමවත් අහගනන් බැරි වුනා. මම නම දන්නෙවත් නෑනෙ.."

"අහ්හ්හ්.. මම සසිත. සසිත දිසානායක."


"සසිත.... සසිඳූ......." හිත හොරාට මිමිණුවා..


 ආයෙමත් කැරකිලා නැවතුනේ සසිඳූ ලඟ....මොහොතකටවත් සැනසිල්ල අහිමි කරන සසිඳු ගැන, කවදාවත්ම වෛරයක්නම් ඇති වුනේ නෑ...., ආදරයක්ම මිස.

"මොනාද කල්පනා කරන්නෙ? මගේ නම අප්සට්ද? " සසිත ගෙ කටහඬින් මම ආයෙත් කල්පනා ලෝකෙන් බිමට බැස්සා.
"ඔයා කාටහරි, කවදාහරි ආදරේ කරලා තියෙනවාද? " 
සසිතගෙ ඒ ප්‍රශ්නෙන් නම් මම ගැස්සිලා ගියා.. කවදත් අවංකව කතා බහ කරන මට බොරුවක් කියන්න දිව නැමුනෙම නෑ.. මෙතනදිත් කොහොමටවත් මට බොරු කියන්න ඕනෙ වුනෙත් නෑ.. ඒ නිසා මම සසිතට ඇත්තම කිව්වා.

"ඔව්.. මම ආදරේ කලා. ආදරේ වින්ඳා.. ඒ වගේම විඳෙව්වා..ත්.." මම දුක වගේම කලකිරීම මුසු වෙච්ච පහත් හඬින් කියවගෙන ගියා. ජීවිතේ කවමදාකවත් මුණගැහිලා නැති, කතාබහ කරලා නැති, පළවෙනි වතාවට අදම අඳුරගත්ත ඒ ආගන්තුක හිත උඩට, මම කිසිම බයක් සැකක් නැතිවම හිතේ තිබුණු දුක් කන්ද අතෑරලා දැම්මා.. අතීතය හීනයක් වුනත්, මම ඒ හීනෙ ගැන මතක තැන් ,සසිත එක්ක කිව්වා.. අවසානෙදි සසිත කතා කළා.


" ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් සකූ.. ඔයා විතරක් නෙවෙයි.. හුඟාක් මිනිස්සු මේ ලෝකෙ ඉන්න, ආදරේ වෙනුවෙන් දුක් විඳිනවා.. විදලා ඇති.. සමහරවිට විදවලා විඳවලා එහෙම්මම මැරිලා යන්න ඇති.. ඒක හැටි ඉතින්.. මමත් ආදරේ කරලා, ඒ නිසා දුක් වින්ද කෙනෙක්..."


"ඔයා...??"

"ඔව්..මම... ඇයි වෙන්න බැරිද? මමත් අවුරුදු ගානක් ආදරේ කලා. ඒත්... අවසානෙදි මටත් වුනේ තනිවෙන්න.."

"ඉතින් තනිකම ඇති කියලා හිතුණා.. ඒ නිසා ආවා මනමාලියෝ බලන්න..??"

"හ්ම්ම්ම්.. එහෙමත් නෑ.. මම බලන්න ආපු පළවෙනි මනමාලි ඔයා.."

"බොරු.."

"නෑ.. ඇත්ත... ජීවිතේ සකූ ... ,අපි හිතන දේවල් ,අපි හිතන විදියටම වෙන්නෙ නෑනෙ.. අපි පහු කරගෙන පහු කරගෙන ඇවිල්ල ඇවිල්ලා, අන්තිමට නතර වෙන්නෙ.., අපි කවදාවත් නතරවෙන්න හිතපු තැනක නෙවෙයි සකූ.. ඒක ඇත්තක්.. "

 මෙයා නම් අහම්බයක්.... කෙඩෙත්තු වෙච්චි හිතට මහ අමුතු ජවයක් දැනුණා.. ජීවිතේදි එකම දුක් විදපු, එකම අත්දැකීම් වලට මූණ දීපු අයත් එක්ක ගෙවලා දාන්න ලේසියි... එහෙම අය එක්ක ගනුදෙණු කරන්න ලේසියි.. දෙන්නෙක්ට එකම විදියට හිතෙන්නෙ නෑ.. ඒත් ඒ වෙනුවෙන් කැපවෙන්න හිතන්නවත් පුළුවන් අය ඉන්නෙ කලාතුරකින්...සමාන අතීතයන් ඇති මිනිස්සුන්ට, වර්තමානෙ වගේම අනාගතේ ගෙවන්නත් ලේසියි...

හිත ආයෙමත් ටික ටික ඇදිලා යන්නෙ කොහාටද මංදා... 




කාලය ටිකෙන් ටික ගත වෙලා, මේ ආගන්තුක පිරිමි හිත දිහාවට මගේ හිත තල්ලු කලා වගේ දැනුනා. දවස පටන්ගනිද්දිම , දවස ගැන ඇති වෙලා තිබුණු කණස්සල්ල වෙනුවට අමුතුම හැඟීමකින් හිත වෙනස් වෙලා තිබුණා.. ජීවිතේ ගැන අලුතෙන් හිතන්න කියලා මගේ යටි හිත මට කොනිත්තා කොනිත්තා වද දුන්නා... 

වෙනදාට මනමාලයෙක් ඇවිල්ලා ගියාට පස්සෙ , අම්මාට මට කියන්න තිබ්බෙ එක දෙයයි.. ඒ මම ඒ ආව කෙනාට අකමැතියි කියන බව විතරයි.. ඒත් අද........ අද මමත් නොදන්න හේතුවකට මම ගොළු වෙලා.. පංචිගෙ තොරතෝංචියක් නැති ප්‍රශ්න හමුවෙ උත්තර දීලා හෙම්බත් වුනු මට, අවසානෙදි මට කියන්න තිබුණේ , මට උත්තරය්ක් දෙන්න තව ටිකක් හිතන්න ඕනෙ කියලායි.. මම එහෙම කිව්ව මොහොතෙ අම්මාගෙයි, පංචිගෙයි ඇස් වල තිබ්බ බලාපොරොත්තු සහගත බව නිසාම ඒ ඇස් දිළිසුණා.


"උඹ හොඳ තීරණයක් ගනිං කෙල්ලෙ.. මට විශ්වාසයි.. උඹට වරදින්නෙ නෑ...." අන්තිමට පංචි ගෙදර යන්න යද්දි මට කියලා ගියේ හරිම අවංකවමයි.. මම හිතට හිතන්න , නිවිසැනසිල්ලේ තීරනයක් ගන්න ඉඩ දීලා බලන් ඉන්න හිතුවා...කාලය ගත වෙලා යත්ම ජීවිතේට මොනවාමහරි හොඳ දෙයක් වෙයි කියලා මගේ යටි හිත කිව්වා..
---------------------------------------------------------------------------------------
සඳුදා දවස කියන්නෙ කොහොමටත් කාර්යබහුලම දවසක්. උදේ ඔෆිස් ගිය වෙලාවෙ ඉදන් ආපහු ගෙදර එනකම් ම එක දිගටම වැඩ. වෙනදාටනම් සඳුදා දවස ගැන තියෙන්නෙ පුදුම නොරිස්සුම්සහගත බවක්. ඒත් ඒත් අද උදේ ඉඳන් වැඩ කරගෙන ගියේ හරිම සැහැල්ලුවෙන්.. බලාපොරොත්තු සහගත ජීවිතයක, වෙහෙසයි මහන්සියයි කියන දෙක දැනෙන්නෙ නැති බව හැබෑවක් නේද කියලා මට හිතුණෙ එතකොටයි.. යාන්තමට හිත ඇතුලෙ නළියන බලාපොරොත්තුවක හෙවනැල්ල මගේ ජීවිතේට වැටිලා නිසාදෝ, මම වෙනදාට වඩා සැහැල්ලුවෙන්, හීනි සතුටකින් කල් මැරුවා..

හැන්දෑවෙ ගෙදර එන ගමන්,නුගේගොඩින් බැහැලා නොලිමිට් එකට යන්න හිතුණේ, කාලේකින් ඇඳුමක් ගත්තෙ නෑ නේද කියලා මතක් වෙලායි.. ජීවිතේ අලුතෙන්ම පටන් ගන්න තියෙනවානම්, අලුතෙන්ම ඇඳුමක් අඳිනවා වගේ ජිවිතෙත් අලුතෙන්ම ඈඳාගන්න තියෙනවානම්.... මම හිමින් සැරේ ලේඩීස් ඇඳුම් තියෙන අංගනයට ඇතුල් වුනා..

"දෙයියනේ..............."  මට කියැවුනා.. ඇතුල් වෙද්දිම දුටුව දර්ශනෙන් මාව වෙව්ලලා ගියා..  ජීවිතේ කවමදාකවත්, පණට පණ දීගෙන ආදරේ කරපු කෙල්ලෙක් හීනෙකින්වත් දකින්නෙ නැති දර්ශනයක්. ඒ තරමට අවාසනාවන්ත මට සිද්ධ වුනා ඒ  අවස්ථාවට මූණ දෙන්න...

ජීවිතේ එක යුගයකදි හමුවුණු, හොඳම පිරිමි හිත. මුළු ලෝකෙම කියලා හිතාගෙන ආදරේ කරපු සසිඳූ...... කෙල්ලෙක් එක්ක ඇඳුම් තෝරනවා.. තවත් හිටගෙන ඉන්න කකුල් වාරු නොවුනු මම දැන් වැටෙයි , දැන් වැටෙයි කියලා බයටම බිත්තියක් අල්ලගත්තා.. ඇස් වලින් කඳුළු කැට තෙරක් නැතුව වැටෙද්දි මම පඩි පෙළ බැහැගෙන දුවගෙන දුවගෙන එළියට දිව්වෙ දරාගන්න බැරිම තැනයි.. කකුල් වාරු නැතිව පැටළෙද්දිත්, මම හිත හයිය කරගෙන දුවලා ගිහින් බස් එහෙක එල්ලුනා... 

"ජීවිතේ කියන්නෙ මේකට සකුණි..උබ හිත  හදාගනින්" මගේ හිත මාව වැලැක්වුවා. ඒත් කිසිම දවසක දකින්න බලාපොරොත්තු නොවුනූ ඒ දර්ශනෙන් මාව කම්පනයට පත් වුනා.. ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වුනත්, මට සසිඳුට වෛර කරන්න බෑ.. ඔව්.. කවදාවත් බෑ.. ආදරේ කරපු කෙනෙක්ගෙන් පළිගන්න බෑ......

" මම මගෙන්ම පළිගන්නවා..." වෙන කරනන් දෙයක් නෑ....

"නෑ.. ඇත්ත... ජීවිතේ සකූ ... ,අපි හිතන දේවල් ,අපි හිතන විදියටම වෙන්නෙ නෑනෙ.. අපි පහු කරගෙන පහු කරගෙන ඇවිල්ල ඇවිල්ලා, අන්තිමට නතර වෙන්නෙ.., අපි කවදාවත් නතරවෙන්න හිතපු තැනක නෙවෙයි සකූ.. ඒක ඇත්තක්.. " මට සසිතගෙ වචන දෝංකාර දුන්නා.

ආදරේ කරපු පළියට මෙහෙම දඬුවමක් විඳින්න වෙයි කියලා හීනෙන්වත් නොහිතපු මම , බස් එකෙන් බැහැලා පයින් යන්න වාරු නැතිකමටම ත්‍රිවිලයක නැගලා ගිහින් ,ගේ ලඟින් බැහැගත්තා..අමාරුවෙන් වාවගෙන ,දරාගෙන ආපු මම, ගෙදරට ගොඩ වුණු කලබළෙ දැකපු අම්මාටත් පුදුමයි..
"මොකද දූ මේ??අද ත්‍රීවිල් එහෙකින්ම ආවෙ..? මුකුත් අසනීපයක්වත්ද?"

"අම්මේ.. මම අර කටයුත්තට කැමතියි.. ඒ මිනිස්සුන්ට  කියන්න මම කැමතියි කිව්වා කියලා........" කියපු මම ,කඳුළු හංගගෙන එහෙම්ම ගේ ඇතුළට වැදුනා..



රිදෙන වැලපෙන හිත,
දැන් නම් බිමටම බර වෙලා...
දරාගන්න බැරි තරම්
සිතුවිලි හිත පුරා අවුලලා...
නුඹ දුන්නු දුක් ගිනි
ආයෙමත් හිත ඇතුලෙ අතුරලා..
අනේ ඇයි මන්දා
මගේ බොළද හිත නැවතිලා....

                                           ~ නිමි ~


ප.ලි- කට්ටිය එක එක අනුමාන කරලා තිබ්බා.. ඒත් අවසානය නම්...... ;) ඔන්න මට බැනුම් එහෙම අහන්න වෙන එකක් නැති වෙයි කියලා හිතනවා... :P :P

Post Comment

15 October 2012

-ආදර කඳුළු-

උදේ පාන්දරම ඉදන්ම වැටෙන චුරු චුරු වැස්ස නිසා අද තියෙන්නෙ අමුතුම සීතලක්. ඉස්සර ඉඳන්ම නිවාඩු දවසට, පාන්දරට වහිනවාට මම පුදුම විදියට ආස කළා. ඒ වෙන මොනවත් හින්දා නෙවෙයි.. සීතලට ගුලි වෙලා නිදියන්න පුළුවන් නිසායි. නිවාඩු දවස නිසා අම්මාගෙනුත් කරදරයක් නැති නිසා, උදේ 6 විදියට සටහන් වුනු එලාම් ඔරලෝසුව පැත්තකින් තියලා මම ආයෙමත් ඇස් දෙක පියාගත්තෙ හොදට නිදාගන්න හිතා ගෙනයි. ඒත් කුස්සියට කිට්ටුවෙන් තිබුණු මගේ කාමරේට ආපු සුවඳට ආයෙමත් මගේ ඇස් ඇරුණා. 

"අද නිවාඩු දවස වෙලාත් අම්මා මොකද උදෙන්ම නැගිටගෙන?" කල්පනාවට ආවෙ එතකොටයි. පොඩ්ඩක්වත් මතකෙ නොතිබුණු කාරණාව මතකෙට ආවෙත් ඒ එක්කමයි. මොහොතකට හිත පුරා ඇතිවුණේ කණස්සල්ලක්. සීතලට ගුලිවෙලා නිදියන්න ලෝබවුනු මගේ හිත, අද දවස ගැන මතක් වුනු ගමන් ඇකිළුණා.හිත අවුරුදු ගාණක් ආපස්සට දුවලා ගියේ එක ක්ෂ්ණිකවම..  හරියටම මීට අවුරුදු 6කට කලින් එහෙම නොවුනානම්............. අද වගේ දවසක් කවදාවත් උදා නොවෙන්න තිබුණා.. කාලෙ ආපස්සට ඇදලා ගන්න තිබ්බානම්, ආයෙත් අතීතෙට යන්න තිබුණානම්, ඒ අතීතෙම කාලය නතර වුනානම්...හිත  එකින් එකට අතීතෙ ගැන මතක ගොනු කලා....

"ආ.......... හොර පූසි!! නැගිටපන් නැගිටපන්..... පස්ස පැත්තට එළිය වැටෙනකම් මනමාලියෝ ඔහොම නිදා ගන්නවාද ආ??"

මගේ කල්පනා ලෝකෙ කඩා ඉහිරවගෙන කාමරේට කඩන් පැනපු මගේ අතිජාත මිතුරිය වෙච්චි පංචි නොහොත් පංචාලි කෑගහන්න පටන්ගත්තා.

"අයියෝ..... මොකක්ද බං මේ පාත් වෙච්ච මරාලෙ.? අද සෙනසුරාද වෙලා උඹට නින්ද යන්නෙ නැද්ද බං? අනික කවුද මනමාලි?"

"ආව්ව්.. මේකි බලහල්ලකෝ..  දැන් මේ උඹේ මඟුල් හින්දා තමා අපිටත් නින්දක් නැත්තෙ. සැපට දුකට දෙකටම ඉන්න අපි නැතුව උඹට ඉන්නෙ වෙන කවුද යාළුවො? හා කියපන් බලන්න.."

"හප්පොච්චියේ.. හරි හරි ඉතිං.... මම නෑ කිව්වෙ නෑනෙ..ඉස්කෝලෙ එකවසරේ ඉදන්ම මගේ ඕනෙ මගෝඩි වැඩකට හිටියෙ උඹලා ටික තමා ඉතිං...මම කිව්වෙ මේ උදේ පාන්දර කඩන් පාත් වුනෙ එක ගැනනෙ බං.."

"ඒවා කෙල්ලෙ උඹලාගෙ අම්මාගෙන්ම අහගනින්.. අම්මා තමා මට ඊයේ කෝල් කරලා කිව්වෙ. උඹව බලන්න අද මනමාලයෙක් එනවාය, ඒ නිසා මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා උඹගෙ දෙවෙනි මනමාලි වෙන්නය කියලා.."
"ශැහ්හ්හ්.. අපේ අම්මාටත් දෙවෙනි මනමාලිට ගන්න වෙන එකියක් හිටියෙම නැද්ද හෆ්ෆා..."

"අනේ පල. උඹට බයයි නේ?? ඊ..ර්ෂි‍යායි.... නෙ??"

"ආ.. අනේ මට වැඩේමයි.. මම මොකට ඊර්ෂ්‍යා කරනවාද හෆ්ෆා.."

"ඇයි බං.. මනමාලයා උඹව බලන්න ඇවිල්ලා මට කැමති වුනොත් එහෙම?"

දෙන්නාම හිනා වුනේ මහා සද්දෙන් එකසැරේට. ආයෙත් ඉස්කෝලෙ කාලෙ මතක් වුනෙත් ඉබේටමයි. 

"අම්මෝ.. ඒකනම් කියලාවත් කරගන්න බැරි වැඩක්.. " මම ඇඳ උඩ තිබුණු කොට්ටෙකින් පංචි ට දමලා ගැහුවා...

" හා හා.. එව්වා පස්සෙ .. නැගිටලා වරෙන් එළියට.. මට නම් බඩත්ගිනියි.. මම යනවා කුස්සිය පැත්තට.. ඇන්ටිගෙ හොද්දෙ සුවඳ හමනවා පාර දිගට.."

පංචි හිනා වෙවී කුස්සිය පැත්තට දිව්වා. තැක්ගැහි ගැහි, හැංගිමුත්තම් කරපු මගේ බිඳුනු හිතයි, අද දවසෙ තියෙන කනසල්ලයි , මේ දෙකම ටිකක් හරි නැති කරන්න, පංචි ආව එක ලොකු දෙයක් කියලයි මට දැනුණේ.පංචි කියන්නෙ මගේ ඉස්කෝලෙ කාලෙ ඉදන් ඉන්න අතිජාත මිතුරියක්.. උපන්දා ඉදන් ගතවුනූ මේ අවුරුදු 25 ඇතුළේ, මගේම කියලා බඩේ බැදගෙන, පපුවෙ තියාගෙන ආශ්‍රය කරන්න පුළුවන් විදියෙ යාළුවො හම්බුණේ බොහොම ටික දෙනයි. ඒත් හතක් අටක් විතර. ඒ හැමෝම ඉස්කෝලෙ කාලෙ යාළුවො විතරයි. 

ජීවිතේ සැපේදි, දුකේදි දෙකේම ඉන්න, ඕනෙම කරදරයකදි දේවදරුවො වගේ පිහිටට ඉන්න, කවදාහරි ජීවිතේට ඉතුරු වෙන්නෙ ඉස්කෝලෙ කාලෙ යාළුවො විතරමයි.කිසිම රහසක්, බොරුවක් නැතුව, අවංකවම හදවතින්ම ආශ්‍රය කරන්න පුළුවන් යාළුවො මුණ ගැහෙන්නෙ ඉස්කෝලෙ කාලෙදිම විතරමයි. ඊටපස්සෙ හමුවෙන හුඟාක්ම දෙනා අපිට ළං වෙන්නෙ මොකාක්ම හරි වෙන අරමුණක් පස්සෙ දුවන ගමන්, අපිව ඒ අරමුණු වලට ඈඳාගන්න බලාගෙනයි. එහෙමත් නැත්තම්, ලස්සන පාට ගාපු වෙස් මූණක් දාගෙන සැබෑ මූණ හංගගෙනයි.. ඒ නිසාමද කොහෙද මගේ ජීවිතේ ඉස්කෝලෙ කාලෙ ඉදන් උන්නු යාළුවො ටික හැරුණාම, අනිත් අතරමගදි හමුවුණු බොහොමයක් පුහු ආටෝප චරිත, යාළුවො කියලා නමට උන්නු අයව මම අතහැරියා.. සමහරුන්ව අතේ දුරින් තියාගත්තා.. ඒත් පංචාලි, මිලානි, ගයේෂා, අචින්තා, නිමේෂා, අරුන්දි වගේ , මගේම සහෝදරියෝ  වගේ දැනුනු ටික දෙනා ජීවිතේ ඉහළින්ම තියාගත්තා. අදටත් මගේ හිතේ උන් වෙනුවෙන් තියෙන්නෙ ලොකුම ලොකු ඉඩක්.

"සකූ.... උඹ එන්නෙ නැද්දෝ......" 
පංචි කුස්සියෙ ඉදන් ආයෙමත් බෙරිහන් දෙන සද්දෙට මම ඇඳෙන් බැස්සා. කණ්නාඩිය ඉස්සරහාට ගිය මට පෙණුනෙ මනමාලියෙක්ගෙ මූණක තියෙන සිරියාව, ඒ මනමාල පාට, බලාපොරොත්තු සහගත බැල්ම, පෙම් පාට මගේ මූණෙ නම් බිංදුවක්වත් ගෑවිලා නෑ කියලායි. අදින් අවුරුදු 6කට කලින් , මිනීපෙට්ටියක දාලා සදහටම වළදාපු මගේ ප්‍රථම ප්‍රේමයත් එක්කම මගේ ආදර හිතත් මැරිලා ගියා.. ඊටත් පස්සෙ ගතවුනු මේ අවුරුදු 6ටම වෙන කිසිම පිරිමි හිතකට බැරිවුණා මගේ මැරිච්ච හිතට පණ ගන්න.අම්මාට  ඕනෑවට , අම්මාගෙ හිතට සැනසීමක් දෙන්න කියලා හිතාගෙන අම්මලා කතා කරන කරන මනමාලයොන්ව බලලා , මොකක් හරි ඇදයක් කියලා මඟ හරින එක මගේ පුරුද්දක් වෙලායි තිබ්බෙ.හදවතින් බැඳිමක් නැති නොවී, ගෞරවයක් ඇති නොවී, ආදරයක් ඇති නොවී බලෙන් හිතට දාගත්තු හැඟීමක් එක්ක ජීවිත කාලයක්ම එකට ඉන්න , මැරෙනකම් කැපවෙන්නෙ කොහොමද කියලාවත්, ඒකට හිත හදාගන්නෙ කොහොමද කියලවත් මම දැනගෙන උන්නෙ නෑ..

අද එන්නෙත් මාව බලන්න එන 7 වෙනි මනමාලයා."ඔන්න ඔහේ අදත් මොකක්හරි කරලා එනවිදියකට මූණදෙනවා.." කියලා හිතාගෙන මම කොණ්ඩෙ පීරගෙන කුස්සිය පැත්තට ගියා..

"ආ.. කුමරිය.. වඩින්න.. වඩින්න...." පංචි  කැබිනට් එකේ තිබුණු පිඟන් කෝප්ප එළියට ගන්න ගමන් මට කතා කළා.

"බලන්නකෝ ඇන්ටී, මේකිට කිසිම ගානක් නෑ.. ඇන්ටිනම් මේ මඟුල් ගෙදරකට වගේම කෑම හදනවා..දැන්ම මෙහෙමනම්, මඟුල තීන්දු වුනොත් කොහොම වෙයිද?"

"අනේද කියන්නෙ පංචාලි... මෙයාට කිසිම ගානක් නෑනෙ.. හැමදාම එන එන කෙනාගෙ මොකාක් හරි ඇදයක් කියලා මඟ අරිනවා.. මෙයා හින්දා මට සැනසීමක් ඇත්තෙම නැහැනෙ..කවදහරි සැනසිල්ලෙ මැරෙන්නවත් එපැයි මෙව්වා එකලාසියක් කරලා.."

"අම්මාටත් ඕනෙ මාව ඉක්මණට කාට හරි තල්ලුකරලා දාන්න නේද? මට තාම 25යි. අම්මා බය වෙලා ඉන්නෙ මම නාකි වෙලා වගේනෙ.."
මම හිතට ආපු ආවේගයයි, දුකයි දරාගෙන හිමීට වචන පිට කළා.

"ඉතින් දරුවෝ, අපි කියන්නෙ නෑනෙ අපි කියන කෙනෙක්වම බඳින්න කියලා. ඔයා කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න කියලා අපි කිව්වෙ.. ඒත් නෑනෙ.."

"අම්මා කියන එකත් ඇත්තනෙ බං.. හැමදාම උඹට, මට, අපිට මෙහෙම ඉන්න බෑනෙ... උඹටත් කලදවසක් තියෙන්න ඕනනෙ. අම්මලා බයයිනෙ බං.. තේරුම්ගනිං.."

"මට නොතේරෙන්වා නෙවෙයි බං.. ඒත් හැමදේම අමතක කරලා දාන්න මම මැරිලා ඉපදිලා නෑ.. උඹලාට අවුරුදු 6ක් කියන්නෙ මහ කාලයක් වුනාට , මටනම් අද ඊයේ වගේ.. උඹ හැමදේම දැ..න.....ගෙ...නත්......"

ඇඬුම් පාලනය කරගෙන උන්නු මට තවත් දරාගන්න බැරි තැන දුවගෙන ගිහින් නානකාමරේට වැදිලා දොරවහගන්නවා හැර කරන්න වෙන දෙයක් තිබුණේ නෑ..

අවුරුදු 4ක ආදර අතීතය..දිවිහිමියෙන් රැකගත්තු ආදර පොරොන්දු.. අහස උසට තනපු හීන මාළිගා... ඇහැට ඇහැ තියන්, නළලට නළල තියන් ජීවිතේ වින්ඳ අතීතෙ..,කවදාවත් දාලා නොයන්න කියලා ඔළුවෙ අතගහලා දිව්රපු ප්‍රේම පුරාණෙ... හොරු ගෙනෙච්ච මගේ ආදරේ........ආදරේ නාමෙන් ඔයාගෙ නොවුනොත් වෙන කාගෙවත් වෙන්නෙ නෑ කියලා කියවපු බොළද වුනත්, අහිංසක කතා...., ඒ හැම දෙයක්ම අමතක කරන්න මට තවමත් බැරි වුණා..ඔව්.. ඔයාව නැති වෙලා අවුරුදු 6ක් ගිහිල්ලත් මට තවමත් ඒක හීනයක් වගේ.. නපුරු හීනයක් වගේ මට අහිමි වෙලා ගියපු මගේ ආදරේ.. මගේ..සසිඳු.... අද එයි..හෙට එයි.. කියලා බලන් උන්නා.. ඒත්, අද වෙනතුරු කවදාවත්ම ආවෙ නෑ.....ඒත් කවදා හරි ඒවී කියලා විතරක් බලාපොරොත්තුවක් හිතේ කොනක තවමත් ඉතුරු වෙලා තියෙනවා....

"සකුණි... උඹ ඕක ඇතුළෙ පැල වෙලාද බං... ? ඉක්මණින් වරෙන්.. කාලා බීලා සාරිය අඳින්නත් ඕනෙනෙ.."

ආයෙමත් මගේ දැහැන බිඳුනේ, අතීතෙන් මිදිලා වර්තමානෙට ආවෙ පංචිගෙ සද්දෙටයි.. හෝ ගාල ඇරලා දාලා තිබුණු ටැප් එකෙන් කඳුළු වලින් පෙඟීච්ච මූණ හෝදගත්තු මම  කණ්නාඩියට මවාගත්තු හිනාවක් දාලා විරිත්තුවා.. මොහොතකට මට හිතුණේ මම විරිත්තුවෙ මටද, මගේ අතීතටද, නැත්තම් අනාගතේටද කියලායි...

-------------------------------------------------------------------------------------------
"ආව්.වාව්ව්..... ඔය ඉන්නෙ ලස්සනට... ලස්සන සාරිය.. පාටත් නියමයි.. උඹට ගානට ගැළපෙනවා... "

පංචි මට සාරිය අන්දවලා හැඩ බලනවා....ඒත් මට නම්.... කිසිම ලස්සනක් පෙනුනේ නෑ....මේ හැඩවෙන්නෙ ආදරේ වෙනුවෙන් නම්, හදවතේ ගැඹුරුම පතුලෙන්ම එන හැඟීමක් වෙනුවෙන් නම්..,ලස්සනට අඳින්න, ලස්සනට හැඩ වෙන්න, ඒ වෙනුවෙන් පේවිලා මඟ බලන් ඉන්න තිබුණා. ඒත්....මේ පේවෙන්නෙ එහෙම  බැඳීමක් වෙනුවෙන් නෙවෙයිනෙ.....

"මොකක්ද බං.... පොඩ්ඩක් හිනා වෙලා හිටපන්කෝ..උඹ නිකන් ඉන්නෙ මළගෙයක් වෙලා වගේනෙ.. අතීතෙ කියන්නෙ අතීතෙ..උඹ ඔය අතීතෙ  අතීතෙ විදියටම තියෙන්න දීලා මේ අනාගතේ ගැන හිතපන්කෝ..."

"අනාගතයක් තියෙන්න ,හොද අතීතෙකුත් තියෙන්න එපැයි බං.."

"ඔන්න කිව්ව අමු ගොන් කතාවක්...ලස්සන අනාගතයක් තියෙන්න හොඳ වර්තමානයක් තිබ්බාම ඇති..දැන් ඔය බහුබූත ඇති..ඇන්ටිත් පවු බං... මට අද එන්න කිව්වෙත් උඹේ ඔය හිතවත් පොඩ්ඩක් පාදන්න කියලායි..පොඩ්ඩක් හිතපන් මේ සැරේවත්.."

" හිතන්න හිතෙන්න  එපැයි ඉතින්...."

" හැම කොල්ලාම, හැම මිනිහාම එකවගේ නෑනෙ.. උඹ උඹේ ජීවිතේට කෙනෙක්ට එන්න දීපන්.. උඹ කාටවත් ලං වෙන්න නොදී කොහොමද?"

" අනේ මංදා ..මට තේරෙන්නෙ නෑ.."

"තේරෙන්නෙ නෑ නෙමේ උඹට උවමනාවක් නෑ.. උඹ හැමදාම ගිය එකා ගැනම හිත හිත, ඒක මතක් කර කර තැවෙනවා..  ගිය එකා ගියා.. උඹ අඬලා වැඩක් නෑ බං.. දැන්වත් පොඩ්ඩක් හිතපන් උඹ ගැන..."

"දුව...... කෝ... ලෑස්තිද? අන්න අර කට්ටිය ඇවිල්ලාද කොහෙද...."
අම්මා කාමරේට එබුනේ එතකොටමයි...මෙහෙම අවස්ථා කීපයකටම මූණදුන්නාත්, හිත අදත් ආයෙමත් ගැස්සුනා...

"හරි ආන්ටි.. මනමාලී රෙඩී.. ඇස්වහක් කටවහක් නෑ.. කෙල්ල ඉන්නෙ නිළිය වගේ.. ඒත් හිනාව තමා අප්සට්.." පංචි කිව්වා..

"පොඩ්ඩක් හිනා වෙලා හිටපන්කෝ..ප්ලීස්...ප්ලීස්...අදවත්...."

"හ්ම්ම්ම්..." මම යාන්තමට හිනා වුනේ හිනා නොවී බැරි නිසායි..

හිනා වෙන  එක කවදත් අවංකවම හිනා වුනු මට, බොරුවට හිනා වෙන එක තරම් තවත් අමාරු වැඩක් තිබුණෙම නැති තරම්.. හිත ඇතුළෙන් මහා ගින්නක් ඇවිලෙද්දිත් හිනා වෙලා තවත් අයව රවට්ටන්න මට හිත දුන්නේ නෑ.. ඒත්.... අද දවසත් අම්මාලාගෙ බලාපොරොත්තු සුන් කරන්න බැරි නිසා.. මට හිනා වෙලා මේ අවස්ථාවට මූණ දෙන්නම වෙනවා....

"හා..හා.. මනමාලී..දැන් ඔක්කොම අමතක කරලා.. හිනා වෙලා.. හොද හුස්මක් අරන් යමන් ඉස්සරහට..."

ඉහළට ගත්තු හුස්ම පහළට දාගන්න බැරි තරමට අදනම් හිතට හරිම වෙහෙසයි.. අද අගේ දවසක් සසිඳූ වෙනුවෙන් උදා වුනානම්...... හිත ආයෙමත් හීල්ලුවා.... එහෙනම් මෙහෙම ගිනි උහුලන්න ඕනෙ නෑනෙ...


මොනවා නැතත් මේ ජීවිතේට,
අඩන්න පුරුදු කලා ඔයා මට,
මහ මුහුද තරම්...
නිල් අහස තරම්...
ආදරේ දුන්නු ඔයා තරම්...
වෙන කවුරුත් ඉගැන්නුවෙ නෑ මේ තරම්,
අඬන්නෙ කොහොමද කියලා මට,
ඔයා තරම්........

ආයෙත් හිත එකලාසියක් කරගෙන ඉස්සරහට යන්න පය තිබ්බා.. ඒත් පුදුමයි.. වෙනදටනම් මෙහෙම වෙලාවට මගේ හිත මාව අදින්නෙත් පස්සටමයි.. ඒත් අද..... අද හිත කියන්නෙත්.." සකුණි උඹ ඉස්සරහට පලයන්.. ගිහින් උඹේ අනාගතේට මූණ දීපන් " කියලාමයි..

අම්මාගෙ විධානයත් එක්ක මම ඉස්සරහට යන්න පෙරමුණ ගත්තා....

                                       ~ මතු සම්බන්ධයි ~


ප.ලි- කාලෙකින් කෙටි කතාවක් ලියන්න ගත්තා.. ඒත් දිග වැඩි වුනානෙ.. සමාවෙන්න ඕනෙ.. ඉතුරු කොටස ඊළඟ කොටසින් දාන්නම්...:D

Post Comment

06 October 2012

ආශ්චර්‍ය අත ළඟයි......


ශා......... මේ නගරේ තියෙන ලස්සන.. දකින අයගෙ නෙත් සිත් පිනා යන තරම් සුන්දරයි.. පිරිසිදුයි.. ඒ වගේම දියුණුයි.බැලු බැලු අත Walking Park..ලස්සනට වවපු බෝගන්විලා පෝච්චි පාරවල් දිගටම. උදේ පාන්දරට, සීට් ගානට විතරක් සෙනඟ වාඩි වෙලා යන බස් එකේ යද්දි පුදුම ලස්සනක් තියෙන පරිසරයක්  දකින්න පුළුවන්.අවුරුදු 30ක් තිස්සෙ යුද්ධෙට නැහුණු අපේ වීර කොල්ලො ටික දැන් නැහෙන්නෙ  ආශ්චර්‍ය වෙනුවෙන්...පරණ ගොඩනැගිලි ටික, පාරවල් ටික, පිට්ටනි ටික, මේ ඔක්කොම ටික ගොඩදාලා දෙන්න තමා දැන් යුද්ධ කරන්නේ..ඒකත් හොඳයිනෙ.. රටක් වුනාම දියුණු වෙන්න එපැයි...

අවුරුදු ගාණක්ම පරණ මහ විශාල ගස් කපලා දාලා මංතීරු දෙකේ පාරවල්, මං තීරු 4ක් කරලාත් ඉවරයි..දියවන්නාවෙන් වටවෙච්චි අරුම පුදුම ගොඩබිමේ රාජකාරි කරන ඇත්තොන්ට, ජනතාවට සේවය කරන්න, රාජකාරි කටයුතු නිසා ඉගිල්ලෙන්න ඉඩ හදන්න එපැයි.;) ඉතින් කොළඹ හතේ  පාරවල් ලොකු නොකර කොහොමද?කොහොමටත් දැන් වාහන තදබද ඇත්තෙම නෑ..අපිට ගුවන් පාලම් තියෙනවා,අධිවේගී මාර්ග තියෙනවා..ඉතින් මොන අපිට මොන ප්‍රශ්නද...?සෙල්ලම් නෑ.. දැන් අපි  ආශ්චර්‍යට හරිම ළඟයි......

පිටරැටියොන්ට පින් සිද්ධවෙන්න , විශ්ව විද්‍යාල වලයි, රටේ වෙනත් අධ්‍යාපන ආයතන වලයි උපාධි උත්සව ටික,එතකොට...,ජාතික ප්‍රදර්ශන, සම්මාන ප්‍රධානෝත්සව ටික,සංදර්ශණ.. එකී මෙකී නොයෙක් උත්සව බහුතරයක් පැවැත්වුනේ B.M.I.C.H එකේ.. ඒත් දැන් අපිට අපේම කියලා  තැනක් තියෙන්නෙ..උත්සව පවත්වන්න තැන් නැතුව ලතැවුණු කාලෙ ගියා. දැන් අපිට ලෝකෙටම කෑ ගහලා කියන්න පුළුවන් ලස්සන නමක් එක්ක ,ලස්සන තැනක් තියෙනවා.. අතීතයේ රජවරු හදපු පොකුණු වලට දෙවෙනි නෑ.."නෙළුම් පොකුණ " මුළු ලෝකෙටම ආදර්ශයක්.. එහෙම නේද?

දැන් ,ප්‍රංශෙ කිව්වාම අපිට විතරක් නෙවෙයි ලෝකෙම ඉන්න බහුතරයක් දෙනාට ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ මොකක්ද? "අයිෆල් කුළුණ" නේද?. ඒ වගේ තත්වයක් අපිටත් උදාවෙනවා...එතකොට ලංකාව කිව්වාම හැමෝටම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ, "නෙළුම් කුළුණ". කාටද ආඩම්බර?? අපිට නේද? අපිට ඇත්තට තව මොනාද අඩු? 

ලංකාව දැන් මෙගා නාට්‍ය නිෂ්පාදනය වගේම අධ්‍යක්ෂණය අතින් ඉන්නෙ සෑහෙන්න ලොකු තැනක.. ඉස්සර සිරසෙ පණ යනකම් පෙන්නුවෙ "මහ ගෙදර" ඉන්දියාවෙ මෙගා නාට්‍යක්නෙ. ඒත් දැන් සිරස ඉන්දියාවෙ නාට්‍ය පෙන්වන එක නවත්තලා. සිරස විතරක් නෙවෙයි දැන් හැම නාලිකාවක්ම වගේ තරඟෙට පෙන්වන්නෙ ලංකාවෙ මෙගා නාට්‍ය. හිරුණිඛාලා, දුමින්ධලා, මාලඛ ලා, ඇස්බී ලා ,මාර්වින් ලා වගේ අතිශය දක්ස නළු නිළියො ඉද්දිත් අපි ඇයි ඉන්දියාවෙ නාට්‍ය පෙන්වන්නෙ..?මේ තරම් සුපිරි මෙගා නාටක ඉන්දියාවෙවත් නැතුව ඇති..ඉතින් අපි ආශ්චර්‍යට හරිම ළගයි.... ඇත්තටම...

අවුරුදු ගානක් දුක් මහන්සිවෙලා පාඩම් කරලා, අහිංසක දෙමව්පියන්ගෙ දහදිය කඳුළු සල්ලි වලට දිය කරලා, පෙරුම් පුරල පුරලා කැම්පස් එහෙකට පැනගන්නෙ, "දැන් ඉතින් ලෝකෙම දිනුම්" කියලා හිතාගෙන, ඒත්... අහෝ ආශ්චර්‍යක මහත!!!  දියවන්නාවෙන් වටවුණු භූමියෙ ඉන්න,උසස් අධ්‍යාපනය සම්බන්ධ වගකිවයුත්තා කැම්පස් ටිකේ පාලනේ උන්නැහැගෙ අතට ගන්නකම්, අපේ රටේ දුප්පත් තරුණ පරම්පරාවට ගෙදරට වෙලා උඩ බලන් ඉන්න වෙලා.....ලක්ෂයක් හමාරක් පඩි අරන්..,ආශ්ච්ර්‍යට යන පාර දිගේ අපේ කැම්පස් වල ආචාර්‍යවරු ටිකත් හරි හරියට එනවා....

 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ, ඒ විතරක්ද ලෝකෙ තියෙන දරුණුම විභාගෙ උසස්පෙළ ප්‍රශ්න පත්තරේත් අඩුපාඩු හොයන්න වෙනමම කොමිසමක් ඕනෙ කරපු කාලයක් මේක.. Z-score එකයි, උසස් පෙළ ප්‍රතිඵලයි... අපිට මේ ආශ්චර්‍යට යන ගමනෙ බාධක ආවෙ නැතුවා නෙවෙයි.. ඒත් අපි ඒ හැම බාධකයකටම උත්තර නැතත් , නිදහසට කරුණු හෙව්වා.. ඒකයි අපි මේ තරම් ආශ්චර්‍යට ළඟ....ඔව්.. අපිට තව පොඩ්ඩ දුරයි...

රැයක් දවාලක් නැතුව හතරේ පාරවල්, හයේ පාරවල් එකපිට එක වදිනවා.. ඒ අස්සෙ අහිංසක ,දුප්පත් අපේ රටේ මිනිස්සුන්ට ලාවට වගේ බඩේ පාරවලුත් වදිනවා.. ඒත් අපිට දැනෙනවාද?? මොන පිස්සුද? ඩීසල් පෙට්‍රල් වැඩි වුනාට, හාල් පොල් මිල වැඩි වුනාට, බස් ගාස්තු වැඩි වුනාට, මේ දවස්වල අපිට දැනෙනවාද? කොහෙත්ම නෑ...අපි ඉන්නෙ T20 උන්මාදයෙන් නෙ.. අපිට දැන් බඩට එක පාරක් නෙවෙයි, දහපාරක් වැදුනාත් දැනෙන්නෙ නෑ..අන්න මේ කාලෙ තමා ආශ්ච්ර්‍යට කිට්ටු වෙන්න නියමම කාලෙ..තව ටිකා...යි!!!

අපිට දැන් කිසිම අඩුවක් නෑ.. නෙළුම් පොකුණු, නෙලූම් කුළුණූ, අධිවේගී, ගුවන් පාලම්, ක්‍රිකට් පිට්ටනි, වරායවල්, ගුවන්තොටුපොළවල්, අපි සර්වසම්පූර්ණයි!!! අපි ආශ්චර්‍යට ඔන්න මෙන්න............ 

අනේ වාසනාවන්!!!!!

ප.ලි-දේශපාලනික පෝස්ටුවක් නොවන බව කරුණාවෙන් සලකන්න... සුදු වෑන් එවීමෙන් වළකින්න.. හුදෙක්ම තවත් එක් විකාර සිතුවිල්ලක් පමණි!!!

Post Comment