නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

28 December 2012

ආදර අතීතය..., නුඹට සුභ ගමන්!!!!!!


කාලය හරිම ඉක්මණට ගත වෙලා යනවා. 2012 ගෙවුනා දැනුනෙවත් නෑ.. 2013ත් අත ලඟටම ඇවිල්ලා.. කාලෙකින් නිකන් ලියන්නන් වාලෙ මුකුත් ලියාගන්න බැරි වුනා. :D අවුරුද්ද අන්තිමේදි නිකමට හිතුනා යමක් ලියලා තියන්න.

ගිය අවුරුද්දෙ හරියටම අද වගේ දවසක,මම දෙවර්ෂ පූර්ණ සිහි කිරීමයි කියලා සටහනක් තිබ්බා. ඒ සටහනයි, අද ලියන සටහනයි එක්ක සම්බන්ධයක් නැතුව නෙවෙයි. ඒත් එදා ඒ ලියපු සටහනයි, අද මම ලියන සටහනයි අතරේ ලොකු වෙනසකුත් තියෙනවා..ඊට අමතරව තවත් වෙනස්කම් තියෙනවා ඉතින්..,

එදාට වඩා අද මම අවුරුද්දක් වයසට ගිහින්.. :D ඒ විතරක් නෙවෙයි එදාට වඩා මම අද ටිකක් පැහිලා, අත්දැකීම් අතින් එදාට වඩා අද , මම පෝසත්. ඒත්........., එදා වගේම අදත්..., මම වෙනස් කරගත යුතුයි, සහ වෙනස් කරගන්න උත්සාහ කළ දේවල් කීපයක් මට කරන්න නොහැකි වෙලා තිබුණා.ඉතින්, මම හිතුවා ඒ දේවල් ආයෙමත් කරන්න උත්සාහ කළ යුතු හොඳම කාලෙ තමයි මේ කියලා. අද දවස ඒකට ආරම්භයක් කියලා හිතුවා.

සමහරවිට මම මෙච්චර වෙලා කියපු මෙලෝ දෙයක් , මේක කියවපු කාටවත් නොතේරුණා වෙන්න පුළුවන්. ඒත් මම ලියන්නෙ මගෙ සතුට වෙනුවෙන්...දුක වෙනුවෙන්.. හිතේ හිරකරගෙනම ඉන්න බැරි දේවල් වෙනුවෙන්... ඇත්තටම ,මම වෙනුවෙන්... ඒක ආත්මාර්ථයද මම දන්නෙ නෑ.. ඒත් , මම කිව්වෙ  කියන්න හිතුනු දේ.:)

ජීවිතේ සමහර කාලවලදි අපිට හිතෙන්න පුළුවන්, අපි එකතැනක නැවතිලා උන්නා වැඩියි කියලා. තවත් සමහරක්විට අපි එකතැනම පල් වුනා කියලා හිතෙන්න පුළුවන්. මේ මටනම් ඕක අනන්තවත් වාරයක් හිතිලා තියෙනවා. මේ බ්ලොග් එකේම ලිපි කීපයක්ම ඇති වෙනසක් ගැන හීන මවලා, එකම තැනක නැවතිලා කාලෙ කාපු විදියෙන් මිදෙන්න ඕනෙ කියලා හිතලා ලියපුවා. ඒත්....,

වචන හරිම ලේසියි. අකුරු අමුණලා කියන්න ඊටත් ලේසියි. ඒත් වචන ක්‍රියාවට පරිවර්තනය කරන්න ලේසි නැති වග හුඟක් අය දන්නවා ඇති.. හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියනවානෙ. අන්න ඒ කියමන අනුගමනය කරලාවත් මෙදා සැරේ මම හිතුවෙ , වෙනස් වෙන්න කියලා. :D හැබැයි මෙදා සැරේනම් විශ්වාසනීය වෙනසක් ඇති කරනවාම තමයි!!

ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා හිතෙන, එහෙම නැත්තම් නොලැබෙන බව දන්න, ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති දෙයක්/දේවල් වෙනුවෙන් මඟ බලන් ඉන්න එක මෝඩ කමක්ද? එහෙම කියලා හුඟක් අය කියනවා. නිකමට කල්පනා කලාම මටත් එහෙම හිතුණු වෙලාවල් තියෙනවා. මුළු ලෝකෙම ඉස්සරහට යද්දි, තමන් විතරක් ආපස්සට යන්න හදනකොට..., හරි දුෂ්කරයි!!!ඒක හරි අමාරුයි.. අපි එනකම් ලෝකෙම නැවතිලා ඉන්නෙ නෑනෙ. කාලෙ නැවතිලා ඉන්නෙත් නෑ.. ආපහු හැරිලා බලද්දි ," අනේ අපරාදෙ.." කියලා හිතෙන තරමට කාලකණ්නියෙක් වෙලා උන්නු තැන් තිබ්බා. "ගෙවිලා තියෙන්නෙ හොඳම ලස්සනම කාලෙ" කියලා හිතිච්ච වෙලාවල් තිබ්බා. ඒත්....,

සිතුවිලි වෙනස් වෙනවා. අදහස් අලුත් වෙනවා, එකතුවෙනවා, අඩුවෙනවා.. අවසානෙ අරමුණු/ඉලක්ක අමතක වෙනවා.....මටත් එහෙම වුනා.සමහර මායාවල් අපිව රවට්ටලා නොපෙනිලා යනකම් අපි දන්නෙ නෑ, අපි රැවටුණා කියලා.ඒත් හැමදේකටම ප්‍රමාණයක්, සීමාවක්, කාලයක් තියෙනවා.. මම හිතන්නෙ දැන් තමා හොඳම කාලෙ. දැන් සීමාව ඉක්මවලා ඉවරයි. ප්‍රමාණය ඕනෑවටත් වඩා. ඉවසල ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනෙ කිව්වට, හැම ඉවසීමක් අවසානෙම සැනසීමක් නැතිවෙන්න පුළුවන්.. සමහරවිට ඉවසන්න ඕනෙ සීමාව ඈත වැඩි වෙන්න පුළුවන්..ඒ නිසාම මම අදින් නවතින්න හිතුවා.

තවත් අරමුණු කල් දාලා පලක් නෑ.. තවත් අතීතෙ වෙනුවෙන් බලන් ඉඳලා ලැබෙන සැනසීමක් නෑ.. මැරුණු අතීතෙට පණ ගන්න ආයෙත් නම් බෑ...ඒ නිසා අතීතයට වැළලෙන්න ඉඩ දීලා, මම අනාගතේ වැළඳගන්න තීරණේ කලා. 

ඔව්... හැමදේම වෙන්නෙ හොදටයි!!!!!! ජය වේවා!! 

ආදරණීය අතීතය...,
මම නුඹට වෛර නොකරමි...
මින් මතු ප්‍රේම ද නොකරමි....
නුඹට රිසි සේ 
වැළලෙන්නට ඉඩ හරිමි.....
නුඹේ මළගම වෙනුවෙන් 
මා ඇති තරම් හැඬුවෙමි....
නමුත් කිසිවක් වෙනස් නොවුණි...
ඒ නිසා මම අනාගතය වෙත යමි...
අනාගතය ආදරෙන් වැළඳගමි.....
ආදර අතීතය...,
නුඹට සුභ ගමන්!!!!!!

Post Comment

25 December 2012

නත්තල් සීයා වෙත.....,



අනේ නත්තල් සීයෙ....,
මට අලුත් ඇඳුම් ආයිත්තම් එපා.....,
චොක්ලට් කෑම බීම එපා....,
පවුඩර් සුවඳ විලවුන් ,
නා නා ජාති මට මුකුත්ම එපා....,
පූලුවන් නම් විතරක්,
මේ කැඩිච්චි බිඳිච්චි හිත
හදන්න පූලුවන් ඒ හිත .....,
මේ හිත හොයන, මේ හිත ඉල්ලන,
ඒ හිත අරන් එන්න හනිකට....
එතකොට මටත් පුළුවන් සමරන්න
මේ නත්තල මහ ඉහළින්ම......!!!!!!



ප.ලි- 
ලැබුවා වූ නත්තල ඔබ සැමටම සතුට සමාදානය පිරි, සුභම සුභ නත්තලක් වේවා!!!

Wishing you peace , love and joy this Christmas!!!!

Post Comment

10 December 2012

සා/පෙ සාපයක්ද?


සාපෙ කිව්ව ගමන් ඉතින් ඕනෙ කෙනෙක්ට මතක් වෙනවානෙ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. :D මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන උණුසුමත් එක්ක, අපි සාපෙ ට මූණ දුන්නු හැටි ගැන මතක් වුනා.ඒ කාලෙ සාපෙ උදාවුනත් හරිම සුන්දරයි. සාමාන්‍ය පෙළ විභාගෙ කියන්නෙ ඉතින් ගුරුවරුන්ගෙ විභාගයක් කියලාත් කතාවට කියනවානෙ. ළමයි සාමාන්‍ය පෙළ කරද්දි ,අම්මලා තාත්තලාට ශිෂ්‍යත්වෙ කාලෙ තිබ්බ තරම් උනන්දුව ටිකක් අඩුවෙලා යනවා. ළමයින්ට ඉතින් කොහොමත් උනන්දුව ඇතිවෙන්නෙ උසස් පෙළ කරන්න ගියාමනෙ. අපිටනම් ඒකටත් උනන්දුවක් තිබ්බාද මන්දා ;)

කොහොම වුනත් සාමාන්‍ය පෙළ විභාගය කෙනෙක්ගෙ ජීවිතේට ලොකුම ලොකු බලපෑමක් නොකළත්, ෆේල් වුනොත් නම් ඉතින් එතනින් ඉදිරි අධ්‍යාපනයට සමුදෙන්න නම් සිදුවෙනවා. මොකද ලංකාවෙ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න නම් ගණිතය  ඇතුළු අනිවාර්‍ය විෂයන් කීපයක් සමත් වීමත් සමඟ සම්මාන සාමාර්ථ 3ක්වත් තියෙන්න ඕනෙ.(මම දන්නා තරමින්.වැරදිනම් නිවැරදි කරන්න.) සාමාන්‍ය පෙළ  හුඟාක් දෙනෙක් ලේසියෙන් සමත් වෙන විභාගයක් කියලා කිව්වට, සැබෑවටම සාමාන්‍ය පෙළ විභාගෙ, සාපයක් වුනු උදවියත් සෑහෙන පිරිසක් ඉන්න බව අපිට පෙන්වලා දෙන්නෙ සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිඵල පිටවෙලා, අදාල සංඛ්‍යා ලේඛන එහෙම ඉදිරිපත් වුනාට පසුවයි.කොළඹ ඇතුළු තරමක් දියුණූ නගරවල මේ විදියට සාමාන්‍ය පෙළ විභාගය ලේසියෙන් සමත් වෙන්න පුළුවන් විභාගයක් ලෙස සැලකුවත්, තරම්ක් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ටනම් සාමාන්‍ය පෙළත් එක්තරා විදියක විශාල අභියෝගයක්.ගුරුවරු, පොත්පත් වගේ සම්පත් හිඟය නිසා වගේම, ආර්ථික අවහිරතා නිසා ගොඩක් දරුවන්ගෙ අධ්‍යාපනයට සාමාන්‍ය පෙළටත් කලින්ම නැවතීමේ තිත තැබෙන්න පුළුවන්.

කොහොම වුනත් ඉතින් සාමාන්‍ය පෙළ විභාගය හොඳට කරගන්න එක උසස් පෙළ කරන්න එකතරා විදියකින් රුකුලක් වෙනවා. ඒත්, සාමාන්‍ය පෙළට A අකුරු ගොඩවල් ගත්ත බහුතරයක් උසස් පෙළට ලයිට් කණු ගන්න එකත් තිත්ත ඇත්තක්. 

සාමාන්‍ය පෙළ කාලෙ තමයි මගේ ජීවිතේ නම් ජොලිම කාලෙ. ඉස්සර අපේ පන්තියට මිස් කෙනෙක් ආවෙ නැත්තම්, අපි සෙට් එක කරන්නෙ සින්දු කියන එක. එතකොට ඉතින් පොත් අතේ තියාගත්තු ගමන් ඉන්න උදවිය දිගට හරහට ඔරවන්න ගන්නවා. විභාගෙ ලං වුණාම තවත් ප්‍රශ්න ගොඩයි. කොහොම කොහොම හරි හැබැයි අපේ අතිජාත යාළුවො සෙට් එක උපරිම හොඳට සාපෙ  ජයගත්තා... 

 වෙන ළමයි මඟ දිගටත් පොත් අතට අරන් විභාගෙට පාඩම් කර කර යද්දි , විභාගෙ දවස් වල  අපි ඉස්කෝලෙ ගියේ  ගෙවල් පැත්තෙ ඉන්න ඔක්කොම සාපෙ කරන ළමයි සෙට් එකක්ම ,පිරිවරාගෙන බස් වල සින්දු කියන පිරිමි ළමයින්ටත් සප් එකක් දීගෙන ,බොහොම විනෝදෙන්. :D

මීට අවුරුදු 6කට කලින් තමා අපි සාපෙ කලේ.. කාලෙත් එක්ක හැමදේම සංකීර්ණ වෙන හින්දා දැන් විභාග විතරක් නෙවෙයි මුළු අධ්‍යාපනයම සංකීර්ණ වෙලා වගෙයි. හෙට පටන් ගන්න සාමාන්‍ය පෙළ විභාගෙ අපේ මලයත් කරන නිසා මේ දවස්වල තත්වෙ ගැන ටිකක් මාත් දැනුවත්. 

ඊයේ උදේම දුරින් නෑ කෙනෙක් වෙන ඇන්ටි කෙනෙක් අපේ අම්මාට කෝල් එකක් දීලා අරුම පුදුම ආදරේකින් පණිවිඩයක් කිව්වා. ඒ තමයි සාමාන්‍ය පෙළ කරන ළමයින්ට ආශිර්වාද කරලා කෙරෙන පූජාවක් තියෙන බවත්, හැබැයි පන්සල ඇතුළට ගන්නෙ කොටස් විදියට නිසා ඇවිත් පුළුවන් නම් සහභාගි වෙන්න කියලා.(ඒ තරමට ,පන්සල ඇතුළට ගන්න බැරි තරමට පූජාවට සෙනඟලු.) අපේ අම්මා පණිවිඩයට ස්තූති කරලා මල්ලිව ගමේ පන්සලට එක්කරගෙන ගියා. :D මේ අන්තිම මොහොතේ රට වටේම තියෙන පූජා වලට ගියත් තමන්ගෙ හැකියාවෙන් මිස විභාග සමත් වෙන්න බෑ කියලායි අම්මා හිතන්නෙ.ඒත් අපේ රටේ බහුතරයක් දෙනාට ඉතින්, විභාගයක් ආවමවත් පන්සල මතක් වෙන එකනම් හොදයි.ආගමානුකූලව ඕනෑම සුභ දේකට මුල පුරන එක අපේ සංස්කෘතියෙ ලක්ෂණයක්නෙ.

විභාගයක් කිට්ටු වුනාම, සාපෙ විතරක් නෙවෙයි, ඕනෑම එකක්, විභාගෙ ලියන්න යද්දි සුභ පතන්න නැති නෑයෝ, ප්‍රථිඵල අහන්න නම් ඕනෑතරම් . ඒ වගේම තමයි, ඉහළීන්ම විභාග පාස් වුනාම හොඳට ඉන්න නෑයෝ තරහා වෙන්න පුළුවන්.. විභාගයක් පොඩ්ඩක් අවුල් වුනොත් නම් , නෑයෝ පුදුම හිත උණු වෙන ජාතියක්.. උපදෙස් දෙන්න උදව් කරන්න ඕනතරම්..(හැම නෑදෑයෙක්ම එහෙම නැහැ. සමහරු.) මටනම් ඔහොම නෑයෝ සම්බන්ධ අත්දැකීම් ඕනතරම් තියෙනවා. යාළුවොන්ගෙ අත්දැකීම් එහෙමත් අහලා තියෙනවා. කොහොම වුනත් මිනිස්සු කියන්නෙ මිනිස්සුන්ට නිසා අවබෝධයෙන් ජීවත්වීම හැර වෙන කරන්න යමක් නෑ..

බ්ලොග් අවකාශෙත් මම දන්න තරමින් කීපදෙනෙක් සා/පෙට මූණ දෙනවා . නංගිලා මල්ලිලා හැමෝටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, ඉහළීන්ම විභාග සමත් වෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා... !!!!

ඒ වගේම මගේ ආදරණීය මලයණ්ඩිටත් විභාගෙ ඉහළින්ම සමත් වෙන්න ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා කියලා සුභ පතනවා..!!!



Post Comment