නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

23 January 2013

෴හිරු සඳු එකවර දෙපස නැගී 2 ෴

෴හිරු සඳු එකවර දෙපස නැගී 1 කොටස෴


මුළු ජීවිතේම ආදරේ කරගෙන, හැම බැඳිමකටම වඩා ආදරේ වෙනුවෙන් කැපවීගෙන , අන්තිම අංශුමාත්‍රයටම අවංකව ජීවත් වුනත්.., කාලයට පුළුවන් ඒ හැම දෙයක්ම වෙනස් කරන්න.පැණි වරකා ගස් වලටත් හෙණ ගහනවා කියන්න වගේ,  එකට බද්ධ වෙලා තියෙන හදවත් මොහොතින් වෙන් වෙනවා ,මේ ගතවුනූ ,මම ජීවත් වුනු කාලෙ ඇතුළත ඕනෑතරම් අත්දැකලා තිබුණ දෙයක්.

සමහර බැඳිම් වලට නමක් දෙන්න අමාරුයි. තවත් සමහර බැඳිම් වලට දෙන නම් අර්ථශූන්‍යයි. තවත් සමහර බැඳීම් කියන්නෙ මවාපෑමක් විතරයි. තවත් සමහර බැදීම් හුඟාක් ගැඹුරුයි.., තේරුම්ගන්න බැරි තරමට. මේ නානාවිධ බැඳිම් අස්සෙ, මම හෙව්වෙ අපේ බැඳීම් වලට තේරුමක්.. ඒත්, ජීවිතේ ගැනවත් හරියට ,එක මිටකට ගන්න තරම් දැනුමක් නැතිව, බැඳිම් ගැන හොයන්න යන එක මෝඩකමක් කියලා හිතුනා.
 හැමදෙයක්ම වෙනස් වුනෙ උත්පල ආපහු මේ ජීවිතේට ආපු නිසා. අනේ එහෙම නොවුනානම්..,කියලාත් නොහිතෙනවා නෙවෙයි. ඒත්..,

"මම ඔයාට තාමත් ආදරෙයි සම්මානී.. මම ජීවිතේ එකම එකසැරයක් වැරදි තීරණයක් ගත්තා. ඒ ඔයාව දාලා ගිය එක.ඒත් එදා ඉඳන් අද වෙනකම් ම, මොහොතක් මොහොතක් ගානෙ මම ඒ තීරණේ ගැන පසුතැවුනා. ..."
හීනෙන් වගේ උත්පල ගෙ වචන මට දෝංකාර දෙන්න පටන්ගත්තා.ඇත්තටම මට ඕනෑ කලෙත් ,සදහටම උත්පල ළඟට යන්න.ඒත්, හිත පුපුරු ගහන්න වේදනා දෙන දහම් ගැන ඇතිවෙන අනුකම්පාව, මාව නවත්වගෙන, අල්ලගෙන ,හිතින් බැඳලා තියාගෙන.

මොනතරම් ප්‍රතිපත්ති ගරුක කෙනෙක්ට වුනත්, ඒ ප්‍රතිපත්ති කඩලා දාන්න එකම එක අවස්ථාවක් හරි දෙන්න කාලයට පුළුවන්  . කාලය ඒ තරමට මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරන්න පුළුවන් සාධකයක් කියන දේ මම දැනගත්තෙ මීට ටික කලකට කලින්.

හැමදේකටම කාලයට දොස් කියලා මම නිර්දෝෂී වෙන්න උත්සාහ කලත්..,හෘද සාක්ෂිය මාව පැරැද්දුවා."උඹ වැරදියි..උඹ වැරදියි..උඹ වැරදියි..." මගේ යටි හිත මට චෝදනා කලා. ඒත් මගේ උඩු හිත හැම වෙලේම උත්සාහ කලේ මම නිවැරදියි කියලා ඔප්පු කරන්න. 

ඔළුවෙන් හිටගෙන විසඳන්න හැදුවත්, එකවර දෙන්නෙකුට ආදරේ කරන්න පුළුවන් කියන තර්කයට සමාජෙන් දිනන්න දෙන්නෙ නැති බව  ඉරහඳ තරම් විශ්වාසයි.චපලකම, නොහොබිනාකම,වනචරකම.., ඒ විතරක් නෙවෙයි වංචාව .., තව හුඟාක් වචන තියේවි හිත පතුරු ගැහෙන. කොයිතරම් අපහාස මැද වුනත් එහෙම කතාන්දර මේ අහස යට මොනතරම් ඇතිද?ඒත් අහස පොළොව නොඋහුලන අසාධාරණකම් පොකුරු පිටින් සිද්ධ වෙන සමාජයක් ඇතුළේ ආදරේට මොන සාධාරණයක්ද?

"මොකද සම්මානි ඔෆිස් ආව වෙලෙ ඉඳන්ම කල්පනාව?මොකුත් ප්‍රශ්නයක්ද?"
හදිස්සියෙම නදී ඇවිත් කතා කළාම , මම ඔරලෝසුව දිහා බැලුවා.

"දන්නෙම නැතුව ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා."

 අද දවසෙ මේ වෙනකම්ම මම ගත කලේ කල්පනා කර කර බව හැබෑවක්. වෙනදාට ලන්ච් ටයිම් එකට නදී ව හොයාගෙන යන්නෙ මම වුනත්, අද නදී මාව බලන්න එනකම් ම මට සිහියක් තිබුණෙ නෑ..ඒත්, කරදරෙන්, හිත අසතුටින්, පීඩනෙන් ඉන්න වෙලාවට හැමදේම නොරිසුම්සහගතයි.කෙනෙක් අනුකම්පාවෙන් කතා කළත්, හොඳින් කතා කළත්, මනුස්සකමට උදව් කරන්න කතා කළත්, එහෙම වෙලාවලදි වැරදියට පෙනෙන්න පුළුවන්.

"මෙයාටත් ඕනෙ නැති මඟුලක් නෑ.. කල්පනා කලාම, කතා නොකලාම ප්‍රශ්නයක්ද කියලයි අහන්නෙ, අසනීපයක්ද කියලා ඇහුවානම් කමක් නෑ.."

සුපුරුදු නොරිස්සුම්සහගත බව මටත් හරස් කැපුවා.ඒත් මම මගේ පාලනය අතට ගත්තා. අමාරුවෙන් වුනත් මම ඉවසීමෙන් වැඩකරන්න හිතට ගත්තෙ ධෛර්‍යන්.

"ම්ම්ම්.. ටිකක් ඔළුව කකියනව නදී.. මම හාෆ් ඩේ දාලා යන්න කියල බැලුවෙ." ළඟම කෙනෙක්ට හිතේ තියෙන ප්‍රශ්න කියල දාලා හිත සැහැල්ලු කරගන්න උවමනා වුනත්,මගේ ප්‍රශ්නෙ නදීට කියන්න මම මැළිවුනා. මම බය වුනා. මොනතරම් සමීපකමක් තිබුණාත්, මෙහෙම අවස්ථාවක් ගැන තේරුම්ගන්න නම් උපේක්ෂාසහගත වෙන්න ඕන.නදී  හොඳ බුද්ධිමත් කෙනෙක් වුනත්.., මෙහෙම අවස්ථාවක් ගැන නදීට කිවොත් නදී මා ගැන වරදවා තේරුම්ගනී කියන බය මට දැනුණා.

"ආ.. ඒ මොකද? ඇසුත් ටිකක් තඩිස්සි වෙලා තමා." නදී මගෙ නළලට අත තියලා උණ බැලුවා.මොහොතකට කලින් නදී ව නොරිස්සීම ගැන මම පසුතැවුනා. 
"උණක් නම් නෑ...කෝකටත් සමී ගෙදර යන්න එහෙනම්.."

"ඒකතමා නදී, මම ටිකකින් යනවා." නදීට බොරුවක් කිව්වා වුනත්, හදිස්සියෙම මම තීරණයක් ගත්තා.ඒ දහම් ව මුණගැහෙන්න යන්න.

------------------------------------------------------------------------
"ඇයි අද හදිසියෙම මාව මතක් වුනේ....." ආදරේ, පුදුමය වගේම සතුට උතුරන ඒ වචන මාව හිරිවැට්ටුවා..
දහම් ගෙ ඒ හිනාවත් මගේ හිතට දරාගන්න බැරිතරම් ලොකු බරක් වුනා. ඒ ඇස් ඉස්සරහා ඉන්නෙ , අවංක ආදරේකට ද්‍රෝහි වෙලා සදහටම යන්න හදන කෙල්ලෙක් කියලා, දහම් දන්නවානම්...?

"පව්ව්...." මගේ හිත වැලපුනා.ඊටත් වඩා වචනයෙන් විස්තර කරන්න බැරි අමුතු හැඟීමක් මාව රිදෙව්වා..ඒත්, හැමදාමත් දහම් ළඟ අනුකම්පාව වෙනුවෙන් රැඳිලා ඉඳලා පලක් තියේවිද? 
"මොකද කතා නැත්තෙ මේ? " ඒ ගමන දහම් පුදුමයෙන් වගෙ මගෙ දිහා බලන් උන්නා. මට ඒ ඇස් දිහා බලන්න බැරි වුනා. කවදාකවත් වංක නොවුනු මට, පළවෙනි වතාවට කෙනෙක්ගෙ ඇස් මඟ හරින්න වුනා.ඒ  වංක කම කියලා දැනුනු නිසා.

"මට පටන්ගන්න තැනක් හිතාගන්න බෑ දහම්.." 
ජීවිතේ අන්තෙටම පැරදිලා ඉද්දිදි අත දීපු කෙනෙක්, නැගිටින්න හයිය දීපු කෙනෙක්, දුක නැති කරලා සතුට ළං කරන්න අප්‍රමාණ කැපවීම් කරපු කෙනෙක් ඉස්සරහා , ජීවිතේ තරම් ආදරේ කරන කෙනෙක් ඉස්සරහා ,"මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා.." කියලා කියන්න පුළුවන්ද? කොහොම එහෙම කියන්නද..,?

 ඒත් කිසිම දෙයක් නොකියා, කිසිම පැහැදිලි කිරීමක් නොකර, දවසකට හරි ආදරේ කරපු හිතක් අතෑරලා දාලා යන්න තරමට ,මම ගුණමකුවෙක් නම් නෙවෙයි.මොකද, හේතුවක් නොකියා පලා යෑම කියන්නෙ ,කෙනෙක්ට සෑහෙන කාලයක් විඳවන්න අවස්ථාවක් හදලා දෙන එක. එහෙම කටුක අවස්ථාවක් වෙන නැති තරම් ඇති.ඒ නිසාම මට දහම් එක්ක කතා කරන්න ඕනෙ වුනා.

කාටවත්ම තේරුම්ගන්න බැරි වුනත්, දහම් මගෙ අසරණ කම තේරුම් ගනීවි කියලා මම තදින්ම විශ්වාස කලා. ඒත්, ඒ තේරුම්ගැනීමත් එක්කම මහ හුඟාක් ඒ හිත රිදෙන බවත් දැනගෙන උන්නා. හැමදේම පටන් ගන්න ඕනෙ විදිය ගැන අදහසක් තිබුණත්.., දහම් ට පැහැදිලි කරන විදිය ගැනවත්.., ඒකට ඕනෙ ආත්ම ශක්තියවත් නැතුව මම තව තවත් තැවුනා.

"මොකක්ද ප්‍රශ්නෙ සම්මානි? ඔයා ඔහොම කල්පනා කරද්දි මම කොහොමද ඔයා හිතන දේවල් දැනගන්නෙ?"
"ම්ම්.. ඔයාට කොහොමත් බැහැ මගේ හිත තේරුම්ගන්න..." ක්ෂණිකයෙන් අකුණක් පුපුරලා ගියා වගේ , මටම හිතා ගන්න බැරි වුනා මගෙ කටින් පිටවුනු දේ ගැන. දහම් ගෙ මූණ අඳුරු වළාකුලකින් වැහිලා ගියා.මොහොතක මට දැනුනෙ විශාල කුණාටුවක් අත ළඟ කියලාමයි.

"මොකක්ද මේ කියන්න යන්නෙ සමී? මගෙන් මොකක්ද වුනු වැරැද්ද?මම අඩුවක්වත් කලාද ඔයාට?"
ඒ හඬ වෙවුලනවා.. ඊටත් වඩා මගේ හිත ගැහෙනවා.., . ඒත් තවත් වචන හිරකරන් තේරුමක් නැති බව දැනුනා. ඒ නිසා මම වචන මුදාහැරියා.එන්න යන්නෙ කුණාටුවක් වග දහම්ටත් අවබෝධ වෙලා නිසාදෝ, ඒ ඇස් බලාපොරොත්තු රහිතව මැලවිලා තිබුණා.

මම මුල ඉඳන් හැමදේම.., අකුරක් නෑර දහම් එක්ක කතා කළා.අපි අපි වෙනුවෙන් ජීවත් වුනත්, කවදාවත් පිර වුනෙ නැති හිස්තැනක් මගේ ජීවිතේ මට තිබුණු වග මම කියවගෙන ගියා. ඇත්තටම මට පුදුම හිතුණා ඒ නිවුණු පිරිමි හිත ගැන. ආදරේ අහිමිවීමෙ වන්දිය ලේ වලින් පියවන යුගයක.., දහම්ගෙ හිත හැඟීම් දැනීම් නැති , මහ කළුගලක් වගේ කරගෙන නොසැලී හිටිය හැටි, මාව තවත් පුදුම කලා.ඒත් ඒ නිසාම මට මගේ හිත පැහැදිලි කරන්න ලොකු පහසුවක් වුනා.

"මම දන්නවා දහම්., මම වැරදියි. මට තිබ්බෙ මගේ දුක් ගන්න ඔයාව තෝර නොගෙන ඉන්න. ඒත් මම හදිසි වුනා දහම්. හිත දුර්වල වුනාම හුඟාක් මිනිස්සු තුත්තිරි ගහක හරි හයිය හොයනවා....මම ඔයාට වැරැද්දක් කරන්න හිතුවෙ නෑ.. මට දුකයි.."

"ම්ම්.. ඔව්. ඔයා මට වරදක් කරලා නෑ. ඒත් මම කල්පනා කලෙ මගෙන් කොතනද අඩුවක් වුනෙ කියලා.."

"නැහැ දහම්.. අඩුවක් වුනෙ නෑ.. ඔයා කියනවා වගේ , මට ඔයාට අනුකම්පා කර කර ජීවත් වෙන්න බෑ...

"මට අනුකම්පාව වැඩක් නෑ සම්මානි.. ආදරෙයි අනුකම්පාවයි දෙකක්. ඔයා හැමදාම හිතින් විඳව විඳව මට අනුකම්පා කර කර ඉඳලා මොකටද....?"

දෛවයට මම හිතින් ශාප කලා. කාලයට වෛර කලා. ජීවිතේ ගැන කළකිරුනා. එක හිතක් විතරක් අසරණ වුනානම්.., සමාවක් දෙන්න තිබුණා. කිසිම වරදක් නොකරපු, ආදරේ විතරක් කරපු හිතක් කඩා ඉහිරවන්න වුනු පවට මම මටම සමාවක් දුන්නෙ නෑ..

කඳුළු බිංදු අතරින්, මම පව්කාර මගේ සිතුවිලි දහම් එක්ක බෙදාගත්තා. කොයිතරම් කතා කලත්.., මොනතරම් කඳුළු දිය කරත්.., විසඳුම තිබුණේ මගේ ලඟ විතරක් බව දහම් මට මතක් කළා. 

" මට ඔයාව බලෙන් අයිතිකරගන්න ඕනෙ නෑ සම්මානි., ඔයාගෙ සතුට තියෙන්නෙ උත්පල ළඟනම්.., ඔයා යන්න. මම හිත හදාගන්නම්.. අඩුමතරමෙ ඔයා මට ඇත්ත කියලා යන නිසා.., මට හිත හදාගන්න පුළුවන්."

"ම...මංං.. කොහොමද...?"

" කොච්චර කතා කලත්, මේකට විසදුමක් හොයන්න මට බැහැ නේද සමී?? මට පුළුවන් ඔයාට සමාවදෙන්න. අපි මිනිස්සු.. අපිට වරදිනවා.. අපිට අපි සමාව නොදුන්නොත් කවුද දෙන්නෙ.?" 

දහම්ගෙ ඇස් බොර පාට වෙලා. ඒ ඇස් වල දුක මට හොදටම පෙනුනාත්.., මම අසරණ වුනා.තීරණයක් ගන්නම වෙනවා.. තවත් මේ හිත් පුච්චගෙන පලක් නැහැ..

"මට දුකයි දහම්.. ඔයා හුඟාක් හොද කෙනෙක්..,ඒත්......, ඒත්....., මම උත්පලට ආ..දරෙයි ......මට සමාවෙන්න දහම්.."





ආදරේ කරපු නුඹේ හිතම
රිදෙව්වා මහා හුඟාක් මම ම
ඒත් ආදරේ නිසාමයි  නේද,
වෙන් වෙන්න වුනේ අපි අපිට.....
දැන් ඉතින් කියාවි
මුළු ලෝකයම මට
චපලයි කියලා ගෑනු හිත් හැමදාම
වරදක් වුනා තමයි මගෙන් නුඹට
ඒත් ඇත්තටම චපලයිද මම?

                                       නිමි.


ප.ලි- අවසානය ගැන ඉතින් කියන දේවල් (චෝදනා) කියවන අයටම බාරයි.. :) ඒත් මෙහෙම දේවල් , මේ සමාජෙ අනන්තවත් වෙනවා. වෙන්න පුළුවන්. ඒ වගේම වෙයි. හරි වැරැද්ද ගැන හිතන එකත් , ඔයාලටම බාරයි!!! හිතුනු දෙයක් නිකමට ලිව්වා.එච්චරයි.

Post Comment

20 January 2013

෴හිරු සඳු එකවර දෙපස නැගී ෴

ජීවිතේ කියන්නෙ පතන දේ නොලැබෙන, නොපතන දේ ලැබෙන , මහ අරුම පුදුම දෙයක්. අවුරුදු 20ක් ජීවත් වුනු කෙනෙක්, ජීවිතෙන් මොන මොන දේවල් යැදලා ඇත්ද, ඒ දේවලින් මොන මොන තරම්ක් දේවල් පෙරළා  ලැබෙන්න ඇත්ද, නිකමට මම ජීවත් වුනූ මේ ටික කාලෙ ඇතුළත, මම බලාපොරොත්තු වුන, මම ජීවිතෙන් ඉල්ලපු දේවල් මතක් කළොත්, එයින් කීයෙන් කීයයිද මට ලැබුනෙ?හිත හැම මොහොතෙම දුක් වුනා.

ඒ අතින් බැලුවාම ජීවිතේ මහ ලෝබයි.. අසාධාරණයි..ඒත්, අහම්බෙන් හරි මම හිතපුවත් නැති මොහොතවල් වල  ජීවිතේ මට  දුන්නු දේවල් මතක් කළොත්....,ඇත්තටම ජීවිතේ මා...ර..යි.. සාධාරණයි..මම වාසනාවන්තයි..


"චිහ්හ්ඃ.... මේ ඔක්කොම විකාර මට හිතෙන්නෙ වැඩක් නැතිව කම්මැළිකමේ උඩ බලන් ඉන්න වෙලාවටමනෙ." තේරුමක් නැති දාහක් දේවල් පස්සෙ හිත දුවල දුවල නතර වුනාම මම මගේ හිතටම කියාගත්තා.


වෙනදාට නම්,දවස තිස්සෙම මොනාම හරි වැඩක් කරලා, ඒත් කිසිම දෙයක් නොකර , නිදහසේ ඉන්න වෙලාවට පොතක් පතක් කියෙව්වාට, සින්දුවක් ඇහුවාට.., මේ දවස් වල එහෙම කරන්න හිතෙන්නෙ නෑ.. හිතට ඒ තරමට ඉවසිල්ලක්, ඉස්පාසුවක් නෑ.. ඒ නිසාම මම මේ හැන්දෑ වරුව ගත කලෙත් වත්ත පහළ බංකුව උඩට වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කර කර.


මොනතරම් ජීවිතේ ගැන හිතුවත්, තවමත් ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුම්ගන්න බැරි තරමට , තෝරගන්න බැරි තරමට ,මම කලබලයි. ඒත් නිවිසැනසිල්ලෙ ජීවිතේ ගැන කල්පනා කරන්න හිතන හැම මොහොතකම මම අතරමං වෙන්නෙ අතීතයේ.අතීතය කියන්නෙ මතකයක්. සමහරුන්ට හීනයක්.තවත් සමහරුන්ට වර්තමානෙ වෙනුවෙන්, අනාගතේ වෙනුවෙන් පාඩමක්. ඒත් මට නම්.., අතීතෙ කියන්නෙ තුවාලයක්..යාන්තමට හොඳ වී ගෙන එනකොටම පෑරෙන, ආයෙ ආයෙත් තුවාල වෙන, කවමදාකවත් සදහටම සුව නොවෙන තුවාලයක්.


"මේ තරම් ජීවිතේ පැටළිලිසහගත වුනේ,එදා පෝය දවසෙ පන්සලේදි ආයෙමත් උත්පලව හම්බුනාට පස්සෙද?" මම මගෙන්ම ප්‍රශ්න කරගත්තත්, යටි හිත දුන්නු "ඔව්" කියන උත්තරේ හින්දා මට මාවම අප්‍රසන්න වුනා.


උත්පල කියන්නෙ මගේ ජීවිතේ හුස්ම වැටෙනකම්, කවමදාකවත් අමතක කරන්න බැරි මනුස්ස පරාණයක්. ජීවිතේ දැනෙන්න ගත්තු කාලෙදිම, ආදරේ බහ තෝරන කාලෙදිම මගේ හිත මම සින්නකරම ලියලා දුන්නෙ උත්පලට.ඒත්.., කාලය ආදරේ යටපත් කළා. ජීවිතේ හැම මොහොතකම සතුට උකස් කලේ ඒ හිත උඩ වුනත්, කාලය හරස් වෙලා ඒ හිත වෙන්දේසි වුනා.


ආදරේ කියන අකුරු අතරේ අතරමං වෙලා උන්නු මට, ජීවිතේ දරාගන්න බැරිව අතරමඟ වැටිලා උන්නු මට, අස්වැසිල්ලක් වුනෙ දහම්. දහම් මගේ ජීවිතේට ආවෙ ඒ නැතිවුනු ආදරේ නාමයෙන් මට පිහිට වෙන්න වගේ. කාන්තාරෙක ජීවත් වෙන,එක පුංචි ප්‍රාණියෙකුට දිය බිංදුවක් කොයිතරම් වටිනවාද, ඒ හා සමානව මට දහම්ගෙ ආදරේ වටිනාකමක් දැනුණා.


සමහර වෙලාවට ජීවිතේ පැරදිලා ඉන්න මොහොතවල් වලදි ගන්න තීරණ හැම එකක්ම සාර්ථක වෙන්නෙ නෑ කියලා අහලා තිබුණාට, බුද්ධියට ඉඩ දුන්නෙ නෑ මම මොහොතකටවත්.., හදවතින්ම වැළඳගත්තු දහම්ගෙ ආදරේ තව තවත් වැළඳගත්තා මිස.එදා ඉඳන්, අද වෙනතුරුම, අවුරුද්දක් පුරාවට මගේ සතුට ළඟ වගේම දුක ළඟම තනි රැක්ක දහම්, ආදරේ නාමෙන් මට කිසිමදාක චෝදනා කරලා නෑ..ඒත්.., මොකක්දෝ අවාසනාවකට, මේ ගතවුනූ කාලෙ පුරාවටම , මගේ ජීවිතේ හිස්තැනක් තියෙනවා කියලා දැනුනා. හරියටම නම් කරන්න බැරි නමුත් මොකක්හරි අඩුවක් මට දැනුණා.


"අක්..කේ... දැන් කළුවරත් වැටිලා.මොකද ඔතන කරන්නෙ? අන්න අම්මා හොයනවා.... "
නංගිගෙ කෑගැහිල්ලෙන් මගේ සිතුවිලි කන්ද පය පාමුලම විසිරුණා.තව ටිකකින් අම්මා, "ලොකු දූව......" කියාගෙන මාව හොයන් එන්න කලින්,මම උන් තැනින් නැගිටලා ගියා.
-----------------------------------------------------------------------------
එදා හරියටම පෝය දවසෙ, මම පුරුද්දට වගේ අම්මායි, නංගියි එක්ක ගමේ පන්සලට ගියේ මලක් පහනක් පූජා කරලා එන්න හිතාගෙන.වෙනදාට බෝ මළුවෙ ගතකරන එක තත්පරයකදි පවා හිතට දැනෙන සැනසිල්ලට මම ලෝබ වුනා. ඒත් එදා.., මම හීනෙකින්වත් නොහිතපු රූපයක් බෝ මළුවෙ ඇතුළෙ මගේ දිහාවට ඇදුනා. මට හිතුනෙ මේ දකින්නෙ හීනයක් කියලා.

"සම්මානි.."

"ආහ්හ්හ්හහා..ම්ම්.. උත්පල??"
"ම්ම්.. මාව මතකයි එහෙනම්...කොහොමද ඉතිං?" 

ඒ වෙනකොට මම හිටියෙ සිහි එලවගන්න බැරිව, බෝ මළුව මැද අන්ත අසරණ වෙලා. උගුර කට වේලිලා, හද ගැස්ම වැඩි වෙලා.., මට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැරි තරමට කලබල වෙලා.


අමාරුවෙන් හරි වචන වලට පණ දෙන්න ඕනෙ නිසා මම උගුර පෑදුවා.

"ම්ම්... අමතක වෙන්නෙ කොහොමද මට ඔයාව?" කිව්වා නෙවෙයි, මට කියැවුනා.

කාලෙකට කලින් මහ හුඟාක් ආදරේ කරපු කෙනෙක් වෙන්වෙලා ගියාටත් පස්සෙ, ආයෙමත් අහම්බෙන් හරි ඇස් ඉස්සරහා හමුවුනොත් ඕනෙම කෙනෙක්ට දැනෙන සියුම් කම්පනය, මටත් අඩුවක් නැතුවම දැනුනා. 


"මම හොඳින් උත්පල. ඔයා මොකද ගමට ආවෙ ආයෙමත්?කොළඹ පදිංචියටම ගියා නේද?" මම පියවි සිහියට අමාරුවෙන් එළඹිලා කතා කරන්න පටන් ගත්තා.

"ඔව්. මම මාමාව බලලා යන්න ආවෙ. ටිකක් අසනීපෙන් කියලා පණිවිඩයක් එව්වානෙ. සතියක් විතර ඉඳලා යනවා."
"ම්ම්ම්.. "
"සම්මානි මොකද කරන්නෙ දැන්?කැම්පස් අවුට් වුනා නේද?"
"ඔව්. මම ජොබ් එකක් කරනවා."
බෝ මළුවෙ ඈත කෙළවරක ඉඳන් නංගි අත වනනවා දැක්කෙ එතකොටමයි.
"උත්පල, මම යන්න ඕනෙ. නංගි කතා කරනවා. මම යන්නම්.."

"ම්ම්.. මම ඔයාව මුණගැහෙන්න එන්න හිටියෙ."

"දෙයියනේ!! ඒ මොන එහෙකටද?"මම හිතින් මැතුරුවෙ මගේ දෙපතුලෙ ඉඳන් සර්වාංගෙම සීතල වෙද්දිමයි.


"ඇයි උත්පල හදිස්සියෙම මාව මුණගැහෙන්න එන්න හිතුවෙ?" මම පැහැදිලි නිවුනු ස්වරයෙන් කතා කලේ, උත්පල මාව මුණගැහෙන්න එන එක සුළුකොට තකන්න පුළුවන් දෙයක් නොවෙන නිසා.

"ඇයි මම එනවාට සම්මානි කැමති නැද්ද? මට ටිකක් කතා කරන්න ඕනෙ ඔයා එක්ක.මම දන්නවා මා එක්ක ඔයාට කතා කරන්න තියා මූණ බලන්නවත් හිතෙන්නෙ නැතිවැති. ඒත්.., සම්මානි.."
"මට ඔයා එක්ක තරහක් නෑ උත්පල. ඒත් ඔයා මාව හම්බෙන්න එන්න හදන්න එපා. "
"නැහැ, පොඩ්ඩක් ඉන්න. මට ඔයාගෙන් මහ කාලයක් ඕනෙ නෑ. ඒත් මට මගේ හිතට සමාවක් දීගන්න බැරි තරම් සම්මානි.."
"මම අතීතය අමතක කරලා හුඟාක් කල්. ඔයාව මගේ ජීවිතේන් ඈත් කරලා හුඟාක් කල්. ඒ නිසා.., අපිට තවත් කතා කරන්න දෙයක් ඇති කියලා මම හිතන්නෙ නෑ උත්පල.. " හිත පුපුරුගහන තරමට රිදුනත්,මම  කඳුළු වලට ඉඩක් නොතියාම කියවගෙන කියවගෙන ගියා.
"සම්ම්.මානි..."
"මම යනවා උත්පල, හොඳින් ඉන්න. " මම අඩියට දෙකට එතනින් ඈත් වුනේ , තව රැඳුනානම් වේලිච්ච කඳුළු නහර තෙත් වෙන නිසා.
---------------------------------------------------------------------------------
එදා සිද්ධ වුනු දෙයින් මට වුනේ, අතීතෙ කියන සුවපත් නොවෙන තුවාලෙ තව තවත් පාරවගන්න මිසක්, හිත හදාගන්න පහසුවක් නම් නෙවෙයි.රෑට නින්දට යද්දිත්, උදේට ඇහැරෙද්දිත්, කන බොන වෙලාවෙදිත්, දහම් එක්ක ළඟින් ඉද්දි පවා මට , උත්පලගෙ හමුවීම හා බැඳුනු මතකය අමතක කරන්න බැරි වුනා. 


කෙනෙක්ගෙ ජීවිතේ පළවෙනි ආදරේ අමතක කරන්න බැරි වුනත්, සැබෑ අවංක ප්‍රබල ආදරේකින් , යටපත් කරන්න පුළුවන් බව අහලා තිබුණා. ඒත්, උත්පලගෙ අහිමිවීමත්, දහම්ගෙ ආගමනයත් එක්ක මගේ ජීවිතේ දැනුනු මටත් නොතේරෙන හිස් බවට හේතුව...,දහම්ගෙ ආදරේ මට ඇත්තටම නොදැනුනු හින්දද? හිත ඇතුලෙන් මම ප්‍රශ්න අහලාම හෙම්බත් වුනා. මුල මැද අග ගලපගන්න බැරි කතාවක වගේ මම අතරමං වුනා.


දහම් මට හුඟාක් ආදරේ කරද්දිත්, දහම්ගෙ ආදරේ රැකවරණෙ මැද මම ඉඳිද්දිත්.., උත්පල වෙනුවෙන් තවමත් මගේ හිත වැළපෙන්නෙ ඇයි කියලා හිතන්න මම බය වුනා.


වැඩට යන්න දැනටමත් පරක්කු වෙලා නිසා, ඉක්මණින් ඉක්මණීන් බස් එක අල්ලගන්න දුවන්න හිතන් උන්නත්, මනස්ගාත හිත හිත ඇවිදන් එද්දි මම හොඳටම පරක්කු වුනා.

"සම්මානි....සම්මානී...."
 මම ගැස්සිලා බැලුවෙ පුරුදු හඬ දිහාවට.උත්පල පාරෙන් එහා පැත්තෙ ඉඳන් මට කතා කරනවා. නොදැක්කා වගේ යන්න පුළුවන්කමක් තිබුණාත්, මගේ හිත මට ඕන කල දේ නෙවෙයි කලේ. 
මම හිනා වෙලා උත්පලට අත වැනුවා.උත්පල පාරෙන් මෙහා පැත්තට පැනලා මා ළඟට ආවා. 
"සම්මානි වැඩට යනවාද? යං මාත් යන්නෙ කොළඹ තමයි."
"ඔයා යන්න උත්පල. මම ඉක්මණට යන්න ඕනෙ. හන්දියට ගිහින් ඉන්ටර්සිටියකවත්..මට පරක්කු වෙලා."
"ම්ම්.. ඉන්න එහෙනම්, මේකෙ යමු හන්දියට." එහෙම කියන ගමන් උත්පල ත්‍රීවීල් එහෙකට අත දික් කලා.
වචනයක් වත් කතා කරන්න ඉඩක් නොතියාම, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වෙන බෝනික්කියෙක් වගේ මම උත්පල පසුපසම ඇදුනා.

දෛවය.., දෛවය.. දෛවය.., හැමදේම දෛවයට භාරදීලා බලන් උන්නු මට  වුනේ වල්මත් වෙන්න.මම කිසිමදවසක, මගේ ජීවිතේ පාලනය මගෙ අතට නොගත්තු හින්දාම , අද මේ තරම් පටලැවිලි මගේ ජීවිතේට ආවදෝ කියලා නොහිතුනා නෙවෙයි. ඒත්, ගත වුනු හැම තත්පරයක්ම එකතුවුනු අතීතෙ ආපහු වෙනස් කරන්න බැරි නිසා මම මුනිවත රැක්කා.

"ඉතිං සම්මානි..." 
වචනෙකින් දෙකකින් පටන්ගත්තු අපේ කතාව, ටවුමට ගිහින් එක මොහොතකට නැවතුනෙ ඉන්ටර්සිටි බස් එකක්වත් නැති බව දකින මොහොතෙ විතරයි.
"කමක් නෑ,දැන් මොනා කරන්නද,ඔය තියෙන බස් එහෙක යනවා දැන්.. කොහොමත් එකයිනෙ .." හිත ඇතුලෙන් තිබුණු උද්යෝගය හින්දමද මංදා,මම ප්‍රමාදයි කියන සිතුවිල්ල මට වදයක් වුනේ නැතිතරම්. ඊට වඩා මම උත්පල ඇසුරෙ ගතකරන මොහොතට ආස වුනා..
ඒත්,තමන් වරදක් කරනවාදෝ කියන වරදකාරී සිතුවිල්ල හිත ඇතුළෙන් යාන්තමට මතු වෙද්දි.,හෘද සාක්ෂිය හීන් සීරුවෙ හිත කොනිත්තද්දි,කාට වුනත් ඇතිවෙන අප්‍රසන්න සිතුවිලි මටත් අහම්බෙන් වගේ පහළ වුනත්.., කාලන්තරයක් තිස්සෙ හෙව්ව සැනසීමක්, සැහැල්ලුවක් හිතට දැනුන නිසාදෝ.., මම උන්නෙ සතුටෙන්.

අවිස්සාවේල්ලෙ ඉඳන් කොළඹට එනතුරුම, උත්පලගෙයි මගෙයි ,නමක් නැති කතාව ලියැවුනා. අපි අපිට අහිමිවෙලා ගෙවුණු හැම තත්පරයකම වටිනකම, එක ක්ෂනිකයෙන් ආයෙමත් මට ලැබුණා වගේ දැනුනා.පුදුමයක් නොවුනෙ මට ඒ ගෙවපු හැම මොහොතක්ම දහම් ගැන මතකයක්වත් තිබුණු නැති හින්දායි. 

ඒත්.., ආදරේ නාමයෙන් මම කරන්නෙ ද්‍රෝහිකමක්.., අතීතයේ ඉඳන්ම චපලයි කියලා හංවඩු ගහන ගැහැණු හිතකට තවත් උදාහරණයක් වෙන්නෙ වෙයිද මට? 

ඒත්, සැබෑවටම දැනෙන ආදරයක් නැති තැන රැඳිලා ඉඳිමත් ද්‍රෝහිකමක් නෙවෙයිද? අනුකම්පාව වෙනුවෙන්, ඇත්තටම මට දැනෙන ආදරේ තියෙන්නෙ දහම් ළඟ නෙවෙයිනම්? ඒත් අතරම්ං වුනූ ජීවිතේට පාර පෙන්නපු හිත බිඳින්නෙ කොහොමද මම? ඒ නිසා උත්පලට සදහටම සමුදීලා , අතීතය කියන මගේ තුවාලෙට සුවපත් වෙන්න ඉඩ හැරලා, දහම් ට ආදරේ කරන්නද? නැත්තම්  හිතුවක්කාර හිතට ඕනෙ පළියට, සදහටම උත්පල ළඟ නතර වෙන්නද?

ඒත් ,එතකොට හම්.....??


කාලය කොයිතරම් ගෙවුනද....
ආදරේ මොනතරම් ලැබුනද..
නුඹ එදා දුන් තරම්,නුඹව මට දැනුනු තරම්,
නෑ වෙන කවුරුවත් ඒ තරම්......
මේ හිතට දැනුනේ ඔය තරම්..........

මතු සම්බන්ධයි..........

ප.ලි- කාලෙකින් "සුපුරුදු" විදියෙම කතාවක් ලිව්වා ;) අනේ මංදා ඉතින්.., :P දිග වැඩි හින්දා කොටස් දෙකකින් දාන්න බැලුවෙ. එපා  නම් කියන්න ඊලඟ එක නොදා ඉන්නම් :D :D ;) 

ප.ප.ලි- "සිතුවිල්ලක් පමණි " කියලා ලියන්න දැන් අවශ්‍ය නැති නිසා නොලියා සිටිමි!!!

Post Comment

05 January 2013

~ නුඹෙ පෙම් මල මම ~



නුඹවම පතාගෙන, 
නුඹවම සොයාගෙන,
නුඹ වෙනුවෙන්ම සැරසීගෙන,
ගව් ගණන් දුර ගෙවාගෙන....,
මං ආවෙ අරගන්න 
නුඹේ ඔය දුක් ගින්න.......

හිත ඇතුළෙ තෙරපෙන,
හැම මොහොතකම වද දෙන,
තත්පරයක් ගානෙම හිතේ ඇඳෙන,
ජීවිතේ නීරස මතක ගොන්න....,
මොහොතකට මට දෙන්න
නුඹේ හිත සැනසෙන්න.......


සියුමැලි පෙති නොතැලෙන්න,
නුඹේ රළු දෑතේම නැළවෙන්න,
හිතෙන්නෑ මට එතැනින් නවතින්න,
ආදරෙන් නුඹේ පහසත් විඳගන්න....,
ඉතින්  අවසර දෙන්න
නුඹේ දෙතොලෙ සැතපෙන්න......


මේ ලෝකෙ කුරිරු බව හින්දාම දන්න,
ඩිංගකට පාවෙමුද ලෝකෙකට වෙන,
කඳුළු උරුම නෙත සිනහවෙන් පුරවන්න,
සුසුම් හිමිවු හිත සොම්නසින් නහවන්න...,
නුඹේ පෙම් මල මම
තණමල්විල කැලයක පිපුන........


Post Comment