නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

29 November 2012

වැම්පයර් පෙම්වතා නුඹ


ආදරේ සීරුවෙන් ගලා ගිය
හදවතේ .......,
නුඹ නමටම ආදරේ පොම්ප කළ
හදවතේ.........,
සියුම් ලේ නහර සියල්ලම
ක්ෂ්ණිකවම හප කළ .......,
ආදරේ අංශුමාත්‍රයක් තරම්
ඉතුරු නොකළ.......,
ජීවත්වෙන්න හුස්ම පොදක් යදිමින් 
මරණාසන්න වුනු මාව......,
සියලු මතක අමතක නොකරම,
හප කරපු, දුර්වල හිත විතරක්ම
ඉතුරු කර ......,
මග දමා ගිය  නුඹ

වැම්පයර් පෙම්වතෙක්!!!!!!



Post Comment

10 November 2012

ඔබ මගේ වෙලා.......


මහ පොළොව ඉරි තැළිලා, කාෂ්ඨක වෙලා, වියැළිලා ගිය කටුක යුගයක,මල්  නොපිපෙන, ගහ කොළ කනාටු වුනු කර්කෂ ගිමන්කලක හදිස්සියේම වැටුණු වැස්සක් වගේයි මට නම්, "ඔයා " .ජීවිතේ කනාටු වුනු මල් ගහක් නම්, ඒ කනාටු වුනු මල් ගහට පණ දුන්නෙ "ඔයා".


හිමින් හිමින් වුනත්, අහම්බෙන් වගේ මගේ ජීවිතේට එබිකම් කරපු ඔයා,මගේ මුළු ලෝකෙම වෙනස් කළා. ලස්සන කළා.හරියට නියඟෙකට කේඩෑරි වෙලා ගිය ගස් කොළං හීනියට වැටෙන පොද වැස්සෙන් පීදීලා වගේ.. මගේ හිතත් පීදිලා..හැම ගහකම, හැමදාකම මල් පිපෙන්නෙ නෑ වගේම, හැම ජීවිතයකම වසන්ත කාලයක් වගේම ගිම්හාන කාලවලුත් තියෙනවා.... මගේ ජීවිතේට වසන්ත කාලෙ අරන් ආපු ඔයා මේ ආදරේ ගැන , කියාදෙන්න මට... එක මොහොතකට විතරක් නෙවෙයි.., හැමදාකටම ඔය හිතේ නතර වෙන හැටි කියලා දෙන්න... මම මේ ආදරේට කෝඩුකාරයි.. ඒත් ආදරේ මට අලුත් දෙයක් නෙවෙයි.. මට ඕනෙ ඔයා ලඟටම වෙලා ඉඳන් මේ ආදරේ විඳගන්න....


"ආදරේ ඉස්සරහදි ඕනෙම බලවතෙක් ,ඕනෙම ජගතෙක් දණගහනවා..දන්නවාද, මොනතරම් ශක්තිමත් ගල් වගේ හිතක් වුනත් ,ඉටිපන්දමක් වගේ උණු කරලා දිය කරලා හරින්න පුළුවන් බලයක් ආදරේට තියෙනවා..." මේ හැම දෙයක්ම මට කියලා දුන්නෙ ඔයා. ඒ ඔයාගෙම වචන.. මගේ නෙවෙයි.

ආදරේ බොළදයි.. ඇත්තටම.. හැම කෙනෙක්ම ආදරේ ලඟදි බොළඳයි..ඉර ගෙනත් දෙන්නම්.. හඳ ගෙනත් දෙන්නම් .. කවදාවත් නොවෙන ප්‍රායෝගික දේවල් ගැන කියනවාට වඩා.. , ඔයා මා ළඟට වෙලා.., මම ඔයා ලඟට වෙලා, හඳ තරු , මල් ගහ කොළ ගැන හිතින් මවාගෙන.., අපි ආදරේ කරමු...කලබලයක් නෑ.. හිමින් සැරේ..., නිවාඩු පාඩුවෙ..., අපි කතා කරමු ආදරේ ගැන.., නෑ.. ඔයා කියන්න.. මම අහන් ඉන්නම්....ජීවිත කාලෙ පුරාවටම මම අහගෙන ඉන්නම්...

ආදරේ කියන්නෙ හිර කූඩුවක් නෙවෙයි... ඒක උණුසුම, සතුට රැකවරණය, සුරක්ෂිත බව, විශ්වාසය.. මේ හැම දෙයක්ම එකතුවුනු කැදැල්ලක් වෙන්න ඕනෙ. අපි අපිව තේරුම් ගැනීම තරම් තවත් බලවත් සාධකයක් ආදරේ ස්ථිර බවට නැතිවැති... මට ඔයාව , මුළු ලෝකෙන්ම උදුරගන්න ඕනෙ නෑ.. ඔයා කැමති අය, ඔයාගෙ යාළුවො, ඔයාගෙ හිතවත් අය.. මේ හැමෝම එක්කයි මට ඔයාව ඕනෙ.. හැම කෙනෙක්ගෙන්ම ඔයාව ඈත් කරලා, මට විතරයි ඔයාව අයිති කියලා බදාගන්න බෑ මට..මම ආත්මාර්ථකාමී තමයි.. නමුත් එච්චරටම ආත්මාර්ථකාමී වෙන්න බෑ මට..ඔයාව අයිතියි මේ මුළු ලෝකෙටම..එක ශක්තිමත් විශ්වාසවන්ත බැදීමක් වෙනුවෙන්, බැඳීම් තොග පිටින් අතෑරලා දාන්න ඔයා ලෑස්තිබව මම දන්නවා. ඒත් මට ඔයාව මේ ලෝකෙන් උදුරගන්න ඕනෙ නෑ.. සත්තයි...ඔය හිත ඇතුලේ ආදරේ දේව ප්‍රතිමූර්ථිය වගේ වැඩ හිඳින්නෙ මම විතරයි කියලා මම දන්නවා.. ඒ ටික ඇති මට ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න.ආදරේ විතරක් මට දෙන්න.. නැවතිලා ඉන්න ඔය හිතේ ඉඩක් විතරක් මට දෙන්න.....

පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් ඔයාට මා ලඟදි.. ඒ තමයි මගේ සතුට.. ආදරයක් ඒ තරම් සැහැල්ලු වෙන්න ඕනෙ.. ඔයාට මා ලඟදි එක මොහොතකටවත් හිතට බරක් දැනෙන්න විදියක් නෑ..කරදරයක් වෙන්න බෑ.. සැබෑ ආදරේ එහෙමයි නේද? මට ඔයා ආදරේ ගැන කියා දුන්නු ටිකෙන්, මම ඉගනගත්තා මහ හුඟාක්.. මල් පොකුරක් අරන් මගේ කොණ්ඩෙ ගහලා, "ඔයා මෙන්න මෙහෙම පුංචි මනමාලියක් වෙලා තමයි මා ළඟට එන්නෙ" කියද්දි.., ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා. ඔයා ආදරේ කියලා දෙන විදිය වෙනස්.. වචන දෙක තුනක් ඇතුලෙ බලාපොරොත්තු ගොන්නක්.. හැම වචනෙකම විශ්වාසය තහවුරු කරලා. ජීවිතේ හරි පුදුමයි..ආදරේ ගැන වගේම.., ජීවිතේ ගැනත් කියා දෙන්න මට....

මට මහා ලොකු බලාපොරොත්තු හුඟාක් නෑ.. ඒත් බලාපොරොත්තු නැත්තෙමත් නෑ.. ආදරේ කියන්නෙ බලාපොරොත්තුවක්.. එහෙමත් නැත්තම් බලාපොරොත්තු ගොඩක එකතුවක්... මගේ බලාපොරොත්තු වෙනුවෙන්, ඔයාව බිල්ලට දෙන්නෙ නෑ මම. ඒක ආදරේ නෙවෙයි.. ඒත් ඔයාගෙ බලාපොරොත්තු අස්සෙ මමත් ඉන්නවා කියලා මට දැනෙනවා..ඒක සතුටක්.. 

ආදරයක් නැතුව පාලනයක් මට ඕනෙ නෑ. සත්තකින්ම.., ආදරයක් නැතිව කෙරෙන පාලනය , බලහත්කාරකමක් වගේ.. ගෞරවය, කැපවීම, අවදානය, උවමනාව.., බලෙන් ගන්න බෑ.. මට එහෙම ඕනෙ නෑ..ඔයා මගෙම විතරයි කියලා ලෝකෙටම ඇහෙන්න තර්ජනය කරන්න මට ඕනෙ නෑ..ඔයාව විත්ති කූඩුවක නග්ගලා හරස් ප්‍රශ්න අහන්න මට ඕනෙ නෑ..ඒ මට අයිතියක් නැති නිසා නෙවෙයි. අයිතිය වුනත් පාවිච්චි කරන්නෙ මම පරිස්සමට..සත්තයි... 

ඉතින් ..., මීටත් වඩා මේ ආදරේ ගැන කුමන කතාද? ගහ කොළ වැල් මල් හැම දේම පුදුම කරලා.., ඔයාව මට ලැබුණා වගේම...ඔය ජීවිතේ අරන් සදහටම මගේ ලග ඉන්න, ඔයා එනවා නේද?


ඔබ මගේ වෙලා..මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න..
ආදරේ කියා.............
සඳ මඬල වෙලා..
තරු ළඟට වෙලා..
කියාදෙන්න ආදරේ කියා..

මල් පිහාටුවක් නෙළලා..
නිල් වරල සරසලා..
හිත පුරාම ආදරේ අරන්..
කියාදෙන්න ජීවිතේ තරම්..........

තුනු විලම මලින් සනසා..
මල් විලම කලඹලා..
ඔබ එනවද ජීවිතේ අරන්..
කියාදෙන්න ආදරේ තරම්.........







ගායනය :කුෂාණි සඳරේඛා / මංගල


ප/ලි- කොහොමද කට්ටියටම? කාලෙකින් සිංදුවකට කතාවක් , සිතුවිල්ලක් ලිව්වෙ නෑනෙ.. අද නිකමට ලිව්වා. මේ දවස් වල මහ මහා කම්මැලිකමක් ඇවිල්ලා තියෙන්නෙ. එහෙන් මෙහෙන් බ්ලොග් කියෙව්වාට , ලියන්න කැම්මැලියි :( අනේ මංදා, බහුතරයක් බ්ලොග්කරුවන්ට තියෙන ලෙඩේ මටත් බෝ වෙලා :D

අන්තිමට ලියපු ගීත කතා කියෙව්වෙ නැද්ද? එහෙනම් මෙන්න...
- කෙදිනද කූඩු හදන්නට එන්නේ-  - මගේ පුංචි රෝස මලේ-  - අතීතය සිහිනයක් පමණයි - - අදින් පසු මියේවී අපේ ඒ කතා - 

Post Comment