නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

11 May 2013

- නමක් නැති කතාවක් -

"යමු අරෙහට..."වෙරළ අද්දර ගල් බැම්ම මත හිඳගෙන උන් හිමාෂී , ධනුකගේ උරහිසේ හිස හොවාගෙනම පැවසුවාය.

"කොහාටද??" ඔහු නොරිස්සුම්සහගත ලෙස පැවසීය.එහෙත් ඇය පරාජිත පෙම්වතියක් වන්නට මදක්වත් සූදානම් වූයේ නැත. ඒ නිසාම තව තවත් තදින් ඔහුගේ බාහුවේ වෙලෙමින් හුරතල් වන්නටත් කෝළ වන්නටත් විය.
"අරෙහෙට අනෙ... අර රැල්ල පාගන්න." 
"පිස්සු හැදිලාද? රැල්ල පෑගුවා වගේ නෙවෙයි, වැලි නාගෙන, ඇඳුම් තෙමාගෙන ගෙදර යන්නෙ කොහොමද?" ඔහු සෙමෙන් ඇගේ බාහුව ලිහිල් කරමින්, ඇගෙන් ඈත්වෙන්නට තතනමින්  පැවසීය.

"ඉතින් තෙමුනාට මොකද, හුළඟට වේලෙනවානෙ ළමයෝ.."

ඇය ලාමක ලයාන්විත ගැහැණු ස්වරයෙන් පවසමින් , ඇගේ සියුමැලි රෝස පැහැ ඇඟිලි වලින් ඔහුගේ කොපුලේ රේඛා අඳී.හීන් සීරුවට ඔහුගේ කම්මුලක් මත හාද්දක් තබන්නට ඇයට නොසිතුණා නොවෙයි. එහෙත්, ඇගේ සාමප්‍රදායික ගැහැණු හිත ඇයට ඉස්සර වන්නට ඉඩ නොදෙන්නට විය.

ධනුකගේත්  හිමාෂිගේත් ප්‍රේමයට අවුරුද්දකුත් පිරීගෙන පැමිණියද.., ධනුක යනු බෝසත් පෙම්වතෙකු මිස, කාමාතුර  සල්ලාල පෙම්වතෙකු නොවන බව සිතමින් , නානාවිධ තර්ක ගෙන හැර පාමින් ධනුකව සාධාරණීකරනය කරමින් කල්ගෙවන්නට හිමාෂී පුරුදු වී සිටියාය.


"ඇයි ඔයාට නොතේරෙන්නෙ? වැලි නාගෙන බස් වල යන්න බෑනෙ. මිනිස්සු දැක්කාම මොනා නොහිතයිද?"


"ඉදා.. ඒක හරි වැඩක්නෙ..,අපි ඉස්කෝලෙ යන පොඩි උන් ද? නැහැනෙ. මොකද වෙන්නෙ? කෙල්ලෙක්ටයි කොල්ලෙක්ටයි මූදු වෙරළෙ රැල්ල පාගන්න යන්නවත් බැරිද?" ඇය නෝක්කාඩු ස්වරයෙන්, මදක් උස් වූ කටහඬින්, අඩි හප්පා පැවසීය.


එවර නම් කෝපය නිසා ඔහුගේ ඇස් විශාල වී නළල රැළි වී දෙබැම උස් වී ගියේය.

"මේ හිමාෂී.., තමුසෙට එකසැරයක් මම කිව්වා. ලැජ්ජ නැද්ද මෙහෙම හයියෙන් කෑ ගහන්න. මිනිස්සු බලන් ඉන්නවා." ඔහු සැරෙන් එහෙත්, සෙමෙන් පවසන්නට විය.

දහසකුත් ප්‍රේමණිය සිතුවිලි වලින් සිත පුරවාගෙන,හිරිමල් වියේ දඟකාරකම්, කෝළකම් මෙන්ම නොහිම් සිහින සිත් දල්වාගෙන පැමිණි හිමාශිගෙ දෙනෙත් බොඳ වන්නට විය. පණ මෙන් ආදරය කරන තම පෙම්වතාගෙ ලඟින් හිඳින්නට,ප්‍රේමයෙන් වෙලෙන්නට, බොළඳ බස් දොඩන්නට, හාදුවක් ලබන්නට , නිදහසක් නැති ජීවිතයකින් කුමක් කරන්නද?ඇය ඇගෙන්ම ප්‍රශ්න කරමින් සිටින අතරම ඇගේ සිත කුමක්දෝ මූසල කළකිරීමකින් වෙලී යන බවක් ඇයට දැනෙන්නට විය.


"ඔයාට ඕනෙ කසාද බැඳපු ගෑණු මිනිස්සුන්ගෙ ජීවිතේ මේ අපි දෙන්නා ගෙවන්නද?" දිනක් ධනුක සමඟ හුරතල් වන්නට ගොසින් ඔහු පැවසූ වදනින් හිමාෂී හැකිලී ගියාය.

" පිස්සුද ධනුක? අත් දෙක අල්ලගෙන ඇවිදින්න යන්න, පොඩ්ඩක් හුරතල් වෙන්න, ඔයාගෙ ළඟින් ඉන්න , ඔයා ලඟ දැවටෙන්න තියෙන මගේ ආසාව ගැන ඔහොම පහත් විදියට හිතන්න එපා.."

"මගේ සීමාවක් තියෙනවා මාෂී.. ඒ සීමාවල් පුරුදු වෙන්න ඔයත්.. ජීවිතේ කියන්නෙ අයාලේ දුවන්න දෙන්න පුළුවන් දෙයක්ද? ඉඳුරන් පිනවන්නත් සීමාවක් තියෙන්න ඕනෙ.. හැමදේටම කාලයක් එනවා.ඉවසන්න."
ඇය කවදත් ඉවසීය. ඒ කාලය කවදා හෝ ඒවියි සිතාගෙන ඇය මඟ බලන් සිටියාය. දින සති ගෙවී ගියත්., ඔහුගේ සීමාවන් බිඳක්වත් නොසෙල්විනි.

හදවතේ හැම ශිරාවකින්ම, ධමනියකින් ම ආදරේ අධික පීඩනයකින් පොම්ප කරන මොහොතක හෘද වස්තුව නතරවූවාක් සේ ඇයට දැණින.සියලු හැඟීම් දැනීම් වලින් නිදහස්ව..,ප්‍රාණය නිරුද්ද සිරුරක මෙන් ඇගේ වත සීතලව ඇත.ආදරේ අංශුමාත්‍රයක් හෝ ලැබේවි යැයි සිතාගෙන ,ඒ ඇබින්දක් ආදරේ වෙනුවෙන් මහමෙරක් බලාපොරොත්තු දල්වාගෙන , මහා පෙරේතකමකින්  පැමිණෙන ඇයට හැමදාමත් සිදුවූයේ, මීට පෙර හැමදාකම මෙන්ම, සිත් තැවුලෙන් වෙන්ව යන්නටය.
                          *******************

"හිමාෂී....එන්නකෝ ධනුක එක්ක ෆොටෝ එකක් ගන්න." මේධී හිමාෂිටත් ධනුකටත් ඡායාරූපයක් ගන්නට කතා කළාය.

පේරාදෙණිය මල් වත්ත පුරාවට තිබෙන සුන්දර ගස් වැල් මල් ලඟ මේධීත් ඇගේ පෙම්වතා වූ සංඛත් ඦායාරූප බොහෝ ප්‍රමාණයක් ගත්හ.අනෙක් පෙම්වතුන් සියල්ලෝම එසේ පින්තූර  ගත්හ. නමුත් සමූහ ඡායාරූප හැරුණුකොට හිමාෂීත් සමඟ තනිව ඡායාරූපයක් ගැනීමට ධනුක මදක්වත් උත්සුක වූයෙ නැත.

මුළු විනෝදගමන පුරාවටම අතිශය නිහඬ පිළිවෙතක් මෙන්ම , අසීමිත සංවරකමක්, තැන්පත් බවක් ආරූඬ කරගෙන හුන් ධනුක ගැන සියල්ලෝම පුදුමයට පත්ව සිටියහ.ඊට වඩාත්ම හේතු වූයේ හිමාෂී බොහෝ විනෝදකාමී මෙන්ම කෙළිලොල් යුවතියක් නිසාත්,ඈ තුළ වූ අතිශය මිත්‍රශීලි බවත්ය.හිමාෂී ළඟදී ධනුකගේ මේ අසාමාන්‍ය තැන්පත්කම වඩාත් කැපී පෙනින.විනෝද චාරිකාව පුරාවටම අනෙක් සියල්ලෝම ගීත ගයමින්, අත්පුඩි තළමින් කෙළිකවටකම් කරමින් ඉතා සතුටින් බස් රථය තුළ පැමිණියද, ධනුක බොහෝ සන්සුන්ව, තැන්පත්ව වැඩි කතාබහකින් තොරව අවට සිරි නරඹමින්, කල්පනා කරමින්, විටෙක නින්දත් නොනින්දත් අතර සැරිසරමින් ගමන් කළේය.


මෙලෙස චාරිකාව පුරාම ඔවුන් දෙදෙනාගෙ දුරස් බව ගැන ඇතිවූ කුතුහලය නිසාමදෝ ,ඡායාරූපයක් ගැනීමට මේධී විසින්ම ඔවුන්ට ආරාධනා කළාය.


"කෝ එන්න එන්න ..ඉක්මනට ඉතින්.." ධනුකගේ පසුගාමීබව හමුවේ අසරණව හුන් හිමාෂිට , නැවත වරක් මේධී අඬගහන්නට වීය.

"මුං දෙන්නා නිකන් මෙ ඇඹරෙන්න අද ඊයෙ ලව් කරන්න පටන්ගත්තු දෙන්නෙක් වගේනෙ.." චතුර, අසේල මෙන්ම තිවංකා ත් හිනැහෙන්නට විය.

ඕනෑම ගැහැණියක් තුළ ආදරයක් හමුවේ ගොඩනැගෙන හීන සමුදායක් ඇත.ආදරයක් හිතට ඇතුලු වුනු පසු ඒ හා ගොඩනැගෙන ලෝකයක් ඇත. ඇය තමාට රිසිසේ එම ලෝකය ගොඩනගනවා සේම එහි සැරිසරා අපමණ ප්‍රීතියක් විඳිනු ඇත.තනිව ගෙවන හැම තත්පරයක්ම ඇයට ඒ ලෝකය ගොඩනගන්න උදව් වනවා ඇත.


එමෙන්ම හිමාෂී ධනුක හා ආදරෙන් වෙලෙන්නට හේතුව ඇයවත් පැහැදිලි කිරීමට නොදන්නීය. සමහරවිට ඇගේ කාල්පනික පෙම්වතාගේ හා ධනුකගෙ කුමක් හෝ සමානකමක් නිසාවෙන්, ඇය ඔහු හා පෙමින් බැඳෙන්නට ඇත. එහෙත් නවකතා පොත් වල, චිත්‍රපට වල, ටෙලිනාට්‍ය වල ඇති ප්‍රේම ජවනිකා මෙන්, ඔවුන්ගෙ  ප්‍රේමය ශෘංගාරාත්මක වූයේ නැත. ආදරේ ගැන මහප්‍රාණ අකුරු පබඳින සෑම රචකයෙක්ම ආදරේ නාමයෙන් හෝඩියේ මුලකුරු කියැවූ අය බව ඇය දැන සිටියාය.සෑම මනුස්ස පරාණයක්ම ආදරේ ඉදිරියේ බොළඳ වන බව අසා තිබුණාය. එහෙත් හිමාෂිට එවන් බොළඳ බවක් විඳින්නට හෝ ඉඩක් නොලැබී ගොස් තිබිණ.කුමක්දෝ අඳුරු පටලයක් ධනුකගේ ප්‍රේමණීය හැඟීම් වසාගෙන ඇතිදෝ ඇයට සැකයක් පහළ වී තිබිණි.


"මොකක්ද ධනුක..,  ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ? මෙහෙම බුම්මගෙන ඉන්නද අපි ට්‍රිප් ආවෙ?" චාරිකාව අතරතුර ධනුකගේ නිහඬ මුළුගැන්වුනු ස්වභාවය හමුවේ හිමාෂී කිපී ගියාය.
"මගේ කැමැත්තට ආවා නෙවෙයිනෙ. ඔයාගෙ යාලුවො එක්ක, ඔයාගෙ බල කිරිමට මම  ආවෙ." ධනුක සෙමෙන් එහෙත් සෘජුව පිළිතුරු දුනි.

" අපි දෙන්නා එකට ෆොටෝ එකක් ගත්තා කියලා හෙණ ගහනවාද? ඔයාට ඇයි මං ළඟ ඉද්දි සතුටෙන් ඉන්න බැරි දෙයියනේ..." ඇයට හැඬුම් ආ නිසාවෙන් ඉකිගැසිණ. වෑයමින් ඉකිය වළකාගත් ඇය දෙස ,දවා අළුවෙන තරම්  බැල්මක් හෙලූ ධනුක නිහඬවම සිටියේය.හිමාෂී ඔහු ඉදිරියේ බොළඳවනවාට, හඬනවාට, හුරතල් වෙනවාට ඔහු අකමැති විය.අපමණ  සතුටෙන් විනෝද චාරිකාවක් පැමිණියද හිමාෂි සුපුරුදු  නැවත පැමිණියේ බිදුනු සිතිනි.

කවදාත් ධනුක ගේ හැසිරීම එසේයය. වැඩි කුළුපගකම්, ඇගෑලුම්කම්, හුරතල් කිරීම්, කෙළිලොල් ගති නැත. අතිශය තැන්පත් ධාර්මික දිවිපෙවතක් තිබුණු ඔහු, හිමාෂී රැගෙන ප්‍රථමයෙන්ම ගියේ කැළණි පන්සලටය. හිමාෂි එවකටනම් ඒ පිළිබඳව බොහෝ සෙයින් පැහැදිනි. පෙම්වතෙකු ලෙස පළමුවෙන්ම සිය පෙම්වතිය රැගෙන පන්සලකට යෑමට තරම් නිවුණු සිතුවිලි ඇති ඔහු වෙනුවෙන් ඇය ප්‍රේමයෙන් පේවී සිටියාය. නමුත් කාලය ඇයව විඩාවට පත් කළාය.
                           **********************
"ආ...."
"මොකද?"
"බොන්න...."
"පිස්සුද මාෂී? මෙතන කෝලම් කරන්න එපා. ඔයා  බීපු බීම එක මට පොවන්න දඟලන්නෙ මෙ සෙනඟ මැද්දෙ?" ධනුක හිමාෂී ගේ බීම බෝතලය මාරු කරගෙන ඉන් බිඳක් බීම ප්‍රතික්ෂේප කරන්නට විය.
" මේ රටේ මිනිස්සු ගෑණියි මිනිහයි පාරෙ ගියත් බලනවා, තාත්තායි දුවයි ගියත් බලනවා, අක්කායි මල්ලියි ගියත් කතාවක් හදනවා.. රටේ ලෝකෙ මිනිස්සු ඔක්කොම එක්ක යන්න ගියොත් අපිට අපේ ගමන යන්න වෙන්නෙ නෑ ධනුක.." හිතට දැනුන වේදනාව සඟවාගෙන හිමාෂී ඔහේ දොඩන්නට විය.
"මම ආස නෑ ලෝකෙ හිනස්සන්න."
"එහෙනම් ඇයි ඔයා මගෙත් එක්ක එෆෙයාර් එක්ක පටන්ගත්තෙ? මට ආදරේ කරේ?"
"ඔයාගේ බීම උගුරක් නොබිව්වා කියලා මම ආදරේ නෑ කියන්නෙ කොහොමද මාෂී?ඔයා මෙච්චර මෝඩද?" 

"මහා හුඟාක් ආදරෙයි කියලා, ආදරේ ගැන අහස උසට බලාපොරොත්තු දුන්නු කෙනෙක්ට,දැන් ආදරේ එක ඇබින්දක් දෙන්න බැරි හැටි" හිමාෂී ඇගේ සිතින් ධනුක ව තේරුම්ගැනීමේ මහා සටනක නිරතවී සිටියාය.

ධනුක ඇය ගැන සොයා නොබලන පෙම්වතෙක් නොවීය."ඔයා කෑවාද, බිවාද? ලෙඩක් දුකක්ද?" ලෙස ඔහු ඇය ගැන , ඇගේ සැප දුක ගැන සෑමවිටම සොයා  බැලීය.

"පෝයටවත් සුදු ඇඳුමක් පිළිවලට ඇඳලා පන්සලට ගිහින් එන්න යන්න මාෂී.." ඔහු ඇයට ධාර්මික වන්නට, සිල්වත් වන්නට, තැන්පත් වන්නට ඉගැන්වීය. ධනුක හැම පෝයකටම නැතත්, වෙසක්, පොසොන් වැනි ප්‍රධාන පෝය දිනයක්න්ට සිල් සමාදන් විය. දැහැමි ජීවිතයක් ගත කලේය.

හිමාෂීට  යායුතු ගමන් මඟ ගැන අවවාද, ගුරුහරුකම් කියා දීම ද ධනුක නොපිරිහෙලා ඉටු කරන්නට විය.ඇගේ සිතට දුකක් දෙන්නට ඔහු සිතුවේ නැත. නමුත් ඇයව සතුටු කරන්නට කියා විශෙෂ යමක් කලේද නැත. එහෙත් හැකි සෑම අවස්ථාවකම වාගේ ධනුක හිමාෂිගෙන් ඈත්ව හිඳිමට නම් වග බලාගත්තේය. එය ඔහු හිතාමතා කරනවාද, නැතිනම් ඒ ඔහුගේ සාමාන්‍ය ස්වරූපයද යන්න හරිහැටි අවබෝධ කරගන්නට හිමාෂී අපමණ වෙහෙස විය. නමුත් ඇය ඉන් බොහෝ සෙයින් විඩාවට පත්විය. දුකට පත් විය.අවසාන ඇගේ නිගමන වලට අනුව නම්, ඔහුගේ පිළිවෙල කිසිසේත්ම  සාමාන්‍ය විය නොහැකි බව සනාථ කරගත්තීය. 
                             ************************

"අපි ඩාන්ස්  කරමුකෝ..."
"මාෂි මම සාමාන්‍යෙන් ඩාන්ස් කරන කෙනෙක් නෙවෙයි. ඔයා යන්න , සයුනි ලා එක්ක ඩාන්ස් කරන්න."
ධනුකගේ මිතුරෙකුගෙ විවාහ ගිවිසගැනීමේ සාදයකදී හිමාෂි සමඟ නැටීමෙ අවස්ථාවද ඔහු මඟ හැරියේය.සුපුරුදු ලෙස ඔහු ඇයව ප්‍රතික්ෂේප කලේය.
"හැමෝම කපල්ස් ඩාන්ස් කරනවා ධනුක. ප්ලීස්.., මං වෙනුවෙන්..."
"මාෂී ප්ලීස්.., මට කරදර කරන්න එපා. මම ආස නැහැනෙ.තේරුම්ගන්න"
ඇය හැමදාකම මෙන්, සිය සදාදරණීය ප්‍රේමවන්තයාගෙන් ප්‍රතික්ෂේප විය.
"එහෙනම් මම නදුන් එක්ක ඩාන්ස් කරන්නද ගිහින්?? එයා ඩාන්ස්  කරන්න කෙනෙක් නැහැ කියලා  චුරු චුරු ගගා උන්නෙ." ඇය අවසාන තුරුම්පුවත් දමා ගැසීය.

 සිය පෙම්වතාගෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප වන පෙම්වතියකගේ අවසාන තුරුම්පුව ,ඔහුගේ පිරිමි සිතෙහි නිදන්ගත ඊර්ෂ්‍යාව අවදි කිරීම විය හැකි බව ඇය අනුමාන කළාය. එම නිසාවෙන් ඇගේ පාසැල් මිතුරෙකු වූ  නදුන්ව ඇය ඒ වෙනුවෙන් තෝරාගන්නට විය.ඔහු තනිකඩයකු විය. ධනුකට වඩා ජවසම්පන්න මෙන්ම, කඩවසම්  පෙනුමක් නදුන් වෙතින් දිස් විය. එහෙත් දෑ අවුරුද්දක ප්‍රේමයකින් බැට කා සිටි නදුන් ආතුර වූ සිතක් දරාගෙන හුන්නේය.නමුත් කෙළිලොල් හා මිත්‍රශීලි  බවින් සපිරි ඔහුගේ ඇසුර  හිමාෂිගේ සිත් ගත්තාය.ඇය ඔහු හා එක්ව නර්තනයේ යෙදෙන කල, හොරැහින් ධනුකගේ ඉරියව් පිරික්සන්නට විය.


"මොනාද හොරෙන් බලන්නේ? ධනුකයාට මළ පැනලාද කියලාද?" නදුන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ තිගැස්සුනු හිමාෂිට වචන අමතක විය.

"අහ්...න්..නෑ.. මෙ.. එයාට එහෙම වෙනවානම් බැරියෑ...." ඇයට නොකිව යුත්තක් කියැවිණි. ගෙයි ගිනි ලෝකය පුරා ඇවිළෙනු දකින්නට ධනුක කවදත් අකමැතිය. ඔහුට කවදත් ලෝකයා මහමෙරකි. සිය පෙම්වතියගේ අපරිමාණ ප්‍රේමයට වඩා ඔහුට ලෝකයාගෙ ගෞරවය අතිශය ඉහළය.

"මිනිහා වෙනස්..." හිමාෂිට පමනක් නොව ඔහුගේ වෙනස  ලෝකයාටම නොරහසක් බව ඇයට වැටහින.

"ම්ම්..." ඇය නොදෙඩීය.නදුන් ද ඉන් එහාට ධනුක ගැන කිසිවක් හිමාෂි හා  නොපැවසීය. ඒ වෙනුවට දහසකුත් දේ ගැන ඔවුන් කතා කළහ. ඔහුගේ දඟකාරකම්, විහිළු තහළු මැද ඇගේ නර්තනය බොහෝ විනෝදජනක විය. ඇයට එක මොහොතකට  ඇයව ප්‍රතික්ෂේප කරන,සාම්ප්‍රදායික රාමුවටත් වඩා වෙනස්  රාමුවක සිරවී උන්, ධනුක නම් වූ.., ඇගේ පෙම්වතාව  අමතක විය. ඒ වෙනුවට ඇය නැවතත් පාසැල් පෙම්වතියක් මෙන් කෙළිදොලෙන්, පාසැල් මිතුරා සමඟ ප්‍රිය සල්ලාපයේ යෙදෙමින් රඟන්නට විය. 

සාදය අවසන් වෙනතුරුම ප්‍රීතිමත් නර්තනයක වින්දනය ලැබූ හිමාෂිත් නදුන් ත් ඔවුන්ගේ දුරකථන අංක හුවමාරු කරගත්තේ පැරණි මිත්‍රකම් නැවත අලුත් කරගත යුතුයි යන අදහසිනි.ධනුකගේත් විරුද්ධත්වයක් නොවුන බැවින්, ඔවුන් දෙදෙනාගෙ මිත්‍රකමේ නව අංකුරයක් එදා දින සාදයේදී හට ගතින.අවසානයේ ඇය නදුන්ගෙන් වෙනව ගියේ නැවත හමුවීමක බලාපොරොත්තුවක් සිතෙහි රඳවාගෙනය.එය ඇගේ සිතට කෙසේ ඇතුළු වූවාද යන්න ඇයටත් රහසක්ම විය.

                                *****************
කාලය ගත වී ගියේ ඉතාමත් වේගයෙනි. නමුත් සියල්ල එසේමය. වෙනසක් වූවානම් ඒ, නදුන්ගේත් හිමාෂිගේත් මිත්‍රත්වය මිස, ධනුකගේත් හිමාෂිගේත් ප්‍රේමය නොව. ඔවුන්ගේ දුරස්බව, ආගන්තුක බව එසේමය. ධනුක සෑමවිටකම හිමාෂිගෙන් ඈත්ව , එහෙත් ඇයට ප්‍රේම කරන බව පැවසීය. හිමාෂී ඇගේ සිහින මාලිගා බිඳි යාමේ දුක හා කාලය ගත කළාය. 

සිත දුකින් පෙළෙන මොහොතක.., එක උණුසුම් සැනසුම් ස්පර්ෂයක්, ආරක්ෂිත බව හැඟෙන වැළඳගැනීමක්, එකම එක ප්‍රේමණීය හාදුවක්., හිත ඉපිලෙන සියුමැලි බොළඳ වදනක්.., අඩුමතරමේ ඇගේ අහිංසක ආසවක් වෙනුවෙන් පුංචි ඉඩක්වත් ඇයට නොලැබිණ. ඒ සියල්ල අනන්තය තරම් දුර බවක් ඇගේ සිත වෙළාගෙන තිබිණ. ඇයට තිබුණේ කාමපිපාසාවකින් පෙලෙන සංකර සිතක් නොව, අතිශය අහිංසක, බොළඳ මෙන්ම ප්‍රේමයේ ශෘංගාරාත්මක ඉසව්වක සේයාවක් වෙනුවෙන් සුසුම්ලන සිතකි.

 "ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…" කියා නන්දා මාලිනියන් ගැයුවාට , ප්‍රේමය නම් දිගින් දිගටම තම පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වීම බව කොහේවත් සදහනක් ඇති බවට හිමාෂිට මතකයට නොනැගින.පෙම්වතියක් තම පෙම්වතාගෙ ආදර‍ය , රැකවරණය, සියුම් ප්‍රේමණීය ස්පර්ෂයක් බලාපොරොත්තු වීම මොනතරම් සාධාරණද නැද්ද යන්න හිමාෂී තනිවම දිගින් දිගටම තර්ක කළාය. ඇයට ඇයව සාධාරනීකරණය කිරීමට සාක්ෂී අවශ්‍යවන්නට ඇත.

ඇය ඔහුගෙන් භෞතික වස්තු ලාබ, සැප සම්පත් නොපැතීය. ඇයට අවැසි වූයේ ,ප්‍රේමයේ නිරාමිස මානසික සතුටය. ජීවිතය හා බැඳුනූ අපරිමිත ප්‍රේමයක් තිබියදී ඇයට දැනෙන තනිකම, සාංකාවට ඇය වෛර කළාය. එසේ හිඩැසක් ඇගේ ජීවිතයට කෙසේ පැමිණියාද කියා ඇය සිතින් වැලපෙන්නට විය. ප්‍රේමය අත පොවන මානයේ තිබියදීත්, එය ඇයට සදාකාලයටම හිමිව තිබියදීත් ,ඇගේ සිත වෙළාගත් අසම්පූර්ණ බවට ඇය ශාප කළාය.

විටෙක ඇය ධනුකට ගැළපෙන ලෙස, ඔහුව ඉවසා දරාගන්නට අපමණ උත්සාහ ගත්තාය.ඔහුව ඇයට දැනෙන යුගයක් ළඟදීම පැමිණේවි යැයි විශ්වාස කළාය.අවසානයේ  ඔහුව දරාගන්න.., දරාගන්න දැනෙන දුරස්බව ට, තනිකම ට ,ඇය හුරුවෙමින් සිටියදී, ඇය ජීවිතය ආදරය වෙනුවෙන් ඉවසන්න තීරණය කොට සිටියදී., නදුන්  සිය ආත්මයෙන් නිදහස්ව මෙන් ඇගේ ජීවිතයට එබෙමින් සිටින්නට විය. ඇය නැවතත් අන්ත දෙකක සිරවුණු සිතින් යුතුව, ප්‍රේමයේ පීඩනයට හසු වූ අසරණ ප්‍රාණියෙක් බවට පත්විය.

නදුන්ගේ හිත නිවී සැනසෙන කතාබහ ට ඇය නතු විය. මුළු ලෝකයා ඉදිරියේ ,ඇය සිය එකම විශේෂිත පුද්ගලයා බව සලකා හැසිරෙන ඔහු කෙරෙහි  කාන්දමකට ඇදෙන්නාක් මෙන් ඇගේ සිත ඇදෙමින් පැවතිණි.එහෙත් සිය ප්‍රථම ප්‍රේමය අමතක කර දමන්නට, ධනුක වෙතින් පලා එන්නට, ඇගේ හෘද සාක්ෂිය ඇයට බාධා කරන්නට විය. හෘද සාක්ෂිය පරදවා, ඇගේ යටි සිතටම කිඳා බැස තිබූ නදුන් වෙනුවෙන් හටගත් හැඟීම ඇයව ඔහු වෙතට ගෙන යන්නට පෙළඹ වීය. ප්‍රේමය ඇස් බැන්දුමක් බව ඇය ඉන්පසු ඇදහීය.

"මට ඕනෙ සම්පූර්ණ කෙනෙක් නෙවෙයි නදුන්.., සම්පූර්ණ ආදරයක්....මම වටින කෙනෙක් කියලා මට දැනෙන ආදරයක්....මගේ ජීවිතේ පිරිලා කියලා දැනෙන ආදරයක්."

"ම්ම්ම්ම්... ඔයාව මට වටිනවා... අහම්බෙන් හරි ලැබුණු ඔයාව මට වටිනවා...හුඟා........ක්"

නදුන් ඇගේ නළලත මත ප්‍රේමයේ සුන්දරම හාදුව අතිශය පරිස්සමට තැබීය. ඇගේ දෙනෙත් කඳුළු පටලයකින් වැසි තිබිණ.


දෛවය,  ඇගේ ජිවිත කතා පොතේ ලියූ නීරස ප්‍රථම ප්‍රේම පරිච්ඡේදය එසේ පටන්ගෙන, සිත් වේදනාවක් පමණක් ඉතිරිකොට අවසාන කරවීය. පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වීමේ පරිච්ඡේදය අවසාන කොට, නැවත ලියන්නට නියම කෙරුණු ප්‍රේමයේ සුන්දරම පරිච්ඡේදය..., මෙසේ අලුතෙන් ඇරඹීය.

"මට දැන් දැනෙනවා.., මං වෙනුවෙන් කෙනෙක්ගෙ පපුවක හුස්ම වැටෙනවා කියලා.."

ඇය නඳුන්ගේ පපුවට හිස තබාගෙන දෑස්  වසාගත්තාය.






                                                             ෴නිමි෴


ප.ලි- පහුගිය කාලෙ තිබුණු විභාග හින්දා ලියන්නවත් කියවන්නවත් වෙලාවක් වුනේ නැහැ. සෑහෙන කාලෙකින් අද තමා බ්ලොග් එකට දෙයක් ලිව්වෙ. 

ලියන්න දෙයක් ගැන අදහසක් නැතුව ඉන්නකොට, මෙහෙම කතාවක් ලියපන් කියලා අදහස දුන්නු පූසා අයියාට ස්තූතියි!!!!!

Post Comment

91 comments:

  1. හොදා.. වෙනත් කෝණයකින් දැක්කා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. :D එහෙම දැක්කා නම් සතුටුයි!! තැන්කූ!! ජය!!

      Delete
  2. කිව්වත් වගේ රැල්ල පාගලා වැලි පිටින් බස් එකේ යන්න ගියාම තමා ආතල් එක. ගෙදර ගියාම මාට්ටු වෙන්නෙත් ඒකෙන්ම තමා..

    මරු !
    ජය !

    ReplyDelete
    Replies
    1. හා හා.. සැමා අයියා හොර වැඩ කරන්න දන්නෙම නෑනෙ.. :p

      ජය!

      Delete
  3. හිතූ කාලෙකට පස්සේ ඇවිත් හිතට දැනෙනෙ ලිපියක් දාලා . මේ වගේ ධනුකලා ඉන්නවා හිතූ .

    ReplyDelete
    Replies
    1. හිතට දැනුනානම් සතුටුයි අක්කි! :) ම්ම්ම්.. මෙහෙම අය ඉන්නවා තමා !!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි ධාරා දුවේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. ඇ මරු ඇ පස්ටයි

    ReplyDelete
  6. annanthai appramanai kiyana adareta minissu seemawal dagena.... monawa unath adare kiyanne nidahase thabiya uthu deyak...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. ඔව්. ඒකත් ඇත්ත තමා ඇනෝ/ඇනී :) ස්තූතියි!

      Delete
  7. ධනුක ට කොතැන හරි වැරදිලා තියෙනවා නේද. බෝධිසත්ව ජිවිතරයකට ආදරය බාදාවක්නම් ඇයි තව හිතක බලාපොරොත්තු ඇති කලේ ...
    හිමාෂිගේ අසරණකම දැක්කහම පවු කියලත් හිතෙනවා

    හොද නිර්මාණයක් හිතුවක්කාරී ....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... ඔව්, ධනුකගෙ පැත්තෙන් හිතන්න වෙනවා ඒ ගැන.... හිමාෂි තමා ඉතින් එතනදි අසරණ වෙන්නෙ. මෙහෙම අය ඕනෙ තරම් ඇති සමාජෙ.

      තැන්කූ කසුන්!

      Delete
  8. ඇත්තටම ලස්සන කතාවක් හිතු.... නියමයි....

    ReplyDelete
  9. සිරාවටම හිතු කතාව ගැන කියලා වැඩක් නෑ..සිද්ධි පෙළගැස්මයි චරිත නිරුපනයයි මැක්සා.. මම හිතන්නේ ධනුකට තියෙන්නේ මානසික ලෙඩක්.

    ReplyDelete
    Replies
    1. හි හි හි ඉත්තූතියි රයිටර්!!! රයිටර්ගෙ කතාත් ඉතින් සුපිරි මැක්සා නෙහ් :D

      ම්ම්ම්... මානසික බලපෑමක් වෙන්නත් පුළුවන් :)

      Delete
  10. මෙවැනි දේ සිහින නොවේවා. මා පිය දු දරු සැවොම මේ සත්‍ය පිළිගනිත්වා. අගනි ලිපියට තුති

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අංකල්. :)

      Delete
  11. මාත් යන්න ඕනි නැටුං ඉගනගන්න මෙහෙම ඉදලා බැහැ..දනුක කෙනෙක්ට හමු වෙලා දුක්විදින අසරණ කෙල්ලක් වත් සෙට් කරගන්න හිතන්න ඕනි....

    අඩි ටිකවත් හරියට ඉගන ගත්තොතින් ඉතිරිය නටන්නෙ කෙල්ල නෙව... වැදගත් පොයින්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. නැටුම් ඉගනගන්න ඕනෙම නෑ හෆ්ෆා,, පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන්න පූලුවන් නම් ඒත් ඇතිනෙ.. වැදගත් වෙන්නෙ සහයෝගය!! :D

      Delete
  12. Me wage niwichcha aya innawa. Wade kiyanne anik kattiya eyalawa therum noganeema. Mehema dewal wenna godaak hethu thiyenna puluwan. Podi kaale siduweem, pawul pasubima, thawa boho de. Me wage dennek ekathu wela jeewithe patan gaththoth, eka hamadaatama, eyaala marenakal thiyewi.
    Aadaraya kiyanne mama kathaa karanna akamathima deyak. Mama kaatawath aadaraya karalath na, mata kawruth aadare karanneth na kiyala hondatama sure. E nisa meka mage maathrukaawak newei.
    Eth kathaawa nam niyamayi.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔව් .නිවුණු තැන්පත් මෙහෙම අය ඉන්න පුළුවන් තමා.., අසාමාන්‍ය හැසීරීම් , චර්යා තියෙනවානම් ඒවාට ඔය කියන හේතු අදාල වෙන්න පුළුවන් තමා..

      තදින්ම නොගැළපෙන දෙන්නෙක් මෙහෙම ජීවිතයක් පටන්ගත්තොත් නම් ප්‍රශ්න තමා..

      ස්තූතියි :) :)

      Delete
  13. ඔය තියෙන්නේ ගාණට! :)

    ReplyDelete
    Replies
    1. මල්ලි උඹ ඩාන්සින් ක්ලාස් ගිය කතාවකුත් කිව්වා නේද? අහිංසක ආදරයක් මැදට පනින එක හරිද මෙහෙම? අනික මේ හිතුගේ??? :D :D

      Delete
    2. ඩාන්සින් ක්ලාස් යන්න ඕනේ නැත්තං මටත් මේ කතාවේ වගේ වෙන්න බැරි නෑ! :P දැන් උඹලා නාකියි කියලා මොනවා කරන්නද අයියේ. තරුණ අපේ නිදහසට ඉරිසියා කරන්න එපා! :D

      Delete
  14. බොසත් කමයි පීචං කමයි අතරේ ලොකු වෙනසක් තියෙනවා ...... ලස්සනයි අක්කේ ..... සමහරුන්ගේ ඇත්ත තත්වේ තමයි ඔය ,,

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්.....

      තැන්කූ මල්ලි!

      Delete
  15. මමත් දනුක වගේ ආදරවන්තයෙක්ගේ ආදරේ වින්දා.බලාපොරොත්තු හීන මහා ගොඩාක් හිතේ තියාගෙන එකක්වත් ඉෂ්ට උනේ නැති වුනාම ඇඩුවා ඇති වෙනකම්.ඒත් නදුන් වගේ කෙනෙක් ලගට යන්න තවමත් හිත හදාගන්න අමාරුයි.හිමාශි එහෙම කරේ කොහොමද කියලත් හිතෙනවා.අනික එච්චර ඉක්මනට.කෙල්ලෝ අපි වෙලාවකට මහ මෝඩ තීරණ ගන්නවා.පස්සෙයි පසු තැවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ම එහෙම අය 9ධනුක) ඉන්නවා කියලා ඔප්පු වෙනවා නේද?

      ධනුක ලා වගේ අය වගේම.., ඔනෑ තරම් හිමාෂිලාත් ඉන්නවා ... එක ආදරේකින් මිදිලා තව ආදරේකට නතුවෙන්න තත්පර කීපයක් ගන්න කෙල්ලොත් ඕනෙ තරම් මේ සමාජෙ ඇති. ඒක ආදරේමද කියන්න දන්නෙ නෑ.. එත් හිමාෂී ගත්තු තීරනෙ අසාධාරණ නැහැනෙ?

      පුද්ගල සව්භාවයන් වෙනස්, කෙනෙක්ට දැනෙන විදියට නෙවෙයි වෙන්න පුළුවන් තවත් කෙනෙක්ට දැනෙන්නෙ.., මෙතනදි හිමාෂිට හරියාවිද වැරදෙවිද දන්නෙ නෑ.. ඒත් ඉක්මණ් තීරණ හින්දා ජිවිතෙ වරදවා ගන්න කෙල්ලො ඕනෙතරම් ඉන්නවා තමා .ඇත්ත!

      Delete
  16. ඒකට මං නං හැමදාම බැනුං අහන්නේ කිසිම බෝසත් කමක් ගෑවිලාවත් නෑ කියලා...

    ReplyDelete
    Replies
    1. අනුෂ්කාගෙන් වෙන්ටෑ?? ;)

      Delete
  17. ලස්සන කතාව.. ඔය කතාවේ අනික් පැත්තත් ඔය විදියමයි.. කොල්ලෙක් විදියට මම කැමතිත් "බොහෝ විනෝදකාමී මෙන්ම කෙළිලොල්,අතිශය මිත්‍රශීලි" යුවතියකට තමයි..
    කවදත් හිතූ ලියන කතා එල!!!!

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කෙනෙක් හොයාගන්න එහෙනම්... :D

      හුඟාක් ස්තූතියි , කවදත් කරන අගයකිරීමට!

      Delete
  18. හිතුවක්කාරෙට ලියැවුන හිතුවක්කාර නොවන කතාවක්. හිතටම දැනෙනවා කෙල්ලේ...

    ReplyDelete
    Replies
    1. හි හි :D තැන්කූ තැන්කූ!!!

      Delete
  19. සෑහෙන කාලෙකින් මුකුත් නොලිව්වාට සම්පූර්ණයෙන්ම සමාව දෙන්න පුලුවන් නිර්මාණයක්.
    මෙතන ප්‍රධානම වැරැද්ද නොගැලපීම.
    නොගැලපෙන දෙන්නෙක් මුණ ගැහුනාම මේ වගේ දේවල් වෙනවා. හිමාෂී අන්තිමට හරි නිවැරැදි තීරණයකට ආපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. :) නොගැලපීම් හින්දා සදාකාලිකවම විඳවන්න වුනොත් .., ජීවිතේ අපරාදෙනෙ.

      තැන්කූ අයියෙ!!!

      Delete
  20. කලින් මම දාපු කොමෙන්ටුව delete කළ එක ගැන සමාවෙන්න. ඒත් ඒක නිසා වැරදි අදහසක් ගොඩ නැගෙන බව හිතුනා. කොහොම වුණත්, කතාව ලස්සණ යි, හිතූ. ඇත්තට ම වෙන්න පුළුවන් දෙයක්. මගේ අදහස කියනවා නං මම ‍මානසික රෝගියෙක්ට ආදරේ නොකළ එක ගැනත්, කොන්දේසි නැති ඒත් සීමාවක් තියෙන ආදරයක් ලබන එක ගැනත් මට හුඟක් සතුටු යි.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ.. මටනම් ඒ කමෙන්ටුවෙන් වැරදි අදහසක් ආවෙ නෑ.. එත් ඔයාගෙ කැමැත්තනෙ :)

      මෙහෙම දේවල් වෙන්න පුළුවන් තමා .. අවංකවම සතුටුයි ඔයාටත් හිත පිරෙන ආදරයක් ලැබිලා තියෙන එක ගැන (Y)
      ජය!!!!

      Delete
  21. අන්තිමේදී....අන්තිමේදී....ලියන්න අලුත් විදියක් හොයාගෙන.....

    ReplyDelete
    Replies
    1. හැමදාම..හැමදාම .. එකම විදියට ඉන්නකොටත් ගතියක් නෑනෙ. ;)

      Delete
  22. ධනුකයා ඔය විදියට 365 දවසේම ලොකේට බයේ සිල් රකිනවනම් මොකටද පෙම් වතියෙක් නේද..හිමාෂි ගත්තු තීරණය සාධාරණයි!

    ReplyDelete
    Replies
    1. හි හි ෆාතිට තලහා ගිහින් :D :p

      Delete
  23. ඇත්තටම කෙල්ලෙකුගේ හිත එලියටම ඇදලා දාලා තියෙනවා. ලස්සනයි නගෝ. කව්රු කව්රුත් සමහර වෙලාවට පිළිගන්න අකමැති උනත් ඇත්තම කතාවත් ඕකම නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ!!! :)

      එක එක්කෙනා එක එක කෝණ වලින් දකින්න පුළුවන් ... ඇත්ත නැත්ත ඔයාලටම බාරයි!! ;)

      Delete
  24. ලස්සනට ලියලා තියෙනවා...මාත් වතාවක් පෙම්වතී එක්ක ඉස්සෙල්ලාම ගියේ පන්සල්...මාස කීපෙකට පස්සෙ ලව් එකට කෙළවුනා. අපි වෙන්වුනා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියෙ!!

      හෆ්ෆා.... පන්සල් ගිය හින්දා එහෙම වුනා කියලාද කියන්නෙ?? :O

      Delete
    2. ඊළඟ පාර ඉස්සෙල්ලම රූම් පලයන් මචන්...... :D

      Delete
  25. කොයිදේ උනත් ඕනාවට වඩා ඕනෑ නැත කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත!! ඕනෙම දෙයක් ඔනෑවට වඩා ඕනෙම නෑ...

      Delete
  26. මට කියන්න දෙයක් නැ නංඟි එත් කතාව ඇතුලෙ මම හුඟක් නැවතුනා

    ReplyDelete
    Replies
    1. :) නැවතුනා කියන්නෙ, මම ඔයාව නවත්තගෙනද? ;) සතුටුයි!

      Delete
  27. හරි අමුතු හැඟීමක් දැනෙනවා.. මොකද කාලයක් මම දනුකගේ චරිත රඟපෑවා දැන් එකේ එහෙම්පිටින්ම අනික් පැත්ත... අනේ මන්ද.. ලස්සනයි.. මාවම මතක් කෙරෙවුවා

    ReplyDelete
    Replies
    1. ධනුක ගෙ චරිතෙ දැන් ඉවරනම් හොදා.. ඒත් කොයි දේත් ගානට :)

      ස්තූතියි :)

      Delete
  28. හිතුවක්කාරිගේ බ්ලොග් එකේ ලිපි කියෙව්වාම මම මගේ බ්ලොග් එකේ ලියන්නේ මොන කරම් නිසරු ලිපි ද කියලා මට හිතුනා.මම බ්ලොග්කරණයට තවම ආධුනිකයි. නමුත් ඔයලා ප්‍රවීණයි. ඒත් මම වගේ පුංචි කෙනෙකුට ඔයාලා වගේ උසස් අයගෙන් ලැබෙන පුංචිව හරි අවවාදය හරිම වටිනවා. ඒ නිසා මා වෙනුවෙන් අනුකම් කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් දාන්න කියලා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි

    ReplyDelete
  29. //"මට ඕනෙ සම්පූර්ණ කෙනෙක් නෙවෙයි නදුන්.., සම්පූර්ණ ආදරයක්....මම වටින කෙනෙක් කියලා මට දැනෙන ආදරයක්....මගේ ජීවිතේ පිරිලා කියලා දැනෙන ආදරයක්."

    "ම්ම්ම්ම්... ඔයාව මට වටිනවා... අහම්බෙන් හරි ලැබුණු ඔයාව මට වටිනවා...හුඟා........ක්"//

    ක්මෙන්ට් එකක් නැ හිතු, අන්තිමටම හිත ගත්තු වචන ටික ක්මෙන්ට් කරා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ලියලා ඉවර වෙලා කියෙව්වාම මගෙත් ආසම වචන ටික වුනෙ ඔය ටික :D :D

      Delete
  30. සෑහෙන කාලෙකට පස්සේ ඇවිත් හිතු හිතට දැනෙන කතාවක් ලියලා.. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ්.. සෑහෙන කාලෙකින්. අයියාගෙ බ්ලොග් එක පැත්තෙත් එහෙන් මෙහෙන් කරක්ගැහුවෙ.. :)

      දැනුනානම් සතුටුයි!!! ම්ම්ම්ම්ම්ම්.... :)

      Delete
  31. "මට ඕනෙ සම්පූර්ණ කෙනෙක් නෙවෙයි නදුන්.., සම්පූර්ණ ආදරයක්....මම වටින කෙනෙක් කියලා මට දැනෙන ආදරයක්....මගේ ජීවිතේ පිරිලා කියලා දැනෙන ආදරයක්."

    මේ කතාව ඇත්ත... මගෙත් හිත බැදුණා....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. හැමෝගෙම හිත බැඳිලා ඒ වචන පෙළට!! කොහෙන් ආවද මන්දා මටත් එහෙම වචන ටිකක්!! :)

      ස්තූතියි අක්කි!

      Delete
  32. හුග දවසකින් අක්කිගේ කතාවක් බැලුවේ.. කතාව නම් හුගක් ලස්සනට හිතට දැනෙන්න ලියලා තිබුණා..ආදරේ එක එක්කෙනාට දැනෙන විදිහ නම් හරිම අමුතුයි පුදුමයි අක්කි....

    ReplyDelete
    Replies
    1. නංඟා හුඟ දවසකින් නෙහ් :)


      ආදරේ එක එක්කෙනාට දැනෙන විදියනම් අමුතුයි තමා නගෝ... මිනිස්සු හැමෝම එක වගේ නෑනෙ.

      තැන්කූ !!

      Delete
  33. වෙනස් කතාවක් හිතූ..ලස්සනට ගලපලා තියනවා..

    මේ කතාවේ අනිත් පැත්ත වුනා නම් අවසානය හිතාගන්න මෙච්චර අමාරු නෑ..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ!! :)

      අනේද කියන්නෙ... එහෙනම් මෙච්චර දිගට කියවන්න වෙන්නෙත් නෑ! පේලියෙන් දෙකෙන් ඉවරයි! :D

      Delete
  34. thmange adra wnthiyata garukarana ona eath ktwath bye bye thmage nama kathwei kiyana byata nemei awnkawa wgema danenna adre krannathona mama hithana widihata nodanena adrekin wdakna mama hithana widihata danuka himashita adare karalana adare karanam himashige hitethiyenne ahinsaka balaporoththu hina tikak kiyala therumganna danukata puluwanwenna ona.widawa widawa adare karnawata wda wenwena ekamulin amaru unath hithata godak loku sahanayak nidahasak widihata mata hithenawa danenawa

    ReplyDelete
    Replies
    1. ඇත්ත! විඳව විඳව ආදරේ කරලා මොකටද? විඳින්න බැරි ආදරයක් ලඟ නතර වෙන එක අපරාදෙ කියලා හිතෙන්න පුලුවන් පසුවට හරි!

      ස්තූතියි අදහසට

      Delete
  35. මට අද තමයි මේ බ්ලොග් එක දැක්කේ. ඒකෙන්ම තේරෙනවා ඇතිනේ මම කොච්චර ආධුනික කෙනෙක්ද කියලා. මට නම් හිතෙන්නේ ධනුකටයි හිමාෂිටයි මුලදීම වැරදිලා කියලා. මොකද අත්දැකීමෙන් කියන්නේ මෙහෙම දෙන්නෙකුට එකට ගෙවන්න බෑ. හැබැයි මට හිතෙන්නේ ඔයා ධනුකට සලකපු විදිය පොඩ්ඩක් තද වැඩියි කියලා. මොකද මේ ඉන්න ධනුකට අපිට සමාවක් දෙන්න හරිම අමාරුයි. මොනවා උණත් අදින් පස්සේ නම් මෙතනට හැමදාම එනවා

    ReplyDelete
    Replies
    1. අද ඔයාගෙ තැන මීට අවුරුදු දෙකකට කලින් මමත් උන්නා... කාලය අපිව අත්දැකීම් ඇති මිනිස්සු කරාවි.. ඉවසන්න. :) අනික හොද දේවල් සුන්දර දේවල් ලියන්න.., ආධුනිකද ප්‍රවීණද කියන එක වැදගත් නෑ...

      ම්ම්ම්... වෙන්න පුළුවන්.. ධනුකගෙ පැත්තෙන් නැතුව හිමාෂිගෙ පැත්තෙන් නෙහ් කතාව බැලුවෙ. ධනුකගෙ පැත්තෙන් බැලුවොත් වෙනමම කතාවක් තියෙන්න පුළුවන්. :)

      ස්තූතියි... ආයෙත් එන්නකො!!

      Delete
  36. ලස්සන කතාවක්

    ආදරේ ගැන හැමෝම දකිනවට වඩා වෙනස් විදියට
    වෙනස් පැත්තකින් බලල ලියල තියෙනව

    ReplyDelete
    Replies
    1. තැන්කූ.............. :)

      ම්ම්ම්ම්...... එකම ආදරකතා ලියලා මමත් හෙම්බත් වෙලා උන්නෙ. :)

      Delete
  37. හිතුවක්කාරිට මොනව ලියන්නද?
    බෝධිසත්ත්වයෙක් ට පෙම්වතියක් වෙන එක නම් හරිම කරුමයක් තමයි. සිදුහත් කුමාරයවත් යශෝධරාට මෙහෙම සළකන්න නැතුව ඇති කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.... :) අනේ මංදා.., ආදරේ විඳවිල්ලක් වෙනවා එතකොට

      Delete
  38. මමත් හේ පැත්තට කාලෙකින් ආවේ...

    අපූරු කෙටිකතාව හැම කෙනෙක්ම එකවගේ නැහැ කියල හිතෙන්නෙත් මිනිසුන් විවිදයි කියල හිතෙන්නෙත් මේ වෙලාවටයි.

    ReplyDelete
    Replies
    1. ඒකතමයි! ඔබතුමා කාලෙකින්.

      අනිවර්‍යෙන්ම, මිනිස්සු විවිධයි!!

      Delete
  39. නිවුන ගතිගුණ හොඳ වුනත් මේ විදියේ බෝසත් කමක් එක්ක ආදරයක් පවත්වාගෙන යන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... අසීමිතව ඉවසුවත්..., ඉවසීමේ සීමාව දවසක පනින්න පුළුවන්.

      Delete
  40. පහුගිය දවස්වල හිතූ අක්කියටත් රයිටර්ස් බ්ලොක් හැදිලා හිටිය නේද.. කමක් නෑ ඉදලා ඉදලා දීලා තියෙන්නෙ හොද කතාවක්!!!! මෙව්වා ගැන ඉතින් කොමෙන්ට් කරන්න අපි පොඩි වැඩීනේ අප්පා..))))))

    ReplyDelete
    Replies
    1. හා හා ඔයා තාම චුට්ටි කෙල්ල නෙහ් :D

      දැන් ටිකක් මට ලෙඩෙ හොදයි නගෝ ;)

      Delete
  41. මෙහෙම අයත් ඉන්නව...මෙහෙම දේවලුත් වෙනවා...හිතුවක්කාරි ලස්සනට සිද්ධිය අකුරු කරල තියෙනවා.....


    මධ්‍යම ප්‍රතිපදාව රකින එකෙක් තමා කෙල්ලන්ට හොඳ...අනික හොඳටම පාර බලල පනින අය තමා වැඩියෙන් හැප්පෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි සහෝ!! :)

      //අනික හොඳටම පාර බලල පනින අය තමා වැඩියෙන් හැප්පෙන්නෙ....// ඇත්ත!!

      Delete
  42. හිතට දැනෙන කථාවක්. මගේ කථාව වගේ.......

    ReplyDelete
  43. Everyone deserve a happy ending. :)

    ReplyDelete
  44. මේ වගේ ගොඩක් ධනුකලා ආපහු හැරිලා ඇස් අරිනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ලෝකෙටම කෑ ගහලා අර කෙල්ලගේ වැරදි කියනවා ඊට පස්සේ. ඒත් ඒ කෙල්ල වින්ද වේදනාව දන්නේ ඒ කෙල්ල විතරයි.

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....